Pini Muthu Palasa පිනි මුතු පලස
පාසලට පැමිණියද මම කිසිවෙකු හා කතා බහට නොගියෙමි. රජිව් මෙදිනත් පාසලට පැමිණ නොසිටියේ තවමත් අසනීපයෙන් පසුවන නිසා විය යුතු යැයි මම අනුමාන කළෙමි. විවේක කාලයේදී මාත් තරුෂිත් පිටතට ගොස් පැමිණෙන විට තක්ෂිලාත්, මාලිකාත් ගුරු මේසය අසළ සිටගෙන කතා බහක නිරතව සිටි අතර එම කතා බහ නවතා තක්ෂිලා අප වෙත හෙළූ උපහාසාත්මක සිනහව මා දෑසට මඟ හැරී ගියේ නැත.
“මංදි…”
මා අසුන කරා යාමට සූදානම් වුවද මාලිකා මා ඇමතූ හඬින් මම ආපසු හැරී ඈ දෙස බැලීමි.
“මිස් ඊයේ ඔයාට බැන්නද…?”
තක්ෂිලා කෙරෙන් මෑත් වූ මාලිකා මා විමසන විට මම ඈ දෙස වුවමනාවෙන් බැලුවේ මා සිතේ තුවාලය පාරා ඈ සතුටු වීමට උත්සාහ දරනවාදැයි සැකයකින් යුතුව වුවද ඇගේ මුහුණින් පළ වූයේ ඈ කෝපයට පත්ව සිටින බවකි. පෙර දින ඈ පාසල් නොපැමිණි නිසා සිදු වූ කිසිත් ඈ නොදැන සිටි නිසා තක්ෂිලා ඈ හා පුවත සැළ කරන්නට ඇතිවාට සැක නැත. මම මාලිකාට පිළිතුරක් දීමට නොසිතුවෙමි.
“ඔය ලැජ්ජාව නිසා කට පියන් ඉන්නේ…තටු සිඳිලා…ඒකයි….”
තක්ෂිලාගේ කතාව මා සිතේ යටපත්ව තිබූ කෝප ගින්න ඇවිළීමට සමත් විය. මම ඈ වෙතට ගියේ අඩියට දෙකටය.
“කාගෙද තටු සිඳිලා තියෙන්නේ…?”
ගිනිගත් දෑසින් මම තක්ෂිලා දෙස බලා ඇසුවේ පුපුරා හැළෙන කෝපයෙනි.
“කාගේ කාගෙත් තමා…අපි දන්නවා මිස් බැනපුවා…”
ළය හරහා දෑත් බැඳ ගනිමින් තක්ෂිලා කීවේ හිස ගස්සා ඉවත බලා ගනිමිනි.
“කේළම් කියලා තව කියවන්නත් එනවද…?”
මා අත දිග හැර ගැසූ කම්මුල් පහරින් සමබරතාවය බිඳී ගිය තක්ෂිලා ඇද නොවැටී බේරුණේ ගුරු මේසය අල්ලා ගත් නිසාය. මගෙන් එවන් ප්‍රහාරයක් එල්ල වේයැයි බලාපොරොත්තු නොවූ ඈ එක්වරම සිදු වූ දෙයින් කම්පනයට පත්ව මා දෙස බලා සිටියේ කම්මුල දෑතින් බදා ගෙනය. ළමුන් සියළු දෙනම මා වටකොට ගත්තේ තක්ෂිලා මට පහර දීමට පෙරට පැනීමට සූදානම් වන විටය. ගිම්හාන මගේ අතින් ඇදගෙන මා මගේ අසුන කරා කැඳවා ගෙන ආවේත් විදුර තක්ෂිලාව අතින් අල්ලාගෙන ඉවතට ඇද ගත්තේත් එකම විටය.
“තක්ෂිලා…තමුසේ කේළම් කියලා පාවලා දුන්නේ අපේම එකෙක්ව කියලා අමතක කරන්න එපා…තමුසෙට මොනවා හරිම වුණත් අපි නම් පැත්තවත් හැරිලා බලන්නේ නැහැ…මතක තියා ගන්නවා… ඔය චිත්‍රා මිස්වත් තමුන්ව ගණන් ගනියි කියලා හිතන්න එපා…මොකද එයා රජිව්ව තමුසෙට බන්දලා දෙයි කියලාද හිතන් ඉන්නේ…?”
විදුරගේ හඬ කෝපයෙන් පිරී තිබිණි. ලැජ්ජාවත් කෝපයත් නිසාදෝ තක්ෂිලා විදුරගේ අතත් ගසා දමමින් සිය අසුන කරා පැමිණ මේසයට හිස ඔබා ගත්තාය. මම සිටියේ තවමත් පහව නොගිය කෝපයෙනි.
“රජිව් අයියාව අල්ල ගන්න බැරි වුණ නිසා ඊර්ෂ්‍යාව…ඒකටයි ඔය පළි ගත්තේ…එකට ඉන්න උන්ටත් ඔය වගේ බලු වැඩ කරන්න හොඳ නැහැ…”
සමන්මලී කී දෙයින් ඇගේ කෝපය වැඩි වූවා වන්නට ඇති මුත් මා සිතේ අනුකම්පාවක් නම් නොඉපදිණි. පාසල නිම වී මම සිතා මතා මඳක් පමා වූයෙමි. කමල් ගේට්ටුව අසළ රැඳී සිටි අතර ඔහු නැවතී සිටියේ මා එනතුරු බව කීවේය.
“මංදාකිණි නංගී…මොකද වුණේ ඊයේ…මිස් බැන්නලු නේද…?”
පිළිතුරක් නොදුන් මා කළේ සුසුමක් හෙළීමය.
“මමත් ඊයේ ඉස්කෝලේ ආවේ නැහැනේ…තරූ මට අද උදේ විස්තරේ කිව්වේ…”
ඔහු කියන විට මම තරුෂි දෙසට නිහඬ බැල්මක් හෙළීමි.
“මොනවා වුණත් කමල් අයියේ…තක්ෂිලා කළේ නම් හරිම කැත වැඩක්…”
අලුතින් ඇති වූ කෝපයකින් තරුෂි කීවාය.
“ඒකනේ…මේ කෙල්ලට මංදාකිණි එක්ක තියන තරහ මොකක්ද…?”
කමල් ඇසුවේ එයට හේතුව මා දන්නවාදැයි විමසන බැල්මකින් මදෙස බලමින් වුවද මම එය දැන නොසිටියෙමි.
“රජිව් අයියාට දැන් කොහොමද කමල් අයියේ…?”
පෙර කී කතාබහෙන් මා හෙම්බත්ව සිටි නිසා කතා බහ වෙනතකට යොමු කරන අටියෙන් මම ඇසුවෙමි. ඊටත් වඩා මට ඔහු පිළිබඳව දැන ගැනීමටද වුවමනා විය.
“දැන් නම් හුඟාක් හොඳයි කියලා මට චිත්‍රා මිස් කිව්වා…හෙට එයි මං හිතන්නේ…”
ඇගේ නම ඇසීමත් දැන් මට අප්‍රිය වූ නිසා ඔවුන්ගෙන් සමු ගත් මා ගුරු පාර දිගේ සෙමෙන් ඇවිද ආවෙමි.
——————————————————————————————————
පසු දින මා පාසලට පැමිණෙයේ සිතා මතා පමා වෙමිනි. පන්තියට පැමිණෙන විටම සීනුවද හැඬවුණු අතර රජිව් මෙදින පාසල් පැමිණ ඇති බව මා දුටුවේ බෑගය මේසය මත තබන විටය. ඔහුද මා දෙස බැලූ අතර මම සිතා මතාම ඔහුගේ බැල්ම මඟ හැර ඉවත බලා ගතිමි. කමල් ඔහු හා සියල්ල පවසන්නට ඇතැයි මම අනුමාන කළෙමි. කොයි යම් මොහොතක හෝ ඔහු මා සමඟ කතා බහ කිරීමට පැමිණෙනු ඇති බවට සැකයක් නැත. මම දැනටමත් ඔහු හා කතා බහ නොකිරීමට තීරණය කොට සිටියෙමි.
“මොකද අනේ පරක්කු වුණේ…මං හිතුවා අද නෑවිත් ඉඳියි කියලා…”
තරුෂි මට රහසින් කීවාය.
“ඇයි…?”
“රජිව් අයියා ඔයා එක්ක කතා කරන්න බලන් හිටියා උදේ ඉඳන්…”
මම එයට කිසිත් නොකියා නිහඬව සිටියෙමි.
“මේ අද තක්ෂිලා ඇවිත් නැහැ නේද…?”
මාලිකා අප වෙත හැරී විමසන විටයි මටත් ඒ බව සිහි වූයේ. ඇගේ අසුන හිස්ව තිබිණි.
“කාපු කනේ පාරේ සැරට උණ ගැනෙන්න ඇති…”
විදුර උපහාසය මුසුව කීවේය.
“හැබැයි හොඳ වැඩේ වුණේ…”
දුලානිද කීවේ ඇයට ලැබුණු දඬුවම ගැන සතුටු වන්නාක් මෙනි. මා සිතේ ඈ කෙරෙහි කිසිදු අනුකම්පාවක් නම් නොවිණි. දේවින්ද සර් පන්තියට ආ නිසා අපේ කතා බහ නැවතිණි. විද්‍යා විෂයට ආසා කළ නිසාත් දේවින්ද සර්ගේ සරළ ඉගැන්වීමුත් නිසා මම වෙන යමක් ගැන නොසිතා මුළු අවධානයම පාඩමට යොමු කළෙමි. එම පරිච්ඡේදය ගෙවී ගියේ ඉතා ඉක්මනිනි. රජිව්ගේ පන්ති කාමරය දෙස නොබලා සිටීමට මම කෙතරම් උත්සාහ කළද මට නොදැනීම මගේ දෑස ඒ රුව සොයා යාම වළකා ගැනීමට මම අපොහොසත් වුණෙමි. වරෙක ඔහුද මෙදෙස බලා සිටිනු දැක මම තිගැස්මෙන් ඉවත බලා ගත් අවස්ථා බොහෝය. දෑස් ඔහු කෙරෙන් සඟවා ගත්තද සිත පුරා පිරෙන ඔහුගේ සිතුවිළි වලින් මම මා සිත කෙළෙස වළකා ගන්නද…? මම ඔහුට ආදරය කරන බව සැබෑය. ඔහු හමු වී කතා බහ කිරීමට කෙතරම් වුවමනා වුවද ඒ සෑම මොහොතකම මා සිහියට නැඟුණේ චිත්‍රා මිස් මට කරන ලද අපහාසාත්මක වදන්ය. එය මා සිත අලුතින් වඩ වඩාත් වේදනාවට මෙන්ම කෝපයටත් පත් කළේය. විවේක කාලය එළඹෙන විටම මම සැවොමගෙන් වෙන්ව තරුෂිට හෝ නොදන්වා පුස්තකාලයට පැමිණියෙමි. කියවන්නට පොතක්ද ගෙන මම එහි බිත්තිය අයිනේම අසුනක හිඳ ගතිමි. මා හිඳ සිටි තැනට ජනේලයෙන් අප පන්ති කාමරය හොඳින් දිස්වේ. රජිව් සහ කමල් අප පන්තියෙන් පිටත බිත්ති කණ්ඩියට බරදී තරුෂි සමඟ කතා බහකය. ඔහු මෙසේ පැමිණෙන බව මම සැබෑවට දැන සිටියෙමි. මම මෙහි පැමිණියේ ඔහු මඟහැරීමේ වුවමනාවටය. පොත පෙරළාගෙන සිටියද මා දෑස් වූයේ ඔවුන් වෙතය. විවේක කාලය අවසන් වන තුරුම මම එලෙසම එහි හිඳ සිටියේ පොතේ අකුරක් හෝ නොකියවාමය. සීනුව නද වී සුළු මොහොතකට පසු මම පන්තියට ගොඩ වන විට තරුෂි නොසතුටු බැල්මකින් මා දෙස බලන විට මා මුවට සිනහ නැඟිණි.
“කොහේද මෝඩයෝ නොකියාම වාෂ්ප වුණේ…?”
සිය නොමනාපය ඈ වචන වලින් දමා ගැසුවාය.
“ඇයි…?”
කිසිත් නොදන්නා සේ මම පුදුමයට පත් බවක් පළ කළෙමි.
“හැයි තමා…රජිව් අයියා හෙවුවා…”
“කාවද…?”
“කාවද…? උඹේ ආච්චිව…”
මම සිනහවක් පෑවෙමි.
“ආච්චි මැරිලා කොයි කාලෙද…?”
තරුෂි ඇවිස්සීමට සිතා මම කියන විට ඈ රවා ගත් දෑසින් මා දෙස බලා සිටියාය. එය නොතකමින් මා කළේ ඉවත බලා ගැනීමය. පාසල අවසන් වූ විගසම මම පිටතට දිව ආවේ රජිව්ට මා මුණ ගැසීමට වුවමනා බව තරුෂි පුන පුනා කියන විටත් ඇයට කන් නොදීමය. මට පැහැදිලිවම වුවමනා වූයේ ඔහුව මඟ හැරීමය. එසේ මා ඔහුව මඟ හරින විට එය ඔහු සිතට වේදනාවක් එක්කළ බවට සැකයක් නැත. මම දින කීපයක්ම මෙසේ පමා වෙමින් පාසලට පැමිණියෙමි. තරුෂිට මෙය ඉසුළුම් නොවූවකි. ඈ මට දොස් කියන්නට වූවාය.
“ඇයි බං මෙහෙම කරන්නේ…?”
මා සිතා මතාම මෙසේ කරන බව දැන ඈ විමසුවාය.
“ඇයි…මං මොනවද කළේ…?”
කිසිත් නොදන්නාක් මෙන් මම ඇසීමි.
“පව් අර කොල්ලා…කී දවසක් නම් බලන් හිටියද මෙයා එක්ක කතා කරන්න…”
“මොනව කතා කරන්නද…?”
නොසතුටෙන් මම කීවේ නොසැළකිලිමත් හඬකිනි. තරුෂි නිහඬ වූයේ මා සමඟ කතා බහ කර පළක් නැතැයි වැටහුණු නිසාද නැතිනම් මේ මොහොතේ මා පසුවන තත්වය වටහාගෙනදැයි කියා වැටහුමක් මට නොවීය.
තක්ෂිලාද පාසලට පැමිණ සිටියේ දින ගණනාවකට පසුවය. ඈ කිසිවෙකුට මුහුණ දී කතා බහ නොකලා සේම කිසිවකු හෝ ඇයත් සමඟ කතා බහට නොගියේය. මාලිකා සිය අසුන රොෂානි සමඟ හුවමාරු කරගෙන තිබුණේ තව දුරටත් තක්ෂිලා සමඟ මිතුරු කමක් නැතැයි ඇගේ මුහුණටම පවසමිනි. පිරිමි ළමුන් ඇයට අලුත් නමක් පට බැඳ තිබුණේ “ගොට්ටී” කියාය. මෙය තක්ෂිලාගේ කෝපය වැඩි කරළීමට සමත් වූවාට සැක නැත. ඔවුන් යනෙන සැම විටකම ඇයට එනමින් විසුළු කළ අතර එයින් තක්ෂිලාගේ කෝපය උත්සන්න වූවාට සැක නැත. සෑම උදෑසනකම ඇගේ මේසය මත කඩදාසි වලින් සෑදූ ගොටු කීපයක්ද දමා තිබෙන බව මා හා කීවේ ගිම්හානය. මම ඒ පිළිබඳව වුවද සැළකිල්ලක් නොදැක්වීමි.
“රජිව් අයියාත් තක්ෂිලාට හොඳට කියලා තිබ්බා…”
තරුෂි මා හා කීවාය. එයින් මා සිතේ සතුටක් ඇති වූවා කියා මම නොසිතමි.
“තමුන්ටම විඳවන්න දවසක් එනකල් තව කෙනෙක්ගේ වේදනාවක් දුකක් අනික් කෙනාට දැනෙන්නේ නැහැ මංදි…ඒක තමා ස්වභාවය…චිත්‍රා මිස් වුණත් අර විදියට ඔයාට කතා කළේ තමුන්ගේ පුතාගේ පැත්තෙන් බලලනේ…දරුවෝ කවුරුත් දරුවෝ කියලා හිතන්න එයාට බැරි වුණා…එයා දුන්නේ අවවාදයක් නෙවේනේ…ගුරුවරියක් විදියට අවවාදයක් දුන්නා නම් ඒක වෙනම කතාවක්…කරුණාවෙන් කරුණු පැහැදුවා නම් ඒක හරි…ඒ වෙනුවට එයා කළේ කටු බැල්ලි වගේ ඇඟට කඩන් පැන්න එක…තක්ෂිලා කළේ රජිව්ගෙන් පළි ගන්න ඔයාව පාවලා දීපු එක…දැන් ඉතින් එයාටම රිදිලා…අපි කවුරුත් කතා කරන්නේත් නැහැ…ගණන් ගන්නෙත් නැහැනේ…”
ගිම්හාන එසේ කීවද මා සිතේ අනුකම්පාවක් ඉපදුණේම නැත. මටද සුදු චරිතයක් වීමට වුවමනා නැත. මා සිතා මතා හෝ ඇයට වරදක් නොකළ බව මම දනිමි. එසේ තිබියදීත් ඈ මගෙන් පළි ගැනීමට සිතා මෙවැන්නක් කළේ මන්ද…? මටද හොරා මගේ දෑස් රජිව්ගේ පන්ති කාමරය වෙත දිව යන විට මම වහා නෙතු ඉවතක රඳවා ගත්තේ ආයාසයෙනි.
“කවදා වෙනකල් ඔයා එයාව මඟාරිනවද මංදි…? හිතින් විඳව විඳව ඉන්නැතිව ගිහින් ඒ කොල්ලා එක්ක කතා කරන්න…”
තරුෂි මා හොඳින් නිරීක්ෂණය කළ නිසා එසේ පැවසුවා වන්නට ඇත. මා මුවින් සුසුමක් පිට වූයේ මාද නොදැනුවත්වමය.
“දැන් ඉතින් මොනවා කියලා කතා කරන්නද තරූ…?”
ශෝකී හඬකින් මම කීවෙමි.
“මම ඔයා වුණා නම් කරන්නේ රජිව් අයියාව මඟාරින එක නෙවේ…”
“එහෙනම්…?”
මම ඇසුවේ පුදුමයෙනි.
“හැමෝටම පේන්න එයත් එක්ක කතා කරන එක…”
“මට එච්චර හයියක් නැහැ තරූ…අර තරමටම නින්දාවක් වින්දටත් පස්සේ…කාටද ඕන හැමෝටම පේන්න කතා බහ කරන්න…? ඊට පස්සේ තව මොනවා මොනව අහන්න වෙයිද දන්නැහැ…”
“ඔයාගේ හිතේ වේදනාව මට නොතේරෙනවා නෙවේ මංදි…ඔයා දන්නේ නැහැනේ…රජිව් අයියා මිස් එක්ක සංඩු වෙලා ගෙදරින් ගිහින්…කමල් අයියලා ගෙදර ඉන්නේ…දැන් එහේ ඉඳන් ඉස්කෝලේ එන්නේ…”
මම තිගැස්මෙන් තරුෂි දෙස බැලීමි. එය මට අලුත් පුවතක් විය. මගේ නෙත් එවර රජිව් සොයා වුවමනාවෙන්ම දිව ගියේය. ඔහු සිටියේ පාඩම කෙරෙහි වූ අවධානයෙනි.
“කවුද තරූ කිව්වේ…කමල් අයියාද…?”
“හ්ම්ම්…පව් අනේ…රජිව් අයියාත් ඉන්නේ හරිම අප්සට් එකෙන්…ඒ අස්සේ මෙයත් ගණන් උස්සනවා…”
තරුෂි නොමනාපයෙන් කීවාය. මේ කිසිත් මම දැන නොසිටියෙමි. ඔහු කෙරෙහි උපන් අනුකම්පාවෙන් මසිත බර විය. ඔහු සමඟ කතා බහ කළ යුතුද කියා මා සිටියේ දෙගිඩියාවෙනි.