NovelsTharu Mal ViyanTharu Mal Viyan තරු මල්වියන් - 41

Tharu Mal Viyan තරු මල්වියන් – 41

-

spot_img

Tharu Mal Viyan තරු මල්වියන්

අංජලී ගයානිගේ නිවැසියන්ගෙන් සමුගත්තේ සියුම් වේදනා මුසු හැඟීමකිනි. ඈ නැවත ඔවුන් දකිනු ඇතැයි කියා නොසිතුවාය. ඇගේ සිතේ අරමුණක් විය. ඇයට ශාමින්ද සිහි විය. ඔහු ගැන සිතා ඵලක් නැත. තමා ඔහුට බොහෝ සේ ආදරය කරන බව ඈ දැන සිටියාය. තමා මෙතෙක් ඔහුට ඍජු පිළිතුරක් නොදීම ගැන ඈ සතුටු වූවාය. දැන් ඉතින් ඒ පවුලට තමා ගැළපෙන්නේ නැත. ඔහුට ආදරේ කරන්නට තමා පසුබට වූයේ මන්ද කියා වැටහුමක් ඇයට නැති වුවත් සිත අනියත බියකින් පෙළුණේ මෙවන් දෙයක් දැනගන්නට සිදුවන නිසාවනැයි කියා ඇයට නිකමට හෝ සිතී නොතිබිණි. ඈ මුවින් ගිළිහෙන්නට ගිය සුසුම ඈ ආයාසයෙන් මැඩ ගත්තාය. ගයානි බස් රථයේ අසුන් ඇන්දට හිස බරකරගෙන දිගු නින්දකය. අංජලීට මිතුරිය කෙරෙහි ඇති වූයේ ශෝකයකි. ඔවුන් දෙදෙන ආදිත්‍ය සමඟ මෙදින උදෑසන ගිම්හානි බලන්නට රෝහලට ගියද අංජලී නොගියේ ඔවුනට මුහුණ දෙන්නට නොහැකි නිසාය. මේනක අමතුම් කීපයක් ගෙන තිබූ බව කීවේ ගයානිය. ඇගේ ජංගම දුරකථනය තවම ක්‍රියා විරහිත කෙරූ ගමන්ය. ඔවුන් හෝමාගමට පැමිණෙන විට තද වර්ෂාවක් ඇද හැළෙමින් තිබූ අතර අංජලී මහ වැස්සේම මිදුලට බැස පහළ ළිඳෙන් නා ගත්තේ රේණුකාත් ගයානිත් නොකමැත්ත පළ කරන විටය. වැසි දිය ශීතලය. ඇයට එහි වගක් හෝ නොවීය. ගයානි ඈ පැමිණෙන තුරු පිටුපස දොරකඩ සිටගෙන සිටියේ තුවායත් අතැතිවය.

“කියන දේ නම් අහයි…”

ඈ නෝක්කාඩු කීවේ රේණුකා සමඟය.

“අකුණු ගහන්නේ නැති නිසා නම් කමක් නැහැ…ඒත් අප්පා මේ සීතලේ කොහොම නානවද වැස්සේ…?”

රේණුකා කීවේ සිරුර සළිත කරමිනි. ගයානිගේ මුවට සිනහවක් නැඟිණි. දැන් නම් ඇගේ සිත හිරිවැටි ඇති නිසා මේ සීතල ගැන හැඟීමක් නැතිවා විය හැකිය. ඒ බවක් රේණුකා සමඟ පවසන්නට ඇයට නොහැකි නිසා නිහඬව සිටියාය. සුරම්‍යා කෝපි සූදානම් කරන විට අංජලී දිය නාගෙන පැමිණ සිටියාය. ගයානි දුන් තුවායෙන් ගත පිසගෙන එහිම හිඳ ගවුමක් හැඳ ගත්තාය.

“කොහොම නෑවද මංදා මේ ළමයා…”

රේණුකා කීවේ අංජලී පිටුපස දොරින් ඇතුළු වන විටය. අංජලී මඳහසක් පෑවාය.

“එච්චර සීතල නැහැ ආන්ටි…”

ඈ එසේ කියා සුරම්‍යා දිගු කළ කෝපි කෝප්පය අතට ගෙන ගයානි සමඟ ආලින්දය දෙසට පැමිණියාය.

“සුදු අයියා කෝල් එකක් අරගත්තා…ගිම්හානි අක්කට බබා හම්බෙලා…”

“අනේ…”

අංජලීට කියවිණි. ගයානි ඈ දෙසම බලා සිටියේ ඈ තවත් යමක් විමසනු ඇතැයි කියාය.

“ගිම්හානි අක්කා හොඳින් නේද…?”

බොහෝ වේලාවකට පසුව ඈ ඇසුවාය. අද උදෑසනවත් ඈ කිසිත් ඔවුන් ගැන විමසන්නට නොගියාය. ගයානිද විෂේශයෙන් කියා කිසිත් කීවේ නැත. ආගිය තොරතුරු පවසමින් ගත කරන්නට තරම් කාලයක් ඔවුන් එහි ගත කළේද නැත.

“ඔව්ලු…දෙන්නම හොඳින්…අයියා ඔයාව ඇහුවා…”

ගයානි කියන විට අංජලී දිගු සුසුමක් හෙළුවා පමණි.
——————————————————————————————————
රංගිකා වෙනුවට සේවයට පැමිණි තරුණිය මේ දින කීපයේ හොඳින් වැඩ කටයුතු පුහුණු වී ඔවුන්ගේ රාජකාරියද ඉටු කර තිබුණාය.

“හිමානි මිසුයි සෙනුර සර්යි ඇවිත් වැඩ ටික බැලුවා අංජලී මිස්…දැන් නම් වැඩ ටික තනියම කරගන්න පුළුවන්…”

සංදීපා කීවේ මිහිරි හඬකිනි. අංජලී ඈ ප්‍රිය කළාය. සංදීපා මීට පෙර සේවය කර තිබුණේද ඇඟලුම් කම්හලක ලිපිකාරිණියක් ලෙසිනි.

“ඔයාට වැඩ අල්ල ගන්න එක අමාරු වෙන්න විදියක් නැහැ…කළින් කරපු ජොබ් එකමනේ…”

අංජලී කීවේ සිනහමුවෙනි.

“මෙතන ටිකක් හුරු වෙන්න ඕන…”

සංදීපා යළිත් කීවාය.රංගිකා නැතුව නම් තමාට පාළුවක් දැනෙනු ඇත.අංජලී කෙටි සුසුමක් හෙළුවාය.මිතුරන් වුවද සැමදා ළඟ රැඳෙන්නේ නැති බව ඇයට පසක් විණි. තුෂර පැමිණියේ උදෑසන දහයට පමණය. ඔහු පිළියන්දට ගිය බවක් කිවේය. ඇගේ ජංගම දුරකථනය තවමත් ක්‍රියා විරහිත කළ ගමන්මය. ඔහු ගයානිට ඇමතුමක් ගත්තේ ඒ නිසාය. අංජලී පැමිණි බව ඇගෙන් දැන ගත් අතර නිවසේ යම් ගැටළුවක් පැන නැගුණු නිසා ඇගේ ජංගම දුරකථනය තවම ක්‍රියා විරහිතව පවතින බව කීවේ ගයානිය. ඔහු ඒ නිසා ඇගෙන් කිසිත් නෑසුවේය. යළිත් වතාවක් මාලක නිසා ප්‍රශ්නයක් මතු වූවා වන්නට ඇතැයි කියා ඔහු අනුමාන කළේය.

“අවුරුදු ගාණකින් දැක්කා වගේ…”

ඔහු කීවේ සිය අසුනේ හිඳ ගනිමිනි. අංජලී හිතවත් සිනහවක් පෑවාය.

“තව කොහෙද මාසයක් විතර නිවාඩු ගිහින් ආවා නම්…”

ඇයද කීවේ සැහැල්ලු හඬකිනි.

“එහෙනම් ඉතින් අවුරුදු දහයක් වගේ දැනෙයි…”

ඔහු සිනහසෙමින් කියන විට අංජලීද මඳහසක් පෑවාය.

“ෆෝන් එක වැඩ නැහැනේ…”

තුෂර යළිත් කීවේ අංජලීගේ දුරකථනය අතට ගනිමිනි.

“අලුත් නම්බර් එකක් ගන්න ඕන… හදිසියක් වුණොත් ගයාට කෝල් එකක් ගන්න…”

අංජලී වහා කීවාය.

“නැහැ…මං නිකමට ඇහුවේ…අපිට නොකියාම අලුත් සිම් එකක් අරන්ද දන්නැහැනේ…”

අංජලී නිහඬව සිටියාය. ඇගේ සිතේ බොහෝ සිතුවිලි සැරිසැරුවේය.

එදින සවස ඈ ජංගම දුරකථනය ක්‍රියා කරවූයේ එක සිදුවන්නක් සිදුවන්නට කියාය. හැමදාම අන් අය මඟ හැර සිටිය නොහැකිය. මින් පසුව ඔවුන් සමඟ ඇයට සම්බන්ධතාවයක් නැත. මඟ හැරුණු ඇමතුම් රාශියක පණිවිඩ ගළා ආවේ ඈ එය ක්‍රියා කරවන විටමය. නැන්දා මාමා මෙන්ම මේනකගෙන්ද ලැබුණු ඇමතුම් බොහෝමයකි. ශාමින්ද පණිවිඩ කීපයක්ම එවා තිබූ අතර ඈ ඒවාට පිළිතුරු යවන්නට හෝ ඈ නැවත ඇමතුම් ගන්නට නොගියාය. ඔහු තමා ගැන කුමක් සිතා ගත්තත් කමක් නැතැයි කියා ඇයට සිතිණි. එදින සති අන්තයේ නිවාඩු දිනයක් වුවද අංජලී උදෑසනින්ම නැඟිට නිවසින් පිට වූයේ රේණුකාට පමණක් පවසමිනි. ගයානි ඒ මොහොතේ පවා සිටියේ සුව නින්දකය. ඇයව අවදි කරන්නට ඇයට නොසිතිණි. යන්නේ කොහිද කියා ඈ රේණුකාට හෝ නොකීවාය. සවස් වන විට පැමිණෙන බව පමණක් පවසා ඈ පිටව ආවාය.
——————————————————————————————————
ගිම්හානි රෝහල් ගත කිරීමත් සමඟම ඉන්ද්‍රාණිත් හේෂානුත් සිටියේ තරමක් කාර්යබහුලවය. සිරිවර්ධන යුවළද පසුදිනම පැමිණියේ දියණිය රෝහල් ගත කළ බව දැනය. ඇයට තව දින තිබූ බව දැන සිටි බැවින් ඔවුන් සිතා සිටියේ තව ටික දිනකින් පැමිණෙන්නට මුත් ඉන්ද්‍රාණි කළ දැනුම් දීමෙන් ඔවුන් පසු දිනම පැමිණියෝය. නිවසේ පවතින වාතාවරණය ඔවුන් දැන් ගත්තේ ඊටත් දින කීපයකට පසුවය. සිරිවර්ධන යුවළ කම්පා වූයේ අංජලී ගැන මුත් ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු සංචලා පිළිබඳව විවේචනය නොකරන්නට ප්‍රවේශම් වූයේ පෑරුණු හදවත් තවත් පෑරෙනු ඇතැයි සිතමිනි. හේෂාන් හෝ ඉන්ද්‍රාණි මේ විවාහයට මුල පටන් නොකමැත්තෙන් සිටි බව ඔවුන් දැන සිටියහ. සිදු වූයේ නම් විශාල වරදකි. එය දැන් නිවැරදි කළ නොහැකිය.

“අපි දැන් මොකද කරන්නේ…පව් ඒ ළමයා…මොනවා හිතෙනවා ඇතිද…”

දීපිකා කීවේ කඳුළු පිසගනිමිනි.

“අපි දෙන්නාගෙ වරද…එදා සුනේන්ද්‍ර ඇක්සිඩන්ට් වුණා කියලා අපිට කතා කළේ එයාට බ්ලඩ් ඩොනේට් කරන්න ඕන නිසා…දුවගෙන් අහන්න කියලා…අඩුම තරමේ සුනේන්ද්‍ර එයාටවත් කියලා තිබිලා නැහැ…අපි දෙන්නා ඒක ගැන කරන කතාව සංචලා අහන් ඉඳලා…”

ඉන්ද්‍රාණි අලුත් වූ ශෝකයකින් කීවාය.

“දැන් ඉතින් මොනවා කරන්නද…වෙච්ච වැරැද්ද හදන්න බැහැ…රහසක් වුණත් හැමදාම සැඟවිලා තියෙන්නේ නැහැනේ…මේ කෙල්ල ගැන නම් මට නම් හරිම දුකයි…”

සිරිවර්ධන කීවේ සැබෑ ශෝකයකිනි.

“අපිටත් එහෙම තමා…මේ ළමයා ෆෝන් එකත් ඕෆ් කරන්…කතා කරන්නෙත් නැහැ…”

“ටික දවසකින් ඕවා හරි යයි…හිතක් හැදෙන්න කාලයක් යනවානේ….අපි හිමින් ගිහින් දුවත් එක්ක කතා බහ කරමු…අපි එයාට ඉන්නවානේ…”

දීපිකා කීවේ ඉන්ද්‍රාණි සනසන අදහසිනි. ඉන්ද්‍රාණි කළේ දිගු හුස්මක් ඇදීමය.

“නංගී හිටියා නම් මේ මොකුත් නැහැ…”

හේෂාන් කීවේය.

“නංගිට දරු ඵල නැහැ කියලා දැනගත්ත දා ඉඳන් සුනේන්ද්‍ර එයාට වෙනස්කම් කළා…එයා මොන තරම් වේදනාවක් හිතේ හිර කරන් ඉන්න ඇතිද…අන්තිමේදි එයා නැති වුණෙත් මේවා දරාගන්න බැරිව වෙන්නැති…”

“අපි එහෙම දෙයක් දැනන් හිටියේ නැහැනේ…නංගිගේ වෙඩින් එකට අපිත් ආවානේ…”

දීපිකා කීවාය.

“දැන් මොකද මාලකගේ තත්වේ…?”

“එයා අපි එක්ක කතා කරන්නේ නැහැ…මිනිහට දැන් තමා කරපු මෝඩකම තේරිලා තියෙන්නේ…දැන් ඉන්නවා ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේ…මම රංගනට කතා කරලා කිව්වා දෝණියන්දෑ මේ කරපු දේට නම් කවදාවත් සමාවක් නැහැ කියලා…”

“සමහර දරුවෝ කරන කියන දේවලට විඳවන්නේ මව්පියෝ…”

එය නම් සත්‍යයකි. ඔවුනතර නිහඬතවායක් පැතිරුණේ නින්දේ සිටි බිළිඳා එක්වරම හඬන්නට වූ බැවිනි.

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you