More
    FeaturesDonilaye AmmeDonilaye Amme දෝණිලයෙ අම්මේ

    Donilaye Amme දෝණිලයෙ අම්මේ

    -

    spot_img

    Donilaye Amme

    “තාත්තේඒඒඒ…”

    චූටී එකී කෑගහගෙන සාලෙට දුවන් එද්දි, මං අතින් බල,බලා හිටපු පත්තරෙත් අතෑරුණා. මං කෙල්ලව අල්ලගත්තෙ වෙච්චි කිසි දෙයක් හිතාගන්න බැරුව.

    “අම්මා ගැහුවාආආ..”

    මං කට අරින්නත් කලිං කෙල්ල උත්තරේ දුන්නා. ඇත්තටම මං ඉස්සෙල්ලාම පුදුම වුණා. ඒත් එක්කම හිතට කේන්තියක් ආවා. ආයෙත් පාරක් හිතුවා. දෝණිලයෙ අම්මා දරුවෙක්ට අත ඉස්සුවා කියන එක විශ්වාස කරන්න බැරුව.

    “කෝ…කොහෙද දැන් අම්මා…”

    මං ඒ ප්‍රශ්නෙ ඇහුවෙ අහන්න ඕනේ හින්දා.. කෙල්ල අත දික් කරලා ලොකු කෙල්ලගෙ කාමරේ පැත්ත පෙන්නුවා. මං පොඩි එකීව වඩාගෙන නැඟිට්ටා. ඒකිගෙ කම්මුල් දිගේ කඳුළු බේරෙනවා. මං කෙලින්ම ලොකු කෙල්ලගෙ කාමරේට ගියේ පොඩි එකීවත් වඩාගෙන. කඩාගෙන කාමරේට යන්න ගියත් ඇතුලෙන් ඇහෙන සංවාදේ මාව එහෙමම හිටි තැන නතර කෙරෙව්වා.

    “උඔලට සැප වැඩී..තාත්ත කියනෙක ඇත්ත..මං තමා වැරදී..”

    “මොකක්ද අම්මේ මං කරපු වැරැද්ද..කෑගහන්න කලිං කියන්න..”

    “වැරැද්ද..ගහනවා මං උඔගෙ කණ පැලෙන්න..හිතුවද මං අඳ,ගොළු,බීරී අම්මෙක් කියලා…”

    ලොකු එකී යටිගිරියෙන් කෑගැහුවා. තවත් බලං ඉන්න බැරි තැන මං කාමරේට කඩාගෙන පැන්නා. දෙන්නගෙ සංවාදෙ පොඩ්ඩකට නතරවුණේ මගේ හදිසි කඩාපැනීම නිසා. මං දෙන්නා දිහා දෙමාරුවට බැලුවෙ උත්තරයක් බලාපොරොත්තුවෙන්.

    ” දන්නවද ඔයාගේ දෝණියැන්දැ කරලා තියෙන හපංකම..”

    දෝණිලයෙ අම්මා මගෙ ඇඟටත් කඩං පැන්නෙ අර පුරුදු තරහෙන්මයි.

    “නදීෂා…මට ඉස්සෙල්ලාම කියනවද මොකක්ද මෙතන වුණේ කියලා..”

    කිසිදෙයක් තේරුම් ගන්න බැරි නිසා මට එහෙම ඇහුණේ ටිකක් සද්දෙට. දෝණිලයෙ අම්මා මං ළගට ආවේ වේගෙන්. ඒ වේගෙන්ම මොබයිල් ෆෝන් එකක් මගෙ අතේ තිබ්බා.

    “ඕං ඕකේ වට්සැප් වල තියෙනවා බලාගන්න එකයි ඇත්තෙ…”

    එහෙම කියලා දෝණිලයෙ අම්ම මගෙ අතේ හිටපු චූටී එකීවත් උදුරගෙන කාමරෙන් එළියට ගියා. මං අතේ තියන මොබයිල් එක දිහයි, ලොකු එකී දිහයි බැලුවෙ “මොකක්ද වුණේ” කියලා දැනගන්න. ඒත් ඊට කලිං ලොකු එකී දුවගෙන ඇවිත් මාව බදාගෙන ඉකි ගගහ අඬන්න ගත්තා. මගේ පපුව ඒකීගෙ ඉකි ගහන සද්දෙට දෙදරන්න ගත්තා. මං එයාගේ ඔලුව අත ගගා ටික වෙලාවක් හිටියා. ටිකෙන් ටික එයාගේ ඉකි සද්දෙ අඩුවෙනවා මගෙ පපුවට දැණුනා. මං එයාගේ ඔලුව උස්සලා අරං මූණ බැලුවා. ඇස් හොඳටම රතුවෙලා. මූණ තඩිස්සි වෙලා. කම්මුලේ ඇඟිලි පාරවල් කීපයක් තිබුණා.

    “මොකක්ද මයෙ පුතේ මෙතන වුණේ..”

    දරාගන්නම බැරි තැන මං එහෙම ඇහුවෙ බැරෑඬි හඬකින්.

    “මං කිසිම වැරැද්දක් කරේ නෑ තාත්තා…අම්මා මාව සැක කරනවා…මේං එයා මට ගැහුවත් එක්ක..”

    කෙල්ල කීවේ තඩිස්සි වුණු කම්මුල් මට පෙන්නන ගමං. මං කෙල්ලව උරහිසින් අල්ලලා ඇඳේ කොනක ඉන්දෙව්වා. පුටුවක් ඇදලා අරං මාත් එයාට මූණලා ඉඳගත්තා.

    “හරි..දැන් පොඩ්ඩක් හුස්ම,කට අරං වෙච්චි දේ තාත්තට කියන්නකෝ මයෙ පුතේ..”

    “තාත්ත ඔය ෆෝන් එකේ මැසේජ් බලන්නකෝ…යාළුවෙක් එවලා තියෙන්නේ ”

    මං වුවමනාවෙන් නොවුණත් ස්ක්‍රීන් එක එහාට,මෙහාට කරලා, මැසේජ් කීපයක් කියෙව්වා. එතන තිබුණේ, දූගේ පිරිමි යාළුවෙක් එවපු මැසේජස් කීපයක්. බරපතල දෙයක් නොවුණත්, “ගුඩ් මෝනිං” වලිං පටං අරං “කෑවද” “දැන් මොනාද කරන්නේ..” ඉඳලා “ගුඩ් නයිට්” දක්වා සංවාදයක් තිබුණා.

    “කවුද පුතේ මේ..”

    මං ඇහුවෙ සැහැල්ලුවෙන්.

    “එයා තමා මේ සැරේ බෙස්ට් රිසාල්ට් ඉසිපතනෙ ජනිඳු…”

    “පුතා කොහොමද දන්නේ…”

    “ඩෙබිඩ් එකකදී හම්බවුණේ…”

    “ඔයාලා හොඳ යාළුවොද..”

    “එහෙමට නෑ තාත්තෙ..ඉඳලා, හිටලා මැසේජ් එවනවා…මාත් පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා එච්චරයි..”

    “හරි ඉතිං එහෙනම් එච්චරයි..ඇයි ඔයා මේ අඬන්නේ..”

    “අම්මා මං නොකරපු වැරදි කියලා බැන්නා තාත්තේ..ඇත්තටම මට දුකයි…”

    කෙල්ල ආයෙමත් මගෙ පපුවට කඩං වැටුණා. මං ඒකීගේ ඔලුව හිමීට අතගාන ගමං කතා කෙරුවා.

    “මේ අහන්න මයෙ පුතේ..අම්මගෙ බය සාධාරණයි..එයා ඔයාට ගහපු එක හරියි කියලා මං කියන්නෑ.. ඒත් අම්මලා ඒ හැමදේම කරන්නේ තමන්ගෙ දරුවන්ට තියන ආදරේට..ඔයා දැන් වැඩිවිය පැමුණුනු ළමයෙක්නෙ මයෙ පුතේ… ඉතිං අම්මා බය ඇති ඔයා වැරදි දේක පැටලෙයි කියලා…”

    “තාත්තා ඕනේනම් ඔය නම්බර් එකට කෝල් එකක් අරං බලන්න..අපි අතර එහෙම කිසිම වැරදි සම්බන්ධයක් නෑ…ඇයි අම්මට මාව එච්චර සැක…”

    “සැක සංකා කා අතරත් ඇතිවෙනවනේ පුතේ..දැන් බලන්න ඔයයි,චූටියි කොච්චර රණ්ඩුවෙලා තියනවද, ගහගෙන තියනවද නිස්කාරණේ, තේරුමක් නැතුව..හැබැයි ඒ රණ්ඩු නිසා ඔයාලා දෙන්නගෙ ආදරේ කවදාවත් නැතිවෙලා නෑනේ… අම්ම ගැනත් එහෙම හිතන්න මයෙ පුතේ…”

    කෙල්ල කෙලින්ම බැලුවෙ මගෙ මූණ දිහා. මං ඒකිට හිනාවුණේ හදවතින්ම.

    “ඔයා දැන් ගිහිං වොෂ් එකක් දාගෙන එන්න. අපි අද රෑට එළියට යමු කෑමකට..”

    මං එහෙම කියලා ෆෝන් එකත් එයාගේ අතට දීලා එළියට ආවා.

    දෝණිලයෙ අම්මා සාලෙ චූටී එකීවත් කරපින්නාගෙන ඉන්නවා. ඒකී හොඳටම නිදි. මං බැලුවෙ එයැයිගෙ අම්මා දිහා. ඇස්වල කියාගන්න බැරි වේදනාවක් තියෙනවා. මං කෙල්ලව එයාගෙන් අරං කාමරේට ගියා. දෝණිලයෙ අම්මත් මගෙ පස්සෙන්ම එනවා මට දැණුනා. මං චුටී එකීව ඇඳෙන් තියලා හැරෙනකොට දෝණිලයෙ අම්මා මං ගාව.

    ” මට මහා බයක් දැනෙනවා සුරංග…”

    එයා කීවේ ඇඬෙන්න ඔන්න,මෙන්න තිබුණු හඬකින්. මං එයාගේ කරට අත දාගෙන ඇවිත් සාලෙන් ඉඳගත්තා.

    “එතන එච්චර බයවෙන්න තරම් ලොකු දෙයක් නෑ නදීෂා..”

    මං කියද්දි වෙනදා වගේ ප්‍රශ්න නාහා, එයා මගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් මගෙ මූණ දිහා බලං හිටියා.

    “ඉසිපතනෙ බෙස්ට් රිසාල්ට් ගත්තු කොල්ලා..ඩිබෙඩ් එකකදි අඳුරගෙන තියෙන්නේ..මේ නිකං මැසේජ් කරනවා…අපේ එකී ඊට පස්සෙ දැකලවත් නෑ..”

    ” එහෙම තමා අනේ ඕවා පටං ගන්නේ…”

    “ඔව්..මං නෑ කියන්නෑ…ඒත් ඒවා පටං ගන්නවද, එතනින්ම නතර කරනවද කියලා අපිට පුළුවන් තීරණය කරන්න..”

    දෝණිලයෙ අම්මා ඇස් ලොකු කරං මං දිහා බලං හිටියා මිස, එක වචනයක්වත් කීවේ නෑ.

    “අපි ඔය කාලේ පහු කරලනෙ ආවේ නදීෂා…හිතට එකඟව කියන්න..ඔයාගේ අයියලා, අම්මා විරුද්ධ නොවුණානම් ඔයා මා එක්ක මෙහෙම එයිද..නෑනේ..ඒ විරුද්ධකම් අපේ සම්බන්ධෙට ආශිර්වාදයක් වුණා නේද..”

    දෝණිලයෙ අම්මා සෑහෙන කාලෙකින් අහපු ප්‍රශ්නෙකට ප්‍රති උත්තර නොදී බිම බලාගත්තා.

    “හුඟක් දේවල් වෙනවද,නැද්ද කියලා තීරණය වෙන්නේ අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිහෙන්..ඒ නිසා අපි මේක නොවෙන දෙයක් කියන තැනට දරුවගෙ හිත යොමු කරමු..”

    “එහෙනම් මං රෑට කන්න මොනාහරි හදන්නම්…”

    දෝණිලයෙ අම්මා නැඟිට්ටේ එහෙම කියාගෙන. මං එයාගේ උරහිසෙන් අල්ලලා නැවැත්තුවා.

    “එපා..අපි අද කෙල්ලො දෙන්නා එක්ක එළියට ගිහිං මොනාහරි කමු..ඔයත් වොෂ් එකක් එහෙම දාගෙන ලෑස්ති වෙන්න..”

    වෙනදා මේ වගේ වෙලාවට කියන්න දාහක් දේ එන එයාගේ කටට, අද එක වචනයක් ආවේ නෑ. කරබාගෙනෙ නැඟිටලා කාමරේ දිහාට ගියා. දරුවන්ගෙ ප්‍රශ්න වලදි දෙමාපියො විදිහට අපිට නොදරුවො වගේ තීරණ ගන්න බෑ තමා දෝණිලයෙ අම්මේ. ඒත් මේ සමාජය ඇතුලේ දරුවො අපිට වඩා අප්ඩේට්. සමහර වෙලාවට අපි හිතනවට වඩා තුන් ගුණයක් ඉහලින් උන් හිතනවා. ඒක හොඳ පැත්ත වෙන්නත් පුළුවන්, නරක පැත්ත වෙන්නත් පුළුවන්. හැමතැනම තියෙන්නේ වැරදි පූර්වාදර්ශ. දරුවො දන්නෑ තෝරාගැනීම. ඒක තීරණය වෙන්නෙ උන් ඉන්න පීඩනය මත. හැම වෙලේම උන්ව ඒ පීඩනයෙන් මුදවලා තියන්නෝනෙ. දරුවෙක්ට වැරදි තීරණයක් ගන්න තියන ඕනෑම ඉඩකඩක් ඇහිරෙනවා උන්ගෙ පැත්තෙ කවුරු නැතත් දෙමව්පියො, සහෝදරයො ඉන්නවා කියලා උන්ට දැණුනාම. අපි අපේ දරුවන්ට දෙන්න ඕනේ ඒ ශක්තිය සහ ආදරය. ඒක තියනකං මේ ලෝකේ කාටවත් අපේ දරුවො නොමඟ යවන්න බෑ දෝණිලයෙ අම්මේ. මං චමියට කෝල් එකක් ගත්තා.

    “මචං..කැසබලංකා එකේ ෆැමිලි රූම් එකක් බුක් කරපංකෝ ජෙගාට කියලා..අද නඩු නැතුව අඩියක් ගහන්න චාන්ස් එකක් තියනවා..”

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page