Pini Muthu Palasa පිනි මුතු පලස
සුමිත් අයියා යළි නිවසට නොආවේය. ආරංචි වූයේ ඔහු කසිප්පු රංජිගේ නිවසේ නැවතී සිටින බවත් රංජි, කසිප්පු පෙරනවිට ඔහුව පොලිසියෙන් වටලා රැගෙන ගොස් ඇති නිසා ඔහුගේ බිරිඳ සුමිත් අයියා නිවසේ තබාගෙන සිටින බවත්ය.
“ඔය මිනිහා හිටියා කියලාත් ඇති වැඩක් නැහැනේ…හම්බ කරන තුට්ටු දෙකේ ඉඳන් කරන්නේ කසිප්පු බොන එකමනේ…කඩෙත් නොතිබුණා නම් තමා වැඩේ…මම කොහොම හරි කළානේ…”
අක්කා කීවේ ඇත්තය. සුමිත් අයියා නිවසට කළ දෙයක් නොමැත. ඔහු කළේ උදේ පටන් රෑ වන තුරුම බීමය. මුල් සති කීපයේ සුමිත් අයියාට නිතර දෙවේලේ දෙස් දෙවොල් තැබූ අක්කා පසුව පසුව ඔහු නැති අඩුව ගැන කතා කරන්නට වූවේ මා සිතේ ඈ කෙරෙහි පිළිකුල් සහගත කෝපයක් ඇති කරමිනි.
“කඩේට බඩු ටික හරි ගෙනත් දුන්නානේ…ගෙදර වැඩක් පළක් කරගන්න හරි මිනිහෙක් ඉන්න එපැයි…මේ බඩකුත් උස්සන් මං කොහොමද මේවා තනියම කරගන්නේ…?”
“හිටියත් කරලා දෙන මිනිහා…”
මම එසේ කීවේ කෝපයෙනි. ගැහැනුන්ගේ සිත් වෙනස් වන හැටි පුදුමාකාර යැයි කියා මට ඒ මොහොතේ සිතිණි. සුමිත් අයියා මීට වඩා අපරාධයක් කර හෝ මගේ ජීවිතය විනාශ කර පළා ගොස් පැමිණියද අක්කා සිටියේ ඔහු බාර ගන්නා අදහසින් බව වැටහී මා සිතේ ඈ කෙරෙහි ඇති වූයේ පිළිකුළකි. ඈ මගේම සහෝදරියකදැයි සැකයක් යළි යළිත් මා සිතේ ඇති විය. අම්මා සිටියා නම්! කියා මට මේ මොහොතේත් සිතුණ මුත් ඈ කෙරෙහිද මා සිතේ උපන්නේ කෝපය මුසු කළකිරීමකි. දැන්වත් ඇයට ලංකාවට ඒමට බැරි ඇයිද කියා මම සිතුවේ කෝපයෙනි.
“අර මිනිහව දාලා එන්න බැරි කම…”
දත් මිටි සපමින් මම සිතුවේ නොමනාපයෙනි.
“මට කියලත් උඹව හැමදාම පරිස්සම් කරන්න බැරි වෙයි චූට් නංගී…”
දිනක් අක්කා හදිසියේම කියන විට මම තිගැස්මෙන් ඈ දෙස බැලුවේ ඈ මෙසේ කියන්නේ මන්දැයි කුහුළිනි. ඈ කුමක් කීමට සැරසෙනවාද කියා වැටහුමක් මා තුළ නොවීය. සේදූ රෙදි ටික වැල මත වනා අවසන මම හැඳ සිටි චීත්තයෙන් දෑත් පිසගෙන චීත්තයද වැල මත වැනුවේ අක්කා දෙස වුවමනාවෙන් බලමිනි.
“ඊයේ පෙරේදා ඇසිලින් නැන්දා ආවනෙ…”
ඈ කුමක් හෝ කීමට අර අඳින බවක් මට වැටහිණි. ඇසිලින් නැන්දා පැමිණ ගිය බව මම දුටිමි. අක්කාත් ඇයත් බොහෝ වේලාවක් කඩ කාමරයට වී සතර කන් මන්ත්‍රණයක යෙදී උන් බවද මම දනිමි. ඇසිලින් නැන්දා මා කවදත් ප්‍රිය නොකළ නිසා මම ඈ හමුවට නොයා ඈ මඟහැර සිටියෙමි.
“නැන්දා අඳුනන පිරිමි ළමයෙක් ඉන්නවලු…ඔයාට කතා කරන්නද ඇහුවා…මං උත්තරයක් දුන්නේ නැහැ…”
දෙසවන් ළඟ අකුණක් පුපුරා ගියාක් මෙන් කම්පනයකින් මම අක්කා දෙස බලා සිටියේ විසල් වූ දෑසිනි.
“මට කතා කරන්න…! මට මොනවා කතා කරන්නද…?”
බියපත් ලෙසින් මම ඇසීමි.
“කසාඳ බඳින්න…වෙන මොකටද…?”
ඒ ඇසූ මා තව තවත් බියපත් වූයෙමි.
“කසාඳ බඳින්න…ඔයාට පිස්සු හැදිලද…? මට දැන්ම බඳින්න බැහැ…මට තව ඉගෙන ගන්න ඕන…”
අසරණ හැඟීමක් මා සිත වසා ගත්තේ දෑස් කඳුලින් පුරවමිනි. අක්කා මා දෙස බැලුවේ නොපහන් බැල්මකින් බව මම දුටුවේ බොඳවුණ දෑසිනි.
“අම්මා සල්ලි එවන්නෙත් නැහැ…මල්ලිට ජොබ් එක හරි ගිය නිසාද මන්දා…මම කියලා කොහොමද බං උඹට තව ඉගෙන ගන්න වියදම් කරන්නේ…? දැන් හෙට අනිද්දා මේ දරුවත් එනවා…එතකොට වියදම් වැඩි වෙනවා…සුමිත් ගැන බලාපොරොත්තු තියා ගන්න බැහැ…ඒත් මේ දරුවට තාත්තා කෙනෙක් ඉන්නත් ඕන…ගෙදරට පිරිමියෙක් කියලත් එකෙක් ඉන්න එපැයි නමට හරි…වාසනාවට උඹ එදා බේරුණා…ආයෙමත් උඹට කරදරයක් වුණොත්…”
අක්කා ඒ නොකියා කියන්නේ සුමිත් අයියා නිවසට ගෙන්වා ගැනීමට නම් මා නිවසින් පිටව යා යුතු බවය.තවත් යමක් ඇසීමට මට වුවමනා නොවිණි. කාමරයට දිව ආ මම දොරගුළු ලා ගෙන යහන මත වැතිර ඉකි බිඳිමින් හැඬුවෙමි. කුමක් කළ යුතුද, කුමක් කිව යුතුද කියා වැටහුමක් මට නොවීය. තව දුරටත් අක්කාගෙන් හව්හරණක් පැතිය නොහැකි බව වැටහී මා සිත අසරණ හැඟීමෙන් පිරී ගියේය. මම අක්කා සමඟ පසු වූයේ නොපහන් සිතිනි.ඇය සමඟ කතා බහ කිරීම පවා මම නවතා දැමූයේ ඈ කෙරෙහි උපන් කෝපය නිසාමය. ඈ මගේම සහෝදරියක්ද කියා මා සිතේ ඇතිවූයේ සැකයකි. දිනක් ගත වී දිනක් ගෙවෙන විට මා සිටියේ බලාපොරොත්තු සුන් තත්වයකය.
“අන්න…හෙට රිසාට්ල්ස් එනවලු…”
එදින රාත්‍රියේ කඩය වසා දැමූ අක්කා විත් සැටිය මත හිඳ ගනිමින් කීවේ මා අලුතින් තිගස්වමිනි.
“ඕක ඉතින් බැලුවා කියලා ඇති වැඩකුත් නැහැනේ…මං ඇසිළින් නැන්දාට පණිවිඩයක් යැව්වා…”
හිඳ සිටි අසුන මතින් නැඟිටිමින් මම අක්කා දෙස බැලුවේ ඇයට රවමිනි.මා දෑස් වලින් ගින්දර පිටවන සෙයකි. කෝපයෙන් ඇයට කෑ ගැසීමට උපන් හැඟීම ආයාසයෙන් මැඩගෙන මම කාමරයට පැමිණියේ කෝපය, ශෝකය, වේදනාව සියල්ල එකට කැලතුණු සිතිනි. ජනේලය අසළ සිටගෙන මම රාත්‍රී අහස දෙස බැලීමි. එයත් තද ඝනඳුරක ගිලී තිබුණේ වැස්සක පෙරනිමිති කියා පාමිනි. වරින් වර ඈත අහසේ ඇදී යන විදුලි රේඛාවකින් අඳුරු අහස එළිය වැටිණි. මා හද අභ්‍යන්තරයේද එවන් වූ අකුණු නම් සියදහසක් පමණ සිත පාරවමින් ඇදී ඇදී යන්නට ඇත්ද.!
හෙට විභාග ප්‍රතිඵල ඒ නම් මට එයින් හෝ සහනයක් ලබා ගත නොහැකි බව මම ඉඳුරාම දැන සිටියෙමි. මන්ද විභාගය සමත් වෙනු ඇතැයි කියා විශ්වාසයක් මා තුළ නොවූ බැවිනි. මා එසේ යාන්තමින් හෝ සමත් වුවද අක්කා සිය ස්ථාවරය වෙනස් නොකරනු ඇත. අම්මා ළඟ උන්නා නම් මේ කිසිත් මෙසේ සිදු නොවන්නට ඉඩ තිබුණ මුත් වුවමනා කිසිම මොහොතක ඈ මා අසළ නොසිටියාය. ඈ සිහිවන මොහොතක් පාසාම මසිතේ ඇතිවන්නේ දරාගත නොහැකි කෝපයකි. අපි ගැන සොයා නොබලන තවත් පවුලක් කඩා ඉහිරවා වෙනත් මිනිසෙක් සමඟ එකට පවුල් සම්බන්ධතාවයක් පවත්වන එවන් අම්මා කෙනෙකු සිටියා කියාද සෙතක් නැතැයි කියාත් මට සිතිණි.
“එයාට ඉන්නේ දරුවෝ දෙන්නයිනේ…මම මොකෙක්ද…දැන් අයියා ජොබ් එකක් කරන නිසා සල්ලි එවන්නෙත් නැත්තේ මෙච්චරකල් එයා සල්ලි එව්වේ අයියා නිසා වෙන්නැති…”
ආත්මානුකම්පාවෙන් මසිත යළි බර වන විට මම එසේ සිතුවේ හද ඇවිළී ගිය අලුත් ශෝකයකිනි. අපි මේ ගෙවන්නේ කවර නම් පාප කර්මයක්ද කියා මට නොසිතා බැරිය. මේ සියල්ල මගේ පිටින් යන්නේ අම්මා කරන පාපය නිසා විය නොහැකිද.? දෙවියනේ ! මා එයට දඬුවම් විඳිය යුතුද…? මව්පියන් ඇඹුල් කන කල දත් හිරි වැටෙන්නේ දරුවන්ගේ යැයි කියන කියමන කෙතරම් නම් සත්‍යයක්ද ! සුසුමක් මා මුවින් ගිළිහී ගියේ හද අවුළුවමිනි. අම්මාට ලිපියක් ලීවා කියාද ඇතිවන යහපතක් නැත. මම ඇයට ලිවීම නවතා බොහෝ කලකි. ඇයට පැවසුවත් ඈ සියල්ල හැර දමා පැමිණේවි කියා විශ්වාසයක්ද නැත. නොහඬා සිටීමට මා කළ වෑයම සාර්ථක නොවීය. මා සිත දුර්වලය. නොනවත්වා කඳුළු ගලා යන්නට වූයේ සිත් පිත් නැති සෙයිනි.
——————————————————————————————————
පසු දින මා අවදි වන විටත් පරිසරයේ වූයේ තද අඳුරකි.පිටතින් ඇද හැළෙන වර්ෂාවේ හඬින් නිහඬ බව බිඳී ගියේය. මහ මූසළ පාළු හැඟීමකින් මසිත පිරී ගියේය. යහනින් බැසීමටද සිතක් මා තුළ නොවූ සෙයකි. කෙසේ වුවත් අද දිනය මට තීරණාත්මක වූවකි. යම්කිසි බලාපොරොත්තුවක එළියක් අඳුරින් පිරි මා සිතට එබිකම් කරන විට මම වහා වහා යහනින් බිමට පනිමින් සිතුවේ ප්‍රතිඵල බැලීමට පාසලට යා යුතු බවය. අලුත් අවුරුදු නිවාඩුව නිසා අනෙක් ළමුන් පාසලට නොඒම වාසනාවකි. නොඑසේ නම් රජිව්ද හමු වනු ඇත.ඔහු දකින්නට සිදුවීමත් අමතර බරක් වනු ඇත. පිටුපස දොර හරින විටම සිරුර හී ගඬු නංවමින් සුළඟ සමඟ විසිරුණු වැහි බිඳු කීපයක් මා ගත සිප ගත්තේය. කුඩයක් ගෙන හෝ එළියට බසින්නට නොහැකි තරම් තදින් වැසි වැටුණද මම ඒ කිසිත් නොතකා ගොස් මුහුණ සෝදා ගෙන ගෙතුළට පැමිණියේ හරි අඩකට වඩා වැසි දියෙන් තෙත බරිතවය. අක්කා පොරෝනයෙන් හිසත් පොරවාගෙන පිටුපසට පැමිණියේ එවිටය.
“ඔය ඉස්කෝලේ යන්නද හදන්නේ…?”
ඈ මවිතයෙන් මෙන් ඇසුවේ මෙතරම් උදෑසනින් අවදිව මම බාගෙට තෙත බරියම් වී සිටි නිසා වන්නට ඇත.
“ඔව්…”
කෙටියෙන් පැවසූ මම ඉක්මනින් කාමරයට වැදුණෙමි. සීතලය නිසා මා සිටියේ වෙව්ළමිනි.ඇඳුම් වැටේ දමා තිබූ තුවාය ගෙන මුහුණ පිසදා ගත් මා ඇඳුම් කබඩයේ උඩම තට්ටුවේ සෝදා මැද නවා තිබූ පාසල් නිළ ඇඳුමි දෙක තුන අතරින් තරමක් අලුත් තත්වයේ වූ සුදු ගවුම තෝරා එය දෝතට ගත්තේ පූජනීය දෙයක් දෝතට ගන්නා තරම් බැති සිතින්, ආදරයකිනි. මා දෑස අලුත් වූ කඳුළකින් තෙත් විණි. සුදු ගවුම මුහුණට තබා සිප ගන්නා විට කඳුළු බිඳු වලින් එය බොඳ විණි. සුදු ගවුම හැඳ ටයි පටියත් කොණ්ඩ කරල් දෙකත් ගොතා රිබන් පටි ගැට ගසා මම මොහොතක් කැඩපත ඉදිරියේ සිටගෙන මගේම පිළිබිඹුව දෙස මොහොතක් බලා සිටියෙමි. මේ මා සුදු ගවුමින් සැරසී පාසල් යන අවසන් දවස යැයි කියා මට නිකමට මෙන් සිතිණි. පාසල් සිසුවියක ලෙස පාසලට යන අවසන් දවස මා මතකයේ සදා රඳවා ගැනීමට මට වුවමනා විය. යළිත් ඇති වූ අලුත් ශෝකයකින් මසිත ඇවිළී යන විට මම එළියට බැස්සේ අක්කාටවත් නොකියාමය. දැන් දැන් ඈ කෙරෙහි පවා මා සිතේ ඉපිද ඇත්තේ බලවත් කළකිරීමක් මෙන්ම අප්‍රසාදයකි. ඇයට වුවමනා මා නිවසින් පිටමං කර තම සැමියා නිවසට ගෙන්වා ගැනීමටය. මම ඔවුන් දෙදෙනාටම වෛර කරමි. ගුරු පාර මඩ වී ඇත. මේ පාරවල් නම් කවදා පිළිසකර කෙරේවිදැයි දන්නේ උඩ සිටින දෙවියන් පමණි. කලින් කලට ජන්ද සිඟා ගන දේශපාන සිඟනුන් බොරු පොරොන්දු දී ජනතාව රවටා බලයට පත් වූ පසු පොරොන්දු අමතක කොට තම මඬිය සරි කරගැනීමට උත්සහ දරනවා මිස ජනතාවට හෝ රටට කරන සෙතක් නොමැත.
සිතුවිළි අතර වල්මත්ව මම සෙමෙන් අඩි තැබුවේ සුදු ගවුමට මඩ විසිවනු ඇතැයි බියෙනි. මසිත ඉබාගාතේ සැරිසරයි. වරෙක එය රජිව් සොයාද ඉඟිළිණි. තවම පාසල් නිවාඩුව අවසන්ව නැත. ඒ නිසා ඔහු හමුවන්නේ නැත. සියුම් දුකක්ද මා සිතේ නොවූවා නොවේ. ඔහු සිටියා නම් අවසන් වරට ඔහු හමු වී කතා බහ කර ඒමට තිබුණා නොවේද කියා මට සිතිණි. මම ඔහුට ආදරය කළේ අවංක වූ සිතිනි. ඒ පුද කළ සෙනෙහස තවමත් මා සිතේ එළෙසමය. චපල වූයේ ඔහු වුවත් මා සිතේ ඔහු පිළිබඳව වෛරයක් නැත. මා අකමැත්තෙන් වුවද මට දැන් අන් අයෙකු හා සරණ යාමට සිදුවනු ඇත.මා රජිව් පිළිබඳව සිහින මැව්වාද කියා නම් මම නොදනිමි. පාසල් වියේ පෙම් සබඳතා සියල්ල විවාහයකින් කෙළවර වනු ඇතැයි කියා පැවසිය නොහැක. එසේ කෙළවර වන සබඳතාද නැතිවා නොවේ. පාසල් ප්‍රේමය බොළඳ, කෙටි කාලීන ඒවා යැයි කිසිවෙකු පවසන්නට ඉඩ ඇති මුත් සියල්ල එසේ බොළඳ, කෙටි කාලීන සබඳතා නොවේ. මම රජිව්ට ආදරය කළේ බොළඳ ලෙස නොවේ. නමුත් ආදරය නම් සමහර විටක බොළඳය. එය එසේ විය යුතුය. බොළඳ නොවූ ආදරයක් ආදරයක් විය හැකිද..? මම නොදනිමි. වැව අසල නතරව මම මොහොතක් වැව් දිය මතට ඇද වැටෙන දිය බිඳු දෙස බලා සිටියෙමි. වෙනදාට වඩා මෙදින මෙහි සුන්දර බවක් ඇතැයි කියා මට සිතුණේ පළමු වරටය. සුදු ගවුම පිටින්ම දියට බැස දිය සෙල්ලම් කිරීමේ බොළඳ ආශාවක් එක්වරම මා සිතේ ඇති විය. යුවතියක ලෙස මට තව ගෙවන්නට ඇත්තේ කෙතරම් සීමිත දින ගණනාවක්ද කියා සිතන විට පවා මහද ගිණි ගන්නට විය. වැව අසළින් මෑත්ව මම යළි ගමන් ඇරඹුවේ අලුත් වූ ශෝකය මහදේ තුරුළු කොට ගෙනය.