Pini Muthu Palasa පිනිමුතු පලස
යළිත් සුපුරුදු තැනකට ආවා වැනි සැහැල්ලු හැඟීමක් මසිතට දැනුණේ ත්‍රී රෝද රථයෙන් බැස, වත්තට ඇතුළු වන මොහොතේදීමය. මාත් තරුෂිත් සෙමෙන් සෙමෙන් වැලි ඇතුරූ පිවිසුම් මඟ දිගේ සෙමෙන් ඇවිද එන විට අපට පෙර පැමිණි ඔවුන් අප එන තුරු පෙරමඟ බලා සිටියෝය. නිවසට ගොඩ වන විටවත් නොදැනෙන සැහැල්ලුවක් මසිතට දැනුණේ මෙහි ඉස්තෝප්පුවට ගොඩ වන විටමය.
“සේරටම කළින් මට හොඳට නා ගන්න ඕන…ප්‍රේමා…කට්ටියටම බොන්න මොනවා හරි හදන්නකෝ…ඔයාල ඉන්න…මං ඉක්මනට නාගෙන එන්නම්…මං ළඟ ඉස්පිරිතාල ගඳ…”
සැහල්ලු සිනහවක් පාමින් චිත්‍රා මිස් කියන විට අපද සිනහසුණෙමු.
“ලොකු නෝනා…වතුර ටිකක් උණු කරන්නද ඉක්මනට…? ඉස්පිරිතාලෙන් ටිකක් කපලා කියලා දන්නවා නම් මං වතුර ටිකකුත් ළිපේ තියලාම එනවා…”
“අනේ…අනේ ප්‍රේමා…මේ ගිනි මද්දහනේ උණු වතුර නාන්න..! හරි යසයි…මට සෙම කැස්සක්ද හැදිලා තිබුණේ…?”
ඈ අප අතර සිනහවක් නංවමින් පවසා වහා ගෙතුළට වැදුණේ ප්‍රේමා නැන්දාද සමඟය.
“ගෙදර අය කළබල වෙන එකක් නැහැනේ දුව පරක්කු වෙද්දී…?”
තරුෂිගේ අම්මා ඇසුවේ අයියා සිහිකර වන්නට ඇත.
“අම්මට කියලානේ ආවේ…ඒ නිසා කමක් නැහැ…”
තරුෂි කීවාය.
“කළබල වෙන්නේ අම්මා නෙවේනේ ඉතින්…”
තරුෂිගේ අම්මා කී කතාවට මා මුවට සිනහවක් නැඟිණි.
“කාඩ්බෝඩ් වීරයා හිටියොත් තමා කචල් දාන්නේ…”
තරුෂි එසේ කියන විට මා මුවටද එක්වරම සිනහවක් නැඟිණි. මට බැලුණේ රජිව් දෙසය. ඔහුද දඟකාරසේ සිනහසෙමින් මදෙස බලා සිටියේය.
“ඒ මදිවට ඔන්න කාඩ්බෝඩ් වීරයා ආයේමත් මංගල යෝජනාවක් ගෙනල්ලා…”
තරුෂි එසේ කීවේ රජිව්ගේ දැන ගැනීම පිණිසය. ඔහු වහා මදෙස බැලුවේ එය සත්‍යයක්දැයි දැනගන්නට මෙනි.
“ඇත්තටම…මොනවා කරන ළමයෙක්ද ළමයෝ…?”
තරුෂිගේ අම්මා ඇසුවේ උනන්දුවෙනි.
“අයියලාගේ ඔෆිස් එකේ…බැඳලා…දික්කසාද වෙච්ව මැන්ටලයක්ලු…”
තරුෂි කතා කළේ කෝපයෙනි. සියල්ල රජිව් සමඟ පැවසීමට ඇයට වුවමනා වන්නට ඇත.
“ඔහොම කතා කරන්න එපා ළමයෝ…”
අම්මා ඇයට කීවේ තරවටුවක විලසිනි.
“අම්මා දැක්කා නම් අම්මාත් ඔහොම තමා කියන්නේ…”
“දැන් අම්මා මොකද කියන්නේ…?”
ඈ යළිත් මා විමසුවාය.
“අම්මා කැමති නැහැ…අම්මා කැමති වුණත් මං කැමති වෙන්නේ නැහැ ඇන්ටි…ගිය පාර මාව බැන්දුවේ බලෙන්…මෙදා පාර එහෙම කරන්න මං ඉඩ දෙන්නේ නැහැ…”
මා විදෙස් ගතවන්නට යන බවද තරුෂි මේ මොහොතේ රජිව් හා පැවසුවේය. එවිට ඔහු විසල් කර ගත් දෑසින් මදෙස බලා සිටිනු දැක මම වහා නෙත් බිමට නැඹුරු කොට ගතිමි.
“අම්මාත් ළඟ ඉන්නවා නම් බය වෙන්න දෙයක් නැහැනේ…ඒත් ඉතින්…අම්මා වුණත් ආයේමත් නොයා ඉන්නවා නම් තමා හොඳ…ආර්ථික ප්‍රශ්න මැද්දේ මෙහෙ ඉන්න එකත් අමාරුයි තමා…හොඳ කෙනෙක් හොයලා දුව ආයේ කසාඳ බඳින්න…ඔයාට තව කල් තියනවානේ…”
මගෙත් රජිවිගේත් සමබන්ධය පිළිබඳව කිසිත් නොදත් තරුෂිගේ අම්මා එක දිගට කියවගෙන යන විට රජිව් කිසිත් නොකියා නිහඬව සිටියේ මේ මොහොතේ කිසිත් කතා කිරීමට නොහැකි නිසාය.
“එක පාරක් අමාරුවේ වැටිලා ආයේමත් අමාරුවේ වැටෙනවාට වඩා…මම නම් කැමතියි මංදි ඔයා රට යන එකට…අඩුම තරමේ මේ ඉන්න මිනිස්සුන්ගෙන් හරි ඈත් වෙලා ඉන්න පුළුවන්…අයියා වුණත් මොනවද ඔයා වෙනුවෙන් කළේ…?”
තරුෂි කතා කළේ කෝපයෙනි. ඈ කියන්නේ ඇත්තය.දැන් බොරුවට මා ආරක්ෂා කිරීමට සූදානමින් සිටින අයියා එදාත් මා රැක් බලාගත්තා නම් අද මට මෙවන් ඉරණමක් අත් නොවීමට ඉඩ තිබුණා නොවේද…? නමුත් ඉතින් දැන් ඒ කිසිත් සිතා පළක් නැත. මා කොතනින් හෝ අලුතින් ජීවිතය ඇරඹිය යුතුය. ප්‍රේමා නැන්දා බිස්කට් සමඟ අපට තේ පිළිගැන්වූවාය. දිය නාගෙන ආ චිත්‍රා මිස්ද සුළු මොහොතකින් අප හා එක්වූවාය. අප එකතුව කතා බස් කරමින් හිඳ මමද ඔවුන්ගෙන් සමුගැනීමට සූදානම් වූයෙමි. තරුෂි ද මා සමඟම පැමිණියේ රජිව් සමඟ මම තනිවම යන නිසාය. මා සිතූ ලෙසම රජිව් ප්‍රධාන පාරට රථය දමා විසල් මාර ගස යට මොහොතකට රථය නතර කළේ මෙතෙක් කතා බහ කිරීමට නොහැකි වූ නිසාය. තරුෂි රථයේ සිටියදී අප දෙදෙන ඉන් බැස ගතිමු.
“දැන් සේරම ප්ලෑන් කරලත් ඉවරද එතකොට…?”
ඔහු එක එල්ලේ මා විමසුවේ වෙනදා මා අමතන හඬින් නොව තරමක රළු හඬකිනි.
“රට යන එක ගැනද ඔයා අහන්නේ…?”
“ඔව්…වෙන මොකක්ද…?”
“හ්ම්ම්…අම්මා ගිහින් මාවත් එයා ඉන්න තැනටම ගනියි…”
“මම එපා කීවොත්…?”
තිගැස්සී ගිය දෑසින් මම එකවරම ඔහු දෙස බැලීමි.
“ඔයා එපා කීවත්…මම කොහොමද ඒ ගෙදර ඉන්නේ…? මට නිදහසේ හුස්ම ගන්නවත් බැහැ…එයා හදන්නේ ආයෙමත් සැරයක් මාව කාගේ හරි ඇඟේ එල්ලන්නයි…මම ඒ ගෙදර ඉන්නවට එයා බයයි…මොකද අම්මා මගේ නමට ගේයි…ඉඩමයි ලියයි කියලා හරි…මම අම්මා ලව්වා ඒක ලියවා ගනියි කියලා හරි…”
“ඉතින් ඔයා කියන්න…ඔයාට ඒ මොකුත් ඕන නැහැ කියලා…මම ඔයාගේ වියදමට සල්ලි දෙන්නම්…ඔයා රට යන්න ඕන නැහැ…”
“එහෙම කරන්න බැහැනේ…ඔයා කවදා වෙනකල් ඒක කරන්නද…? මිස් මේ දේවල් දැනගත්තොත්… එයා ආයේ අසනීප වෙයි…”
“එහෙනම් කරන්න තියෙන්නේ එකම දෙයයි මංදාකිණි…”
ඒ කුමක්දැයි කුහුළින් මම ඔහු දෙසම බලා සිටියෙමි.
“අපි දෙන්නා කසාද බඳිමු…”
මම සැබෑවටම තිගැස්සී ගියෙමි.
“ඔයා මොනවද රජිව් අයියේ කියන්නේ…? මම එදත් ඔයාට කිව්වානේ…මට කවදාවත් ඒක කරන්න බැහැ…අපි හොරෙන් බැන්දත්…මිස් ඒක දැනගත්තු ගමන් කළබල වෙයි…ඔයා හොඳටම දන්නවා එයාට ආයේ ෂොක් එකක් ආවොත් ඒක මිස්ගේ ජීවිතේට බලපානවා කියලා…මෝඩ තීරණ අරන් බොළඳ විදියට
හැසිරෙන්න අපි පොඩි උන් නෙවේනේ…හැමදේටම කලින් මිස් ගැන හිතන්න…”
“මම අම්මත් එක්ක මේ ගැන කතා කරනවා…”
මම සැබෑවටම බිය වූයෙමි. එවන් දෙයකින් ඈ කළබල වී ඇගේ අසනීපය වැඩි වුවහොත් කුමක් කරන්නද..? දැන් ඇයව රෝහලෙන් කැඳවාගෙන පැමිණියා පමණි.
“අනේ රජිව් අයියේ….මං ඔයාට වඳින්නම්…මිස් එක්ක නම් මේ කිසි දෙයක් කතා කරන්න එපා…මිස්ට මොනවා හරි වෙලා…මං ඔයාගේ වුණත් ඇති වැඩක් නැහැ…එහෙම දෙයක් වෙලා මම ඔයාගේ වෙන්න හිතන්නේත් නැහැ කියලා…හොඳට මතක තියාගන්න…”
හිස් දෑසින් ඔහු මදෙස බලා සිටින විට මම විත් රථයට නැඟුණෙමි. මා සිතට දුකක් නොදැනුණා නොවේ. මම ඔහුට ආදරය නොකරනවාද නොවේ. ඔහු හැර වෙනත් කිසිවෙකුට මට ආදරය කරන්නටද නොහැකිය. මම වැන්දඹුවකි. ඔහුට සැමතින්ම මට වඩා හොඳ අයෙකු විවාහ කර ගත හැකිය. ඔහු කඩවසම්ය, ධනවත්ය. මා වැනින්නියක පිළිබඳව සිතමින් ඔහු තම ජීවිතය අඳුරේ දමා ගන්නට සැරසෙන්නේ මන්ද..? අපි එන අතරේ අපි කිසිවෙකු කතා බහ නොකළෙමු. මාත් රජිව්ත් අතර ඇති වූ කතා බහ තරුෂිටද ඇසෙන්නට ඇතිවාට සැකයක් නැත. ඇයද නිහඬව සිටියේ ඒ නිසා වන්නට ඇත. වැරදි තීරණ ගෙන අපිට යළි, යළි විඳවමින් පසුතැවීමෙන් ජීවත් වන්නට වුවහොත් ඉන් ඇති පලය කුමක්ද…? වඩා හොඳ මෙලෙස දුරස් වී ජීවත් වීමය. කෙටි කාලයක් ගිය පසු සියල්ල අමතකව යනු ඇත. මා නිවස අසළින් හැර දමා ඔවුන් පිටව යන තුරු පාරේ රැඳී සිටි මා ගෙතුළට ආවේ හිස් වූ හදිනි.
සුමිත් අයියාට කිසියම් පිරිසක් විසින් පහර දී තිබූ අතර අසාධ්‍ය තත්වයේ සිටි ඔහුව රෝහල් ගත කර තිබූ බව අපට දැනගන්නට ලැබිණි. එය සිදුව තිබුණේ රාත්‍රියේ ඔහු කිසියම් මඟියෙකු රැගෙන ගොස් නැවත එන අතරතුරදීය. අක්කා හඬා වැළපෙමින් නිවසට දිව ආවේ ඒ බව සැළවය.
“අනේ කවුද මන්දා මේ අපරාධෙ කරපු එකා…මගේ මනුස්සයා කාට මොනවා කළාටද මෙහෙම කරලා තියෙන්නේ…?”
ඈ වැළපෙන්නට වුවද මට ඈ කෙරෙහි හෝ සුමිත් අයියා කෙරෙහි අනුකම්පාවක් නම් ඉපදුණේම නැත.
“ඔහොම වෙලා මදි ඕකට…”
සිත යටින් සතුටු වෙමින් මම සිතුවෙමි.
“දැන් මොකද ලොකු දුව සුමිත්ට…?”
“අනේ අම්මේ…කතා කරන්නෙත් නැහැ… අත පය සේරම බැන්ඩේජ් කරලා…මාස ගානක් යයිලු හොඳ වෙන්න…”
“සල්ලි ගන්න කරපු දෙයක් වෙන්නැති…පොලිසියට ඇන්ට්‍රියක් දැම්මානේ…?”
“මම දන්නේ නැහැ…පාරේ වැටිලා ඉද්දී හිතලා තියෙන්නේ බීපු මිනිහෙක් කියලා…”
“කවුද ඇඩ්මිට් කරලා තියෙන්නේ…?”
“මම දන්නේ නැහැ අප්පා…ඕවා…”
ඈ කීවේ අම්මාගේ කෙළවරක් නැති ප්‍රශ්න නිසා නොසතුටෙන් මෙනි.
“කවුරු වුණත් කරලා තියෙන්නේ නම් හොඳ දෙයක්…ඔහොම වෙලා මදි… වනචරයාට…ඒ මිනිස්සුන්ට තෑගි දෙන්න වටිනවා…”
සිතේ සැඟව තිබූ කෝපය පිට කරමින් මම කීවෙමි.
“චූටි දුව ඔහොම කතා කරන්න එපා…කරදරයක් වුණාමවත් අනුකම්පා කරන්න…”
“පේනවනෙ අම්මා මෙයා කියන ඒවා…”
“පේන්න නෙවේ…ඇහෙන්න කිව්වේ…මට අනුකම්පා කරන්න මොකෙක්වත් හිටියේ නැහැ…එදා ඌ මාව නැති කරලා තියෙන්න අද මට මොනවා වෙලාද දන්නැහැ…ඕකට ඔහොම වෙලා මදි…”
අම්මා නිහඬ වූවාය.අක්කා යන්නට ගියේ කෝපයෙනි. සුමිත් අයියා නිවසට ගෙන ආවද ඔහු සම්පූර්ණයෙන් සුව වී නොසිටියේය. තව මාස ගණනාවක් යන තුරු ඔහුට තනිවම ඇවිඳින්නට හෝ හැකියාවක් නොලැබෙනු ඇතැයි කියා අම්මා නිශා සමඟ පවසනු මා සවන් වැකිණි. ඔහුට පහර දුන්නේ කවුද කියා හෝ සොයා ගන්නට නොහැකි වී ඇත.
“කවුද දන්නේ කළින් කෝන්තරයක් පිරිමහගන කරපු දෙයක්ද කියලා…මිනිහාත් හොඳ එකෙක් නෙවේනේ…”
අම්මා කීවාය.
“ඔයින් ගියා ඇති…” නිශා කීවාය.
——————————————————————————————————
එළඹි සතියේ අග අම්මා නැවත විදෙස් ගත වූවාය. නිශා මට වඩාත් ළං වූයේ මේ කාලයේදීය. බොහෝ විට නිවසේ සිටියේ අප දෙදෙනා පමණි. ඈ සිය සිත් වේදනාවන් මා සමඟ කතා බහ කළාය. මා මෙන්ම ඇයද අසරණයි කියා ඒ මොහොතේ මට සිතිණි. අනුරානිත් අයියාත් එක්ව යන ගමන් බිමන් ගැනද ඇයට සැළව තිබිණි. ඔවුන් දෙදෙනා හැසිරෙන්නේ විවාහක යුවළක් මෙන් බව ඕනෑම අයෙකුට පෙනෙන දෙයකි. තරුෂිද ඒ බව දැක තිබුණාය.
“අර ළමයා නංගිව මැරි කරන්න කැමති නැත්තේ ඇයි…?”
දිනක් හදිසියේම නිශා මා විමසුවේ මෙසේ කතා බහක නිරතව සිටින විටය.
“මැරි කරන්න අකමැති එයා නෙවේ අක්කේ…මායි…මං කොහොමද ඒ වගේ ආත්මාර්ථකාමී තීරණයක් අරගන්නේ…?”
“අනේ මන්දා නංගී…අපි හරි අසරණයි නේද…?”
සුසුමක් හෙළමින් ඈ කීවේ මම ඈ හා සියලු දේ පැවසූ පසුවය. ඇයත් පසු වන්නේ සිත් වේදනාවෙනි. එසේ කියා මට ඈ වෙනුවෙන් කළ හැකි කිසිත් නැත.