Hima Mal Renu හිම මල් රේණු – 59
මටම වටහා ගන්නට නොහැකි හැඟීම් දහසක් මා සිතේ ඉපදෙමින් තිබූ අතර මම අනුරාග් දෙස බලා සිටියේ ඒ හැඟීම් පෙළ තෝරා බේරා ගන්නට උත්සාහයක යෙදෙමිනි. ඉන් මා සිත වඩ වඩා වෙහෙස වන්නට වූ බැවින් මම වහා එම සිතුවිලි මා සිතින් පලවා හැරියෙමි.
“ජිවිතේට ළං වුණ කෙනෙක්…හදිසියේම අපෙන් වෙන් වුණාම දුකයි තමා…ඒ දුක වැඩිපුරම දැනෙන්නේ…ඒ අවසන් මොහොතේ අපි එයා ළඟ හිටියානම්… හැබැයි ඒ දුක ඇතුළේ පුංචි සතුටකුත් නැතුව නෙවේ…”
“ඒ ඇයි…?” ඔහු කී දේ වටහා ගන්නට නොහැකිව මම ඇසීමි.
“අම්මා නැති වෙත්දී…එයා ළඟ හිටියේ මම…අන්තිම මොහොතේ එයා…මගේ ඔළුව අත ගාලා…”මගේ පුතා” කිව්වා… ඒ තමා එයා කියපු අන්තිම වචන ටික…ඒ ටික මට අදටත් ඇහෙනවා…ඇහෙනවා වගේ…”
ඔහු නිහඬ වූ අතර අප අතර ඒ නිහඬ බව මොහොතකට පැතිර ගියේය. එය තත්පර ගණනක්ද විනාඩි කීපයක්ද කියා කියන්නට මම නොදනිමි. ඔහු සිතේ තවමත් එම ශෝකී හැඟීම තුරන්ව නැති බව වැටහුණද ඔහු සිත සනසන්නට මා කුමක් කිව යුතුද කියා හෝ හැඟීමක් මා තුළ නොවූයේ මාද සිත් වේදනාවෙන් පෙළෙමින් සිටි බැවිනි. ඒ අතර තුර පිටතට ගිය ගුණතුංග මාමා කුඩා ගේට්ටුව විවර කරගෙන ඇතුළට පැමිණ ගේට්ටුව වසා දැමුවේ ඔහු හොර රහසේ යම් තැනකට ඇතුළු වූවාක් මෙන් වට පිට බලමින් වඩා සෝදිසියෙන් බව දැක මා මුවට නැගුණ සිනහව මම ආයාසයෙන් මැඩ ගත්තේ අනුරාග් මා අසළ සිටි නිසාය. ගුණතුංග මාමා අප දෙසත් බලා සිනහවක් පාමින් ගෙතුළට පියවර තැබුවේය. අනුරාග් තවමත් ඔහුට මා හා කතා බහ කිරීමට වුවමනා යැයි කී කතාව පැවසුවේ නැත. නදීරා ශීත කළ බීම වීදුරු දෙකකින් අපට සංග්‍රහ කර යළි ගෙතුළට ගියේ මා වෙත ඇසක් ඉඟි මරමිනි.
“ආරණ්‍යා…” අනුරාග් ගේ හඬින් මම ඔහු වෙත හැරුණෙමි.
“ඔයා තාම කතා කරන්න ඕන දේ කිව්වේ නැහැනේ…” මඳහසක් පාමින් මම කීවෙමි.
“ඔව්…මං මේ කියන්න හැදුවේ ඒක තමා…” ඔහුද එවන් වූ මඳහසක් මවෙත පුද කරමින් කීවේය.
“ඉතින්…?”
මා සිතේ චකිතයක් හෝ උනන්දුවක් ඇති නොවුවද මා එය අසන්නට කැමැත්තෙන් සිටින බව අඟවමින් මම කීවේ මම එය දැනටමත් දැන සිටින නිසාවෙනි.
“ඔෆිස් එකේ අය කතා වෙනවා ඇහුණා…ආරණ්‍යා මැරි කරන්න යනවා කියලා…ඒත් ඒක ඇත්ත නෙවේ කියලත් මම දන්නවා…එයාලා එහෙම කියන්නේ…ඒක ඔයා කියපු නිසා කියලාත් මම අනුමාන කළා…මම හරිද…? ඒ වගේම ඒකට හේතුවත් මම දන්නවා…”
මා මුවේ සිනහව පුළුල් වූයේ ඔහු එසේ කියන විටය.
“ඔයාට දිවැස් තියනවා කියලා මම අදනේ දන්නේ….” මුවේ ඇඳුණු සිනහාවෙන් යුතුවම මම කීවෙමි.
“ඔව්…සමහර වෙලාවට…”
ඔහුද සිනහසෙමින් කීවේය. මා ඔහුට සත්‍යයම පැවසිය යුතුය. කිසිවෙකුට චෝදනා කිරීමට හෝ කිසිවෙකු පාවා දීමට මට වුවමනා නැත.
“මට එතන නිදහසේ වැඩ කරන්න ඕන නිසයි මම එහෙම කළේ අනුරාග්…ගොඩක් අය හිතන් ඉන්නේ අපි අතරේ සම්බන්ධයක් තියනවා කියලා…”
ඔහුගේ මුවේ වූයේ සරදම් සහගත සිනහවකි. එය හරියටම දරුවෙකුගේ දඟ වැඩක් දැක වැඩිහිටියෙකුගේ මුවේ ඇඳෙන සිනහවකට සමානය.
“ඉතින් ඔයා හිතුවා එහෙම කරන්න…?”
“ඔව්…ඒක ඔයාටත් හොඳයි නේ…අනික තමා මං කැමති නැහැ…මං නැති තැන එයාලා මං ගැන අනවශ්‍ය කතා මවා ගන්නවට වගේම කතා වෙනවට…මං රස්සාව කරන්නේ හරිම කැමැත්තෙන්…අනික් අය මොනවා හිතුවත් අපිට මොකද කියලා හිතාගෙන හිතට එකඟව වැඩ කරන්න අමාරුයි…ඒකනේ ඇත්ත… මෙහෙම පුංචි බොරුවක් කිව්වා කියලා ඒකෙන් කාටවත් හානියක්වත් ප්‍රශ්නයක් වත් වෙන්නේ නැහැනේ…”
මම එක දිගට කියවගෙන යන විට ඔහු සාවධානව අසා සිටියේය.
“ප්‍රශ්නයක් වෙනවා…” ඔහු එසේ කියන විට මම පුදුමයෙන් බැලීමි.
“ඒ කාටද අනුරාග්…?”
“මට…”
“ඔයාට…?ඒත් ඒ කොහොමද…?”
“ඇයි ඉතින් ඔයා මැරි කරන්න යනවා කියලා කියත්දී ඒක මට ප්‍රශ්නයක් නේ…මොකද…මං ඔයා ගැන ලොකු කැමැත්තකින් ඉන්නේ ආරණ්‍යා…ඔයා කළබල වෙන්න එපා…”
ඔහු එසේ කීවද මා තුළ කළබලයක් නැත. මම එය දැන සිටියෙමි. ඉතින් කුමට කළබල වන්නද…? මම සාවධානව අසා සිටියෙමි.
“ඔයාව මිස්ටර් මාවන් ඔෆිස් එකට එක්කන් ආව දවසෙම මට ඔයා ගැන මාත් නොදන්න ලොකු හැඟීමක් ඇති වුණා ආරණ්‍යා…මිස්ටර් මාවන් මට එතකොටත් ඔයාට වෙච්ච අනතුර ගැන කියලා තිබුණේ…මගෙන් ඔයාට බලපෑමක් වෙයි කියලා හිතන්න එපා…වෙනදා වගේම ඔයා නිදහසේ වැඩ කරගෙන යන්න…මේ දේ මට ඔයාට කියන්න ඕන වුණේ…ගොඩක් දවස් ඉඳන්…ඒත්…ඔයා හිටපු වාතාවරණයත් එක්ක…මට ඒක දවසින් දවස ප්‍රමාද කරන්න වුණා…”
ඔහු මා දෙසම බලාන පැවසූ අතර මම අපහසුතාවයෙන් යුතුව හිස බිමට නැඹුරු කොට ගතිමි. මට ඔහුගේ දෑස් දෙස එක එල්ලේම බලන්නට නොහැකි බවක් දැනිණි. ඔහු තුළින් මට පෙනෙන්නේ අවීශ්වමය.
“මේ වෙලේ…මං ඔයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නැහැ…ආරණ්‍යා ඔයා මේක බරක් කරගන්නවත්…කරදරයක් කරගන්නවත් එපා…මම ඔයාට මුළින්ම කිව්වානේ…ඔයා නිදහසේ වැඩ කරගෙන යන්න…මම කිසිම බලපෑමක් කරන්නේ නැහැ…හිතේ තියාගෙන නිදහස්ව හිතන්න…පස්සෙන් ඇවිත් ආදරේ ඉල්ලන්න…අපි දැන් පොඩි අය නෙවේනේ…ඔයාගේ පිළිතුර මොකක් වුණත්…මං ඒක සතුටින් බාර ගන්නවා…”
ඔහු එසේ පවසා නිහඬ විය. බොරු අටුවා ටිකා නැත. ඔහු සිතේ හැඟීම් ප්‍රකාශ කළේ වැල් වටාරම් නැතිවය. මම ඔහු ප්‍රිය කරන බව මම දනිමි. නමුත්…මා සිතිය යුතුය. බොහෝ සිතිය යුතුය. මා සිතට යම් සැහැල්ලු බවක් දැනුණේ මන්ද කියා මම නොදනිමි. ඔහු පැවසූ ලෙස එය බරක් නොවේ.
“අපි ඒක කාලයට බාර දෙමු අනුරාග්…”
සැහැල්ලු ලෙස මම කීවෙමි. ඔහු මඳහසක් පෑ අතර අපි කතා කරගත්තාක් මෙන් එක වරම බංකුව මතින් නැඟී සිටියෙමු. අපි දෙදෙනම ගෙතුළට එන විට නැන්දාත් නදීරාත් සිටියේ ආලින්දයේය. ඈ මනමාල බැල්මකින් මා දෙස බලා අනුරාග්ට හොරෙන් මට ඉඟි කරන විට මම ඇයට රැව්වෙමි.
“වැඩේ ගොඩද…?”
නැන්දා අනුරාග් සමඟ කතා බහට පිවිසෙන විට නදීරා රහසින් මා විමසුවාය.
“පිස්සුද…?” නොමනාපයෙන් මම ඇසීමි.
“ආව්…ආව්…මූණ බැබළෙනවා…”
“විකාරද…?කට වහන් ඉන්නවා මැට්ටි…”
තරවටුවක ස්වරයෙන් මම කියන විට ඈ දබරැඟිල්ල දෙතොල් මත තබා නිහඬ වූයේ මා මුවේ සිනහවක් නංවමිනි.
අනුරාග් පිටව ගිය පසුව නැන්දාත් නදීරාත් ඔහු කුමක් කීවාද කියා අසා මට වද කරනු ඇතැයි කියා මම සිතුවද මගේ පුදුමයට මෙන් ඔවුන් කිසිත් විමසුවේ නැත. ඒ අතර මට සිහි වූයේ ගුණතුංග මාමාගේ දහවල හැසිරීමය. මම ඔහුට විහිළු කරමින් ඒ ගැන ඔහුගෙන් ඇසුවෙමි.
“අද මාමාගේ පස්සෙන් කවුරු හරි එළවන් ආවාද මාමේ…?”
නැන්දාත් නදීරාත් මා දෙස බැලුවේ සිනහවක් නංවාගෙනය.
“ඒ මොකද අයියේ…කවුද එළවන් ආවේ…?”
නැන්දා එය ඇසුවේ මා විහිළුවක් කරනවා යැයි කියා සිතා වන්නට ඇත.
“මාත් මේ ඒ ගැන කියන්නමයි හිටියේ..”
ඔහු බැරෑරුම් ලෙස එසේ පවසන විට නම් මා සිතේත් ඇති වූයේ කුතුහළයකි.
“මොකක්ද මාමේ…?”
“මං මාර්කට් එකට යන්න එළියට යනකොට සුදු පාට වෑන් එකක් ගේට් එක ළඟම නවත්තලා තිබුණා…මං ගේට් එක අරිද්දිම වගේ ඒක ගියා…ඒ වෙලේ මං ඒක එච්චර හිතුවේ නැහැ…ඒත් ආයේ එනකොට ආයෙමත් ඒකම ගේට් එක ළඟ නවත්තලා…මං ත්‍රී විල් එකෙන් බහිද්දීම ඒක ආයේ රූං ගාල මාරු වුණා…ඒ නිසයි මට පොඩි සැකයක් ආවේ…”
“ළඟ ගෙදරකට ආව එකක් වෙන්නැති අයියේ…”
නැන්දා කීවේ නොසැළකිලිමත් ලෙසිනි.
“මාත් මුළින් නම් හිතුවේ එහෙම තමා… ඒත්…දෙවෙනි පාරත් ඒක ඇයි අපේ ගේට් එක ළඟම නැවැත්තුවේ…?”
ගුණතුංග මාමා එසේ කියන විට නම් මා සිතේද ඇති වූයේ සැකයකි. පෙරදිනත් සුදු වෑන් රථයක් නිවස ඉදිරිපස නවතා තිබෙනු දුටු බව මට සිහි වූයේ මේ මොහොතේය. නමුත් මම ඒ බව කීමට නොසිතුවේ ඉන් යම් නොසන්සුන් බවක් ඔවුන් තුළ ඇති වෙනු ඇතැයි සිතාය.
“ඊයෙත් නම් වෑන් එකක් තිබුණා තමා..මං එනකොටත්…”
නදීරා එසේ කියන විට අපි තිදෙනම මුහුණින් මුහුණ බලා ගතිමු.
“මොකක්…?”
“ඔව්…නැන්දා…මටත් ඒක එච්චර ගානක් ගියේ නැහැ…මාමා කියන කල්…දැනුයි මීටර් වුණේ…මම පික් මී එකක් දාන් නේ ආවේ…කැබ් එකෙන් බහිද්දිම ඒක ගියා…”
“මං එද්දීත් සුදු වෑන් එකක් තිබුණා තමා…”
මමද එය කීවේ දැන් නම් එය නොකියා බැරි නිසාමය.
“මොනවා…?ඒක නම් අහඹු දෙයක් වෙන්න බැහැනේ…”
නැන්දා කළබලයෙන් මෙන් කියන විට අපි තුළද එවන් කැළඹීමක් ඇතිව තිබිණි.
“කවුරු හරි ඔත්තු බලනවාවත්ද…?”
සැකමුසු හඬකින් ගුණතුංග මාමා ඇසීය.
“පහු ගිය කාලේ සුදු වෑන් වලින් අරන් ගිහින් කීප දෙනෙක්ම අතුරුදහන් වුණානේ…”
නැන්දා නම් සැබෑවටම බියට පත්ව සිටියාය.
“ඔත්තු බලනවා කියලා කොහොමද හරියටම කියන්නේ…? අනික අපේ ගෙදර මොනවා ඔත්තු බලන්නද…අර කියන්නා වගේ ළඟ ගෙදරකට ආව වාහනයක්ද කවුද දන්නේ…?”
ඔවුන් සන්සුන් කරන අදහසින් මම කීවෙමි.
“ළඟ ගේකට ආවත් ඇයි අනේ ඔයාලගේ ඉස්සරහම නවත්තලා තියන්නේ … පිස්සුද…?”
නදීරා එසේ අසමින් කළේ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමකි. එවිටම දුරකථනය නාද වන හඬ නිසා නැන්දා නැඟිට ගොස් එයට ඇමතුවාය.
“හෙලෝ…හෙලෝ…තමුන් කවුද මේ කතා කරන්නේ…?”
නැන්දා කෝපයෙන් අසන විට අපි තිදෙනම බලා සිටියේ තිගැස්මෙනි. දුරකථනය හඬ නඟා පේනුව මත තැබූ ඈ අප වෙත පැමිණියේ කෝපයෙන් රත් පැහැ ගැන්වීගෙනය.
“කවුද රේඛා…?”
“කවුද දන්නේ…අයියේ…අර ඊයෙත් ආව කෝල්…එක…ආරණ්‍යා ඉන්නවද… අහනවා …කවුද කතා කරන්නේ ඇහුවට කියන්නේත් නැහැ…”
“අයෙමත්…?” කුහුල් සිතින් මම ඇසීමි.
“ඔය කෝල් එකයි…සුදු වෑන් එකයි අතරේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද…?”
කල්පනාකාරී හඬකින් ගුණතුංග මාමා ඇසුවේ මා සිතේද දැවුණු පැනයයි.
“මටත් දැන් නම් සැකයි…දුව…මීට පස්සේ නම් තනියම ගමන් බිමන් යන්න හදන්න එපා…ඔෆිස් යද්දීත් ගුණතුංග මාමා එක්කම යන්න…”
නැන්දා සිටින්නේ බියපත්ව බව මට වැටහිණ. යළිත් දුරකථනය නද කර එක්වරම නිහඬ විය.
“ආයේමත් අර මිස් කෝල් පිස්සා වගේ…දවසට දෙතුන් සැරේ මිස් කෝල් එනවා…”
නැන්දා කීවේ අලුති ඇති වූ කෝපයෙනි.
“අපෝ ඔව්…අපේ ගෙදරටත් එහෙම තමා…අම්මා බැන බැන…ඉන්නේ…ඔය ලෑන්ඩ් ෆෝන් එක අයින් කරමු කියලා…ටී වී කනෙක්ෂන් එක නිසානේ තියන් ඉන්නේ…”
නදීරාද එවිට කීවාය.
“සමහරු ජොලියට ඔය වගේ වැඩ කරනවා…” ගුණතුංග මාමාද කීවේය.
“ඔය සේරම මේ සතියක වගේ ඉඳන්…මීට කළින් මෙහෙම වුණේ නැහැ…”
නැන්දා යළිත් කියන විට දුරකථනය හැඬ වී යළි එසැනින් නිහඬ විය.
“ඔය මඟුල ගළවලා දාන්න තියෙන්නේ…කවුරුත් ඕකට කෝල් ගන්නේ නැහැනේ…”
ගුණතුංග මාමාද එසේ කීවේ කෝපයෙනි. දැන්, දැන් මේ සිදුවන්නේ අමුතු අමුතු දේවල් යැයි කියා මටද සිතිණි. මා අසමින් ඇමතුම් දෙන අය කවුරුන් විය හැකිද……?