More
    NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 07

    Pini Muthu Palasa පිනි මුතු පලස – 07

    -

    spot_img

    Pini Muthu Palasa පිනි මුතු පලස – 07

    පරිසරය නිහඬය. වෙනදා ඇසෙන කුරුළු නදක්වත් ඉන් නෑසිණි. විවර කර තිබූ ජනේලයෙන් වරින් වර මඳ සුළඟක් කාමරයට හමා ඇදිණි.

    “පාඩම් කරනවද…භාවනා කරනවද…?”

    පාසල් ගොස් පැමිණි වේලේ පටන් මම සිටියේ කාමරයේමය. කිරීමට පැවරුම් රාශියක් තිබූ නිසා සියල්ල නිම කර මම අසුන මත එළෙසම හිඳ ජනේලයෙන් එපිට බලා සිටියේ හිස් බැල්මකිනි. මා සිතුවිළි කොයි අතක විසිර තිබුණාද කියාවත් මට මතක නැත. අක්කාගේ හඬින් මම තිගැස්සී හැරී බැලීමි. ඈ මා අසළට විත් අම්මා විසින් එවන ලද ලිපියක් මේසය මත තබමින් විමසුම් බැල්මක් මවෙත හෙළුවාය. මම එය නොදුටුවා සේ සිටියෙමි.

    “අම්මා ලියුමක් එවලා…”

    අක්කා පැවසුවේ මා එය නොදුටුවා කියා සිතා මෙනි.

    “ඉතින්…මට මොකද…?…මට එපා…”

    නොසතුටෙන් කී මම ලිපිය ගෙන යළිත් ඈ වෙත දිගු කරන විට ඈ මදෙස බල සිටියේ විසල් කර ගත් දෑසිනි.

    “මොකද මේ…? ඉස්සර ගෙට ගොඩ වෙන්නේ අම්මා ලියුම් එව්වේ නැත්ද අහගෙන…දැන්…බලන්නේත් නැහැ…”

    “ඒ ඉස්සර…දැන් මට එයාගේ ලියුම් බලන්න වුවමනාවක් නැහැ…ඕකත් අරන්‍ යන්න…”

    නොමනාපය මුසු හඬින් මම කියන විට අක්කා මා අතින් ලිපිය අතට ගත්තේ සුසුමක් හෙළමිනි.

    “අපිට අම්මට දොස් කියන්න පුළුවන් කමක් නැහැ චූටි නංගි…”

    ඈ කියන විට මම පුදුමයෙන් අක්කා දෙසට හැරුණෙමි.

    “ඇයි බැරි…? ඔයාට බැරි වුණාට…මට පුළුවන්…”

    “අපි මේ ගැන සාධාරණව හිතමු…”

    “එයා අපිට කරන්නේ සාධාරණයක්ද…?”

    “එයා අපිට සල්ලි හරි එවනවානේ…”

    එය බළලා මල්ලෙන් එළියට පැනීමකි. මා මුවට නැඟුණු සමච්චල් සහගත සිනහව සඟවා ගැනීමට මට වුවමනාවක් නොවිණි.

    “එයා සල්ලි එවනවද…? එහෙනම් ඔයා කිව්වේ එයා සල්ලි එවන්නේත් නැහැ…මාස ගානකින් සල්ලි එව්වේත් නැහැ කියලා…”

    මා එසේ පවසන විටම අක්කාගේ මුහුණ බලා සිටියදීම අඳුරුව ගියේය.

    “ඉඳලා හිටලා හරි…එවනවානේ…ඉතින්…”

    සිදුවූ වැරැද්ද වසා ගැනීමට ඈ කීවාය.

    “සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි… අනික එයා සල්ලි එවන්න ඕන තමා… දරුවෝ හැදුවා නම්…දරුවෝ ගැන බලන්න එපැයි…එයා මේ අවුරුදු ගානටම එකපාරක් වත් අපිව බලන්න ආවද…? සල්ලි එවලා අත සෝදගන්න පුළුවන් කියලා හිතන් වෙන්නැති අර මිනිහා එක්ක එහෙට වෙලා නටනවා ඇත්තේ…”

    “චූටි නංගී…!”

    අක්කා කෑ ගසමින් ගැසූ අතුල් පහරින් මගේ දෑස් පවා නිලංකාරව ගිය සෙයකි. කම්මුල පුපුරු ගසන්නට විය.

    “ඔහොම කතා කරන්න එපා…” ඈ කාමරයෙන් පිටව ගියේ මට රවමිනි.

    “මම කතා කරන්නේ එහෙම තමා…”

    මට කෑ ගැසීමට වුවමනා වූ මුත් මම කාමරයේ දොර හඬින් වසා දමා යහන මත වැතිර හඬන්නට වූයේ අක්කා ගැසූ පහරේ වේදනාව නිසා නම් නොවේ. ඊටත් වඩා සිත් වේදනාවකින් මසිත පෙළෙන්නට වූ නිසාය. අම්මා මෙතෙක් කල් ලංකාවට නොඒමට හේතුව ඇගේ අනියම් සබඳකමද…? එය මට සිතා ගැනීමට අපහසු කරුණකි. තාත්තාගේ උණුසුම අහිමිව ගිය අපට අම්මාගේත් ආදරය, උණුසුම, රැකවරණය අහිමි වීම කෙතරම් නම් අවාසනාවක්ද..? එය අක්කාටත් අයියාටත් වඩා බලවත්ව දැනුණේ මා හටය. ඈ විදෙස් ගත වූයේ ඔවුන් දෙදෙනාම දැනුම් තේරුම් ඇති කලකය. ඈ අක්කා නමට මුදල් නොඑව්වා නම් ඇය හෝ සුමිත් අයියා වුවද මා මෙහි තබාගන්නට හෝ කැමැත්තක් නොදක්වනු ඇත. අයියා මා ප්‍රිය නොකළා මෙන්ම මමද ඔහුව ප්‍රිය නොකළෙමි. එකම මවකට දාව ඉපදුණද අපි දෙදෙන සතුරන් මෙන් එකිනෙකා නොරුස්සූයෙමු. ඔහු සිතන ලෙස මා අවාසනාව තුරුළු කොට උපන් එකියක වූයෙමි. එය සැබෑවටම එසේද කියා මටත් දැන් දැන් සිතන්නට සිදුව ඇත. ඉන් සිදුවූයේ මා සිත වඩාත් වේදනාවට පත් වීමය.

    පසු දින උදෑසනම මම පාසලට පැමිණියේ එදින බුදු මැදුර අවට පිරිසිදු කිරීමට යෙදී තිබුණේ අප පන්තියට නිසාය. මා එනවිට තරුෂි පැමිණ සිටියද පෙරදින පොරොන්දු වූ ලෙස දුලානිත් සමන්මලීත් තවම පැමිණ නොසිටියෝය. මාත් තරුෂිත් ගොස් බුදු මැදුරේ මලසුනේ වූ පරවුණු මල් අයින් කොට අරලිය ගසෙන් නෙළා ගත් නැවුම් අරලිය මලින් මලසුන සරසා බුදුන් වැඳ බුදු මැදුර අවටත් බෝධිය අවටත් අතුගා දමා අවසන් වන විටම සමන්මලීත් දුලානිත් දිව ආහ.

    “අනේ…ඔයාලා අතු ගාලාත් ඉවරද…අපි පරක්කු වුණා…සොරි…අපි දෙන්න කුණු ටික අරන් දාන්නම්…”

    දුලානිත් සමන්මලීත් එය භාරගත් නිසා මාත් තරුෂිත් දෑත් සෝදාගෙන අරලිය ගහ දෙසට ගියේ ඔවුන් කුණු රොඩු ටික රැගෙන පාසල් වැට මායිමේ වූ කුණු වළ දැමීමටය. මලින් පිරුණු අරලිය ගස යට මල් සුවඳින් පිරී තිබිණි. මම කවදත් ඒ සුවඳට ආසා කළෙමි. ඉන් හැමුවේ සිත් පහන් කරන සුවඳකි. බිමට වැටුණු අරලිය මලක් අහුළා ගෙන මම එය නාසයට ළං කරගෙන සුවඳ විඳින්නට සූදානම් වන විටම තරුෂි මගේ පිටි අත්ලට පහරක් ගැසුවාය.

    “අනේ මොට්ටියේ…ඕවායේ සත්තු ඉන්නවා…නහයට යයි…”

    මල ගිළිහී මා දෙපා මුළ වැටුණු අතර යළිත් එය අහුළා ගැනීමට මටද වුවමනාවක් නොවීය.

    “අරලිය මල් සුවඳයි…මං ආසයි ඒ සුවඳට…”

    පන්තිය දෙසට යන සමන්මලීත් දුලානිත් අපට අත් වනන විට අපිද අත් වනමින් මම තරුෂිට කීවෙමි.

    “මාත් ආසයි…ඒත් ඉතින් කොච්චර සුවඳ වුණත්…අරලිය මල් කවදාවත් ගෙවල් වල හිටවන්නේ නැහැනේ…”

    ඈ කියන විට මම පුදුමයෙන් බැලුවේ ඒ බවක් මා මීට පෙර අසා නොතිබූ නිසාය. තරුෂිගේ දෑස් එල්ල වී තිබුණේ දුම්රියපළේ මැද දිගටම සිටුවා තිබූ අරලිය ගස් පේළිය වෙතය. මා දන්නා කාලයේ පටන් එම ගස් පෙළ එහි විය. ඒවායේ මලින් තොර වූ දවසක් නොවූ තරම්ය. පාසලේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී හෝ මොන යම් අවස්ථාවකට වුවද මල් බඳුනක් සැරසීමට වුවද අපි මල් කඩා ගත්තේ එහි වූ ගස් වලිනි.

    “ඒ ඇයි…?”

    “අරලිය මල් පූජා කළාට…මල් කොච්චර සුවඳ වුණත්…කිරි වැරෙන ගස් ගෙවල් වල හිටවන්න හොඳ නැහැ කියලා අපේ ආච්චි අම්මා කියලා තියනවා…”

    “ඉතින් හේතුව…?”

    “ඒවා ගෙවල් වල හිටෙව්වාම මූසළයි ලු…”

    “මූසළයි…?”

    “ඔව්…බලන්නකෝ…අරලිය ගස් හිටවන්නේම ගොඩක් වෙලාවට කනතු වල…ගෙවල් වල හිටෙව්වාම…ඒ ගෙවල් පාළු වෙනවලු…ඒ කතාව ඇත්ත කියලා මටත් හිතෙනවා…”

    තරුෂි කීවාය. සොහොන් පිටි වල ඇති අරලිය ගස් මමද දැක ඇත්තෙමි. නිවෙස් වල සිටුවා ඇති බවක් දුටුවා කියා මතකයක් මා තුළ නොවීය. සමහරවිට එසේ නොසිටවන්නේ තරුෂි කී හේතුව නිසා වන්නට ඇත.

    “අනේමන්දා…” මම කීවෙමි.

    “අර බලන්නකෝ…අර ඉස්ටේෂන් එකේ තියන් ගස් දිහා…කොච්චර කල් ඉඳන්ද ඒවා එතන් තියෙන්නේ…හැමදාම මල් පිපිලා තිබුණත් ඒ දිහා බලත්දී වුණත් පහන් හැඟීමක් හිතට එනවද…? මට නම් දැනෙන්නේම මහා පාළු මූසළ හැඟීමක්…කවුරු ඒවා හිටෙව්වද මන්දා…දන්න කාලේ ඉඳලම ඒව එතන…”

    තරුෂි කියන විට මමද එදෙස බැලුවේ පළමු වරට එම දසුන දකින හැඟීමකිනි. ඈ කීවේ සැබෑවකි.සිත් පහන් හැඟීමක් වෙනුවට ඇතිවන්නේ මහා වූ මුස්පේන්තු හැඟීමකි. එය වචන වලින් විස්තර කළ නොහැකිය. සුසුමක් හෙළමින් මම ඉන් දෑස් මුදවා ගෙන ඉවත බලන විට මා නෙත ගැටුණේ අප සිටි දෙසට පැමිණෙන රජිව් සහ කමල්ය. දෙපා මුළින් පටන් ගත් හිරිවැටීමක් මා ගත පුරා දිව යන බවක් මට දැනිණි.

    “තරූ…කමල් අයියලා මේ පැත්තට එනවා…”

    අරලිය ගස් දෙබලේ අඩමානයට හිඳ සිටි මා ගවුම ගසා දමමින් හෙමින් සීරුවේ නැඟී සිටිමින් කියන විට තරුෂි ද සෙමෙන් එදෙස බැලුවාය.

    “මේ ටිකේ රජිව් අයියා හමුවුණෙත් නැහැ…හවස එයාලට ක්ලාස් කිව්වා…අද නම් මංදි.. එයාම එනවා මේ පැත්තට…මගේ පපුවත් ගැහෙනවා වගේ…”

    “වෙනදට ගැහෙන්නේ නැත්ද…?”

    මම ඇනුම්පදයක් එල්ල කළෙමි. ඈ එයට පිළිතුරක් නොදුන්නේ ඔවුන් ආසන්නයේම සිටි නිසාය. ඇගේ දෑස් පවා සතුටින් දිලිසෙන හැටි මම දුටිමි.

    “ගුඩ් මෝර්නින් ළමයි…”

    අප අසළට පැමිණි කමල් අපට සුබ පතන විට අපිද සුබ පැතීමු.

    “රජිව් අයියාව දැක්කෙත් හුඟ දවසකින් වගේ…”

    තරුෂි කියන විට මම වහා ඔහු වෙත බැල්මක් හෙළීමි. ඒ ආඩම්බර මුහුණේ සිනහවක් හෝ නොවූ තැන මම වහා ඉවත බලා ගතිමි.

    “උදේ හවා දකින්නේ…මම නම් ඔයාව හැමදාම දකිනවා…”

    ගැඹුරු හඬකින් ඔහු කියන විට තරුෂි මඳහසක් පෑවාය.

    “දකින එක වෙනයි…කතා බහ කරන එක වෙනයිනේ…”

    තරුෂි ගේ මුවට වචන කෙසේ උනනවාද කියා මම පුදුම වූයෙමි.

    “ඔව් හැබැයි…ඒකත් ඇත්ත…” රජිව්ද එයට එකඟව කීවේය.

    “මොකද ඔය දෙන්නා මෙතන…?” එවර ඇසුවේ කමල්ය.

    “අද බෝධිය පිරිසිදු කරන්න තිබ්බේ අපිට…ඒක ඉවර කරලා…ආවා නිකන්…”

    “හොඳ වැඩත් කරනවා එහෙනම්…?” කමල් සිනහසෙමින් කීවේය.

    “නැතුව ඉතින්…” තරුෂි සිනහසුණේ ලැජ්ජා මුසුවය.

    “ඔය කරන්නේ මචං…කරන්න කියලා භාර දීලා තියන නිසා…නැත්තං කරයි…මේන් කියලා…එහෙම නේද…?”

    රජිව් කීවේ මුව මත වූ මඳහසකින්ද යුතුවය. ඔහුට සිනහසෙන්නටද හැකි බවක් මා දුටුවේ අදය. ඔහු සමඟ වදනක් හෝ කතා බහ කරන්නට කෙතරම් ආසා කළද ඒ ආඩම්බරකාරී බැල්ම ළඟ මා සිත පසුබා යන බව මට දැනී බොහෝ කලකි. මම නෙත් කොණින් ඔහු දෙස බලන විට ඔහුගේ දෑස් තැරුෂි වෙතම දැල් වී ඇති සැටි දුටු මා සිත හැකිළී ගියේය. ඈ ඔවුන් සමඟ සිනහසෙමින් කතා බහකළද ඒ මොනවාදැයි කියා මට නෑසිණි. නොමැති නම් මම ඒවාට සවන් නොදුන්නා විය හැක. ඒ මොහොතේ ළමුන් එකා දෙන්නා පාසල වෙත පැමිණෙමින් සිටියෝය.

    “තරූ…අපි යමුද…?”

    මම ඇසුවේ කිසිවෙකු අප දැක ගුරුවරුන්ට කේළමක් කීවෝතින් යැයි කියා සිතේ ඇති වූ බිය නිසාවෙනි.

    “හා…යමු…”

    තරුෂි එසේ පවසන්නට ඇත්තේ අකමැත්තෙන් වන්නට ඇතැයි කියා මට නොසිතුණා නොවේ. මම පෙරමුණ ගත්තේ ඈ කතා බහ නවතන පාටක් පෙනෙන්නට නොවූ නිසාය. එවර තරුෂි ඔවුන්ගෙන් සමුගෙන මවෙත දිව ආවාය.

    “කතා කරන්න ගත්තාම ඉන්නේ කොතනද කියලාවත් මතක නැහැ…”

    දෝෂාරෝපණයක ස්වරයෙන් මම කීවෙමි.

    “ඉතින් අනේ…එහෙම තමා…”

    ඈ මා උරමතට බර දෙමින් කීවේ ඇද පැදය.

    “දැන් හැපිද…?”

    “තවම නැහැ…තාම හරියට කතා කළෙත් නැහැනේ…අනික කොච්චර කතා කළත් මදි…වගේ…”

    “ලද දෙයින් සතුටු වෙන්න පුරුදු වෙන්න…” මම ඇයට දැනමුතුකම් දුනිමි.

    “එහෙම බැහැ…තවම කතා බහ කළාට හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…”

    “හොඳයි…හොඳයි…ජය වේවා…!” සිනා මුවෙන් මම කීවෙමි.

    -හෙටත් හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page