NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 51

Pini Muthu Palasa පිනි මුතු පලස – 51

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස

ප්‍රේමා නැන්දා තේ සාදන්නට සූදානම් වූයේ නොකැමැත්තෙන් මෙනි. රජිව්ගේ නෑයින් මෙහි පැමිණියාට ඈ තුළ කිසිදු සතුටක් තිබෙන බවක් පෙනෙන්නට නැත. ඊටත් වඩා නොසතුටකුත් නොමනාපයකුත් මා සිතේ ඈ කෙරෙහි ඉපිද තිබිණි. මා මෙහි පැමිණියේ රජිව් විවාහ කරගන්නට නොවේ. එවන් යටි අරමුණක් මා සිතේ කොණකවත් නැත. මා කෙදිනක්වත් ඊට සුදුසු එකියකද නොවන්නෙමි. රජිව් සිය ඥාති සොයුරා කැඳවාගෙන ගෙතුළට යෑම මා සිතේ යම් අස්වැසිල්ලක් ඇති කළේය. සිතේ වූ නොමනාපයෙන් යුතුවම මම ප්‍රේමා නැන්දා වෙත හැරුණෙමි.

“ඇයි ප්‍රේමා නැන්දේ අර වගේ කතාවක් කිව්වේ…?”

කේතලයට වතුර පුරවමින්ම ඈ මවෙත හැරුණේ මවිතය අඟවමිනි.

“මොනවගේ කතාවක්ද නෝනේ…?”

ඈ ඇසුවේ මීට සුළු මොහොතකට පෙර ඈ කී කතාව අමතකව ගියාක් මෙනි.

“අනේ…අනේ…ප්‍රේමා නැන්දේ…දැන් අර දිමුතු මහත්තයාට කිව්වේ…රජිව් මහත්තයාව බඳින්න ඉන්නේ මම කියලා…”

ප්‍රේමා නැන්දා එවිට අතින් මුව වසාගෙන සිනහසෙන්නට වූයේ මම නොමනාපයෙන් බලා සිටින විටය. මට පිළිතුරක් දීමට පෙර ඈ කේතලය ලිප මත තබා ලිප දැල්වූවාය. මම කබඩය විවර කර පීරිසි කෝප්ප කට්ටලය පිටතට ගෙන එය සෝදන්නට සූදානම් වූයෙමි.

“මං ඒ කිව්වේ වැරදි දෙයක් නෙවේනේ නෝනා…”

“ඇයි වැරදි නැත්තේ…එයා ඒක ගිහින් අනික් අයටත් කියයි…මිස් මොනවා හිතයිද…? එතකොට ඉතින් සේරම ඉවරනේ…”

සිතේ ඇතිව තිබූ නොමනාපය මම එලෙසම පිට කළෙමි.

“ඉවර නැහැ…දැන් තමා සේරම පටන් ගන්නේ…ලොකු නෝනා මොකුත් හිතන්නේ නැහැ…ඔන්න බලන්නකෝ… මහ උන්දෑ රෙද්ද උස්සන් එන හැටි…අනික තමා මංදාකිණි නෝනා…”

ඈ රහසින් යමක් කීමට මෙන් මා අසළට ළංව පහත් හඬින් කතා කරන්නට වූවාය.

“ඔය දිමුතු මහත්තයා ඉන්නවා නේද…අමු කුකුළා…ගෑණු පේන්න බැහැ…මං හිතා මතාමයි නෝනා පුංචි මහත්තයාගේ බඳින්න ඉන්න කෙනා කිව්වේ…දැක්කේ නැත්ද නෝනා දිහා බලපු කෑදර බැල්ම… නාකි ගෑණියෙක් වුණත් මිනිහට කමක් නැහැ…තු:..”

ප්‍රේමා නැන්දා එසේ කියන විට නම් මසිත හිරි වැටී ගියේය. ඔහුගේ අමුතු බැල්ම මට මැවී පෙනෙන්නට විය. එසේ නම් ප්‍රේමා නැන්දා එසේ පැවසුවේ මා ආරක්ෂා කරන්නට සිතාය. සිතේ වූ නොමනාපය පහව මා සිතේ ඈ කෙරෙහි ඇති වූයේ සෙනෙහසකි.

“පුංචි මහත්තයා ආවේ තේ හදන්න කියන්න නෙවේ…ඔය දිමුතු මහත්තයා පිටි පස්සට ආව නිසා…එක්කරන් යන්න…දන්නවනෙ සතාගේ හැටි…”

ප්‍රේමා නැන්දා එසේ කීවේ පිළිකුල් හැඟීමකින් මෙනි. අපි එකතුව තේ සෑදුවෙමු. ප්‍රේමා නැන්දා බන්දේසියත් රැගෙන ගෙතුළට ගිය පසු මම දිගු බංකුව මත හිඳගෙන පිටතට නෙත් යොමා සිටියේ අරමුණකින් තොරවය. මීට සුළු නොහොතකට පෙර වැහි බරව අඳුරින් පිරී තිබූ අහස දැන් නීල වර්ණයෙන් බැබළෙමින් තිබුණේ පරිසරයේ වූ මඳ අඳුරු බව පළවා හරිමිනි. ප්‍රේමා නැන්දා පසුපස හදිසියේම මුළුතැන්ගෙයට කඩා වැදුණ කාන්තාව චිත්‍රා මිස්ගේ සොහොයුරිය යැයි මම අනුමාන කළෙමි. මට බංකුව මතින් නැඟිටුණේ ඉබේමය. ප්‍රේමා නැන්දා කීවා හරිය.ඈ “රෙද්ද උස්සාගෙන “පැමිණියාය. තැති ගැන්මක් මා සිතේ ඇති නොවූවා කියනවා නම් එය මුසාවකි. ඈ මා හිස සිට පාදාන්තය දක්වා හෙළුවේ අවඥා සහගත බැල්මකි. මා සිත දියවී වැගිරී යන බවක් මට දැනුණ මුත් මම ඍජු කරගත් හිසින් ඈ දෙස එක එල්ලේම බලා සිටියෙමි.

“රජිව් බඳින්න යනවා කියලා ආරංචියක් ආවා ප්‍රේමා…”

ඈ මා කෙරෙන් දෙනෙත් මුදවා නොගෙනම ප්‍රේමා නැන්දාට ඇසෙන්නට කීවාය.

“ආහ්…ඔව්නේ නෝනා…පුංචි මහත්තයාත් බඳින්න එපැයි ඉතින්…ලොකු නෝනාවත් මහත්තයාට තනියම බලන්න බැහැනේ…”

ප්‍රේමා නැන්දා කීවේ ඇඟට පතට නොදැනෙන ලෙසිනි.

“එහෙම ආවාට ගියාට මඟුලක් කරන්න පුළුවන්ද…කොහෙ කෙනෙක්ද…කාගේ කවුද කියලා හොයන්න එපැයි…”

මම ගිරයට හසු වූ පුවක් ගෙඩියක් සේ බලා සිටියෙමි.

“ඒවා පුංචි මහත්තයා හොයලා බලලා තියෙන්නේ…මේ ඉන්නේ ඒ නෝනා තමා…”

“හහ්!…කසාද බඳින්න කළින් ගෙටත් රිංගගෙනනේ…එහෙම ආවාට ගියාට අපේ එකාගේ කරේ එල්ලෙන්න දෙන්න බැහැනේ…”

“කරේ එල්ලෙන්න කූඩැල්ලෝ නෙවේනේ…අනික මේ නෝනා බඳින්න ඉන්නේ රජිව් මහත්තයාව මිසක්…දිමුතු මහත්තයාව නෙවෙයි…ඉතින් ඇයි මේ නෝනා දුම්මල වරම අතට ගත්තා වගේ ආවේස වෙලා…?”

ප්‍රේමා නැන්දාද අත්හරින පාටක් නැත.

“කාට කතා කරනවා කියලද හිතන් මට කතා කරන්නේ…වැඩකාරී ඉන්න ඕන වැඩකාරී විදියට…මුංව කණෙන් ඇදලා එළියට දාන්නයි තියෙන්නේ…”

“මේ නෝනා…මං වැඩකාරී තමයි…කතා කරන්නේ කාටද කියලා නොදැන කතා කරන්න මං තොත්ත බබෙකුත් නෙවේ…මාව කණෙන් ඇදලා එළියට දානකල් මං බලන් ඉඳියි…හරි නම් කණෙන් ඇදලා එළියට දාන්න ඕන මාව නෙවේ…ඔහේව…මේ වැඩකාරී තමා මොකෙක්වත් පැත්ත හැරිලා නොබලපු වෙලේ…නෝනාව බලා ගත්තේ…දැන් එනවා මෙතන රෙදි උස්සන් මාව එළවලා දාන්න…ඉළපත්ත අතට ගන්නයි තිබුණේ…”

ප්‍රේමා නැන්දා අසළට ළංවූ මම ඇගේ අතින් අල්ලාගෙන කීවේ ඇයට නිහඬ වන ලෙස මුත් ඈ මා තැකීමකුදු නොකළාය.

“මුංගේ රැස්…දෙන්නම ප්ලෑන් ගහන් වෙන්නැති මෙතන රජිව් රවට්ටන් කරේ එල්ලෙන්න හදන්නේ…දැන් ඉතින් අකුළන් යන එකයි…පොත්ත රතු වුණා කියලා…”

“ලොකු අම්මේ…”

ඇගේ කතාවට බාධා කරමින් උස්ව නැගුණු රජිව්ගේ හඬින් අපි සියල්ලෝ තිගැස්සී ගියෙමු.

“වැඩිමහල් කමට ගරු කරන නිසා මං මොකුත් කියන්නේ නැහැ…හැබැයි මෙතන්ට ඇවිත් මගේ අයට කෑගහන්න තමුන්ට අයිතියක් නැහැ…ප්‍රේමා නැන්දා වැඩකාරියක් නෙවේ…තමුන්ට දැන්ද අම්මා ගැන කැක්කුමක් ඇති වුණේ…මෙච්චරකල් අම්මාව බැලුවේ මේ දෙන්නා…අම්මා බලන්න ආවා නම් බැලුවා ගියා…ආයේ වෙන කතා අවශ්‍ය නැහැ…”

“අනේ…අනේ…ළමයෝ…ඔයාට මේවා තේරෙන්නේ නැහැ…පිට ඔපේට රැවටිලා ඔයා නිකන් අමාරුවේ වැටෙන්න යනවා…පිට මිනිස්සුන්ට මේවා අයිතිකරගන්න ඇරලා අපිට නිකන් බලන් ඉන්න පුළුවන්ද…?”

ඇගේ යටි අරමුණ කුමක්දැයි මට මනාව වැටහුණේ මේ මොහොතේය.

“දැන් එතකොට මේ කැක්කුම ඒකයි…මේවා මගේ තාත්තා අම්මා දුක් මහන්සියෙන් හම්බ කරපු ඒවා…ඒ ගැන බලාගන්න මං ඉන්නවා…ඔයාලා කරදර වෙන්න ඕන නැහැ…”

“පුතාට ඕවා තේරෙන්නෙ නැහැ පුතේ….මං මේ කියන්නේ නංගිත් අසනීපෙන් ඉන්න වෙලේ…මේ අහිකුණ්ඨකයෝ ගෙවල් අස්සේ දාන්…”

“ලොකු අම්මේ…ඇති…”

එවර රජිව් කෑ ගැසුවේ මා කවරදාකවත් දැක නැති තරම් කෝපයට පත් වූ හඬකිනි. ඔහුගේ මුහුණ කෝපයෙන් රතු වී ඇති සැටි දුටු මම පුදුම වූයෙමි.

“මොකද මේ…නංගී අසනීප වෙලා හිටියා විතරයි…මැරුණේ නැහැ…”

චිත්‍රා මිස්ද එහි පැමිණ ඇති බව අප දුටුවේ එවිටය. ඇයද කතා කළේ කෝපයට පත් හඬකිනි. කේන්ති ගැනීම ඇයට සුදුසු නැත. මම වහා ඈ වෙත ළංවූයේ ඇගේ අසනීප තත්වය මත ඇයව නොසන්සුන් කරවන දේ වලින් ඈත් කර තබන්නැයි වෛද්‍යවරුන් පවසා තිබූ නිසාවෙනි.

“මිස්…අනේ මිස් කලබල නොවී ඉන්නකෝ…”

“ඉන්න ළමයෝ…මං මෙයාට මතක් කරලා දෙන්නම්…මෙච්චරකල් මෙහෙ නාපු අය දැන් ආවේ මං මැරිලා කියලා හිතන්ද…මං තාම ජීවතුන් අතර ඉන්නේ මේ කෙල්ලටයි, ප්‍රේමාටයි පින් සිද්ධ වෙන්න…කැත කුණු අතගාලා මාව බලා ගත්තේ මේ දෙන්නා…තමුන්ට පුදුම ඇති නේද මං මෙහෙම කතා කරනවා ඇහෙත්දී…මං කට වහන් හිටියේ කතා කරන්න බැරිව නෙවේ…අහිකුණ්ඨකයෝ මෙතන නැහැ…ඔයාලා ඊට වඩා පහත්…ආපු අතක් බලන් යනවා… ආයේ ඔය ගඳ ගහන මූණු මට පෙන්නන්න නම් මෙහෙ එන්න එපා…”

“ම්…ම…මම්…”

චිත්‍රා මිස් අත දිගු කර සොයුරිය කීමට ගිය දේ වළකාලුවාය. ඇගේ සොහොයුරියට ලැජ්ජාවක් ඇති වූවාදැයි කියා මම නොදනිමි. ඈ අපට රවමින් පිටව යන විට රජිව්ද ඈ පසුපස ගෙතුළට ගියේය.

“මාව එළියට එක්ක යන්න ළමයෝ…”

චිත්‍රා මිස් මට කීවාය. මම රෝද පුටුව තල්ලු කරගෙන මිදුලට ආවෙමි. මීයට පිම්බාක් මෙන් පරිසරය නිහඬය.

“මෙච්චර කාලෙකට නාපු එවුන් දැන් එනවා…”

චිත්‍රා මිස් කතා කළේ තවමත් පහව නොගිය කෝපයකිනි.

“මිස් ඕක අමතක කරලා දාන්න…කල්පනා කරලා මිස් ආයේම අසනීප වෙයි…”

“මුන්ට ඕන මොකුත් නෙවේ…මං කළින් උන්නා වගේ හැමදාම ඇඳට වැටිලා ඉන්නවා දකින්නයි…හිටියාට වඩා මං හොඳින් ඉන්නවා කියලා දකිනකොට ගෑණිගේ ඇස් උඩ ගියා…මට ලජ්ජයි මගේ සහෝදරී කියන්නත්…”

ඇයට කතා කරන්නට ඉඩ හැර මම නිහඬව සිටියෙමි. සිතේ ඇති කෝපය ඉන් සමනය වනු ඇතැයි කියා මම සිතුවෙමි.
——————————————————————————————————
කමල්ගේ තාත්තා මියගොස් තෙවසරක් පිරීම නිමිත්තෙන් සිදුකරන දානමය කටයුත්තට සහය වන පිණිස රජිව් එහි ගොස් සිටියේය. තරුෂිගේ නිවැසියනුත් එහි සහභාගී වන බවක් ඈ මෙහි පැමිණි මොහොතේ මා සමඟ කීවාය.

“ඔයත් යමුකෝ…අපිත් ඉන්නවනෙ…”

ඈ මටත් ඇරයුම් කළද චිත්‍රා මිස් තනිවම දමා යන්නට නොහැකි සේම රජිව් සමඟ එහි යෑමට මා තුළ කැමැත්තක්ද නොවුණේ කටකතාවක් පැතිර යනු ඇතැයි කියා සිතුණු බැවිනි. ඇරත් මා දන්නා හඳුනන කිසිවෙකු මා දැක නිවසට හෝ දැන්වුවහොත් කියන බිය මා සිතේ තවමත් එලෙසමය.

“පුතා නැතුව පාළුයි…”

චිත්‍රා මිස් මා සමඟ කීවාය. ඔහු නැති පාළුව නම් මා සිතටද දැනිණි. සැමියා නැති අඩුවත් පාළුවත් ඇයට තදින්ම දැනෙනවා වන්නට ඇත.

“පහුගිය කාලේ ඇඳටම වෙලා ඉන්නකොට මට හිතුණෙම මං මැරිලා ගියා නම් හොඳයි කියලා…ඒත් මට දුකක් දැනුණේ මගේ දරුවා තනි වෙයි කියලා…”

“දෙවි පිහිටෙන් දැන් මිස්ට සනීපයිනෙ…”

“හ්ම්ම්…වැරදීමකින් හරි…ඔයාත් මෙහෙ නාවා නම්…මං තාමත් ලෙඩ ඇඳේ…”

මගේ සුරත දැඩිව අල්ලාගත් ඈ කීවේ දිගු හුස්මක් පිට කරමිනි. දහවල ආහාරයෙන් පසු චිත්‍රා මිස් කෙටි නින්දකට පිවිසියාය. ප්‍රේමා නැන්දාගේ කොන්ද අමාරුවද තවම සුව වී නැත. මම වේදනා නාශකය ආලේප කර ඇයට විවේක ගැනීමට කීවෙමි.

“නෝනෙට පින්…”

“ප්‍රේමා නැන්දා ටිකක් නිදා ගන්න…මං කඩේට දුවලා එන්නම්…මගේ ෂැම්පූ එක ඉවර වෙලා…”

“නෝනේ…ඉන්න…මං ගිහින් එන්නම්…”

“පිස්සු නැතුව ප්‍රේමා නැන්දා නිදා ගන්න…මං ඉක්මනට දුවලා එන්නම්…”

“පුංචි මහත්තයා මට බනීවි…නෝනාව තනියම කඩේ යැව්වා කියලා…”

“ඒකට මොකද…ප්‍රේමා නැන්දගේ පුංචි මහත්තයානේ…චුට්ටක් බනීවි…”

සිනහසෙමින් කී මම විගස පාරට දිව ආවෙමි. කඩය තිබුණේ මීටර සීයයක පමණ දුරකිනි. අවශ්‍ය දේ මිලදී ගෙන මම ඉක්මනින් යළි පාර දිගේ එමින් සිටියෙමි. මට පිටුපසින් එන රථයක හඬ නිසා මම පාරේ අයිනටම වී එයට ඉඩ දුනිමි. එය මා අසලම නවතන විට මම පසෙකට පැන්නෙමි. කකුල කළු ගලක වැදී මා ඇද වැටෙන්නට ගොස් බේරුණේ වාසනාවටය. රථයේ සිටි අය දැක මම බියෙන් තැති ගතිමි.

-හෙටත් හමුවෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you