NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 64

Pini Muthu Palasa පිනි මුතු පලස – 64

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

මසිත නොඉවසිළිමත්ය. මෙතෙක් වෙලා සන්සුන්ව තිබූ සිත මත මහා කැළඹීමකි. චණ්ඩ කුණාටුවක් මා සිත වටා කැරකෙන්නාක් මෙනි. මට ඔහු සිටිනා තැනට දිව යා හැකි නම්….?

“අපි ගිහින් බලමුකෝ…”

මම ඇවිටිළි කළෙමි.

“පිස්සු හැදිලද මෝඩියේ…? දැන් පූජිත ආවොත් විනාශයි…අනික දැන් එතන්ට ගියොත් ඒ කොල්ලට සිංදුවත් පැටළෙයි මේකිව දැකලා…”

තරුෂි මට කිසිදු අනුබලයක් නොදී කීවේ තරවටුවක හඬිනි. මසිත මුරණ්ඩුය. මට ඔහු දැකීමට වුවමනාය. ඔහුට හොඳක් වේයැයි කියා මම ඔහුගේ ජීවිතයෙන් ඈත්වන්නට හදන විට අහම්බෙන් හෝ ඔහුවම මට මුණ ගස්වන්නේ මන්ද…? දෛවය මා සමඟ කරන සෙල්ලම තවම නවතා නැතිවාක් මෙනි. පූජිත පැමිණියත් ඔහු කිසිදු සැකයක් ඇති කර නොගනු ඇත. මා වරදක් කරනවා නොවේ. රජිව් සමඟ වචන කීපයක් කතා බහ කිරීම වරදක් වන්නේ කෙසේද…? ඇරත් මේ විවාහ මංගලෝත්සවයකි. පැමිණි අය සමඟ කතා බහ කිරීම යුතුකමකි. ගීතය අවසන්ව තවත් ගීතයක් ඇරඹෙන විට මා සිත වඩ වඩාත් නොඉවසිළිමත් විය.

සිතින් සිනාසිසී අතැඟිලි අල්ලලා…
එන්න යන්න මල් මාවතේ….

ඔහු ගයන්නේම මා ප්‍රිය කරන ගීතමය. තරුෂි මා දෙස බැලුවේ දෑස් උඩ රන්දාගෙනය.

“අනේ…මාර කටහඬක්නේ මංදි…මං නම් අහලම නැහැ රජිව් අයියා සිං කරනවා…”

ඇගේ හඬ මවිතයෙන් පිරී ඇත. ඇයත් ඔහුව අගය කරන විට සතුටක් දැනුනේ මා සිතටය. ගීත කීපයක් ගායනා කොට පසුව ගීත තැටියක් වාදනය වන්නට වූ මොහොතේ මම හුනස්නෙන් නැඟී සිටියේ තවත් බලා සිටින්නට නොහැකිවය. තරුෂි බියපත් දෑසින් වට පිට බැලුවාය.

“මොකද කරන්න යන්නේ ඔයා…?”

ඈ මගේ අතින් අදිමින් යළි මා අසුනේ හිඳවමින් රහසින් ඇසුවාය.

“රජිව් අයියාට කතා කරන්න…”

“මෝඩි…පිස්සු හැදිලද…?”

“පිස්සු හැදෙන්නේ මෙතන්ට වෙලා හිටියොත් තමා…ඔයා එනවද…මං යන්නද නැත්නම්…?”

වෙන කළ හැකි යමක් නොවූ නිසාවෙන්දෝ තරුෂි මා සමඟ එකතු වූවාය. අපි දෙදෙන ගායන කණ්ඩායම සිටි දෙසට ඇවිද ආවේ සොරකමක් කිරීමට සැරසෙන සොරුන් දෙදෙනෙකු ලෙස කියා මට සිතුණද එය හුදෙක් මගේ සිතය. කිසිවෙකුට අප ගැන විශේෂයක් දැනෙන්නට හේතුවක් නැත. වාදන කණ්ඩායම අසල රජිව් පෙනෙන්නට නොසිටියෙන් මම වට පිට බැලීමි. අඳුනන කිසිවෙකු හෝ ඔවුනතර නොවීය. තරුෂි මා දෙස බැලුවේ මා රැවටී ඇතැයි කියන්නාක් මෙන් බැල්මක් මුහුණේ රඳවාගෙනය. මා දෙසවන් මා රැවටීමට කෙසේවත් ඉඩක් නැත.

“වෙන කාට හරි රැවටිලා…පිස්සු නැතුව යමු…පූජිත ආවොත් දැන්…”

තරුෂි බියට පත්ව සිටියේ මෙහි ආරවුළක් ඇතිවනු ඇතැයි කියාය. එවන් බියක් නම් මා සිතේ නොවීය. පූජිත පැමිණ නැත. ඉතින් කුමකට බිය වන්නද..? අසල සිටින අයෙකුගෙන් රජිව් පිළිබඳව විමසන්නට නොහැකිය. මගේ දෙනෙත් ඔහුගේ රුව සොයමින් සතර අත දිව ගියේ මටද අවසඟවය.

“පූජිත ආවේ නැහැනේ තාම…මෙයා නිකන් බය වෙලා…එළියට ගියාද දන්නැහැ… ටිකක් ගිහින් බලමුද…?”

පහත් හඬින් මම කීවෙමි.

“හ්ම්ම්…අනේ මන්දා…යමන් යමන්…මැරුණත් අතාරින්න බැහැනේ… යාළුවා නිසා…”

තරුෂි මා සමඟ පිටතට ආවේ නොකැමැත්තෙනි. අරලිය ගස සෙවන යට වූ අසුන් පෙළක හිඳගෙන රජිව් තවත් තරුණයෙකු සමඟ කතාබහක යෙදී සිටියේ බීම වීදුරුවක්ද පානය කරමිනි. තරුෂි ඔහු දැක ඉක්මන් බැල්මක් මවෙත හෙළුවේ මවිතයෙන් මෙනි.

“ඔයා හරි…මම වැරදියි…මම හිතුවේ ඒ ඔයාගේ හිත කියලා…”

අප දෙදෙනම සෙමෙන් ඔහු වෙත පියවර තැබීමු.

“රජිව් අයියා…”

තරුෂි ඔහු අමතන විට ඔහු ගෙළ හරවා බලා විමතියට පත්ව අසුනින් නැඟී සිටියේ කළබලයෙනි. අනෙක් තරුණයා අප දෙස මාරුවෙන් මාරුවට බලනු මම නෙත් කොණින් දුටුවෙමි.

“මංදාකිණි…! ඔයා මෙහේ…?”

ඒ හඬේ පවා වූයේ මවිතයට පත් බවකි.

“අනේ…අනේ…රජිව් අයියේ…මේ මංදිගේ අයියාගේ වෙඩින් එකනේ…”

තරුෂි වහා කීවාය.

“ඕහ්…ඒකත් එහෙමද…කෝ ඔයාගේ…?”

ඔහු අසන්නට ගියේ පූජිත ගැන බව මට වැටහිණි.

“මං කලින්ම ආවා…පූජිතලා අද එනවා කිව්වා….තවම නම ආවේ නැහැ…”

රජිව් සමඟ සිටි අනෙක් තරුණයා නැඟිට ඉවත යන විට අපි තිදෙන එහි අසුන් ගතිමු.

“ඔයා හොඳින් ඉන්නවා නේද…?”

බොහෝ කාලයක සිට අසන්නට බලා සිටියාක් මෙන් ඔහු ඇසීය.

“හොඳින් ඉන්නවා රජිව් අයියේ…”

ඔහු මගෙන් තොරතුරු විමසුවේය. එදා පූජිත මා කැඳවාගෙන යන්නට ආදා පටන් මෙතෙක් සිදු වූ සියල්ල මම ඔහු හා කෙටියෙන් පැවසීමි.

“මට දැන ගන්න ඕන වුණේ ඔයා හොඳින් ඉන්නවද කියලා විතරයි…මං කීප සැරයක්ම ඒ පැත්තේ කැරකුණේ ඒ නිසා… තරූලත් ආවේ ඒ නිසා…”

මම ඒ බව අනුමාන කොට තිබුණෙමි.

“මම දන්නවා රජිව් අයියේ…”

පහත් හඬින් මම කීවෙමි. කළපුව සිප හා ආ සුළඟේ වූයේ සිසිලසකි. එක පෙළට වූ මලින් පිරි අරලිය ගස් පෙළ මා පාසල් අතීතයට ගෙන ගියේය. අරලිය ගස සෙවන යට හිඳ කතා බස් කළ දවස් කොතෙක් නම් තිබුණිද ! ගිළිහෙන්නට ගිය සුසුම මම මැඩගත්තේ ආයාසයෙනි. සුළඟට ගිලිහී වැටුණු අරලිය මලක් ඇහිඳ මම එය නාසයට ළං කළෙමි. එම සුවඳේ පවා වූයේ සිත් පහන් කරන බවකි.

“ඇඳුමට ගැළපෙනවා…ඕක කොණ්ඩේ ගහගන්න…”

ඔහු කියන විට මා සිතේ ඇති වූයේ සියුම් ලැජ්ජා මුසු හැඟීමකි. තරුෂි මා දෙස බලා ඇසක් ඉඟි මරමින් මා අතේ වූ අරලියා මල ගෙන වරළසේ රැඳවූවාය.

“ඔයා හොඳින් ඉන්නවා නම් මටත් ඕන එච්චරයි මංදාකිණි…කා ළඟ හරි…කොහේ හරි…”

මඳ වේලාවකට පසුව ඔහු කීවේය. මම හොඳින් කියා මුවින් කීවද මා සැබැවින්ම හොඳින් දැයි කියා මමවත් දැන නොසිටියෙමි. පූජිතගේ වෙනස් වීම පවා මට දරා ගන්නට නොහැකි සෙයකි. මම ඒ කිසිත් ඔහු හා පවසන්නට නොගියෙමි. ඔහුට අපෙන් සමුගන්නට සිදු වූයේ වාදන කණ්ඩායමේ අයෙකු පැමිණ ඔහුව කැඳවාගෙන ගිය බැවිනි. මාත් තරුෂිත් අපි පෙර සිටි අසුන් කරාම නැවත පැමිණෙන විට අම්මාද එහි සිටියාය.

“කෝ ළමයෝ මේ පූජිතලා…තාම නැහැනේ…මට හිතෙන්නේ එන එකක් නැහැ කියලා…මෙයාව කළින්ම එක්ක යන්න කියන්න ඇත්තේ නොඑන්න හිතාගෙන වෙන්නැති…”

අම්මා නොසතුටෙන් කීවාය. පූජිත එනවා කීවා නම් අනිවාර්යයෙන් පැමිණෙනු ඇත. ඔහු අලුතින් ඇඳුම්ද මිලදී ගත්තේ මෙහි ඒමටය. ඔහුට කමිසය පවා තෝරා දුන්නේ මාය. හදිසියේ රාජකරුණාවත් පැමිණ ඔහුව කැඳවාගෙන ගියාවත්ද කියා සැකයක් මා සිතේ ඇති විය.

“බෑණා පොඩ්ඩව කට්ටියට අඳුන්නලා දෙන්න බලාගෙනද හිටියේ…?”

මම ඇනුම්පදයක් එල්ල කළෙමි.

“ඔය කිව්වේ කතාවක්…මිනිස්සු අහයි කෝ ඔයාගේ මහත්තයා කියලා…”

“ඉතින් අහපුදෙන්…මං දෙන්නම් උත්තර…”

අම්මා නැඟිට ඉවත ගියේ මට රවමිනි. මම තරුෂි දෙස බලා මඳහසක් පෑවෙමි.

දහවල කෑම වේලාව වන තුරුවත් පූජිතවත් අම්මාවත් නොපැමිණියෝය. උත්සවය අවසානයේ මාත් තරුෂිත් ගොස් රජිව් ගෙන් සමුගතිමු. යළිත් අපි හමුවනු ඇතැයි කියා විශ්වාසයක් මා සිතේ නොවීය. මෙදිනද ඔහු හමු වූයේ අහඹුවෙනි. මා අකැමැත්තෙන් හෝ පැමිණීම ගැන සතුටක් මා සිතේ වූයේ ඔහු හමු වූ නිසාය. සමුගන්නට ළංවන මොහොතේ රජිව් මට කීවේ සතුටින් සිටින ලෙසය.

“ඔයා සතුටින් නම් ඉන්නේ…මටත් සතුටින් ඉන්න පුළුවන් වෙයි රජිව් අයියේ…”

“ඔයා නිසාවත් මම එහෙම ඉන්න උත්සාහ කරන්නම් මංදාකිණි…අහම්බෙන් හරි…අද මේ විදියට හමුවෙලා කතා කරන්න ලැබුණු එක සතුටක් වගේම…මං වාසනාවන්තයි කියලා මට හිතෙනවා…”

“මාත් හිතන්නේ එහෙම තමා…”

ඉතින් අපි එකිනෙකාගෙන් සමුගතිමු. වෑන් රථයට නැඟී කවුළුවෙන් පිටත බලන විට ඔහුද මා දෙස බලා සිටිනු මම දුටිමි.

“මොකද අම්මේ…අර මිනිස්සු නාවේ…?”

අක්කා නිවසට ගොඩ වූ සැණින් අම්මාගෙන් විමසුවේ පූජිතලා ගැනය. විඩාපත්ව සිටි මාත් තරුෂිත් දිගු සැටියේ හිඳ ගන්නා විට අම්මාද අප පසෙක හිඳ ගත්තාය.

“ඒකනේ…මාත් කල්පනා කළේ…”

අම්මාද කීවාය.

“මෙයා එන්න එපා කියලාද දන්නැහැ ආවේ…එනකොට…?”

අක්කා එයත් මගේ ගිණුමට බැර කිරීමට උත්සාහ කරන විට මා සිතේ කෝපයක් ඇති විය.

“ඇයි…තමුසේ හිතුවද මට මොළේ අමාරුව කියලා…”

මම කෑ ගැසීමි.

“මොකද බං මේ හැම එකටම නයි මුගටි වගේ මරා ගන්න යන්නේ…උඹලාට මොකද වෙලා තියෙන්නේ…?”

“මගෙන්ද අහන්නේ…වෙලා තියන දේ…? ඔයාගෙ ලොකු දෝණිට කියන්න කට වහන් ඉන්න කියලා…ගෙට ගොඩ වුණා විතරයි පව් පුරෝනවා…”

“හරි…හරි…අනේමන්දා මේ ළමයා…”

“මාත් ආපු එකයි වැරැද්ද…මටත් නෑවිත් ඉන්න තිබුණා…කොහෙද ඉතින් ආවානේ එක්ක යන්න…එහෙට වෙලා හිටියා නම් මේ මොකුත් අහගන්න වෙන්නෙ නැහැනේ…”

කතා බහ දුර දිග යාදෝයි සිතාදෝ තරුෂි මගේ අතින් අල්ලා ගත්තාය.

“උඹ පලයන්…ගෙදර…අර සුමිත් කන මදයා වගේ බීගෙන නේ හිටියේ…”

අක්කා පිටව ගියේ අම්මටද ගස්සාගෙනය.

“අනේ මන්දා මුන් එක්ක කොහොම ජීවත් වෙන්නද කියලා…”

“යනකල් ඉඳලා ඕවා කියන්නේ මට ඇහෙන්නද…? ඉන්නකොට කියන්න එපැයි…මම ඔයා එක්ක ජීවත් වුණේ නැහැනේ…”

“අනේ…අනේ…ළමයෝ..මට මොකුත් කියන්න නැහැනේ…”

“කියන එකක් කියාගන්න එකයි…මට ඇහෙන්නේ නැති වෙන්න…”

අසුනින් නැඟිට ගත් මම තරුෂිත් අතින් ඇදගෙන කාමරයට ආවෙමි.

“ඉවසන්න මංදි…”

තරුෂි කීවේ මා සන්සුන් කරන අදහසින් වන්නට ඇත.

“කොහේ ඉවසන්නද තරූ…මමද මේව පටන් ගත්තේ…? මගේ හිතේ තියන දුක දන්නේ මං විතරයි…මට නැති වුණු ජීවිතේ මට කවදාවත් ආයේ ලැබෙන්නේ නැහැ තරූ…මං හැම මොහොතකම මැරි මැරි ඉපදෙනවා…”

මම හැඬුවෙමි. තරුෂි කළේ නිහඬවම මා හිස අතහෑමය. මට නින්ද යන්නට ඇත. සීතල අතක පහසකින් මම තිගැස්සී අවදි වූයෙමි. තරුෂි දිය බේරෙන තෙත කොණ්ඩය පිසිමින් දිය බිඳක් මගේ මුහුණට ඉස්සාය.

“නැඟිටපිය කම්මැලිච්චි…හොඳ නින්ද…”

රාත්‍රී වී තිබූ බවක් මට දැනුණේ එවිටය. අලසකමින් මම ඇඟ මැලි කඩමින් නැඟිට යහන මත හිඳ ගතිමි.

“ඇඟ රිදෙනවා…”

“වැඩක් කරන්නෙත් නැතුව…?”

“උදේම ඇහැරිය නිසා වෙන්නැති…”

“හ්ම්ම්…ඇඟ ටිකක් සෝද ගත්තාම තෙහෙට්ටුව යයි…”

ඇඟ පත සෝදාගෙන පැමිණි මම සැහැල්ලු ගවුමක් හැඳ ගතිමි. අම්මා ඉඟුරු දමා තේ සාදා තිබුණාය. මංගල උත්සවයට සෑදූ කේක් කමින් අපි තේ බීවෙමු.

“යනකොට ගෙනියන්න මං කැවූම් කොකිස් ටිකක් අරන් තිබ්බා…ඔය දෙන්නටම…”

“හ්ම්ම්…”

අම්මා නැඟිට ඉවත ගියාය.

“මේ ඇත්තටම ඇයි බං පූජිතලා ආවේ නැත්තේ…?”

“අනේ මන්දා තරූ…එනවමයි කියලා කිව්වානේ…අඩුම තරමේ මාව එක්ක යන්න හරි එන්න එපැයි…”

ඔරලෝසුව දෙසට බැල්මක් හෙළමින් මම කීවෙමි. රාත්‍රී හතත් පසු වී තිබූ නිසා මේ මොහොතේ ඔහු පැමිණේවියැයි සිතීම නම් අපහසුය. ඒ මොහොතේම නිවස ඉදිරි පසම නැවතූ රථයක නලා හඬින් අපි තිදෙන මුහුණින් මුහුණ බලා ගතිමු.

“මනමාලයා දැන්ද කොහෙද ඇවිත් තියෙන්නේ…”

අම්මා උපහාසය මුසුව කියන විට මමද අසුනින් නැඟී සිටියෙමි.

“මංදාකිණි…”

ඒ නම් පූජිතගේ හඬ නොවූ මුත් ඒ හඬ මට හුරුපුරුදුය.

-හෙටත් හමුවෙමු-

Latest news

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි?

කොළඹට සහ ගම්පහට වතුර කැපුවේ ඇයි? කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලට ජලය බෙදාහරින අඹතලේ සහ කැලණි දකුණ ඉවුර ජල පවිත්‍රාගාරවල ජල...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළ යන ලකුණු එල්නිනෝ අනිටු බලපෑම් සහ මැද පෙරදිග අර්බුදය නිසාවෙන් සීනි, ලොකු ළූණු, ආනයනික...

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව

පොත්වලට බදු ගහන ආසියාවේ එකම රට ලංකාව මුද්‍රිත පොත් සඳහා පනවා ඇති බදු හේතුවෙන් වසර තුනකදී ගත් කතුවරුන් සියයට 50ත්...
- Advertisement -spot_img

ක්ලෝඩියාගේ සීයා

ක්ලෝඩියාගේ සීයා - The Funeral and the Feast ඇගේ සීයා මිය යෑමට දින තුනකට පෙර ක්ලෝඩියා සුදු ලේස් ඇඳුමකින් සැරසුණු...

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි

මේ වසරේ ඉන්ධන ආනයන වියදම් වැඩියි මෙම වසරේ පළමු භාගයේ ආනයනික ඉන්ධන වියදම පසුගිය 2025 කාලයට සාපේක්ෂ සැලකිය යුතු අගයකින්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you