Pini Muthu Palasa පිනි මුතු පලස
පසු දින මම පාසලට යන විට තරුෂිත් ගිම්හානත් පැමිණ සිටිනු මම දුර තියා දුටිමි.
“ගුඩ් මෝර්නින්…”
දෙදෙනම එකවරම මට සුබ පතන විට මමද පෙරළා ඔවුනට සුබ පැතීමි. අනෙක් පස ශාලාවේ සිටින රජිව් මා නෙත ගැටුණේ එවිටය. ඔහු නොදුටුවා සේ මම වහා ඉවත බලා ගතිමි. තරුෂි මා හා කුමක් හෝ කීමට සැරසෙන බවක් ඇගේ මුහුණ දකින විට මට වැටහිණි.
“බලන්නකෝ මංදි…රජිව් අයියාගේ හිතේ හොරේ නිසාද මංදා මෙතනින් ගියා…අපි දිහා හැරිලාවත් බැලුවේ නැහැ…”
ඈ කීවේ නොමනාපය මුසු හඬකිනි.
“මං ඊයේ සිද්ධිය ඔයාලට කියන්න ඇති කියලා හිතලා ඇති…”
ගිම්හාන කීවේය.
“මාත් කමල් අයියාට ඊයේ ඒක කිව්වා… එයාත් ඉන්නේ මාර තරහකින්…”
මම හිස හරවා රජිව්ගේ පන්තිකාමරය දෙස බැලුවේ කමල් සිටිනවාද කියාය. ඔහු තවම පැමිණ නැතිවා විය යුතුය. දහවල් විවේක කාලයේ මාත් තරුෂිත් සමන්මලීත් වැට අයිනේ වූ මාර ගස යටට වී කතා බහ කරමින් සිටින විට රජිව් අප අසළට පැමිණියෙන් ඔවුන් දෙදෙන නිහඬ බැල්මක් මවෙත හෙළා මා අසළින් මෑත් වූහ. රජිව් වෙත නොසැළකිලිමත් බැල්මක් හෙළූ මම ඉවත බලා ගතිමි.
“මොකෝ මංදාකිණි…මාව දැක්ක ගමන් අහක බලා ගන්නේ…? උදෙත් ඒ වගේ…”
කිසිවක් නොදන්නා සේ ඔහු නෝක්කාඩු කියන විට මා සිතේ ඇති වූයේ නොසතුටක් මෙන්ම කෝපයකි. ඔහු කතා කරන්නේ මා වරදක් කළ අයෙකු ලෙසිනි.
“ඇයි…?”
තනි වචනයෙන් මම ඔහුට දමා ගසමින් ඇසීමි.
“ඒකම තමා අනේ මාත් අහන්නේ…ඇයි කියලා…?”
“ඒක මගෙන්ද අහන්නේ…? හරියට මම වරදක් කළා වගේ…”
“එහෙනම් මම වරදක් කළාද…?”
“වරදක් කළාද…! ඔයාට එහෙම අහන්නවත් පුළුවන්ද රජිව් අයියේ…? මට බොරු කරපු එකම…මාව රවට්ටපු එකම වරදක් නෙවේද…? රුවින්දි එක්ක කිසිම සමබන්ධයක් නැහැ කියපු එක බොරුවක් නෙවේද…?”
දෑසින් කඳුළක් ඇද නොවැටුණද මම ඇසුවේ හැඬුම්බරවය.
“ඔයා කළේ බොරුවක්…මාව විහිළුවකට ගත්තා…”
“නැහැ මංදාකිණි…ඒ හැමදේම වැරදි ඇති…ඒත්…මං ඔයාට ආදරේ කළේ බොරුවට කියන එක ඇත්ත නෙවේ…වැරැද්දක් වුණා…ඒක ඇත්ත…ඒක මං කළ දෙයක් නෙවේ…ඒකට මං ඔයාගෙන් සමාව ඉල්ලනවා…”
මම ඔහු දෙස එක එල්ලේම බලා සිටියෙමි. ඒ මුහුණේ ඒ මොහොතේ වූ හැඟීම් කියවීමට මම අපොහොසත් වූයෙමි. ඔහු නොසැළෙන බැල්මකින් මදෙස බලා සිටියේය. රුවින්දි ඔහුව බලෙන් සිප ගත්තා නොවේ. ඔහුද එයට ඉඩ හැර නිහඬව සිටියේ ඇයට අනුබලයක් ලෙසිනි. එය එසේ සිදුවූයේ එක් වරක්ම පමණක්ද..? එම සිතුවිල්ල පවා මා ගත කිලිපොළා දැමීය. එය එක්වරක් නොව කීප වරක් සිදුවුවත් ඔහු එය සාධාරණීය කිරීමට උත්සාහ දරනු ඇත.
“සමාව ඉල්ලන්නේ ඔයා වරදක් කරපු නිසානේ…වැරදි කරන්න කළින් හිතන්න තිබුණා නේද…? සමාව ඉල්ලන එක නම් හරිම ලේසියි…ඇස් දෙකටම ඒක දැකපු කෙනෙක් ඉඳලත් ඔයා ඒක සාධාරණිය කරන්න හදනවා…කවුරුත් නොදැක… කවුරුත් නොදැන…ඔයාගෙ ගේ ඇතුළෙම තව මොනව මොනවා සිද්ද වෙනවා ඇත්ද…?”
මම එක දිගටම කියවගෙන ගියෙමි.
“ගිම්හාන මේක නොදැක්කා නම් මං අදටත් ඔයාව විශ්වාස කරගෙන ඔයාට රවටිලා…”
සිතේ උපන් කෝපය මම ඔහුගේ මුහුණට දමා ගසමින් ඔහු අසළින් මෑත්ව පන්තිය දෙසට පියවර තබන විට නුදුරින් සිටි තරුෂිත් සමන්මලීත් මා පසුපස එනු මට දැනිණි. සියල්ලේ අවසානය මේ යැයි කියා මට මේ මොහොතේ සිතිණි. පුදුමයකට මෙන් මා දෑසට කඳුලු නොනැඟිණි. ඒ දුක පරයා මා සිතේ කෝපයක් ඉපිද තිබූ නිසා විය හැකිය.
“මොකද එයා කියන්නේ මංදි…?”
පන්තියට පැමිණ මා පසෙක හිඳ ගනිමින් තරුෂි මා විමසුවාය. ඔහු කී දෑ මම ඔවුන් සමඟ පවසන විට තරුෂිත් සමන්මලීත් මුහුණින් මුහුණ බලා ගත්තේ නොසතුටින් බව මම දුටිමි.
“මිස් ඔයාට බැන්න විදිය කොහොමද…? රජිව්ගේ කරේ එල්ලෙන්න දඟලනවා කියලා…දැන් රුවින්දි මොනවද කරන්නේ කියලා පේන්නේ නැත්තේ ඇස් අන්ධ වෙලා නිසා වෙන්නැති…”
තරුෂි කීවේ නොමනාපය මුසු වූ කෝපයකිනි.
“අනේ මන්දා…ගිම්හාන මේ දේ නොදැක්කා නම්…අපි වුණත් හිතන්නේ නැහැනේ රජිව් අයියා මෙහෙම දෙයක් කරයි කියලා…”
සමන්මලී කතා කළේ කළකිරීම් මුසු වූ හඬකිනි.එයින් මා සිතේද කළකිරීම උත්සන්න වූ බවක් මට හැඟිණි.
“ඒක ඇත්ත සමන්මලී…මං නං මීට පස්සේ එයා ගැන හිතන්නේ නැහැ…”
සුසුමක් මුදා හරිමින් මම කීවෙමි.
“ඔව්…ඒක නම් හොඳයි…පෙරළුණ පිට හොඳයි කියනවනේ…”
මා සුරත මිරිකමින් තරුෂි කීවේ මා කී දේ අනුමත කරමිනි. මම මඳහසක් පෑවද එය විරිත්තීමක් වූවාද කියා මම නොදනිමි.
——————————————————————————————————
අවසන් වාර විභාගය ළංව තිබූ නිසා අපි එයට සූදානම් වූයෙමු. එකට එකතුව පැරණි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් නොදන්නා ප්‍රශ්න කතා බහ කර විසඳුම් සොයමින් වැඩි කාලයක් ගෙවීමු. මේ හේතුව නිසාදෝ මට වැඩිදුර රජිව් පිළිබඳව සිතන්නට අවකාශයක් නොවිණි. මට ඔහු සිහි නොවූවා නොවේ. සිත තුළ වූයේ ශෝකයකටත් වඩා ඇති වූ කළකිරීමක් නිසාදෝ ඔහු ගැන සිතමින් එම මතකයන් සිතේ පුරවාගෙන විඳවන්නට වුවමනා නැතැයි මම මටම ඒත්තු ගන්වමින් ඔහුගේ මතකය සිතින් බැහැර කිරීමට උත්සහ දැරුවෙමි. සමන්මලීත් තරුෂිත් මට එයට සහාය වූවා කියා මම සිතමි. ඉඳහිට රජිව් මුහුණට මුහුණ මුණ ගැසුණද මම ඔහු නාඳුනන අයෙකු සේ මඟහැර පියමැන්නෙමි. එවන් විටක ඔහු මා දෙස බලා සිටියේ සිත තුළ වූ ශෝකයකින් හෝ පසුතැවීමකින්දැයි කියාත් මට නොසිතුණා නොවේ. එනමුත් මම ඒ ඔස්සේ වැඩිදුර සිතන්නට නොගියෙමි. ඉනුත් පෑරෙන්නේ අවසන මා සිතමය. ඔහු කමල් අත පවා මා හමුවන්නට වුවමනා බව කියමින් පණිවුඩ එවූවද මම මම එවැන්නකට අනුබල දීමට නොසිතුවෙමි. අවසන් වාර විභාගය ඇරඹීමත් සමඟ අපි සිටියේ යම් තරමක නිදහසකිනි. විභාගය අවසන අපි අහුමුළු වලට වී රහසේ කතා බස් කළෙමු.
“තවමත් රජිව් අයියට ආදරෙයි නේද…?”
තරුෂි එසේ මා විමසුවේ අපි දෙමහල් ගොඬනැඟිල්ල අසළ කතා බහක නිරතව සිටින විටය. ඈ එසේ අසන විට මම පුදුම වූයේ ඈ පහුගිය කාලයේම ඔහු නමවත් සිහි නොකළ නිසාවෙනි.
“විකාර…”
සැහැල්ලු හඬකින් මම කීවේ හිස ගස්සමිනි. එසේ නොසැළකිලිමත් බවක් පෙන්වීමට හෝ මට හැකියාවක් තිබීම පවා පුදුමයක් සේ මට හැඟිණි. ඒ අන් කිසිත් නිසා නොව මම එක සිතින් ඔහුට ආදරය කළ බැවිනි. මම තවමත් ඔහුට ආදරය කරනවාද කියා මට ස්ථීරවම කිව නොහැකිය. ආදරය පරදා නැඟී ආවේ ඔහුගේ චපල කම පිළිබඳව ඇතිවූ කළකිරීමය.
“ඔව්…ඔව්…මටත් පේනවා…” තරුෂි කීවාය.
“මොනවද…?”
“ඔයාට විකාර කියලා…”
“ලොකු දෙයක්…”
මවාගත් නොමනාපයක් පළකරමින් මම කීවෙමි.
“ෆස්ට් ලව් එක අමතක කරන්න බැහැලුනේ…”
මම එය නොවැටහුණාසේ තරුෂි දෙස බැලීමි.
“ඒ මොකක්ද…?”
“ප්‍රථම ප්‍රේමය…”
“විකාර…ප්‍රථම ප්‍රේමය කියලා දෙයක් තිබුණා නම් ඔය මහළු මඩම්වල වයසක අය පිරිලා ඉඳියිද…?”
“ඒ මොකෝ…?”
මා කී දේ නොවැටහුණු බවක් පළ කළ තරුෂි විමසුවේ නළල මත දෑස් රඳවාගෙනය.
“මම අහලා තියන විදියට දරුවෙකුගේ පළමු ආදරය වෙන්නේ අම්මා…ආදරය කියන දේ එයා ඉගෙනගන්නේ අම්මාගෙන්. ඒ උණුසුමෙන්, ඒ ඇස් වලින්, කතාවෙන්. ඒ තමා දරුවෙකුගේ පළමු ආදරය. ඒක අමතක කරන්න බැහැ කියනවා නම් අම්මා කෙනෙක් වයසට යත්දී මහළු මඩමකට ගිහින් දායිද දරුවෙක්…? ඕවා බොරු කතා…”
“ඔව් ඉතින්….ඒ කතාවත් ඇත්ත තමා…අම්මලා දරුවෝ ආදරෙන් හදනවා…ඒ දරුවෝ අම්මලව නොසළකා හරිනවා…”
තරුෂි සුසුමක් හෙළමින් කීවාය.
“ඔව්…ඒක එක පැත්තකින් එහෙම වෙන්න පුළුවං…ඒ වුණාට අපේ අම්මලා අපිට ආදරේ නම්…අපිව දාලා මෙච්චර කල් පිටරටකට වෙලා ඉඳියිද…? එයා අපිට ආදරේ නම් ලංකාවට එන්න එපැයි…නැත්ද…? පළමු ආදරේ කියලා දෙයක් නැහැ…රජිව් අයියා වුණත් මට ආදරයක් තිබුණා නම්…එයා රුවින්දි එයාව කිස් කරනකල් බලන් හිටියේ ඇයි…? ඒකත් බොරුවක්නේ…”
තරුෂි මා දෙස බලා සිටියේ අනුකම්පා මුසු බැල්මකිනි.
“ඔයා කියන එකත් හරි…”
කුසුම් මිස් අප කැඳවූ බව කියමින් මාලිකා අප සොයා පැමිණියෙන් අපි ගෘහවිද්‍යාගාරය වෙත පැමිණියේ අදත් කුමක් හෝ වැඩකටයුත්තක් කරගැනීමට යැයි අනුමාන කරමිනි. අප එහි යන විට චිත්‍රා මිස් කුසුම් මිස් සමඟ කතා බස් කරමින් සිටිනු දැක එකවරම මසිත ගැස්සී ගියේය. නමුත් එය සුළු මොහොතකට පමණි. ඈ දුටුමතින් මා බිය වන්නේ මන්ද කියා මම සිතුවෙමි. චිත්‍රා මිස් මා දැක මා දෙස බැලුවේ ප්‍රියමනාප බැලමකින් නොවේ. ඈ මා කැඳවූයේ මට යළිත් වරක් දොස් පවරන්නටදැයි කියා සැකයක් මා සිතේ ඇති විය. නමුත් එසේ වන්නට කිසිදු හේතුවක් නොමැත. මම ඇගේ පුත්‍රයා ප්‍රතික්ෂේප කර තිබුණෙමි. එම සිතුවිල්ල මා සිතේ ඇති කළේ කුරිරු සතුටකි. චිත්‍රා මිස් නෙරවා ගත් බැල්මකින් මදෙස බලන විට මම ඈ දෙස බලා සිනහවක් පෑවෙමි. නැත්නම් ඇයට සිනාසුණෙමි. ඈ පුදුමයෙන් මා දෙස බලා හිස ගස්සා කුසුම් මිස්ගෙන් සමුගෙන යෑමට සැරසී යළිත් මදෙස බලන විට මම යළිත් වරක් සිනාසුණෙමි. ඈ මගේ සිනහවෙන් යළිත් වරක් කෝපයට පත්වූවාට සැක නැත. ඔසරි පොට ගසා කර මතින් දමා ගත් අයුරින් ඒ බව සනාථ විය.
“මිස් එන්න කිව්වේ…?”
මම සිතා මතා උස් හඬින් අසන විට චිත්‍රා මිස් නැවත වරක් හැරී බලනු මම නෙත් කොණින් දුටිමි.
“පේපර් ටික බලන්න එන්න කිව්වෙ ළමයිනේ…ඔය මේසේ ලෑස්ති කරලා ගන්නකෝ…”
අපි තිදෙන එකතුව මේසය අස් පස් කොට දමා ප්‍රශ්න පත්තර බලන්නට සූදානම් වූයෙමු.
අවසන් වාර විභාගය පැවත්වෙන කාලය වුවද විභාග අවසන් වූවත් අපට ඉක්මනින් නිවෙස් වෙත යාමට අවස්ථාවක් නොවීය. ප්‍රශ්න පත්තර වලට පිළිතුරු ලියා අවසන්ව කිරීමට කිසිත් නොවූ කල අපි බොහෝ විට පුස්තකාලයට වී කල් ගෙවීමු. එදින කමල් සහ තරුෂි පහළ කතා බහක නිරතව සිටි බැවින් මම පුස්තකාලයට පැමිණියේ තනිවමය.කියවීමට තරම් පොතක් සොයා ගත නොහැකිව මම සුළු මොහොතක් එහි රැඳී හිඳ පහළට පැමිණෙන විට රජිව් පඩි පෙළ නඟිමින් සිටියේය. ඔහු හමුවූයේ අහඹු ලෙසිනි. මම ඔහු නොදුටුවා සේ පඩි පෙළ බැසීමට සැරසුණද ඒ රුව දැකීමෙන් මා හද ගැස්සුණු බව නොකීවොත් එය මුසාවකි. සැබෑවටම ඔහු දැකුමෙන් මසිත පුරා විදුලි රේඛාවක් ඇදී ගියාක් මෙන් සියුම් හිරිවැටීමක් සමඟ තිගැස්මක්ද ඇති විය. එය නොතකමින් මම බිමට නැඹුරු වූ හිසින් පඩි පෙළ බැසීමි.
“මංදාකිණි…”
ගැඹුරු හඬින් ඔහු මා අමතන විට පහළ පඩියට තැබූ පය ආපස්සට ගෙන ඔහු වෙත හැරුණේ තිගැස්මට පත් වූ මා සිත සන්සුන් කරගැනීමට ආයාසයෙන් තැත් දරමිනි. මේ මොහොතේ ඔහු මා ඉදිරියට ඒවි යැයි කියා මම නිකමට හෝ නොසිතුවෙමි. ඔහු මා අමතන්නේ මන්ද….? පඩි කීපයක් බැස ඔහු මා අසළට පැමිණියේය. එවිට මම හිස ඔසවා ඔහු දෙස බැලීමි. ආයාචනාත්මක බැල්මක් ඔහුගේ දෑසේ විනැයි කියා මට සිතිණි. ඔහු එක එල්ලේ මා දෙසම බලා සිටියේ කුමක් හෝ දෙයක් කීමට සූදානමින් මෙනි.