More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 66

    Pini Muthu Palasa පිනි මුතු පලස – 66

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස

    විටින් විට හමන සුළඟ ජනේලයෙන් කාමරයට රිංගීය. සිතේ නොසන්සුන් බව පළවා හරින්නට එම සුළඟට හැකි වූවා නම් කියා මට සිතුණේ නිකමටය. කාමරයට පැමිණි අක්කා යහන මත හිඳ ගනු මට දැනිණි. ඈ දෙස බැලීමට හෝ මට වුවමනා නොවිණි. ඇය නම් ලැජ්ජාවක් නැති ගැහැණියකැයි කියා මට සිතී තිබුණේ වරක් දෙවරක් නොවේ. මා ඇයට වෛර කරන බව ඇයව පිළිකුල් කරන බව දැන දැනම ඈ මෙසේ පැමිණෙන්නේ මට ඇති ආදරය නිසා නොවේ. ඇයට කොහොමවත් ලැජ්ජාවක් නැති බව සත්‍යයකි. තිබුණා නම් සුමිත්ව නිවසට වැද්දා ගනු ඇතිද..? අක්කා ආත්මාර්ථකාමී ගැහැණියකි.

    “ඔයා ආවා කියලා කිව්වට එන්න වෙලාවක් තිබුණේ නැහැ අප්පා…”

    ඈ කීවද මම එය නැසුණා සේ සිටියෙමි.

    “ආහ්…මෙයාද මේ…මම බැලුවා ඒත් කාගෙද කටහඬක් ආවේ කියලා…”

    අම්මාගේ හඬින් මම ජනේලයට පිටුපා සිටගෙන දෑත් බැඳ ගතිමි.

    “නැහැ…මම මේ කිව්වේ අම්මේ…මට නම් හිතත්දිත් පිස්සු වගේ අප්පා…”

    ඈ කතා කරන්නට සූදානම පූජිත ගැනය. ඇගේ හඬේ වූයේ මවා ගත් ශෝකයකි. මෙතරම් ඔහු ගැන ශෝකයක් ඇති කර ගැනීමට ඈ ඔහුව ළඟින් වත් ඇසුරු කොට තිබුණා නම් කමක් නැත. ඈ ඔහුව දැක, කතා බහ කර තිබුණේද දින හතරකට පහකටත් වඩා අඩුවෙනි.

    “ජීවිතේ හැටි ඔහොම තමා ළමයෝ…තාත්තා නැති වෙනකොට මටත් ඒ හැටි වයසක් නැහැනේ…”

    අතීතය සිහිපත් කරමින්දෝ අම්මා කීවේ දිගු සුසුමක් හෙළමිනි.

    “නංගිටත් ඉතින් දැන් අවුරුදු විස්ස වුණා විතරනේ…මෙච්චර අඩු වයසෙදි..”

    ඈ මා පිළිබඳව අනුකම්පාවෙන් මෙන් කියනවිට මා සිතේ වූ කෝපයේ ගිනිඅඟුරු පුපුරා ගියේ එක්වරමය. ඈ නොකියා කියන්නට හදන්නේ පූජිත මියගියේ මගේ අවාසනාව නිසා කියාද….?

    “තමුසෙට දැන්ද මගේ අඩු වයස ගැන මතක් වුණේ…? අවුරුදු දාහතක්වත් නැතුව මාව බලෙන්ම බන්දලා දෙනකොට තමුසෙට ඒක ගැන දුකක් අනුකම්පාවක් ඇති වුණේ නැහැනේ…දැන්ද දුක හිතුණේ…දැන්ද අනුකම්පාව…?”

    මම කෑ ගැසීමි. අක්කා මා දෙස බලා සිටියේ බියෙන් විසල් කරගත් දෑසිනි.

    “මොකද චූටි දුව මේ…?”

    අම්මා ඇසුවේ මා වරදක් කළාක් මෙනි.

    “මොකද කියලා මගෙන්ද අහන්නේ…? මට මේ වෙච්ච දේවල් වලට ඔයත් වරදකාරියක් කියලා හොඳට මතක තියාගන්න…දැන් මෙන්න මේකිට මෙතනින් යන්න කියන්න…මට මේකිව පේන්න බැහැ…සේරම කරලා ඉවරවෙලා දැන් එනවා තොත්ත බබා වගේ ශෝක ප්‍රකාශ කරන්න…”

    මම කෑ ගැසීමි.

    “මම මොනවා කළාටද අම්මේ මට පුප්පන්නේ…? මෙයා ගෙදරින් තරහ වෙලා ගිහින් හිටියේ කෙහේද කියලා හොයලා බැලුවේ නැහැ…අවුරුද්දක් විතර හිටියේ මොකා එක්කද…අර කොල්ලගේ හොඳ කමට මෙයාව ආයේ බාර ගත්තේ…”

    “උඹ හිතුවද මම වෙන මිනිහෙක් එක්ක ගියා කියලා…උඹේ මිනිහා දඩාවතේ යනවා වගේ මාත් ගියා කියලද හිතුවේ…මං ඒ ගෙදරින් ආවේ ඌ මාව මරන්න හදපු නිසා…බයට…මං හිටපු තැන මෙයා දැක්කා…උඹ උඩ පනින්නේ නැතුව ඉඳපන්…”

    “මරන්න හැදුවා නම් ගෙදර එන්න එපැයි…”

    “මොකාගේ ගෙදරද…ආවා නම් මාව බාර ගනියි මේන් කියලා…උඹේ මිනිහා ඉන්න තැනට උඹ මාව ගනියිද…ඌව ගෙට දාගන්න ඕනවට නෙවේද උඹ මාව බැන්දුවේ…?”

    “නවත්ත ගනිල්ලා දෙන්නම…ලොකු දුව උඹ පලයන් මෙතනින්…උඹ ආයේ මේ පැත්තටවත් එන්න එපා…”

    අක්කාගේ අතින් ඇද අම්මා ඇයව එළියට තල්ලු කර දැමුවාය.

    “උඹ ආවොත් විනාශයක්…පලයන් යන්න…”

    මම යහන මත ඇද වැටුණේ බොහෝ දුරක් දිව ආවාක් මෙන් වෙහෙසකර බවකිනි. මගේ පපුවට දැඩි මහන්සියක් දැනිණි. සිතේ දුක, කළකිරීම, එක සේ වැඩෙන්නට විය. හඬන්නට වුවමනා වුවද මට එයටද ශක්තියක් නොමැති සේය. පූජිත සමඟ සිත හදාගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්නට සූදානම් වන විටම සිදු වූයේ කුමන පාපයක පටිසන් දීමක්ද…? දෛවයද සරදම් කරන්නේ අන්ත අසරණ වූ ජිවිත වලටමය.

    නිවස තුළ ගත කරන්නට තිබුණේ ඒකාකාරී ජීවිතයකි. මම අයියාට මුහුණ දීමට නොගියෙමි. ඔහු නිවසේ සිටින විට මම පිටතට හෝ නොගියෙමි. අක්කාව මෙන්ම මට ඔහුවද පිළිකුළකි. මේ අතර රාජකරුණා මිය ගිය පුවත අසන්නට ලැබුණේ රූපවාහිනි පුවත් මඟිනි. රාජ්‍ය උත්සවයකට සහභාගී වී පැමිණෙන අතරතුර බෝම්බ ප්‍රහාරයකින් ඔහුගේ රථය පුපුරා ගොස් තිබිණි.

    “ඔය මිනිහා නේද පූජිතට වෙඩි තිබ්බෙව්වා කියන්නේ චූටි දුව…?”

    අම්මා විමසුවේ මා තවමත් රූපවාහිනිය දෙස බලා සිටින විටය. අදහාගත නොහැකි පුවතින් මම සිටියේ සතුටින්ද නැතිනම් විශ්මයෙන්ද කියා මට සිතා ගන්නට නොහැකිය. සතුටක් නම් මා සිතට දැනුණේ නැත. මෙතෙක් කල් කරන ලද සියළු අපරාධ වලට නිසි දඬුවම නම් ලැබී ඇත. කර්මය නඩු අසන්නේ අපට වුවමනා වෙලාවට නොවේ.

    “ඔව්…”

    මම කෙටියෙන් පැවසුවෙමි.

    “ඕකට ඔහොම වෙලා මදි..කුඩු වෙලාම ගියානේ…”

    අම්මා කීවේ කෝපයෙනි.

    “ඔය මනුස්සයා ගමේ අයට හුඟක් උදව් කරලා තියනවා…”

    අයියා කතා කළේ හොඳය. සමහර නූගත් මිනිස්සුන්ට ඔහු දෙවියෙකු බඳු යැයි කියා මමද අසා තිබුණෙමි.

    “ගමේ උන්ට කරන්න එපැයි…ඌ බලයට ආවේ ගමේ උන් නිසානේ…අනික ඉතින් ගමේ උන්ට උදව් කළේ උගේ ගෙදරින් අරන් ආවා ඒවයින් නෙවේනේ…කාගේ සල්ලිද ඕවා…”

    උපහාසය මුසුව අම්මා කියන විට අයියා නිහඬ විය. මම නැඟිට කාමරයට පැමිණියේ පූජිත කෙරෙහි අලුතින් උපන් අනුකම්පාවෙන් යුතුවය.

    “එයා දැන් දිගටම ගෙදර ඉන්නවද අම්මේ…?”

    අයියා අසන හඬ ඇසී මම තිගැස්සී ගියෙමි. ඔහු කොයි යම් මොහොතක හෝ මෙය විමසන බව මම දැන සිටියෙමි.

    “ඇයි…ගෙදර නොඉඳ ඒ ළමයා කොහේ යන්නද…?”

    අම්මා ඇසුවේ කෝපයෙනි. මා සිත අසරණ විය. වරක් අක්කා මා නිවසින් පිටමං කළාය. දැන් මොහුත් සැරසෙන්නේ එයටද…?

    “එහේ ඉඩ කඩම් මෙයාට හම්බෙන්නේ නැති වෙයිද…?”

    අයියා ඇසුවේ මා සිතාවත් නොතිබූ පැනයකි.

    “මොන ඉඩකඩම්ද ළමයෝ…ඒ සේරම තියෙන්නේ මහ ගෑනිගේ නමට…පූජිතගේ නමට තිබුණා නම් චූටි දුවට අයිති වෙන්න තිබුණා…”

    අම්මා ඒ බව දැන ගත්තේ කෙසේද කියා මම පුදුම වූයෙමි. දිනක් පූජිත ඔය ගැන මා හා කතා බස් කර තිබිණි. ලොරිය මිලදී ගන්නට සිතා සිටියේ පහළ ඉඩමෙන් කොටසක් විකුණා දමා වුවද අම්මා ඊට අකමැත්ත පළ කළාය.

    “මම මැරිච්ච කාලෙක උඹ ඕන දෙයක් කරගනින්…ඕවට අත තියන්න එපා…මං තවම උඹට මේවා ලියලා නැහැ…”

    අම්මා ඒ මොහොතේ කීවාය.

    “ඔයා මැරෙනකල් බලන්න ඉන්න ගියොත් ඉතින් අපේ ජීවිතේ හොඳ කාලේ ගිහින් තියෙයි…මැරෙත්දි ඕකත් අරන් යන්නකෝ එහෙනම්…”

    ඒ මොහොතේ පූජිත කතා කළේ කෝපයෙනි.

    “ඉඩම ඔයාගේ නමට නෙවේද තියෙන්නේ…?”

    මම ඇසීමි.

    “නැහැනේ…අම්මාගේ නමටනේ…”

    “දැන් කොහොමද ලොරිය ගන්නේ…?”

    “බලමු…මං මොනවා හරි කරනවා…අම්මාටවත් බාල්දු වෙන්න යන මිනිහෙක් නෙවේ මම…”

    ඒ හඬේ වූයේ කළකිරීමකි. වැරදි දෙයකට මුදල් යොදවන්නට හැදුවා නම් එයට මා වුවද ඉඩ නොදීමට ඉඩ තිබිණි.

    “යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද…?”

    පූජිත සිනහසෙමින් කී හැටි සිහි වී සුසුමක් මා මුවින් ගිළිහිණි.

    “අම්මා කොහොමද ඔය විස්තර දන්නේ…?”

    අයියාගේ හඬේ මවිතයක් රැඳී ඇත.

    “ඔය හිටපු ටිකේ මං එයාගෙන්ම අහලා දැන ගත්තේ…”

    “හ්ම්ම්…කමක් නැහැ…හොද කෙනෙක් හොයලා අපි එයාව බන්දලා දෙමු…”

    අයියා කියනු ඇසී මා සිත කෝපයෙන් පුපුරු ගැසීය.

    “ඇයි…උඹේ මොළේ නරක් වෙලාද…? අර ළමයා නැති වෙලා මාස කීයද වුණේ…ආයෙමත් රට්ටු හිනස්සන්නද කල්පනාව…ඒ කෙල්ලට පාඩුවේ ඉන්න ඇරපන් චූටි පුතා…උඹලාට දැන් තමා හොඳ උන් හොයන්න මතක් වෙන්නේ…ඕක කරන්න තිබුණේ මීට කළින්නේ…දැන් මොකට කරදර වෙනවද…?”

    අම්මා කෝපයෙන් කෑ ගසන විට අයියා නිහඬ විය. සහෝදරයෝ යැයි කියා ගන්නා මොවුන් ගැන මා සිතේ වූ කළකිරීම නම් එන්න එන්නම වැඩි විය.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page