Pini Muthu Palasa පිනි මුතු පලස
හඬන්නට නොහැකි මිනිසුන් ලොවට පෙනෙන්නට මහ හඬින් සිනහසෙන බවක් මා අසා තිබේ. එහි සත්‍යතාවයක් ඇතිවා වන්නට ඇති මුත් මට මහ හඬින් සිනහසෙන්නටද හැකියාවක් නොමැත. පූජිත සමඟ මා ගත කළේ සතුටින් පිරුණු දිවියක් නොවේ. ඔහු කොළඹ යන බව පවසා පිටව ගොස් දින දෙකකි. ඔහු කුමක් කරනවාද කියා හෝ මම දැන නොසිටියෙමි. ඔහු මට සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙක් පමණකි. ඔහු පිටව ගිය රාත්‍රියේ මා තනියට නිරෝෂා කැඳවා ගත්තේ තනිවම කාමරයේ නිදන්නට බිය නිසාය. දහවල නිවස තුළ වූයේ දැඩි පාළුවකි. නිරෝෂා පාසල් ගොස් පැමිණෙන තුරු මම වරින් වර ඔරලෝසුව දෙස බලමින් කල් මැරීමි. අම්මා සිටියාට මම ඈ සමඟ කතා බහට නොගියෙමි. ඇයද මා නොරිස්සුවා වන්නට ඇති මුත් මම ඇයට කළ වරදක් නැත. හැම නැන්දම්මා කෙනෙකුම මෙසේ දැයි මා සිතුවේ කළකිරීමෙනි. උදෑසනම අවදිව උයා පිහා තබා නිවස අස්පස් කොට දමා ගෙමිදුල අතු පතු ගා දැමූ පසු කරන්නට කිසිත් වැඩක් නොවූ තරම්ය.අක්කාගේ නිවසේද මා කළේ මේ සියල්ලම නොවේද…? වෙනසකට ඇත්තේ නිවෙස් දෙක මාරු වීමත් මා විවාහක ගැහැණියක වීමත් පමණි. පෙර විඳි දුක දැන් විඳින්නේ වෙනස් ලෙසකට හැරුණාම දෙවිදියම එකමය. මෙහි විසීමට මට තිබුණු එකම සහනය සැනසුම මල්ලිකා නැන්දාත් නිරෝෂාත් පමණි. ඔවුන් දෙදෙනද නොවී නම් මම මේ වන විටත් මානසික රෝහලකය. නිරෝෂා පැමිණි පසු ඈ පාසල් පැවරුම් කළේද මෙහි හිඳය. ඒ සියල්ල අවසන් වන තුරු මමද ඈ අසළ රැඳී සිටින්නේ ඈ පාසල් පුස්තකාලයෙන් ගෙනෙන ලද පොතක් කියවමිනි. නොමැති නම් ඇගේ පැවරුම් වලට මා දන්නා ලෙසින් සහාය වෙමිනි. අම්මා කළේ දහවල ආහාර ගත් මොහොතේ පටන් නිදා ගැනීමය. ඇඟ පත නොවෙහෙසා වැඩක් පළක් නොකරන මෙම ගැහැණිය ඉක්මනින්ම ලෙඩ වනු ඇතැයි කියා මට සිතුණ මුත් ඉන් මට ඇති කාරියක් නැත.
“පූජිත ඉස්සරත් කොළඹ ගිහින් දවස් ගණන් ඉන්නවද නිරෝෂා…?”
පාසල් වැඩ නිමවා අඹ ගස් සෙවණට විත් දිගු බංකුව මතට වී කතා බහට මුල පුරමින් මම ඇසුවේ ඔහු පිළිබඳව තොරතුරු යමක් දැන ගැනීමට මිස ඔහු නැති පාළුවකින් හෝ සාංකාවකින් නම් නොවේ. නිරෝෂා මනමාල සිනහවක් මවෙත පෑවේ වැරදි අවබෝධයකින් යැයි මම අනුමාන කළෙමි.
“පූජිතයියා ගිහින් දවස් දෙකයි…අක්කාට දැන්ම සාංකාව වගේ…”
උපහාසය මුසු සිනහවක් පාමින් ඈ කීවාය.
“අනේ…මේ විකාර නැතුව ඉන්න…මං නිකමට දැන ගන්න ඇහුවේ…එයා නැති තරමට හොඳයි නිරෝෂා…”
නොමනාපය මුසු හඬකින් මම කීවේ ඇයට මිව
“හරි…හරි…මම විහිළුවක් කළේ…”
මම අමනාප වූවා යැයි සිතාදෝ ඈ වහා කීවාය.
“හ්ම්ම්…මං දන්නවා…”
මඳහසක් පාමින් මම කීවෙමි.
“ඉස්සර නම් පූජිතයියා ගියාම සති දෙක තුනක් ඉන්නවා…දැන් කොහොම වෙයිද දන්නැහැ…එයා දැන් කසාඳ බැඳලානේ…”
ඇසක් ඉඟි මරමින් ඈ කීවේ උපහාසය මුසුවය. ඔහුට එහි වගක් ඇතැයි කියා මම නොසිතමි.
“ඒක නෙවේ අක්කේ…”
නිරෝෂා යළිත් කුමක් හෝ අසන්නට සැරසෙන සැටියකි.
“මොකක්ද…?”
“ඔයා කොහොමද අක්කේ තාම දහ අට ලබන්නෙත් නැතුව කසාඳ බැන්දෙ…?”
නිරෝෂා පුදුමයෙන් මෙන් ඇසුවාය.
“දහ අට ලබන්නේ ලබන අවුරුද්දට… අක්කා රෙජිස්ට්‍රාර්ට ගානක් දීලා ඒක හැදුවා…”
නිරෝෂා එවිට බලා සිටියේ පුදුමයෙන් විසල් වූ දෑසිනි.
“මොනවා අනේ…එහෙමත් කරන්න පුළුවන්ද…?”
“සල්ලි වලට මොනවද නංගී කරන්න බැරි…”
“අක්කාට තිබුණේ ගෙදරින් පැනලා යන්න…”
“කොහේ කියලා පැනලා යන්නද…කෝච්චියට තමා පනින්න තිබ්බේ…රස්සාවක් හරි කළා නම් කුළියට කාමරයක් අරන් හරි ඉන්න තිබ්බා…”
සුසුමක් හෙළමින් මම කීවෙමි.
“දැන් මොනවා කරන්නද නේද…අක්කා දන්නවද රාජකරුණා පූජිතයියාව මෙච්චර ආදරෙන් ළඟ තියාගෙන ඉන්නේ ඇයි කියලා…?”
මා සිතේ අලුත් කුතුහළයක් ඇති කරමින් ඈ ඇසුවාය.
“න්…නැහැ…ඇයි…?”
“ඔයා මේවා පූජිතයියගෙන් අහන්නේ නැහැ නේද…? අපේ අම්මා දැන ගත්තොත් ඔයාට මේවා කිව්වා කියලා මට වැටෙන් මෙහාට පනින්න දෙන එකක් නැහැ…”
නිරෝෂා කීවේ බියපත් ලෙසිනි.
“මං ඕවා කාටවත් කියන්න යන්නේ නැහැ…කොටින්ම කිව්වොත් මං පූජිත එක්ක කතා කරන්නෙත් නැහැනෙ…”
මම කීවේ බොරුවක් නොවේ. මම තවම ඔහු සමඟ කතා බහ කර ඇත්තේ කොපමණ අඩු වචන ප්‍රමාණයක්ද.!
“මෙහෙමනේ…පූජිතයියාගේ අම්මා ඉන්නවානේ…ඒ කියන්නේ අපිට නැන්දා…එයයි අපේ තාත්තායි නෑනලා මස්සිනාලා…නැන්දව බන්දලා දීලා තියෙන්නේ අක්කා වගේම අඩු වයසකින්…නැන්දාට එතකොට දාහතරයිලු…මාමා හරිම නපුරු මිනිහෙක්ලු…ඔය පූජිතයියටත් ඇත්තේ ඒ ගති තමා කියලා අපේ අම්මා කියනවා…හරි ඒකෙන් වැඩක් නැහැ…රාජකරුණයි පූජිතයියාගේ තාත්තලත් නෑයෝ…ඒ නෑ කමට ඉතින් මෙහෙ ආවා ගියාලු… එතකොට නැන්දායි…රාජකරුණායි අතරේ සම්බන්ධයක් ඇති වෙලා තියනවා…”
“මොකක්…?”
“ඔව්…ඉතින් ඕක මාමා කොහොම හරි දැනගෙන නැන්දාට හොඳටම ගහලා…එතකොට පූජිතයියාට අවුරුදු දොළහක් වගේලු…එයා කොහොමත් නැන්දාට බීගෙන ගහනවා කියලා අම්මා කියලා තියනවා…එදත් ඔහොම ගහනකොට පූජිතයියා මාමට මන්නෙන් කොටලා…”
“දෙවියනේ…ඉතින්…?”
“අනේ…ඔයා බය වුණා නේද…?”
එය නැතැයි කියන්නේ කෙසේද.? මා නළලත පුරා හීන් දා බිඳු නැඟෙනු මට දැනිණි.
“න්.. නැ…හැ…ඔයා කියන්නකෝ….”
“ඉතින් කොහොම හරි ඕකෙන් මාමාව ඉස්පිරිතාලේ නැවැත්තුවා…පස්සේ…එයා නැති වුණාලු…පුජිතයියා වෙනුවට නැන්දා තමා පොලීසියට භාර වෙලා තියෙන්නේ…ඊට පස්සේ රාජකරුණා තමා පූජිතයියාව බලාගෙන තියෙන්නේ…ඒ කාලේ ඔය ඇමතිකම් තිබිලා නැහැ…නිකන් දේශපාලනේට කඩේ ගිය කෙනෙක්ලුනේ…එයත් මංත්‍රී කෙනෙක්ට ගොට්ට අල්ලන් ඉඳලා තියෙන්නේ…නැන්දවත් කොහොම හරි නඩු කියලා ලොක්කෝ අල්ලන් බේර ගත්තා කියමුකෝ…ඉතින් පූජිතයියාත් රාජකරුණාට පණ ඇරන් ඉන්නේ ඕක නිසා තමා…එයා කියන ඕන එකක් පූජිතයියා කරනවානේ…හැම එකටම හිරේ යන්නෙත් පූජිතයියා…සතියයි දෙකයි…ආයේ එළියේ…සල්ලි බලේ…නඩුත් ඇති බර ගාණක්…”
මා ගත ශීතලව ගිය ලෙසින් මම වෙව්ළන්නට වූයෙමි. ඔහු එසේ නම් කුළියට මිනී මරන අයෙකුද.! එම හැඟීම පවා මා බියට පත් කළේය. ඇමතිවරයාගේ සියළු ජඩ වැඩ කරනවා ඇත්තේ ඔහුය. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන රාජකරුණා සුවසේ වෙසෙයි. පූජිතගේ දුබලකම ඔහු සිතා නොබලා කළ ක්‍රියාව සිය වාසියට ගෙන රාජකරුණා ඔහුව ඉත්තෙකු කොට ගෙන ඇත. පූජිතට මේ කිසිත් වටහා ගන්නට නොහැකි තරම් ඔහු අනුවණයෙකුද.? නිරෝෂා මේ කිසිත් මා සමඟ නොපැවසුවා නම් මම මේ ගැන වුවද දැන ගන්නේ නැත.
එදින රාත්‍රියේ මවෙත නින්දක් නොවීය. බියෙන් තිගැස්සී මා අවදි වූයේ වරක් දෙවරක් නොවේ. මගේ ජීවිතය කෙරෙහිම බියක් මා සිතේ ඇති වන්නට විය. අක්කා මා විවාහ කර දුන්නේ කිසිත් සොයා නොබලා ඇසිලින් නැන්දාගේ කීමටය. මම ඇයට වෛර කරමි. පූජිතගෙන් මට කිසිදින ගැළවීමක් ලැබෙන්නේ නැත. මුළු ජීවිතයම මට ඔහු හා ගෙවීමට සිදුවනු ඇත්තේ බියෙන් හා සැකයෙන් යුතුවය. මගේ අනාගතය පිළිබඳව මම කිසිත් සිතා නොතිබුණා වුවද දැන් දැන් මා සිතේ ඒ පිළිබඳව ඇතිවන්නේ බියකි.
රාත්‍රියේ සුව නින්දක් නොලැබූ නිසාදෝ මා පසුදින අවදි වූයේ තරමක් ප්‍රමාදවය. නිරෝෂා පිටව යනු හෝ මම නොදනිමි. අම්මාද තවමත් අවදිව නොසිටි අතර මම දවල්ටත් සමඟම උයා තබා මිදුල ඇමදීමට සිතා පිටුපස මිදුල දිගේ ඉදිරිපසට ආවෙමි. කොහොඹ ගසේ කොල මිදුල පුරා හැළී ඇත. එය අතු ගා දමන්නට වරුවක් පමණ ගතවේ. ගෙමිදුල අමදිමින් සිටින විට යතුරු පැදියක් ගේට්ටුව අසළ නවතා කුමක් හෝ අසන විට මම ඉදල බිම දමා ගේට්ටුව වෙත ගියේ මා සිටි තැනට ඔහු කියූ දේ නෑසුණ නිසාවෙනි.
“පූජිත නැත්ද ගෙදර…?”
යතුරු පැදිකරු විමසුවේය. මම ඔහු කවුද කියා හෝ නොදනිමි. කුමකට පූජිතව අසනවාදැයි කියා බියක්ද මා සිතේ ඇති වූයේ පෙරදින නොරෝෂා කී කතාව සිහි වීමෙනි.
“පූජිත හම්බෙන්න ආවේ වුවමනාවකට…”
මගේ නිහඬ බව නිසාදෝ ඔහු යළිත් විමසුවේය.
“පූජිත නැහැ…එළියට ගිහින්…”
මම කීවෙමි.
“දැන්ම එයිද දන්නැහැ…නේද…?”
ඔහු යළිත් ඇසුවේය. පිටුපස අසුන් ගෙන සිටි තැනැත්තා මා දෙසම බලා හිඳින බව දැක මට දැනුනේ අපහසුතාවයකි.
“දැන්ම එන එකක් නැහැ…හවස් වෙයි…”
මම බොරුවක් කීවෙමි.
“ආහ්…අපි එහෙනම් හවස් වෙලා එන්නම්…”
ඔහු යතුරු පැදිය යළි පණ ගන්වමින් කීවේය.
“කවුරු ආවා කියලද කියන්නේ…?”
ඔවුන් පිටව යන්නට යන විට මම ඇසුවේ සැක මුසුවය.
“න්…නැහැ…අපි එන්නම්කෝ…”
යතුරු පැදිකරු එය පණ ගන්වාගෙන හැරී යන විට මම ආපසු හැරුණෙමි. අම්මා දොරකඩ හිඳ බලා සිටි බවක් මා දුටුවේ එවිටය. ඈ කිසිත් නොවිමසාම ගෙතුළට වැදෙන විට මමද යළිත් මගේ කාර්යය ඇරඹුවෙමි. පසුව මට එම සිදුවීම අමතක විය.
——————————————————————————————————
ගෙමිදුලේ නැවතු ත්‍රී රෝද රියක හඬ මා සවන් වැකුණද මම කාමරයට වී සිටියේ අම්මා ආලින්දයට වී රූපවාහිනිය නරඹමින් සිටි බැවිනි. මා සොයා කිසිවෙකු පැමිණෙන්නේ නැති බව මම දනිමි. සුළු මොහොතකට පසු අම්මා කාමරයේ දොර රෙද්ද මෑත් කර කාමරයට එබී කීවේ අක්කා පැමිණ ඇති බවය. ඉන් මා තුළ පුදුමයක් ඇති වූයේ ඔවුන් පැමිණියා යැයි කීම නිසා නොව ඔවුන් කුමකට පැමිණියාදැයි කියාය. මා සිතේ අමුතු සතුටක් ඇති නොවීය. සිත පුරා යටපත්ව තිබූ කෝපයේ ගිනි අඟුරු දළුලා වැඩෙන්නට වන විට මම යහන මතින් නැඟී සිටියේ කෝපය සඟවා ගන්නට යත්න දරමිනි. ඊටත් මොහොතකට පසු මම ආලින්දයට එන විට අම්මා, අක්කාත් සුමිත් අයියාත් සමඟ කතා බහකය. මා දුටු අක්කා මා හා සිනහසුණේ මම ජීවිතයේ කිසි කලෙක දැක නොතිබූ සිනහවක් මුව මත රඳවාගෙනය. ඇයට සිනහසෙන්නට හැකියාවක් තිබූ බවක් හෝ මම දැන නොසිටියෙමි. ආයාසයෙන් වුවද මා මුවට සිනහවක් නම් නොනැඟිණි. ඒ වෙනුවට මා මුහුණේ ඇදෙන්නට ඇත්තේ නොරිස්සුම් මුසු බවක් මෙන්ම නොසතුටු බැල්මකි.
“චූටි නංගී…කොහොමද…? කලින් එන්න හිටියේ අනේ…මේ ත්‍රී වීල් එක කැඩිලා…හදන්න දාලා තිබුණනේ…ඒකයි එන්න බැරි වුණේ…?”
ඈ පවසන්නේ බොරුවක් බව මම දැන සිටියෙමි. හරියට මම ඇගෙන් නොපැමිණීමට කරුණු ඇසුවාක් මෙනි. මා මුවට නැඟුණු සාවඥ සිනහව සඟවා ගන්නට මට වුවමනා නොවීය. මම ළය මත දෑත් බැඳ ගත්තේ ඈ කියූ කිසි දෙයක් සවන් නොවැකුණ විලසිනි. සුමිත් අයියා නැඟිට පිටතට ගොස් ත්‍රී රෝද රථයේ වූ බඩු මළු කීපයක් රැගෙන ගෙතුළට ආවේ අක්කාගේ ඉඟි කෙරුමටය. ඒ දුටු අම්මාගේ මුවේ මෙතෙක් වූ නොසතුටු මුසු බව පහව සිනහවක් මෝදු වනු දැක මා සිතේ අලුත් නොපහන් බවක් ඇති වූයේ අම්මා කෑදර ගැහැණියක බව තේරුම් යන විටය. ඔවුන් හිස් අතින් පැමිණියා නම් ඈ කෙසේ හැසිරෙනු ඇතිද කියාත් අනෙක් අතට මට කල්පනා විය. සුමිත් අයියා බඩු මළු කීපය පසෙක තබා මවෙත හැරී බයාදු සිනහවක් පාන විට මම ඔහු දෙස බැලුවේ ගිණි දළු පිටවන දෑසිනි. මගේ නපුරු බැල්මට බියේදෝ ඔහු වහා මිදුලට බැස්සේ අම්මා “තේ ටිකක් බීලා ඉමු” යි කියා පසු පසට ඇදෙන විටය. ඒ මොහොතේ මම වහා අක්කා අසලට ළං වූයේ සුහද කතා බහකට නම් නොවේ.
“තමුසේ මොකටද මෙහේ ආවේ…මං මැරිලද…නැත්නම් මාව මරලා දාලද කියලා බලන්නද…?”
දත් මිටි සපමින් මම ඇසුවේ පසුපසට ඇසේවි යැයි පහත් හඬිනි. අක්කා දැස් විදහා මා දෙස බලා සිටියේ බියපත් විලසිනි.
“චූටි නංගී…මොනවද ළමයෝ ඔයා මේ කියවන්නේ…ඇයි ඔහොම කතා කරන්නේ…?”
හැඬුම් මුසු හඬකින් ඈ අසන විට මගේ කෝපය තවත් උත්සන්න විය. කෝපයෙන් ගිනි දළු පිටවන දෑසින් මම අක්කා දෙස බලා සිටියේ සිතේ ආවේගය කෙසේ පිට කරගනුදැයි සිතා ගත නොහැකිවය.