More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 17

    Hima Mal Renu හිම මල් රේණු – 17

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    එළඹෙන සතියේ වාර විභාගයෙන් පසුව ලැබෙන නිවාඩුවට ගමේ යාමට වුවමනා බව මම තාත්තා හා පැවසුවෙමි. ඔහු එයට විරුද්ධ වේ යැයි කියා මා සිටියේ යම් තරමක බියකිනි.

    “ඇයි..නිවාඩු කාලේ ක්ලාස් නැද්ද ඔයාට…?” එසැණින් ඔහු විමසුවේය.

    “මුල් සති දෙකේ නිවාඩු…”

    “හරි…හරි…බලමුකෝ…තව දවස් තියනවානේ…”

    තාත්තා එසේ කීවේ කිසිදු තැකීමක් නැති සේ මේ මොහොතේ ගැළවිල්ලටය.

    “මේ සතියේ නිවාඩු දෙනවනේ අප්පා…” මම මැසිවිළි නැඟීමි.

    “හරි..හරි…යමුකෝ…”

    තාත්තා ඒ මොහොතේ කීවේ නම් මගේ කරදරයෙන් මිදෙන්නට මෙනි.

    “අනේ…අපිත් යනවද තාත්තා…? මට නම් ක්ලාස් තියනවානේ…”

    නංගී කීවේ මුහුණ බෙරි කරගනිමිනි.

    ඇයව කැඳවාගෙන යාමේ කිසිදු වුවමනාවක් හෝ අදහසක් මා තුළ කොහෙත්ම නොවීය.

    “තාත්තා එන්න ඕන නැහැනේ මෙහෙ වැඩ පාඩු කරගෙන…මායි නැන්දායි යන්නම්… ගුණතුංග මාමත් යනවානේ අපි එක්ක…”

    “ඔව්..ඔව්…එහෙම කරන්න…”

    තාත්තා පසුව කීවේ අනුමැතිය පළකරමිනි. ඔහු සිතේ යම් අස්වැසිල්ලක් ඇති වූවාට සැක නැත. නංගීගේ මුවේ ඇඳී ගිය සිනහාව අමුතුය. ඈ ගමේ යෑමට කැමැත්තක් නැති බව මම දැන සිටියෙමි.

    “මෙයාලව ඇරලවලා ගුණතුංගට එන්න කියන්න…ඔයාත් වැඩට ගියාම හදිසියකටවත් වාහනයක් නැහැනේ මාවන්…”

    පුංචි අම්මා සුපුරුදු බාධාව කිරීමට අමතක නොකළාය. මා සිතේ ඇති වූයේ නිම් හිම් නොවූ කෝපයකි.

    “තාත්තේ…අපි ගුණතුංග මාමව එහෙ නවත්තගන්නවා…ආච්චි අම්මාව ඩොක්ටර් ගාවට එක්ක යන්නත් එපැයි…ඇරත් ඉතින් ගුණතුංග මාමාටත් නිවාඩුවක් තියෙන්න ඕනනේ…ඒ මනුස්සයත් දරු පවුල් කාරයෙක්නේ…නංගිලාත් බලන් ඇති මාමා ගෙදර එනකල්…මෙහෙ ඕන තරම් වාහන තියෙන්නේ…ට්‍රයිෂෝ එකක් දාන් යන්න බැරියැ…”

    මම එක දිගට කියවන් යන විට පුංචි අම්මාගේ මුහුණ ඇද වී ගිය අතර ඈ මට රවමින් ඉවත බලා ගන්නා සැටි දැක මා සිතේ ඇති වූයේ සතුටකි.

    ********* ******* ******* ******** ******************* ******* *******
    වාර විභාගයේ වැඩිපුරම ලකුණු ලැබී තිබුණේ අවීශ්ටය. ඔහු මට වඩා ලකුණු කීපයක් ඉදිරියෙන් සිටි අතර ඒ පිළිබඳව වැඩිපුරම සතුටු වූයේ මාය.

    “වෙල්ඩන් අවීශ්…” සැවොම ඔහුට සුබ පැතූහ.

    “පිස්සුද බං…? මේක මේ…ෆයිනල් එක්සෑම් නෙවේනේ…”

    ඔහු කිසිදු තැකීමක් නැතිවම කීවේය.

    “ඔයා නිසා තමා ආරණ්‍යා…එයා මෙහෙම හරි උනන්දුවෙන් ස්ටඩී කළේ…”

    නදීරා මෙන්ම තේෂාන් සහ ටිරෝන්ද මා හා පැවසුවේ මා අගය කරමින් වුවද මම එය නොතකා හැරියෙමි. එවන් දෙයකින් පුහු ආඩම්බරයක් ඇතිකර ගැනීමට තරම් මම බොළඳියක නොවූයෙමි. තෙෂාරාගේ ලකුණු අන් සැමටම වඩා අඩු මට්ටමක පැවති අතර ඇගේ මිතුරියන් දෙදෙනාත් ඇයට වඩා ඉහළ ලකුණු ලබාගෙන සිටියාය. තෙෂාරා සමඟ කතා බහ කිරීමට වුවමනා වුවද ඈ මා දකින විටත් මුහුණ හකුළාගෙන ඉවත බලාගන්නා හැම විටෙකම මා සිතේ ඇති වූයේ තරහාවක් නොව අනුකම්පාවකි.

    “උඹ ඉතින් මෙහෙම හරි මාර්ක්ස් ගත්තේ අපි නිසා නම් නෙවේ…ආරණ්‍යා නිසයි…එදා කනට ගැහුවා වගේ ඇත්ත කියද්දී…ඇත්තමයි මචං…මාත් ෂොක් වුණා…අපි මෙච්චර කල් කළේ වැරැද්දක් කියලා මටත් හිතිලා තිබුණේ නැහැ…”

    ටිරෝන් අප සැවොම ඉදිරියේ අවීශ් හා පැවසුවේ සමාව යදින ස්වරයකිනි.

    “ඒක ඇත්ත මචං…අවීශයාව වෙනස් කළේ ආරණ්‍යා…කණපිටම පෙරළෙව්වා…කාටද ආඩම්බර…?”

    තේෂාන්ද එය අනුමත කරමින් කියන විට මා සිතේ ඉහිර ගිය ලැජ්ජා මුසු හැඟීමෙන්ම මම හොරැහින් අවීශ් දෙස බැලීමි. ඔහු සිටියේ නිහඬ දෑසින් ඉවත බලාගෙ නය.

    “ඒ සතුටට අපි බොමු…”

    ටිරෝන් මා දෙස බලා කීවේ මට ඇසක් ඉඟි මරමිනි. මම ඔහුට රැවුවෙමි.

    “තේෂාන්…මෙයා තාම සිගරට් බොනවද…?”

    මම රහසින් ඇසුවේ තේෂාන් වෙත නැඹුරුව වුවද අවීශ් වහා මා දෙසට බැල්මක් හෙළුවේ එය සවන් වැකුණු බව පෙන්වමනි.

    “අප්පෝ නැහැ ආරාණ්‍යා…නයාට අඳුකොළ වගේ…”

    ඔහු කීවේ උපහාසයෙනි. මා සිතට සතුටක් දැනිණ.

    “නිවාඩුවට මොකද කරන්නේ ආරණ්‍යා… ගමේ යනවද…?”

    කතා බහ වෙනතකට යොමු කරමින් තේෂාන් යළි ඇසුවේය. මම සිතුවේ එය අවීශ් විමසන්නට කීවාදැයි සිතා වුවද ඔහු ටිරෝන් සමඟ වෙනත් කතා බහකය.

    “ඔව් තේෂාන්…පුළුවන් නම් හෙටම යනවා…”

    මම කීවේ නොඉවසිළිමත් බවක් පෙන්වමිනි. සැබෑවට මා සිටියේ එසේය. මට ආච්චි අම්මා මෙන්ම මිතුරන්ද දැක ගැනීමට වුවමනාය.

    “ඉතින් හෙට ක්ලාස් නේ…” ඔහු වහා කීවේය.

    “ඔව් අප්පා…ඒකනේ…හෙට යන්න වෙන්නේ නැහැ ඒ නිසා…”

    දුර්මුඛ හඬකින් මම කීවෙමි.

    “මෙයාට ගමේ යනකල් ඉවසිල්ලක් නැතිව ඉන්නේ තේෂාන්…බලන් ඉන්න අයත් ඉන්නවානේ…”

    නදීරා මා ඇවිස්සීමටදෝ කීවාය.

    “ආහ්!..ඒකත් එහෙමද…? අපි දන්නේ නැහැනේ එහෙම දෙයක්…”

    “පිස්සු මෙයාට…ආච්චි අම්මා නම් බලන් ඇති…ඒක නෙවේ ඔයාලා මොනවාද කරන්නේ නිවාඩු කාලේ…?” මම විමසුවෙමි.

    “මොනවා කරන්නද…? ගෙදරට වෙලා ඉන්නවා ඔහේ…”

    ඔහු කීවේ ඇල්මැරුණු හඬකිනි.

    “ඉතින් එහෙනම් එන්නකෝ අපේ ගමේ… නදීරත් යනවා මා එක්ක…” මම යෝජනා කළෙමි.

    “නෑ…සිරාවට…? ඒ මචං…මොකෝ කියන්නේ…නිවාඩුවට ආරණ්‍යලාගේ ගමේ යමුද…?”

    තේෂාන් පහත් හඬින් අවීශ් විමසන විට ඔහු වහා හැරී මදෙස බැලුවේය.

    “අඩේ..මරුනේ…යමුකෝ අවීශයෝ…කාලෙකින් කොහෙවත් ගියේ නැහැ බං…”

    ටිරෝන්ද අවීශ් උනන්දු කරමින් කීවේය. ඔහු කුමක් පවසනු ඇත්දැයි සැකයෙන් මම බලා සිටියෙමි.

    “තියන ආඩමබරකමට බැහැ කියයි…” මම සිතුවෙමි.

    “බලන්න ඕන මචං…අම්මා එක්ක ගමේ යන්න ඉන්නේ…මං කියන්නම්කො…”

    ඔහු දුන් පිළිතුරෙන් මට හැඟුණේ ඔහුගේ අකමැත්තක් නැති බව නොකියා පවසන බවකි.

    “ඉතින් ටිරෝන් සති දෙකක්ම නිවාඩුනේ…ගමේ ගිහින් ටික දවසක් ඉඳලා…අම්මාව එහෙ තියලා…අපේ දිහා ආවා නම් හරිනේ…”

    මම යෝජනා කළෙමි.

    “ඔව් මචං…ඒකනේ…ආරණ්‍යා කියන විදියට කරමු…”

    තේෂාන්ද එම යෝජනාවට එකඟව කීවේය.

    “හ්ම්ම්ම්…බලමුකෝ…”

    ඔහු එසේ කියා නිහඬවන විට අපිද නිහඬ වූයේ ඔහුට සිතන්නට ඉඩ හරිමිනි. බල කරන්නට ගියහොත් ඔහුගේ ආඩම්බර බැලීමට සිදුවනු ඇත. ඔහු ඒවි යැයි කියාද විශ්වාසයක් තැබිය නොහැකිය. තෙෂාරා මිතුරියන් දෙදෙන සමඟ පිටත කතා බස් කරනු දැක මම නදීරාත් සමඟ ඔවුන් දෙසට පැමිණියෙමි.

    “කොහේද මේ යන්නේ…?”

    නදීරා මා විමසුවේ මවිතයෙනි. මම ඇයට පිළිතුරක් දීමට නොසිතුවෙමි .

    “තෙෂාරා…”

    ඔවුන් අසළටම ගොස් මම ඈ අමතන විට ඈ මා දෙස හෙළුවේ අවඥා සහගත බැල්මක් වුවද මම ඈ සොයා පැමිණීම ගැන ඈ තුළ මවිතයක්ද ඇති වූ බව ඇගේ දෑස් වලින් මම දුටිමි.

    “මොකෝ මේ…තෙෂාරා ගාන් එන්නේ…?”

    ශලිනි විමසුවේ උඩඟු හඬකිනි. මම ඇයව තැකීමකුදු නොකළෙමි.

    “තෙෂාරා…මම ආවේ ඔයා එක්ක කතා කරන්න…”

    ඈ මා හෙළා දකින සුලු බැල්මක් මවෙත හෙළුවාය. ශලිනිත් රොසෙටාත් එකිනෙකා දෙස නිහැඬ බැලුම් හෙළුවේ සිදුවන්නට යන්නේ කුමක්දැයි සිතා ගන්නට නොහැකිවාක් මෙනි.

    “මොනවා කතා කරන්නද..? අනික ඔයාට මොනවද මා එක්ක කතා කරන්න තියෙන්නේ…?”

    ළය හරහා දෑත් බැඳගත් තෙෂාරා විමසුවේ කිසිදු උනන්දුවක් හෝ සැළකිල්ලක් නොපෙන්වාමය. ඇගේ ක්‍රියාවෙන් පවා පෙනුණේ ඈ මා සමඟ කතා කිරීමට ඇකමැති බව මිස අන් කිසිත් නොවේ.

    “මට තනියම කතා කරන්න ඕන…”

    ඈ එවිට මා දෙස බැලුවේ උපහාසය මුසු බැල්මකිනි.

    “ඇයි…මෙයාලා ඉන්න නිසාද…? එයාලා හිටියට කමක් නැහැ…කියන දෙයක් කියන්නකෝ…”

    ඈ සාවඥ හඬකින් කියන විට නදීරා මා සුරතින් අල්ලා ගත්තේ මෙතනින් යමු යයි පවසමින් මෙනි.

    “මම ආවේ ඔයාට අවවාද දෙන්න නෙවේ…ඔයා මා එක්ක මොන තරහක් පිට කරගන්න හැදුවත්…ඒකට මට කමක් නැහැ…ඔයාට ඒකෙන් සතුටක් දැනෙනවා නම් කැමති දෙයක් කරගන්න…හැබැයි…ඒ නිසා ඔයාගේ ස්ටඩීස් පාඩු කර නොගෙන…ඔයාට දිනන්න ඕන නම් ඔයා කරන්න ඕන එක්සෑම් පාස් වෙන එක…නැත්නම් ඔයා හැමදාම පරාදයි තෙෂාරා…ඔයාට උල්පන්දම් දීලා…ඔයාව උසි ගන්වලා…අනෙක් ළමයි එක්ක තරහා කරවලා…ඔයාගේ යාළුවෝ දෙන්නා අනෙක් හැමෝම එක්ක බොහෝම හොඳට කතා බහ කරනවා….ඒ විතරක් නෙවේ…ඔයා නැති තැන ඔයා ගැන කිය කියා එයලා දෙන්න ඔයාට හිනාවෙනවා…ඔයා අනික් අයට පාච්චලේට හිනා වෙනවා වගේ…නැද්ද රොසෙටා…?”

    මම අසන විට දෙදෙනාගේ මුහුණු ඇද වී ගියේය.

    “ඔය බොරු තේෂා…”

    ශලිනි කෑගැසූ අතර තෙෂාරා ඇයට රැවුවාය.

    “බොරු කියලා ඔයාලට වගේ අනික් අයව කොටවන්න නෙවේ මං මේවා කිව්වේ… ළඟ ඉන්න අය ගැන මෙයා දැන ගන්න ඕන නිසා….ඔයාට ඒවා පේන්නේ නැහැනේ…අනික බලන්නකෝ…දෙන්නාම ඔයාට වඩා හොඳට මාර්ක්ස් අරන් තියෙන හැටි…ඔයා දැනටම ඉන්නේ අන්තිමයාට…මේ දෙන්නා හොඳට එක්සෑම් එකත් පාස් වෙයි…ඒත් ඔයා මෙයාලට රැවටිලා නිකන් මෝඩ වෙනවා…”

    රොසෙටාත් ශලිනි ත් මා දෙස බලා සිටියේ ගිණි දළු පිටවන දෑසිනි.

    “මෙයා කියන ඒවා අහන්න එපා තේෂා… පිස්සු…ඔහේ කියවනවා…”

    රොසෙටාද කෑගැසුවේ වඩාත් ලැජ්ජාවට පත්වය. තෙෂාරා සිටියේ වල්මත් වූ ස්වාභාවයකිනි.

    “ඒ එකක් වත් බොරු නෙවේ…අපිට ඇහුණා…ඒ දෙන්නා ඔයා ගත්ත ගවුමක් ගැන ඇද කුද කිය කියා හිනා වෙන හැටි…ඔයා බාර්බි ඩෝල් කියලා හිතාගෙනලු ඒ ගවුම ගන්න ඇත්තෙත් කිව්වා…හා නැද්ද ශලිනී…? අර රෝස පාට ගවුම ගැන කිව්වේ නැද්ද…? අපිට ඇහුණේ නැත්නම් අපි ඒක දැන ගන්න විදියක් නැහැනේ තෙෂාරා…”

    මීට දින කීපයකට පෙර ශලිනි සහ රොසෙටා තෙෂාරා ගැන එසේ කතා බහ කළේ ඇයව හෑල්ලුවට ලක් කරමිනි. එසේම ඔවුන් ඇයව විවේචනය කරනු අපට ඇසී තිබුණේ වරක් දෙවරක් නොවේ. තෙෂාරාගේ මුහුණ කළු පැහැ ගැන්වී තිබුණේ ලැජ්ජාව නිසා වන්නට ඇත. ඇයට සිතන්නට යමක් ඉතිරි කර මාත් නදීරාත් පන්තියට පැමිණියෙමු. ඔවුන් අතර ආරවුලක් ඇති කරලීම මගේ අරමුණ නොවීය. තම ව්‍යාජ මිතුරියන් ගැන ඇයටම දැන ගන්නට ලැබේවායි කියා මම පැතුවෙමි. පසුදිනම එය සිදුවනු ඇතැයි කියා මම නොසිතුවෙමි.

    ******** ********* ******** ********* *************** ********* ********
    නංගී වෙනදාටත් වඩා බොහෝ නිහඬය. පාසලට යනෙන අතරේ පවා ඈ මුලදී තොරතෝංචියක් නැතිව ගිරවියක සේ දොඩමළු වුවද ඈ දැන් දැන් බස්සියක සේ ගොළුව ගොසිනි. පෙරකල මා ඇයත් සමඟ පැමිණෙන්නේ ඇගේ කන් දොස්කිරියාව කෙරෙහි ඇතිකරගත් කෝපයෙනි. දැන් දැන් ඈ දුරකථනයට යොමා ගත් දෑසින් ඊටම හිස ඔබා ගෙන එයට සිනහාසෙමින් හිඳ සිටින්නේ අවට සිදුවන කිසිවක් ගැන කිසිදු හැඟීමක් නොමැති සේය. අප අමතර පන්තියට යන අතර තුර නදීරාවත් මගින් රථයට නංවා ගන්නා විට පවා ඈ නදීරා දෙස බලා ඕනාවට එපාවට මෙන් වියළි සිනහාවක් පා යළිත් දුරකථනයටම දෑස් ඔබා ගන්නා විට මා සිතේ ඇති වූයේ කළකිරීම් මුසු හැඟීමකි. අපි නංගීවත් හැරළවා පැමිණියේ පමාවී ය. තේෂාන්ලා අප වෙනුවෙන් ආසන වෙන් කර තබා ගන්නා නිසා දැන් ප්‍රමාද වුවද ගැටළුවක් නැත. අප යන විට ළමුන් බොහෝ දෙනෙකු පැමිණ සිටි අතර ටිරෝන් ඇතුළු මිතුරන් කිහිප දෙනෙකුම සිටියද අවීශ් පෙනෙන්නට නොසිටියේය. ඔහු සිටිනවා නම් පළමුව නෙත ගැටිය යුත්තේ ඔහුවය. ඒ අන් අයට වඩා ඔහු උසින් වැඩි නිසාද නැත්නම් ඔහු තුළ වූ ආකර්ෂණය නිසාද කියා නම් මට සිතා ගන්නට නොහැකිය.

    “අවීශ් පේන්න නැහැ…”

    මා සිතූ දෙය පිට වූයේ නදීරාගෙනි. ඔහු පැමිණ නැතුවා වන්නට ඇතැයි කියා මම සිතුවෙමි.

    “එයා කවද්ද වෙලාවට වැඩක් කළේ…” මම නෝක්කාඩු කීවෙමි.

    “හේ…. ග…. (ර්)ල්ස්…”

    ටිරෝන් කෑ ගැසුවේ අප පුදුම කරවමිනි. සියළු දෙනම අප දෙස හැරී බලන විට අප දෙදෙනාටම දැනුණේ ලැජ්ජා මුසු හැඟීමකි.

    “මොකද මෝඩයෝ කෑ ගහන්නේ…?”

    ඔවුන් වෙත ළංවූ සැණින් නදීරා ඇසුවේ කෝපයෙනි.

    “අවධානය ගන්න කෑ ගැහුවේ…අර දැක්කේ නැද්ද…?”

    ඔහු පෙන්වූ දෙස අපි දෙදෙනම හැරී බැලීමු. අවීශ් තරුණියක සමඟ නුදුරින් හිඳ බර කතා බහකය. ඔහුද අප දුටු අතර

    “හා..යි නදීරා…” යැයි අත වැනුවේ අප පුදුම කරවමිනි. ඒ සමඟම අර තරුණියද හැරී බැලු අතර මම වහා ඇයව හැඳින ගතිමි.

    “හායි ආරණ්‍යා…”

    ඈ දුර තියා මට අත වනන්නට වූ නිසා මම ද අත වනමින්ම නදීරාත් සමඟ ඔවුන් වෙත ගියේ ටිරෝන් ලා මුව හයා බලා සිටින විටය.

    “ෂානු…ඔයා මොකද මෙහෙ…? ක්ලාස් ආවා නම් වෙන්න බැහැ…”

    සිනහාවක් ඈ වෙත පුද කරමින් මම අසන විට ඈ මගේ අතින් අල්ලා ගත්තේ ලෙංගතු හැඟීමකිනි.

    “මං ක්ලාස් යන්නේ නැහැ අනේ…මං ආවේ අවීශ් මීට් වෙන්න…මෙයාව ඉතින් අල්ල ගන්න පුදුම අමාරුවක්නෙ තියෙන්නේ…කොයි වෙලෙත් ගෙදර නැහැ….ක්ලාස්… ක්ලාස්..නැත්නම් බාස්කට් බෝල්…ආන්ටිට කෝල් කළාම කිව්වා ක්ලාස් කියලා…මෙහෙම ඇවිත් කතා කළොත් මිසක් මෙයා පෝන් එක ආන්සර් කරන්නෙත් නැහැනේ…”

    ඈ එකදිගටම නොක්කාඩු කියන විට මම අවීශ් දෙස එක එල්ලේ බැලුවෙමි. ඔහු මා දෑස් මඟහැර ඉවත බලා ගත්තේය.

    “පහුගිය ටිකේ එක්සෑම් තිබ්බානේ ෂානු…” මම කීවෙමි.

    “ඔව්…මෙයා කිව්වා…”

    “අවීශ්ට තමා හොඳම මාර්ක්ස් තියෙන්නේ…”

    මම යළිත් කියන විට ඈ පුදුමයෙන් අප දෙදෙනා දෙස මාරුවෙන් මාරුවට බැලුවාය.

    “එතකොට ඔය දෙන්නාම එකම කොලේජ් එකේද…?”

    ඇගේ පුදුම වීමට හේතුව එයයි.

    “ඔව්නෙ…ඇයි මෙයා ඔයාට කිව්වේ නැද්ද..?”

    “නැහැනේ…බලන්නකෝ…හරි නරකයි…එහෙනම් ඔයාලා හොඳ යාළුවෝ වෙන්නැති නේද…?”

    ඈ යළිත් විමසුවාය.

    “අනේ නැහැ ෂානු….තවම නැහැ…තවම අඳුන ගත්තා විතරයි…”

    මම අවීශ් දෙසත් බලමින් කීවේ ඔහුට රිදවන අදහසින්මය. එවිට ඔහුද මදෙස බැලුවේ නෙරවා ගත් දෑසිනි. මම එයට ප්‍රිය කළෙමි.

    “හරි පුදුමයිනේ…එකම කොලේජ් එකේ…එකම ක්ලාස් එකේ වෙලත්…තාම යාළුවෝ නෙවේලු…හ්ම්ම්….එනිවේ…මං ආවේ මෙයාගෙන් එළියට යමුද අහන්න…මෙයාට බැහැලුනේ…”

    බලාපොරොත්තු කඩ වූ ස්වරයකින් ඈ නෝක්කාඩු කීවාය.

    “අද අපිට ක්ලාස් එකේ එක්සෑම් එකක් ෂානු…පාඩු කරන එක හොඳ නැහැනේ…”

    මම කීවේ අවිශ්ගේ අඳුරු වූ මුහුණ දෙස බලාගෙන ය. ඔහු ෂානු ඉවසා සිටින්නේ අපහසුවෙන් බව මට වැටහිණ.

    “ඒක තමා…මෙයත් කිව්වා…කමක් නැහැ…මං වෙන දවසක අල්ලගන්නම්කෝ…”

    ඈ තරවටුවක ස්වරයෙන් කීවාය.

    “අපි සේරම යමුකෝ ඉතින් මුවී එකක් බලන්න ෂානු…මං මෙහෙ තියට(ර්) එකකට ගිහින්ම නැහැ අනේ…”

    මම කියන විට අඳුරුව තිබූ ඇගේ මුහුණට යම්තමින් එළියක් වැටිණ.

    “අනේ…ඔයා සීරියස් ද..? යමුකෝ ඉතින් එහෙනම්…ගෙදර ඉඳලා මට බෝරින්…කතා කරන්නවත් කවුරුත් නැහැ…”

    “ඔව්…ඇත්තටම යමුකෝ ෂානු…අපිට මේ සතියේ නිවාඩු දෙනවනේ…ලබන සතියේ වගේ පුළුවන්නේ…නදීරා..?”

    අවීශ් ගෙන් කැමැත්ත විමසීමට පෙර මම නදීරා විමසුවෙමි. ඈ එයට හිස සැළුවාය.

    “අනේ…එහෙනම් ෂුවර් හොඳේ…”

    ෂානු අපෙන් සමුගත්තේ මගේ දුරකථන අංකයත් රැගෙනමය. මම ඇයට අනුකම්පා කළෙමි. ඈ අවීශ් පිළිබඳව සිතන්නේ තෙෂාරා ලෙස නොවන බව මට හැඟී ගියේය. ඈ සොයන්නේ මිතුරු දමකි.

    “නදීරා…”

    අපි පන්තිය දෙසට එන විට අවීශ් නදීරා අමතන්නේ මගේ අදහසට විරුද්ධ වීමට යැයි කියා මට නිකමට සිතිණ.

    “ඕකට තෑන්ක්ස් කරන්න ඕන නැහැ නදීරා…මට තේරුණා කෝච්චියට අහු වුණා වගේ මූණ බෙරි කරන් ඉද්දී…ඒත් නදීරා…ෂානු නම් හරිම හොඳ ළමයෙක්…පව් එයා…එයා තනි වෙලා කියලා මට හිතෙන්නේ…එයාව මඟාරින්න, මඟාරින්න එයා පස්සෙන් එනවා වැඩියි…ඒ නිසා එයා එක්ක ටිකක් කතා කරන්න…එතකොට ඕක හරි යයි…ෂානු නරක ග(ර්)ල් කෙනෙක් නෙවේ…එදා පාර්ටි එක දවසෙත් මං දැක්කා එයා හිටියේ තනියම…”

    තෙෂාරා අප දෙස බලා සිටින බව මා දුටුවේ බොහෝ වෙලාවක් ගත වූ පසුවය.

    පසුව මා දැන ගත්තේ මා ෂානු පිළිබඳව සිතූ දේවල් නිවැරදි බවය. ඇගේ තාත්තා සිටියේ විදෙස් ගතවය. ඈ අම්මා සමඟ සිටියද ඈ නිතර නිවසේ නොසිටියාය. කුඩා කළ පටන් ෂානු බලා කියා ගෙන ඇත්තේ මවගේ ඥාතීවරියක විසිනි. ඇයත් දැන් මහළුය. නිවසේ මෙහෙකාරියන් දෙදෙනෙකු සිටියද ඈ ඔවුන් සමඟ කුමක් කතාකරන්නද…?

    අවීශ් මේ සියල්ල නදීරා සමඟ පවසා තිබුණේ පසු විටකය.

    “ඔන්න…දැන් තව කෙනෙක් ඉන්නවා දුක අහන්න…” නදීරා මට ඇනුම්පදයක් එල්ල කළාය.

    “ඉරිසියාව…” සිනාසෙමින් මම කීවෙමි.

    අවීශ් අපට පෙර ශාලාව දෙසට පා තබන විට අපි මඳක් පමා වෙමින් පැමිණියෙමු. ඔහු තේෂාන්ලා සමඟ මඟ නැවතෙන විට අපි පන්ති ශාලාවට පැමිණ හිඳ ගතිමු.

    “දැක්කද අරයගේ මූණ…? කොහොල්ලෑ බබාගේ ඇළුණා වගේ මූණ බෙරි වෙලා…”

    මම සිනාසෙමින් කීවෙමි.

    “මට නම් පෙනුණේ…දෙන්නා නිකන්…රොමෑන්ටික් විදියට කතා කර කර හිටියා කියලයි…”

    නදීරා විහිළු කළේ මා ඇවිස්සීමට මෙනි.

    “රොමෑන්ටික්…? මට නම් එහෙම එකක් පෙනුණේ නැහැ…ගිහින් ඇස් දෙක පෙන්න ගන්නවා…”

    මවා ගත් නොමනාපයකින් මම කීවෙමි.

    “පේනවනෙ තියෙන ජෙල…අර ළමයට බොරු කියලා උදැල්ල දාලා…කොල්ලාව ක්ලාස් එකේ තියා ගත්ත නේ…?”

    “මං දාපු උදැල්ලක් නැහැ…දැක්කේ නැද්ද… දෙකට කැපිච්ච පණුවා වගේ ඇඹරී ඇඹරි හිටියේ…”

    “අවීශුත් ඔයා කියපු බොරුවම කියලානේ… අද එක්සෑම් එකක් කියලා…”

    නදීරා සිනාසෙන විට මමද ඈ සමඟ එකතු වුයෙමි. කොහේදෝ සිට ටිරෝන් පැමිණියේ එවිටය. තේෂාන් ලා සමඟ අවීශ්ද පැමිණියෙන් අපේ කතා බහ නැවතිණ.

    “ගියාද…අර වක්කරසට්ටම…?” ටිරෝන් ඇසුවේ අවීශ්ගෙනි.

    “මොකා…වක්කරසට්ටම…ඒ මොකාද..?”

    තේෂාන් වටපිට බලමින් අසුවේ මවිතයෙනි.

    “අර ඇවිත් හිටියේ…මෙයාත් එයාව දන්නවා…අපිනේ නොදන්නේ…කවුද බං ඒ…?”

    ටිරෝන් එක දිගට විමසුවේ මා දෙසත් බලමිනි. පිළිතුරක් නොදුන් අවීශ් මට ඉදිරිපස අසුනේ හිඳ ගත්තේය.

    “අපෝ ටිරෝන්…මල් ගවුමක් පේන්න බැහැනේ බං උඹට…” නිරෝධ කෑ ගැසුවේය.

    “නැතුව ඉතින්…උඹ දිහා බලන්න කියලද කියන්නේ මට…ඝෝතයා…”

    අප අතර සිනහාවක් නංවමින් ටිරෝන් කීය. තේෂාන් මට ඇඟිල්ලෙන් අනින විට මම ඔහු දෙස බැලුවෙමි. එවිට ඔහු ඉඟියෙන් පෙන්වූ දෙස මගේ දෑස් යොමුවන විට මා අනුගමනය කරමින් සියළු දෙනම එදෙස බැලුවෝය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Local Government Elections නාම යෝජනා නැවත කැඳවන යෝජනාවක්!

    Local Government Elections - 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවා 2024 ඡන්ද...

    Nandalal Weerasinghe ගමන වෙනස් වුණොත් රට නැවත වැටෙනවා

    Nandalal Weerasinghe - ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති හා තීන්දු තීරණ හේතුවෙන් අපේක්ෂා කළාට වඩා වැඩි වේගයකින් ශ්‍රී ලංකාව පැවතී ආර්ථික...

    Cannabises රජයේ ගංජා වගාව මීරිගම සහ මහනුවර

    Cannabises - මෙරට දෙවැනි කර්මාන්ත කලාපය වන ත්‍රිකුණාමලයේ කප්පල්තුරේ කර්මාන්ත කලාපයට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක පමණ ආයෝජනයක් ලබාගැනීමට රජය...
    - Advertisement -spot_img

    Hima Mal Renu හිම මල් රේණු – 55

    Hima Mal Renu හිම මල් රේණු මා සිටියේ ගැහෙන සිතිනි. තේෂාන්ගේ ඇමතුම මා සිතේ ඇති කර තිබුණේ සියුම් චකිතයක් සමඟ...

    IMF අනුරට බැරි ඇයි..?

    IMF - "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" සිය ප්‍රත්පත්තිය ලෙස ප්‍රකාශයට පත් කරන හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකට සහ...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page