නළුකම කමකට නැති රස්සාවක් Cillian Murphy
අයිරිෂ් උරුමය දෝත දරාගෙන උපන් Cillian Murphy ඔහුගේ විශිෂ්ට රංගන කුසලතාවත් මුහුදු නිල් පැහැ දෙනෙතත් නිසාවෙන් ලොව පුරා රසික රසිකාවියන්ගේ ආකර්ෂණය දිනාගත්තා. රංගනයට අමතරව ඔහු චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වශයෙන්ද කටයුතු කරනවා. 2005 වසරේදී ඔහු සුප්‍රකට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන් හා වැඩ කිරීම ඇරඹූ අතර ඉන්පසු නෝලන්ට සිය චිත්‍රපටි සඳහා කිලියන් මර්ෆි නැතිවම බැරි නළුවෙක් වුණා. Breakfast on Pluto (2005) විකට නාට්‍යයේ අයර්ලන්ත කාන්තාවක් ලෙස රඟපෑ කිලියන් ඒ චරිතය වෙනුවෙන් ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය සඳහා නිර්දේශ වුණා. ඔහු ලද සම්මාන බොහොමයි. Peaky Blinders කතා මාලාවේ Tommy Shelby ගේ චරිතයත් සමගින් ඔහු ලොව පුරා රසික ආදරය දිනා ගත්තා. ක්‍රිස්ටෝපර් නෝලන් විසින් අධ්‍යක්ෂනය කල Oppenheimer (2023) චිත්‍රපටයේ Robert Oppenheimer ලෙසින් සිදුකළ විශිෂ්ට රංගනය වෙනුවෙන් කිලියන් මර්ෆි හොඳම නළුවා සඳහා වන ඇකඩමි සම්මානයෙන් පිදුම් ලැබුවා.

කිලියන් කියන විදිහට රඟපෑම කියන්නෙ අරගලයක්. පරමාණු බෝම්බයේ පියා රොබට් ඔපන්හයිමර් ලෙසින් රඟපෑමට සූදානම් වන විට ඔහු සම්භාව්‍ය සංගීතයට වැඩිපුර සවන් දුන්නේ ඔපන්හයිමර්, බීතෝවන් සහ ස්ට්‍රැවින්ස්කිගේ රසිකයෙක් බව පැවසෙන නිසාවෙන්.
“ඒක හරියට හිතට දැනෙන දෙයක්. චරිතය ගැන දැනගන්න හොඳම ක්‍රමය ඒකයි කියලා මට හිතුනා.”

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ඔහු රඟපෑ Steve චිත්‍රපටිය තිරගත වුණා. එම චිත්‍රපටිය ලේඛක Max Porter ගේ Shy නැමති කෘතියේ අනුවාදයක්. එහි ඔහු වෙහෙසට පත් වුණු ගුරුවරයෙක් විදිහට රඟපානවා.
“මම ඒකෙදි නම් කිසිම සංගීතයක් ඇහුවෙ නැහැ. සංගීතෙ අහන්න ඉඩක් තිබුණෙ නැහැ. ඒක කලබලකාරී පරිසරයක්.”
තමා එම පිටපතට කැමති වූ බව ඔහු පවසනවා. අනූ ගණන්වල එංගලන්තයේ තිබුණ නාහෙට නාහන කොල්ලන් සඳහා වූ පාසලක ඔවුන්ගේ කරදරවලින් හෙම්බත් වූ ප්‍රධාන ගුරුවරයා ලෙසයි ඔහු රඟපාන්නේ. 49 හැවිරිදි කිලියන් සිය වෘත්තිය ජීවිතය පුරාම වෙහෙසට පත් මිනිසුන්ගේ චරිතයන් තුළින් රඟපෑමේ විශිෂ්ටයෙකු වී තිබේ.
“Tommy Shelby වගේ ඇඳුම් අඳින එක, කතා කරන එක, ඇවිදින එක, සිගරට් බොන එක මේ gangster චරිතෙ වෙනුවෙන් මම ලොකු වැඩ කොටසක් කරා. Shy ලිව්ව Max Porter හොඳින් අඳුනනව. පොත ලියලා තිබුණෙත් අයර්ලන්ත භාෂාවෙන්. ඒක හරි පහසුවක් වුණා.”

කිලියන් විහිළු කරන්නේ ස්ටීව් රූගත කිරීම්වලදී වැඩි හරියක්ම තමා කාංසාවෙන් සිටි බව පවසමින්. වෘත්තීය ජීවිතයෙන් එහා පවුල් ජීවිතයේ ඔහු සිය බිරිඳ සහ පුතුන් දෙදෙනා සමගින් සාමකාමී ජීවිතයක් ගත කරනවා. ඔවුන් ජීවත්වන්නේ ඩබ්ලින්වල මුහුද සමීපයේ පිහිටා ඇති නිවසකයි.
“ලෝකෙට හරි පරිපූර්ණයි වගේ පෙනෙන චරිත කරන්න මගෙ කිසිම උනන්දුවක් නැහැ. එහෙම චරිත ඇතුළෙ අපිට අපිව මුණගැහෙන්නෙ නැහැ. අඩු වැඩි වශයෙන් අපි හැමෝම අරගල කරනවා. හැමෝම උදේට නැගිටලා, මම කොහොමද මේක කරන්නෙ? අද දවසට මුහුණ දෙන්නෙ කොහොමද? අන්තිමට අපි හැමෝම මැරෙන බව දැනගෙනත් ජීවිතේ ඉස්සරහට අරන් යන්නෙ කොහොමද ? හොඳ දේවල් කරන්නෙ කොහොමද? අපේ දරුවන්ව උස් මහත් කරන්නෙ කොහොමද? වගේ දේවල් හිතනවා. මේ ප්‍රශ්න, මේ දේවලට උත්තර ඒ වගෙ චරිතවලින් හොයාගන්න බැහැ කියලා මම හිතනවා. මම ඒවා කරන්නෑ”
ඔහුගේ දෙමව්පියන් දෙදෙනාම ගුරුවරුය. ඔහුගේ සීයා පාසලක ප්‍රධාන ගුරුවරයෙක් වූ අතර නැන්දලා, මාමලාද ගුරුවරු විය.
“මගේ අම්මා වැඩ කරන ගමන් අපි හතර දෙනාවම උස් මහත් කරා. මම දෙමව්පියන්ට කීකරුව හැදුණා. මගෙ හිතේ ඔවුන් ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මගෙ තාත්තට පාසල් පරීක්ෂකවරයෙක් විදිහට උසස් වීමක් ලැබුණා. ඉතින් එයා අපේ ඉස්කෝලෙට එනවා. ඒ ඇවිත් නිතරම මාව පන්තියෙන් එළියට දැම්මා. ඒ ජීවිතේ ලස්සනම කාලයක්. ඒ කාලෙ මම නාහෙට නාහන කොල්ලෙක්. hoodies ඇඳගෙන මුලුවලට වෙලා ඉන්න දරුවො සමාජෙ අඳුන්වන්නෙ කරදරකාරයො විදිහට. ඔවුන්ව ඉස්කෝලෙන් අයින් කරන එක, youth clubs, පුස්තකාල වහලා දාන එක නෙමෙයි කරන්න ඕනෙ. මිනිස්සු එවැනි කරදරකාරී දරුවන්ව නොසලකා හැරියාම, ඔවුන්ට දැනෙන කොන්වීම මහ විනාශයක් කරන්න පුළුවන්.”





