More
    spot_img
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 04

    Pini Muthu Palasa පිනි මුතු පලස – 04

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 04

    පැමිණ සිටියේ තරුෂිත් දුලානිත්ය. ඔවුන් දැකීමෙන් මා සිතේ ඇති වූයේ නිම් නොවූ සතුටකි. ආලින්දයේ ඔවුන් සමඟ කතා බහ කිරීමට නොහැකි නිසා අපි මිදුලේ කොහොඹ ගස යට අසුන් තබා ගෙන කතා බස් කළෙමු.

    “ඔයා නැතුව හරි පාළුයි මංදි…”

    තරුෂි කීවේ අවංක වූ හඬකිනි.

    “අනේ ඔව් මංදි…සඳුදා ඉඳන් ඉස්කෝලේ එන්න…”

    දුලානිද එය අනුමත කරමින් කියන විට මා මුවින් සුසුමක් ගිළිහිණි.

    “මට හිතක් නැහැ දුලා…කාගෙන් වුණත් අර වගේ කතා අහගෙන මං කොහොමද ඔළුව නිදහසේ ඉස්කෝලේ එන්නේ…? ඊට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා…”

    තවමත් මා සිතේ වූ කළකිරීම පහව ගොස් නොතිබිණි. උමයංග නිසා මා විඳි මානසික පීඩනය සුළු පටු නොවේ. මේ සියල්ල විඳ දරාගෙන සිටීමට තරම් මානසික ශක්තියක් නැති බවක්ද මට හැඟේ.

    “මේ අහන්න මංදි…ඔයා නොදන්න ගොඩාක් දේවල් මේ ටිකේ වුණා…”

    තරුෂි කියන විට මම ඈ වෙත හෙළුවේ උදාසීන බැල්මකි.

    “උමයංග ආයේ ඉස්කෝලේ එන්නේ නැහැ…”

    ඒ ඇසූ මම පුදුමයට පත්ව තරුෂි දෙස බැලීමි.

    “ඒ ඇයි…?”

    “එදා ඔයා උමයංගට කම්මුලටට ගහලා දුවගෙන යත්දී…මායි දුලාත් ඔයා පස්සෙන් ආවා…අපි කතා කළාට ඔයා වැටෙන් පැනලා දුවලත් ඉවරයි…පන්තියට එත්දී ගිම්හාන උමයංගට බිම පෙරළන් ගහනවා…”

    “මොනවා…?”

    ඒ ඇසූ මම පුදුම වූයේ පෙරටත් වඩාය.

    “ඔව්…ඔයාට කියපු කතාවට ගිම්හානට හොඳටම කේන්ති ගිහින්…අන්තිමට ළමයි බේරලා ප්‍රින්සිපල් ගාවටත් යන්න වුණා…ගිම්හානට නම් ප්‍රින්සිපල් සර් මොකුත් කියලා නැහැ…උමයංගට ප්‍රින්සිපල් සර්ත් ගහලා…පහුවදාට එත්දී අම්මායි තාත්තායි එක්ක එන්න කිව්වලු…මං කොල්ලෙක් වුණා නම් මාත් එදා උමයංගට අල්ලන් ගහනවා ඇත්තටම…”

    තරුෂි කීවේද කෝපයෙන් මෙනි.

    “ඔව්…අනේ ඇත්තටම…”

    දුලානිත් එයට එකඟව කීවාය.

    “ඒක නෙවේ හොඳම හරිය…උමයංග හැමදාම බස් හෝල්ට් එකේදි අනෙක් ඉස්කෝලේ ගෑණු ළමයෙක්ටත් කැත විදියට විහිළු කරනවලු…මෙයා ඒක අයියලාට කියලා…අයියලා යාළුවො කීප දෙනෙක් එක්ක ඇවිත් උමයංගට ගහලා…කෙල්ලගේ තාත්තා පොලීසියේලු…උමයංග හොඳ පාඩමක් ඉගෙන ගත්තේ…අනික උමයංගව ඉස්කෝලෙන් අස් කරන් ගියා…එයාව ගාල්ලේ මාමා කෙනෙක් ඉන්නවලු…එයා ගාවට යවනවා කියලා…මෙයාව හදන්නම බැරි නිසා…මාමා හරි වසයිලු…මෙයාට ලේසි වෙන්නේ නැහැ…කළකම් පටිසන් දෙනවා කියන්නේ ඕක තමා මංදි…”

    තරුෂි කතාව නිම කළාය.

    “ඔයා ඉස්කෝලේ එන්න…”

    දුලානි කීවද උමයංග නැතැයි කියා මට සැහැල්ලු මනසකින් පාසල් පැමිණ ඉගෙන ගත හැකි වනු ඇතිද කියා සැකයක් මා සිතේ ඇති විය. ඔහුගේ මුහුණ යළි දකින්නට නොලැබේ යයි කියා සිතන විට නම් යම්තාක් දුරට හෝ සහනයක් සැහැල්ලුවක් සිතට දැනුණ බව නම් සැබෑය. නමුත් ඔහු කළ කී දෑ මෙන්ම සිතේ ඇති කළ තුවාලය සුව වීමට කාලයක් ගත වනු ඇත. ඔහු පාසලෙන් අස් කරගෙන ගියා කියා අලුත් සතුටක් මා සිතේ ඇති වූවා කියා මම නොසිතමි.

    “ඔයා එන්න ඉස්කෝලේ…අපි බලන් ඉන්නවා…”

    ඔවුන් දෙදෙන මඟින් මඟට කියා ගියේ එයමය. ඔවුන් සමු ගෙන ගිය පසුව මා සිතට දැනුණේ මහා හුදකලා බවකි. එය මෙතෙක් දිනක් මට නොදැනුණ එක පුදුමයකි.

    පෙරදා රැයේ පටන් ඇද හැළෙන වර්ෂාව තවම තුරල්ව නැත. මාස ගණනකට පසුව මෙසේ වැස්සක් ඇද වැටීම සිතට සහනයක් ගෙන ආවේ වියළී ගිය ගස් වැල් වලට අලුත් පණක් නව ජීවයක් ලැබෙන බව දන්නා නිසාය. නමුත් මා සිත නම් තවමත් ඉඩෝරයට ඉරි තැළුණු වැවක් මෙනි. අතු ඉති මැළවී කොළ හැළී ගිය ගසක් මෙන් මා ගතින් දුබලව සිටියෙමි. සිත ගත දෙකම ඇල්මැරී ගිය සෙයකි. මහා වැසි ඇද වැටුණද ඉරි තැළී ගිය මා සිත යළිත් යතා තත්වයට පත්වේ යැයි කියා මම නොසිතමි. මහ වැස්සේම ගොස් මම මුහුණ සෝදා ගෙන පසුපස දොරින් ගෙට ගොඩ වන විට අක්කා කාමරයේ සිට පිටතට පැමිණියේ හිසේ සිට පොරෝනය ගත දවටාගෙනය. ඈ මා දෙස පුදුමයෙන් බැලුවේ මේ මහ වැස්සේ මා බාගෙට තෙමී හුන් නිසාද නැතිනම් උදෑසනම මා අවදි වී පාසල් යාමට සූදානම් වීමට සැරසෙන බව දැනද කියා මම නොදනිමි.

    “මොකෝ මේ බාගෙට නාලා…ඉස්කෝලේ යන්නද…?”

    “ඔව්…”

    කෙටියෙන් පැවසූ මම සූදානම් වීමට කාමරයට දිව ආවේ අක්කා යළිත් කිසිවක් ඇසීමට පෙරය. මා මේ පාසල් යාමට සූදානම් වන්නේ දින ගණනාවකට පසුවය. සුදු ගවුම හැඳ ටයි පටියත් පැළඳ කොණ්ඩ කරල් දෙකත් ගොතා මම මොහොතක් කැඩපත ඉදිරියේ සිටගෙන මගේම පිළිබිඹුව දෙස මොහොතක් බලා සිටියෙමි. සිත තුළ චකිතයක් වන් හැඟීමක් ඇති වූයේ මේ මා පාසලට යන්නේ පළමු වරට යැයි යන හැඟීමක් සිතට ආ බැවිනි. ගුරුවරුන්ගෙන් මට දොස් අසන්නට වනු ඇතැයි කියා අනියත බියක්ද මා සිතට නොදැනුණා නොවේ. සමහරවිට මා පාසල් නොපැමිණි හේතුව ඔවුන් දැන නොසිටිනවා වන්නට නොහැකිය. උමයංගගේ මුහුණ නම් යළි දකින්නට නොලැබෙන බව ගැන සිතන විට නම් සහනශීලී හැඟීමකුත් සිතේ ඇති විය. නිවසින් එළියට බසින විට වැස්ස තරමක් දුරට පායා තිබුණද යාන්තමට පොදයක් වැටෙමින් තිබිණි. බොරළු පාරේ වළවල් වල වතුර පිරී තිබූ නිසාවෙන් මෙන්ම මඩ වී තිබූ නිසාවෙනුත් මම අඩිය තැබුවේ සුදු ගවුමට මඩ විසී නොවන සේ ප්‍රවේශමනි. පාසල වෙත ළංවන විට මා සිත ගිඩි ගිඩියේ ගැහෙන්නට විය.

    “මංදි…”

    ගේට්ටුව අසළදී මා පසුපසින් ඇසුණු හඬින් මම හැරී බැලීමි. දුලානි දුව එමින් සිටිනු දැක සිතේ යම් සහනයක් බඳු හැඟීමක් ඇති විය.

    “හායි..ගුඩ් මෝර්නින්…ඔයා ආව එක නම් හොඳයි…”

    ඈ මට සුබ පතමින් කීවේ අවංක වූ හඬකිනි. මමද ඇයට පෙරළා සුබ පතමින් ඇයත් සමඟම පන්තිය දෙසට ඇවිද ආවෙමි. අපි එන විටත් තරුෂිත් රොෂානිත් පැමිණ සිටි අතර මා දැක තරුෂි කෑ ගැසුවේ ප්‍රීතිමත් හඬකිනි. පෙර මා සිතේ වූ කණස්සළු මුසු හැඟීම මා කෙරෙන් පහ වූයේ මිතුරියන් මා පිළිගත් ලෙංගතු ආකාරය නිසාය. තරුෂි දිව විත් මා දෑතින් අල්ලා ගත්තාය. තක්ෂිලා පමණක් මා දැකුමෙන් මුහුණ හකුළුවා ගෙන ඉවත බලා ගත්තේ මා පුදුමයට පත්කරමින් වුවද මම ඒ මොහොතේ ඇගේ ඒ ක්‍රියාව පිළිබඳව එතරම් දුර නොසිතුවෙමි. ඈ කොහොමත් එක විදියක අයෙකු වූවාය. මා බලා සිටියේ ගිම්හාන පැමිණෙන තුරුය. පාසල ආරම්භ වීමට මොහොතකට පෙර ඔහු පැමිණි බැවින් මට ඔහු සමඟ කතා බහට අවස්ථාවක් උදා නොවීය. මා පැමිණ ඇති බව දුටු ඔහු මුවේ ඇඳුණ පියකරු සිනහව දැක මා සිතටද සතුටක් දැනිණි. විවේක කාලය එළඹි විගසම විදුර ගිම්හානවත් ඇදගෙන පිටතට ගිය බැවින් මට ඔහු සමඟ කතා බහ කිරීමට අවස්ථාවක් උදා නොවීය. තරුෂිත් මාත් දුලානිත් සහ සමන්මලීත් පිටත හිඳ කතා බස් කරමින් සිටියෙමු.පසුගිය දිනවල මා නිවසට වී කුමක් කළාදැයි ඔවුන් විමසූ අතර මගේ දින චර්යාව මම ඔවුන් හා පැවසුවෙමි.

    “ඔයා එච්චර දේවල් කරනවද අනේ ගෙදර…?”

    දුලානි පුදුමයෙන් අසන විට මම මඳහසක් පෑවා පමණි. ගිම්හාන මාර ගහ යට හිඳ තක්ෂිලා සමඟ කතා බහ කරමින් සිටුනු දැක මම මිතුරියන්ගෙන් මිදී ඔවුනතරට යන විට තක්ෂිලා මා දැක මට හිස ගස්සමින් ඉවත ගියේ මා පුදුමයට පත් කරමිනි. උදෑසනත් ඈ මා වෙත හෙළූ බැල්ම මට මේ මොහොතේ සිහි විය. ඇයට මෙසේ හැසිරීමට හේතුව කුමක්ද කියා මම සිතුවේ මවිතයෙනි.

    “ඔයා ආව එක හොඳයි…අදත් නාවා නම් මං ගෙදර එන්න හිටියේ…එදා බෑග් එක දෙන්න ගෙදර ගිය වෙලේ අක්කා මට ප්‍රශ්න පත්තරයක්ම දුන්නානේ පුරවන්න…”

    ඔහු මඳහසක් පාමින් කීවේය.

    “ඔයාද බෑග් එක අරන් ආවේ…?”

    “හ්ම්ම්…ඔයා රෙදි සෝදන්න ගියා කිව්වා…”

    “ඔව්…මම වැවට ගියා…ගොඩාක් ස්තූතියි ගිම්හාන…ඔයා මං නිසා උමයංග එක්ක සණ්ඩු වුණාලු නේද…?”

    “ඒකට ස්තූති කරන්න ඕන නැහැනේ…කොහොම වුණත් එයාට ලැබෙන්න ඕන දඬුවම නම් ලැබුණා…”

    මා මුවින් සුසුමක් ගිළිහී ගියේ ඉබේමය.

    “දැන් ඕවා ගැන හිතන්න ඕන නැහැ…ගිය දේවල් ගියා…හොඳට පාඩම් කරලා එක්සෑම් එක ගොඩ දාගන්න…”

    ඔහු අවවාදයක ස්වරයෙන් කීවේය.

    “හිතේ තුවාලෙ එච්චර ඉක්මනින් හොඳ වෙන එකක් නැහැ ගිම්හාන…මං කවදාවත් එයාට සමාව දෙන්නේ නැහැ…මං විඳවපු තරම දන්නේ මං…”

    යළිත් වතාවක් කඳුළින් දෑස් බොඳ වන විට මම ඇසිපිය සළමිනි ඒ වළකා ගතිමි.

    “හැමදේම කාලයාට බාර දෙන්න මංදි…මේ හැමදේම අපේ ජීවිත වලට එන අභියෝග…පාඩම්…කියලා හිතන්න…දුකටයි…කඳුළටයි…අපේ ජීවිත පාලනය කරන්න ඉඩ දුන්නොත්…මේ ගෙවෙන කෙටි ජීවිත කාලේ අපිට ජීවත් වෙන්න කාලයක් නැති වෙනවානේ…අපි දුක් විඳ විඳම නෙවේනේ ජීවත් වෙන්න ඕන…නේද…?”

    ඔහු කියන්නේ සත්‍යයක් බව මටද වැටහිණි. ඔහු කී කතාව මා සිතේ නිධන් විය. ඔහු බුද්ධිමත්ව ජීවිතය දෙස බලන්නෙකු බව මම දැන සිටියෙමි. සමහරවිට ඒ ඔහු ගෙවන කටුක ජීවිතයෙන් ලද අත්දැකීම් වලින්ම වන්නට ඇත. විවේක කාලය අවසන් වන සීනුව නද වන හඬින් අපි දෙදෙන පන්ති කාමරය දෙසට ඇවිද ආවෙමු.

    පරිසරය තුළ වූයේ තුනී සීතලකි. පසුගිය දින කීපයේම එක දිගට ඇද හැළුණු වර්ෂාව නිසා පොළොව තවම තෙත බරිතය. ක්‍රීඩා පිටියේ තණ බිම මත විසිරුණු පිනි බිඳු ඈතට දිස් වූයේ පුංචි දියමන්ති කැට ලෙසිනි. ජීවිතයේ අලුත් පිටුවක් ඇරඹෙන්නට යන බවක් මම දැන නොසිටියෙමි. නමුත් කාලයා විසින් මිනිසුන්, ජීවිත, ස්වභාදහම පවා වෙනස් කරනු ලබන්නේ කිසිවෙකු කිසිදින බලාපොරොත්තු නොවන අයුරිනි. උමයංගගේ අප්‍රසන්න මතකයන් මෙන්ම ඔහුවද සියල්ලන්ටම අමතකව ගොස් තිබූ සේම ඔහු පිළිබඳව කිසිවෙකු කතා බහක්ද නොකළේය. කාලයා ඕනෑම ඔඩු දුවන තුවාළයකට මහඟු වූ ඔසුවක් බව පවසන පැරණි කියමන සත්‍යයක් බව මමද අවබෝධ කරගනිමින් සිටියෙමි. පාසල යළිත් සොඳුරු තැනක් බවට පත් වීම ගැන මා සිටියේ සතුටිනි.

    “ඒක නෙවේ මංදි…දන්නවද අලුත්ම නිව්ස් එක…?”

    තරුෂි මා අමතමින් අසන විට මම හැරී ඈ දෙස බැලීමි. පාසල ආරම්භ වීමට තව බොහෝ වේලා තිබූ නිසා මාත් ඇයත් අලුතින් සාදන ලද දෙමහල් ගොඩ නැඟිල්ළේ උඩු මහලට වී කතා බස් කරමින් සිටියෙමු. ගොඩනැඟිල්ල විවෘත කර තවම සතියකුත් නැත. අලුත් තීන්ත සුවඳ තවමත් නාසයට දැනේ. බිත්තියට බර දී මම තරුෂි වෙත හැරුණෙමි. ක්‍රීඩා පිටියට එහා වූ ගුරු පාර දිගේ සුදෝ සුදු වතින් සැරසුණු ළමුන් එකා දෙන්නා පාසලට පිය මනිනු මා නෙතට අසු විය. මම තරුෂි දෙස බැලුවේ ඇයට විහිළුවක් කොට ඇයව අවුස්සන්නට සිතාය.

    “ඒක නෙවේ…කිව්වේ…කෝකද…? බ්‍රේකින් නිව්ස් එකක්ද කියන්න යන්නේ…? මං දන්නේ නැහැනේ…”

    මම සිනහසෙනසන විට ඈ මා දෙස බලා සිටියේ නෙරවා ගත් දෑසිනි. මා මුවින් සිනහව පිට පනින විට ඈ මා බාහුවට පහරක් ගැසුවාය.

    “ඌරි…මං කියන්න ගිය දේවත් කියන්න දුන්නේ නැහැනේ…”

    නොමනාපය මුසුව ඈ කීවේ ඉවත බලා ගනිමිනි.

    “හරි…හරි…කියන්නකෝ…මං විහිළුවක් කළේ…”

    ඈ යළිත් මා දෙස බැලුවේ මුහුණ පුරා විකසිත වූ සිනා මල් ගොන්නක් සමඟය. ඇගේ දෑස් පවා දිලිසෙන හැටි මා දෑසට හසු වී තිබිණි.

    “ඔයාට මතකද ඉස්සර…?”

    ඈ කියන්නට හදන්නේ රසවත් කතාවක් යැයි ඇගේ මුහුණින් පෙනිණි. එය මගේ ජීවිතයටද බලපෑමක් වන කතාවක් වනු ඇතැයි මම ඒමොහොතේ නොසිතුවෙමි.

    -ලබන සඳුදා නැවත හමුවෙමු-

    Latest news

    Sri lanka navy ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු බේරා ගැනේ

    Sri lanka navy - ආපදාවට ලක්වී තිබුණු ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සිව්දෙනෙකු නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වී...

    A traffic plan බොරැල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක්

    A traffic plan  - අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියේ පනස්වන ජුබිලි මහෝත්සවය වෙනුවෙන් අද (07) බොරැල්ල...

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Diogo Jota ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයා රිය අනතුරකින් මරුට

    Diogo Jota - ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota ඊයේ ( ජූලි 3) මියගොස් තිබෙනවා. උතුරු ස්පාඤ්ඤයේ Cernadilla නගරයේ අධිවේගී...
    - Advertisement -spot_img

    Metro In Dino දින තුනට කෝටි දාසයක ආදායමක්

    Metro In Dino - අනුරාග් බාසුගේ අධ්‍යක්ෂණයක් වන Metro In Dino චිත්‍රපටය පසුගියදා (ජූලි 4) නිකුත් වුණා.චිත්‍රපටය නිකුත් වී...

    Sajith Premadasa ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක්

    Sajith Premadasa - නිදි මරගාතේ ‍නොසිට, රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page