Pini Muthu Palasa පිනි මුතු පලස
පරිසරයේ වූයේ ඝෝෂාකාරී බවකි. ළමුන්ගේ කෑ ගැසීම් නවතන්නට අද කිසිවෙකුට වුවමනාවක් නොවන්නට ඇත්තේ අවසන් වාරයේ නිවාඩු දින නිසා වන්නට ඇත.
“ඔයාට තරහා තිබුණේ රජිව් අයියා එක්කනේ…මොකක්ද මේ කතාව තක්ෂිලා…? මට නම් තේරෙන්නේ නැහැ…”
තරුෂි කීවේ තක්ෂිලාගේ නිහඬ බව නිසා වන්නට ඇත. තක්ෂිලා කතා කරන තුරු අපි බලා සිටියෙමු. දිගු හුස්මක් ගෙන ළය පුරවා ගත් ඈ බිඳුණු හඬින් කතා කළාය.
“නැහැ තරූ…ඔයා දන්නේ නැහැ…මේ හැමදේම වුණේ මංදාකිණිලාගේ අම්මා නිසා…අපේ තාත්තායි මංදාකිණිලාගේ අම්මායි ඉන්නේ එකම රටේ…එකම ගෙදර…තාත්තා ඒ ගෙදර ඩ්‍රයිවින්…”
තක්ෂිලා කීමට යන දේ මේ වන විටත් මට ඉවකින් මෙන් වැටහී හමාරය. තෝන්තු වූ සිතින් මම අසළ වූ අසුනක් මතට ඇද වැටී හිඳ ගතිමි. සමන්මලී මා උරමත අත තබනු මට දැනිණි. තක්ෂිලා දිගටම කතා කරන්නට වූවාය.
“අපේ තාත්තා අවුරුදු ගාණක් ඒ ගෙදර වැඩ…එයා ලංකාවට ආවෙත් දෙසැරයක් වගේ…අපිට සල්ලි එවනවා තමා…ඒත්… සල්ලි විතරක් මොකටද තරූ…? තාත්තාගේ සම්බන්ධයක් ගැන අම්මා දැනන් හිටියත් අපිට කිව්වේ නැහැ…දවසක් අම්මා අඬ අඬ ඉන්නවා දැකලා මං ඒ ගැන අහනකොට තමා අම්මා මෙහෙම දෙයක් ආරංචි වුණා කිව්වේ…ඒත් ඒ මංදාකිණිලාගේ අම්මා කියලා මං දැනන් හිටියේ නැහැ…එදා උමයංග කියපු දෙයින් පස්සෙ මං අම්මාගෙන් ආයෙම ගිහින් මේ ගැන ඇහුවා…අම්මා මේ හැම දෙයක්ම හොයලා බලලා තිබිලා තියෙන්නේ…එයා දවසක් මගෙන් ඇහුවා මංදාකිණි කියලා ළමයෙක් අපේ ඉස්කෝලේ ඉන්නවද කියලා…ඒත් මං හිතුවේ නැහැ අම්මා එහෙම ඇහුවේ මේ සම්බන්ධව කියලා…පස්සෙ විස්තර අහනකොට අම්මා මට ඒ හැමදේම කිව්වා…එදා ඉඳන් මං ඔයාට වෛර කරන්න ගත්තා මංදාකිණි…මට ඔයාව දකින එකත් අප්පිරියා වුණා… ඔයාලගේ අම්මට ඕනලු අපේ තාත්තාව බැඳ ගන්න…තාත්තා අම්මාගෙන් දික්කසාදේ ඉල්ලනවා…අම්මා කීයටවත් දික්කසාදේ නම් දෙන්නේ නැහැ කියල තියෙන්නේ….”
මා දෑස් වලින් කඳුළු ගලා යන්නට විය. ඈ මට වෛර කළේ මේ නිසාය.
“අනේ මංදාකිණි…ඔයාට පුළුවං නම්…අපේ තාත්තාව අපිට ඉල්ලලා දෙන්න මංදාකිණි…”
තක්ෂිලා දෑත් වැඳ මගෙන් ඉල්ලා සිටින විට මට මහා හඬින් හැඬිණි.
මම නිවසට පැමිණියේ කෙසේද කියා හෝ නිනව්වක් මා හට නොවීය. මා සිත තෝන්තු වී තිබුණේ සිතේ වූ කළකිරීම නිසා වන්නට ඇත.
තක්ෂිලා කෙරෙහි මා සිතේ ඇති වූයේ අනුකම්පා මුසු හැඟීමකි. ඈ මට වෛර කිරීම සාධාරණය. ඒ දේ මා හට සිදුවූවා නම් මාද ඈ මෙන්ම වීමට ඉඩ තිබිණ. තාත්තාගේ උණුසුම රැකවරණය නොලැබ ගෙවුණු මගේ ළමා කාලය, තවමත් දැනෙන එම අඩුපාඩුව කිසිවකින් පිරිමසා ගත නොහැකිය. තක්ෂිලාද දැන් පසුවන්නේ එවන් වූ අත්දැකීමය. වෙනසකට ඇත්තේ මගේ තාත්තා ජීවතුන් අතර නොමැති වීමත් ඇගේ තාත්තා ඔවුන් අතැර වෙනත් රටක තවත් ගැහැණියක සමඟ විසීමත්ය. ඒ අපේම අම්මා බව අසන්නට ලැබීම මොනතරම් ලැජ්ජාවක්ද නින්දාවක්ද..? මව්පියන් ඇඹුල් කන විට දත් හිරි වැටෙන්නේ දරුවන්ගේ යැයි කියන කියමන කෙතරම් සත්‍යයක්ද..? තවත් පවුලක් කඩා ඉහිරවා දමා සාදා ගැනීමට හදන පවුල කෙබෙඳු පවුලක්ද..? එය කවදාක හෝ ඵල විපාක අත්කර දෙනු ලබන පාප කර්මයක් නොවන්නේද..? තක්ෂිලාගේ තාත්තාගේ වරදට සමාව දී ඇගේ අම්මා ඔහුව පිළිගන්නට සූදානම් වන්නේ සිය පවුල රැක ගැනීමේ වුවමනාව නිසා නොවේද…? පිරිමියෙකුගේ වරදට සමාව දී යළි ඔහු පිළිගැනුමට සූදානමින් පසුවන ඇය උතුම් නොවන්නේද..? එම වරද ඈ අතින් වූවා නම් පිරිමියෙකු මෙසේ ඇයව පිළිගනු ලබනු ඇතිද..?
එදිනම මම අම්මාට ලිපියක් ලීවෙමි. අනුන්ගේ පවුල් කඩා ඉහිරවා ඈ බලාපොරොත්තු වන සතුට කුමක්දැයි අසා මම ඇයට දොස් පැවරුවෙමි. ඉනුත් මා සිතට දැනුණු සහනයක් නොමැත. විභාගය අවසන් වන තුරුම අම්මාගෙන් මට එයට පිළිතුරක් නොලැබුණද, පසුව ලැබුණු ලිපියකින් අක්කා ඒ බව දැනගෙන මට බැන වැදුණාය.
“ඔයා අම්මාට එහෙම දෙයක් ලියපු එක වැරදියි චූටි නංගී…මොනා වුණත් ඒ අපේ අම්මා…”
අක්කා කීවේ මා සිතේ කෝපය අවුළුවාළමිනි.
“අම්මා නෙවේ…කවුරු වුණත් කරන්නේ වැරැද්දක් නම් ඒක වැරදියි කියලා කියන්න කොන්දක් තියෙන්න ඕන…අනුන්ගේ පවුල් කඩලා දාලා එයා ඒ කරන දේ හරිද…? ඒ කෙල්ල මෙච්චර කල් මා එක්ක තරහින් ඉඳලා තියෙන්නේ…ඒ ළමයා මොන තරම් දුකක් විඳින්න ඇත්ද…එයාගේ අම්මා කොච්චර අඬන්න ඇත්ද…ඔයාට එහෙම දෙයක් වුණා නම් ඔයා මොකද කරන්නේ…?”
කෝපයෙන් මම අසන විට නිරුත්තර වූ අක්කා පිටව ගියේ මට රවමිනි.
——————————————————————————————————
විභාගය අවසන් වූයේ මා සිතේ වූ මහත් බරකින් මා නිදහස් කර වුවද තව ටික කාලයක් පමා වී එය තිබුණා නම් කියා මට සිතුණේ නිවසට වී දාසියක මෙන් අක්කාගේ බැල මෙහෙවර කම් කරන්නට සිදුවනු ඇතැයි සිතන විටය. අම්මා සිටියා නම් කියා මේ මොහොතේත් මට සිතුණද අනෙක් අතට මම එම සිතුවිල්ල පවා සිතින් පළවා හැරියේ ඈ ගැනත් ඇති වූ කළකිරීමෙනි.
“අම්මෝ…දැන් නම් මාර සැනසීමක් හිතට දැනෙන්නේ…”
ගිම්හාන කීවේ විභාගය අවසන් දිනයේදීය. එයට සාර්ථකව මුහුණ දුන්නා යැයි කියා මට නම් සතුටු වන්නට නොහැකිය.
“හිතටයි, හිසටයි දෙකටම සැහැල්ලුවක් දැනෙනවා…”
සමන්මලී කීවාය.
“අද ඉතින් අපි වෙන් වෙනවනේ…ඒ ගැන හිතත්දිත් දුකයි…”
තරුෂිගේ හඬේ වූයේ දුක්බරිත බවකි. එක්වරම ඈ මුවින් පිට වූ ඉකි හඬත් සමඟ ඈ මා උරමත හිස තබාගෙන හඬන්නට වූයේ මාවද හඬවමිනි. එය තක්ෂිලාට දුලානිට සහ සමන්මලීට මෙන්ම අනෙක් අයටද බෝවන විට පිරිමි ළමුන් කුමක් කළ යුතුදැයි නොදැන මෙන් බලා සිටින්නට වූහ. එකොළොස් වසරක් පුරා සිප් සතර හැදෑරූ, ජීවිතයට බොහෝමයක් පාඩම් කියා දුන්, මිතුරු මිතුරියන් සමඟ දුව පැන සෙල්ලම් කළ, එකට එක්ව සිනහ සුණු කඳුළු සැළූ , මේ පාසල් භූමියට සමු දීමට කාලය එළඹ ඇත.
“අම්මා කරපු වැරැද්දට මට සමාවෙන්න තක්ෂිලා…මං ඒ ගැන දැන ගත්තෙත් ඔයා දැන ගත්තු දා…”
තරුෂි මගෙන් මිදී කඳුළු පිස ගන්නා මොහොතේ මම තක්ෂිලා වෙත ගොස් ඇගේ දෑතින් අල්ලා ගෙන කියන විට ඇය මා වැලඳ හඬන්නට වූවාය.
“අනේ මටත් සමාවෙන්න මංදාකිණි…මාත් ඔයාට ලොකු වරදක් කළා…”
පසුතැවිලි හඬකින් ඈ කීවාය.
“දැන් ඒවා කතා කරලා තේරුමක් නැහැ තක්ෂිලා…මට දුකයි ඔයාලා ගැන…මං මේ මොකුත් දැනන් හිටියේ නැහැ…”
මම යළිත් කිවෙමි.
“අම්මා හිත හදන් ඉන්නේ මංදාකිණි…ඒත්…මට නම් තාත්තට සමාව දෙන්න පුළුවං වෙයි කියලා මං හිතන්නේ නැහැ…”
මම ඇගේ අතක් තරයේ අල්ලා ගතිමි. ඇගේ සිතේ දැවෙන වේදනාව මට දැනිණි.
“මං අම්මට ලිව්වා…”
තක්ෂිලා හැඬුම නිසා රත් පැහැ ගැන්වී තිබූ දෑස් පුදුමයෙන් විසල් කොට ගෙන මදෙස බැලුවාය.
“මොනවද ඔයා ලිව්වේ…?”
“අනුන්ගේ පවුල් කඩන එක පවක්…මං ඒක එයාට ලියලා ඇරියා…ඔයාලා ඉන්නේ මොන තරම් දුකෙන්ද කියලා මං එයාට ලිව්වා…”
එසේ කී මම සුසුමක් වා තලයට මුදා හළෙමි. තක්ෂිලා දුක්මුසු බැල්මකින් මා දෙස බලා සිටියාය.
“අපි ඒ හැමදේම අමතක කරලා දාමු…ඔය දෙන්නගේ අෆෙයාර් එක නැවතුණු එකට නම් මං කවදාවත් මට සමාව දෙන්නේ නැහැ…”
ඈ කීවේ සැබෑවටම ඒ ගැන කණගාටුවෙන් මෙනි. එය නැවතුණේ ඒ නිසා නොවේ යැයි කීමට සිතුණද මා නිහඬව සිටියේ අලුතින් පෑරුණු සිත නිසාය.
“දැන් හැමදේම වෙලා ඉවරයිනෙ තක්ෂිලා…”
අසීරුවෙන් මුව මත සිනහවක් නංවා ගනිමින් මම කීවෙමි. අපි එකිනෙකාගෙන් සමුගෙන පිටව ආවෙමු. මාලිකාත් මමත් රේල් පාර දිගේ ඇවිද ආවේ කතා නැතිවමය. අවසන ඇගෙනුත් සමුගත් මම නිවස වෙත පියවර තැබුවේ දැවෙන සිතිනි. කෙසේ වුවත් රජිව් තවමත් මා හදේ ලැඟුම් ගෙන සිටියේය. මට කෙදිනක්වත් ඔහු අමතක කරන්නට හැකි නොවනු ඇත. මා මුවින් පිට වූ සුසුම සුළඟට හසුව හමා ගියේය.
නැඟෙනහිර අහසින් හිරු විකසිත වීමටත් පෙර අවදි වන මට දිනක් ගෙවී දිනක් ගත වන බව නොදැනුණේ නිවසේ කිරීමට තිබුණු බොහෝමයක් රාජකාරී නිසාය. සියලු වැඩ කටයුතු මා පිට පටවා අක්කා සැහැල්ලුවෙන් සිටියාය. සියල්ල නිහඬව දරාගෙන මම සියළු වැඩ කළෙමි. පාසල් යාමට තිබුණා නම් කියා මට සිතුණු වාර අනන්තය. පන්තියේ මිතුරු මිතුරියන් මෙන්ම මට රජිව්ද බොහෝ වර සිහියට නැඟිණි.ඒ හැම වරම මා සිත වසාගෙන පැතිර යන අසීමිත දුක නවතා ගන්නට මට හැකියාවක් නොවීය. අන්තිම දින කීපයේ හෝ මට ඔහු සමඟ කතා බහ කිරීමට තිබුණා නොවේදැයි කියා මට සිතුණ වාර බොහෝමයක් වුවද එයට දැන් පමා වූවා වැඩියයි කියා සිතුවේ හද පිරී ගිය ශෝකයෙනි. සුසුම් ළමින් මම මගේ දුක නැතිකර ගන්නට අසීරු උත්සාහයක යෙදුණෙමි. පපුව රිදුම් දෙන්නට වූයේ ඒ ශෝකය දැඩිකම නිසා වන්නට ඇත.
ජීවිතය පිළිබඳව වුවද මා සිටියේ බලවත් වූ කළකිරීමකිනි.අම්මාගේ ක්‍රියා මෙන්ම අක්කාගේත් අයියාගේත් ආත්මාර්ථකාමී වූ හැඟීම් නිසා මට ජීවිතය පවා එපා වී තිබිණි. සුමිත් අයියා නිවසේ සිටින විට ඔහුගේ දෑසට හසු නොවන මානයක සිටීමට මම හැකි තරම් වෙහෙසක් දැරීමි. ඔහුගේ නුහුරු බැල්ම මට ප්‍රිය නොවිණි. අම්මා ළඟක සිටියා නම් මේසා දුක් කන්දරාවක් මා හට විඳින්නට සිදු නොවනු ඇත. නමුත් වුවමනා කිසි ව්ටෙක ඈ මා අසළ නොසිටියාය. සිතේ වූ සියළු දුක් සෝ සුසුම් මම තනිව විඳ දරා ගතිමි. සුසුමින් හෝ කඳුලින් ශෝකය පහ කර ගත හැකි වූවා නම් එය මේ වන විටත් මා හැර ගොසිනි.
නිවසේ සියලු වැඩ කටයුතු අතරේ මා සිටියේ කූඩු කළ කිරිල්ලියක මෙනි. මේ අතර අක්කාද ගැබිණියක වූ නිසා තත්වය නරක අතට හැරුණේ කඩයේ වැඩ කටයුතුත් මට කරන්නට වූ නිසාය. මේ සියල්ලෙන් හෙම්බත්ව සිටි දිනක හදිසියේම තරුෂි මා සොයා එන විටත් මම සිටියේ කඩ කාමරයේය. දැල් කවුළුවෙන් ඈ එනු දුටු මම පිටතට දිව ආවේ අක්කාට කඩය බලන්නැයි කෑ ගසා කියමිනි. සැටිය මත වැතිර රූපවාහිනිය නරඹමින් සිටි ඈ ඉන් නැඟිට ගියේ මා වෙත නොරුස්සුම් මුසු බැල්මක් හෙලමිනි.
“කොහේද තමුසෙ දුවන්නේ ගාල කඩා ගත්තා වගේ…”
ඈ අසන විටත් මම ඉස්තෝප්පුවට පැන අවසන්ය. පිළිතුරක් දීමට මට වුවමනා නොවීය.
මම පෙරමඟට දිව විත් තරුෂිගේ දෑතින් අල්ලා ගතිමි. ඈ දකින විට මා සිතේ මෙතෙක් දවසක් වූ සියළු දුක් දොම්නස් පහව ගිය බවක් මට හැඟිණි.
“මංදි…”
ඈ කීවේ නිරීක්ෂණාත්මක බැල්මක් මවෙත හෙලමිනි. ඇගේ අතින් ඇදගෙන මෙන් ගෙතුළට කැඳවාගෙන ආ මම කාමරයට වැදී දොර වසා ගතිමි.
“අනේ තරූ…ඔයා ආව එක කොච්චර හොඳද…!”
ඒ මොහොතේ නම් මට හැඬිණි. ඉකි ගසමින් මම හඬන විට ඈ පුදුමයෙන් බලා සිටියේ කිසිත් සිතා ගන්නට නොහැකිවාක් මෙනි.
“අනේ ඇයි කෙල්ලේ මේ…?”
ඈ මා හිස පිරිමදිමින් විමසන්නට වූවාය. සුළු මොහොතක් හැඬූ නිසාදෝ මා සිතට යම් සහනයක් දැනිණි. තනිකමෙන් පාළුවෙන් සිටින මෙවන් මොහොතක කෙනෙකුට අවශ්‍ය වන්නේ තමන් ආදරය කරන කෙනෙකු ළඟින් සිටිනවාට නොවේද…?
“මොකෝ බං වුණේ…? මොකක් හරි ප්‍රශ්නයක්ද…?”
මගේ හැඬුම බාල වන විට තරුෂි ඇසුවේ ඉතා ලෙංගතු වූ හඬකිනි. ඉනුත් මා ලද්දේ යම්තරමකට අස්වැසිල්ලකි. එය එසේ යැයි කීමට මම හිස සැළුවෙමි.
“අනේ…ඔයා කෙට්ටුත් වෙලා කෙල්ලේ…අසනීම වෙලා හිටියාද…? අපි දන්නෙවත් නැහැ…”
පසුතැවිළි හඬකින් ඈ කියන විට මා මුවින් යළිත් සුසුමක් පිටවිණි.
“අසනීප වුණේ නැහැ…ඒත් ඉතින්…උදේ පාන්දර ඇහුරුණු වෙලේ ඉඳන් වැඩ, වැඩ ඉවරයක් නැහැ…ගේ ඇතුළේම හිර වෙලා ඉඳලා මට දැන් එපා වෙලා…”
“එහෙනම් මාත් එක්ක ටවුන් එකට යමු…මම මේ බඩු වගයක් ගන්න ආපු ගමන් ඔයාවත් බලලා යන්න ආවේ…”
ඈ එසේ කියන විට මා සිතට දැනුණේ අසීමිත සතුටකි. කඳුළු පිසගෙන මම පිටතට පැමිණියේ ඇයට බීමට යමක් ගෙන ඒමටය. අක්කා ඒ වන විටත් බීම බෝතලයක් කඩා බන්දේසියක තබාගෙන එමින් සිටියේ බිස්කට් පැකැට්ටුවක්ද සමඟය.
“තේ බොන්න බැහැනේ මේ වෙලේ…මං බීම බෝතලයක් ගෙනාවා…ඔය බිස්කට් එක පීරිසියකට දාගන්න…”
බන්දේසිය ඈ අතින් ගන්නා මොහොතේ අක්කා කීවේ මම කාමරයට ඒමට සැරසෙන විටය.
“ඕන්නැහැ…පිට කවුරුත් නෙවේනේ…තරූනේ…”
එසේ කියා මම අක්කාට මා තරුෂි සමඟ ටවුමට යන බව කීවේ ඇගේ අවසරය පතා නොවේ. ඈ එයට අකමැත්තක් පළ නොකළ අතර මෙලෙස හෝ නිදහසක් ලැබීම විඩාබර වූ මා සිතට මහත් සැනසුමක් විය.