Hima Mal Renu හිම මල් රේණු
පරිසරයේ වූයේ දිගු නිහැඬියාවකි. පාරේ ඇදී ගිය රථයක් හැරුණු කොට එම නිහඬ බවට බාධා වන කිසිවක් නොවූ තරම්ය. නැන්දා කතා කරන තුරු මම දෙගිඩියාවෙන් බලා සිටියෙමි.
“ඔයාලගේ ඇක්සිඩන්ට් එකෙන් අවීශ්ට හුඟාක් අමාරු වුණා කියලා ඔයා දන්නවානේ…?”
“ඔව්…නදීරාත් ඒ ගැන කිව්වා…තේෂාන්ලාටවත් එයාව බලන්න හම්බෙලා නැහැනේ…”
“හ්ම්ම්…ඉතින් ඊට පස්සේ අවීශ්ව මෙහෙන් අරන් ගිහින් තිබුණානේ..”
“ඔව්..දැන් එයාලා ආයේමත් ඇවිත්ද…?”
මම වහා ඇසුවේ අලුතින් ඇති වූ උද්‍යෝගයකින් යුතුවය.
“නැහැ ළමයෝ…එයාලා ඇවිත් නම්…මට කළින් ඔයානේ දැනගන්නේ…”
නොසතුටෙන් දෝ නැන්දා කීවාය.
“ඉතින්…?”
“ඉතින්…එහෙදි අවීශ්…” නැන්දා එසේ කියා නිහඬව යළිත් කතා කළාය.
“නැති වෙලා කියලා…අපිට දැන ගන්න ලැබුණා…”
පහත් හඬකින් නැන්දා කීවා වුණත් එය මට ඇසුණේ හෙණයක් පුපුරා ගිය තරම් මහා හඬකිනි. කිසිවෙකු මගේ දෙසවන් හරහා තද පහරක් එල්ල කළාක් බඳු කම්පනයක් මට දැනුණ අතර මම කිසිත් වටහා ගන්නට නොහැකිවාක් මෙන් නැන්දා දෙස බලා සිටියෙමි.
“නැහැ…නැහැ…ඒක වෙන්න… බැහැ… අනේ…අවීශ්…” මට කෑ ගැසිණි.
“දුව….දුව…අනේ කළබල නැතිව අහන්නකෝ…”
නැන්දා බියෙන් මා උරමතින් අල්ලා සොළවමින් කියන්නට වන විට මට දැනුණේ සියල්ල මා වටා කැරකෙන්නාක් මෙනි. නැන්දා පවා මට පෙනුණේ බොඳවය. සියල්ල අන්ධකාරයක් ගිළී යන්නට ඇත.
***** ***** **** **** **** ***** ***** ********** ***** ********* **********
මම පියවි සිහි ලැබුවේ සීතල පහසක් මුහුණට දැනෙන විටය. නැන්දා මා මුහුණට නැඹුරුව බලා සිටි අතර චන්ද්‍රම්මාද පසෙක බිම දණ ඔබාගෙන සිටින බව මට පෙනිණි. මා සිහිනයක් දැක අවදි වූවා වන්නට ඇතැයි කියා මට එක්වරම සිතුණද නැන්දාගේ මුහුණ දකින විට මට සියල්ල යළිත් මෙනෙහි විය. මම වහා යහන මත හිඳ ගතිමි.
“මේක හීනයක් නෙවේද…අනේ…ඒක ඇත්තටම වුණාද…? අනේ අවීශ්…”
මට හැඬිණි. මම කෑ ගසමින් හැඬුවෙමි.
“අනේ ළමයෝ…”
නැන්දා මා හිස පිරිමදින් කියන්නට වූවාය.
“අනේ…එහෙම වුණේ ඇයි නැන්දා..? මේ හැමදේම වුණේ මං නිසයි…අවීශ්ව ගෙන්න ගත්තේ මමයි…”
මම කෑ ගසමින් හැඬුවෙමි.
“අනේ දරුවෝ…ටිකක් සන්සුන් වෙන්නකෝ…”
නැන්දා මෘදු හඬකින් කියන්නට විය. මා කෙසේ සන්සුන් වන්නද….? මා සිත ඇතුළේ පෙළෙන වේදනාව ඇයට නොපෙනෙයි. හැමෝම මාගෙන් එය වසන් කළෝය. නදීරාගේ දෑස් වල වූ කඳුළු, තේෂාන් ගේ දුක්මුසු මුහුණ, ටිරෝන් මා මඟහැර යෑම පමණක් නොව ෂානුද අනුකම්පාවෙනුත් ශෝකයෙනුත් එදින නොකියාම යන්නට ගියේ මේ සියල්ල ඔවුන් මුළ පටන් දැන සිටි නිසාය.
“දෙවියනේ…! අනේ අවීශ්…මං කොහොමද මේක විශ්වාස කරන්නේ…? අනේ චන්ද්‍රම්මා ඔයාගේ අවීශ් මහත්තයා…ඇයි මට කිව්වේ නැත්තේ…? එයා ඉඳලා මාවනේ මැරෙන්න තිබුණේ…”
“අනේ මගේ ලොකු බේබි…නාඬා ඉන්නකෝ…දැන් මොනව කරන්නද මගේ මැණිකේ…”
චන්ද්‍රාම්මා කියනු මට ඇසිණි.
“අනේ එහෙම වුණේ ඇයි…මං…කොහොමද නාඬා ඉන්නේ චන්ද්‍රාම්මා…? මං විතරක් ඉඳලා අවීශ් යන්න ගිහින්නේ…ඇයි එහෙම වුණේ…?”
මම හෙම්බත්ව සිටියෙමි. නොනවත්වා ගළා යන කඳුළු නවත්වාගන්නට මට නොහැකිය. මේ සියල්ල මෙලෙස සිදු වූයේ කෙසේද…? නිරංගා ඇන්ටි මෙය කෙසේ දරාගන්නට ඇත්ද කියා සිතන විට මා සිතේ ශෝකය වර්ධනය විය. මා සිත මටම දොස් පවරන්නට විය.
“මේක මගේ වරද…”
“අනේ ළමයෝ…ඔයා මොනවා කරන්නද…? ඔයා දැනගෙන එන්න කිව්වා නෙවේනේ…තමුන්ටම දොස් පවරාගත්තා කියල දැන් මොනවා කරන්නද…?”
“එයා ආවේ මං නිසායි…මේ දේ මට වෙන්න තිබුණානේ…”
“අවීශ්ට ඕන වුණේ ඔයාව බේරන්න වෙන්නැති දුව…වාහනේ ගොඩාක් ඩැමේජ් වෙලා තියෙන්නේ එයා හිටපු පැත්ත…ඔයාව බේරන්න හිතන් එයා වාහනේ අනික් පැත්තට කපන්න ඇති…එයාව එළියට අරන් තිබුණෙත් හුඟාක් අමාරුවෙන්ලු…”
අනේ..මේවා අසන්නට මා ජීවත් වූයේ මන්ද…? මා දෑසේ කඳුළු අලුත් වී ගලන්නට විය. සැවොම ඔහු පිළිබඳව අසන හෝ සිහි කරන විට නිහඬ වූයේ මේ නිසාය.
“මං කොහොමද නැන්දේ මේක දරා ගන්නේ…? මගේ පපුවත් හිර වෙනවා වගේ නැන්දා…අනේ…”
“අනේ දරුවෝ…ඔයා ඔහොම අඬලා වැළපෙයි කියලා දන්න නිසාම තමා මෙච්චර කල් ඕක කියන එක පරක්කු කළේ…අපිටත් දුකයි දුව…මට ඒ කොල්ලාව මතක් වෙත්දී…”
නැන්දා වහා කතාව නවතා ගත්තේ හැඬුම් මුසුවය. මම බොඳ වූ දෑසින් ඈ දෙස බලා සිටින විට චන්ද්‍රම්මා නැඟිට යන්නට ගියේ කඳුළු පිස දමමිනි. මේ සියල්ල මගේ වරදින් වූවාය කියන හැඟීමෙන් මිදෙන්නට මම අපොහොසත් වූයෙමි. මසිත මට වරින් වර දොස් පවරන්නට විය. මෙවන් දෙයක් අසන්නට මා ජීවත් වූයේ මන්ද…? ඔහු සමඟම මාද මිය ගියා නම් හොඳය.
අතීතය සිතුවම් පටක් මෙන් මා මනස පුරා මැවී මැවී පෙනෙන්නාක් මෙනි. මා පාසලට ගිය මුල් දිනය, මා පළමු වරට අවීශ් දුටු මොහොත, ඒ ආඩම්බරකාරී නොසැළකිලිමත් බැල්ම, කලකින් පනාවක පහසක් පවා නොලද බව පෙන්වූ අකීකරු කෙස්, ඒ සියල්ලට යටින් සැඟව තිබූ ඔහුගේ කඩවසම් බව, අප අතර මුළින් වූ විරසකය, මා ඇනුම්පද එල්ල කරන විට පවා ඔහු නිහඬව සිටි හැටි, ඔහු මට කුමක් හෝ පවසන්නට වුවමනා වූ විට එය පැවසුවේ නදීරාට හෝ තේෂාන්ටය. සමහරවිටක ප්‍රසාද්ට ය. අමනාපයක් හෝ සිත් නොහොඳ කමක් අප දෙදෙනා තුළම නොවීය. මා ඔහු මෙන්ම ඔහු මාවද ප්‍රිය කළ බව නොරහසකි. නමුත් දැන් ඔහු යන්නට ගොසිනි. එම සිතුවිල්ල පවා වේදනාකාරී විය. අවසන් වරට ඔහු ගමන් කළේද මා සමඟය.
“කරදරයත් සොඳුරු විදියට විඳිමු…”
ඔහු පැවසූ සැටි දැනුත් ඇසෙන්නාක් මෙනි. නදීරා කාමරයට පැමිණෙනු දැකීමෙන් මගේ කඳුළු අලුත් විය.
“අනේ…ආරාණ්‍යා…මට චන්ද්‍රම්මා කිව්වා…අඬන්න එපා අනේ…”
ඈ මා වැළඳ ගෙන කීවේ ඇයද හඬමිනි.
“අනේ ඇයි මට නොකීවේ නදීරා…? මට දරා ගන්න බැහැ…කොහොමද හිතන්නේ එයා නැහැ කියලා…”
මට එය දරා සිටීමට අපහසුය. නැන්දා නිහඬවම නැඟිට ඉවත යන විට නදීරා කළේ කිසිත් නොකියාම මා හිස පිරිමැදීමය.
“කවුරුත් මට ඒ ගැන කිව්වේ නැහැ…මට තාම හිතාගන්න බැහැ නදීරා…”
චෝදනාවක් සේ මා මුවින් නික්මෙන විට මම ඔවුන් එය මා හා නොපැවසූ කාරණය කුමක්ද කියා හෝ නොසිතුවෙමි. මගේ හැඬුම කෙමෙන් කෙමෙන් බාල වන විට ඈ කතා කළාය.
“ඔයා හිටපු තත්වේ හැටියට…මේ දේත් ඔයාට කිව්වා නම්…ඒක තවත් ලොකු ෂොක් එකක් වෙන්න පුළුවන් කියලා ඩොක්ටර්ස්ලා කියලා තිබුණ නිසා තමයි මේක මුළින් නොකීවේ…අනික ඔයාගේ මයින්ඩ් රිලෑක්ස් එකේම තියන්න කියලා තාත්තා අපිට මුළ ඉඳන්ම මේ ගැන කතා කරන්න එපාම කියලා කියලනේ තිබුණේ…එහෙම තියෙත්දී මේ ගැන කිව්වා නම් මොනවා වෙන්න තිබුණාද කියලා හිතා ගන්නත් බැහැ…”
මම දිගු හුස්මක් ඇද්දෙමි. එවන් සුසුම් කොපමණ නම් මා මුවින් පිටවන්නට ඇත්ද කියා මම නොදනිමි.
“මට තාම හිතා ගන්න බැහැ නදීරා…මට මේක මහාම මහා නපුරු හීනයක් වගේ…”
“ඔයාට විතරක් නෙවේ…අපිටත් එහෙම තමා…ඔයාට නම් මතකෙවත් තිබුණේ නැහැ…ඒත් අපි…අපිත් මේ ටිකේම මැරි මැරි ඉපදුණා වගේ තමා…”
එවර ඈ හඬන්නට වන විට මා සිතේ ඇති වූයේ වරදකාරී හැඟීමකි. මෙතෙක් මම ඒ පිළිබඳව සිතා තිබුණේම නැත.
“අනේ..නදීරා…”
ඇගේ අත තරයේ අල්ලා ගනිමින් මම කියන විට ඈ වහා වහා කඳුළු පිස ගත්තාය. අපි අතර මොහොතක නිහැඬියාවක් පැතිර ගියේය.
“නිරංගාන්ටිලා කොහේ ඉන්නවද දන්නේ නැහැ නේද..? එයා මේක කොහොම දරා ගන්න ඇත්ද…?”
එම සිතුවිල්ල මා දෑස අලුතින් තෙත් කළේය.
“එයාලා ගෙදර නැහැ…ගේ රෙන්ට් එකට දීලලු…තේෂානුයි ටිරෝනුයි මේ ළඟදිත් ගිහින් තිබුණා…”
“නිරංගාන්ටි මා එක්ක තරහින් ඇති නේද…?”
නදීරා තිගැස්මෙන් මදෙස බැලුවාය.
“අර මොකටද ඔයා එක්ක තරහා වෙන්නේ…?”
“අවීශ් ව ගෙන්න ගත්තේ මමනේ…”
“අපිට දිවැස් නැහැනේ ආරණ්‍යා…එහෙම තිබුණානම්…මේ සිද්ද වෙච්ච දේවල් වෙන්න නොදී වළක්වා ගන්න තිබුණා…”
නොමනාපය, ශෝකය, කළකිරීම, පසුතැවිළ්ල මේ සියල්ල ඇගේ හඬේ විණැයි කියා මට සිතිණි. මහා හඬින් ඈ නොහැඬුවද මා මෙන්ම ඇයත් දැඩි වේදනාවකින් පසුවනවාට සැක නැත. මම ඇගේ අතින් තරයේ අල්ලා ගන්නා විටම නදීරාගේ මුවින් නික්මුණේ මහා ඉකි හඬකි.
“අනේ මටත් මේක දරා ගන්න බැහැ ආරණ්‍යා…”
ඈ හඬමින් කීවේ බිඳුණු හඬකිනි. ඈ සනසන්නට වදන් මා තුළ නොවීය. මාද සිටියේ දරාගත නොහැකි දුක් ගින්නකිනි. එසේ තිබියදී මා ඇයව සනසන වදන් කොහෙන් සොයන්නද…? එනමුත් මම ඇගේ පිට පිරිමදිමින් ඇයට හඬන්නට ඉඩ හළෙමි.
“අඩුම තරමේ අවීශ්ගේ මූණවත් බලා ගන්න බැරි වුණානේ නදීරා…”
ඇගේ ඉකිබිඳුම වැඩි වූයේ එවිටය.
“අනේ ඔහොම කියන්න එපා ආරණ්‍යා…මගේ හිතේ දුක මෙච්චර දවස් හිර කරන් හිටියේ…මටත් තවත් නම් දරා ගන්න බැහැ තමා…වෙලාවකට මට හිතුණා ඕන දෙයක් වෙන්න කියලා ඔයා එක්ක මේක කියලා ඔයා එක්කම කෑ ගහලා අඬන්න…ඇත්නම් කියලා…”
එවර අපි දෙදෙනම යළි එකිනෙකා වැළඳගෙන මහා හඬින් හැඬීමු. බොහෝ වේලාවකට පසු අපි අපෙන් ඈත් වී කඳුළු පිස ගෙන බිත්තියේ එල්ලා තිබූ අවීශ් ඇඳි සිතුවම දෙස ඔහේ බලා සිටියෙමු. නැන්දා අපට තේ සාදාගෙන එන විටත් අපි සිටියේ ඔහේ බලාගෙනය.
“අනේ ළමයිනේ…ඒ පාර දෙන්නම අඬ අඬ මොනවද කල්පනා කරන්නේ…?”
නදීරාට තේ කෝප්පයක් පිළිගන්වමින් ඈ විමසුවාය.
“කල්පනා කරන්න දේවල් නැත්ද නැන්දේ…අවුරුද්දකට වැඩි කාලයක් මට මාවත් මතක නැති වෙලා තිබුණ එකේ…ඒ අවුරුද්ද ඇතුළේ කොච්චර දේවල් නම් සිද්ද වෙලාද…නදීරාට වුණත් ඒවා කියන්න කෙනෙක් නැතුවයි ඉන්න ඇත්තේ…”
මම එසේ කියන විට නදීරා මගේ අතක් තරයේ අල්ලා ගත්තාය.
“කල්පනා කළා කියලා…ඒ සිද්ද වෙච්ච කිසිම දෙයක් ආයෙමත් හදන්න බැහැනේ…ඔයාට ඒ ගෙවුණු අතීතයට යන්නත් බැහැ…දැන් කරන්න තියෙන්නේ මේ දේවල් දරාගෙන ජීවත් වෙන එක…”
මම නැන්දා දෙස බැලුවේ හිස් බැල්මකිනි.
“අවීශ් මැරුණා කියලා මට හිත හදාගන්න බැහැ…අඩුම තරමේ එයාගේ අවසන් කටයුතු සිද්ද වුණේ කොහොමද කියලවත් කවුරුත් දන්නේ නැහැ…”
මම කීවේ නොසතුටෙනි.
“ආරණ්‍යා…ඔයාට කියන්න බැරි වුණා…” නදීරා හදිසියේ සිහි වූවාක් මෙන් කීවාය.
“ඒ මොකක්ද…?” මම කුහුළින් ඇසීමි.
“දවසක් තේෂාන්ලා දැරණියගල හොටෙල් එකට ගිහින් තියනවා…අංකල් මුණගැහෙන්න…ඒත් එයා නැහැ කිව්වලු…අවීශ්ගේ ෆොටෝ එකක් එක්ක ටෙලාන්ගෙත් ෆොටෝ එකක් රිසෙප්ෂන් එක ළඟ දාලා තිබුණා කියලා තේෂාන් කිව්වා…අපිට අවීශ් නැති වුණා කියලා දැන ගන්න ලැබුණේ එදා තමා…”
මා දෑස් අලුත් වූ කඳුළින් බොඳව ගියේය.
“අනේ…”
“කතාවෙන් කතාව මටත් මං ඉස්සල්ලා ආව කාරණේ අමතක වුණානේ…මාත් ආවේ ඒ ගැන කියන්න තමා…”
නැන්දා එසේ කියා යහන මත දමා ගිය පුවත් පත ගෙන මවෙත පෑවාය.
“මොකක්ද මේ…?”
ඈ දිගු කරණ ලද පුවත්පත අතට ගනිමින් මම ඇසුවේ කුහුළිනි.