Pini Muthu Palasa පිනි මුතු පලස – 01
පරිසරයේ වූයේ වෙනදා නැති උණුසුමකි. පාසල නිම වී නිවසට එන අතරේ මම වැව අසළ වූ කොහොඹ ගස යට මඳකට නැවතුණේද ඒ මොහොතේ පැවති අධික උණුසුම නිසාය. කොහොඹ ගස යට වූයේ තරමක සිසිලසකි. කළපුව සිප හමා ආ සුළඟේ යම් තරමකට මඩ ගන්ධයක් මුසුව තිබූ මුත් ගතට නම් දැනුණේ සහනයකි. වැව් දිය මත පෙති විදහා හිනැහෙන සුදෝ සුදු පැහැති නෙළුම් මල් යාය දෙස මම මොහොතක් බලා සිටියෙමි. එය මා සිතේ ඇති කළේ අමුතු චමත්කාර ජනක හැඟීමකි. වැවට බැස නෙළුම් මල් කීපයක් නෙළා ගන්නට උපන් ආශාව මම මැඩ ගත්තේ මහත් ආයසායක් දරමිනි. සුළු මොහොතක් එළෙස නැවතී හුන් මා බොරළු පාර දිගේ නිවස දෙසට පා තැබුවෙමි. මාවත පාළුය. ළමුන් බොහෝ දෙනෙක් මේ වන විටත් නිවෙස් බලා ගොස් තිබුණද මම පා තැබුවේ සෙමෙනි. අක්කා මා ප්‍රමාද වූයේ මන්ද කියා ප්‍රශ්න නඟනු ඇතිවාට සැක නැත.
මිදුල දිගේ නිවසට එන අතරේ කඩ කාමරයේ දැල් කවුළුවෙන් මඟ බලා හිඳින අක්කාගේ රුව දැකුමෙන් මම ඉක්මනින් නිවසට ගොඩ වැදී කාමරයට පැමිණියේ අක්කා ප්‍රශ්න අසන්නට මා නවතා ගනු ඇතැයි යන සැකයෙන් යුතුවය. සුදු ගවුම ගළවා දමා ඉක්මනින් ඇඟ පත සෝදා ගැනීමට මට වුවමනා වූයේ මෙදින ඉතා උණුසුම් දිනක් වූ බැවිනි. සීතල ඇල් දියක පහස ලබන්නට මා ගත මහත් ආශාවකින් පෙළිණි.
“චූටි නංගී…”
අක්කා මා ඇමතුවේ මා කාමරයට පැමිණි විගසමය. පොත් බෑගය මේසය මත තබා මම පිටතට පැමිණියේ තරමක නොරුස්සුම් මුසු හැඟීමෙනි. කඩ කාමරයෙන් පිටතට පැමිණි අක්කා කිසිත් නොකියාම පිටරට ලියුම් කවරයක් මා අතට පත් කරන විට මා සිතේ පෙර ඇති වූ නොරුස්සුම් මුසු හැඟීම ක්ෂණිකයෙන් පහව යන විට මම එය අතට ගත්තේ වෙවුළන දෑතින් මෙන්ම ගැහෙන හදිනි. එයත් රැගෙන මම වහා මගේ කාමරයට දිව ආවේ සතුටත් දුකත් එකට කැළුතුණු සිතිනි. විදේශයක සිට මෙසේ ලියුමක් එවන්නට සිටියේ අන් කිසිවෙකු නොව අම්මාය. ඈ විදෙස් ගතව දැන් වසර හතකට ආසන්නව ඇති මුත් එකම වරක් හෝ නැවත ලංකාවට පැමිණ නොතිබුණාය. අක්කාගෙනුත් අයියාගෙනුත් යුත් පවුලේ මම බාලයා වීමි. තාත්තා ද විදෙස් රැකියාවට ගොස් තිබුණේ මා තුන් හැවිරිදි වියේ පසු වන විටය. ඔහු වැඩි කලක් යන්නට පෙරම එම රටේදීම මිය ගොස් තිබුණේ හෘදයාබාධයකින් බව පසු කලෙක මා හා කීවේ අක්කාය. ඔහු පිළිබඳව කිසිදු මතකයක් මා තුළ නොවූයේ ඒ හේතුව නිසාය. ඔහුගේ දේහය පවා මෙරටට එවා තිබුණේ සීල් තබා බව අක්කා වැඩි දුරටත් පවසා තිබුණාය. තාත්තා මියගියේ සැබෑවටම හෘදයාබාධයක් නිසාද කියා සැකයක් පසු කලෙක මා සිතේ ඇති විය. පසුව අම්මාද විදෙස් ගත වූයේ මෙසේ අප නිවසේ වූ ආර්ථික අපහසුතා හේතුවෙනි. එවකට මට වයස අවුරුදු හත පිරුණා පමණි. තාත්තාගේ මරණයත් අම්මාගේ විදෙස් ගත වීමත් යන දෙකම සිදු වූයේ මගේ අවාසනාව නිසා බවක් කියා අයියා මට නිතර දොස් පවරන්නට විය. ඔහුගේ එම කුරිරු වදන් නිසා මම කුඩා කල පටන් වින්දේ ඉතා දැඩි මානසික පීඩනයකි. මා බලා ගත්තේ ආච්චි අම්මාය. අක්කා ඉක්මනින් විවාහ වී වෙනම නිවසක පදිංචියට ගියද මම ආච්චි අම්මා සමඟ පොල් අතු සෙවිළි කරන ලද කුඩා නිවසේ විසුවේ අයියාගේ කෙණහිළිකම් මැදය. පසු කලෙක ආච්චි අම්මාද මිය ගිය පසු මා අක්කාගේ නිවසට කැඳවා ගත්තාය. අයියා අප ජීවත් වූ මහ ගෙදර තනිවම විසූ අතර කෑම ගැනීමට පමණක් අක්කාගේ නිවසට පැමිණියේය. එසේ නොමැති නම් ඔහුගේ දිවා ආහාරය මට එහි ගෙන ගොස් දීමට සිදු විය. මා එය ඉටු කළේ නොකැමැත්තෙනි. අයියා මා ප්‍රිය නොකළාටත් වඩා මම ඔහු ප්‍රිය නොකළා සේම, මම ඔහුට වෛර කළෙමි. ඔහු මට එල්ල කරන ඇනුම්පද පවා මම ඉවසා දරා සිටියේ සිත තුළ තෙරපී ගත් දැඩි වේදනාවකින් යුතුවය.
යහන මත හිඳගෙන අම්මාගේ ලිපිය කවරය තුළින් පිටතට ගත් මම එය කියවන්නට වූයෙමි. ඇගෙන් ලිපියක් ලැබුණේ බොහෝ කලකට පසුවය. එයද ඉතා කෙටි ලිපියකි. වැඩි විස්තරයක් එහි සටහන්ව නොතිබුණද මම ඉන් වුවද ලැබුවේ මහත් සැනසීමකි. අම්මාගේ සුවඳ ලියුම් කඩදාසියේ කොහේ හෝ තැනක තැවරී ඇතිදැයි සෙවීමට මම එය කිහිප වතාවක් නාසයට ළංකොට ගෙන සිප ගත්තද මට දැනුණේ පිටරට සුවඳ පමණි. ඇගේ උණුසුම, සුවඳ පවා මට දැනී බොහෝ කල් ගත වී ඇතිවා සේම ඇගේ මතකය පවා මා සිතින් ගිළිහී යාමට ආසන්නය. අම්මා විදෙස් රටක හිඳ දුක් මහන්සියෙන් උපයන මුදලින් අපට ඇගේ උණුසුම, සෙනෙහස, රැකවරණය නොලබා ගෙවී යන අසීරු දවස් යළි ලබා ගත හැකි වෙනු ඇතිද.? එම සිතුවිල්ල පවා මා සිතේ ඇති කළේ වේදනාවකි. අක්කා වුවද මා ගැන බලන්නේ මා පිළිබඳව ඇති සහෝදර බැඳීමක් නිසා නොව තම යුතුකම වගකීම සේ සළකාය. අම්මා මුදල් නොඑව්වා නම් ඇයත් මා අතහැර දමන්නට ඉඩ තිබුණා නොවේදැයි මම සිතුවේ දැවෙන හදිනි. මේ සියල්ල ඉවසා දරාගෙන මම ඇයත් සමඟ ඇගේ නිවසේ ගෙවූයේ ඉතා දුඃඛිත කාල පරිච්ඡේදයකි. මා යම් තරමක හෝ සතුටක් ලැබුවා නම් ඒ මා පාසල තුළ ගත කළ කෙටි කාලය තුළ පමණි. නිවසට පැමිණි විගස මට කිරීමට බොහෝ රාජකාරී විය. නිවසේ ඉදිරිපස කාමරයේ අක්කා විසින් සිල්ලර බඩු වෙළඳ සලක් පවත්වාගෙන ගිය නිසා සමහර විටක මට එයටද ඇයට සහාය වීමට සිදුවේ. ඊට අමතරව ඈ ඉඳි ආප්ප ඇනවුම්ද බාර ගෙන සාදන නිසා පාසල් නිමවී පැමිණි පසු මට පිටි තම්බා තැබීමටත්, ඉඳි ආප්ප සෑදීමට ඇයට සහාය වීමට මෙන්ම රාත්‍රී ආහාර පවා සකස් කිරීමටද සිදුව තිබිණි. ඊට අමතරව ඈ නිවසේ සියළු වැඩ කටයුතු කර ගත්තේ මා ළවාය. සියල්ල නිම කර මට පාසලෙන් දෙන පැවරුම් කිරීමට අතපසු වන අවස්ථා බොහෝය. මේ නිසා මට ගුරුවරුන්ගේ දෝෂදර්ශනයට ලක් වීමට සිදු විය.එවන් විටක නම් මට පාසල් යාමත් එපා විණි.
පාසල් යාමත්, ඉගෙනුමත් මට එපා කර වූ තවත් දෙයක් නම් අප පන්තියේම ඉගෙනුම ලබමින් සිටි උමයංගය. හැඩි දැඩි පෙනුමක් සහිත ඔහු අපට වඩා වසර කීපයක් වැඩිමහල් අයෙකු විය. ඔහු කීප වරක්ම අසමත් වී අප පන්තියට වැටී තිබුණේ මගේම අවාසනාවකට කියා මට සිතිණි. මේ වන විට ඔහු අවුරුදු දහනවයකට ආසන්නව සිටි අතර රැකියාවක් කරන වයසට ආසන්නව සිටියේය. ඇරත් ඔහු තුළ වූ මුහුකුරා ගිය රළු පෙනුම පාසල් ළමයෙකුට තරම් නොවීය. ඔහු මා පිළිබඳව සිතකින් පසු වූ සේම ආදරය ඉල්ලා මා වෙත පෙම් හසුන් පවා එවමින් මට මහත් කරදරයක් වී තිබිණි. ඔහු එවූ පෙම් හසුන් මම අතින්වත් නොඅල්ලා ආපසු හරවා යවන විට ඔහු මා කෙරෙහි කෝප සිතින් පසුවූ බවත් මම හොඳාකාරවම දැන සිටියෙමි. ඔහු තුළ වූ හැඩි දැඩි රළු පෙනුම මා සිත බිය ගැන්වීය. උමයංග ගමේ මිතුරන් සමඟ එකතුව නොයෙකුත් නොකටයුතු කම් වලට පවා ඇබ්බැහි වී සිටින බව මා හා කීවේ සමන්මලීය. ඇගේ නිවස පිහිටියේත් ඔහුගේ නිවසාසන්නයේමය.
“උමයංග ගමේ නම් එච්චර හොඳ චරිතයක් නෙවේ මංදි…ඉස්කෝලේ එන්නේ නැතුව…කට්ටි පැනලා පැනලා නේන්නම් කීප සැරයක්ම ෆේල් වෙලා අපේ පන්තියෙ ඉන්නේ…”
සමන්මලී කීවේ ඇගේ සිරුර කිළිපොවා යන ලෙස උරහිස් හකුළුවමිනි. මා ගතද හිරි වැටී ගියේ ඇතිවූ අපුළ නිසාය. ඈ අතේද ඔහු මට පෙම් හසුනක් එවන්නට සූදානම් වන විට සමන්මලී එය එක්වරම ප්‍රතික්ෂේප කර තිබුණාය. ඈ ඒ බව මා හා කියන විට මා සිත තුළ අලුත් බියක් ඇති විය.
“ඔහොම එකෙක් එක්ක යාළු වෙනවට වඩා හොඳයි…ටොක් ඇට ටිකක් කන එක…”
මාලිකා ඒ බව අසා කීවේ කෝපය මුසුවය.
“ඉතින් අනේ…ගෙවල් වල මිනිස්සු දන්නේ නැත්ද උමයංග ගැන…?”
තරුෂි මවිතයෙන් ඇසුවාය.
“දන්නවා අනේ…මොකද නොදැන… ඒත් ඉතින් වැඩක් නැහැ…අම්මාට විතරයි බය…තාත්තා එක්කත් හැමදාම සණ්ඩු… අපේ ගෙවල් වලටත් ඇහෙනවා සද්දේ…”
ඒ මොහොතේ මා මුවින් සුසුමක් ගිළිහිණි.
“තාම ඇඳුම් මාරු කළේ නැත්ද…?”
අක්කාගේ හඬ ඇසී මම ලියුමත් ගෙන යහන මතින් නැඟී සිටියෙමි. අම්මාගේ ලියුම මට සුළු මොහොතකට හෝ සියල්ල අමතක කර දැමුවා වන්නට ඇත.
“ඇඳුම් මාරු කරන් කාලා ඉන්න…සුමිත් තාම ආවේ නැහැ…එයාටත් කෑම අරින්න මේසෙට…”
ඈ මට විධාන කොට දොර රෙද්ද අත හැර ඉවත නොපෙනී ගිය පසුව මම පිටතට පැමිණියේ ඇඟ පත සෝදා ගන්නටය. කොහොඹ ගස යට තනා තිබූ ටැංකියේ වතුර සීතලය. මේ මොහොතේ වතුර බාල්දියක් ඇඟට හළා ගන්නා විට දැනුණේ සනීපයකි. අම්මා ඉක්මනින් ලංකාවට පැමිණියා නම් කියා මම ඒ මොහොතේත් සිතුවෙම්. ඈ ළඟ සිටියා නම් මට අක්කාට වුවද මෙතරම් බැල මෙහෙවර කම් කරන්නට සිදු වන්නේ නැත. අලුත් වූ ආත්මනුකම්පාවකින් මා සිත බර විය. කළකිරීමක් මෙන්ම මට මා කෙරෙහිද ඇති වූයේ වේදනාවකි.
“දැන් ඉතින් පිටි තම්බන්නයි…කන්න හදන්නයිත් එපැයි…”
නොරුස්සුමෙන් මම සිතුවෙමි.
——————————————————————————————————
විවේක කාලය වූ බැවින් පන්තියේ ළමුන් පිටතට ගොස් සිටි අතර එහි සිටියේ මා පමණි. තරුෂි සහ සමන්මලී රට කජු ගෙන ඒමට කියා ගිය ගමන තවම නොආවෝය. කොහේදෝ සිට පැමිණි උමයංග අසුනක් ඇද ගෙන මා සමීපයට විත් හිඳ ගන්නා විට මා සිතේ ඇති වූයේ තැති ගැන්මකි. මට ඉබේම වටපිට බැලුණේ ගුරුවරයෙකු හෝ දුටුවෝතින් කියා ඇති වූ බියටමය. වහා අසුන මතින් නැඟිට ගත් මම බිත්තිය කෙළවරට විත් කෙටි බිත්තියට බරදී දෑත් බැඳ ගතිමි.
“මංදාකිණි…”
උමයංග මා අමතන විට මම ඔහු දෙස බැලුවේ නොරුස්සුම් මුසු බැල්මකිනි.
“ඇයි…මොකද…?”
තරමක කෝපයකින් මම ඇසීමි.
“මොකද අනේ…ආදරෙන් කතා කළාම ඔහොම පොල්ලෙන් ගහන්න වගේ කතා කරන්නේ…? ටිකක් ආදරෙන් කතා කරන්නකෝ…”
උමයංග නොසතුටෙන් මෙන් කියන විට මම ඔහු දෙසම බලා සිටියේ නෙරවා ගත් බැල්මකිනි.
“වෙන නැතුවට…”
හිස ගස්සා ඉවත බලා ගනිමින් මම කීවේ මා සිතේ කෝපය ඇවිළෙන්නට වන විටය.
“ඕකනේ…ඉතින්…ඔයා මං අහපු දේටවත් තවම උත්තරයක් දුන්නේ නැහැනේ…”
“මොනවද…?”
“නොදන්නවා වගේ අහන්නේ ඇයි අනේ…? මං ඔයාට කැමතියි කියලා කිව්වේ…”
මා සිත යට වූ කෝප ගින්න මේ වන විට නම් මට පාලනය කර ගන්නට නොහැකි තරම් විය. මම ඔහු දෙස බැලුවේ ගිනි දළු පිටවන දෑසිනි. මා ගතම කෝපය නිසා ගිනි ගන්නාක් මෙනි. නොසන්සුන්වූ මා සිත හැකිතාක් සන්සුන් කරගන්නට මම අසීරු වෑයමක් දැරීමි.
“මං හිතන්නේ…ඔයාට සිංහල තේරෙන්නේ නැතුව ඇති…ඒකට දෙන්න ඕන උත්තරේ මං දැනටමත් දීලා ඉවරයි…ඒ ගැන හොඳටම දැන දැනත්…ඔයා හැසිරෙන්නේ…කිසිම ලැජ්ජාවක් නැති ගානටනේ…මට ආයේ කරදර කරන්න එපා…”
උමයංග යකඩ පුටුව තල්ලු කරගෙන නැඟී සිටින විට මහා හඬක් නංවමින් එය බිම වැටිණි. එම හඬින් මමද සැබෑවටම තිගැස්සී ගියෙමි. ඔහු මා වෙත ළංවූයේ අඩියට දෙකටය.
“මට ලැජ්ජාවක් නැහැ තමා…හැබැයි තමුන් දැන ගන්නවා…හොඳින් හරි…නරකින් හරි…දෙකෙන් එකක් වෙයි…”
දැබරැඟිල්ල මා මුහුණ ඉදිරියේ ළෙලවමින් ඔහු කළ තර්ජනය මම සැහැල්ලුවට නොගත්තද, මම මේ මොහොතේ ඔහු කෙරෙහි බිය වූ බවක් පෙන්වීමට නොගියෙමි. උපහාසය මුසු සිනහවකින් ඔහු දෙස බලා මම මෙසේ කීවෙමි.
“ඔයා ඉස්කෝලේ එන්නේ කෙල්ලන්ට චණ්ඩි පාට් දන්නද…? බලාගෙන ඉන්නකෝ…ඔයා හිතාගෙන ඉන්න ඒවා නම් කරගන්න එච්චර ලේසි වෙන්නේ නැහැ…ගෑණු ගන්න ඔච්චර හදිසි නම් තියෙන්නේ ඉස්කෝලේ නෑවිත් කසාද බැඳ ගන්න එකනේ…”
දැඩි හඬකින් පැවසූ මා ඔහුට රවමින් පන්ති කාමරයෙන් පිටව ආවේ ඔහු යළිත් කිසිත් කීමට පෙරය. මා සිතට බියක් නොදැනුණා යැයි මම නොකියමි. උමයංග පිළිබඳව මට අසන්නට ලැබුණු තොරතුරු නිසා මා සිටියේ සැබෑවටම බියකිනි. මාර ගහ යටදී මට තරුෂිත් සමන්මලීත් මුණ ගැසුණේ ඔවුන් පෙරළා පන්ති කාමරය දෙසට එන විටය.
“ආහ්…මෙන්න එන්න බැහැ කියපු කෙනා එනවා…”
මා දැක සමන්මලී කීවේ මඳහසක් නංවාගෙන වුවද මා මුවට නම් සිනහවක් නොනැඟෙණේ සිතේ වූ නොසන්සුන්තාවය නිසාය.
“මොකද අනේ මේ මූණත් එක්ක මැළවිලා…මොකෝ වුණේ…?”
තරුෂි කඩල ගොට්ටක් මා වෙත දිගු කරමින් විමසුවේ විපරම් දෑසින් මා දෙස බලානය.
“ඒකනේ…මොකෝ මංදි වුණේ…?”
සමන්මලී ද මා මුහුණට නැඹුරුව විමසන විට මා මුවින් සුසුමක් ගිළිහිණි.
“ඇයි අනේ…?”
මා පිළිතුරක් නොදුන් නිසාදෝ තරුෂි එවර මගේ දෑතින් අල්ලා ගනිමින් ඇසුවාය. මම උමයංග කී දෑ අකුරක් නෑර ඔවුන් සමඟ පැවසුවෙමි.
“එයා එච්චර චණ්ඩියෙක්ද එතකොට…අපි ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරමු මංදි…”
තරුෂි කියන විට මම කළබල වූයේ ඈ ඒ මොහොතේම විදුහල්පති තුමා වෙත යාමට සැරසෙන විටය.
“නැහැ..නැහැ…එපා තරූ…ප්‍රශ්න තවත් දුර දිග ගියොත් අක්කා මාව ඉස්කෝලේ එවන එකත් නැති වෙයි…”
ඇගේ අත දැඩිව අල්ලා ගනිමින් මම කීවේ තැති ගත් හඬකිනි.
“එහෙම කොහොමද මංදි මෙයාලට බය වෙලා ඉන්න ඕනද…?”
තරුෂි කතා කළේ පහව නොගිය කෝපයෙනි.
“මංදි කියන දේ හරි…තරූ…අපි සද්ද නැතිව ඉමු…උමයංග කියන්නේ මහා…නරකම කොල්ලෙක්…එයා ආශ්‍රය කරන්නේත් ඒ වගේම අයවනේ…මංදිට කරදරයක් කළොත් එහෙම…?”
සමන්මලී එසේ කියන විට මා සිතේ බිය තෙගුණ විය.
“අනේ…එහෙම කොහොමද කරන්නේ…උන්ට ගිය රටද මේක…? මං නම් කියන්නේ ප්‍රින්සිපල් සර්ට කම්ප්ලේන් කරමු කියලා…”
“නැහැ තරූ…සර්ට කම්ප්ලේන් කළා කියලා මෙයාව හදන්න පුළුවන් වෙයි කියලාද හිතන්නේ…? තාත්තා කියන දේවත් නාහන කෙනා ප්‍රින්සිපල් කියන දේ අහයි කියලා තමා බය…හොඳම දේ අපි නිෂ්ශබ්දව ඉන්න එක…එයා කාගෙන් හරි හොඳ පාඩමක් ඉගෙන ගනියි…”
සමන්මලී ගේ හඬේ වූයේ පිළිකුළකි. කෙසේ නමුත් ඈ කියන දේ සැබෑවක් යැයි මටද සිතිණි. සුදුසුම දේ නිහඬව සිටීමය.