Pini Muthu Palasa පිනි මුතු පලස
ගුරුපාර දිගේ ඇවිද අප දෙදෙන ප්‍රධාන පාරට විත් බසයක් එනතුරු නැවතී සිටියේ නුග සෙවන යට නැවතුමේය. වරින් වර හමා ඇදෙන කළපු සුළඟ සිසිලසක් දැනවීය.
“මට රජිව් අයියා හමුවුණා මංදි…”
අලුත් කතාවකට මුල පුරමින් තරුෂි කියන විට මා සිත අලුත් වූ තිගැස්මකින් හිරිවැටී යන විට, එම බැල්මෙන්ම මම තරුෂි දෙස බැලුවේ සිත පෑරී ගිය වේදනාවකිනි.
“හ්ම්ම්…”
කියන්නට කිසිත් නොවූ කල මා කළේ හූ මිටි තැබීමය.
“ඔයා ගැනම තමා එයා අහන්නේ…කීප දවසක්ම ගෙවල් පැත්තේ කැරකිලා තියනවා බයික් එකේ…ඔයා පේන්න හිටියේ නැහැලු…”
ඒ ඇසූ මා සිතේ ඇති වූ කැලඹීම සන්සුන් කර ගැනීමට මම අසීරු ප්‍රයත්නයක යෙදුනද එය අසාර්ථක විය.
“ඒ මොකටද…?”
නොසන්සුන් සිතින් මම ඇසුවේ එය නොවැටහුණාක් මෙනි. බසයක් පැමිණෙනු දුටු බැවින් මම එයට අත දිගු කළෙමි. එයට නැග ගත් මාත් තරුෂිත් පසු පස අසුන් පෙළේ හිඳ ගත්තේ කතා කරගත්තාක් මෙනි.
“ඔයාලගේ පාරෙ යන්නේ මාව බලන්න නෙවේනේ මෝඩියේ…”
ඈ යළි කතාව ඇද ගත්තේ නොපහන් සිතින් කළ සරදමකිනි.
“දැන් ඉතින් මොකටද තරූ…?”
ශෝකී බවක් මගේ හඬේ වූ බව මටම වැටහිණි. කිසිත් නොකී තරුෂි මගේ සුරත දැඩිව අල්ලා ගත්තාය. ලැක්ටෝ හවුස් ඉදිරියේ නැවතුමෙන් බැස ගෙන මාත් තරුෂිත් ඇයට වුවමනා කේක් බඩු මිලදී ගැනීමට මන්නාරම් පාරේ වූ කේක් බඩු වෙළඳ සැළට ගොඩ වූයෙමු. ඈ දැන් කේක් සාදන පන්තියකට යන බවක් මා හා කීවේ එන අතර තුරය. මෙදින පැමිණ තිබුණේද එයට වුවමනා දේවල් කීපයක් මිලට ගැනීමටය.
“දැන් ඉඳන්ම මොනවා හරි දෙයක් පුරුදු වුණා නම් කවදා හරි අපිට ප්‍රයෝජනයක් වෙයි මංදි…”
ඈ කියන විට මමද එය පිළිගතිමි.
“ඔයා ඒ ලෙවල් කරනවා නේද…?”
සැකමුසුව මම ඇසුවේ ඇගේ නිවසේත් ඇති ආර්ථික ප්‍රශ්න මම දැන සිටි නිසාවෙනි.
“ඔව්…ඔව්…ඇයි ඔයා කරන්නේ නැත්ද…?”
මම එයට පිළිතුරක් දීමට නොගියේ ඒ පිළිබඳව මටද එතරම් විශ්වාසයක් නොවූ නිසාය. වුවමනා දෑ රැගෙන එන අතරේ අපි තජ් මහල් එකෙන් ශීත කළ බීම බී නැවත මාවතට පිවිසියෙමු.
“ඔයා අද ආව එකට නම් මට හරිම සතුටුයි තරූ…”
මම කියන විට ඈ මදෙස බැලුවේ අනුකම්පා මුසු වූ බැල්මකිනි.
“අනේ මංදි…මම පුළුවං වෙලාවට එන්නම්කෝ…ඔයාව බලන්න…අද හෙට ප්‍රැක්ටිකලුත් එයි නේද…?”
ඒ මොහොතේ අපි සිටියේ ත්‍රී රෝද රථ නැවතුම් පොළ අසළය. ඈ ඇසූ දෙයට පිළිතුරක් දීමට පෙර අප අසළම නැවතුණු රතු පැහැති මෝටර් රථයක් නිසා අපි දෙදෙනම එදෙස බැලීමු.
“රජිව් අයියාගේ කාර් එක…”
තරුෂී මුවින් පිටවන විට මා හද ගැස්ම වේගවත් විය. වම් පස රිය කවුළුව පහත හෙළමින් පිටතට එබිකම් කළේ යුවතියකි. ඒ අන් කවුරුන් හෝ නොව රුවින්දි යැයි මම අනුමාන කළෙමි. පළමුව සිත තුළ උපන් තිගැස්ම පහව ඊර්ෂ්‍යා මුසු හැඟීමකින් මසිත වෙළී යන්නට එතරම් වෙලාවක් ගියේ නැත.
“තරූ…කොහේද ගියේ…?”
මවා ගත් තොඳොල් හඬකින් ඈ ඇසුවේ මා වෙතත් නෙත් කොණින් හෙළූ බැලමකින්ද යුතුව බව ඈ දෙසම බලා සිටි මා දෑසට හසු විය. සියුම් ලැජ්ජාමුසු හැඟීමක්ද අපහසුතාවයක්ද සිතට එබිකම් කළේ මා ඈ දෙස බලා සිටින බව ඇයත් දුටු නිසාවෙනි. මම වහා නෙතු ඉවතක රඳවා ගතිමි. රුවින්දි සුන්දර යැයි කියා මම සිතුවේ සිත පිරී ගිය ඊර්ෂ්‍යා මුසු හැඟීමෙනි. තරුෂි ඈ සමඟ මොන මොනවදෝ කතා බහ කළ අතර මම දෑත් බැඳගෙන ඉවත බලා සිටියේ රජිව් ඇයත් සමඟ සවාරි යනවා යැයි කෝප සිතින් ඔහුට බැන වදිමිනි.
“එහෙම තියාගෙනත් තව මං ගැන අහන්න එනවා…”
මම මා හටම පැවසුවේ කෝපයෙනි.
“මංදි…”
තරුෂි මා අසළට ළංව මා අමතන විට මම ඈ වෙත හැරුණේ නොසතුටෙනි.
“රුවින්දි නේද ඒ…?”
මුහුණ පුළුටු කරගත් මම ඇසුවෙමි. මගේ මුහුණේ හැඟීම් ඈ එක් බැල්මකින් වටහා ගන්නට ඇතිවාට සැක නැත.
“ඔව්…මේ…රජිව් අයියා කතා කරනවා මංදි…ඔයාවත් ගේ ළඟින් දාගෙන අපිටත් ඒ පාරෙන්ම යන්න පුළුවන්නේ…”
මසිත පසුබා ගියේය. මෙවැන්නක් සිදු වේ යැයි මම සිතුවේ නැත. ඔහු සමඟ රථයේ යාමට මට නොසිතේ. ඇරත් රුවින්දීත් සිටින විට.
“අනේ තරූ…ඔයා යන්න…ඔයාලට මේ පාරෙන්ම ගියාම ලේසියිනේ…මම බස් එකේ යන්නම්…”
“අනේ…කෙල්ලේ…එහෙම හරියන්නේ නැහැනේ…මමනේ ඔයාව එක්ක ආවේ…මං කියන්නම් එයාලාට යන්න කියලා…වීල් එකක් අරන් මං ඔයාව ගෙදරට ඇරළවන්නම්…”
තරුෂි කෙරෙහි ඒ මොහොතේ ඇති වූ අනුකම්පාව නිසා මම වහා ඇයව වළකාළුවෙමි.
“එපා තරූ…යමු…මං එන්නම්…”
ඈ පුදුමය රැඳි දෑසින් මදෙස බැලුවාය.
“ඇත්තටමද…කමක් නැත්ද…?”
මම හිස සළමින් එසේ බව ඇඟවූයෙමි. පළමුව තරුෂිත් දෙවනුව මමත් පසුපස දොරින් රථයට නැඟුණෙමු. රුවින්දි ගැල්වූ සැර විළවුන් සුවඳින් රථය පිරී තිබිණි. හුස්ම සිර වන්නාක් මෙන් මට දැනිණි. රජිව් නිහඬවම රථය වට රවුමෙන් කොළඹ පාරට දැමුවේ පසුපස බලන කණ්නාඩියෙන් මදෙස බලමින් බව දැක මසිත තිගැස්සී ගියේය. ඔහු දෙස නොබලා සිටින්නට මා දැරූ ප්‍රයත්නය නිෂ්ඵල විය. මම වහා නෙතු ඉවතක රඳවා ගතිමි. රුවින්දි හැඳ සිටි ඇඳුම මා දෑසට හසු වූයේ එවිටය. කිව නොහැකි හැඟීමකින් මසිත හිරිවැටී ගියේය. එය ඊර්ෂ්‍යාව, කෝපය, නොමනාපය මෙන්ම නොසතුට එකට එකතු වූ මිශ්‍රිත හැඟීමකි. දණහිස තරමට වත් දිගු නොවූ කෙටි සායත්, අත් රහිත රෝස පැහැති ටී ෂර්ටයත් නිසා ඈ කෙරෙන් පළවූයේ කෙළිලොල් දඟකාර බවකුත් සරාගී බවකුත්ය. ඇගේ නිරාවරණය වී තිබූ සුදෝ සුදු දෙපා යුගළ දකින විට මසිත ලැජ්ජාමුසු හැඟීමකින් හිරි වැටී ගියේය. ඊර්ෂ්‍යාවත් කෝපයත් මසිත පුරා යළිත් හිස ඔසවන්නට විය. යුවතියක මෙවන් ඇඳුමකින් සැරසී මෙසේ ගමන් කරන විට දෙනෝ දාහක් දෙනාගේ අවධානයට ලක් වන බව ඇයට නොවැටහෙන්නේද…? කී දෙනෙකුගේ දෑසින් ඇයව මනසින් දූෂණයට ලක් වන්නට ඇතිද…? හිරිකිතක් මා සිතේ ඇති විය. ඇරත් කිසිදු ලැජ්ජාවක් නැතිව ඈ මෙසේ තනිවම තරුණයෙකු සමඟ එකට රථයක ගමන් කරන්නේ මොන සිතකින්ද..? ඒ වෙනත් අයෙකු සමඟ වූවා නම් මම කිසිදු තැකීමක් නොකිරීමට ඉඩ තිබු මුත් මේ මා තවමත් සිතින් ආදරය කරන පිරිමියාය. මා සිතේ රජිව් කෙරෙහිද ඇති වූයේ කෝපයකි. ඇයත් සමඟ මෙසේ ගමන් බිමන් යන්නට තරම් ලැජ්ජාවක් බියක් ඔහුටත් නැතිද කියා මම සිතුවේ සිත පිරී ගිය ඊර්ෂ්‍යා මුසු හැඟීමෙනි. එක් අතකට මම කෝප ගන්නේ මන්ද කියා මම අනික් අතට කල්පනා කළෙමි. දැන් අප අතර කිසිත් නැත. ගිළිහෙන්නට ගිය සුසුම මම ආයාසයෙන් මැඩ ගත්තේ ඔවුන් දෙදෙනා මෙලෙස එකටම මට දැක ගන්නට සිදු වූයේ මන්ද කියා සිතින් ළතැවෙමිනි.
“දෙන්නා ෂොපින් ඇවිත් වගේ…?”
නිහඬ බව බිඳිමින් රජිව් අසන විට මම හිස හරවා කන්නාඩියෙන් ඔහු දෙස බලන විට ඔහුද එලෙසම මදෙස බලනු මා නෙතට හසු විය. අප නෙත් යළිත් වරක් එකට හමු විය.
“මං කේක් බඩු වගයක් ගන්න ආව ගමන් මංදාකිණිලා ගෙදරත් ගිහින් එයාවත් එක්ක ආවා රජිව් අයියේ…”
ඔහු හිස සළන විට රුවින්දී එක වරම හැරී මදෙස බැල්මක් හෙළුවාය.
“ආහ්…මෙයාද මංදාකිණි…?”
ඈ අසුවේ අවඥා සහගත හඬකිනි. මසිත ගැස්සී එම හඬේ වූ නොපහන් බවටය.
“නම අහලා තිබුණට දැක්කේ අදනේ…”
ඈ කට කොණින් පෑ සිනහවක්ද සමඟ රජිව් වෙත හෙළුවේ අමුතු බැල්මකි. මම රුවින්දි ගැන දැන සිටියද ඈ මා ගැන අසා ඇත්තේ මොනවාද කියා මම සිතුවේ කුහුල් සිතිනි. රජිව් ඇයට මා පිළිබඳව පවසා ඇතැයි කියා සිතිය නොහැකිය. එසේ නම් චිත්‍රා මිස් ඈ සමඟ කුමක් හෝ පැවසුවා විය හැකිද…? රථයට ගොඩ වීම පිළිබඳව පසතැවීමක් මා සිතේ ඇති විය. තරුෂි මා සුරත දැඩිව අල්ලා ගත්තාය. තරුෂි සමඟ නොයෙකුත් දේ කතා බහ කළ රුවින්දි එහි ප්‍රධාන භූමිකාව රඟ දැක්වූ අතර අපි රථයේ නිහඬ චරිත වීමු.
“තරූ මාව ක්‍රොසින් එක ළඟ දාන්න…මම යන්නම්…”
රජිව්ට ඇසෙන සේ මම කියන විට ඔහු කන්නාඩියෙන් මදෙස බැලුවේ පුදුමයට පත්ව මෙනි.
“ඔයා මේ ළඟද ඉන්නේ…?”
රුවින්දි වටපිට බලමින් අසන විට මම කෙටියෙන් “ඔව්” යැයි කීවෙමි.
රජිව් දුම්රිය හරස් පාර පසුකර මාවතේ පසෙක රථය නවතන විට දෙදෙනාටම පොදුවේ ස්තූති කර තරුෂිගෙන්ද සමුගෙන රථයෙන් බැස ගතිමි.
“ඉක්මනට ආයේ එන්න තරූ…”
දොර වසමින් මම ඈ වෙත නැඹුරුව කීවෙමි. ඈ මට අත වැනුවේ හිස සලමිණි. වහා වහා පාර පැන මම ඇවිද ආවේ රථය පිටව යාමටත් පෙරය. නිවසින් පිටවීමට පෙර මා තුළ වූ සැහැල්ලු බව මේ මොහොතේ නොවීය. අහම්බෙන් හෝ රජිව් හමු වේ යයි කියා මම සිතුවේ නැත. මම තවමත් ඔහුට ආදරය කරන බව නොරහසකි. බොහෝ දිනකට පසුව ඔහුව යළිත් දකින විට මා සිත යට සැඟව ගිය ආදරයේ ගිනි අඟුරු යළිත් දැල්වුණාක් මෙනි. ඊර්ෂ්‍යාවකුත් කෝපයකුත් ලෝභ කමකුත් මා හදේ ඉපදුණේ ඒ ආදරය නිසා නොවේද.? රජිව් පිළිබඳව මතකය දිය යට සැඟවීමට උත්සහ දරන රබර් බෝලයක් මෙන් වරින් වර ඉස්මතු වෙයි. අමතක කළ නොහැකි බොහෝ දේ අපේ අතීතයේ කොතෙක් නම් රැඳී ඇතිද.? එම අතීතයෙන් කිසි දිනෙක මිදෙන්නට නොහැකි වනු ඇත. ගෙවුණු අතීතයට මම ආදරය කරමි. එය වර්තමානයට වඩා සොඳුරු මිහිරි මෙන්ම වේදනාකාරී වුවද සුන්දරය.
——————————————————————————————————
එදින රාත්‍රියේ මා වෙත නින්දක් නොවීය. නිදා ගන්නට යහනට පැමිණ බොහෝ වේලාවක් මම එලෙස වැතිර සිටියද නින්ද දෑස් මානයට හෝ නොආවේ මා සිතුවිලි රජිව් වටා සැරිසරමින් සිටි නිසා වන්නට ඇත. යහනින් බැස ගත් මම කළුවරේම ගොස් ජනේලය විවර කර දැමුවෙමි. සිරුර හී ගඬු නංවමින් ශීතල සුළඟක් කාමරයට හමා ආවේය. පොල් ගස් අතරින් පෙරුණ සඳ එළිය කාමරය තුළට ගලා ආවේ ලෝබ නැතිවමය. මා සිටි තැනට සඳවතිය දිස් නොවූවද මුළු අහසම එළියකරමින් එහි රැස් විහිදිණි. රාත්‍රිය කෙතරම් නිහඬවීද යත් මුළු රැයම නොනිදා පහන් කරන්නට ඇත්නම් කියා මට සිතුණ මුත් එය කළ නොහැකි වන්නේ නින්ද කොයි යම් මොහොතක හෝ දෙනෙත් සිප ගැනුමට පැමිණෙනු ඇති නිසාය. මගේ නින්දට බාධා කළ රජිව් නම් සුව නින්දක් ලබනු ඇතැයි කියා මම සිතුවේ ශෝකය මුසු නොසතුටකිනි. ඔහු මා රැවටුවා වුවද ඔහුගේ මතකයෙන් මසිත මුදවා ගන්නට මට තවමත් නොහැකි සෙයකි. ඔහු නොදැක ගෙවී ගිය මසකටත් අධික කාලය තුළ සිතට මෙවන් වේදනාවක් ඇති වී නොතිබිණි. නමුත් අද ඔහුව යළි දැක ගත් පසුව මා නැවත නැවතත් ඔහු ගැන සිතන්නට පටන් ගෙන ඇති බව දැනී මසිත ශෝකයකින් වැසී ගියේය. එය මගේ අනුවණ කම විය හැකි වුවද මසිත එය පිළිගැනුමට මැලි විය. සුළඟට ඇදී ආ වළා රොදක් සඳරැස් වසා ගන්නට වන විට මමද ජනේලය වසා දමා ඒ අසළින් මෑත්ව යළි යළි යහනට පැමිණියේ ළය පුරවා දිගු හුස්මක් ඇද ගනිමිනි.