NovelsSeporuSeporu - 02 සෙපෝරු

Seporu – 02 සෙපෝරු

-

spot_img

Seporu – දර්ශන ධර්මවර්ධනට මීට අවුරුදු ගානකට කලින් ඇහුණු ශාමෙල් වීරසිංහගෙ ඒ “හිකි..හිකි..” හිනාව තමන්ගෙ ළඟින්ම ඇහෙනව වගේ දැණුනා.තමන් තාමත් හිටගෙන ඉන්නේ කොටුවෙ ස්ටේෂන් එකත් මල්වත්ත පාරත් යා කරන ගුවන් පාලම උඩ බව ඔහුට තේරුණේ එතකොටයි. තරුණ ගෑණු දැරිවියො කීප දෙනෙක් කෝළම් හිනාවක් එක්ක තමන් ඉදිරියේ හිටගෙන ඉන්නවා. තමන් ලංකාවෙ ජනප්‍රිය නළුවෙක් කියන එක ක්ෂණිකව ඔහුගේ හිතට ඇතුල් වුණා. නළුවෙක් තමන්ගෙ මූණ සමාජයක් ඉස්සරහ, ඒ මොහොතට ගැළපෙන්න කොහොමද හදාගන්න ඕනෙ කියලා දර්ශන දැන් දන්නවා. කැමරාවක් තමන් ඉදිරියේ නැතත්, මේ ගෑණු දැරිවියන් ඉදිරියේ ඔහු ඒ ව්‍යාජ රංගන විලාසයට ආරූඪ වෙමින් හිටියා.

“මං ආසම අයියගෙ කෝකිලා ඩ්‍රාමා එකේ චරිතෙට..”

සමරු සටහනක් දෙන අතරෙ එක ගෑණු දැරිවියක් දර්ශනට එහෙම කිව්වා.

“ඒත් ඔයා ඇයි අනේ නපුරු චරිතම කරන්නෙ..”

තව එකියක් ඒ ගෑණු දැරිවිට අත්වැල් අල්ලනවා. දර්ශන එතන හිටපු එක ගෑණු දැරිවියකගෙ ජංගම දුරකතනයක් අරං හැමෝම ඉන්න විදිහට සෙල්ෆි ජායාරූපයක් අරගෙන ආපහු දෙන ගමන් හිනාවකින් කතාකරන්න ගත්තා.

“මං ෆොටෝස් කීපයක් අරගත්තා..ඔයාගේ මේ යාළුවොත් එක්ක ෂෙයාර් කරගෙන එෆ්.බී දාන්න ඇතිවෙයි මං හිතන්නෙ..”

දර්ශනට ඕනේ වුණා ඉක්මනින් එතනින් මඟෑරලා යන්න. තිරෙන් එළියෙදිත් මේ ව්‍යාජ චරිතයම නඩත්තු කරලා ඔහුට දැන් හති වැටිලා. කෙල්ලො ටිකගෙ මූණු බෙරි වෙද්දි , ඔවුන්ට අත වනාගෙන ඔහු කොටුව ස්ටේෂන් එක පැත්තට තියන පාලමේ පඩි ටික බැස්සා. ස්ටේෂම ඉස්සරහා කාර් පාර්ක් එකේ ටිකට් කඩන වයසක ගෑණු මනුස්සයා හිනාවීගෙන තමන් ඉදිරියට එද්දිම, දර්ශන තමන්ගෙ මුදල් පසුම්බියෙන් දාහෙ නෝට්ටුවක් අරගෙන ඇය අත තිබ්බා. ඔහුට ඕනේ වුණේ නෑ අසරණකමට වුණත් ඒ කාන්තාව තමන්ව බොරුවට වර්ණනා කරනවා අහන්න. පෙනුමෙන් ඇය තමන් නළුවෙක් බව දන්නවා ඇති. සමහරවිට තමන් රඟපාපු එක ටෙලිනාට්‍යයක්වත් බලන්න මේ රස්සාව එක්ක දවස තිස්සේ ඔට්ටුවෙන මේ මනුස්සයට අවස්ථාවක් ලැබිල නැතුවත් ඇති. ඒත් බොරුවට හරි වචන කීපයකින් තමන්ගෙ හොඳකම්,සිරියාවන්තකම් උත්කර්ෂයට නංවපුවාම,කවුරුහරි එයාගේ අතේ ගුලිකරන අමතර මුදල මේ අහිංසක මනුස්සයාට තමන්ගේ නළුකමට වඩා වටින බව දර්ශන දන්නවා. ඒකයි ඇයව වෙහෙසවන්නේ නැතුව, ඇය බලාපොරොත්තු වෙන දේ දීල කාර් එකට ගොඩවුණේ.

ගුණසිංහපුර, කැළෑපොල හරහා වාහනය පැදගෙන යද්දි දර්ශනගෙ පපුව මොහොතකට අයිස් කුට්ටියක් වගේ සීතල වුණා. ඉස්සරෝම කොළඹ ඇවිත් බඩගින්නට කලන්තෙ හැදිලා වැටුණු දවසෙ වගේම, කොළඹ කළුවර වෙන්න පටන් ගත්තා. ඔහු ඉක්මනින් වාහනේ පාර අයිනට කරලා නවත්ත ගත්තා. පිටිපස්සෙන් ආපු වාහන කීපයක දිග හෝන් සද්ද ඔහුට ඇහෙන්න පටන් ගත්තා. දර්ශනට ඕනේ වුණා, පුළුවන් තරම් ඉක්මනින් වාහනෙන් එළියට බහින්න.
ඉස්සරහා දොර අරිද්දි එතනින් ගියපු බයික් එකක නොවැදී බේරුණේ නූලෙන්. ටිකක් ඉස්සරහට ගිහින් නවත්තපු බයික් එකෙන් බැහැපු මනුස්සයා,කුණුහරුප වැලක් කියාගෙන දර්ශන ඉස්සරහට ආවා. ඒත් මොහොතකින් ඒ ආපු වේගයයි,තිබුණු ආවේගයයි දෙකම නැති මිත්‍රශීලි හඬකින් ඔහු දර්ශනට කෑ ගහලා කතා කරන්න වුණා.

“අඩෝව්.. නළුවා…”

හෙල්මට් එක ගලවලා අතට ගත්තාමයි, දර්ශන ඔහුව අඳුරගත්තෙ. ඒ ශාමෙල් වීරසිංහ කියන තමන්ගෙ පැරණි පත්තර මිත්‍රයා.

“මචං.. ශාමෙලා…”

දර්ශන තමන්ගෙ ළඟම නැදෑයෙක් දැක්කට වඩා සතුටකින් එහෙම කෑ ගහගෙන ගිහිං ශාමෙල් වීරසිංහව බදාගත්තා. එතනින් යන මිනිස්සු “මේ මොන විකාරයක්ද ” කියන්නා වගේ හැඟීමකින් මේ සිද්ධිය දිහා බලාගෙන ගියා.

“මං ඉස්සරෝම කොළඹ ආපු දවස්වල බඩගින්න දරාගන්න බැරුව, කලන්තෙ දාලා වැටුණෙ අන්න අතන මචං…”

දර්ශන එහෙම කියලා කැළෑපොල හරියෙ තැනකට අත දික්කරලා පෙන්නුවා.

“අද වගේ එදත් මිනිස්සු මේ විදිහට පුදුමෙන් උඔ දිහා බලාගෙන ගියාද මචං…”

ශාමෙල් ඇහුවා. දර්ශන ටිකක් වෙලා කල්පනා කරා. ඇත්තටම එදත් මිනිස්සු තමන් දිහා මෙහෙම බලාගෙන ගියා නේද කියලා ඔහුට මතක් වුණා.

“ඔව්නෙ මචං…ඒත් එදයි,අදයි ඒ දැණුනු හැඟීම වෙනස්..මට උඔට කියන්න තේරෙන්නෑ…”

“මං කියන්නම්..එක වාගේ පෙණුනට,එදයි අදයි ගැළපුවොත්,ඒක සිද්ධි දෙකක්,ඒ සිද්ධි දෙකේ උඔ චරිත දෙකක්.. මේවා හරිනම් උඔට පැහැදිලි කරලා දෙන්න ඕනේ අඩියක් ගහන ගමන්…”

“ඉතිං ගහමු..”

ශාමෙල් කතාව නතර කරන්නත් කලින් දර්ශන එහෙම කිව්වාම. ශාමෙල් මූණ ඇල කරගෙන දර්ශන දිහා බලාගෙන හිටියා.

“හැබැයි ඊට කලින් කියපං උඔ කියන්න ගිය කතාව මොකක්ද කියලා..”

දර්ශන එහෙම කියලා තමන්ගෙ කතාවෙ අඩුව සම්පූර්ණ කෙරුවා.

“එදා උඔ කලන්තෙ දාලා මෙතන වැටුණෙ කොළඹට රස්සාවක් හොයාගෙන ආපු ගමේ කොල්ලෙක් විදිහට..හැබැයි අද උඔ මෙතන හිටගෙන ඉන්නේ ලංකාවම දන්න සුපිරි නළුවෙක් විදිහට…”

“ඒක නෙවේ මචං…කෝ මාණික්කම් අයියා..”

“කවුද..පිටකොටුවේ එම්.ජී.ආර්ද..උඔට ලොක්කව බලන්න ආසද..”

“ඔව් මචං…උඔ ෆ්‍රීනම් වරෙං..අපි ගිහිං එයත් එක්කම අඩියක් ගහමු…”

“මම කොහොමත් ෆ්‍රී බර්ඩ්නෙ මචං..හැබැයි උඔගෙ මේ හයි ෆයි වාහනේනම් එම්.ජී.ආර් ඉන්න වත්ත ඇතුලට ගන්න බැරිවෙයි…මගේ බයිසිකල් කට්ටෙ නැඟලා යන්න ඇක්ටර් සර්ට පුළුවන්නම් එක්කං යන්නං..”

“යමං…”

දර්ශන කෙලින්ම ඇවිදගෙන ගියේ ශාමෙල්ගෙ බයික් එක තිබුණු දිහාට.

“ඇක්ටර්…සර්…”

ශාමෙල් එහෙම කෑගැහුවෙ තාමත් දර්ශනගෙ කාර් එක ළඟ හිටගෙන ඉන්න ගමන්…දර්ශන ඔලුවෙන් “ඇයි” කියලා ඇහුවෙ බයික් එක ළඟ ඉඳලා හැරිලා බලන ගමන්.

“මෙහෙම පාරවල් මැද වාහන අතෑරලා යන්න අපි ඉන්නෙ ඇමරිකාවෙ නෙවේනේ ලොක්කා..එනකොට මේකෙ කෑලි ටික තියෙයි පංචිකාවත්තෙ..ගිහිං කීයක් හරි දීලා ඕක පාක් එකකට ගාල් කරලා එන්න අනේ..”

කාලෙකින් ශාමෙල්ගෙ “හිකි..හිකි..” හිනාව ඇහෙන්න ගත්තා. දර්ශන ඔලුව කස,කසා ඇවිත් වාහනේට ගොඩවෙලා ඉඳගත්තා. කාලෙකින් හිතට අමුතු පණක් ඇවිත් තමන් ජීවත්වෙනවා වගේ හැඟීමක් ඇවිත් තිබුණා. ඒ ගැම්මෙන්ම ඔහු වාහනය තරමක් වේගෙන් පිටිපස්සට ගත්තා. මොනාහරි දෙයක් වාහනේ පිටිපස්සෙ වදිනවා වගේ දැණුනා. ඒත් එක්කම ඔහුට බැලුණේ, තමන් ඉස්සරහා හිටපු ශාමෙල් දිහා. ඒ වෙනකොටත් ශාමෙල් ඔලුවට අත ගහගෙන තමන්ගෙ වාහනේ පැත්තට දුවගෙන එනවා දර්ශනට පෙණුනා. තමන්ගෙ වාහනයෙ ජනෙල් වීදුරුවට තට්ටු කර,කර ඔහු තමන්ට ඉක්මනින් වාහනේ ඉස්සරහට ගන්න කියනවා දර්ශනට තේරුණා. ඉක්මනින් වාහනේ ඉස්සරහට අරන් නවත්තපු දර්ශන ඒ සැණෙන්ම වාහනෙන්බිමට පැන්නා. ඒ වෙනකොටත් ශාමෙල් හිටියෙ කාර් එකේ පිටිපස්සෙ. ගෑණු ළමයෙක් නහයෙන්,කටෙන් ලේ පෙරාගෙන තමන්ගෙ කාර් එක පිටිපස්සෙ වැටිලා ඉන්නවා දැකපු දර්ශනගෙ ඔලුව කැරකෙන්න ගත්තා. ඒත් එක්කම ශාමෙල් තමන්ව පිටිපස්සට කරලා, එයාගේ අයිඩෙන්ටි කාඩ් එක අරං බෙල්ලෙ එල්ලගත්තා.
එතකොටයි දැක්කෙ අවට කඩවල් වල මිනිස්සු අතට අහුවෙන,කැති,පොලු,මුඟුරු අරගෙන කාර් එක දිහාට දුවගෙන එනවා.

“කළබල වෙන්නෙපා..මං පත්තරෙන්..මේක හිතාමතා කරපු දෙයක් නෙමේ..ඉස්සෙල්ලාම අපි මේ ළමයව ඉස්පිරිතාලෙට ගෙනියමු…”

තමන්ගෙ රාජකාරි හැඳුනුම්පත ඉස්සරහට දික් කරගෙන ශාමෙල් කාර් එක වටේට වටවෙන මිනිස්සුන්ව පාලනය කරන්න උත්සාහ කරනවා.

“අල්ලපං යකෝව් මේ ළමයව කාර් එකට..”

ශාමෙල් එහෙම කෑ ගැහැව්වෙ,දර්ශනගෙ අතින් අදින ගමන්. දෙන්නත් එක්ක ගෑණු ළමයා උස්සලා කාර් එකේ පිටිපස්සට දානකොටත් ඒ ළමයගෙ බෙල්ල කඩා වැටිලා තිබ්බේ.

“මම ශාමෙල් වීරසිංහ…සුනෙර පත්තරෙන්..මේ බයික් එක පොඩ්ඩක් මෙතන තිබුණාවෙ..මං මේ ළමයව හොස්පිට්ල් එකට දාලා එන්නං…බයවෙන්නෙපා මං පොලීසියට කෝල් කරලා විස්තරේ කියනවා…ඕ.අයි.සී උදයරත්න මගේ යාළුවෙක්..”

වටේ හිටපු පිරිසට ලොකු විස්තරයක් විශ්වාසය ඇතිවෙන විදිහට කෙටියෙන්,ළහි ළහියේ එහෙම කියපු ශාමෙල්,

“උඔ පිටිපස්සෙන් නැඟපං..”

කියලා දර්ශනට කියන ගමං ගිහිල්ලා ඩ්‍රයිවින් සීට් එකේ වාඩිවුණා. වෙන කිසි දෙයක් හිතාගන්න බැරුව, දර්ශන ඒ,මේ අත බලාගෙන හිටියා.

“යකෝව්…ඉක්මන් කරලා පිටිපස්සෙන් වාඩිවෙලා ඔය ළමයව බලාගනිං…”

ශාමෙල් ඩ්‍රයිවින් සීට් එක පැත්තෙන් වීදුරුව පාත් කරලා,දර්ශනට කෑගැහුවා. දර්ශන රිමෝට් එකකින් කන්ට්‍රෝල් කරන චැනල් එකක් වගේ පිටිපස්සෙ සීට් එකට පැන්නා. ශාමෙල් වාහනය පාරට අරගෙන,යන ගමන් පිටිපස්ස සීට් එකට ඇහෙන්න හයියෙන් කතාකරන්න පටන් ගත්තා.

“උඔ ගාව සල්ලි තියනවනම් මං ළඟම තියන ප්‍රයිවට් හොස්පිට්ල් එකට දාන්නම්…කෙල්ලට පොඩ්ඩක් සීරියස් වගේ මචං..”

දර්ශන හිමීට ඒ ගෑණු ළමයගෙ මූණ දිහා බැලුවා. කටේ එක පැත්තකිනුයි, නාස් පුඩුවකිනුයි ලේ සීරාවක් ගලාගෙන එනව දැකලා ඔහු ගැස්සුණා.

“‍යකෝව් උඔ ඔතන දොස්තරගෙ රෝල් එක ඇට් නොකර මං අහපු දේට උත්තර දීපං..”

පිටිපස්ස බලන කණ්නාඩියෙන් දර්ශනගෙ හැසිරීම් බලාගෙන හිටපු ශාමෙල් ආයෙමත් කෑගහන්න ගත්තා.

“ඈහ්ංං..”

“හෑහ්ං නෙවේ…ප්‍රයිවෙට් හොස්පිටල් එකකට යමුද…උඔ ගාව සල්ලි තියනවද..”

“තියනව යං…”

දර්ශන ඒ ටික කිව්වෙත් අර ගෑණු ළමයගෙ මූණ දිහා බලාගෙන.

“ගමේ ගෑණු ළමයෙක් වගේ මචං..හරි චාම් පාටයි..”

දර්ශනට එහෙම කීවා නෙවෙයි, හිමීට එහෙම මිමිණුනා. ඒත් ශාමෙල්ට ඒක ඇහුණා.

“ගෑණු ළමයගෙ පාට කෙසේ වෙතත්, මේකිට මොනාහරි වුණොත්, උඔ හිරේ යන පාටක් නම් මට පේනවා..”

ශාමෙල් කීවේ තමන්ගෙ සුපුරුදු “හිකි…හිකි..” හිනාව එක්කමයි. ඒත් එක්කම ගෑණු ළමයා එකපාරක් උඩට ගැස්සිලා…හයියෙන් හුස්මක් අර ගන්නවාත් එක්කම බෙල්ල ආයෙම පහලට කඩාගෙන වැටුණා.

“මචාංං…”

දර්ශනට ඉබේම කෑගැහුණා. ඒ සද්දෙට ශාමෙල් ඉක්මනින් වාහනේ පාර අයිනට කරලා නවත්තා ගත්තා.

Latest news

සිල්වර් ඩෝන් සුඛෝපභෝගී නෞකාවේ ශ්‍රී ලංකා සංචාරය

සිල්වර් ඩෝන් නැමැති අතිසුඛෝපභෝගී මගී නෞකාව  ඊයේ ( 09) ගාල්ල වරායට පැමිණ තිබේ.සංචාරකයන් 596 දෙනෙකු රැගත් මෙම නෞකාව දින 141ක ලෝක සංචාරයක...

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවෙන් සොයාගත් ජීව උණ්ඩ

ගාල්ල බන්ධනාගාරයේ තිබී ජීව උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා.ඒ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදීයි. බන්ධනාගාරයේ කාන්තා රැඳවූවන් රඳවා...

අද දවසේ වැසි ඇතිවන ප්‍රදේශ සහ ඉර මුදුන් වන ප්‍රදේශ

අද (අප්‍රේල් 07) දිනයේදී උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1.00 න් පසුව තැනින් තැන වැසි...

ජනපති අනුරගේ පාස්කු ඉරුදින පණිවිඩය

දුකට පත් ජනතාවගේ ගැලවීම වෙනුවෙන් සිය ජීවිතය කැප කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසප්‍රාප්තියෙන් පසු මරණයේ අඳුර පරාජය කරමින් උත්ථානය...
- Advertisement -spot_img

රත් දෝතළු – 65

රත් දෝතළු - 65 මා නිසා අහස්ගේ කාර්යයන් පහසුව ඇති බව විනිෆ්‍රීඩා මහත්මිය මා සමඟ කීවාය. බොහෝ විට මම ඔහුගේ...

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව

අහඹු සිදුවීම් ජිවිතේ වෙනස් කරනව - It Was Just an Accident හැමදේකටම හේතුවක් තියෙනව. අපි අහම්බයක් කියලා හිතන දෙයක් වුණත්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you