NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස -11

Pini Muthu Palasa පිනි මුතු පලස -11

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

රාත්‍රිය අඳුරේ ගිළී තිබූ අතර අහසේ එකදු තරු කැටයක් හෝ දක්නට නොවිණි. අඳුරු වලාකුළු සඳවතියද වසා දමා අහස අඳුරේ ගිල්වා තිබිණි. කණාමැදිරියන් අඳුර දුරුකරන්නට මෙන් එහේ මෙහේ ඉඟිළෙති. මා ඉස්තෝප්පුවේ හිඳ සිටි තැනට අහස හොඳින් දිස්වේ. වැහි වළාකුළු අහස පුරා පාවී ගියේය. අඳුරු අහස මතද මට පෙනුණේ රජිව් ගේ සොඳුරු රුවය. සිත තුළ සියුම් හිරිවැටීමක් දිව යන විට මට සිහි වූයේ මෙදින උදෑසන සිදුවූ සිදුවීම් පෙළය. එය සිහිවන මොහොතක් පාසාම මා සිත සිනිඳු පිහාටුවකින් පිරිමදින්නාක් මෙන් කිති කැවෙයි. මම දිගු හුස්මක් ඇද ගත්තේ ළය සැහැල්ලු කරගැනුමටය.

“මොකද චූටි නංගී…?”

අක්කාගේ හඬින් මම තිගැස්සී ගියෙමි. ඈ මා පසෙක සිටි බවක් මම දැන නොසිටියෙමි.

“ඇයි…?”

වෙනසක් නොඅඟවා මම ඇසුවේ නොමනාපය මුසු හඬකිනි. ඈ මා කම්මුලට ගැසූ දා පටන් අප අතරේ වැඩි කතා බහක් නොවීය. වුවමනා දෙයකට හැරුණු කොට මම අක්කා සමඟ කතා බහ නොකර සිටියේ සිතා මතාමය. පසුගිය දිනවල වුවද ඈ රෝගීව සිටින විට මම ඈ පිළිබඳව සොයා බලා උවටැන් කළේ හුදෙක් යුතුකමක් ලෙස සළකා මිස ඈ කෙරෙහි ඇති අනුකම්පාවෙන් හෝ සහෝදර ප්‍රේමයකින් නම් නොවේ.

“හූල්ලන්නේ මොකද කියලා ඇහුවේ…?”

“හූල්ලනවා නෙවේ…හීල්ලෙනවා…මේ සිද්ද වෙන දේවලට…”

මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

“ඒක නම් මටත් පෙනිලා තියෙන්නේ…ඔයා දැන් ටික දවසක ඉඳන්…පැත්තකට වෙලා හූල්ල හූල්ල ඉන්නවා කියලා…”

ඇයද එසේ ඇනුම්පදයක් එල්ල කරන විට මම වහා අසුන මතින් නැඟී සිටියෙමි.

“මොකක්ද ඒ කතාව…?”

නොරිස්සුමෙන් මම ඇසුවද තරමක තිගැස්මක් මා සිතේ නොවූවා නොවේ.

“ඔළුවේ අනම් මනම් තියා ගන්නැතුව විභාගේ ගැන හිතලා පාඩම් කරන්න…”

ඈ එසේ කියා ගෙතුළට ගියේ මා කිසිත් කීමටත් පෙරය. අක්කා මා පිළිබඳව විමසිල්ළෙන් පසු වූවා වන්නට ඇත. මම යළිත් මා හිඳ සිටි අසුනේම හිඳ ගත්තේ නොසන්සුන් සිතිනි. ඉඳහිට පාරේ යන අයෙකු මා දෑසට හසු විය. පරිසරයේ වූ නිහඬ බව බිඳී ගියේ අසළ නිවසක බල්ලෙකු බුරන හඬින් පමණි.

“ඔය දොර වහලා දාලා ගෙට එන්න…දැන් රෑ වෙලා…”

අක්කා ගෙතුළේ සිට මට අඬගැසුවාය. එක්වරම ඇගේ කීමට අවනත සිතක් මවෙත නොවීය. මම හිතුවක්කාර ලෙස එලෙසම හිඳ හිස් අහස දෙස බලා සිටියෙමි.
මට අම්මා සිහි විය. ඈ විසින් එවන ලද ලිපියකට හෝ මම පිළිතුරු ලිපියක් යැවීමට උනන්දු නොවීමි. සියල්ල කෙරෙහි මා සිතේ වූයේ බලවත් වූ කළකිරීමකි.

“චූටි නංගී…රෑ වෙලා…”

අක්කා යළිත් වරක් දොරකඩින් එබී බලා කෑ ගැසුවේ ඒ බවක් මා නොදන්නවාක් මෙනි. කෝපයෙන් මම නැඟී සිටියේ පුටුව හඬ නඟා පසුපසට කරමිනි. ඈ නොපෙනී ගියේ මට රවමිනි. ගෙතුළට පැමිණි මම දොර වසා දැමුවේ අක්කා කෙරෙහි උපන් නොමනාපයෙනි. මා සිතේ ඈ කෙරෙහි ඇතිව තිබූ නොමනාපය මේ වන තුරුම පහව ගොස් නොතිබිණි. අම්මා විසින් එවන ලද ලිපියට පිළිතුරු නොලීවා කියාත් ඈ පහුගිය දිනක මට දොස් පැවරුවාය. ඒ පිළිබඳවත් මා සිටියේ නොමනාපයෙනි. ඇය වුවද අම්මාට ලියන්නේ හුදෙක් ඇගෙන් ලැබෙන මුදල් නොලැබී යාවි යැයි ඇති බිය නිසා මිස අම්මාට ඇති ආදරයෙන් නොවන බව මම හොඳාකාරවම දැන සිටියෙමි. කාමරයට වන් මා දොරත් අඟුළු ලා ගෙන යහනට වැටුණෙමි.
——————————————————————————————————
සුළඟට සෙළවෙන බෝ ගසේ කොළවලින් නැඟුණු සිලි සිලි නද දෙසවනට මිහිරි වුවද මා සිටියේ නම් තරමක බියකිනි.රජිව් සමඟ කතා බහ කරන්නට තරුෂි මා කැඳවා ගෙන ආවේ බෝධිය අසළටය. ඔවුන් දෙදෙන නුදුරින් සිටියද මසිත සියුම් තිගැස්මකින් ගැහෙයි.

“මාත් එක්ක කතා කරන්න ඔය තරම් බය මොකද මංදාකිණි…?”

රජිව් එසේ අසන්නට ඇත්තේ මා බියෙන් වටපිට බලමින් සිටි නිසා වන්නට ඇත.

“බය ඔයා එක්ක කතා කරන්න නෙවේ…”

“එහෙනම්…?”

“කවුරු හරි දකියි කියලා…”

ඇසෙන නොඇසෙන හඬින් මම කීවෙමි. ඔහු මගේ කොණ්ඩ කරළේ ගැට ගසා සිටි රිබන් පටියක් ඇද ලිහා දැමුවේය.

“අනේ…”

එම දඟකාර කමට බොරුවට රවමින් මම එය යළි ගැට ගසා ගත්තේ යටැසින් ඔහු දෙස බලමිනි.

“පිස්සී…කවුරු දකින්නද…? තවම ළමයි කවුරුවත් හරියට ඉස්කෝලෙට ඇවිල්ලත් නැහැ…මෙයා බොරුවට බයේ දඟලනවා…”

ඔහු සෙමෙන් හිසට ටොක්කක් අනිමින් කීවේ සරදම් සහගත හඬකිනි.

“මේ ගස් ගල් වලටත් කන් තියනවා රජිව් අයියේ…මිස්ට දැනටමත් ආරංචි වෙලාද කියලායි මට බය…?”

“විකාර ඔයාට…තාම අපි හරියට කතා කරන්නවත් පටන් ගත්තේ නැතුව අම්මා කොහොම දැන ගන්නද ළමයෝ…? අනික එහෙම දැන ගත්තා නම් එයා ඒක මුළින්ම අහන්නේ මගෙන්…දැන ගත්තත් මොකෝ…අපි පොඩි උන් නෙවේනේ…”

ඔහු එය කීවේ සැහැල්ලුවෙන් වුවද මසිතේ නම් එවන් වූ සැහැල්ලුවක් නොවිණි.

“ඒත් ඉතින් තාම ඉගෙන ගන්නවානේ…”

“ඒකට බාධාවක් වෙන්නේ නැහැනේ මංදාකිණි…මම ඔයාට අනවශ්‍ය බලපෑම් කරන්නේ නැහැ…ඔයා ඉගෙන ගන්න එක හොඳට කරන්න…”

“මං දන්නවා…ඒක නෙවේ…මට දැනගන්න දෙයක් තියනවා…”

“මොකක්ද…”

“කවුද රුවින්දි කියන්නේ…?”

මම දැඩි වුවමනාවකින් ඔහුගේ මුහුණ දෙසම බලා විමසුවේ එම පැනයෙන් ඔහුගේ මුහුණේ යම් වෙනසක් සිදුවේදැයි දැනගැනීමට වුවද එහි කිසිදු වෙනසක් නම් සටහන් නොවිණි. ඒ වෙනුවට ඔහුගේ මුවේ ඇදුණේ සරදම් සහගත සිනහවකි.

“ඔයා ඒ ගැන අහපු එක හොඳයි…රුවින්දි කියන්නේ නැන්දාගේ දුව…එයා මට විශේෂ කෙනෙක් නෙවේ…හැබැයි එයා එහෙම හිතන් ඉන්නවා ඇති…මට එයා ගැන විශේෂ හැඟීමක් නැහැ…ඔයා ඒ ගැන සැකයක් ඇති කර ගන්න එපා…හොඳද…?”

මම හිස සැළුවේ මා සිතට යම් සැහැල්ලුවක් දැනුණ නිසාය. මම ඔහු කී දේ විශ්වාස කළෙමි. ඉන්පසු අපි බොහෝ වරක් මෙසේ හමුවී කතා බස් කළෙමු.බෝ ගහ යට, අරලිය ගස සෙවනේ, දෙමහල් ගොඩනැඟිල්ලේ පඩි පෙළ පාමුළ, ගෘහ විද්‍යාගාරය පිටුපස මේ සෑම තැනකම හිඳ අපි හොරෙන් කතා බස් කළෙමු. එය සොඳුරු තැති ගැන්මකින් යුත් අත්දැකීමක් විය. තරුෂි, දුලානි, ගිම්හාන, සමන්මලී හෝ කමල් අපේ රහස් ඔත්තු කරුවන් විය. කිසිවෙකු පැමිණේවි යැයි කියා ඔවුන් සතර දෙසින් හිඳ අපට කතා බහ කිරීමට ඇවැසි මඟ සළසා දුන්හ. ඔවුන් සැවොම අපේ සහයට සිටියා වුවද මම ඔහු සමඟ කතා බහ කිරීමට ගියේ සැමවිටම බියගත් සිතිනි. මසිත කෙතරම් ඔහු හා දොඩමළු වීමට ආශා වුවද බිය එයට එරෙහි විය. ආදරයක් සිතට එබුණු දා පටන් සිත නිතර සොයන්නේ තමා ආදරය කරන අය දකින්නටය. කතා බහ කරන්නටය. ළඟින් හිඳ සිතුවිලි බෙදා හදා ගන්නටය. මමද එවැන්නියක් වූ මුත් බිය නිසාම පසුබසිමින් සිටින්නට විය. රජිව් නිතරම උත්සාහ කළේ මගේ එම බිය දුරු කරළන්නටය.

“ඔයා ඕනවට වඩා හිතනවා මංදාකිණි… බලන්නකෝ…තරූ කමල් එක්ක බය නැතුව කතා බහ කරන්නේ…”

වරෙක ඔහු හමු වී කතා බහ කරන විට රජිව් කීවේ නුදුරින් සිටින තරුෂි පෙන්වමිනි.

“කමල් අයියාගේ අම්මා ටීචර් කෙනෙක්වත් එයා අපේ ඉස්කෝලේ උගන්නන්නේත් නැති නිසානේ තරූ බය නැතුව කමල් අයියා එක්ක කතා බහ කරන්නේ…”

මම ඇනුම්පදයක් ලෙස කීවෙමි.

“අම්මෝ…අම්මෝ…පණ්ඩිත ආච්චිගේ කට තිබුණාට මොකද පණ බයයි…”

ඔහු මගේ කන් පෙත්තක් සොළවමින් කීවේ උස් හඬින් සිනහසෙමිනි.

“එපා අනේ…කවුරු හරි දකියි…”

නොමනාපයෙන් මම කීවා වුවද ඔහුගේ එම ක්‍රියාව මම සිත යටින් අනුමත කළා මෙන්ම එයින් අමුතු හැඟීමකින් හිරිවැටී ගියෙමි.

“ආදරේ කරන්න බය වෙලා බැහැ මංදාකිණි…”

ඔහු මවෙත නැඹුරුව කියන විට මම යටැසින් ඔහු දෙස බැලුවෙමි.

“බය ආදරේ කරන්න නෙවේ…ඔයාගේ ටීචර් අම්මාට…”

ඔහුගේ මුවේ සිනහවක් නංවමින් මම කීවෙමි.

“මේකි නම් හොඳටම පැහිලා…”

ඔහු මගේ කන් පෙත්තක් අල්ලා ගන්නට සැරසෙන විට මම ඔහුගේ පිටි අත්ලට පහරක් ගැසීමි.

“රිදුණා…”

“රිදෙන්න තමා ගැහුවේ…කවුරු හරි දකියි…”

“දැකපු දෙන්…ඔයා මගේනේ…”

මසිතේ ලැජ්ජා මුසු හැඟීමක් ඉහිරී ගියේය. තක්ෂිලාත් මාලිකාත් අප සිටි දෙසට පැමිණෙන බව ගිම්හාන කීවෙන් මාත් තරුෂිත් දුලානි සහ ගිම්හානත් සමඟ පන්ති කාමරය දෙසට එන විට කමල් සහ රජිව් අපෙන් සමුගෙන අනික් පසින් ඉවතට ගියෝය.

“ආහ්…ළමයි…ගුඩ් මෝර්නින්…කෙහෙද මේ යන්නේ…?”

ගිම්හාන අප දෙසට එමින් සිටි තක්ෂිලා සහ මාලිකාගෙන් ඇසුවේය.

“කොහේ යන්නද…අපි නිකන් ආවා මේ පැත්තට…ඔයාලා කොහෙද ගියේ…?”

තක්ෂිලා ඇසුවේ සැකමුසු බැල්මකින් වට පිට බලමින් යැයි කියා මට නිකමට සිතිණි. සමහරවිට ඒ මා සිතේ ඇතිවූ හිතළුවක් වන්නටද ඉඩ ඇත.

“අපි නිකන් ආවා මේ පැත්තට…ඉස්කෝලේ පටන් ගන්න තව වෙලා තියනවානේ…”

ගිම්හාන නොසැළකිලිමත් ලෙස කීවේය.

“ඒක තමා අපි බැලුවේ…පොත් බෑග් ටික තියනවා…ළමයි නැහැ…වාෂ්ප වුණාද කියලා…”

මාලිකා මඳහසක් පාමින් කීවද තක්ෂිලා මවෙත හෙළුවේ නුහුරු බැල්මකි.

“අපි යමු එහෙනම්…ඔයාලා ඇවිදලා එන්නකෝ…”

ගිම්හාන අප වෙත හැරී කියන විට තක්ෂිලාද ආපසු හැරුණේ මට හිස ගස්සමිනි.මම තරුෂි දෙස බැලුවේ ඇගේ එම ක්‍රියාව මට සිතා ගන්නට නොහැකි වූ නිසාවෙනි.ඈ මා සමඟ යම් අමනාපයකින් පසු වන බව මට වැටහී තිබුණේ ටික කලක පටන්මය.එයට හේතුව මා නම් දැන නොසිටියෙමි. ඈ මගේත් රජිව්ගේත් සම්බන්ධය දැන ගනීවි යැයි කියා මම පසුවූයේ අනියත බියකිනි.

“පොත අතේ තියන් පාඩම් කරනවද… කල්පනා කරනවද…?”

ගිමහානගේ හඬින් මම ඔහු දෙස බැලුවේ ලැජ්ජා මුසු හැඟීමකිනි. තාක්ෂණය විෂය භාර ගුරුතුමා එදින නොපැමිණි බැවින් එම කාල පරිච්ඡේදයේ අපි විවේකීව විෂයට අදාළ සටහන් පොත් බලමින් පන්ති කාමරයේ රැඳී සිටියේ නිහඬවය. අනෙක් පන්තියේ ළමුන්ට උගන්වමින් මාලිංග සර් සිටි නිසා කිසිවෙකු ශබ්දයක් හෝ නොනැඟීමට ප්‍රවේශම් වූහ. මා නෙත් පොත අසළ වුවද සිතින් මා සිටියේ බොහෝ දුර ඈතකය.

“විභාගේ අත ළඟ…අත පොත ළඟ සිත ඔහු ළඟ…”

සමන්මලී රහසින් කියන විට සිත අලුත් වූ ලැජ්ජා මුසු හැඟීමකින් පිරී ගියේය.

“පිස්සු…”

පහත් හඬින් මම කීවෙමි.

“කතාව ඇත්තනේ…පෙනේද මූණේ තියන හිනාව…පෙම් පාට බේරෙනවා…”

ගිම්හාන එසේ කියන විට මා අත මුහුණ කරා ගියේ ඉබේමය.

“කෝ අතට අහු වුණාද…?”

සමන්මලී අසන විට ගිමිහානද එයට සරදමට මෙන් සිනාසුණේය.

“මොකද උඹලා හිනාවෙන්නේ…? අපිටත් කියලා හිනාවෙයන්…”

විදුර කීවේ අප වෙත හැරෙමිනි.

“නැහැ බං…මං මේ කිව්වේ…සමහර අයට නම මතක් කළත් ඇති…මූණ බීට් අලයක් කරගන්න…”

ගිම්හාන කියන විට ඉදිරිපෙළ අසුන් වල සිටි මාලිකාත් තක්ෂිලාත් එකවරම හැරී අප දෙස බැලූහ.

“ආහ්…ඒකද…අර කැස්සක්ද මොකක්ද හංගන්න බැහැ කියනවානේ…”

විදුර කියන විට මා සිත නොසන්සුන් විය. මේ කතාව මෙතනින් නවතනවා නම් හොඳයි කියා මම සිතුවෙමි.

“ආහ්…දැන් කාටද කැස්ස…මංදාකිණිටද…?”

තක්ෂිලා මවෙත යළිත් හැරී ඇසුවේ සරදම් සහගත සිනහවක් මුවේ නංවාගෙනය. එය මා සිත් ගත්තේ නැත. මා මුවේ මෙතෙක් වූ සිනහව පවා වියැකී ගියේ ක්ෂණිකයෙනි.

“ඔව්…ඔව්…ඔයාට බැරිද බේත් ටිකක් අරන් දෙන්න…”

සමන්මලීද එසේ ඇසුවේ එය විහිළුවට ගෙනය.

“ආපෝ…බේත් ගන්න ඕන නැහැ…ඔය කැස්ස ළඟදීම හොඳ වෙයි…”

කුරිරු බැල්මක් මවෙත හෙළූ තක්ෂිලා කීවේ මුවේ ඇඳුණු අපහැදිලි සිනහවක්ද සමඟය. මා සිත තැති ගත්තේ ඇගේ එම සිනහවටය. ඈ මා සමඟ මෙතරම් සිත් නොහොඳින් පසුවන්නේ මන්ද කියා වැටහුමක් මා හට නොවීය.

“අනේ…ඔයා දැන් අංජනම් බලනවා කියලා අපි අදනේ දන්නේ…”

ගිම්හාන එය විහිළුවට ගෙන කීවේය.

“ඔව්…අංජනම් විතරක් නෙවේ…තව ඒවත් බලනවා…ළඟදිම තොවිළෙකුත් නටන්න වෙයි…බලාගෙන ඉන්නවකෝ…”

තක්ෂිලා එසේ කීවේ විහිළුවට නොව කෝපය මුසු හඬකින් බව අපට වැටහිණි. එය හුදෙක් ගිම්හාන කී දෙය නිසා නොව මා ඉලක්ක කරගෙන කියූවක් බව මට සහතිකය.

“ඔයා හඳහන් එහෙම බලන්නේ නැත්ද…? මගේ වෙලාව පොඩ්ඩක් බලවා ගන්න ඕන…”

විදුර ගේ කතාවට සැවොම අතර පැතිර ගියේ තරමක සිනාහඬකි.

“ඔව්…ඔව්…ඔය කාගේ කාගෙත් වෙලාව බලන් හිටියා නම් තමා හොඳ…”

හිස ගස්සමින් ඈ ඉවත බලා ගත්තේ නෙරවා ගත් බැල්මක් මවෙත හෙළමිනි. ඇගේ ඇනුම්පදය මටම එල්ල කරන්නේ මන්ද කියා මට සිතා ගන්නට නොහැකි වූවා සේම මසිත අනියත බියකින් සැළෙන්නට විය. මම සමන්මලී දෙස බැලුවේ සිත පුරා ඉහිරී ගිය තැතිගැන්මෙන්මය. ඇගේ මුවේ පෙර වූ සිනහවත් පහව එහි රැඳී තිබුණේ නොසතුටු බැල්මකි. ඈ මගේ සුරතින් අල්ලා ගත්තේ

“ගණන් ගන්න එපා…” යැයි නිහඬ බැල්මකින් මා වෙත හෙළමිනි.

-හෙටත් පුරුදු ලෙසින් මුණ ගැසෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you