More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 05

    Pini Muthu Palasa පිනි මුතු පලස – 05

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 05

    පරිසරය නිහඬය. ළමුන් එකා දෙන්නා පාසල වෙත පැමිණෙමින් සිටි නිසා එහි නිහඬ බව කෙමෙන් මැකී යන්නට විය. තරුෂි කුමක් කීමට යනවාද කියා මම කුහුල් සිතින් බලා සිටියෙමි.

    “ඔයාට මතකද මංදි…ඉස්සර…?”

    “නැහැනේ…මට මතක නැහැ…”

    ඇයට හරස් කපමින් මම කීවෙමි.

    “ඔයා එක්ක බැහැ අනේ…කියන්නත් කළින් පනිනවා…මං කියන්නේ නැහැ…”

    ඈ සැබෑවටම නොසතුටට පත්ව සිටි අතර කීමට ගිය දේ නොකියනු ඇතැයි මම බිය වූයෙමි.

    “හරි…හරි…කියන්න…මං ආයේ මොකුත්ම කියන්නේ නැහැ…”

    මම පොරොන්දු වුවද ඈ එය විශ්වාස නොකරන බැල්මකින් මා දෙස බලා සිටි නිසා මම අතින් මුව වසා ගතිමි.

    “ආයේ මොනවා හරි කිව්වොත් මම යනවා…”

    ඈ නොමනාපය මුසුව කියන විට මම ඒ ඉරියව්වේම හිඳ හිස සොළවමින් එසේ නොකරන බව ඇඟවූයෙමි.

    “හ්ම්ම්…ඔයාට මතකද අපේ ඉස්කෝලේ ඉස්සර හිටිය රජිව් අයියා…?”

    “රජිව්…?”

    මට ඒ නම හුරු පුරුදු වුවද එක්වරම ඒ කවුද කියා සිහි කර ගත නොහැකි විය.

    “මට මතක නැහැ තරූ…”

    අතින් වසාගෙන සිටි මුව විවර කරමින් මම කීවෙමි.

    “අනේ…අනේ…ළමයෝ…රජිව් කියන්නේ චිත්‍රා මිස්ගේ පුතා…අපි පහ වසරේ ඉන්න කාලේ මිස් නේ අපේ පන්ති භාරව හිටියේ… රජිව් අයියා අපිට වඩා අවුරුද්දක් වගේ වැඩිමල්…”

    මට චිත්‍රා මිස්ව නම් මතකය. ඔසරි හඳින ඇය තරමක් සැර පරුෂ ගුරුවරියක වූ නිසා මා මෙන්ම බොහෝ ළමුන් එකල ඇයව ප්‍රිය නොකළෝය. වරක් ඇගෙන් මමද වේවැල් පහරක රස බලා තිබුණෙමි. ඒ මතකය නිසා මිස මට ඇයව මතක හිටින තරම් සුන්දර අතීතයක් එහි නොවිණි. රජිව් පිළිබඳව නම් මතකයක් මා තුළ කොහෙත්ම නොවීය.

    “හරි ඉතින්…චිත්‍රා මිස්ව මතකයි…ඉතින් දැන් මොනවද කියන්න ගියේ…?”

    තරුෂි මෙතරම් වුවමනාවෙන් චිත්‍රා මිස් පිළිබඳව කතා බහ කරන්නේ මන්දැයි කියා කුතුහළයක් මා සිතේ ඇති නොවුණා නොවේ.

    “චිත්‍රා මිස් ආයේ ට්‍රාන්සර් වෙලා අපේ ඉස්කෝලෙට එනවලු…”

    “ඉතින්…?”

    උනන්දුවක් නොපෙන්වා මම ඇසුවේ එහි ඇති විශේෂත්වයක් මට නොපෙනුණ නිසාවෙනි.

    “ඉතින්…රජිව් අයියාත් අපේ ඉස්කෝලෙට එනවලු ඒ ලෙවල් කරන්න…”

    “ආහ්…මට දැන්නේ තේරුණේ…මෙයා මේ වටෙන් ඇවිත් නහය අල්ලන්න හදලා තියෙන්නේ මොකටද කියලා…කවුද ඔයාට ඔය විස්තර කිව්වේ…?”

    මම ඇයට විහිළු කළෙමි.

    “මිස්ගෙ…ගෙවල් තියෙන්නේ අපේ ගෙවල් පාරෙමනේ…පොල් වත්තක් මැද්දේ ගේ තියෙන්නේ…”

    තරුෂි කීවද මම ඒ කිසිත් දැන නොසිටියා සේම ඒ පිළිබඳව උනන්දුවක්ද මා තුළ නොවීය. මම තරුෂිගේ නිවස වුවද තිබෙන්නේ කොහිද කියා දැන නොසිටියේ අක්කා මට කෙදිනකවත් මිතුරියකගේ නිවසකට වුවද යාමට අවසර දී නොතිබූ නිසාය.

    “ඉතින් මිස්ද ඔයාට කිව්වේ එයා අපේ ඉස්කෝලෙට ට්‍රාන්සර් කියලා…?”

    “නැහැ අනේ…ඔයා එක්ක බැහැනේ… මැද්දට පනිනවා…”

    “හරි…හරි…මං පනින්නේ නැහැ…ඔයා කියන්නකෝ…” මම නිහඬ වීමි.

    “මට සිකුරාදා හවස රුවින්දි හම්බවුණා…මිස්ලාගෙ ගෙවල් ළඟදි…එයා මට ඔය විස්තර කිව්වේ…?”

    “හරි…ඉතින්…දැන් කවුද ඔය රුවින්දි කියන්නේ…මිස්ගේ දුවද…?”

    “විකාරද මැට්ටියේ…? රුවින්දි කියන්නේ…රජිව් අයියාගේ නැන්දාගේ දුව…තාත්තාගේ නංගීගේ දුව…තේරුණාද…? එයා හරි ලෙවල් එකෙන් ඉන්නේ…මා එක්ක කතා කරනවා බොරු ෂෝ එකට…රජිව් අයියා එග්සෑම් පාස් වුණා කියලා පම්පෝරි ගහනවා…හරියට එයා එග්සෑම් පාස් වුණා වගේ…”

    මා නොදුටු, නොහඳුනන රුවින්දි ගැන තරුෂි කතා කළේ එතරම් ප්‍රසාදයකින් නොවේ.

    “මස්සිනා නිසා වෙන්නැති…නෑනා අයිති මස්සිනාටලු කියනවනේ…”

    “විකාර…රුවින්දි නම් එහෙම හිතන් ඇති…”

    ඇගේ හඬට එවර කෝපයක් තැවරී තිබිණි.

    “ඉතින් දැන් ඔයාට මොකද ඒකට කේන්ති යන්නේ…?”

    ඇයව ඇවිස්සීමට සිතා මම ඇසීමි.

    “මම රුවින්දිට ආසම නැහැ…බොරු සොබ්බෙට කතා කරනවා මුණ ගැහුණාම…වෙන මොනවටවත් නෙවේ… පම්පෝරි ගහන්න…රජිව් අයියලාගේ ගෙදර වැඩ කටයුතු සිද්ද වෙන්නෙත් එයාට ඕන විදියට කියලා එයා කියනවා…”

    “අනාගත ලේලි කරගන්න හිතාගෙන ඇති එහෙනම්…”

    “පිස්සු නැතුවට…මං නම් හිතන්නේ නැහැ… රජිව් අයියා ඒ උරචක්කර මාලේ කරේ දාගන්න තරම් මෝඩයි කියලා…”

    ඒ කතාවට මම උස් හඬින් සිනහසුණෙමි. තරුෂි මෙතරම් රජිව් පිළිබඳව සැළකිලිමත් වන්නේ මන්ද කියා පුදුමයක් මා සිතේ ඇති විය.

    “ඔයා මොකද අනේ…ඔච්චර රුවින්දි එක්ක තරහා…? කතාව පටන් ගත්තේ රජිව් ගෙන්…දැන් කතාව රුවින්දි…මොකද රජිව් ගැන පිළිබඳව සිතක් වත් පහළ වෙලාද…?”

    මම ඇසුවේ විහිළුවට වුවද ඇගේ මුහුණ ලැජ්ජා මුසු හැඟීමෙන්දෝ රත් පැහැයට හැරෙන විට ඇගේ සිනහව තුළ මුවින් නොකී දහසකුත් දේ ලියැවී ඇතැයි කියා ඒ මොහොතේ මට සිතිණි.
    ——————————————————————————————————
    පාඩම් කිරීමට සිතා පොත අතට ගෙන බොහෝ වේලාවක් ගත වූ බවක් මට නොවැටහිණි. පොත දෙස බලා සිටියද මා ගතින් සිටියේ බොහෝ දුරකය. මා සිත මා කෙරෙන් මිදී බොහෝ දුර ඈතක ඉඟිළ ගිය බවක් මට හැඟේ.

    “ර…ජි…ව්…”

    ඒ නම කිසිවෙකු මා සවනතට කොඳුරන්නාක් මෙනි. තරුෂි මුල් වරට ඔහු පිළිබඳව මා හා පවසන මොහොතේ මා ඔහු පිළිබඳව කිසිදු තැකීමක් නොකළ බව සැබෑ මුත් ඔහු මුල් වරට දුටු මොහොතේ නම් මා හද සසළව ගියා සේම එක් මොහොතකට මා හද ගැස්ම නැවතුණ බවක් මට දැනිණි. ඔහු පාසලට පැමිණ දැන් සතියක් පමණ ඉක්ම ගොසිනි. පන්තියේ ගැහැණු ළමුන් පමණක් නොව පාසලේ බොහෝ යුවතියන්ගේ මාතෘකාව වී තිබුණේ රජිව්ය. ඔහුගේ කඩවසම් බවටත් ආකර්ෂණීය පෙනුමටත් බොහෝ දෙනෙකු දැනටමත් වශී වී ඇතිවාක් මෙනි.

    “පට්ට ගති…මාර හැන්ඩි…පිස්සු හැදෙනවා…”

    බොහෝ දෙනෙකු ඔහුව අගය කළේ එම වදන් වලිනි. විවේක කාලයේ ඔහු ක්‍රීඩා පිටියේ වොලි බෝල් සෙල්ලම් කරන හැටි බලන්නට යුවතියන් වැට දිගට මෙන්ම දෙමහල් ගොඩ නැඟිල්ලේ උඩු මහලේද පොදි බැඳ ගෙන උන්හ. එවන් වෙලාවට තරුෂි මාවත් ඇදගෙන වැට මායිමට හෝ උඩු මහලට දිව එන විට මම ඇයත් සමඟ පැමිණියේ තරමක ලැජ්ජා මුසු හැඟීමකින් යුතුවය. ඒ මන්ද යත් මා සිතේද ඔහු පිළිබඳව යම් හැඟීම් ගොන්නක් පිබිද එමින් තිබූ නිසාය. ඔහුව දැකීමට මමද ප්‍රිය කළෙමි. ගැහැණු ළමුන් අතර එළිපිටම තරගයක් ඇතිව තිබුණේ රජිව්ගේ සිත දිනා ගැනුමටය. තරුෂි සහ තක්ෂිලා එහි ඉදිරියෙන්ම වූහ. මාද සිතින් පමණක් ඔහු පිළිබඳව සිතුවා වුවද එම හැඟුමන් පිටතට පෙන්වීමට තරම් එඩිතර නොවූයෙමි. එයට ප්‍රධානම හේතුව වූයේ තරුෂිය. ඈ ඔහු පිළිබඳව මා හා පවසා තිබුණේ ඔහු පාසලට පැමිණීමටත් පෙර සිටමය. ඈ ඔහුට ඉතා කැමැත්තකින් සිටින බව මම දැන සිටියෙමි. තරුෂි තම හැඟීම් මා සමඟ විවෘතව බෙදා ගත්තාය. ඇයට සහාය වීමට මමද සිතා සිටියේ අවංක වූ හැඟීමෙනි. මා තුළ ඈ කෙරෙහි කිසිදු ඊර්ෂ්‍යාකාරී හැඟීමක් නම් කිසිම විටක ඇති නොවීය. ඈ මගේ හොඳම මිතුරියයි. උසස් පෙළ පන්ති කාමර පිහිටා තිබුණේ අප ශාලාවට සමාන්තරවය. ශාලා දෙක අතර පරතරය මීටර කීපයකි. මාත් තරුෂිත් හිඳ සිටි අසුන් පෙළට රජිව් ගේ පන්ති කාමරය හොඳින් දිස්වේ. කෙටි බැම්මට උඩින් මගේ නෙත් මටද හොර රහසින්ම නිතර නිතර රජිව් ගේ සොඳුරු රුව ලුහුබැන්දද තරුෂි සහ තක්ෂිලා එළිපිටම ඔහු දෙස ඍජු බැලුම් හෙළූහ.

    “අපිට ඉතින් දැන් සීරෝ තමා…නේද ගිම්හාන…?”

    විදුර අසනු ඇසී මම වහා ඔහු දෙස බැලීමි.

    “ඒ මොකද බං…?”

    “ඇයි බං…කෙල්ලෝ සේරම දැන් රජිව්ට වහ වැටිලානේ…”

    විදුර කීවේ ශෝකය රැඳි හඬකින් වුවද සැවොම අතර පැතිර ගියේ උස් සිනා හඬකි.

    “වහ වැටිලා හිටිය පලියට…ඔය කාවවත් රජිව්ට මැච් වෙන්නේ නැහැ…”

    තක්ෂිලා මැදිහත්ව කීවාය.

    “ආහ්…ඒකත් එහෙමද…එතකොට කාවද මැච් වෙන්නේ…?”

    ගිම්හාන අසන විට අපි බලා සිටියේ තක්ෂිලා එයට දෙන පිළිතුර දැනගැනුමටය.

    “මං හිතන්නේ රජිව් මට කැමතියි…මාව එයාට මැචින්…නේද රොෂානි..?”

    ඈ රොෂානිගෙන් අසන විට ඇගේ දෙතොල් ඇඹරී ගියා මිස ඈ කිසිත් නොකීවාය. මාත් තරුෂිත් සමන්මලීත් මුහුණින් මුහුණ බලාගෙන නිහඬව සිටියේ සිනහව තද කරගෙනය. දුලානි අප වෙත හැරී ඇසක් ඉඟි මැරුවාය.

    “ඒක නිකම් මං පොර ජාතකේ වගේ නේද ගිම්හාන…?”

    විදුර කෑ ගසන විට තක්ෂිලා ඔහුට රැව්වාය. ඈ පැහැපත් සමක් සහිත රූමත් යුවතියක බව සැබෑ මුත් ඇගේ මහන්තත්ත කමත් උජාරුවත් මම නම් ප්‍රිය නොකළෙමි. ඈ මෑතක පටන් මාවද නොරුස්සන බව මට දැනී තිබුණා සේම ඈ ක්‍රියාවෙන්ද ඒ බව පෙන්නුම් කළාය. එයට හේතුව කුමක්ද කියා වැටහුමක් මට නොවීය. මම දැනුවත්ව ඇයට මා අතින් වරදක් නොවූ බව මට විශ්වාසය.

    “දැන් රජිව් එහෙම කිව්වද ඔයාට…?” ගිම්හාන යළිත් ඇසුවේය.

    “කියන්න ඕනද අනේ…? කතා බහ කරත්දි කාට වුණත් තේරෙනවනේ…නැත්ද මාලිකා…?”

    එවර ඈ මාලිකා විමසුවේ රොෂානිගෙන් ඈ බලාපොරොත්තු වූ ප්‍රතිචාරය හෝ සහාය නොලැබුණ නිසා වන්නට ඇත. මාලිකාද එයට අනුග්‍රහයක් නොදක්වමින් කළේ දෙවුර සැළීමය.

    “ඈ බං තක්ෂිලා…දැන් මේ උඹ කියන්නේ…කවුරු හරි හොඳට කතා බහ කරපු පළියට ඒ කෙනා තමුසෙට ලව් කියලද…අනේ නිකන් පලයං බං යන්න…අපිට නම් පෙනුණේ නැහැ ඌ උඹට කැමතියි කියලා…හීන මවන්නැතුව ඉඳින්…”

    විදුර කියන විට ඈ තුළ ලැජ්ජාවක් ඇති වූවාට සැක නැත.

    “හරි…හරි…අපි බලමුකෝ…”

    තක්ෂිලා පරාජය බාර ගැනීමට අකමැත්තෙන් දෝ අභියෝගයකට මෙන් කීවාය. එය මා තුළ මෙන්ම තරුෂි තුළද යම් තැති ගැන්මක් ඇති කළ බවට සැකයක් නැත. ඒ බව ඇගේ මුහුණින්ම පෙනුණ අතර මම ඇගේ සුරතින් අල්ලා ගන්නා විට ඈ මඳහසක් පාමින් මදෙස බැලුවාය.

    “හොඳට කතා බහ කළ පළියට ඒ ආදරේ කියලා හිතන්න එපා නංගී…ඒක සහෝදර ප්‍රේමයත් වෙන්න පුළුවන්…”

    ගිම්හාන යළිත් කීවේ අප අතර අලුතින් සිනහවක් පතුරවමිනි. තක්ෂිලා සිටියේ දැවෙන කෝපයකින් බව බැලූ බැල්මට පෙනිණි. ඊළඟ විෂයට අදාළ ගුරුතුමිය පන්තියට පැමිණෙන විට අපි සියල්ලෝම නැඟී සිටියෙමු. ඈ උගන්වමින් සිටින අතරේ පවා මා නෙත් දිව්වේ රජිව් සොයාය. ඔවුන් මේ මොහොතේ නිදහස් කාල පරිච්ඡේදයක් නිසාදෝ සිටියේ පන්තියේ දොරකඩට වී කතා බහකය.

    “මොකද මේ ගෑණු ළමයි ටික කොයි වෙලෙත් ඒ ලෙවෙල් ක්ලාස් එක දිහාම බලන්නේ…අමුතු සත්තු ටිකක් ඇවිත් ඉන්නවද…?”

    රංජනා මිස්ගේ උස් හඬින් තිගැස්සුණු මාද වහා එදෙසින් නෙත් මුදවා ගෙන මේසය මත වූ සටහන් පොතට හිස නැඹුරු කොට ගත්තේ සිත පුරා ඉහිර ගිය සියුම් ලැජ්ජා මුසු හැඟීමෙනි. ඈ සියල්ලන් දෙස විපරමින් බලා සිටින්නට ඇතිවාට සැක නැත. පිරිමි ළමුන් අප දෙස බලමින් සිනාසෙන්නට වූයේ ඔච්චමටය.

    “බලන්න ඕන අය…සේරම නැඟිටලා හරි කමක් නැහැ…හොඳට බලා ගන්නවාලාකෝ…ඊට පස්සේ මම පාඩම පටන් ගන්නම්…”

    ඒ කතාවෙන් අපි සියල්ලන් තුළම ලැජ්ජා මුසු බවක් ඇති වූ බව නොකිවමනාය.

    “ඒක තමා මිස්…මෙච්චර මේ පන්තියේ අපි ඉන්නවා…නිකමට වපරැහින්වත් බලන්නේ නැහැනේ…ඇස් උස්ස උස්ස බලන්නේම දොළහෙ පන්තිය දිහා…”

    විදුරගේ කතාවට රංජනා මිස්ගේ මුවේද ඇඳුණේ සිනහවකි.

    “අපෝ…වැඩේමයි…විදුර දිහා බලලා ඉතින් අපිට කියන්න වෙන්නේ ඉතිපිසෝ භගවා තමා…ඔය කළු දෑල මූණ දැක්කාම මහා දවාලටත් බය වෙනවනේ…”

    රොෂානි එසේ කීවේ විහිළුවට වුවද විදුර ලැජ්ජාවෙන් මුහුණ හකුළුවාගෙන හිස බිමට නැඹුරු කොට ගත්තේය.

    “ඇයි රොෂානි එහෙම කියන්නේ…කළු වුණාට විදුර ලස්සනයි…නැත්ද මංදාකිණි…?”

    එවර ඈ මා විමසන විට මම විදුර දෙස බැලීමි. ඔහු තළෙළු වුවද කඩවසම්ය.

    “විදුර ලස්සනයි තමා මිස්…” මම කීවේ සැබෑවටමය.

    “තෑන්ක් යූ තෑන්ක් යූ…අයිස් පැකට් එකක් අරන් දෙන්නම් ඔයාට…”

    ඔහු කමිස කොළරය ඔසවා ගනිමින් කිවේය.

    “ඔය ඉන්නේ දැන් විදුර දිහා බලන්න අය… දැන් ඉතින් අඬන්නැතුව ඉන්න…”

    රොෂානි යළිත් විහිළු කළාය.

    “හරි…හරි…ඕක දැන් නවත්තලා පාඩම කරමුද…ඔය බැලුවා ඇතිද තක්ෂිලා…?”

    රංජනා මිස් උපහාසයෙන් අසන විට තක්ෂිලා තිගැස්මෙන් හැරී රංජනා මිස් දෙස බැලුවාය.

    “ආහ්…නැහැ…මිස්…”

    “නැත්ද…නැත්නම් ඇති වෙන්න බලා ගන්නවා…”

    රංජනා මිස් නැවත කියන විට යළිත් පැතිර ගියේ උස් සිනා හඬකි. තක්ෂිලා අප වෙත හැරී අපට රැව්වේ ඒ අපේ වරදක් මෙනි. මාත් තරුෂිත් මුහුණින් මුහුණ බලා ගත්තේ සිනහව සඟවාගනිමිනි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    Sri lanka navy ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු බේරා ගැනේ

    Sri lanka navy - ආපදාවට ලක්වී තිබුණු ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී...

    A traffic plan බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

    A traffic plan  - අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ පනස්වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අද (07) බොරැල්ල...

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...
    - Advertisement -spot_img

    Metro In Dino දින තුනට කෝටි දාසයක ආදායමක්

    Metro In Dino - අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයක් වන Metro In Dino චිත්‍රපටය පසුගියදා (ජූලි 4) නිකුත් වුණා.චිත්‍රපටය නිකුත් වී...

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page