NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 78

Pini Muthu Palasa පිනි මුතු පලස – 78

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

රාත්‍රිය ඉතා සීතල විය. විටින් විට ඇද හැළෙන වර්ෂාව එයට හේතුවිය. කමල් එදින රාත්‍රියේ රජිව් අසල සිටීමට පැමිණියේය. මම විටින් විට ඔහුට සූපයකුත් කිරි සමඟ මිශ්‍ර කළ ඕට්ස් ස්වල්පයකුත් පෙවීමි. පසු දින උදෑසන වන විට රජිව් තුළ යම්තාක් දුරට හෝ ප්‍රාණවත් බවක් පෙනෙන්නට තිබුණා යැයි කියා මට සිතිණි. ප්‍රේමා නැන්දා වතුර රත් කොට තිබුණෙන් කමල් චිත්‍රා මිස් කලින් භාවිතා කළ රෝද පුටුවේ තබාගෙන ගොස් ඔහුගේ ඇඟ පත සෝදාගෙන පැමිණියේය. ප්‍රේමා නැන්දා සාදා තිබූ කැඳ කෝප්පය මම ඔහුට පෙවීමි.

“මෙයා පොවන කොට ඔය යස අගේට බොන්නේ…”

සහනයට පත් හඬකින් චිත්‍රා මිස් කීවාය. මුවින් නොකීවද රජිව්ගේ දෑස් තුළ යම් සතුටක් දිස් වූවා කියා මට සිතිණි. කමල්ද දිගු හුස්මක් ඇද්දේ සැනසුමක් දැනුණාක් මෙනි. රජිව් නින්දට වැටුණු පසු අපි තිදෙන කාමරයෙන් පිටතට ආවෙමු.

“කමල් අයියා අදත් නිවාඩුද…?”

ආලින්දයේ කතා බහ කරමින් සිටින විට මම ඇසීමි.

“අද සෙනසුරාදානේ…”

ඔහු සිහි කරන තුරු මට එහි වගක් නොවීය. දින කවදාද කියාවත් මතකයක් මා තුළ නොවීය.

“මේ ළමයාටත් කරදරේ…”

චිත්‍රා මිස් කමල් ගැන සිත් කරදරයෙන් මෙන් කීවේය.

“මට මොන කරදරයක්ද මිස්…මං වද වෙන්නේ මං ගැන නෙවේ…මූ ගැන…මං නම් හිතන්නේ නැහැ රජිව් වෙන කා ළඟවත් සතුටින් ඉඳියි කියලා…මංදාකිණි නැතුව…”

මම තිගැස්සුණු බැල්මෙන් කමල් දෙස බැලුවේ ඔහු මේ මොහොතේ චිත්‍රා මිස් ඉදිරියේ මෙවැන්නක් පැවසීම ගැන උපන් කෝපයෙන්ද යුතුවය. චිත්‍රා මිස්ට අපේ සම්බන්ධය රහසක් නොවූවද ඔහුට මේ මොහොතේ මෙවැන්නක් නොපැවසියා යුතුව තිබුණා නොවේද…? ඈ කුමක් සිතාවිද කියා සිතමින් මම ඈ දෙස බලන විට ඈ මුහුණ ඉවතට හරවා ගත්තේ නොසතුටෙන් කියා මට සිතිණි.

“අනේ මන්දා කමල් අයියේ ඔයාත් මොනවා කියනවද කියලා…ඒ හැමදේම පරණ දේවල්නේ…මම රජිව් අයියාට හැමදේම තේරුම් කරලා කිව්වා…එයාට ජීවිතයක් තියනවානේ…”

සිතේ උපන් නොමනාපය මම ඔහුගේ මුහුණටම දමා ගැසීමි.

“ජීවිතයක්…! ඌට ජීවිතයක් තියනවද…? ඔය තියෙන්නේ ලස්සනට…ඇටකටු ටික විතරයි…තව ටික දවසක් අර කාමරේ හිටියා නම් ඒකත් නැහැ…උගේ ජීවිතේ තියෙන්නේ ඔයා ළඟ මංදාකිණි…මිස් වුණත් තේරුම් ගන්න ඕන…මිස් මං මෙහෙම කතා කරනවට තරහා වෙන්න එපා…මොන දේ වුණත් මට නම් වටින්නේ උගේ ජීවිතේ…”

කමල්ගේ හඬේ වූයේ කෝපය මිශ්‍රිත සංවේගයකි. ඔහු ආවේගයෙන් දිගටම කතා කරන්නට වන විට මම බියෙන් පසු වූයේ චිත්‍රා මිස්ගේ අසනීපය ගැනය. හදිසියේ ඇගේ අසනීපය යළිත් ඉස්මතු වුවහොත් කුමක් කරන්නද…?

“මිස් ගුරුවරියක් වෙලා…පිට ළමයින්ට ගුරුහරුකම් ඉගැන්නුවට තමන්ගේ දරුවාගේ ජීවිතේදී කරන්නේ වැරද්දක්…ඒක මිස් තේරුම් ගන්න ඕන…මේ කෙල්ල නරක කෙල්ලෙක්ද…? අර මිස් පහුගිය කාලේ ඇහේ තියන් හිටපු රුවින්දි…මිස්ගේ ඇස් වලටත් වැලි ගහලා කරපු දේ…දැන් ආයේම එනවා මෙතන රෙදි ඇඳගෙන… ”

“අනේ…කමල් අයියේ…ඕක නවත්තන්න… කරුණාකරලා…මේ වෙලේ ඕවා කතා කරලා වැඩක් නැහැනේ…”

මම පිංසෙණ්ඩු වූයෙමි. චිත්‍රා මිස් හඬන්නට වන විට මට කමල් කෙරෙහි ඇති වූයේ නිම් නොවූ කෝපයකි.

“සමාවෙන්න මිස්…ඒත් මං කිව්වේ ඇත්ත…”

ඔහු එසේ කියා පිටතට එන විට මමද ඔහු පසුපස දිව ආවෙමි.

“මොනවද කමල් අයියේ ඒ කළේ…?”

“ඇයි…මම බොරුද කිව්වේ…? ඔහොම කියා කියා….අපි කවදා වෙනකල් මේවා බලන්නද…එක්කෝ ඌ අරකිව බඳින්න ඕන…ඒක වෙන්නෙත් නැහැනේ…ඌ වෙන කාටවත් කැමතිත් නැහැ…මූ පිස්සෙක් වුණොත්…? වාහනේ අරන් ගිහින් කොහේ හරි ඇනගෙන ඊට වඩා දෙයක් වුණොත්…කාටද කියන්නේ…?”

ඔහුගේ හඬේ වූයේ ආවේගයකි. ඔහු පිටව ගියේ නොසතුටෙනුත් දැඩි සිත් වේදනාවකිනුත් බව මම දනිමි. ඔහු කියන්නේ සත්‍යයක් මුත් මේ මොහොතේ මෙසේ පැවසීම යුතු නැත. මම ගෙතුළට පැමිණියේ චිත්‍රා මිස්ට කෙසේ මුහුණ දීමටදැයි සිතා ගන්නට බැරිවය. ඇගේ හැඬුම බාල වී තිබූ අතර මා පැමිණි බව දැන ඈ කාමරය දෙසට පා තැබුවේ මා දෙසට බැල්මක් හෝ නොහෙළමිනි. අප අතර සබඳකම තවමත් ඇතැයි කියා ඈ සිතුවා වන්නට ඇත.

චිත්‍රා මිස් මට මුහුණ දී කතා බහ නොකරන්නේ මා කෙරෙහි ඇති කරගත් සිත් අමනාපයෙන්දැයි කියා මම සිතුවේ කමල් කෙරෙහි ඇති කර ගත් කෝපයකින්ද යුතුවය. ඇයට කැමති දෙයක් සිතා ගන්නට හැර මම නිහඬව සිටියෙමි. මම මෙහි පැමිණියේ මගේ කැමැත්තෙන් නොවේ. මා කැඳවා ගෙන එන්නැයි පවසා තිබුණේද චිත්‍රා මිස්මය. එසේ තිබියදීත් ඈ මා සමඟ මෙසේ නොපහන් සිතින් පසුවීම සුදුසු නැත. යහනින් බැස තනිව එහා මෙහා යාමට තරම් ප්‍රාණවත් බවක් රජිව්ට ලැබී තිබූ මුත් ඔහුගේ කෙසඟ සිරුරත්, හකුපාඩා පවා දිස්වන මුහුණත්, ගිළී ගිය දෑසුත් යතා තත්වයට පත්වීමට නම් තව දෙතුන් මසක් වත් ගතවනු ඇතැයි කියා මට සිතිණි. ඒ මුහුණ දකින මොහොතක් මොහොතක් පාසාම මසිත හඬා වැටිණි. මම මාවම පාලනය කරගෙන සිටියේ ඔහු ඉදිරියේ හඬන්නට නොහැකි නිසාය.

“මං…දා…කි…ණි….”

ප්‍රේමා නැන්දා සෑදූ උණු උණු කැඳ කෝප්පය ඔහුට පොවන්නට සූදානම් වන මොහොතේ මගේ දෑත, සිය අප්‍රාණික වූත් කටු පෑදුණු දෑතට හසුකරගත් රජිව් දුබල හඬින් මා ඇමතුවේය.

“රජිව් අයියේ…”

“මා…ව…දා…ලා…යන්..නේ…නැ…හැ… නේ…ද…?”

ඔහුට එය ඇසීමට බොහෝ වේලාවක් ගතවූවා සේම ඒ ටික ඔහු ඇසුවේද දුබල හඬකිනි. මා සිත මේ මොහොතේ නම් පාලනය කර ගැනුමට මම අපොහොසත් වීමි. කම්මුල් තෙමා ගෙන කඳුළු ගලා ගියේ එබැවිනි.

“මම දාලා යන්නේ නැහැ රජිව් අයියේ…මම ඔයත් එක්ක ඉන්නවා…දැන් මේ ටික බීලා ඉන්නකෝ…බලන්නකෝ…ඔයාගේ හැටි…”

හැඬුම අතරින් මම කියන විට ඔහු ගිලී ගිය දෑස් වලින් සිනහසුණේය.

“ම…ම…ට…ආ…ද…රේ…නැ…ත්…ද…?”

කෙඳිරිලි හඬකින් ඔහු ඇසීය.

“අනේ…ආදරෙයි රජිව් අයියේ…ඇයි ඔහොම අහන්නේ…?”

දොර රෙද්ද පිටුපසින් කිසිවෙකුගේ සිහින් ඉකිබිඳුම් හඬක් මා සවන් වැකිණි. ඒ චිත්‍රා මිස්ද නැතිනම් ප්‍රේමා නැන්දාද කියා මම නොදනිමි. කවුරුන් වුවද දොර අසල හිඳ ඉවත යනු මම යාන්තමට දුටිමි.

“මේ ටික බොන්නකෝ…”

කැඳ කෝප්පය අවසන් වනතුරුම බිව් රජිව් “බඩගිනියි…” කීවේ තවත් කැඳ ඉල්ලමිනි. මින් පෙර ඔහු අවසන් වන තුරුම කිසිත් පානය කළේ නැත. මා සිතට සතුටක් දැනුණේ ඔහුට කුසගිනි දැනී තිබූ නිසාය.

“ඉන්න මං අරන් එන්නම්…”

මම වහා පිටුපසට දිව ආවෙමි. චිත්‍රා මිසුත් ප්‍රේමා නැන්දාත් එහි හිඳ හඬමින් සිටි අතර මා හදිසියේ දිව ආ නිසාදෝ දෙදෙනාම කළබල වූහ.

“ඇයි නෝනේ…මොකෝ මේ කලබලේ…?”

“නෑ…මොකුත් නැහැ…රජිව් අයියාට බඩගිනියිලු…තව කැඳ ටිකක් අරන් යන්න ආවේ…”

“අනේ…කොච්චර දෙයක්ද දරුවෝ…”

චිත්‍රා මිස් එසේ කියන විට ප්‍රේමා නැන්දා කැඳ පිරවූ කෝප්පය මට දුන්නාය. මම වහා එයත් රැගෙන කාමරයට දිව ආවෙමි. ඔහු පෙරටත් වඩා ගිජු ලෙස කැඳ කෝප්පය පානය කරන විට සතුටක් දැනුණේ මා සිතටය. අඩකටත් වඩා කැඳ කෝප්පය පානය කළ ඔහු කීවේ ඇතියි කියාය. මම එයත් රැගෙන පිටතට යෑමට සූදානම් වන විට ඔහු මා සුරතින් අල්ලාගෙන මා වළකාලීය. එලෙසම හිඳගෙන මම ඔහුගේ හිස මෘදුව ලෙස පිරිමදින විට සුළු මොහොතකින් ඔහු නින්දට වැටිණි. මම එසේ මඳ වේලාවක් නිසොල්මනේ හිඳ ඔහු දෙස බලා සිටියෙමි. ගිළුණු කම්මුල්, ඇස් යට අඳුර, වියළුණු දොතොල්, මළානික වූ මුහුණ මා සිත අනුකම්පාදෙන් පුරවා දැමීය.

රජිව් බලන්නට නිවසට පැමිණි වෛද්‍යවරයා කීවේ දැන් ඔහුට ඝන ආහාර ලබා දෙන ලෙස මුත් එදින දහවල රජිව් කෑම ගැනීම ප්‍රතික්ෂේප කළේය. ප්‍රේමා නැන්දා සුදු ළූනු දමා සෑදූ රතු සහල් කැඳ නම් ඔහු පානය කළේ කැමැත්තෙනි.

“මේ ළමයා මේ තත්වෙන් කවදා ගොඩ එයිද මංදා…”

චිත්‍රා මිස් ආලින්දයේ වූ අසුනක ගිළී යමින් කීවේ හැඬූ නිසා බර වූ නාසය පිසිමිනි.

“ඩොක්ටර් බලල කිව්වානේ දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ කියලා…බය වෙන්න දෙයක් නැහැ මිස්…ඉක්මනට සනීප වෙයි…”

“අනේ මන්දා ළමයෝ…ඒ වුණාට මට හරි බයක් දැනෙනවා…”

සුසුමක් හෙළමින් ඈ කීවාය.

“හිත කළබල කරගන්න එපා මිස්…”

“ඔයා ඉන්න එක නම් හිතට හයියක්…පුතා දන්නවද ඔයත් රට යන්න සූදානමින් ඉන්නේ කියලා…?”

හදිසියේම ඈ විමසුවාය.

“ඔව් මිස්…දන්නවා…”

“හ්ම්ම්…ඒවාත් කල්පනා කරලද මංදා මේ ළමයා මෙහෙම ලෙඩ වුණේ…”

නොසතුටෙන් මෙන් ඈ කීවේ එයත් මගේ වරදින් සිදුවූවක් යැයි නොකියා කියන්නාක් මෙනි. මසිත අසරණ වූ බැවින් මම නිහඬව සිටියෙමි. ඈ නැඟිට ඉවත ගියේ මසිත මත අලුත් බරක් පටවා තබාය. රජිව් ඉක්මනින් සුව අතට හැරුණා නම් මට මෙහින් යා හැකිය. ඇනුම්පද තව දුරටත් ඉවසාගෙන මා මෙහි සිටිය යුතුද…?

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you