Tharu Mal Viyan තරු මල් වියන්
හිමානිත් සෙනුරත් සමඟ කතා බස් කරමින් සිටි තුෂර අංජලීත් මිතුරියනුත් පන්තියට ඇතුළු වනු දැක ඔවුන් දෙස බලා සුහදව සිනහසුණේය. ඔවුන් තිදෙනද සුබ පැතුමක් පතමින් සුහද සිනහවකින් ඔවුනට සංග්‍රහ කළෝය.
“ඔයාලා අද අපිට කළින්…”
රංගිකා කීවේ තුෂර වෙනදාට පමා වන බැවිනි. අංජලීට හිඳ ගැනීමට සිදු වූයේ තුෂර පසෙක වූ අසුනෙහිය. ගයානිත් රංගිකාත් ඇය පසෙක අසුන් ගත්තේ සිතා මතාම තුෂර පසෙක අසුන ඇයට ලබා දීමේ වුවමනාවටදැයි සැකයක් අංජලී සිතේ ඇති විය. ඈ හිඳ ගන්නා විට තුෂර යළිත් වරක් ඈ දෙස බැලුවේ මුව මත ඉහිරුණු සිනහවකිනි. ඔහු ළඟින් හැමුවේ මෘදු විළවුන් සුවඳකි.
“කොහොමද අංජලී…?”
ඔහු ඇසුවේ මිත්‍රශීලී හඬකිනි. පාඨමාලාව අවසන් වන්නටද ආසන්න මුත් මෙතෙක් කලක් ඔහු ඔවුන් සමඟ වචන දහයකට පහළොවකට වඩා කතා බස් කර නොමැත. ඔහු ආඩම්බරකාරයෙකු යැයි කතාවක් පැතිර යමින් තිබුණේ මේ නිහඬ බව නිසාය. අංජලීලාද එය එසේ යැයි සිතා තිබුණේ හිමානි ඔහුගේ කතාව ඔවුන් සමඟ කතා කරන්නට පෙරය. ඔහුගේ නිහඬ බවට හේතුවක් ඇති බව දැන ගත් දා සිට පෙර හැඟීම පහව ඔවුන් ඔහුට අනුකම්පා කරන්නට වූහ.
“අපි නම් හොඳින් තුෂර…ඔයාට කොහොමද…?”
අංජලීද සුහදව විමසුවාය. ඔහු දෙවුර සැළුවා මිස ඊට පිළිතුරක් නොදුන්නේය. ඔහු කෙතරම් කඩවසම් දැයි කියා අංජලී සිතුවේ ඔහුට හොරෙන් ඔහුව නිරීක්ෂණයක යෙදෙමිනි. තම සිතේ ඇඳි රුවට සමාන රුවක් තුෂරට ඇති මුත් ඔහුගේ දෑස් දෙස බලන විට ඇයට දැනුණේ නුහුරු නුපුරුදු ආගන්තුක බවකි. එක්වරම තුෂර ඈ දෙස බලන විට ඇයට ඔහු කෙරෙන් දෙනෙත් මුදවා ගන්නටද අවස්ථාවක් නොලැබිණි. මඳහසක් ඔහු මුවේ තැවෙරෙන විට ඈ ලැජ්ජා මුසු හැඟීමෙන් දෙනෙත් බිමට නැඹුරු කොට ගත්තාය.
“අපි දැක්කා දෙන්නාගේ දෑසේ කතාවන්…”
රංගිකාත් ගයානිත් ඇයට විහිළු කළේ දහවල කෙටි විවේක කාලයේදීය.
“මොන කතාද…?”
ඈ ලැජ්ජා මුසු හැඟීම පිටතට නොපෙන්වා ඇසුවේ මවා ගත් පුදුමයක් අඟවමිනි.
“අර උදේ ඉඟි බිඟි පෑවේ…”
රංගිකා දෑස් නටවමින් කීවාය.
“විකාර…පිස්සු හැදිලද…?”
ඇගේ මුහුණ බලා සිටියදී රත් පැහැ ගැන්විණි.
“අනංගයා විඳලා වගේ දෙන්නටම…”
මිතුරියන් දෙදෙන ඇයට වද කරන්නට විය. පිටතට ගිය තුෂරලා පන්තියට ඇතුළු වනු දැක ඔවුන් නිහඬ වූහ. සිහින් මඳ අඳුරක් පරිසරය වෙලාගෙන තිබුණේ වැස්සක පෙර නිමිති කියා පාමිනි. පන්තිය නිම වී පිටතට එන විටම මෙන් සිහින් පොදයක් ඇද වැටෙන්නට වූ නිසා අංජලී සිය කුඩය ගෙන තුෂරට දුන්නේ එය ඉහළා ගන්නටය. ඔහු ඇයට වඩා උස් වූ බැවින් තුෂර ඇයව නොතෙමෙන සේ කුඩය ඉහළට ඔසවා අල්ලාගෙන ඇගේ කරවටා දෑත යවමින් ඇයත් සමඟ නැවතුමට පැමිණියේ හිමානිත් රංගිකාත් එක කුඩයකත් ගයානිත් සෙනුරත් එක කුඩයකිනුත් යටින් නැවතුමට එන විටය. උදෑසන වැස්සක ලකුණක් වත් නොතිබූ නිසා හිමානි කුඩයක් රැගෙන නොආවාය. ඔවුන් නැවතුමට හැරලවා පාර මාරු වී එන විටයි අංජලී මාලකගේ රථය දුටුවේ. තිගැස්මක් ඈ සිතේ ඇති වන විට ඇ ගයානිගේ අත තරයේ අල්ලා ගත්තාය. මාලක රිය ඉදිරියට ධාවනය කළේ ඈ තුළ මවිතයක් නංවමිනි.
“මොකෝ අංජූ…හොල්මනක් දැක්කා වගේ බය වෙලා…?”
ගයනි ඇසුවේ තවමත් සිය සුරතේ ග්‍රහණය ලිහිල් නොකර බියෙන් බලා සිටින අංජලී දැකය.
“මා…ල…ක…”
එවිට ඔවුන් දෙදෙනද වට පිට බලන්න වූයේ මවිතයෙනි.
“කෝ….කොහෙද…?”
“කාර් එකේ ඉඳන් බලන් ඉඳලා යන්න ගියා…”
ඈ පහත් හඬින් කීවාය. නැවතුමේ වහලයට වැසි කැට ඇද හැලුණේ බොරළු කැට වැටෙන්නාක් මෙනි.
“මොකක්…ඇයි අනේ කතා නොකරම යන්න ගියේ…? ෂුවර් එකටම තුෂර කුඩේ යටින් යනවා දැකලා වෙන්නැති…”
අනුමාන කරමින් ගයානි කීවද එකත් එකටම කාරණය එය බව අංජලී නම් හොඳාකාරවම දැන සිටියාය.
“ඔව්…නැතුව වෙන මොකටද…?”
රංගිකා කීවේ නොසතුටෙනි.
“මං වැරැද්දක් කළාද…තුෂර කුඩයක් ගෙනත් නැති නිසානේ එයාව හෝල්ට් එකට ඇරළුවේ…අනික එහෙනම් සෙනුරත් ගියේ ගයා එක්ක…”
“ඒකනේ…”
රංගිකාද එය අනුමත කරමින් කීවාය.
“හරි හරි…ඕවා වැඩක් නැහැ…බස් එකක් එනවා…අපි යමු…”
නැවතුමේ නැවතූ බසයට නැඟ ගත් ඔවුන් තිදෙන පසු පසම අසුනේ හිඳ ගත්තේ එහි කිසිවෙකු නොසිටි නිසාය. අංජලීගේ ජංගම දුරකථනය හැඬ වෙන හඬ ඇසුණේ ගයානිටය. අංජලී සිටියේ වෙනත් ලොවක මෙනි. ගයනි ඒ බව කියන විට ඈ වහා අත් බෑගය හැර දුරකථනය පිටතට ගත්තාය. ඇමතුම මාලකගෙනි.
“මොකෝ මෙච්චර පරක්කු ෆෝන් එකට ආන්සර් කරන්න…?”
ඔහු ගතු කියන්නට වූයේ නොමනාපය රැඳි හඬකිනි.
“ඇ…හු…ණේ නැහැ…”
ඇයට ගොත ගැසිණි.
“මොකද ගොත ගහන්නේ…බය වෙලාද…?”
“ඇයි…මං මොනවට බය වෙන්නද…?”
“මං දැක්කා ජෝඩු දාලා කුඩේ යටින් ගිය හැටි…කර වටේ අතත් දාගෙන…”
අංජලීගේ සිතේ ඇති වූයේ නොසතුටකි.
“දැන් ඔත්තු බලන ජොබ් එකද කරන්නේ…?”
“එනවාකෝ ගෙදර…”
ඔහු දුරකථනය විසංදි කළේ කෝපයෙනි. ඊටත් වඩා කෝපයක් ඈ සිතේ විය.
මාලකගේ දෝෂාරෝපණය අංජලී අසා සිටියේ නොසතුටු මුහුණක් මවාගෙනය. ඔහු එකම දේ සිය වරක් කියවයි. තුෂර සමඟ කුඩේ යටින් ගියා මිස ඔහු සමඟ යහන් ගත වූවා නොවේ යැයි කීමට උපන් සිතුවිල්ල ඈ මැඬ ගත්තේ මහත් ආයාසයක් දරමිනි.
“ඔයා ඇයි මට ඔය විදියට චෝදනා කරන්නේ…? ඔයා මං ගැන අදහසක් තියා ගත්ත පළියට මාත් එහෙම කිව්වේ නැහැනේ…දැන්ම මෙහෙම නම් ඔයා එක්ක යාළු වුණොත් කොහොමට තියෙයිද…?”
මෙතෙක් නිහඬව සිටි අංජලී මාලකගේ කෝපයෙන් රත් පැහැ වුණු මුහුණ දෙසම බලාන කීවේ ඉතා නිවුණු හඬකිනි. මාලක මොහොතක් නිහඬව ඈ දෙසම බලා සිටියේය.
“ඒ කියන්නේ ඔයා මට ආදරේ නැහැ…”
ඈ පිළිතුරක් නොදීම ඔහු මඟ හැර ගෙතුළට පිවිසියේ කෙඩෙත්තු ගතිනුත් පීඩාකාරී මනසකිනුත්ය. මාලක කෙරෙහි කෝපයකටත් වඩා ඈ සිතේ ඇති වූයේ කළ කිරීමකි.
“මොකද ළමයෝ මේ මූණත් අමුතු කරන්…ඔයාට අසනීපද…? ඔය ටික මං කරගන්නම්…ඔයා යන්න කාමරේට…”
ඉන්ද්‍රාණි මහත්මිය කීවේ බොහෝ වේලාවක් අංජලීව නිරීක්ෂණයක යෙදෙමිනි. වෙනදා මෙන් ඈ වැඩිපුර කතා බහක නොයෙදුණාය. බැරිම තැන ඈ විමසුවේ ඒ නිසාය.
“න්න්…නැහැ…නැන්දා…මගේ ඇඟට ටිකක් හරි නැහැ…මහන්සියි…”
තිගැස්මකින් මෙන් ඈ කීවේ මෙතුවක් වෙලා නැන්දා තමාව නිරීක්ෂණය කළ බවක් වැටහී ගිය නිසාවෙනි.
“හරි…හරි…යන්න…මං ඔය ටික කරගන්නම්…”
ඈ කාමරයට පැමිණියේ කනස්සල්ලෙන් යුතුවය. මාලක නිසා තම සිත කෙතරම් නම් පීඩාවකට පත්ව ඇතිද…? ඔහු කිසිදු ගානක් නැතිව ස්ටුලය මත දිගහැර තබා ගත් දෙපා සොළවමින් රූපවාහිනිය නරඹයි. ඈ යහනට වැටුණේ සිතේ වූ පීඩාකාරි බවිනි.
පසුදින ඈ පන්තියට සහභාගී වූයේ එතරම් සතුටු මුහුණකින් නොවේ.
“මූණත් මැළවිලා…මොකද අප්පා..ඊයේ මාලක දොස් කියපු නිසාද මේ මූණ බෙරි වෙලා…?”
ඈ දුටු සැනින් මිතුරියන් ඇසුවේ මාලක කෙරෙහි උපන් නොසතුටෙනි. අංජලී කිසිත් නොකීවාය. කිව යුතු සියල්ල ඈ පෙරදිනම දෙදෙනාට දුරකථන කතා බහේදී පවසා තිබිණි.
“අල්ලලා දාන්න…ඔය වගේ මනුස්සයෙක් බැඳ ගත්තත් වෙන්නේ විඳෝ විඳෝ ජීවත් වෙන්න…”
රංගිකා කීවේ කෝපයෙනි. අංජලී කෙටි සුසුමක් පා කළාය.
එදින පන්තිය අවසානයේ තුෂර ඔවුනට තම නිවසට යමු යැයි යෝජනා කළෙන් දෙවරක් නොසිතාම ඔවුන් ඒ අදහසට එකඟ වූයේ තව නොබෝ දිනකින්ම පාඨමාලාව අවසන් වන බැවිනි. ඉන්පසු ඔවුන් හමුවනු ඇතිද කියාත් සැක සහිතය. පන්තිය අවසන් වන් මොහොතේම තුෂරගේ නිවසේ රියදුරු ඔවුන් කැඳවාගෙන යන්නට පැමිණ සිටියේය.
“අපි එනකොට පරක්කු වෙයිද…?”
රථයට නගින්නට සූදානම්ව අංජලී ගයානිගේ සවනට කොදුරමින් ඇසුවද එය තුෂරටද ඇසිණි.
“නැහැ…මං ඔයාලව ගෙදරටම ඇරලවන්නම්…”
ඔහු එසේ කියන විට අංජලීගේ සිතේ සියුම් ලැජ්ජා මුසු හැඟීමක් ඇති වූයේ නිතැනිනි.
“ඒකත් ඇහිලා…”
ගයනි කීවේ ඔවුනතර සිනහවක් නංවමිනි.
“ලොකු අම්මලා එන්න කලින් ගියොත් ඇති…”
රථයේ සුව පහසුව හිඳ ගනිමින් අංජලී කීවාය.
“පත්තරේ ළිපට දාලා වගේ දුවන් එන්න හදන්න නම් එපා…”
හිමානි කීවේ රථය ඉදිරියට ඇදෙන විටය. ලොකු අම්මාගෙනුත් බේරෙන්නට හැකිය. නමුත් මාලක…? ඔහු තමා මත ආධිපත්‍යයක් පතුරුවන්නට දරන උත්සාහයට නම් ඈ තුළ කැමැත්තක් නොවීය.
“සමහරවිට ඒ ආදරේ නිසාමද දන්නෙත් නැහැ…”
ඈ එසේ සිතුවේ පළමු වතාවටය. ඈ සිතේ බියක් ඇති වූයේ මාලක කෙරෙහි ආදරයක් සිත තුළ ඉපදෙමින් එනවා ඇතැයි සිතුණු නිසාය.
“ඒක එහෙම වුණොත්…?”