FeaturesDonilaye AmmeDonilaye Amme - 08 දෝණිලයෙ අම්මේ

Donilaye Amme – 08 දෝණිලයෙ අම්මේ

-

spot_img

Donilaye Amme – ලොක්ඩවුන් එක අස්සේ එකපාරටම බාර් ඇරලා වැහුවත් එක්කනේ. පළවෙනි දවසෙම බාර් පෝළිමේ ඉන්න ගිහිං ගෙදරින් දෝස් මුරයක් ගන්න බැරි නිසා ම පස්සෙ යන්න හිටියා. ඔක්කොම වෙන්නේ හොඳටයි කියලා මං කළු කෝපී කෝප්පෙකුත් හදාගෙන වත්ත පහළට ඇවිදගෙන ගියා.

“හදන්නට වැහි බිංදුවක්..
පොළොව,ගහකොළ විඳි දුකක්…
දන්නවානම් තෙමෙනවා ඔබ
මහා වැස්සේ කල්පයක්………”

කොහෙ හරි ඒ සිංදුව ඇහෙනවා. ලලිත් රත්නායකගෙ “තාත්තා ” ටෙලිනාට්‍යයේ සිංදුවක්. ලියලා තියෙන්නේ නාරද විජේසූරිය. හුඟක් අය හිතන්නේ මේ සිංදුව කියන්නේ කරුණාරත්න දිවුල්ගනේ කියලා. ඒත් මේක කියන්නේ ධනුක දේශප්‍රිය . බැලූ බැල්මට විරහ ගීයක් වගේ පෙණුනත්,මේ කියන්නෙ අම්මා මිය ගියපු පවුලක තාත්තෙක් තමන්ගෙ දරුවාට ආදරය රැකවරණය දෙන්න දරන වෙහෙස ගැන.

“මොනාද බරටම කල්පනාව බාර් ඊයේ ඇරලා අද වහපු එක ගැනද….”

ඒ හඬ දෝණිලයෙ අම්මගෙ. එයාගේ නිගමනෙත් හරියට ධනුක කියපු සිංදුව කරුණාරත්න දිවුල්ගනේගෙ ගිණුමට බැර කලා වගේ සම්පූර්ණ වැරදි නිගමනයක්. මගේ කට කොනට හිනාවක් ආවේ ඒකයි.

“මට ඇල්ලුවේ නෑ ඒ හොර හිනාව..මොනාද ඔය බොන්නේ….”

දෝණිලයෙ අම්මා මගේ කෝප්පෙට කටයි,නහයයි දෙකම ඔබන ගමන් එහෙම ඇහුවෙ.

“ඔයා කෝපී බොන මං ගැන වැරදියට හිතුවා වගේ සිංදුවක් ගැන වැරදි අදහසක ඉන්න මිනිස්සු ගැන තමා මාත් හිතුවෙ….”

“ඔය විකාර ගැන හිත,හිතා ඉඳලා හරියන්නෑ…දැන් අපි ලොකූ ගැන හිතන්නෝනේ..”

“අපොයි දෙයියනේ ලොකු ළමයා යන්තම් සාමාන්‍ය පෙළ පාස්වුණේ ඊයේ,පෙරේදනෙ…දැන්ම මොන කසාදද..? ”

“අනේහ්ං මේහ්ං…හැමදේම විහිළුවට නොගෙන වැදගත් කතාවකදිවත් කට පියං ඉන්නකෝ…”

ඉන් එහාට වචන වීසී කරලා නැති ප්‍රශ්න ගෙට ගන්න ඕනේ නෑනේ. මං “කතාව කියන්න” කියනෙක එයාට ඇඟෙව්වා.

“ලොකූගෙ ප්‍රථිපල මදි…ජැනට්ලයෙ ළමයට A නවයක්…තව සැරයක් ලියන්න කියමු…”

“ඒ ලෙවල් කරන්න ඔය ප්‍රථිපල ඇතිනේ ආයේ මොකටද ලියන්නේ…”

“එහෙම කියලා බෑනේ..ඒ මදිවට ජැනට් ෆේස්බුක් එකෙත් දාලලු හෂිනිට A නවයයි කියලා ලොකූ අවුලෙන් ඉන්නේ…”

“ඉතිං ඔයා ෆේස්බුක් දාන්න ලොකු ළමයා අඩු A ටික ගන්න දෙවෙනි පාර අපි ආයේ ලියවනවා කියලා”

මගෙ අතේ තිබුණු කෝප්පෙ උදුරගත්තු දෝණිලයෙ අම්මා මට ගස්සගෙන යන්න ගියා.

විභාග කඩ ඉම් තියෙන්නේ දරුවෙකුට ඊළඟ අදියරට යන්න මිස,තව කෙනෙක් අභිබවා යන්න නෙවේ. ශිෂ්‍යත්ව විභාගේ ඉඳලා උසස් පෙළ දක්වා දරුවන්ව හුරු කරන මේ තරඟය අපි උන්ට කරන හිරිහැරයක්. උන් ළමා කාලය දිය කරන්නෙ විභාග වලට,තරුණ කාලය දිය කරන්නෙත් විභාග වලට. මගෙ ප්‍රශ්නෙ උන් එහෙම කරලා මේ අධ්‍යපන ක්‍රමයෙන් ලබාගත්තු වරප්‍රසාද මොනවද..? උපාධියක් අරගෙන මං වගේ රජයේ රස්සාවක්ද..? එහෙම නැත්තං ජනප්‍රිය බාලිකා පාසලක ඉගෙනගෙන ඔයා වගේ කුස්සියේ රස්සාවක්ද දෝණිලයෙ අම්මේ…?

“තාත්තේ…..”

මං හිතින් තර්ක කරන එක නැවැත්තුවෙ ලොකු කෙල්ලගෙ කටහඬට.

“අම්මා කියනවා සෙකන්ඩ් ෂයි කරලා සයන්ස් වලින්ම ඒ ලෙවල් කරන්න කියලා. ආර්ට් කරාට කිසිම පිළිගැනීමක් නෑලු….”

“ඔයා ආස කොහොමද ?”

“ආයේ විභාග කරන්න කම්මැළියි තාත්තෙ…මං ඒ තරම් මහන්සි වුණා…මට මේ රිසාල්ට් ඇති…මං ආර්ට් කරනවා….”

“ඔව්..එහෙම කරන්න….විභාග තියෙන්නේ කරන රස්සාව තෝරගන්න නෙවෙයි පුතේ…සමාජයේ ජීවත්වෙන දැනුම හොයාගන්න ”

මං දැක්කා ලොකු එකී සැහැල්ලු හුස්මක් ගන්නවා. කොයි තරම් බරක් හිතේ හිරකරගෙන ඉන්න ඇතිද කියලා ඒ හුස්මෙන් මට තේරුණා. දරුවන්ට ඕනේ ඒ සැහැල්ලුව දෝණිලයෙ අම්මේ. අපේ ආටෝප ප්‍රදර්ශන ලෝකේ උන් විසිතුරු භාණ්ඩ කරන්න ඕනේ නෑ. අපි උන්ට යහමඟ පෙන්නුවාම ඇති. උන් යනමඟ තීරණය කරපුවාවේ.

“හරි අපූරුයි තත්තගෙ අවවාදේ….ඔයාට ඕනේ ඒ ළමයත් මාසේ පඩියට කන්තෝරු ලියන්නියක් කරන්නද……”

දෝණිලයෙ අම්මගෙ ගෝරනාඩුවට හේතූව මට හිතාගත්තැකි.

“කරන රස්සාවකින් මිනිස්සුන්ගෙ තරාතිරම මනින්න බෑ නදීෂා…”

“මොකෝ බැරි සුරංග…ගුරුවරු දෙවියෝ කීවට,රණවිරුවො මුර දේවතාවෝ කීවට,ඩොක්ටර් කෙනෙක්ට ප්‍රොක්ටර් කෙනෙක්ට,ෆයිලට් කෙනෙක්ට තියන පිළිගැනීම ඔයා දන්නවද….”

“ඔයා දන්නවද කොට්ටාව හන්දියෙ වඩේ කරත්තෙ කරන ඉන්දරේ අයියා..?”

“ඒ ගමන ඔයා මොකක්ද කියන්න යන්නේ…..”

“ඉන්දරේ අයියගෙ ලොකු පුතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. අනිත් ළමයි දෙන්නම ඉගෙනගන්නෙ ඉන්ටර්නැෂනල් ස්කූල් වල….”

“එහෙනම් ඔයත් ඔය රස්සාව අතෑරලා ගිහිං වඩේ කරත්තයක් දාගන්න……”

හැමදාම වගේ අපේ කතාව අදත් ඒ විදිහට අතරමඟදී ඉවරවුණා. මට ඔයාව තේරෙනවා දෝණිලයෙ අම්මේ. ඔයාට ඕනේ අපේ දරුවො හොඳ තැනක ඉන්නවා දකින්න. දරුවො ඉන්න තැන තීරණය වෙන්නේ උන් කරන රස්සාව එක්ක නෙවේ. උන් ඒ රස්සාව එක්ක ජීවිතේට එකතු කරගන්න වටිනාකම් එක්ක. වඩේ විකුණන මිනිහත්,බුලත් විට විකුණන මිනිහත්,සපත්තු හදන මිනිහත් ඒ හැමදේම කරන්නෙ ජීවත්වෙන්න. එහෙම කරලා දරුවො රට රාජ්‍යවල ඇරලා,ලොකු තානාන්තර,පදවි පට්ටම් වල තියලා,මැරිලා යනකං තමන්ගෙ පුරුදු රස්සාව කරන දෙමව්පියො ඉන්නව. එතකොට ඒ දරුවො ඒ තැනට යවලා ඒ දෙමව්පියො කිසිම දෙයක් බලාපොරොත්තු වෙලා නැද්ද..? එහෙම නැත්තං ඒ බලාපොරොත්තු වුණු දේවල් දරුවො ඉෂ්ට කරලා නැද්ද…? අපි දරුවන්ට උගන්නන්න ඕනේ “ලොකු ” මිනිස්සු වෙන්න නෙවේ. “හොඳ ” මිනිස්සු වෙන්න දෝණිලයෙ අම්මේ. ලොකු මිනිහෙකුට වඩා හොඳ මිනිහෙක්ට මේ සමාජය තේරුම් ගන්න පුළුවන්. දරුවො හදවතින් පොහොසත් මිනිස්සු කරන්න සල්ලි විතරක්ම තිබිලා බෑ. මං පිළිගන්නවා එහෙම කියලා දරුවෙකුට “හිඟන ජීවිතයක්” දෙන්න කිසිම දෙමාපියෙක් කැමති නෑ කියලා. ඒත් ඉලක්ක හඹාගෙන දුවන තරඟකාරී ජීවිත වලට හුරු කරපු දරුවො,දවසක ඒවයින් හෙම්බත් වෙලා දෙමාපියන්ටත් දොස් කියනවා. කාලෙක උන්ට තේරෙනවා ඒ තරඟෙ දුවද්දි උන්ට ජීවිතේ විඳින්න තිබ්බ හොඳම කාලේ මඟ ඇරුණා කියලා. එදාට දැනෙන වේදනාව උන් පිටකරන ක්‍රමය මොකක් වෙයිද කියලා අපිවත් දන්නෑ. හොරු ,මංකොල්ල කාරයො, මිනීමරුවො කියලා ජාතියක් තාත්තගෙ ලේ වලින්වත් ,අම්මගෙ බඩින්වත් ගෙඩි පිටින් උපදින්නෑ. උන් නිර්මාණය කරන්නේ මේ සමාජය උන්ව පොළඹවපු කාරණා එක්ක. දිනන්න විතරක් උගන්නපු කිසිම දරුවෙකුට පරාජය ළඟදි ජීවත්වෙන්න තේරෙන්නෑ දෝණිලයෙ අම්මේ…අපි දරුවො හදන්නෝනේ පරාද වෙන තරමට ජීවිතය දිනන්න ඉගෙනගන්න. දවසක අපි ජීවත් නොවුණත් උන්ට අපිව ජීවමාන වෙන්නේ එතකොටයි.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you