Hima Mal Renu හිම මල් රේණු
නදීරා සිටියේ දැහැනට සම වැදුණාක් මෙනි. ඈ නිහඬම පරිසරයේ සුන්දරත්වය විඳිමින් සිටි නිසා මමවත් ශ්‍රීමාවත් ඇයට බාධා නොකළෙමු.
“අනේ…! හරිම ලස්සනයි මේ පැත්ත…හැමදාම මෙහෙ ඉන්න හිතයි…”
ශ්‍රීමා ගේ නිවසට යන අතරතුර වෙල මැද නතර වී ඈ පැවසුවේ නිලට නිලේ දිලෙන කුඹුරු යායත් ඈතින් පෙනෙන කුඩා කඳු පන්ති කීපයත් නිල්වන් අහසේ පාව යන සුදෝ සුදු පැහැති වළාපෙළ දෙසත් බලමිනි.
“තාත්තට කියන්න…මේ පැත්තෙන් ඉඩමක් අරන් ගෙයක් හදන්න කියලා…”
ශ්‍රීමා එසේ කීවේ විහිළුවටය.
“අනේ…ඇත්තමයි…ගිය ගමන් කියලා බලන්න ඕන…”
නදීරා එසේ කීවේ නම් විහිළුවට නොවන බව අප දෙදෙනාටම වැටහිණ.
“ඉතින්…කියලා බලන්නකෝ…නැත්නම් ඔයාට මෙහෙන් කොල්ලෙක් සෙට් කරලා දෙන්නම්…නැද්ද…ශ්‍රීමා…?”
මම එසේ කියන විට ඇගේ මුහුණ මා බලා සිටියදීම රත් පැහැයට හැරිණ.
“මෙයා ඉතින් කිව්වොත්…ඔහොම කතාවක් තමා…” ඈ ලැජ්ජාවෙන් කීවාය.
“එපා කියයි…නේ ශ්‍රීමා…?” මම විහිළු කළෙමි.
“ඇත්තටම ආරණ්‍යා… අපි කොළඹට වෙලා මොන තරම් හිර වෙච්ව ජීවිතයක්ද ගත කරන්නේ කියලා හිතෙනවා…වටේම තාප්ප බැඳගෙන…හරියට හුළං පොඳක් වදිනවද…හුස්මක් ගන්නවත් පිරිසිදු හුළඟක් වදිනවද…ස්කූල් ගිහින් ආව වෙලේ ඉඳන් ගෙයි ඇතුළෙමයි…මෙහේ මිදුලට බැස්සත් හිතට පුදුම නිදහසක් නේ…මනසට කොයි තරම් සැහැල්ලුවක්ද…?”
නදීරා එක දිගට කියවගෙන ගියේ ඇගේ සිතට දැනුණ හැඟීම්ය.
“ඒක ඇත්ත නදීරා…මටත් ඕක හැමවෙලේම හිතෙනවා…”
සුසුමක් සුළඟට පා කරමින් මම කීවෙමි. මෙහි ඇති නිදහස, නිස්කලංක බව කොළඹ කොන්ක්‍රීට් වනාන්තරයේදී අත්දකින්නට, අත්විඳින්නට ලැබෙන්නේ නැත. අපි තිදෙන නියර දිගේ ඇවිද ආවේ නිහඬවය. සිඟිති දුර තියා අප දැක අප පිළිගන්නට ඉදිරියට දිව ආවාය.
“ආරණ්‍යාක්කා…”
ඇගේ හඬේ සතුට උතුරා යමින් තිබුණා යැයි කියා මට සිතිණ.
“සිඟිති…කොහොමද…?”
මම ඇයව තුරුළට ගෙන ඇසීමි.
“හොඳයි…ඔයා එනකල් බලන් හිටියේ…”
ඈ ලැජ්ජාවෙන් මෙන් කීවාය.
“මේ…තව අක්කා කෙනෙක් එක්ක ආවා…”
ඈ නදීරා දෙස බලා පෑවේ ලැජ්ජාව මුසු අවිහිංසක සිනහාවකි. මම ඇයට ගෙනා තෑගි පාර්සලය ඈ අතට ගත්තේද ලැජ්ජා මුසුවය.
“ස්තූතියි…” ඈ පහත් හඬින් කීවාය.
රම්‍යාවති නැන්දා දොරකඩ සිට ගෙන බලා සිටියේ සුන්දර සිනහාවක් මුව මත රඳවාගෙනය.
“ලොකු මැණිකේ එනකල්…මඟ බල බල…හිටියේ මෙයා…”
මම සිඟිතිගේ අතින් අල්ලාගෙනම් නිවසට ගොඩ වන විට ඈ කීවාය.
“ඒකනේ ඉතින්…”
මම සිඟිතිගේ හිස අතගෑවේ සෙනෙහසිනි.
“දැන් සිඟිති…ආච්චි අම්මාගේ තනියටත් ඉන්නවනේ…නේ සිඟිති…?”
“ඔව්…මං නිදා ගන්නේ ලොකු මැඩම් ළඟ…”
“ඇත්තට…? හරි ෂෝක් නේ…”
“අනේ…ඔව්….ආරණ්‍යා…මැඩම්ට නින්ද යනවද දන්නෙත් නැහැ මෙයා එක්ක…”
ශ්‍රීමා කීවේ ඒ ගැන කරදර වන්නාක් මෙනි.
“නින්ද යනවා…” සිඟිති කියන විට අප අතර සිනහාවක් පැතිර ගියේය.
“අදත් එනවද ඔයා…?”
මම අසන විට ඈ රම්‍යාවතී නැන්දා දෙස බැලුවාය.
“අද අම්මා එක්ක…අද එහේ ඔක්කෝම ඉන්නවානේ…”
“හ්ම්ම්…එහෙනම් අද ඉන්න…” මම කීවෙමි.
රම්‍යාවති නැන්දා අපට වැලි තලප සාදා තිබුණාය. ඈ තේ සාදන්නට සූදානම් වූ විට මම ඇයව වළකාලුවෙමි.
“තව ටිකෙන් භාෂිතලාත් එනවා නැන්දා… එතකොට හදමු…”
මා එසේ කියන විටම ඔවුන් මිදුලට පැමිණ සිටියෝය.
“පණ තියන කල්… මැරෙන්නේ නැහැ…”
ශ්‍රීමා ඔවුන් පිළිගනිමින් කීවාය.
“නහයත් දන්නේ ඒක තමා…බැන බැන හිටියද උඹලා…?”
මාධව නාසය කසමින් කීවේය. සිතාරාද ඔවුන් සමඟ පැමිණ සිටි අතර මම දිව ගොස් ඇගේ අතින් අල්ලා ගතිමි.
“මූණ සෝදන් නෙවේද ආවේ…නහය කසන්නේ ඒ නිසා වෙන්නැති…”
මම මාධව ඇවිස්සීමට සිතා කීවෙමි.
“අපි පිරිසිදු කොල්ලෝ… නැද්ද භාෂියා…?”
ඔහු මා දෙස බැලුවේ මුහුණ බෙරි කරගෙනය.
“අපේ අතින් අල්ලන් ඉතින් පිළිගන්න කවුද ඉන්නේ නේ මාධව…”
එවර භාෂිත කීවේ මා සිතාරාගේ අතින් අල්ලන් සිටි නිසාය.
“ඒකනේ බං..ආහ්…මෙන්න අලුත් ඩයල් එකක්…”
නදීරා දැක මාධව කෑ ගැසුවේය.
“මේ නදීරා බං…” භාෂිත කියන විට අපි සියළු දෙන ඔහු දෙස බැලුවේ මවිතයෙනි.
“අම්මට සිරි කිව්වලු…මූ කොහොමද ඒක දන්නේ…?”
මාධව භාෂිත දෙසත් නදීරා දෙසත් මාරුවෙන් මාරුවට බලමින් ඇසුවේ උපහාසයෙන් මෙනි.
“ඇයි බං…ආරාණ්‍යා කිව්වේ…එන්නේ නදීරා එක්ක කියලා…ඒකයි…”
භාෂිත අපහාසුතාවයට පත්වූවාක් මෙන් කීවේ හිස කසමිනි.
“කිව්වා වුණාට… මේ…නදීරා නොවෙන්නත් පුළුවන්නේ…නේද ආරණ්‍යා …?”
“ඒකනේ…” මමද කීවෙමි.
“අනේ…මේ…මේ එයා තමා…”
භාෂිත කෑ ගැසුවේ අප සිනහානංවමිනි.
“මෙයත් මඟ දිගටම අහා අහා ආවේ භාෂිත එනවාද..එනවාද කිය කියා…”
නදීර ඇවිස්සීමට මම කියන විට ඈ මගේ බාහුවක් කෙනිත්තුවාය.
“මේ…මෙයාගේ බොරු හරිද…?” නදීරා කීවේ ලැජ්ජාවෙනි.
“මේ දෙන්නා බලහංකෝ…මුං දැකලාවත් නැතුව මෙහෙම නම්…තව ටික දවසකින් කොහොම වෙයිද…? මේ…ඊළඟ පාර මටත් කෙනෙක් එක්ක එනවා…හරිද…?”
අප අතර සිනහාවක් නංවමින් මාධව කීවේය.
“දැන් ඉතින් නදීරාට මෙහෙන් ඉඩම් ගන්න ඕන නැහැ…ගෙයක් එක්ක පවුලකුත් හම්බුණානේ…”
ශ්‍රීමාත් ඇයට විහිළු කළාය.
“ඒ…මොකක්ද ඒ කතාව…?”
භාෂිත අගක් මුළක් නොදත් කතාව දැන ගන්නට උනන්දුවෙන් ඇසුවේය.
“අනේ…මෙයාලට පිස්සු…” නදීරා කෑ ගැසුවාය.
“අනේ…මෙන්න බලහංකෝ…දැන් අනේත්… වෙලා…” මාධව යළි කෑ ගැසුවේය.
“ඔව්…අනේ… මුංට පිස්සු…ඔයා ගණන් ගන්න එපා….”
භාෂිත නදීරා වෙනුවෙන් පෙනී සිටිමින් කීවේය.
“බලන්නකෝ…මාධව…දැන් අපිට පිස්සොලු…භාෂියට ගිය කල…” මම කීවෙමි.
කලකට පසු ලැබුණු පැරණි මිතුරු සමාගමය නිසා මා සිටියේ සතුටිනි. අපි සියළු දෙන සිටි නිසා එදින ශ්‍රීමා නිවසේ නැවතුණාය.
“පව්…හොඳ කෙල්ල…”
ආච්චි අම්මා ශ්‍රීමා ගැන කතා කළේ සෙනෙහසකිනි.
“මාත් නිකන් ඉන්න එකේ…හවසට පොඩි අයට පන්තියක් පටන් ගත්තා…ශිෂ්‍යත්වේ ළමයින්ට…ශ්‍රීමාත් මට උදව් කරනවා…”
ආච්චි අම්මා ඒ කීවේ අලුත් පුවතකි.
“ඒක නම් හොඳයි…අම්මාට නිකන් ඉන්න එකේ…පාළුවකුත් නැහැනේ…”
නැන්දාත් එය අනුමත කළාය.
“ආච්චි අම්මා අපි එක්ක හිටියා නම් හොඳයි…”
ඈ කොළඹ යාමට අකමැති බව දැන දැන වුවත් මම කීවේ ඈ මා ළඟ සිටියා නම් කියා මට නිතර සිතුණ නිසාය.
“මං නම් යන්නේ නැහැ මේ ගම දාලා…”
ඈ ස්ථීර හඬකින් එසේ කීවාය. එදින රාත්‍රියේ මාත් නදීරාත් බොහෝ වේලා කතා බස් කරමින් සිටියෙමු.
“භාෂිත හරි හොඳයි නේද…?”
ඒ අතරේ ඈ අසන විට මම වුවමනාවෙන් ඈ දෙස බැලුවෙමි.
“මෙයා බලන්නකෝ…දැක්කෙත් අදමයි… මොකෝ…හිත ගියාද…?”
සිනහාමුවෙන් මම අසන විට ඇගේ මුහුණේ ඇඳී ගියේ ලැජ්ජා මුසු සිනහාවකි.
“පිස්සුද අනේ…මොනවා කියනවද මංදා…”
මවාගත් නොමනාපයකින් ඈ කීවාය.
“දෙතොල නොකී දේ…දෙනෙතේ ලියවෙනවලු…කියලා කපුගේ මහත්තයා ගේ සිංදුවක් තියනවා…මං දැක්කා මූණේ තියෙන පෙම් පාට…ඇත්තටම භාෂිත හොඳ කොල්ලෙක් තමා නදීරා…”
එවර මම කීවේ විහිළුවට නොවේ. ඈ මා දෙසම බලා සිටියේ තව යමක් පවසන තුරු මෙනි.
“එයාලාට ලොකුවට යමක් නැහැ…ඒත් භාෂිත උත්සාහවන්තයි…”
“අනේ…අනේ…මං නිකමට කිව්වේ…අපි වෙන දෙයක් කතා කරමුද…?”
ඈ කතා බහ වෙනතකට යොමු කරන්නට කීවද සිත යටින් එසේ නොවන බව මට වැටහිණ.
“මමද පටන් ගත්තේ…?” මම නෝක්කාඩු කීවෙමි.
“හරි…ඉතින්…ඒක නෙවේ අවීශ් මෙසේජ් කරලා තිබ්බේ නැද්ද…?”
“මං මෙසේජ් කළා…ආවා කියලා…ඒත්…නෝ රිප්ලයි…” මම කීවෙමි.
“මාත් මෙසේජ් එකක් නම් දැම්මා…මටත් නැහැ…හැබැයි ඉතින්…මට නැතත් ඔයාට නම් රිප්ලයි කරයි…”
“ආහ්..අර මොකද මට විශේෂයෙන්…?”
“අනේ…මේ…ඔය දෙන්නාගේ ලව් එක ගැන මට කියන්න ඕන නැහැ…”
“ලව්…? පිස්සු හැදිලද…?”
“තවම නම් නැහැ…හැබැයි ඔහොම යද්දී හැදෙයි…උගුරට හොරා බෙහෙත් බොන්න බැහැ යාළුවා…”
“විකාර…මට බෙහෙත් බොන්න ලෙඩක් නැහැ…අනික අපි තවම යාළුවොත් නෙවේ…එහෙම දෙයක් හිතේ වත් නැහැ…”
“යාළුවෝ වුණා නම් ලව් කරන්න බැහැනේ. ඒකනේ මේ දෙන්නාම ගණන් උස්ස උස්ස ඉන්නේ…අනික ඔය දෙන්නා අතරේ තියෙන්නේ යාළුකමට එහා ගිය දෙයක් කියලා ඕන මෝඩයෙකුට පේනවා…”
“පිස්සු…”
මම කීවද එය එසේදැයි කියා මට සිතා ගන්නට නොහැකිය.
“හරි…හරී…මම මොකුත් නොකියා ඉන්නම්කෝ…හැබැයි…ඉතින්….එයා ඔයා නිසා හුඟාක් වෙනස් වුණා…”
“සතුටු වෙන්න ඒ ගැන…”
“ඔව්…ඇත්තටම සතුටු වෙනවා…අවීශ් මෙහෙම හරි අපි එක්ක කතා බහ කරන්නේ ඔයා නිසා…ඉස්සර මූණ බලන්නෙවත් නැහැ…දැන් ඒකට…නදීරා… නදීරා…කියා ගත්ත ගමන්මයි…”
ඇගේ කතාවට මා මුවට සිනහානැඟිණ.
“ඒත් ආරාණ්‍යා…තව දෙයක් තියනවා…”
නදීරා බැරෑරුම් බවක් ආරූඪ කරගනිමින් කියන විට මම ඈ දෙස බැලුවේ කුහුළිනි.
“ඒ මොකක්ද නදීරා…?” මම පුදුමයෙන් ඇසීමි.
“ඔයා දවසක වෙනස් වුණොත් අවීශ් ආයෙම හිටියාට වඩා නරක් වෙයි ආරාණ්‍යා…”
මගේ සිත තිගස්වමින් ඈ කීවේ මම නොසිතුව දෙයකි.
“ඇයි ඔයා එහෙම කියන්නේ…? වෙනස් වුණොත් කියලා මොකක්ද අදහස් කරන්නේ…?”
නදීරා මා දෙස බලා සිටියාය.
“ඒ යාළුකම හැමදාම තියාගන්න…”
ඈ සැහැල්ලුවෙන් කියන විට මා සිතටද සැහැල්ලුවක් දැනිණ.
“අනිවාර්යයෙන්…” ස්ථීර හඬකින් මම කීවෙමි.
“ඒක නෙවේ…තෙෂාරා පව් නේද…?”
ඈ හදිසියේ සිහි වූවාක් මෙන් කීවාය.
“අනේ…ඔව්…දැන්වත් මොළේ පෑදුණා නම් හොඳයි…” මමද කීවෙමි.
“අරුන් දෙන්නගේ කම්මුල් අතගාපු එකට නම්…මට පට්ටම සතුටුයි…කොච්චර නරකද බලන්න…ඒක දැකලත් කිව්වේ නැහැනේ…”
“ඕක කරන්න තිබ්බේ මීට හුඟ කාලෙකට කළින් හැබැයි…”
“හොඳම වැඩේ…දැක්කද දෙන්නගේ මූණු.දෙක…?” අපි එකතුව සිනහාසුණෙමු.
ඒ මොහොතේම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන හඬින් මම එය විවර කළෙමි.ඒ අවීශ්ය.
“ආව වෙලේ ඉඳන් පොඩි පොඩි වැඩ…දැන් තමා ෆ්‍රී වුණේ…පරිස්සමෙන් ආවා නේද…අපි තව දවස් දෙක තුනකින් එන්නම්…”
ඔහු එවා තිබිණ. මම එය නදීරාටද පෙන්වූයෙමි. මා සිත සතුටින් ඉපිළෙන්නට වූයේ ඔහු පැමිණෙන බව ලියා තිබූ නිසාය. මෙතෙක් වේලා එහි වූයේ අවිනිශ්චිත බවක් වුවද දැන් එය ස්ථීරවම දැන ගත් නිසා සිත අත්තටු සැළීය.
“එහෙනම් කුමාරයා වඩින්න යන්නේ…”
නදීරා මනමාල බැල්මක් හෙළමින් කීවාය. මට එයට පිළිතුරක් දීමට අවස්ථාවක් උදා නොවූයේ ටිරෝන් ගෙන් ඇමතුමක් ආ නිසාය.
“ගමේ ගියා විතරයි…අපිව මතකත් නෑ… නේද…?”
ඔහු දොස් පවරන්නට විය. මම නදීරාට ඇසක් ඉඟි මැරුවෙමි.
“දැනුත් මතක් වුණා…”
“බොරු…මෙසේජ් එකක් වත් නැහැ…”
එවර නම් මා සිතට වරදකාරී හැඟීමක් ඇති වූයේ ඔහු කීවේ සැබෑවක් නිසාය.
“මෙසේජ් කළේ නම් නැහැ තමා…ඒත් මතක් වුණා…ඔන්න අවීශ් එනවා කිව්වා…”
“නෑ…සිරාවට…මං ඌට දවලුත් ගත්තා… නෝ ආන්සර්…කොයි වෙලේද කිව්වේ…?”
ටිරෝන්ද ඒ ඇසූ පුවතින් සතුටට පත්ව සිටියේය.
“මේ දැන් කිව්වේ…”
“එළ…එළ…මං ගන්නම්…”
සතුට වැඩි කමටදෝ ඔහු වහා ඇමතුම විසන්ධි කළේය.