Hima Mal Renu හිම මල් රේණු
නිවස තුළ වූයේ නිහැඬියාවකි. නැන්දාත් ගුණතුංග මාමාත් නිවසට වුවමනා ද්‍රව්‍ය කීපයක් මිලට ගැනීමට පිටතට ගොසිනි. මම ආලින්දයට වී පරිඝණකය තබාගෙන රාජකාරී කටයුත්තක නිරතව සිටින අතර චන්ද්‍රම්මා මා අසළට පැමිණියේ ශීත කළ බීම වීදුරුවක්ද අතැතිවය. ඈ එය ස්ටූලය කෙළවරක තබා මට නුදුරින් වූ අසුනක හිඳ ගත්තේ මගේ තනියට මෙනි.
“කෝ චන්ද්‍රම්මා බොන්නේ නැත්ද…?”
බීම වීදුරුව අතට ගෙන මම අසුනේ පසුපසට ගිළී යමින් ඇසුවෙමි.
“මම තේ ටිකක් හදා ගන්නම් ලොකු බේබි…මං ආස නැහැ ඕවා බොන්න…”
මම කිසිත් නොකියා නිහඬව බීම උගුරක් රස බැලීමි.
“ආහ්…ලොකු බේබි…”
චන්ද්‍රම්මා කුමක් හෝ අසන්නට සූදානමින් මා විමසන විට මම ඈ වෙත වුවමනාවෙන් බැල්මක් හෙළීමි.
“අවීශ් මහත්තයාගේ උපන්දිනේ එනවාලු නේද මැණිකේ…?”
ඈ සිහිපත් කරන විට මා මුවින් සුසුමක් ගිළිහී ගියේය.
“ඔව් චන්ද්‍රම්මා …” මම කීවේ පහත් හඬිනි.
“නෝනා දානයක් ලැහැස්ති කරන්න කියලා හදන්නේ…”
“නැන්දා…?”
මම පුදුමයෙන් ඇසීමි. ඒ බවක් මම දැන සිටියේ නැත. අවීශ් ගේ උපන් දිනයට අප නිවසට පැමිණෙන ලෙස මම මිතුරු මිතුරියන්ට දන්වා සිටියේ මීට මසකට පෙරමය. මම නැන්දා හා ඒ බව පවසා තිබූ නිසාදෝ ඈ මෙවන් දෙයක් කරන්නට සිතුවා වන්නට ඇත. ඔහුගේ උපන් දිනය යෙදී ඇත්තේ මේ සතියේ අග දිනකය. මට ඔහු නමින් දාන දීමට නොහැකිය. මන්දයත් මට ඔහු නැතැයි කියා සිතන්නට නොහැකිය. මට වුවමනා වූයේ ඔහුගේ උපන් දිනයට කේක්, කිරිබත් සාදා මිතුරු මිතුරියන්ට සංග්‍රහ කරන්නටය.
“හ්ම්ම්…රේඛා නෝනා තමා…”
චන්ද්‍රාම්මා එසේ කියා සුසුමක් හෙළමින් නැඟිට ඉවත ගියාය.
අනුරාග් නිතර ඇමතුම් දෙමින් මා පිළිබඳව සොයා බැලීය. ඔහු මා පිළිබඳව වදවන බව දැනී මා සිතේ මේ වන විට සියුම් අනුකම්පා මුසු හැඟීමක් ඇති වෙමින් තිබිණි.
“පව්…අනුරාග්…නිතරම කතා කරනවා…” මම වරෙක නදීරා හා පැවසීමි.
“ඒක නම් එච්චර හොඳ ලකුණක් නෙවේ…මොනව හරි හිතිලද…?”
උස් හඬින් සිනහසෙමින් ඈ අසන විට මා සිතේ ඇති වූයේ නොසතුටකි.
“මෙයාටා මොකුත් කියන්න බැහැනේ…මොනවා හරිම කියනවා…” නොමනාපයෙන් මම කීවෙමි.
“හරි…හරි…ඉතින්…ඕකට මූණ පුම්බ ගන්න ඕන නැහැ…මං නිකන් කිව්වේ…එහෙම වෙනවා නම් හොඳයි…අනුකම්පාව වෙන දේකට හරි හැරෙයිනේ…”
නදීර ඒ මොහොතේ කීවාය. චාරුකා ද මා අමතමින් තොරතුරු විමසූ අතර මම ඈ හා පවසා තිබුණේ මා අසනීපයෙන් පසු වන බවකි. ඇයට මා බැලීමට වුවමනා වුවද මම කීවේ කරදර නොවන ලෙසය.
“ඉක්මනට සනීප වෙලා එන්න…ඔයා නැතුව පාළුයි…”
ඈ එසේ කියන්නට ඇත්තේ නම් සැබෑවටම විය හැක. කෙසේ නමුත් මේ දින කීපයේ නාඳුනන රථය පිළිබඳව කිසිදු ජායාවක් හෝ දක්නට නොවූ අතර දුරකථනයේ රැහැන් ගළවා දමා තිබූ නිසා මඟහරින ඇමතුම් වුවද පැමිණියේ නැත. එම සතියේ සිකුරාදා දින සවස නදීරා නිවසට පැමිණියාය. නැන්දා සූදානම් කරන දාන කටයුත්තට ඇයත් සහාය දැක්වීමට සිතා තිබුණාය. මම එයට සහාය නොදැක්වීමි. මම තනිවම කේක් සෑදුවෙමි. අනික් අය පැමිණියේ දිවා ආහාර වෙලාව ළංවය. නැන්දා ඔවුන් සමඟ ගොස් කෑම පාර්සල් කීපයක් බෙදා දී පැමිණියාය.
“සුබ උපන් දිනයක් අවීශ්…”
මම සෑදූ කේක් මා විසින්ම කපා මම සියළු දෙනටම සංග්‍රහ කළෙමි. අනුරාග්ද එදින සහභාගී වූයේ මා කරන ලද ඇරයුම නිසාය.
“අවීශ් හැමදාම අපේ හිත් වල ජීවත් වෙයි…”
මාධව කීවේ කේක් කැබැල්ලක් මටද කවමිනි. එය එසේම වනු ඇති බව මටද විශ්වාසය. අනුරාග් ඉතා ඉක්මනින් මිතුරන් සමඟ මිතුරු වන විට මට සිහි වූයේ අවීශ්වය. ඔහුද ඉතා ඉක්මනින් ඔවුන් සමඟ මිතුරු විය.
“අනුරාග් හරිම හොඳ කෙනෙක් වගේ ආරාණ්‍යා…”
තේෂන් ලා සමඟ විහිළු තහළු කරමින් සිටින අනුරාග් දෙස බලා තෙෂාරා කීවාය.
“ඔව්…අනේ…ඇත්තටම හොඳ කෙනෙක්…ආරණ්‍යා…ඔයා තාම එයාට උත්තරයක් දුන්නේ නැත්ද…?”
නදීරාද එයට එකඟව මා විමසුවාය. මම හිස සැළුවේ නැතැයි කීමටය.
“පරක්කු නොවී උත්තරයක් දෙන්න ආරාණ්‍යා…හොඳ මිනිස්සු හොයන්න අමාරුයි…”
මමද එය එසේ බව පිළිගතිමි. ටිරෝන් ශ්‍රීමාට කළ යෝජනාව ඈ පිළිගත් බව මම ඔවුන් සමඟ පැවසුවේ මේ මොහොතේදීය.
“ෂා…ඉතින් …ශ්‍රීමා මොකද කියලා තියෙන්නේ…?”
“දැන්ම මැරි කරන්න නම් බැහැ කිව්වා…මොකද ගේ හදන්න ගත්ත ලෝන් එක ඉවර වෙන්න තව අවුරුද්දක් යනවලු…එයාට දෙයක් කරගන්නත් එපැයි…”
“ඒක නම් ඉතින් එහෙම තමා…ඒත් ඉතින් දැන්ම මැරි කරන්නේ නැහැනේ…ටිරෝන්ලා ගෙදර අය මොකද කියලා තියෙන්නේ…?”
“එහෙ අය කැමතියි…ඔන්න දවසක් දාන් යන්නලු අදහස…ශ්‍රීමා කිව්වා අපිටත් එන්න කියලා…”
“ෂා…අපි සේරම යමු එහෙනම්…ඊළඟට තෙෂාරා…”
නදීරා කියන විට තෙෂාරාගේ මුහුණ ලැජ්ජාවෙන් රතු විය.
“දැන්ම බැහැ…තව ටිකක් කල් ඉන්න ඕන…”
“තේෂාන් හදිසි කරන්නේ නැත්ද…?” මම ඇසීමි.
“අනේ…නැහැ…”
ඒ මොහොතේ අනුරාග් අප දෙසට එන විට නදීරාත්, තෙෂාරාත් මා කෙරෙන් හෙමින් ඉවත ගියෝය. ඔවුන් එසේ නොකළා නම් හොඳයි කියා මා සිතූ මුත් ඔවුන් නැවතීමට මම පමා වූවා වැඩිය.
“යාළුවෝ මොකද මං එත්දීම යන්න ගියේ…?”
අනුරාග් ඇසුවේ සිනහ මුවෙනි. මම දෑසින් ඔවුන් පෙන්වූයෙමි. තේෂාන්, තෙෂාරා සමඟත් නදීරා, භාෂිත සමඟත් මිදුලේ තැන් තැන් වල කතා බස් කරමින් සිටි අතර මාධවත් ටිරෝනුත් ඉස්තෝප්පුවේ කෙළවරක හිඳ සිටියෝය. අනුරග් මා පසෙක බංකුවේ කෙළවරක හිඳ ගත්තේ ඔවුන් දෙස මඳහසකින් බලමිනි.
“එහෙනම් ඒකයි…”
“හ්ම්ම්…” මම හූ මිටි තැබුවෙමි.
“ආරණ්‍යාට හොඳ යාළුවෝ ටිකක් ඉන්නවා…”
“ඔව්…එයාලා හරිම හොඳයි…පහු ගිය කාලේ මං ළඟින්ම හිටියා…”
දෑස් තෙත් වුවද මම වහා වහා ඇසි පිය සළා කඳුළු සිර කරගතිමි.
“මට පුදුම ඔයා ඔෆිස් එකේ බොහෝම නිහඬ චරිතයක් වුණේ කොහොමද කියලා…”
“අලුත් යාළුවෝ ඇති කරගන්න මට ඕන වුණේ නැහැ…”
“ඒ ඇයි…?”
“සමහරවිට අවීශ්ට මගේ හිතේ ලොකු ඉඩක් අයින් කරන්න ඕන වුණ නිසා වෙන්නැති…”
අනුරාග් එයට හිස සැළුවේ ඒ අවබෝධ කරගත්තාක් මෙනි. නැන්දා රාත්‍රී භෝජනයට ආරාධනා කළ නිසා අපි ගෙතුළට පැමිණියෙමු.
“ළඟදීම අපිට වෙඩින් එකක් සෙට් වෙයි වගේ…”
මාධව මා පෙන්වා කළ ඉඟියෙන් සැවොමගේ අවධානය මා කරා යොමු වන විට මා තුළ ඇති වූයේ තිගැස්මකි. අනුරාග් ගේ මුව මත ඇඳුණු සැහැල්ලු සිනහව නිසා ඔහු එය සැබෑවටම ගත්තා දැයි සැකයක් මා සිතේ ඇති විය.
“එහෙනම් ඒක ඇත්තද…?”
තාත්තා ඇසුවේ පුදුමයෙන් අප දෙදෙනා දෙසම මාරුවෙන් මාරුවට බලමිනි.
“නැහැ…නැහැ…මිස්ටර් මාවන්…අපි නිකම් කතා කළා විතරයි…ආරාණ්‍යාගේ හිතට අමතර බරක් දෙන්න මම කැමති නැහැ…තුවාලයක් සුව වෙන්න කාලයක් යනවා… අනික තවම අපි හරියට යාළුවෝ වෙලාත් නැහැනේ…එහෙම නේද ආරණ්‍යා…?”
අනුරාග් වහා පැවසුවේ මගේ සහයට මෙනි. ඔහු මා තේරුම් ගැනීමට උත්සහ දරනවා හෝ දැනටමත් මා තේරුම් ගෙන ඇතිවා විය යුතුය. ඔහුගේ වචන පවා මට සිහි ගැන්වූයේ අවීශ්වමය. නදීරා මගේ බාහුවක් කෙනිත්තුවේ ඇයටද අවීශ් පැවසූ වදන් සිහි වූ නිසා වන්නට ඇත.
“එහෙනම් ඉතින් මුළින් යාළුකමක් ඇති කරගන්නකෝ…”
භාෂිත කී කතාවට අනෙක් අය අතර පැතිර ගියේ සිනහවකි. රාත්‍රී ආහාර ගත් සැටියේම අනුරාග් පිටව ගිය අතර තෙෂාරා හැරුණු කොට අනෙක් අය එදින අප නිවසේ නැවතුණෝය. ඇයටද අප සමඟ නැවතීමට වුවමනා වුවද තාත්තා නිවසේ සිටි බැවින් ඇයට එසේ කළ නොහැකි වූයෙන් අපි ඇයව නිවසට හැරළීමු.
“හැඩරුව විතරයි අනුරාග්ගේ වෙනස්…ගතිගුණ කතා බහ හැමදේම අවීශ්ම තමා…”
අපි යළි එන අතරේ ටිරෝන් කීවේය.
“ඇත්තමයි…සමහර වෙලාවට කතා කරන වචන පවා අවීශ්ගෙම වගේ…මාවත් දෙතුන් සැරයක් ඩොග් ගාලා ගියා…”
නදීරා එසේ කියන විට මා මුවින් සුසුමක් ගිළිහිණි. ඔවුනට එය එසේ දැනෙනවා නම් මට එය කෙසේ විය යුතුද….?
සුව නින්දක සිටි මා තිගැස්මෙන් අවදි වූයේ සිහිනයක් දැකය. යහන මතම හිඳගෙන මම යළිත් එම සිහිනය මෙනෙහි කළේ පහව නොගිය තිගැස්මත් නො සන්සුන්තාවයෙනුත් යුතුවය. එය මා සිතේ අලුත් ශෝකයක් ඇති කළේය. මම දුටුවේ අවීශ්වය. සුදෝ සුදු වතින් සැරසුණු ඔහු මා ඉදිරියේ සිටගෙන සිටියේ සිනහවක් මුව මත රඳවාගෙනය.
“අවීශ් ”
මම ඔහු අමතන විටම ඔහුගේ රුව බොඳව ගිය අතර මම තිගැස්මෙන් අවදි වූයේ එවිටය. දෙවියනේ…! එය සිහිනයක් නොව සැබෑවක්ම කියා මට සිතිණි. ඔහුගේ උපන් දිනය දාම මට ඔහුව සිහිනෙන් පෙනුණේ මන්ද…? ඔහු හොඳ තැනක සිටින බව කීමටද….?
“අනේ!…අවීශ්…”
මට හැඬිණි. මට ඔහුව කෙදිනකවත් අමතක නොවනු ඇත. ඔහුගේ රුව මම පැහැදිලිවම දුටුවා නොවේද…? මම එලෙසම හිඳගෙන බොහෝ වේලාවක් එම සිහිනය යළි යළිත් මෙනෙහි කළෙමි. මා පසෙක නිදා සිටි නදීරා තාලයට හුස්ම ඉහළ පහළ හෙළන හඬ මට ඇසේ. සඳ එළිය ජනේලයෙන් කාමරයට වැටී ඇති සැටි දැක මම සෙමෙන් යහනින් බැසගෙන විත් සඳළුතලයට පිවිසෙන දොර හැරගෙන එහි පැමිණියෙමි. සඳ එළිය මුළු අහසම පමණක් නොව මිහි මඬළත් එළිය කරමින් ගළා හැළිණි. තුනී සීතලක් මා හැඳ සිටි රාත්‍රී ගවුමට උඩිනුත් දැනුණද මම හුන් තැනින් මෑත් වීමට ලෝභ කමින් එලෙස බොහෝ වේලාවක් අහස පුරා බැබළෙන සඳවත දෙසම බලා සිටියෙමි. ඒ සඳ මතද මට පෙනුණේ ඔහුගේ රුවය. සුසුමක් හෙළමින් මම හුන් තැනින් මෑත්ව කාමරයට පැමිණ යළිත් යහන මත වැතිර ගත්තද මා වෙත නින්දක් නම් නොආවේය. හතර වටින් එළිය වැටෙන මොහොතේත් මා සිටියේ අවදියෙනි. හිරු එළිය සෙමෙන් සෙමෙන් කාමරයට ගලා එන විටත් මම සිටියේ ඔහේ බලානය. බිත්තිය මත වූ අවීශ් ඇඳි සිතුවම දෙස මම නිහඬවම බලා සිටියෙමි. ඒ කොපමණ වේලාවක්ද කියා මම නොදනිමි. හදිසි තිගැස්මකින් මම නැඟිට යහන මත හිඳ ගතිමි. මෙතෙක් කලක් මා මනසේ බැඳී තිබූ මිහිදුම පහව යම් ආලෝකයක් සිත තුළට එබිකම් කරන්නට විය.
“දෙවියනේ…! මෙතෙක් කලක් මට එය සිහි නොවූයේ මන්ද.?”
“නදීරා…නදීරා…නැඟිටින්නකෝ…”
මම ඇයව සොළවමින් කතා කරන විට ඈ අවදි වූයේ බියෙනුත් කළබලයෙනුත් ය.
“මොකද මෝඩියේ මේ උදේ පාන්දර…බෙරිහන් දෙන්නේ…? මදැයි දවල් වෙනකල් නිදා ගන්න හිටියා…”
ඈ ආඩපාලි කියන්නට වුවද මම ඒ ගැන තැකීමක් නොකළෙමි.
“නදීරා…මම දන්නවා…නිරාංගාන්ටි ඉන්න තැන…” එවර ඈ යහන මත හිඳ ගත්තේ පුදුමයෙනි.
“මොකක්…උදේ පාන්දර හීනයක් වත් දැක්කද…?” නොසතුටු හඬකින් ඈ ඇසුවාය.
“නැහැ…හීනයක් නෙවේ…ඇත්ත…”
“කොහෙද ආන්ටි ඉන්නේ…?”
මම ඇඟිල්ල දිගු කර අවීශ් ඇඳි සිතුවම පෙන්වන විට නදීරා පුළුටු කරගත් මුහුණින් මා දෙස බලා සිටියාය.
“දෙවියනේ!…ආරණ්‍යා…ඇයි අපිට ඒක කළින් මතක් නොවුණේ…?”
එවර ඇගේ හඬ උද්‍යෝගයෙන් පිරී තිබූ අතර නිදිමත ඈ කෙරෙන් පලා ගියාක් මෙනි.
“අපි ගමේ ඇඩ්‍රස් එක හොයා ගන්න ඕන…”
නදීරා කීවාය. එය මා ළඟ ඇත. අවීශ් කටුවට චිත්‍රය ඇඳි සී. ආර් පොත මා ළඟ තවමත් සුරක්ෂිතව ඇත. මම ඉන්පසුව එය ලාච්චුවෙන් පිටතට නොගත් බව මට මතකය.