Pini Muthu Palasa පිනි මුතු පලස
පරිසරය නිහඬය. ඉඳහිට කුරුල්ලෙකුගේ මිහිරි නදින් මිස එම නිහඬ බවට බාධාවක් වන කිසිවක් නැත. මාත් ප්‍රේමා නැන්දාත් එකතුව වතුර රත් කොට චිත්‍රා මිස් නෑව්වෙමු. පිටතට ගිය රජිව් යළි පැමිණියේ මම ප්‍රේමා සෑදූ සූපය චිත්‍රා මිස්ට පොවා අවසන් වන විටම වාගේය. ඔහු කොණ්ඩය කෙටිව කපා තිබූ බව දැක මම තිගැස්සී ගියෙමි.
“පුංචි මහත්‍තයා කොණ්ඩේ කපලා…ෂා! එහෙම තමා පුංචි මහත්තයාට ලස්සන…”
ප්‍රේමා නැන්දා එසේ කියමින් රෝද පුටුවත් තල්ලු කොට ගෙන ඉදිරිපසට ගියාය. මාත් රජිව්ත් මඳකට එහි රැඳී සිටියේ කතා කරගත්තාක් මෙනි.
“ඇයි හදිසියේම කොණ්ඩේ කැපුවේ…?”
මම අසන විට එක්වරම පිළිතුරක් නොදුන් රජිව් දඟකාර සිනහවක් පෑවේය.
“ඔයා කිව්වේ…ඉස්සර තිබුණා වගේ හොඳයි කියලා…ඒ නිසා කැපුවා…”
එවිට ලැජ්ජා සිතුණේ මටය. මා කියන දෙයකින් පවා ඔහුගේ සිතට බලපෑමක් කළ හැකි යැයි සිතන විට මසිත සියුම් සතුටකින් ඉපිළුණු බව කීමට මම මැළි නොවෙමි.
“ඒක නෙවේ…මං ඔයාට ඇඳුම් දෙක තුනක් ගෙනාවා…ගිහින් බලන්න හොඳද කියලා…නැත්නම් ගිහින් ප්‍රේමා නැන්දා එක්ක මාරු කරන් එන්න…මං ත්‍රී වීල් එකක් කතා කරන්නම්…අපි දෙන්නට යන්න බැහැනේ…”
රජිව් එසේ කියා පිය මනින විට මමද ඔහු පසු පස කාමරයට පැමිණියෙමි. යහන මත වූ රෙදිපිළි සහිත ඇඳුම් බෑග කීපය දැක මම පුදුම වූයෙමි. මම ඒ සියල්ල පිටතට ගෙන යහන මත දිග හැරියෙමි.සාය හැට්ට මෙන්ම ගැහැනු යට ඇඳුම් කීපයද දකින විට මසිත ලැජ්ජා මුසු හැඟීමකින් හිරි වැටී ගියේය. ඊට අමතරව සනීපාරක්ෂක තුවාද එහි විය. ඔහු සියල්ල සිතා බලා කටයුතු කොට ඇත. ඇඳුම් එකිනෙක මම හැඳ බැලීමි. පුදුමය..! ඒ සියල්ල මාගේ මිම්මට මැසූ ඒවා මෙන් ගානටම තිබිණි. සියුම් දුකකුත් සතුටකුත් මා සිතේ එක ලෙසම පෙරළි කළේය. මා අලුත් ඇඳුමක් හැඳ බැලුවේ කලකිනි. පූජිත ගියවර අලුත් අවුරුද්දට ගෙනවිත් දුන් සායත් හැට්ටයත් හැරුණු කොට මා අලුත් ඇඳුමක් නොඇන්ද තරම්ය. ඒ හැට්ටයත් තරමක් ලොකු නිසා මල්ලිකා නැන්දාට කියා සාදා ගන්නට සිදු විය. මා විවාහ වූ දින ඇඳි මංගල සාරිය පවා කුලියට ගත්තකි. මා පූජිතගේ නිවසට ගිය දාද රැගෙන ගියේ පරණ ගවුම් කඩමාලු කීපයකි. අම්මා එවූ මුදලින් කියා අක්කා මට අලුත් ඇඳුමක් ගෙනවිත් දුන් කාලයක් මට මතක නැත. වැඩි හරියක් මම හැන්දේ ඇගේ ඇඳුම්ය. අම්මා එවූ මුදල්ද වැඩි හරියක් පරිහරණය කළේත් ඇයමය. එසේ තිබියදීත් මා නිවසින් පිටමං කරන්නට ඇයට වුවමනා විය. ශෝකයක් මා වෙළා ගන්නා විට සුසුමක් මුදා හරිමින් මම ඇඳුම් ටික නවා යහනේ පසෙක තබා පිටතට ආවෙමි. ප්‍රේමා නැන්දා චිත්‍රා මිස්ගේ තෙල් සාත්තුව අරඹා තිබූ අතර මමද එය අවසන් වන තුරු එහි රැඳී සිටියෙමි.
“හරි වැඩේ වුණේ නෝනේ මේ පවුලට…”
ප්‍රේමා නැන්දා ගෙළ හරවා මදෙස බලමින් කීවේ ශෝකී හඬකිනි.
“අසරණ මහත්තයා…”
ඈ පහත් හඬින් කීවේ මට පමණක් ඇසෙන ලෙසෙනි. එවන් දෙයක් ඇසුණෝතින් චිත්‍රා මිස්ගේ සිත අලුතින් පෑරෙනු ඇත. පරිසරයේ නිහඬ බව බිඳිමින් පොල්කිච්චෙකුගේ මිහිරි නද ගලා ආවේය. මෙහි පරිසරය කෙතරම් නිහඬද.! විසල් පොල් වත්ත මැද නිවස තනා තිබූ නිසාදෝ අවට මිනිසුන්ගේද හඬක් හෝ බාධාවක් නැත. මම මේ නිහඬ බවට ආශා කළෙමි. එය සිත සන්සුන් කරවයි.
“ජීවිතේ සිද්ධ වෙන්නේ අපි හිතන පතන දේවල් නෙවේ ප්‍රේමා නැන්දේ…”
චිත්‍රා මිස්ගේ උකුළ මත වූ පනාව ගෙන මම සෙමෙන් ඇගේ හිස පීරුවෙමි. රෝද පුටුව මත ඈ හිඳගෙන සිටියේ දෙනෙත් පියාගෙනය. ඇයට නින්ද ගොසින් යැයි කියා මම සිතුවෙමි. තෙල් සාත්තුව අවසන් කළ ප්‍රේමා නැන්දා නැඟී සිටියේ කොන්දට අත තබාගෙන අපහසුවෙනි. ඇයටද දැන් වෙහෙස මහන්සි වී වැඩක් පළක් කර ගැනීමට අපහසු මෙනි.
“එක දිගට ඉඳන් ඉඳලා නැගිටින කොට මගේ කොන්ද රිදෙනවා නෝනා…හිටගෙන නම් ඕන වැඩක් කරන්න පුළුවන්.”
“බෙහෙත් ටිකක් ගත්තේ නැත්ද…?”
“පුංචි මහත්තයා එක්ක ගිහින් බෙහෙත් ටිකක් ගෙනාවා…ඔව්වා ඉතින් බොනකල් හොඳයි…ඕං ඊට පස්සේ ආයේම හැදෙනවා…”
“ම්ම්ම්…මීට පස්සේ මං මිස්ගේ තෙල් ටික ගාන්නම්කෝ ප්‍රේමා නැන්දේ…මහත්තයාට කියලා කොන්දට ගාන්න බාම් එකක් ගෙන්න ගමු…”
“අනේ…ගෙනාපු එකක් තියනවා…ඒක මට තනියම ගා ගන්නනේ අමාරු…”
“මං ගාන්නම්කෝ…”
“අනේ…එහෙම හොඳ නැහැනේ…”
“මොකක්ද නොහොඳ…? නොගා කොහොමද ලෙඩ හොඳ වෙන්නේ…?”
“අනේ…නෝනෙට පින් සිද්ධ වෙච්චාවෙ…”
පිටුපස දොරින් බට රජිව්ද අප අසළට පැමිණියේය.
“තෙල් ගාලා ඉවරද ප්‍රේමා නැන්දේ…?”
“ඔව්…පුංචි මහත්තයෝ…දැන් මේ ඉවර වුණේ…මං අත් දෙක සෝදගෙන එන්නම්කෝ…”
ප්‍රේමා නැන්දා ඉවතට ගියේ එසේ කියමිනි.
“රජිව් අයියේ…”
මම ඔහු අමතන විට ඔහු මවෙත හැරුණේය.
“මිස්ට බත් වගේ ඒව දෙන්න බැරිද…?”
අසන්නට සිතා සිටි පැනයක් මම ඔහුගෙන් ඇසීමි.
“අම්මට හපලා කන්න අමාරුයිනේ…”
“එහෙම කියලා කැඳ විතරක් දිදී ඉඳලා හරියන්නේ නැහැනේ…මේ විදියට ගියොත් හොඳ වෙන්න සෑහෙන කාලයක් යයි…ඇඟත් හොඳටම කෙට්ටු වෙලා ඇත්තේ ඒකනේ…අනික මෙහෙම නිකන් තියලා හරියන්නේ නැහැනේ…ව්‍යායාම් ටිකවත් කරවන්න ඕනනේ…අපි බත් දෙන්න පටන් ගමු…බ්ලෙන්ඩර් කරලා දුන්නාම හරිනේ…”
“එහෙම තමා දුන්නේ…ඒත් එයා අප්පිරියා කරනවා…”
“මං දෙන්නම්කෝ…අනික මිස්ට සැරෙන් සැරේ බඩගිනි එනවා ඇති…කැඳම බොන්නත් බැහැනේ හැමදාම…අනික ඒවා ඇඟට අල්ලන්නේ නැහැනේ…”
“ඒක නම් ඇත්ත…”
“මං මිස්ව බලාගන්නද…?”
ඔහු මා දෙස බලා සිටියේ දෑසේ වූ අමුතු දිලිසීමකින්ද යුතුව යැයි කියා මට සිතිණි.
“ඔයා ආව එක හොඳයි කියලා මට හිතෙනවා…මට ඕවා කරන්න ලොකු දැනුමකුත් නැහැනේ…පුළුවන් දේවල් අපි එකතු වෙලා කළා…”
“දැන් කරදර වෙන්න එපා එහෙනම්…”
රෝද පුටුව තල්ලු කරගෙන අපි මිදුල දිගේ ඉදිරිපසට පැමිණියෙමු. මල් පෝච්චිවල වූ මල් පැළ සියල්ලම වාගේ කිසිදු සාත්තුවක් නැති නිසාදෝ වල් බිහිවී කේඩෑරි වී ගොසිණි. හෙට දින ඒවායේ අතු ඉති කපා දමා වල් පැල උදුරා දැමිය යුතුයැයි කියා මම සිතා ගතිමි. චිත්‍රා මිස් සිය ප්‍රාණවත් අත මඳක් සොළවමින් කුමක් හෝ කියන්නට තැත් දරන බවක් පෙනී මම ඒ බව රජිව්ට පෙන්වූයෙමි.
“අම්මට ගෙට යන්න ඕන වෙලා…දැන් ගොඩක් වෙලා එක විදියට හිටියනේ…මං එක්ක යන්නම්…”
ඔහු චිත්‍රා මිස් ගෙතුළට කැඳවා ගෙන යන අතරේ මම මිදුල පුරා සක්මනක යෙදුණෙමි. සුළු මොහොතකට පසු රජිව්ද එහි පැමිණියේය.
“සක්මන් භාවනාවද…?”
මුවේ ඇඳුණු මඳහසකින් යුතුව ඔහු අසන විට මා මුවටද සිනහවක් නැඟිණි.
“භාවනා කරන්න තරම් මගේ හිත එකළස් නැහැ…”
මම කීවෙමි.
“හ්ම්ම්…ඕවා ගැන වැඩිය හිතන්න එපා…”
මම එයට එකඟව හිස සැළීමි.
“ඇඳුම් ටික ඇඳලා බැලුවද…?”
ඔහු යළිත් විමසුවේය.
“අනේ…ඔව් රජිව් අයියේ…ගානට තියනවා…ඔයාට ගොඩක් පින්…”
දෑසට කඳුළු එකතු වේයැයි මම බිය වුණෙමි.
“පින් මොකටද…?”
ඔහු සිනහසෙමින් ඇසුවේය.
“පින් දීලා මදි…කොහොමද ගෑණු ළමයින්ගේ ඇඳුම් තෝරන්න පුරුදු වුණේ…?”
“පුරුද්දක් නම් තිබුණේ නැහැ…ලස්සනයි කියලා හිතුණ ඒවා අරන් ආවා…”
“කොහොම වුණත් ඒවා ලස්සනයි…ගොඩක් ස්තූතියි…”
“ඔයා ආස නම් එච්චරයි…”
ප්‍රේමා නැන්දා රජිව් ඇමතුවේ දුරකථන ඇමතුමක් බව කීමටය. ඔහු ගෙතුළට දිව යන විට මමද මිදුල දිගේ විත් පිටුපස දොරින් ගෙතුළට ආවෙමි. ප්‍රේමා නැන්දා දහවල් ආහාර සැකසීමට සූදානම් වෙමින් සිටි නිසා මමද ඇයට සහාය වීමි.
“මංදාකිණි නෝනා මෙහෙ ආව එක හොඳයි…පුංචි මහත්තයා දැන් ටිකක් හිනා වෙලා ඉන්නවා…පව් අහිංසකයා…අපේ පුංචි මහත්තයාට ගැළපෙන්නේ මංදාකිණි නෝනා වගේ කෙනෙක්…”
ඇගේ කතාවෙන් මා තුළ තිගැස්මක් ඇති විය. ප්‍රේමා නැන්දා මේ කුමක් කියනවාද..? මට කිසිත් කීමට ඉඩ නොතබාම ඈ දිගටම කියවන් ගියාය.
“බලන්නකෝ… කොණ්ඩෙත් කොටට කැපුවා නෝනා ආව ගමන්…අපි කොච්චර කිව්වද ඔය කොණ්ඩේ ගැළපෙන්නේ නැහැ කියලා…මං ඇහුවා නෝනා කිව්ව නිසා නේද කොණ්ඩේ කැපුවේ කියලා… හිනාවෙලා යන්න ගියා…”
ලැජ්ජා මුසු හැඟීමක් මා සිතේ ඇති විය. මම නිහඬව සිටියෙමි. ප්‍රේමා නැන්දා කලකින් කිසිවෙකු හා කතා බහට අවස්ථාවක් ලැබුණ නිසාදෝ සිතේ වූ සියල්ල මා සමඟ පවසන්නට වූවාය.
“රුවින්දි නෝනව මේ පවුලට ගැළපෙන්නේ නැහැ කියලා මං ඒ කාලේ ඉඳන්ම කිව්වා… පුහු ආටෝපෙයි…බොරු සෝබනෙයි විතරක් ගෑණු ළමයෙක්ට තිබිලා වැඩක් නැහැ…ගුණවත් කමක් සංවර කමක් තියෙන්න ඕන…මේ ගෙදරට ආවා ගියා වුණාට මං නම් හොඳ සෝදිසියෙන් ඇහැ ගහන් හිටියේ…අපේ පුංචි මහත්තයා හොඳ නිසා හොඳයි…අන්තිමට මදෑ වෙච්ච දේ…”
ප්‍රේමා නැන්දාද එසේ නම් රුවින්දි ගැන මුල පටන් දැන සිටින්නට ඇත.
“අපේ පුංචි මහත්තයා ඒ කාලේ යාළු වෙලා හිටියේ මංදාකිණි නෝනා එක්කනේ…ඕක දැනගෙන මේ ගෙදර ඉතින් ලොකු නෝනා කෙන්ද කන්ද කරන් දැඟළුවේ…පුංචි මහත්තයා තරහා වෙලා ගෙදරිනුත් ගිහින් හිටියානේ…අපේ ලොකු මහත්තයා කියලා…කියලා ගෙන්න ගත්තේ…ඔන්න හැබැයි ලොකු නෝනා ඊට පස්සෙ වචනයක් කතා කළේ නැහැ ඒ ගැන…පුංචි මහත්තයා ආයෙමත් ගෙදරින් යයි කියලා බය වුණා…ඒ ටිකේ ඉතින් ලොකු නෝනත් හරිම හිතේ අමාරුවෙන් නේ උන්නේ… මොනව වුණත් එකම දරුවනේ…පුංචි මහත්තයා ඉස්සර ඉඳන් ඉතින් මට මේ හැමදේම කියනවා…මං ඒකයි මේ හැමදේම දන්නේ…අපේ ලොකු නෝනට වුවමනාව තිබ්බේම රුවින්දි නෝනාව පුංචි මහත්තයාට බන්දලා දෙන්න ඕන කියලාමයි…හොඳ වෙලාවට ඊට කළින් මේ සිද්ධ වුණු දේවල් වුණේ…නැත්නම් අපේ මහත්තයාගේ ජීවිතේ විනාශ වෙන්න තිබ්බා…අන්තිමේදි මහ මිනිස්සුන්ටත් නින්දාවයි ලැජ්ජාවයි…රටේ ඉන්නත් බැරි වුණානේ…”
ප්‍රේමා නැන්දා එසේ කියා නිහඬ වූවාය. මමද නිහඬව සිටියේ මේ කිසිත් කතා කිරීමට මට අයිතියක් නොවූ නිසාය. මා නොදැන සිටි සමහර දේවල් ඇගෙන් දැන ගන්නට ලැබීමෙන් මා සිතේ රජිව් කෙරෙහි වූ ගෞරවය මුසු හැඟීම වැඩි වූවා යැයි කියා මට සිතේ.
“පුංචි මහත්තයාට දවසට තුන් හතර පාරක් තේ බොන්න ඕන…”
ප්‍රේමා නැන්දා උතුරන කේතලය ළිප මතින් ගිනිමින් කීවාය.
“මං හදන්නද…?”
පොල් ගෙඩිය ගා අවසන මම ඇසුවෙමි. ප්‍රේමා නැන්දා එයට නිහඬවම හිස සළන විට මම තේ සාදාගෙන රජිව් සොයා ආලින්දයට පැමිණියෙමි. අසුනක ගිළී ගත් ඔහු සිටියේ දිගු කල්පනාවක මෙනි. මා එනු දැනීදෝ ඔහු හරි බරි ගැහී එහි හිඳ ගත්තේය. තේ කෝප්පය ඔහුට පිළිගන්වා මම ඔහු ඉදිරියේ වූ අසුනේ හිඳ ගත්තේ ඔහුගේ ඉඟි කිරීමටය.
“ඔයා ලොකු කල්පනාවක් නේ හිටියේ…?”
මම ඇසීමි.
“ඔව්…මාරවිල වත්තේ මුරකාරයා කතා කළේ…හෙට අනිද්දා ආයෙම පොල් කඩන්න තියන නිසා ඇවිත් යන්නලු…”
“මිස්ව ආයේමත් කවද්ද ආපහු ඩොක්ටර්ට පෙන්නන්න ගෙනියන්නේ…”
“මේ සතියේ යන්න ඕන…”
“එතකොට මාරවිල යන්නේ….?”
“අම්මාව පෙන්නලා ඇවිත් තමා යන්න ඕන…”
“මාත් මෙහෙ ඇවිත් ඔයාට අමතර කරදරයක් වුණා නේද…?”
“මං ඔයාට කලිනුත් කිව්වනේ මංදාකිණි…මට ඔයාව කරදරයක් නෙවේ…”
“ඒත් රජිව් අයියේ…මම මෙහේ ඉන්න එක ඔයාට ප්‍රශ්නයක් වෙයි නේද…? ඔයාගේ නෑයෝ…යාළුවෝ….ගමේ අය වුණත්…”
ඔහු උපහාසය රැඳි සිනහවකින් මදෙස බලා සිටියේය.
“ගමේ අයව පැත්තකින් තියමුකෝ…ඔය නෑයෝ ගැන නම් කතා කරන්න එපා…තාත්තා නැති වුණා විතරයි…උං බැලුවේ මේ තියන දේවල් කොල්ල කා ගන්න…අම්මාගේ අසනීපෙන් අයුතු ප්‍රයෝජන් ගන්න…මළ ගෙදරට ඇවිත් උං ඉරට්ටේ ඉඳන් සුද්ද කරගෙන ගිහින් තියෙන්නේ…උන්ට නෑයෝ නෙවේ වේයෝ කියන්න ඕන…මට ඕවා බලන්න සිහියක් තිබුණේ නැහැ…යාළුවො ටික හිටියට උන්ට පුළුවන්ද පවුලේ දේවලට මැදිහත් වෙන්න…ප්‍රේමා නැන්දා කියලා මොනව කරන්නද…පව් ඒ මනුස්සයා…උදේ හවා මැරුණා…අම්මට හම්බ වුණ සල්ලි වලට මොනව වුණාද දන්නේ නැහැ…අන්තිමේදි බලත්දී අම්මාගේ අල්මාරියේ තිබුණු රත්තරන් බඩුත් නැහැ…මේව පිට මිනිස්සු කරපුවා නෙවේ…අම්මාගෙම උන් කරපුවා තමා…අම්මා අසනීප වුණු වෙලේ බෙහෙත් කරන්න සල්ලි හොයන්න මං රත්තරන් බඩු ටික උකස් කරන්න බලනකොටයි දන්නේ ඒවා නැහැ කියලා…ඒ වෙලේ මං අසරණ වුණු තරමක්…”
ඔහු නිහඬ විය. ඒ සිතේ මොන තරම් වේදනාවක් ඇතිදැයි කියා සිතා ගැනීමට මට අපහසු නොවිණි.