NovelsMandaramen EhaMandaramen Eha - 09 මන්දාරමෙන් එහා

Mandaramen Eha – 09 මන්දාරමෙන් එහා

-

spot_img

Mandaramen Eha – කාලිංග මේ ඇහැළ ගස යට බංකුවට වී දැන් බොහෝ වේලා ගතව ගොස්ය. දින ගණනාවක් තිස්සේ සේනපුර පොඩි හාමුදුරුවන් සිය මව වෙනුවෙන් කළ යුතු සෙත් පිරිත සිහි ගන්වමින් පණිවුඩ එව්වේය. අවසන දින කිහිපයක් වෙහෙසී අද එය සිදු කරන්නට යොදා ගත් අතර මේ මොහොතේ පිරිත් මණ්ඩපය නිවස තුළ සැකසෙමින් පවතී. එහෙත් තමන්ගේ හිත පිරිතක් වැනි පින් කටයුත්තක් වෙනුවෙන් සුදුසු පසුබිමක නොමැති බව කාලිංගට සිතේ. මේ මොහොත වන විටත් හිත දවන බොහෝ ගැටළු හිස වටා බ්‍රමණය වෙමින් පවතී. කිසිදා ගැටළු වලට බියවී පලාගොස් නැතත්,ගැටළු සමඟ ගැටීමේ සීමාවක් ගැන ඔහුට දැන් ඔහුගේම යටි හිත ඉඟි කරමින් සිටින බව දැනේ. එක් ගැටළුවක් වෙනුවෙන් පිළියමක් සොයමින් ගන්නා වෙහෙස අවසන් වන්නේ තවත් ගැටළුවක ආරම්භයෙනි. තමන්ගේ ඉරණම තමන්ට අභියෝග කරමින් සිටින බව කාලිංගට කෙමෙන් අවබෝධ වෙමින් තිබේ.

“අයියේ..”

කාලිංග කල්පනා ලොවින් මිඳුනේ සමන්තීගේ හඬිනි.

“අයියට තේ ටිකක් හැදුවා..”

ඇළුමිනියම් කෝප්පය කාලිංග වෙත දිගු කරමින් සමන්තී කීවාය.

“තේ නෙමෙයි පුළුවන්නම් මට වහ ටිකක් ගෙනත් දියං..”

කාලිංගගේ වචන කිහිපය සමන්තී අතින් තේ කෝප්පය බිම අත හැරවීමට සමත් විය. අතින් මුව වසාගෙන අඩියක්,දෙකක් පිටුපසට ගිය ඈ,එකවරම ආපසු හැරී ගේ දෙසට දිව්වාය. වේගයෙන් හුන් තැනින් නැගිට ගත් කාලිංග දෑතින්ම සිය හිසකේ අවුල් කර ගත්තේය. දෙතොල් සපමින් එහාට,මෙහාට ඇවිද ගොස් ආපසු ගේ දෙසට හැරෙද්දී සරලා ඔහු අසළය.

“ඔයානම් කවදාවත් හැදෙන මිනිහෙක් නෙමෙයි කාලිංගයියේ..”

“එහෙනම් මාවත් මරාගනිල්ලා මයෙ අප්පච්චි මරාගත්තා වගේ..”

කාලිංගගේ ගෝරනාඩුවට තිගැස්සී ගියද සරලා එකඳු අඩියක් පිටුපසට නොගත්තාය.

“ඔයාට මොනාද වෙලා තියෙන්නෙ අයියේ..”

“ඇයි උඔ දන්නැද්ද ගමේ උන් කියන්නෙ මට කාලී වරම ඉහට ගහලා කියලා..”

“කාගේ වරමින් හරි ඔයා මේ හැසිරෙන විදිහ අන්තිම පහත්..”

කාලිංග සරලා දෙසට හැරුණේ අතක්ද උරුක් කරගෙනය. ඇහි පිල්ලමකුදු නොහෙලා එක එල්ලේ තමන් දෙස බලා උන් සරලා දුටු හෙතෙම සැනෙන් අත පහළ හෙලීය.

“ඇයි නැවැත්තුවෙ..ගහන්නනෙ තිබ්බෙ..එතකොටවත් ඔය හිතේ හංගගෙන විඳවන ප්‍රශ්න ටික විසඳෙයිනෙ..”

“දෙයියන්ගෙ නාමෙට මට පාඩුවෙ ඉන්න දීලා මෙතනිං පලයං සරලා…ඔව්..මං හැදෙන එකෙක් නෙවෙයි..මගේ අප්පච්චී වගේ දවසක නැතිවෙලා යයි..උඔලා හැමෝටම ඕනෙ ඒකනෙ..මාත් යන්නම්..අප්පච්චී ගියා වගේ ආය නොඑන්නම යන්නම්..එදාටවත් උඔලා සැනසීමෙන් ඉඳපල්ලා…”

ඇහැළ ගසට හිස ගසාගෙන කාලිංග බැරෑඬි හඩින් කෑගැසීය. සරලාගේ හිතට දැණුනේ පසුතැවීමකි. ඇය අතක්ද ඔසවාගෙන ඔහු සමීපයට ගමන් කළේ යමක් කියා ඔහුගේ හිත හදන්නටය. එකෙනෙහිම කඩුල්ලෙන් ගෙවත්තට ඇතුළු වූ ශාරික දුටු සරලා ආපසු හැරී ගෙදෙසට ගමන් කළාය.

අරසන් වැව් තාවුල්ලේ පිහිටි කුඩා අවන්හල හීන් අඳුරේ ගිලෙමින් තිබිණි. එහි වැව දෙසට විවෘත එළිමහන් ඉඩකඩෙහි මේසයක ලක්මාල් සහ මිතුරෙකු වාඩිලා සිටියහ. හිස් වීදුරුව අඩකට වඩා මත්පැන් වලින් පිරවූ ලක්මාල් උඩ බලාගෙන එය උගුරට හලාගෙන තෙමුණු බළලෙකු මෙන් සර්වාංගයම හකුළා ගසා දැම්මේය. ඔහුගේ මිතුරාගේ කට කොනකට සරදම් සිනාවක් නැගිණි.

“මොකෝ උඔ කින්ඩියට හිනා උණේ..”

“දැන් උඔ මෙහෙම අමාරුවෙන් බොනවා බලාගෙන මම අඬන්නද ඕනෙ..”

“ඒකත් ඇත්ත..මට ඇඬෙන ප්‍රශ්න තිබුණට උඔ මැරෙන්නද නේද..”

එවර ඔහුගේ මිතුරාද ලක්මාල් සේම වීදුරුව මත්පැනින් පුරවා එකපිට දෙවරක් උගුරට හලාගෙන ලක්මාල්ගේ මුහුණට එබුණි.

“හරි…ඔන්න මාත් බිව්වා….දැන්වත් කියපං ඔය ඇඬෙන ප්‍රශ්නෙ…ඒක මැරෙන්න ඕනෙ ප්‍රශ්නයක් නම් මාත් එන්නම් උඔ එක්කම මැරෙන්න…”

“මේ සමන්තිගෙ ප්‍රශ්නෙ මගේ ඔලුවට මාර වදයක් මචං අදීෂයා..”

“සමන්තී කියන්නෙ වසන්තගෙ ගෑණි…උඔ ඇයි ඒ ගැන වදවෙන්නෙ..”

“මං වදවෙන්නෙ ඒ ගෑණි ගැන නෙවෙයි බං..මං වස්සට දුන්නු පොරොන්දුව ගැන..”

“උඔගෙයි,වස්සගෙයි පොරොන්දු ගැන උඔ මට නොකියන බව දන්න නිසා අහන්නෑ…ඒත්..අඩුම තරමෙ කියපං එදා බයික් එකත් කුඩු කරගෙන ට්‍රිපර් එකක ඇවිත් ඉස්පිරිතාලෙන් බැහැපු කතාවවත් මොකක්ද කියලා..”

“එදා රෑ මං සමන්තිලයි දිහා ඉඳලා එනකොට පාර හරහා අලියෙක් පැන්නා…බයික් එක කන්ට්‍රෝල් නැතුව ගිහින් ගහක වැදුණා….සිහිය ඇවිත් බලද්දි මං ළඟ වයසක මනුස්සයෙක් හිටියා….මං සුදු අයියට කෝල් එකක් අරං ඒ මනුස්සයට දුන්නා ඉන්න තැන කියන්න කියලා….එච්චරයි..”

ලක්මාල්ගේ මිතුරා අදීෂ නොනවත්තාම මහ හඬින් සිනාසෙන්නට විය. ලක්මාල් තවත් වීදුරුවක් පුරවා උගුරට හලා ගත්තේය.

“උඔට ඔච්චර හිනාවෙන්න මොකක්ද අදීෂයා මං කරපු විහිළුව…”

“මිනිහෙක් නැති ගෑණියෙක්ගෙ ගෙදරට රෑ දෙගොඩ හරියෙ රිංගන උඔට හිනානොවී මං වෙන මොනා කරන්නද බං ලකා..”

“වස්සට වෙච්ච පොරොන්දුව ඉෂ්ඨ කරන්න මං රෑ දවල් බලන්නෑ බං..”

“උඔ උගේ පොරොන්දුව රකින ක්‍රමේ ඌ දන්නවනම් කොහෙහරි ජීවත්වෙලා හිටියත් ඔය ගෙදර පැත්ත පලාතේ පස් පාගන එකක් නෑ බං..”

“ඔව් යකෝ….ඌ ආයේ එන්නෙ නෑ තමයි…ආයෙ එන්නෙ නෑ..”

කෑගසාගෙන මේසයෙන් නැඟිටගත් ලක්මාල් අත රැඳි වීදුරුව පොලොවේ ගැසීය. එය හඬ නංවා කුඩු වී ගියේය. අවන්හල් සේවකයෙකු වහා විත් එතැන සිට ගත්තේය. අදීෂ සේවකයාට කළබල නොවී එතැන පිරිසිදු කරන ලෙස අතින් සන් කොට පැවසීය. ලක්මාල් ලී බරාඳයට අත ගසාගෙන වැව දෙස බලා හිඳියි. අදීෂද ඔහු අසළට ගොස් ඔහුට සමාන්තරව සිට ගත්තේය.

“මචං ලකා….උඔගෙයි,මගෙයි යාළුකම හුඟක් පරණයි…එහෙම කියලා උඔ කරන,කියන හැමදේම හරියි කියලා ඔලුව වනන යාළුවෙක් නෙමෙයි මම..දවසක උඔට මූණ දෙන්න වෙයි කියලා යාළුවෙක් විදිහට මට දැණුන දේ මං කිව්වා….ඒක පිළිගන්නවද නැද්ද කියන එක උඔගෙ වැඩක්..”

“සමාවෙයං මචං අදීෂයා….මම රටේ ලෝකේ උන්ගෙ හිත හැදෙන විදිහට ජීවත් වෙන එකෙක් නෙවෙයි කියලා උඔ දන්නවා….මං කරන දේ හරියි කියලා මගේ පපුවට තේරෙනවනම්…මේ මුළු ලෝකෙම වැරදියි කිව්වත්…ඒක කරලා මිසක් මං පස්ස බලන්නෙ නෑ…”

“එච්චරයි…කතාව ඉවරයි…වරෙං…ආය මුල ඉඳලා බොමු..”

අදීෂ ලක්මාල්ගේ කරට අත දමාගෙන ගොස් යළි මේසය අසළ වාඩ් වූහ.

තාරුකාගේ කුඩා නිවසේ පිවිසුමට යාබදව ඉදි කළ පිරිත් මණ්ඩපය තුළ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් පිරිත් සජ්ජායනා කරති. ලොකු බංඩාරමැණිකේ සහ හීන් බණ්ඩාරමැණිකේ දොහොත් මුදුන් දී ඒ අසළ හිඳගෙන සිටිති. පසෙක සමන්තී,සරලා,ශාරික සහ තවත් කිහිප දෙනෙකු වෙති. තේ බන්දේසියක් අතැතිව පැමිණි තාරුකා එය පිරිසට පිළිගන්වමින් පැමිණ ශාරික අසළ නතර වූවාය. දණ බිම ඔබා ඔහුගේ කනට යමක් මිමිණූ ඇය යන්නට ගියාය. මොහොතකින් හුන් තැනින් නැගිට ගත් ශාරිකද ඈ පසුපස ගියේය. තාරුකා ඇහැළ ගස මුල බංකුවේ අදුරට දෑස් යොමා සිටිද්දී,ශාරික ඈ සොයා ආවේය.

“කෝ කාලිංගයියා…..” ශාරික ඇසූයේ තාරුකාගෙනි.

“ඒක අහන්න තමා මාත් කතා කරේ..”

“මං ඇතුළට යද්දි මෙතන වාඩිවෙලානෙ හිටියෙ…පිරිත් ගෙට යං කීවම පස්සෙ එන්නම් කීව..”

“දවල් මොනාහරි සිද්ධ උනාද.”

“මං එනකොට චූටිත් එක්ක හිටියෙ…මූණ එච්චර හොඳ පාටක් තිබ්බෙ නෑ..”

“දවල් අක්කත් අඬ,අඬ හිටියා….ඇහුවට කිසි දෙයක් කිව්වෙ නෑ….මොනා නමුත් දෙයක් සිද්ධ වෙලා තියන හැඩයි..”

“කොහෙ ගියාද මේ රෑ ජාමේ…මං ටිකක් ගිහිං බලලා එන්නද..”

“පිස්සුද අයියේ ඔයාට…පිරිත් ගේ හරියෙ පිරිමි පුළුටක් නෑ….අනේ මන්දා මේ වගේ දවසකවත් අපේ අයියට ඉවසීමෙන් ඉන්න බැරි හැටි..”

“පහුගිය ටිකේම මාත් එක්ක සමන්ති අක්ක ගැන කියෝ,කියෝ හිටියා….”

“කියෝ,කියෝ හිටියට ප්‍රශ්න විසඳෙන්නෑනෙ ශාරූ…අපෙ අයියට ඔයිට වඩා වගකීමෙන් අපි ගැන හිතන්න තිබ්බා..”

“කාලිංගයියා ඉක්මනින් කළබල වෙනව,කේන්ති ගන්නවා තමා….එහෙමයි කියලා පවුල ගැන බරක් නෑ කියලා මං හිතන්නෙ නෑ..”

“අම්ම කියන්නෙ ඇත්ත…එයත් අප්පච්චි වගේ ප්‍රශ්න විසඳන්න යන්නෙ ඔලුවෙන් නෙවෙයි…ඇඟේ පතේ හයියෙන්..”

“ඕවා වෙන වෙලාවක කතා කරන්න බැරියැ….ඔක්කොම ඇතුලෙ ඉද්දි අපි දෙන්න මෙහෙම ඉන්න එක හරි නෑනෙ…යමු ඇතුළට..”

“බලාගෙන ගියාම අයියා හොඳයිනෙ…බය ගුල්ලා….”

අතක් මිට මොලවා ශාරිකගේ හිසට තබා තද කළ තාරුකා ගෙය දෙසට පිය මැන්නාය.

පරිසරයේ ඝන කළුවර අතරින් කාලිංග කිසිවෙකු හඹා යනු පෙනෙයි. ඔහු අත මුඟුරක්ද වේ. ඔහුට ඉදිරියෙන් මුළු සිරුරම ආවරණය කරගත් පුද්ගලයෙකු ගමන් කරයි. තමාට ඉදිරියෙන් ගමන් කළ පුද්ගලයා එක්වරම තැනෙක නතර විය. කාලිංගද අසළ ගසකට මුවා වී නතර වූයේය. සැනෙකින් ඔහුගේ ඇස් මානයෙන් අමුත්තා අතුරුදන් විය. කාලිංග මුඟුරද අතැතිව ගසෙන් එළියට විත් අවට පිරික්සීය. පිටුපසින් ශබ්දයක් ඇසිණි. වහා මුඟුරද ඔසවාගෙන ඔහු පිටුපසට හැරිණි. තිගැස්සී ගිය කාලිංග අතින් මුගුර අත හැරිණි.

“අප්පච්චී..” යනුවෙන් ඔහුට කෑගැසිණි.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you