NovelsMandaramen EhaMandaramen Eha - 11 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 11 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – සති කිහිපයක් මහ ගෙදර ගතකිරීමෙන් අනතුරුව සමන්තී සිය නිවෙස බලා පැමිණියේ අදය. දිගටම එහි රැඳෙන්නැයි මව සහ නැගණියගේ ඇවිටිලි මැද ඇය මහ ගෙය අතැර ආවාය. මේ බිම තරම් සැනසීම ගෙනෙන අන් තැනක් ඇගේ ජීවිතයේ නොවන්නේය. සැමියාගේ අහිමි මතකයන් සමඟ ගැටෙමින් මේ දූවිලි සුළඟ සමඟ හුස්මක් වැටුනත් ඈ එයින් සැනසෙන්නීය. සිය පුතු මහගෙයි නින්දේ පසුවද්දී සමන්තී හිමිදිරියේම මෙහි පැමිණියාය. ආ වේලේ පටන් ඈ නිරත වූයේ අපිළිවෙල වූ සිය නිවෙස සහ ගෙවත්ත පිළිවෙල කිරීම සඳහාය. වතුර කළයක් පුරවා ගැනීම සඳහා ගෙවත්ත පහළ ළිඳ වෙත ගොස් එබුණු සමන්තීට ඉබේම හීල්ලිනි. බඹ ගණනක් ගැඹුරු ළිඳ අඩියෙහි බාල්දියක් පිරෙන්නටවත් වතුර නොමැති තරම්ය. බොලොක්කය දිගේ ලණුව ළිඳ තුලට දැමූ ඈ,පයේ මහපටැඟිලි දෙකෙන් එසවී කඳෙන් බාගයක් ළිඳ තුළට දමා බාල්දිය දියේ හොවා ගත්තේ ආයාසයෙනි. පෙරහංකඩ කළයේ මුවමත තබා වතුර කලයක් පෙරාගන්නට සමන්තීට බොහෝ වේලාවක් ගත වූවාය. නිවසේ පිටුපස තාවකාලිකව ඉදි කළ කුස්සි කැබැල්ලේ වතුර කළය තැබූ ඈ, වියලි දර කැබලි කිහිපය එක්කොට ලිප ගිණි මෙලවූයේ කේතලය තබන්නටය. කපරාරු නොකළ ගඩොල් බිත්තියේ තැනෙක කම්බි පොටක ආධාරයෙන් සවිකොට ඇති ලෑල්ලෙහි තිබූ ප්ලාස්ටික් බෝතල් කිහිපය සොලවා බැලූ ඇයට ඒවා හිස් බව වැටහුණාය. පපුව හරහා සියුම් විදුලි සරක වේගයෙන් රිදීමක් ඇදී ගියේ ලක්මාල් සිහි වීමෙනි. ඔහු දුරස්ව ගිය එක මාසයට හමාරට තමා මෙතරම් අසරණ වූයේ කෙසේදැයි ඇයට සිතාගත නොහැකි විය. තමා ජීවත් කරන්නේ අදිසි හස්තයකින් බව සිතා සිටියද,ඒ සැබවින්ම ලක්මාල් බව පිළිගන්නට සමන්තී මෙතෙක් මැළි වූවාය. එහෙත් ලක්මාල්ගේ පිළිසරණ අහිමිව ගිය ඉතා කෙටි කාල සීමාව තුළ ඉබේම එය තමන්ට අවබෝධ වූවා නොවේදැයි සිතී සමන්තී තැති ගත්තාය. එය තමන්ට තමාගේ ජීවිතය පිළිබදව තනි තීරණයක් ගන්නට කදිම අවස්ථාවක් ලබා දුන්නා නොවේදැයි සමන්තීට සිතිණි. තමා කිසිවෙකු ඉදිරියේ සරණක් නැති ගැහැණියක් විය යුතු නැතැයි යන අභිමානය ක්ෂණිකව ඇගේ හිසට නැගුණාය.

“අක්කේ…”

තාරුකාගේ හඬින් ඈ වහා කුස්සියෙන් මිදුලට හිස පෙව්වාය. තාරුකා සිය පුතු සමඟ ගෙමිදුලේ රැඳී උන්නාය. තම මවගේ දසුනෙන් පිනා ගිය කවිරූ, දිවවිත් ඇගේ දෙපා බදාගත්තේය. සමන්තී ඔහුව ඉහලට ඔසවා සිප ගත්තාය.

“ඉන්ඩ බෑ කියලා කෙඳිරිගානවා….ඉතිං මං උස්සං ආවා..”

“ඇයි මයෙ අම්මෙ…පුංචි එක්ක සෙල්ලම් කර,කර ඉන්න එපායැ..”

“එයා සාලා පුංචි වගේ අලුත් සෙල්ලං දන්නෑ අම්මා..”

“පෙනේද මේකා හිමිජ්ජා වගේ මාත් එක්ක ඇවිත් මහ එකීට කේළම් කියන යස..”

“කවුද අම්මෙ හිමිජ්ජා කියන්නෙ..”

පුතුගේ පැනයත් සමඟ සමන්තීගේ තරවටු බැල්ම යොමුවූයේ තාරුකා වෙතය. තාරුකාගේ දෑස් උඩ ගොස් දිව එළියට ඇදිණි.

“නෑ මයෙ අම්මෙ..පුංචි කිව්වෙ පුතා හොඳ ළමයෙක් කියලා….මයෙ පුතා ගිහිං සෙල්ලං කරන්ඩකෝ….අම්මා තේ ටිකක් හදලා කතා කරන්නං හොඳේ…”

සමන්තී සිය පුතු බිම තබන අතරතුර පැවසීය. කවිරූ මිදුලට දුවද්දී,ඇගේ නුරුස්නා බැල්ම තාරුකා වෙතට යොමු විය.

“මං කියලා තියනවා නංගී…දරුවා ඉන්න තැන පරෙස්සමෙන් කතා කරන්න කියලා..”

“හරි..හරි…අපි දන්නවා ඉතිං අම්මලාට පුතාලට අපිට වඩා නෑනලා ලොකුයි කියලා..”

“මටනම් මස්සිනත් ලොකුයි නෑනා වගේම..”

“අපෝ ඔව්..මොනා නැතත් එයාගේ ලොකුකමනම් තියනවා මදි නොකියන්න..” දෙදෙනාටම එකවර සිනහවක් නැගුණෝය.

“මස්සිනා පොඩ්ඩ දැක්කෙම නෑ පිරිතෙන් පස්සෙ…”

“මේ දවස්වල ඉන්නෙම බුම්මගත්ත ගමන්..මොනාහරි ඔලුවෙ පුරවගෙන..ඇහුවට කියන්නෙත් නෑ…”

“ආය දෙකක් නෑ.. ඔයා මොනාහරි කට කැඩිච්ච කතාවක් කියන්නැති…”

“පේනවනෙ…වාසිය යන්නෙම නෑනලාට,මස්සිනාලට…අපිට ඉතිං හුළං…”

“විකාර තියලා කියනවකෝ ඉතිං…මොකද උණේ…”

“පහුගිය දවස්වල රස්සාවත් ගැන කිය,කිය හිටියා….මං ඒකට වැඩි කැමැත්තක් පෙන්නුවෙ නෑ….ඒකටද දන්නෑ..”

“මස්සිනාට විතරක් නෙවෙයි…රස්සාවක වටිනාකමනම් දැන් මටත් දැනිලයි තියෙන්නෙ නංගී..”

තාරුකාගේ විමතිය දනවන දෑස් සිය සොහොයුරියගේ මුහුණ මත ක්ෂණයකින් විත් නතර වූවාය.

ශාරික ආලින්දයට වී බොහෝ වේලාවක් ගත කළේය. හීන් බංඩාරමැණිකේ කිහිප වාරයක් ආලින්දයට හිස පොවා නැවත ගෙතුළට ගියාය. අද සරලාගේ උසස් පෙළ විභාගයේ අවසන් දිනයයි. ඉන් පසු ඈද තමා මෙන්ම අරමුණක් නොමැතිව නිවසට වන්නීය. එයටත් වඩා ශාරිකගේ හිතට වදදෙන ගැටළුව වී ඇත්තේ පෙර දිනයක කාලිංග සමඟ කමතේදී සිදු වූ කතා බහයි. එදා ඔහු සිය පියා පිළිබඳව තමාගෙන් ඇසූ පැනය විටින්,විට තම සිත තුළ පිළිරැව් දෙමින් තමාටම නැවත,නැවත ඇසෙයි. ඔහු එය නිකමට ඇසුවා යැයි සිතන්නට උත්සාහ කළද, එය ලෙහෙසියෙන් හිතින් මැකී යන්නේ නැත. ඊට පසුබිම් වූ කුමක් හෝ බරපතල කාරණයක් වෙතැයි ශාරිකට නිතරම සිතෙයි.

“මොකෝ ලොකූ මේ…තේ එකත් එහෙමම ඇල්වෙලා ගිහිං..හිටින්ඩ මං තව එකක් ඇන්න එන්නං”

තේ කෝප්පය කනප්පුවෙන් ගන්නා ගමන් හීන් බංඩාරමැණිකේ එසේ පැවසුවාය.

“අපෙ අම්මා..” සිය පුතුගේ ඇමතුමෙන් ඈ නතර වූවාය.

“කිරිඅත්තා කොහොම කෙනෙක්ද..”

“ඔයාලැයි අප්පච්චිගෙ අප්පච්චි ගැනද අහන්නෙ…”

“නෑ……කැලේගම කිරිඅත්තා ගැන නෙවේ…ගිරාතලානේ කිරිඅත්තා ගැන…”

“අපේ අප්පච්චිත් ඔයැයිගෙ අප්පච්ච්ම තමා…ආයෙ කපාපු පලුව..”

“ගති ගුණත් ඒ වගේද..”

“ඔව්.. ඔයැයිගෙ අප්පච්චි වගේම ගමේ හැම මිනිහ එක්කම සමඟියෙන් හිටියා…ඔයැයිගෙ අප්පච්චි මෙහෙ බින්නෙට ආදා ඉඳලා අපේ අප්පච්ව් සැරෙන්,වැරෙන් එයාට කතා කරනවවත් මටනම් ඇහිලා නෑ…. ඒකයි ලොකු මාම බින්නෙට ආව වගේය කියලා ගමේ මිනිස්සු විහිළුවට කීවේ….”

“එතකොට ලොකු මාමට..”

ශාරිකගේ පැනයට පිළිතුරු බැඳීමට පෙර හීන් බංඩාරමැණිකේ සිය පුතුගේ මුහුණ පිරික්සුවාය. ඔහු මෙතෙක් වේලා තමන් විමසා ඇත්තේ ඈතට යොමාගත් දෑසින් බව ඈ දුටුවේ එවිටය.

“ඇයි ලොකූ..”

“නෑ අපෙ අම්මා….නිකමට දැනගන්න ඇහුවෙ…කිරිඅත්ත එච්චර නිවුණු කෙනෙක්නම් ලොකු මාමා විතරක් ඇයි ඒ තරම් රළු,පරළු මිනිහෙක් උනේ…”

“කිරිඅත්තා ඒ දවස්වල කියන්නෙ එහෙම උනේ ඔයැයිගෙ කිරිඅම්මගෙ හුරතලේ නිසා කියලයි…පවුලේ පළවෙනි දරුවා නිසා කියන,කියන හැමදේම කරලා ලොකු මාමව නරක් කරාය කියලා කිරිඅත්තා ඔයැයිගෙ කිරිඅම්මා මැරෙනකංම එයැයිට දොස් කීව..”

“ඒ කියන්නෙ කිරිඅත්තා ලොකු මාමට ඒ හැටි කැමැත්තක් තිබුණේ නෑ..”

“දරුවෙක් විදිහට වෙන්න ඕන යුතුකම් කලා මිස ආදරයක්,විශ්වාසයක් තිබුණු බව පෙණුනෙ නෑ.. මොකද ලොකු මාම කිරිඅත්තගෙ බහටවත් කීකරු උන දරුවෙක් වෙලා හිටියෙ නෑ….නිතරම ගමේ මිනිස්සු එක්ක ආරවුල්.. ඒකයි ගමේ මිනිස්සු එයැයිට ලෝකයා කියලා කිව්වෙ..”

“කිරිඅත්තා දේපල බෙදද්දි කොහොමද කලේ..”

“බාලයට කොහොමත් මහ ගේ දෙනවනෙ…ඒ නිසා මේ ගේ මට ලැබුණා….ලොකු මාමට ඔය ඉන්න ඉඩමයි,මහ කමතෙ කුඹුරු කෑල්ලයි විතරයි දුන්නෙ..ඒත් එක දෙයක් කළා…ඉතුරු ඉඩකඩම්වල පසූ උරුමේ ඔයැයිගෙ අප්පච්චි නමට ලියලා….ආදායම් දෙන්නට බෙදෙන විදිහට පොරොන්දු පත්තරයක් අස්සන් කරා..”

“අම්මට විශ්වාසද…පොරොන්දු පත්තරේ විදිහට අප්පච්චී ලොකු මාම එක්ක ගණුදෙනු කරා කියලා..”

මෙතෙක් වේලා කුඩා දරුවෙකුට කතන්දරයක් කියනා සංයමෙන් සිටි හීන් බංඩාරමැණිකේ සිය පුතුගේ අවසන් පැනයෙන් බිරාන්තව ගියාය. විරූපව ගිය මුහුණෙන් යුතුව ඈ සිය පුතු දෙස බැලූයේ ඔහුව වටහාගන්නට මෙනි.

මැදින්නෝරුව හන්දියේ විශාල පළු ගස මුල පාසල් සිසුන් පිරිසක් රැඳී සිටිති. උසස් පෙළ විභාගයට මුහුණ දී සිටින ඔවුන් මේ කල් මරන්නේ බසයක් එනතුරුය. යෙහෙළියන් කිහිප දෙනෙකු සමඟ සරලාද ඒ අතර වන්නීය.

“ඒ ඉරුවරදෙත් ඉවරයි ඕං එහෙනම්..” සරලා කීයේ සිය යෙහෙළියකටය.

“මොන ඉරුවරදේද බං..”

“අපේ අභාගේ….මේ විභාගේ බං..”

“සාමාන්‍යයෙන් ඉරුවරදේ එන්නෙ උදේ කාලෙට නේද..”

“ඔව්..ඉතිං හරිනෙ බං..හැම පේපර් එකම ආවෙ උදේ වරුවෙ විතරනෙ..”

යෙහෙළියන්ගේ සිනා හඬ පරිසරයේ නිහඬ බව බිඳිමින් පැතිර ගියහ. එකියක සරලාට වැලමිටෙන් ඇන යමක් පෙන්වීය. සරලා දුටුවේ යතුරු පැදියෙන් තමන් දෙසට එන කාලිංගය. ඇය වහා යෙහෙළියන්ට මුවා වූවාය. එහෙත් ඒ වන විටත් කාලිංග සිය යතුරු පැදිය ඔවුන් අසළ නතර කොට අවසන්ය.

“නෑනන්ඩියේ..මොකෝ හැංගිමුත්තන් කෙලින්නේ..යමං මං උඔව ගෙදරින් දාන්නම්.”

“ඔන්න අරං යන්න..දැන්නං ඔයාලගෙ ගෙදරම එක්ක ගියත් කමක් නෑ කාලිංගයියේ..විභාගෙත් ඉවරනේ..”

සරලාගේ යෙහෙළියක කීයේ ඇයව ඉදිරියට තල්ලු කරමිනි.

“ආං..එක්ක යන තැන මං බලාගන්නං..උඔලා තෝල්කකං නොකර හිටහල්ලා පැහිච්ච අම්මණ්ඩිලා ටික..”

“මං යාළුවොත් එක්කම එන්නං…අයියා යන්ඩ..”

“ඇයි උන්ට තනිකං දෝෂද…මෙන්න මෙහෙ වරෙං මගෙන් කුණුහබ්බ නාහා..”

“ආයෙත් අහලා….කවදාහරි යන්න ඕනෙ එකේ අද ගියාම මක්වෙනවද..පලයං වදේ..”

යැයි කියූ සරලාගේ යෙහෙළියක නැවතත් ඇයව ඉදිරියට තල්ලු කළාය. විසිවී ගිය සරලා කාලිංගගේ ඇඟේ ගෑවී නොගෑවී නතර වූවාය. එකෙනෙහිම ගල්ගමුව දෙසින් වේගයෙන් පැමිණි සිරිවර්ධන මුදළාලිගේ මොරිස් මයිනර් රථය මහ හඬින් තිරිංග තද කරමින් මහ කඩය අසළ නතර කෙරීය. කෝපයෙන් එදෙස බැලූ කාලිංග ක්ෂණයකින් සිය යතුරු පැදිය හරවා එදෙසට පැදවීය.

1 COMMENT

Comments are closed.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you