Pini Muthu Palasa පිනි මුතු පලස
පොහෝ දිනයක් වූ නිසා අක්කා කඩය නාරින බව දත් නිසා මම දහවල් වන තුරුම නිදා ගතිමි. සවස පන්සල් යාමට සියල්ල සූදානම් කර සුමිත් අයියා පැමිණෙන තුරු බලා සිටියද ඔහු නිවසට ගොඩ වූයේ කට ගොන්නක් බීගෙනය.
“මදැයි මේ මිනිහා එනකල් බලන් හිටියා…අදත් බීගෙන ඇවිත් තියෙන්නේ…පෝයදාට වත් මුන්ට බැරිද මේ ගුබ්බෑයමවල් වහලා දාන්න…”
අක්කා කෝපයෙන් කෑ ගසන විට සුමිත් අයියා හෙමින් සීරුවේ කාමරයට රිංගා ගත්තේය. ඔහු කට මැත දෙඩුවද අක්කාට දැක්වූයේ බියකි. මම මිදුලට බැස්සේ අක්කා එන තුරුය. අහස් කුස මත සඳවතිය දිලෙන්නට වූයේ පෙර දිනටත් වඩා දීප්තිමත්වය.
“මුන්ව හදන්න බැහැ චූටි නංගී…යමං…”
තවමත් පහව නොගිය කෝපයෙන් සිටි අක්කා මිදුලට බැස්සේ එසේ කියමිනි. මා බියේ සිටියේ අක්කාද පන්සල් යාමට අදි මදි කරනු ඇතැයි කියාය. සුමිත් අයියා කෙරෙහි මෙදිනවත් කෝප නොගෙන ඉන්නට මම අසීරු උත්සාහයක යෙදුණෙමි. පන්සලට පැමිණෙන තුරුම අප අතර කතා බහක් නොවූ තරම්ය. අක්කාගේ නොසන්සුන් වූ සිත සන්සුන් වන්නට මේ කාලය ප්‍රමාණවත් යැයි කියා මම සිතමි. මමද කිසිත් නොකීවේ ඒ නිසාවෙනි.
පන්සල් භූමිය පුරා වූයේ සිත සනසන නිසංසල බවකි. පුංචි මල් වට්ටියට නෙළා ගෙනා සේපාලිකා මල් දොවා මලසුනේ පූජා කොට අපි බුඳුන් වැඳ පසෙක හිඳ ගාථා කීවෙමු. බෝධිය නහවා පැමිණෙන විට අක්කාගේ පැරණි මිතුරියක හමු වූ නිසා ඈ ඇයත් සමඟ කතාවට නැවතුණ බැවින් මම සීනුව අසළට පැමිණ වටපිට බලන්නට වූයේ පන්තියේ කවුරුන් හෝ මෙදින පන්සලට පැමිණ ඇතිවාද කියා සිතමිනි. හඳුනන අය කීප දෙනෙකුම මා පසුකර ගියේ මා හා මඳ සිනහ පාමිනි. ඒ අතර පන්තියේ ළමුන් කිසිවෙකු නොවූ නිසා මා සිතේ ඇති වූයේ යම් තරමක ශෝකයකි.
“කාවද ඔය ඉස්සී ඉස්සී හොයන්නේ…?”
මා පසු පසින් ඇසුණු හඬින් මම තිගැස්සී හැරී බැලුවෙමි. මා දෙසවන් මා රවටා ඇතැයි සිතුණද දෑස් මා රවටා තිබුණේ නැත. රජිව්ගේ රුව හදිසියේ දුටු නිසාදෝ මම කැළඹී ගියෙමි. මෙය මට අදහා ගන්නට බැරි දෙයකි.
“ර…ර…ජිව් අයියේ…ඔ…ඔ…යා…?”
මට කොහේදෝ නැති ගොතයක්ද ඇති වී තිබුණේ ඒ තරමටම ඇති වූ පුදුමය නිසාය. සුදු පැහැති කමිසයකිනුත් තද නිල් පැහැති ඩෙනිම් කලිසමකිනුත් සැරසී සිටි ඔහු කෙරෙන් දිස් වූයේ වෙනදා නොමැති කඩවසම් බවකි.
“ඔව්…මං තමා…ඉතින්…මොකද මේ බය වෙලා වගේ…?”
මඳහසක් මුවේ තවරාගෙන ඔහු අසන විට මා සිතේ ඇති වූයේ ලැජ්ජා මුසු හැඟීමකි. මම පිළිතුරක් නොදී නිහඬව සිටියෙමි.
“ඉතින්…කොහොමද ඔයාට…?”
ලෙංගතු හඬකින් ඔහු අසන විට මසිත හිරි වැටී ගියේය. හදිසියේ මා සිතේ නැඟුණේ නොමනාපය මුසු හැඟීමකි. පෙර දිනක ඔහු රථයේ නැඟී එන විටවත් ඔහු මා හා වචනයක් හෝ නොදෙඩුවද මේ මොහොතේ මගේ දුක සැප විමසන්නේ මන්ද කියා මා සිතේ ඇති වූයේ නොසතුටකි. රුවින්දි අසල සිටිනවාදැයි සෙවීමට මසිත පෙළඹුණේ ඈ හට ඇති බිය නිසා නොව රජිව් මෙසේ මා සමීපයේ හිඳ කතා බහ කරන්නේ ඈ ළඟක නැති නිසා දැයි ඇති වූ සැකය දුරු කර ගැනුමටය.
මා සිතේ යම් ඊර්ෂ්‍යා මුසු බවක් මෙන්ම කෝපයකුත් ඇති වීම සාධාරණ නොවන්නේද…?
“මම නම් හොඳින් ඉන්නවා…කෝ ඔයාගේ රුවින්දි…?”
උපහාසය මුසුව මම අසන විට ඒ මුවේ සිනහව වියැකී ගියේ ක්ෂණිකයෙනි.
“මං ආවේ තනියම…”
“ආහ් ! ඒක තමා මේ…මට හිතුණා…”
මුව ඇද කරමින් මම කීවෙමි.
“මොනවද…හිතුණේ…?”
“වෙන මොනවද…? මෙයා මෙච්චර මේ ළඟට ඇවිත් කතා කරන්නේ එයා ළඟ නැති නිසා කියලා. එයා ළඟ ඉද්දී මෙයා බුම්මට්ටා වගේ…රුවින්දිට බයේ වෙන්නැති…නැට්ටිච්චී…”
නොසතුටත් නොමනාපයත් මුසුව මම කියන විට ඔහු මුවේ ඇදුණේ අලුත් සිනහවකි. මම ඔහු දෙසම බලා සිටියේ රවා ගත් බැල්මකිනි.
“මොකෝ හිනාවෙන්නේ…මම බොරුද කියන්නේ…?”
“හිනා වෙන්නේද…? හිනා වෙන්නේ ඔයා තාමත් මට ආදරෙයි කියලා දැනුණ නිසා සතුටට…ඒ ආදරේ තාමත් තියනවා…ඒ සතුට නිසයි මට හිනා ගියේ…”
මම තිගැස්සී ගියෙමි. එයට විරුද්ධව කිසිත් කීමට මා මුවට වචන නොආවේය. නිරුවත් දෙපයින් මම මහපටැඟිල්ලෙන් සුදු වැලි මත ඉරි ඇන්දේ බිමට නැඹුරු කොට ගත් හිසිනි.
“මං අද මෙහේ ආවේ…ඔයාව බලන්නයි මංදාකිණි…අද ඔයා පංසල් එයි කියලා මට හිතුණා…”
මසිත අලුතින් ගැහෙන්නට විය. ඒ කතාව නම් මට විශ්වාස කළ හැකිය. ඒ මන්දයත් ඔවුන්ගේ නිවස ආසන්නයේ තිබෙන පන්සලට නොයා ඔහුට මෙහි ඒමට කාරණයක් නොමැති නිසාය. මම නිහඬව සිටියේ ඔහු දිගටම කතා කරන්නට වූ බැවිනි.
“එදත් ඔයා එක්ක වචනයක් වත් කතා කරගන්න බැරිව මම හිටියේ ලොකු වේදනාවකින්…රුවින්දි නොහිටියා නම් අපිට කොච්චර නිදහසේ කතා කරන්න තිබුණද…?”
මම වහා හිස ඔසවා ඔහු දෙස බැලුවේ යළිත් ඇති වූ නොමනාපයෙනි.
“ඔයාට එච්චරටම වුවමනාවක් තිබුණා නම්…රුවින්දි ළඟ හිටියත් කතා කරන්න බැරි කමක් තියෙන්න බැහැනෙ…ඔයා මොකද ඔච්චර එයාට බය…එයා ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ද…?”
“ඕකනේ ඉතින්…ඔයා තේරුම් අරන් ඉන්නේ වැරදියට…”
“ඒක තේරුම් ගත්ත වැරැද්ද නෙවේ… තේරුම් ගිය ඇත්ත…ඔයා එයාට ආදරේ කරන ගමන්…මටත් ආදරයක් තියනවා කියලා පෙන්නන්න හදනවා…ඔයා ඇත්තටම ආදරේ එයාට…ඒකට කමක් නැහැ රජිව් අයියේ…එයා එක්ක බලත්දී මං කවුද…එයාට සල්ලි තියනවා…දේපළ තියනවා…ඔයාලගේ පවුලටත් ගැළපෙනවා…අම්මත් කැමති එයාටනේ… නේද…? අන්න ඒක තමා මං තේරුම් ගත්ත ඇත්ත…”
“පිස්සු…විකාර ඔයාට…ඒක නෙවේ ඇත්ත…”
“ඇත්ත මොකක්ද කියලා මට හොඳටම පේනවා…ආයේ මට කතා කරන්න එපා…”
මම ඔහු අස්ළින් මෑත්ව අක්කා සොයා ආවෙමි. ඈ පෙනෙන මානයක නොසිටි නිසා මම බෝ මළුව වටේම ගියෙමි. සිමෙන්ති බැම්ම අසළ බිම හිඳගෙන ඈ කීප දෙනෙකු සමඟ කතාවකය. අද ඇයට නිවසට යෑමට වුවමනාවක් නැති පාටය. මට නම් වුවමනා ඉක්මනින් නිවසට යෑමටය. කාමරයට වැදී තනිවන්නට ඇති වුවමනාව බලවත් විය. නිවසට වී සිටියා නම් රජිව් හමුවන්නේ නැත. ඔහු හමුවීමෙන් සිදු වූයේ සිත අලුතින් පෑරීමය. එහි වේදනාව සමනය වීමට තවත් කාලයක් ගත වනු ඇත. එතෙක් මා සිතින් විඳවමිනි සිටිය යුතු නොවේද…?
—————————————————————————————————–
“චූටි නංගී…”
අක්කා මා අමතමින් කාමරයට එබුණේ මා යහන මත වැතිර පොතක් කියවන්නට ගත් සැනින්ම වාගේය. නිවසේ සියළු වැඩ නිමවා මම කාමරයට පැමිණ තත්පර ගණනක් ගත වූවා පමණි. ඈ මෙසේ යළි මා ඇමතුවේ තවත් රාජකාරියක් පැටවීමටදෝ කියා මම සිතුවේ නොපහන් හැඟීමෙනි.
“ඇයි…?”
පොත වෙතින් නෙත් මුදවා ගත් මම නොපහන් දෑස් ඈ වෙත එල්ල කළෙමි.
“කඩේ වැහුවා…මම වැවට යනවා…රෙදි ටිකක් තියනවා සෝදන් එන්නම්…සුමිත් ආවොත් බත් බෙදලා දෙනවද…? මං එන්න පරක්කු වුණොත් කඩේ පොඩ්ඩක් අරින්න…දැන් ඉතින් වැටෙන් රිංගන්නත් බැහැනේ…වටෙන්ම යන්න වෙනවා…පිටි පස්සෙ ඉඩම කවුරු හරි අරන් නේද…ගේත් හදන්න පටන් අරන්…”
ඈ එක දිගටම කියවගෙන ගොස් දොර රෙද්ද ඇතැර දමා නොපෙනී ගියාය. සහනයක් මා සිතට දැනුණේ ඈ දොර වසා දමන හඬිනි. අක්කා වැවට ගියා යනු ඈ තව පැයකට හමාරකට නිවසට නොඑන බව මම අත්දැකිමෙන් දනිමි. මම යළි මා අතේ වූ පොත වෙත අවධානය යොමා එය කියවන්නට ගතිමි. එසේ වැඩි වේලාවක් මට එය කියවීමට අවස්ථාවක් උදා නොවිණි. මා දෙනෙත් නිදිබරව පිය වෙත්දී පොත පසෙක දමා මම කොට්ටයේ හිස හොවා ගෙන දෑස් පියා ගතිමි.
මා කොතරම් වේලාවක් එසේ නිදා සිටියාද කියා මම නොදනිමි.තිගැස්මෙන් මම අවදි වූයේ යහන අසළ කිසිවෙකු සිටින බව දැනීමෙනි. එක්වරම දුටු දසුනින් තැති ගත් මා බිය වී යහන මත හිඳ ගතිමි.
“සුමිත් අයියේ…මොකද මගේ කාමරේ කරන්නේ…?”
මම කෑ ගැසීමි.
“ෂ්…නං…ගි…යෝ…සා…ද්…ද…ක…රා…න්…න… ඒ…පා…”
දබැරැඟිල්ල මුව මත තබා ගත් ඔහු දොර දෙසටත් හැරී බලමින් කීවේ බීමතින් දෙපසට වැනෙමිනි. ඔහු කාමරයට පැමිණියේ හොඳකට නොවන බව වැටහී මම වහා යහන මතින් නැඟී සිටියෙමි. මසිත බියෙන් කෝපයෙන් ගැහෙන්නට විය. ඔහු කෙරෙන් වහනය වූ කසිප්පු ගන්ධය මට ඔක්කාරයක් ඇති කරවන තරම් විය. කාමරයෙන් එළියට දිව යෑමට සැරසෙන මොහොතේ සුමිත් අයියා මගේ අතින් ඇද මා අල්ලා ගත්තේය.
“මාව අතාරිනවා…අක්කේ…”
ඔහුගේ අත ගසා දමමින් මම කෑ ගසන විට ඔහු මා දෙවුරෙන් අල්ලා ගත්තේය.
“අ..ක්..කා…ඉන්…නෙපෑ…යි…බං…”
එසේ කී ඔහු මා යහන මතට තල්ලු කර දමන විට මම කෑ ගැසීමි. එවිටම මා සිරුර මතට පැන්න ඔහු එක් අතකින් මගේ මුවත් අනික් අතින් මගේ උරහිසත් තදින් අල්ලා ගෙන සිටියේ මට සෙළවීමටවත් නොහැකි ලෙසිනි. මට ඔහු සමඟ පොර බදන්නට නොහැකිය. ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්නට මම ඔහුගේ මුහුණ සීරුවෙමි. එයින් ඔහුගේ ඇසත් තුවාල වන්නට ඇත. එම ග්‍රහණය ලිහිල් වූයේ එවිටය.
“යක්ෂණී…උඹ මාව පොට්ට කරන්නද ගියේ…?”
මගේ ග්‍රහණය බුරුල් කළ ඔහු කෑ ගසන විට ලද අවස්ථාවෙන් මම ඔහුව තල්ලු කොට දමා යහනින් බිමට පැන ගතිමි. යළිත් වරක් ඔහු මා අල්ලා ගැනීමට ඉදිරියට පනින විට මා දෑස ගැටුණේ මගේ මේසය මත වූ තේක්ක ලීයෙන් නිම කරන ලද මල් බඳුනයි. එහි හිසින් අල්ලා ගත් මා වැර යොදා සුමිත් අයියාගේ හිසට දැඩි පහරක් එල්ල කළෙමි. හිස බදා ගත් ඔහු බිරුසන් දුන්නේය.
“බල්ලා…මං තෝව මරනවා…”
එක පිට එක මම ඔහුට පහර දුනිමි. ඔහු බේරී එළියට දිව යන විටත් මම ඔහු ලුහුබඳිමින් ඔහුට පහර දුනිමි. කෝපය, බිය නිසා මම වෙවුළමින් සිටියෙමි. ඔහු නිවසේ දොර හැරගෙන පලා යන විට මම එලෙසම බිම හිඳගෙන හඬා වැටුණෙමි. බිය, දුක, වේදනාව, කළකිරීම, තනිකම එක ලෙස මා සිත ග්‍රහණයට ගෙන මා හැඬවීය. මම මහ හඬින් හැඬුවෙමි. සුමිත් අයියා බොහෝ දිනක් පටන් මා පසුපස කැරකුණේ මෙවන් දෙයකට අර අදිමිනි. ඔහු කෙරෙහි උපන් කළකිරීමත් කෝපයත් මා සිත පාරන විට මම කොපමණ වේලාවක් එලෙස හිඳ සිටියාදැයි නිනව්වක් මා තුළ නොවීය. අද ඔහු නිසා මගේ ජීවිතය විනාශ වූවා නම්..?
එම සිතුවිල්ල පවා මා සිත බියෙන් වෙවුළුවා දැමීය.
“චූටි නංගී…මොකද බං කඩේ ඇරියේ නැත්තේ…?”
අක්කා නිවසට ගොඩ වන විටත් මා සිටියේ සාලයේ මැද බිම හිඳ ගත්වනමය. ඇගේ හඬ ඇසුණු සැණින් හුන් තැනින් නැඟී සිටි මම දුව ගොස් ඇයව වැළඳ හැඬුවේ ඇයට කිසිත් සිතා ගන්නට නොහැකි ලෙසිනි.
“මොකද බං මේ…මොකද උඹ මේ අඬන්නේ…? කියපන්කෝ..මාවත් බය නොකර…”
පුදුමයෙනුත් බියෙනුත් අක්කා කෑ ගැසුවේ මගේ දෙවුරෙන් අල්ලා සොළවමිනි.
“ඌ…ඌ…මං නිදන් ඉත්දී…කාමරේට ආවා…මං ඌට හොඳටම ගැහුවා…”
“දෙවියනේ…! මොකාද චූටි නංගී…කවුද…ගෙට රිංගුවේ…උඹට කරදරයක් නැහැ නේද…?”
බියපත්ව අක්කා කෑ ගසන විට මම හිස දෙපසට සැළීමි.
“කවුද ඒ තිරිසන් බල්ලා…ඕකව මරන්න ඕන අල්ලලා…”
අක්කා කෑගැසුවාය.
“සුමිත්…අයියා…ඕකට අයියා කියන්නවත් හොඳ නැහැ…බල්ලා…”
අක්කා ඉන් කම්පනය පත් වූවාක් මෙන් අසළ වූ අසුනක් මතට ඇද වැටුණාය.
“දෙවියනේ…! සුමිත්…ඌ මෙහෙම දෙයක් කරන්න ආවද…? මේ වගේ එකෙක්ව මං බැඳ ගත්තානේ…අනේ…තිරිසනා…කෝ දැන් ඕකා…?”
“ඒකා පැනලා දිව්වා…”
“අනේ…අද උඹට මොනවා හරි වුණා නම් චූටි නංගී…මං ඕකවත් මරාගෙන මැරෙනවා…”
අක්කාද හඬන්නට වන විට මටද යළිත් හැඬිණි.
“මේ ගැන කාටවත් කියන්න එපා චුටි නංගී…ඒක උඹට හොඳ නැහැ…”
බොහෝ වේලාවකට පසු අක්කා කීවෙන් මමද නිහඬවම එයට එකඟ වූයේ ඈ පවසන්නේ සත්‍යයක් බව වැටහුණ බැවිනි.