Hima Mal Renu හිම මල් රේණු
සිදුව ඇත්තේ කුමක්ද කියා දැන ගන්නා තුරු මා පසු වූයේ නොඉවසිළිමත් සිතිනි.
“ඇයි ඔයා එහෙම කියන්නේ…?”
මැඩගත් කුතුහළයෙන් යුතුව මම ඇසීමි.
“අද දවල් ගෙදරට කෝල් එකක් ආවා දුව… ඔයාව අහලා…”
“කවුද භාෂිතද…? හෙට එයාලා මෙහෙ එනවා කිව්වානේ…මට කියන්න බැරි වුණා…දවල් කෑම හදන්න වෙයි නැන්දා…”
“භාෂිත නෙවේ ළමයෝ…භාෂිතගේ කටහඬ මං අඳුනන්නේ නැත්ද…කතා කළේ වෙන කවුරු හරි දුව…මහාම මහා ගොරෝසු පිරිමි කටහඬක්…මැරයෙක් වගේ කියලා මට හිතුණේ…”
එවර වඩාත් පුදුමයෙන් මම නැන්දා දෙස බැලීමි.
“ගොරෝසු පිරිමි කටහඬක්…? ඉතින් එයා මොනවද ඇහුවේ…?”
“ආරණ්‍යා ඉන්නවද ඇහුවා…මං ඇහුවා කවුද කතා කරන්නේ කියලා…කෙනා කවුද කියලා වැඩක් නැහැනේ…එයා ඉන්නවද කියලා ඇහුවා…තමුන් කවුද නොකියා මං මොකටද තමුන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ කියද්දීම ෆෝන් එක කට් කළා…”
මා සිතේ ඇති වූයේ කුතුහළයකි. මගේ පැරණි දුරකථනය අහිමි වීමෙන් පසු මම අලුතින් ගත් දුරකථන අංකය මගේ මිතුරන් සියළු දෙනම දැන සිටි අතර ඔවුන් මා අමතනවා නම් අමතන්නේ මගේ ජංගම දුරකථනයටය. නැන්දා කියන ලෙසට ගොරහැඬි පිරිමි කටහඬක් සහිත මිතුරෙකු මා හට නැත. ඇමතුම දුන් කෙනා නම නොකීමද සැක සහිතය.
“නම කියලාම ඇහුවා නම් නැන්දා…ඒ මාව දන්න කෙනෙක් වෙන්න ඕන…ඒත් ඇයි එයා කවුද කියලා නොකීවේ…?”
“ඒකම නේන්නම් මාත් අහන්නේ…දැන් ටිකකට කළිනුත් කෝල් එකක් ආවා…ඔයා එද්දීම වගේ…” එය මටද ඇසිණි.
“ඉතින්…ආයෙමත් ඒ කෙනාමද කතා කළේ…?”
“ඔව්…ඒ කටහඬමයි…ආයෙමත් ඇහුවේ ඔයා ගෙදර ආවද කියලා…”
“මොනවා…ඉතින්…?”
“මං කවුද තමුන් කියලා අහද්දිම කට් කළා…”
“කවුරු හරි විහිළුවට කරපු දෙයක් වෙන්නැති…” නොසැළකිලිමත් ලෙස මම කීවෙමි.
“මෙච්චර කාලෙකට ඔයාව අහලා මෙහෙම විහිළු කරලා නැහැනේ…මගේ හිතට නම් බයයි දුව…කතා කරන කෙනාට මොකද කියන්න බැරි කවුද කතා කරන්නේ කියලා…?”
“ඒ ගැන එච්චර හිතන්න එපා නැන්දා…”
ඇයව අස්වසන අදහසින් කීවද මා සිතේ වූයේද යම් කුතුහළයකි.
“නොහිතා බැහැ…මට නම් හිතෙන්නේ මේක මනෝරිගේ වැඩක් කියලා…”
ඒ ඇසූ මා තිගැස්සුණු බැල්මෙන් නැන්දා දෙස බැලීමි.
“ඒ…ඇයි එහෙම කියන්නේ…?”
“එයා ඔයා එක්ක තරහින් ඉන්නවා ඇත්තේ…”
“ඉතින් ඒක එහෙම වුණත් ඇයි මාව අහන්නේ…?”
“ඒක නම් මටත් හිතා ගන්න බැහැ… කොහොම වුණත් ඔයා පරිස්සමෙන්…යත්දී එත්දී…ඊයේ පෙරේදා දවසක මනෝරි තාත්තා එක්ක කතා කරනවා මං අහගෙන…අපේ එකාටත් ලැජ්ජා නැහැනේ…”
තාත්තා තවමත් ඇය සමඟ සම්බන්ධකම් පවත්වනවාද….?
“මට එයාව චුට්ටක් වත් පේන්න බැහැ…නැන්දා…අම්මා නැති වුණේ එයා නිසයි…”
“ඔයාට විතරක් නෙවේ… මටත් එහෙම තමා…අනූ අක්කායි මායි හිටියේ යාළුවෝ වගේ…මගේ ජීවිතේ මට සිද්ධ වුණු දේවලුත් එක්ක මං මානසිකව වැටිලා ඉද්දී එයා තමා මගේ හිත හැදුවේ…”
දිගු සුසුමක් හෙළූ නැන්දා කීවාය.
“අපි හැමෝම රවට්ටගෙන එයා මේ ගෙදරට වෙලා හිටිය හැටි මතක් වෙත්දීත් මට පුදුම කේන්තියක් එන්නේ…”
“දැන් ඉතින් වුණ දේ වුණානේ…” නැන්දා එසේ කියා නැඟිට පිටතට ගියාය.
අවීශ් ගේ නිවස ඉදිරිපිට රථය නවතන විට මම ඉන් බැස ගත්තේ දියෙන් ගොඩ දමන ලද මත්ස්‍යයෙකු මෙන් ගැහෙන සිතිනි. නදීරා මගේ අතින් අල්ලාගෙන සිටි අතර තේෂාන් ගේට්ටුවේ විදුලි සීනුව හැඬවීය. අපි අදත් මෙහි පැමිණියේ සුමනදාස හමුවන්නට සිතාය. මේ වතාවේ හෝ ඔහු නිවසේ සිටීවායි කියා මම පැතුවෙමි. සුළු මොහොතකට පසු ගේට්ටුව විවර කරමින් පිටතට එබී බැලුවේ නිවසේ සිටි වෙනත් මෙහෙකරුවකු විසිනි.
“කාව මුණ ගැහෙන්නද…?”
ඔහු අප සියළු දෙනා දෙස මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේ රළු හඬකිනි.
“අපි ආවේ සුමනදාසව මුණ ගැහෙන්න…එයා ඉන්නවද…?”
තේෂාන්ද ඔහු ඇසූ ස්වරයෙන්ම කියන විට ඔහු තේෂාන්ගේ හිස සිට දෙපතුළට බැල්මක් හෙළීය.
“සුමනේ ඉන්නවා…කවුරු ආවා කියලද කියන්නේ…?”
“අවීශ් මහත්තයාගේ යාළුවෝ ආවා කියන්නකෝ…”
ඔහු ආපසු හැරී දොරටුව වසා දමා නොපෙනී ගියේය.
“මූ නිකන් බකිංහැම් පැලස් එකේ අයිතිකාරයා වගේනේ ටෝක…”
තේෂාන් කතා කළේ නොසතුටෙනි. ඊටත් සුළු මොහොතකට පසු යළි කළබලයෙන් මෙන් දොරටුව විවර කරමින් පිටතට පැමිණියේ සුමනදාසය.
“දෙයි හාමුදුරුවනේ…! මේ අපේ ආරාණ්‍යා මිස්ලනේ…තේෂාන් මහත්තයෝ…ඇතුළට එන්න…”
ඔහු අප දැක පුදුමයෙනුත් සතුටිනුත් යුතුව අපට ඇතුළට කළ ඇරයුම ප්‍රතික්ෂේප කරමින් අපි කීවේ පිටත හිඳ කතා බහ කරමු කියා වුවද සුමනදාස එයට විරුද්ධ විය.
“ඇතුළට යමු…ආරණ්‍යා මිස්…මේ වෙලේ ගෙදර කවුරුත් නැහැ…හිටියත් මොකෝ…මේ අපේ මහත්තයාගේ යාළුවෝනේ…පුංචි මහත්තයා හිටියා නම් මිස්ලා එළියේ තිබ්බ කියලා මට හොඳටම දොස් කියාවි….යමු…යමු…”
ඔහු කඳුළක් පිස දමමින් කියන විට අපි ඇතුළට පැමිණියෙමු. බංකුව අසළ සෙවනය. ඉඳහිට සුළඟක් හමා ගියේ පරණ මතක බිඳක් සිත පුරා ඉහිරුවමිනි. මාත් අවීශුත් මේ බංකුව මත හිඳගෙන කතා බස් කළ සැටි මට සිහි විය. සිත පිරී ගිය දුකින් සුසුමක් වා තළයට මුදා හළ මා නිවස දෙසට බැල්මක් හෙළීමි. නිවස නම් පෙරදා වාගේමය. ඉස්තෝප්පු කුළුණකට බර දී සිටගෙන කළිසම් සාක්කු දෙකේ දෑත් ඔබාගෙන සිනහ මුහුණින් අප දෙස බලා සිටින අවීශ්ගේ රුව ඇඳුණේ මා මනසේ මිස සැබෑවටම නොවේ. දෑසට එකතු වන කඳුළු ගුළි පිටතට ඒමට පොරකන විට මම ඇසිපිය සළමින් එය සිරකර දැමුවේ අසීරුවෙනි.
“අපි කවුරුත් නොහිතුව දෙයක් වුණේ ආරණ්‍යා මිස්…”
සුමනදාස කීවේ බිඳුණු හඬකිනි. අපි කිසිවෙකු කිසිත් නොකියා නිහඬව සිටියේ අපේ සිත් හැඟූම්බර ව තිබූ නිසා වන්නට ඇත.
“අපිටත් මේ හැමදේම හීනයක් වගේ සුමනදාස…”
ටිරෝන් කීවේ බොහෝ වෙලාවකට පසුවය.
“හරිම කරදර ගොඩාක් තමා වුණේ මහත්තයෝ…”
“දැන් කෝ ආන්ටිලා…?” තේෂාන් යළිත් ඇසීය.
“මං දන්නේ නැහැ…මහත්තයෝ…පුංචි මහත්තයාව අරන් රට ගියාත් හරි…කිසිම ආරාංචියක් නැහැ…ලොකු මහත්තයා එහෙ ඉඳන් තමා මේ සේරම වැඩකටයුතු ටික ලෝයර් මහත්තයාටයි තව කෙනෙක්ටයි බාර දීලා කෙරෙව්වේ…මෙහෙ හරි ජරමර ගොඩාක් වුණා…හම්මේ හිතද්දීත් ඇඟ හිරි වැටෙනවා…”
සුමනදාස එක දිගටම කියවගෙන ගිය අතර අපි පුදුමයෙන් අසා සිටියෙමු.
“ජරමර කිව්වේ…?” ටිරෝන් වහා ඇසුවේ පුදුමයෙනි.
“පුංචි මහත්තයට ඔය අනතුර වෙච්ච දා… මහා රාත්තිරියේ හරි වැඩක් තමා වුණේ…”
“ඒ මොකක්ද…?”
“තේෂාන් මහත්තයෝ…එදා රෑ කවුරු හරි මහත්තයගේ කාමරේ ජනේලෙන් කාමරේට වෙඩි තිබ්බා…අපි බයෙන් ඇහැරුණේ ඒ සද්දෙට…”
“මොනවා…ඒ කවුද සුමනදාස …?”
අපි අතර භීතියක් පැතිර ගිය අතර මට කෑ ගැසිණි.
“කවුද කියලා දන්නේ නැහැ…පුංචි මහත්තයා ගෙදර නැති විත්තියක් අපි දන්නෙත් නැහැ…ලොකු නෝනා විලාප තිබ්බා…ප්‍රසාද් මහත්තයාත් නැති විත්තිය මං දන්නේ පස්සේ…මං කාමරේට දුවලා ආවා…ඕන දෙයක් වෙච්චදෙන් මට වෙඩි වැදුණත් කමක් නැහැ කියලා…ලයිට් එක දාලා බැලින්නම් පුංචි මහත්තයා ඇඳේ නැහැ…හම්මේ…මට දැනුණු සැනසීම…හපොයි…ඒකට වැඩි ආයුෂ තිබුණේ නැහැ…අපි පුංචි මහත්තයාට කෝල් ගන්නවා…ගන්නවා ෆෝන් එක වැඩ නැහැ… ප්‍රසාද් මහත්තයාගේ ෆෝන් එකත් ඕෆ්…”
මම හුස්ම සිර කරන් අසා සිටියේ භීතියෙනි.
“ඕක වුණේ කීයට විතරද සුමනදාස…” තේෂාන් කල්පනාකාරි ලෙස ඇසුවේය.
“පාන්දර තුනටවත් නැහැ…”
ඔහු පැවසීය. අපි අනතුරට මුහුණ පා තිබුණේ ඊට පෙරය.
“ප්‍රසාද් මහත්තයා ගෙදරට කෝල් කළේ පාන්දර පහට විතර…ඒ වෙත්දීත් පොලීසියෙන් ගෙදරට ඇවිත්…අපි මහත්තයාට කෝල් කරලා කියලා ටික වෙලාවයි…පොලිසියෙන් ආවා…ප්‍රාසාද් මහත්තයා කියනකොටයි අපි දන්නේ පුංචි මහත්තයාගේ වාහනේ හැප්පිලා කියලා…”
සුමනදාස නිහඬ වූයේ හඬන්නට වූ නිසාය.
“අපිටවත් ඉස්පිරිතාලෙට යන්න එපා කියලා ලොකු මහත්තයා තහනම් කළා…ලොකු නෝනායි ප්‍රසාද් මහත්තයායි තමා ඉස්පිරිතාලේ හිටියේ…ඇයි මේ ගෙදරටත් ගාර්ඩ් එකක් දැම්මානේ…අපි උන්නේ පුදුම ගින්දරකින්…ඉස්පිරිතාලෙටත් ගාර්ඩ් එකක් දැම්මේ වෙඩි තියපු උන් ඇවිත් කරදරයක් කරයි කියලා බයට…මොන වැරදි තිබුණා කිව්වත් ලොකු මහත්තයා පුංචි මහත්තයාට හරි ආදරෙයි…ලොකු මහත්තයා ඒ ටිකේ හැසිරුණේ පිස්සුවෙන් වගේ…”
සුමනදාස කතාව නවතා කඳුළු පිස දමා ගත්තේය.
“වෙඩි තිබ්බේ කවුද කියලා හොයා ගන්න බැරි වුණාද…?”
මම ඇසුවේ මෙවන් දෙයක් කරන්නට ඇත්තේ කවුද කියා සැකමුසුවය. එය ආටිගල පවුලේ අයෙකු කළ දෙයක්ද…?
“සී. අයි. ඩී එකට බාරදුන්නට මොනව වුණාද කියන්න තවම දන්නේ නැහැ මිස්… දැන ගන්නත් මහත්තයා ඉන්න එපැයි…”
“එයාලා ගැන ආරංචියක් වත් නැත්ද…?” නදීරා ඇසුවේ මා සිත දැවූ පැනයමය.
“අනේ නැහැ…මිස්…මේ ගෙදරට ගාර්ඩ් එකෙන් දාලා තිබ්බ නිසා මහත්තයා…නෝනව මහත්තයා හිටිය ගෙදරට එක්ක ගියා…ඊට පස්සෙ ඉතින් පුංචි මහත්තයාවත් එක්කන් ගියානේ….ඒ ගියාට පස්සේ කිසිම ආරංචියක් නැහැ…මගේ දරුවෙක් නැති වුණා වගේ මට දුකයි…”
එවර ඔහු නැවතත් හඬන්නට වන විට මසිත තව දුරටත් ඉහිළුම් නොදිණි. මටද හැඬුම් ආයේය. අනික් අයද හඬන බව මා දුටුවේ බොහෝ වේලාවක් ගත වූ තැනය.
“ප්‍රසාද් කොහෙද…එයාත් ගියාද අවීශ් එක්ක…?” ටිරෝන් ඇසීය.
“මොන…ප්‍රසාද් මහත්තයව ලොකු මහත්තයා රස්සාවෙන් අයින් කළා… ප්‍රසාද් මහත්තයා එදා මෙහේ ආවා ඇඳුම් ටික අරන් යන්න…ලොකු මහත්තයා හොඳටම ගහලා…මූණ තඩිස්සි වෙලා…”
“අනේ…එ ඇයි…?” මා මුවින් පිට විය.
“පුංචි මහත්තයව තනියම යැව්වා කියලා…”
ඒ අසන විට නම් මට ඉකි ගසා හැඬිණි. මේ සියල්ල මගේ වරදය. එම හැඟීමෙන් මිදෙන්නට මට නොහැකිය.
“අනේ…මාත් ඒ එක්කම මැරුණේ නැත්තේ ඇයි…?”
නදීරාගේ උරමත හිස හොවාගෙන මම මහා හයියෙන් හැඬුවෙමි.
“අනේ…අඬන්න එපා ආරණ්‍යා…”
“මේ…මගේ වරද…මං නිසයි මෙහෙම වුණේ…”
“ඔයාට දොස් පවර ගත්තා කියලා…සිද්ධ වුණු දේවල් ආයේම හදන්න බැහැනේ…”
තේෂාන් නොසතුටු හඬකින් කීවේය.
“දැන් එතකොට ප්‍රසාද් අයියා ඉන්නේ කොහෙද කියලා සුමනදාස දන්නේ නැත්ද…?”
ටිරෝන් අසන හඬින් මම හිස එසවුයෙමි.
“නැහැ මහත්තයෝ…ප්‍රසාද් මහත්තයා ගේ ෆෝන් එකත් නැති වෙලානේ…කොහේ ගියාද කියලා දන්නේ නැහැ…”
“ආන්ටිලාවත් කතා කළේ නැත්ද එතකොට …?”
“මට කතා කළේ නැහැ…මට මොකට කතා කරන්නද මහත්තයෝ…”
“මොනවා හරි තොරතුරක් තිබුණොත්…අපිට කියන්න සුමනදාස…”
ටිරෝන් ඔහුට තම ජංගම දුරකථන අංකය දෙමින් එසේ කීවේය. මම ඔහු අත මුදල් නෝට්ටු කීපයක් තබන විට ඔහු එය අතට ගත්තේ පැකිළෙමිනි.
“අපි ආයේ එන්නම් සුමනදාසව බලලා යන්න…”
මම පොරොන්දු වූයෙමි. අපි යළි පැමිණෙන විටත් සැවොම කතා බහ කළේ ප්‍රසාද්ට කුමක් සිදු වූවාද කියාය. මගේ මතකය ඉඟිළුණේම අවීශ් වටාය.
“මෙච්චර මල් පූජා කරලා මොනවද නදීරා ප්‍රාර්ථනා කරන්නේ…?”
ගමේ නිවසේ සේපාලිකා මල් නෙළමින් කූඩය හැඩ කරමින් සිටින මොහොතක ඔහු නදීරා ගෙන් ඇසුවේ මට ඇසෙන්නටය. මම ඔහු දෙසත් බලමින් නදීරා දෙස බලන විට ඈ මට ඇසක් ඉඟි මැරුවාය.
“ඔයා අහලා නැත්ද අවීශ්…මල් පූජා කළාම ලැබෙන ආනිශංස ගැන…?” එවිට නදීරා ඔහුගෙන් ඇසුවාය.
“ආනිශංස…? මං දන්නේ නැහැ…” ඔහු ඇසුවේ මවිතයට පත්වය.
“මල් පූජා කළාම ලස්සන රූප සම්පතියක් ලැබෙනවා කියනවා…ඒකනේ ඔය මල් නෙළන්නේ…”
“ඔය තියෙන ලස්සන මදෑ නදීරා…”
“මදි කියන්නේ…” නදීරා සිනහසෙමින් කියන විට මම ඇයට රැව්වෙමි.
“ඔය රවන එක තමා කැත නදීරා…මල් පූජා කරන එකෙනුත් වැඩක් නැහැ එතකොට…”
අවීශ් උස් හඬින් සිනහසෙමින් කී හැටි සිහි වී මා සිත අලුත් වූ ශෝකයකින් ඇවිළී ගියේය.
සියල්ල හැරදමා මට කොහේ හෝ ඈතකට හෝ කිසිවෙකුගේ දෑසට හසු නොවන සේ පළා යාමට ඇත්නම් කියා මට සිතුණේ වරක් දෙවරක් නොවේ. නමුත් එසේ ගියා කියා හෝ මට අවීශ්ගේ මතකයෙන් පලා යා හැකිද….? එසේ කිරීමට මට වුවමනා නැත. අතීතය සිත පාරවමින් කෙතරම් වේදනාවක් ගෙන ආවද මට එහි සිරකාරියක් වීමට වුවමනාය. ඒ මතකය මා සිතින් බැහැර කිරීමට මට කිසිම මොහොතක වුවමනා නැත.
“දුව…”
තාත්තා මෙසේ මා අමතමින් මා අසළට පැමිණියේ මා සිතුවිළි ලොවක අතරමංව සිටි මොහොතේය. අවීශ් පිළිබඳව සිතමින් සිටි නිසා එයට ඇති වූ බාධාව කෙරෙහි පවා මා සිතේ ඇති වූයේ යම් තරමක නොරුස්සුමකි.
“කෝ.නැන්දා…මොකෝ ඔයා තනියම…?” තාත්තා මා පසෙක හිඳ ගනිමින් ඇසුවේය.
“නැන්දා ඇතුළේ ඇති…එයාට කියලත් වැඩ නැතුවයැ…හැම වෙලේම මං ළඟ ඉඳන් මට තනි රකින්නයැ…”
මට කීමට වුවමනා වූයේ එසේ මුත් මම එසේ නොපැවසුවෙමි. නැන්දා ගෙය තුළ බව මම කෙටියෙන් පැවසුවේ ඕනාවට එපාවටය. තාත්තා සමඟ වුවද පෙර වූ සබඳකම දැන් නොමැත. ඔහු කෙරෙහි වුවද මා සිතේ පැවතියේ බලවත් වූ කළකිරීමකි. එයට හේතු සාධක නම් බොහෝමයකි.
“කොහොමද ජොබ් එක…?” තාත්තා මා අසළම රැඳී යළිත් පැනයක් විමසුවේය.
“හොඳයි…”
“අනුරාග් කිව්වා ඔයා ඉක්මනට වැඩ අල්ල ගත්තා කියලා…”
“හ්ම්ම්…එයානේ මාව ට්‍රේන් කළේ…”
“ඔයා කා එක්කවත් වැඩිය කතා කරන්නේ නැහැලු කියන්නේ…”
අනුරාග් එවන් දෙයක් තාත්තා හා පැවසුවා විය නොහැකිය.
“මම මගේ පාඩුවේ වැඩ කරගෙන යනවා… කා එක්කවත් අමුතු යාළුකම් ඇති කරගන්න මට ඕන නැහැ…තාත්තා එක්ක කවුද ඕවා කිව්වේ…අනුරාග් නම් වෙන්න බැහැ…”
මම ඇනුම්පදයක් එල්ල කළෙමි.
“අනුරාග් කිව්වේ නැහැ…මට එහේ පී. එම් හම්බුණා මේ ළඟදි…මෑන් කතාවට ගිහින් කිව්වේ…නරකක් කිව්වේ නැහැ…”
මම නිහඬව සිටියෙමි.
“අනුරාග් මාත් එක්ක ඔයා ගැන කතා කළා…එයා ඔයා ගැන උනන්දුයි වගේ…”
ඒ ඇසූ දෙයින් මම පුදුමයටත් තිගැස්මටත් පත්ව තාත්තා දෙස බැලුවේ විදහා ගත් දෑසිනි.
“තාත්තා ඒ පාර මොනවද කරන්න හදන්නේ…? ආයෙත් වතාවක් නම් ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් එපා…ජොබ් එක දාලා මම කොහේ හරි යනවා… නොඑන්නම…”
මම එය කීවේ සැබෑවටමය.
“මම කරපු දෙයක් නැහැ…අනුරාග් මා එක්ක කතා කළා…මම ඔයාට බලපෑම් කරන්නේ නැහැ…ඔයාට කැමති කෙනෙක්ව ඔයා මැරි කරන්න…මගේ කිසිම බලපෑමක් නැහැ…”
“මට තාම එහෙම අදහසක් නැහැ…” මම දැඩි හඬින් කීවෙමි.
“මං ඒ ගැන මොකුත්ම කතා කරන්නේ නැහැ…ඔයාට හිතුණු දවසක මට කියන්න…”
“එහෙම දවසක් කවදාවත් එන එකක් නැහැ…” මම සිතින් මටම කියා ගතිමි.
“තාත්තාට ඕන වුණේ අවීශ් මගෙන් ඈත් කරන්නනේ…ඒක වුණානේ…දැන් මට ප්‍රොපෝසල් ගේන එක නවත්තන්න…”
“මගේ…අතින් වරදක් වුණා…ඒක හරි…දැන් ඕක අමතක කරන්න…”
ඔහු කළබලකාරී හඬකින් කීවේය. එතරම් කළබල වීමට තරම් දෙයක් මා කීවේ නැත.
“අමතක කරන්න බැහැනේ…කොහොමද අමතක කරන්නේ…මට දැනෙන්නේම මායි අවීශ් මරලා දැම්මේ කියලා…ඒකෙන් මට නිදහස් වෙන්න බැහැ…අනික තාත්තා මොනවද අවීශ්ට කිව්වේ…?”
“මම…දැන්…මොකටද ඕවා…මට ඒ ගැන කතා කරන්න ඕන නැහැ…”
“නිරංගාන්ටිලාවත් නොකියපු මොනවා හරි තාත්තා එයාට කිව්ව නේද…? වැඩිහිටියන්ගේ ප්‍රශ්න වලට ඇයි දරුවෝ ගාව ගන්නේ…එයාලට ඒක තේරුණාට තාත්තා ඒක තේරුම් ගත්තේ නැහැ… ඒකනේ අවීශ් මුණ ගැහිලා එහෙම කියලා තිබුණෙ…”
“අපි ආයි ඒ ගැන කතා කරන්න ඕන නැහැ…”
දැඩි හඬකින් පැවසූ තාත්තා නැඟිට නිවස දෙසට පියවර තැබුවේ නොසතුටු මුහුණිනි. ඔහුට කේන්ති යෑමට හෝ නොසතුටු වීමට තිබූ හේතුව කුමක්ද….?