Pini Muthu Palasa පිනි මුතු පලස
මඟ දිගටම එක දිගට වැසි ඇද හැළෙනු ඇතැයි මා සිතුවද පුත්තලමට එන විට වැස්සක ලකුණකුත් නොවීය.
“මෙහෙට ටිකක් වත් වැහැලා නැහැනේ නෝනා…”
ත්‍රී රෝද රථයේ රියදුරා කීය.
“ඒකනේ අංකල්…”
කිසිවක් කිවයුතු නිසා මම කීවෙමි.
මම රථයෙන් බැස ගත්තේ පුත්තලම නගරයෙනි. තවම වේලාව සවස තුන පසු වූවා පමණි. රථය නැවත පිටව යන තුරු මම මඳක් පමා වූයෙමි. රජිව් නිවසේ අංකය ලබා දුන්නේ මට හදිසියක් වුවහොත් ඇමතුමක් දෙන ලෙස කියමිනි. මෙතරම් ඉක්මනින් ඔහුව අමතන්නට වේයැයි කියා මම නොසිතුවෙමි. මම ආණමඩුවෙන් ඇමතුමක් නොගත්තේ පූජිත එය සොයාගෙන මෙහි පැමිණෙනු ඇතැයි සිතාය. ඔහු මා සොයන්නට අස්සක් මුල්ලක් නෑරම පීරනු ඇත. මගේ එක් අතපසුවීමකින් රජිව්ගේ ජීවිතය අනතුරේ වැටීමට ඉඩ ඇත. මා වඩාත් ප්‍රවේශම් විය යුතුය. දුරකථන කුටියකට ගොඩ වී මම රජිව් ලබා දී තිබූ අංකයට ඇමතුමක් ගත්තේ ගැහෙන හදිනි. ඔහු නිවසේ නොසිටියහොත් මා කුමක් කරන්නද..? මා යා යුත්තේ කොහිද කියා හෝ මම තීරණය කොට නොතිබුණෙමි. දුරකථනය නද වන හඬ එහා පසින් ඇසිණි. අනෙක් පසින් එයට පිළිතුරු දුන්නේ කාන්තා හඬකිනි.
“රජිව් ඉන්නවද…?”
වෙව්ළන හඬකින් මම ඇසීමි.
“ආහ්…මහත්තයා නම් ඉන්නවා…පොඩ්ඩක් ඉන්න…”
ඒ නිවසේ සේවයට සිටින ප්‍රේමා නැන්දා වන්නට ඇතැයි මම අනුමාන කළෙමි. ඔහු නිවසේ සිටින බව අසන්නට ලැබෙන විට සියුම් සහනයක් මා සිතේ ඇති විය. ගත වූයේ තත්පර ගානක් වන්නට ඇති මුත් මට එය දැනුණේ පැයක් මෙන් දිගුවටය. අවසන ඔහුගේ හඬ සවන් පත් වැකෙන විට මා ලද සැනසුම ඉමහත්ය.
“ර…රජි…ව්…අයි…යේ…”
බිඳුණු හඬින් මම වචන ගළපා ගතිමි.
“මංදාකිණි…ඔයා…! හරි පුදුමයි…මං හිතුවේ නැහැ ඔයා කෝල් කරයි කියලා…”
ඔහුගේ හඬේ වූයේ සතුටට පත් බවකි.
“ම…ම…පුත්තලමේ…ඉන්නේ….මට ඔයාව දැන්ම මුණ ගැහෙන්න ඕන…ලොකු හදිසියක්…”
“හරි…මං දැන්ම එනවා…ඔයා කොතනද ඉන්නේ කියන්න…”
කළබලයෙන් මෙන් ඔහු කීවේය.
“මං කච්චේරිය ළඟ ඉන්නම්…ඔයා එතන්ට එනවද…?”
“හරි…මං දැන්ම එනවා…”
දිගු හුස්මක් ඇද ගත් මා මුදල් ගෙවා පිටතට පැමිණියේ තරමක සැකමුසු බවකිනි. මා නගරයට පැමිණියේ කොපමණ කලකට පසුවද..? සියල්ල දැන් වෙනස්ය. පැරණි ගොඩනැඟිලි වෙනුවට දන් ඇත්තේ අලුත් ඒවාය. මම සෙමෙන් සෙමෙන් කච්චේරිය දෙසට ඇවිද ආවෙමි. පරිසරය තුළ වූ උණුසුම පහව ගියේ කළපුව දෙසින් හැමූ ලවණ මුසු සුළඟ නිසාය. උස්ව නැඟුණ රොබරෝසියා ගසක් යට නැවතී මම රජිව් එනතුරු බලා සිටියේ බියකිනි. සුමිත් අයියා මේ අහළ පහළක ගැවසීමට ඉඩ ඇත. කිසිවෙකු මා දුටුවොත් කියා බියක් මා සිතේ විය. රොබරෝසියා සෙවනේ වූයේ සිසිළසකි. මල් පිපෙන කාලයට නම් මෙහි ඉතා ලස්සනය. ඒ කාලයට මුළු පාරම රෝස පැහැති රොබරෝසියා මලින් පිරී යන්නේ සේද රෙද්දක් ඇතිරූ කලක මෙනි. මා හඳුනන කිසිවෙකු දැක අක්කාට පවසාවි යැයි බියකුත් මා සිතේ ඇති විය. පූජිත මේ වන විට නිවසට පැමිණ ඇතිනම් මා නැති බව දැන සිටිනවාට සැකයක් නැත. ඔහු කෝපයෙන් වියරු වැටී මා සොයන්නට පැමිණෙනු ඇති බවට සැකයක් නැත. වැඩි වේලාවක් මට එසේ බලා සිටීමට සිදු නොවීය. රජිව්ගේ මෝටර් රථය විත් මා සමීපයේ නවතන විට මට දැනුණේ අසීමිත වූ සැනසුමකි. ඔහු හැර දුන් දොරින් මම වහා රියට නැඟ ගතිමි. කිසිත් නෑසු රජිව් කොළඹ පාර දෙසට රිය පදවාගෙන ගොස් කළපුව අසල කස ගස් වලින් සෙවන වූ තැනක රිය නවතා මවෙත හැරුණේය.
“මොකද වුණේ මංදාකිණි…ඔයාට කරදරයක්ද…?”
ඔහු ඇසුවේ නිවුණු හඬකිනි. කලපු දියඹේ ඇදී යන බෝට්ටුවක් මා නෙතට හසු විය. වළාකුලින් තොර වූ නිල්වන් අහස පසුබිමින් දිස් විය. සුසුමක් මුදා හළ මම රජිව් දෙස බැලීමි. ඔහුද මා දෙසම බලා සිටියේ දහසකුත් ප්‍රශ්න දෑසින් විමසමිනි. සිදු වූ සියල්ල මම ඔහු සමඟ පැවසීමි.
“මං කළේ වැරදි දෙයක්ද රජිව් අයියේ…මට බය හිතුණේ මං ගැන නෙවේ…ඔයා ගැන…ඕන දෙයක් වුණා දෙන් කියලා මං ආවේ ඒ නිසයි…”
“ඔයා ආව එක හොඳයි…අපි මුලින්ම කරන්න ඕන පොලීසියට ගිහින් ඇන්ට්‍රියක් දාන එක…නැත්නම් ඒක ඔයාට ප්‍රශ්නයක් වෙනවා…”
ඔහු ඒ බව පවසන තුරු මට ඒ ගැන වගක් නොවීය. මම කවදාවත් පොලීසියකට ගොස් නොතිබුණ නිසා මා සිතේ ඇති වූයේ තැති ගැන්මකි.
“අනේ…මට බයයි…” මට කියවිණි.
“බය වෙන්න එපා…මං කියන විදියට කරන්න…ඔයා පැමිණිල්ල දාන්න ඕන ඔයාගේ ජීවිතේට තර්ජනයක් ආව නිසා ඔයා ගෙදරින් ආවා කියලයි…තාත්තාගේ යාළුවෙක් ඉන්නවා…මං එයාට විස්තරේ කියන්නම්…බය වෙන්න එපා…”
මම හිස සැළීමි. ඔහු කී ලෙස මම කටයුතු කළෙමි. ඉන්පසුව මා කුමක් කල යුතුද කියා අදහසක් මා තුළ නොවීය. අද රාත්‍රියේ මා කොහේ යන්නද…? මට අක්කාගේ නිවසට යා නොහැකිය.
“අපි දැන් එහෙනම් ගෙදර යමු නේද…? ඔයා දවල්ට කාලත් නැතුව ඇති…”
මට එහි වගක් නොවූ අතර කුස ගින්නක්ද නොවීය. කාගේ නිවසට යමුදැයි කියා ඔහු අසනවාද යන කුහුළ මා සිතේ ඇති විය.
“ගෙදර…?”
“ඔව්…ගෙදර…ඇයි…?”
“කාගෙ ගෙදරද…?”
“කාගෙවත් ගෙදරකට යමුද කියලා මං අහන්නේ මොකටද..?…අපේ ගෙදර…”
ඔහු මා සමඟ විහිළුවක් කරනවා නොවේ. බියපත් දෑසින් මම ඔහු දෙස බැලීමි.
“මං කොහොමද ඔයාලා ගෙදර එන්නේ…? මිස් මාව දැක්කොත් මිස්ගේ අසනීප තවත් වැඩි වෙයි රජිව් අයියේ…බැහැ…බැහැ…මට ඒක නම් කරන්න බැහැ…”
එම අදහස ප්‍රතික්ෂේප කරමින් මම කීවෙමි.
“මේ වෙලාවේ හැටියට අපිට වෙන කරන්න දෙයක් නැහැ මංදාකිණි…මං අම්මට මේ ගැන හිමින් සැරේ තේරුම් කරලා දෙන්නම්…අනික ඔයා කැමතිද අක්කා ළඟට යන්න…?”
ඔහු විමසන විට මම තිගැස්මෙන් බැලීමි.
“බැහැ…” මම වහා කීවෙමි.
“මට එහේ යන්න බැහැ…මහ පාරේ හිටියත් මං එයා ළඟට නම් යන්නේ නැහැ…”
“මං ඔයාව මහ පාරේ තියන්නේ නැහැ මංදාකිණි…අපි ගෙදර ගිහින් මේ ගැන නිදහසේ කතා කරමු…”
ඔහු පවසන විට මම එයට නිහඬව එකඟ වූයේ වෙනත් කළ හැකි දෙයක් නොවූ නිසා මිස මා සිතේ බියක් නොතිබුණ නිසා නම් නොවේ. චිත්‍රා මිස් එදා පටන් මා ප්‍රිය නොකළාය. එසේ තිබියදීත් මම ඇගේ නිවසට පැමිණි බව දැනගත් පසු කුමක් සිදුවනු ඇතිද..? මෙවන් රෝගී තත්වයක පසුවන අයෙකුව කම්පනයට පත් වන කිසිවක් නොකළ යුතු බව මම දැන සිටියෙමි. එසේ තිබියදීත් මා පැමිණි බව ඈ හා පවසන විට කුමක් සිදු වේවිද..?
——————————————————————————————————
විවර කර තිබූ ගේට්ටුවකින් රථය විසල් පොල් වත්තකට දැමූ රජිව් එය වැලි පාරක ඉදිරියට පදවාගෙන ගියේ මා විමතියෙන් බිය ගන්වමිනි. එය මෙතරම් විශාල ඉඩමක් කියා මම කිසි විටෙක සිතා නොතිබුණෙමි. වත්ත මැද තනා තිබූ නිවසේ පෝටිකෝව යටම රථය නැවතූ ඔහු මවෙත හැරී පෑවේ සැහැල්ලු සිනහවක් වුවද මම සිත යටින් ගැහෙමින් සිටි නිසා පිළිතුරු සිනහවක් පෑමට මට අමතක වූ සෙයකි.
“බහින්න…”
ඔහු පවසන විට මම රථයේ දොර හැරගෙන ඔහු සමඟම රථයෙන් බැස ගතිමි. රජිව් වටෙන් මා අසලට එන විට මම සිටියේ ඉහින් කණින් දාදිය පෙරාගෙනය.
“මොකද ළමයෝ මේ බය වෙලා…දාඩියත් දාලා…”
“මට බයයි රජිව්…අයියේ…මට එන්න බැහැ…”
කෙඳිරිලි හඬින් මම කීවෙමි.
“එහෙනම් දැන් මොකද කරන්නේ…? මං ඔයාව ගෙදරට ඇරළවන්නම්…දැන් අරයත් ගෙදර ඇවිල්ලා නම්…ඔයාට එයා එක්ක ආයේම ගෙදර ගිහෑකිනෙ…”
සරදමක්දෝ ඇනුම්පදයක්දෝ නැතිනම් අමනාපයක් නිසාදෝ ඔහු පැවසූ දෙයින් මා දෑසට කඳුළු පිරිණි.
“අනේ…අනේ…ළමයෝ…මොකෝ මේ…මං පෙන්නුවේ වෙන්න පුළුවන් සිද්ධිය…ඒක කියලයි…”
මා දෙවුර මත දෑත් තැබූ රජිව් මගේ දෑසට එබී කියන විට මම ඇසි පිය සලමින් කඳුළු වළකා ගන්නට උත්සාහ කළද අකීකරු කඳුළු බිඳු දෙපේළියක් මා කම්මුල් සිප ගලා ගියේය.
“ඔය කඳුළු පිහ ගන්න මංදාකිණි…මං කැමති නැහැ ඔයා අඬනවා දකින්න…”
ඔහු එසේ කීවේ මා කඳුළු සිය දෑතින් පිස දමමිනි. මා නිසා ඔහු තව තවත් හිරිහැරයට පත්නොකළ යුතු නිසාත් මට කියා යෑමට වෙන තැනක් නොවූ නිසාත් අවසානයේ මම තීරණය කළේ අද රාත්‍රිය පමණක් හෝ මෙහි ගත කරන්නටය.
“මගේ හිතට බයයි…”
“ඇයි…අරයා මෙහෙ එයි කියලද…?”
ඔහු එක්වරම ඇසීය.
“නැහැ…එයා මෙහෙ එන්නෙ නැහැ…අනික එයා ඔයා ගැන කිසි දෙයක් දන්නේ නැහැ…දැන ගන්න විදියකුත් නැහැ…ඒ නිසා මට බයක් නැහැ..මට බය මිස් ගැන…”
“හ්ම්ම්…මේ වෙලේ අම්මාව කළබල කරන එක නම් හොඳ නැහැ තමා…ඒත් මං හිමින් අම්මට මේ ගැන කියන්නම්…”
ඔහු කීවේ කල්පනාකාරී හඬකිනි.
“ඒත් රජිව් අයියේ…මිස්ට දැන්ම මේක කියන එක හොඳ නැත්ද..? මිස් නොදැන මම මෙහෙ එක රැයක් හරි නවතින එක හොඳ නැහැ…පස්සෙ දවසක හරි එයා ඒක දැන ගත්තොත් ඒක නරකට හිටින්න පුළුවන්…එහෙම නේද…?”
මම කියන විට නිහඬව අසා සිටි රජිව් කල්පනාකාරී ලෙස ඊට හිස සැළුවේය.
“හරි….මං අම්මාට හිමින් සැරේ කියන්නම්…ඔයා ඇතුළට ඇවිත් වාඩි වෙන්නකෝ…”
ඔහු ආරාධනා කළෙන් මම ගෙතුළට විත් සුව පහසු අසුනක හිඳ ගත්තේ ඔහු ප්‍රේමා නැන්දා අමතමින් ගෙතුළට නොපෙනී යන විටය. ඊටත් සුළු මොහොතකට පසුව ප්‍රේමා නැන්දා මවෙත පැමිණියේ මුවේ ඇඳුණු සිනහවක්ද සමඟය.
“නෝනා මොනවද බොන්න කැමති…තේ කිරි කෝපි…නැත්නම් බීම වීදුරුවක්…? පුංචි මහත්තයා කිව්වා දවල්ට කාලත් නැතුව ආවේ කියලා…මං කිරි කෝපි ටිකක හදන්නද…”
ඈ එක දිගටම කියවගෙන ගියාය. මම ඊට හිස සළමින් එකඟ වූයෙමි.
“බය වෙන්න එපා නෝනේ…පුංචි මහත්තයා මට නෝනේ ගැන කියලා තියනවා…”
ඈ සිනහවක් පාමින් ගෙතුළට ගියේ මම පුදුමයෙන් බලා සිටින විටය. ඔහු මා ගැන ඈයත් සමඟ කුමක් කීවාද..? මම එහි හිඳ බලා සිටියේ පහව නොගිය බියකිනි. ප්‍රේමා නැවත පැමිණියේ මම සිතුවිළි අතර වල්මත්ව සිටින විටය. ඈ දුම් දමන කිරි කෝපි සමඟ වැලි තලප තසිමක්ද රැගෙන ආවාය.
“කාලා මේක බොන්න…රෑට ඉක්මනට කෑම ටිකක් කමු…”
අම්මා කෙනෙකුගේ මෙන් කාරුණික වූ හඬකින් ඈ කීවාය.
“ස්තූතියි ප්‍රේමා නැන්දේ…”
ඈ මඳහසක් පාමින් ගෙතුළට ගියාය. මා කුස ගින්නේ සිටි බවක් මට වැටහුණේ වැලි තලප සමඟ ඈ සෑදූ ප්‍රණීත කිරි කෝපි කෝප්පයේ රස බලන විටය. කුසගින්න නිසාම මම වැලි තලප කැබලි කීපයක්ම ගිජුලෙස ගිළ දැමීමි. රජිව් ඒ වන තුරු පිටතට නොආ බැවින් මා සිතේ යම් තරමක තැති ගැන්මක් ඇතිව තිබිණි. ඔහු පිටතට පැමිණියේ ඊටත් බොහෝ වේලාවකට පසුවය. ඒ මුහුණේ වූ බැරෑරුම් බව දැක මට හුනස්නෙන් නැඟිටුණේ ඉබේමය.