Hima Mal Renu හිම මල් රේණු – 57 වෙනි කොටස
ලිපි ගොනුවත් රැඟෙන මම අනුරාග් ගේ කාර්යාල කාමරයට යන විට ඔහු සිටියේ දුරකථන සංවාදයකය. යාබද කුටියේ සිටි ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය වන සෙනුරි මා දැක අත වනන විට මමද ඇයට පෙරළා අත වැනීමි. අනුරාග් “හිඳගන්නැයි” කළ ඉඟියට කීකරුවම මම ඔහු ඉදිරියේ වූ අසුනේ හිඳ ගතිමි. ඊටත් විනාඩියකට පමණ පසුව ඔහු කතා බහ නිම කරමින් මා දුන් ලිපි ගොනුව අතට ගත්තේ ප්‍රමාදය පිළිබඳව සමාව අයදිමිනි.
“ඔයා ඉක්මනින්ම මේක අවසන් කරලා…”
ඔහු මා අගය කරන බැල්මක් මා වෙත හෙළමින් කීවේ මඳහසක්ද මා වෙත පුද කරමිනි.
“ඉක්මනටම නෙවේ මිස්ටර් අනුරාග්…පැයක් විතර ගියා…”
මමද ඔහු වෙත මඳහසක් පාමින් කීවෙමි.
“හොඳයි…හොඳයි…කොහොම නමුත් වැඩේ කළානේ…”
ඔහු සිනහසෙමින් කියන විට මමද සිනහසෙමින් අසුනින් නැඟී සිටියෙමි.
“ආරණ්‍යා…ටිකක් ඉන්න…මට ඔයාට දෙයක් කියන්න තියනවා…”
මම යළිත් අසුනේ ගිළී ගියෙමි. දෙඅත් උකුළ මත තබාගෙන මම ඔහුට පැවසීමට ඇත්තේ කුමක්දැයි සිතුවේ යම් තරමක කුහුල් සිතිනි. තාත්තා පැවසූ ලෙස ඔහු මා පිළිබඳව අදහසකින් පසු වනවාද….?
“මොකක්ද මිස්ටර් අනුරාග්…?”
ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියේ එක්වරම පිළිතුරක් නොදීය. වෙනදා ඔහු සමඟ කරන කතා බහේදී නොදැනුණ යම් අපහාසුතාවයක් මේ මොහොතේ මා සිතට දැනිණි.
“මෙහෙමයි…ආරණ්‍යා…ලන්ච් ටයිම් එකේ මම එළියට යමු කිව්වොත් ඒක ඔයාට අපහසුවක්ද…?”
මා සිත අභ්‍යන්තරයෙන් යම් තිගැස්මක් මෙන්ම කැළඹීමක් ඇති වුවද, ඔහු එය ඇසූ ආචාරශීලි බව නිසාම මුහුණට දමා ගසන්නාක් මෙන් එය ප්‍රතික්ෂේප කිරීම විනීත නොවන බව මට පසක් විණි.
“මේකයි මිස්ටර් අනුරාග්…අපි දෙන්නා එළියට ගියොත්…ඔෆිස් එකේ අය මොකුත් හිතන්න බැරි නැහැ…නේද…ඒක මිස්ටර් අනුරාග්ට හොඳ නැහැ…”
ඔහු සිනහාවක් මුව මත රඳවාගෙන මා දෙස බලා සිටියේ මා අනුමත කරන බැල්මක් සහිතව වුවද මා සිතට අපහසුවක් දැනුනේද එම බැල්මටය.
“ඔයා හරි…මටත් ඕක හිතුණා…හවස ඕෆ් වෙලා…කොෆී එකක් බොමු කියන්නත් මම කැමති නැහැ…මොකද ඒක ඔයාට හොඳ නැහැ…”
එවිට සිනහාවක් නැඟුණේ නම් මා මුවටය.
“මිස්ටර් අනුරාග් එහෙම හිතපු එකට මම කැමතියි…අනිද්දාට පෝය නිවාඩුනේ… මිස්ටර් අනුරාග් එන්න අපේ ගෙදර… තාත්තාත් එදාට ගෙදර ඉඳියි…නිදහසේ කතා බහ කරන්න සුදුසු පරිසරයක් අපේ ගෙදර තියනවා…දවල් කෑමටත් ඉන්න බලන් එන්න…”
මම ආරාධනා කරන විට ඔහුගේ මුවේ ඇදුණේ ප්‍රසන්න සිනහාවකි.
“ඒක නම් හොඳ අදහසක්…කරදරයක් නැත්නම්…හැබැයි මම මස් මාළු කන්නේ නම් නැහැ…”
“පෝය දවස නිසා…අපිත් මස් මාළු කන්නේ නැහැ…”
ඔහු එවිට දෙබැම රැළි නංවා මා දෙස බලා සිටියේය.
“ඒ ඇයි…පෝය දවසට…?”
“පෝයට මස් මාළු කන එක පව්ලු…”
“අනික් දවස් වලට පව් නැත්ද…?”
ඒ මොහොතේ මම තිගැස්සී ගියේ එම පැනයම දිනක් අවීශ්ද අසා තිබූ බව සිහි වූ නිසාය.
“පව් තමා මිස්ටර් අනුරාග්…”
සිතේ උපන් හැඟීම සඟවා ගෙන මම ඔහුට සමු දී පිටතට පැමිණ මගේ අසුනේ අසුන් ගන්නා විට චාරුකා මා වෙත හෙළූ අපහැදිළි බැල්ම මා දුටුවේ අහම්බෙනි.
මා අනුරාග් සමඟ විනාඩි දහයකට වඩා කාලයක් කතා බස් කර සිටින්නට ඇත්ද…? නැත. එපමණ කාලයක් මම ඔහු සමඟ ගෙවා නොතිබුණෙමි. ඔහු දුරකථන සංවාදයේද විනාඩියක් පමණ රැඳී සිටියේය. කෙසේ නමුත් ඔහුට මා හා කිරීමට ඇති කතා බහ මීට පෙර දිනක තාත්තා මා සමඟ කී දෙයට සම්බන්ධ දෙයක් වන්නට ඇතැයි කියා මට සිතිණි.
“මිස්ටර් අනුරාග් මොකද කියන්නේ…?”
චාරුකා මා වෙත හැරී නැඟූ පැනය නිසා මා සිතේ ඇති වූයේ නොමනාපය මුසු හැඟීමක් වුවද මම ඒ බව නොපෙන්වා මඳහසක් පෑවෙමි.
“ඔයා ගැන නම් ඇහුවේ නැහැ…ඔෆීෂියල් දේවල් ටිකක් කතා කළා…”
මම ඇනුම්පදයක් ලෙස එසේ කියන විට ඇගේ මුහුණ ලැජ්ජාවෙන් රතුව යන සැටි මම දුටිමි. කෙසේ නමුත් මා සිතේ ඈ කෙරෙහි යම් අනුකම්පා මුසු හැඟීමක්ද විය. ඈ අනුරාග් පිළිබඳව නොසිතනවා නම් හෝ ඔහු පිළිබඳව ඇගේ සිතේ අදහසක් නොතිබුණා නම් ඈ මෙලෙස ප්‍රශ්න නෑසීමට ඉඩ තිබිණි. දහවල් කෑම පැයේදී මම චාරුකාද සමඟ පිටතට පැමිණියේ ඇයත් සමඟ කතා බහ කරන්නටය. අනුරාග් සම්බන්ධයෙන් ඇයත් මාත් අතර සිත් අමනාප කමක් ඇති වනවා දැකීමට මා තුළ කැමැත්තක් නැත. ඇයත් සමඟ කතා බහ කිරීමට මම සිතුවේ එම හේතුව නිසා මිස කාර්යාලය තුළ ඇතිව තිබූ ඕපාදූප කතා ගැන බියෙන් නම් නොවේ.
“හදිසියේම මෙහෙම එළියට ආවේ…මොනවා හරි වැදගත් දෙයක් කතා කරන්න නේද…?”
බීම හලකට ගොඩ වී බීම වීදුරුවක රස බලමින් චාරුකා මා විමසුවාය.
“ඔව්…ඒකට තමා එක්ක ආවේ…”
“ඉතින්… ඒ මොකක්ද…?”
ඇයට තිබු හදිසිය මා තුළ නොවූ නිසා මම දොඩම් වීදුරුව සෙමෙන් සෙමන් රස බැලීමි.
“ඔයා හිතනවද මං මිස්ටර් අනුරාග් ගැන ඉන්ට්‍රස්ට් කියලා…?”
මම එක එල්ලේම අසන විට චරුකා තරමක් පසුබා ගිය බවක් මම දුටිමි.
“ම්ම්ම්…ඔයා එයා ගැන නැතත්…සර් නම් ඔයා ගැන ඉන්ට්‍රස්ට් කියලා පේනවා…”
ඒ ඇසූ මා සිත තුළ නම් තිගැස්මක් ඇති වූයේ එවැන්නක් මට නොදැනුණු හෝ නොපෙනුණු නිසාවෙනි.
“එහෙම දෙයක් මට පෙනිලත් නැහැ…දැනිලත් නැහැ…අනික ඉතින් අපිට කැමති වුණ පළියට අපිත් කැමති වෙන්න ඕන නැහැනේ…”
චාරුකා යටි තොළ සපා ගත්තේ එය ඇයටද වැදුණු පහරක් බව සිතා වන්නට ඇති මුත්, මම එය පැවසුවේ නම් ඈ ඉලක්ක කොට ගෙන නෙවේ.
“පවුල් පසුබිම අතින් බැලුවත් ආරණ්‍යා…ඔයාලා හුඟක් හොඳින් ගැළපෙනවා…”
චාරුකා සුළු මොහොතකට පසුව කියන විට මා මුවට නැඟුණේ උපහාසය මුසු සිනහාවකි.
“ඒක හරිම මෝඩ අදහසක් කියලා හිතෙන්නේ නැත්ද…? වැදගත් වෙන්නේ පවුල් පසුබිම නෙවේ…දෙන්නට දෙන්නගේ අදහස් උදහස්…ගතිගුණ ගැළපෙනවද කියන එක…එකට ජීවත් වෙන්න පුළුවන්ද කියන එක…”
නොසතුටෙන් මම කීවෙමි.
“ගැළපීම් නම් ගළපගන්න බැරියැ මැරි කළාම…”
චාරුකා මඳහසක් පාමින් කී කතාව නිසා මා සිතේ ඇති වූයේ නොසතුටකි.
“නොගැළපීම් ගළපගන්න පුළුවන් කියලා හිතල නම් කවදාවත් මැරි කරන්න එපා චාරුකා…එකට ජීවත් වෙත්දී ඒක ඔය කියන තරම් සුන්දර නැහැ…නෝනා රෑට ලයිට් දාලා නිදා ගන්න කැමති එකට මහත්තයා අකමැති වෙන්න පුළුවන්…හැබැයි ඕක ටික දවසක් යනකල් කරයි…ඒත් හැමදාම එහෙම වෙයි කියලා හිතන්න එපා…පුංචි පුංචි දේවල් තමා පහු වෙනකොට ලොකු දේවල් වෙලා ඩිවෝර්ස් වෙන තරම් දුර දිග යන්නේ…නොගැළපීම් ගළප ගන්න පුළුවන් කියලා හිතලා මැරි කරල සමහර විට ඒවා මුළු ජීවිතේම ගළප ගළප ඉන්න වෙයි…හැබැයි ජිවත් වෙන්න කාලයක් නැති වෙලා…ඇයි ගළපගන්නම කාලේ ගිහින්නේ…”
“අම්මෝ ආරණ්‍යා ඔයා ලොකු දේශනයක් කෙටියෙන් කිව්වා වගේ…”
“ඒත් කතාව ඇත්ත නේ…”
“ඔව්…ඔව්…සම්පූර්ණයෙන්ම ඇත්ත…”
“හ්ම්ම්…ඒ නිසා මෝඩ තාලෙට හිතන්න එපා…මිස්ටර් අනුරාග් කියන්නේ මගේ බොස්…මං දන්නේ නැහැ…මේකේ ඉන්න අය…මේ තරම් පටු විදියට හිතන්නේ ඇයි කියලා…සමහරවිට ඒ ඊර්ෂ්‍යාව නිසා වෙන්නැති නේද…? නැත්නම් බය…තමුන්ට ලබා ගන්න බැරි දෙයක් වෙන කවුරු හරි ලබා ගනියි…වෙන කාට හරි අයිති වෙයි කියලා වගේ…එහෙම නේද…?”
“ඔව්…එහෙමත් වෙන්න පුළුවන්…”
“ඒ වුණාට ඒක හරිම හිසරදයක්…ඔයාට පුළුවන්ද මට උදව්වක් කරන්න…?”
චාරුකා මා කියන දේ අසා සිටියේ මවිතයෙනි.
“ඒත්…ආරණ්‍යා…ඒක ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙයිනේ…”
“නැහැ…මං ඒක බලා ගන්නම්කෝ…” සැහැල්ලු සිනහවක් මුව මත ඇඳ ගනිමින් මම කීවෙමි.
පසුදින උදෑසන මා කාර්යාලයට පැමිණෙන විට නිහාරා ඇතුළු කිහිප දෙනෙකුම පැමිණ සිටි අතර ඔවුන් සියළු දෙනම එකතුව මට සුබ පතන්නට වූයේ මා සිත යටින් සිනහ නංවමිනි. චාරුකා මා කී දේ ඒ ලෙසම ඉටු කර ඇත.
“ඔයා මැරි කරන්න යනවලු නේද…කවද්ද වෙඩින් එක…?”
කවීශා ඇසුවේ අප උදෑසන ආහාර ගන්නා විටය.
“තාම දවසක් දාගෙන නම් නැහැ…ඒත් ඉක්මණින්ම ගනියි…”
මම පිළිතුරු ලෙස කීවේ චාරුකා වෙතත් ඉක්මන් බැලමක් හෙළමිනි. අනුරාග්ද මෙය ඉක්මනින් දැන ගන්නවා ඇත. නමුත් ඔහු දැන ගත්තා කියා මට ගැටළුවක් නැත. මින්පසුව හෝ අප දෙදෙන ඈඳා හිතළු මවා ගන්නා එක නවතා ගනු ඇතැයි කියා මම සිතුවෙමි.
“අනේ මන්දා දුව…ඔයත් කරන වැඩ…”
මම නැන්දා හා මෙය පවසන විට ඈ කීවේ සිනහසෙමිනි.
“දැන්වත් මට නිදහසේ වැඩක් කරගන්න පුළුවන් වෙයි නැන්දා…තව දෙයක්…”
“ඒ මොකක්ද…?”
“අනුරාග් මා එක්ක කතා කරන්න ඕන කිව්වා…මං කිව්වා…පෝයදාට ලන්ච් වලටත් එක්ක ගෙදර එන්න කියලා…කමක් නැත්ද…”
“ලන්ච් වලට ඉන්වයිට් කරලා ඉවර වෙලාද මගෙන් අහන්නේ කමක් නැත්ද කියලා…හරි ෂෝක්…ආවට පස්සෙම එපැයි අහන්න…”
මම එවිට සිනහසුණෙමි.
“නදීරාත් හෙට හවස එනවා කිව්වා නේද මෙහෙ ඉන්න…?”
“ඔව්…පෝය නිවාඩු නිසා එයත් එනව කිව්වා තමා…”
“දැන් මොනවද අනුරාග් කතා කරන්න හදන්නේ…?”
“මං දන්නේ නැහැ…අනික මට ඒක විශේෂයෙන් දැන ගන්න ඕන නැහැ…”
“ඔයා දන්නවා ඇතිනේ ඒ වුණාට…?”
“ලෙහන්න තියන මල්ල ඔබලා බලන්න ඕන නැහැනේ…”
“ඔබලා නොබැලුවත් මට නම් හිතා ගන්න බැරි කමක් නැහැ…”
නැන්දා මනමාල සිනහවක් පාමින් ඉවත ගියාය. පසුදින සවස නිවසට පැමිණි නදීරාද කීවේ නැන්දා කී කතාවමය.
“අයි කැන් ගෙස්…ගොනා ටර්න් වෙන්නේ කොකනට් ට්‍රී එකට කියලා…”
නදීරා කියන විට මා මුවේ සිනහව පිට පැන්නේය.
“මටත් ඒක ගැන අනුමානයක් නැතිව නෙවේ…”
“එහෙම එකේ ඔයා ජම්පින් මන්කීස්ලාට ලැඩර්ස් තියන්න ගියා…”
“අනේ ඕක නවත්ත ගන්නවද…මොන ජරාවක්ද…කොහෙන්ද පුරුදු වුණේ…?”
නොමනාපයෙන් මම කෑ ගසන විට නදීරා සිනහසුණේ බඩ අල්ලාගෙනය.
“හරි හරි…සමාවෙන්න…මං ටිකක් පොෂ් වෙන්න හැදුවා…අපේ ඔෆිස් එකේ ඉන්නවා එහෙම කීප දෙනෙක්…”
මට අනුරාග් සිහි විය. ඔහු අප සමඟ සිංහලෙන්ම කතා කරන්නේ ඔහු ඉංග්‍රීසි නොදන්නා නිසා නොව භාෂාවට ඇති ගෞරවය නිසාය.
“හරි…හරි…ඒකෙන් කමක් නැහැ…කියන්නන්කෝ…මොකටද දැන් පනින රිළවුන්ට ඉණිමං තිබ්බේ කියලා…”
“මං තිබ්බ ඉණිමඟක් නැහැ…අනික ඉණිමං නැතත් නොපැන ඉඳියිද…? නිය පොත්තෙන් කපන්න තියන දේ පොරොවෙන් කපන්න වෙනකල් බලන් ඉන්න ඕන නැහැනේ…මිස්ටර් අනුරාග්ට මං ගැන අදහසක් තියනවා කියලා මුළු ඔෆිස් එකම දන්නවා…හොඳම දේ තමා මේ හැමදේම කතා බහ කරලා බේරුමක් කර ගන්න එක…නැත්නම් මං වෙන තැනකට යන්න ඕන…”
“ඒක නම් හොඳයි තමා…ඒත් අත්තෙන් අත්තට පනින එක විසඳුමක් නෙවේනේ…ඔයාලගේ තාත්තාත් අනිවාර්යයෙන් අනුරාග් එක්ක කතා කරලා ඇති…එයා අවීශ් ගැනත් දන්නවානේ…?”
එය නැතැයි කිව නොහැක. අනුරාග් දිනක් දෙකක් මගෙන් අප අනතුර පිළිබඳවද විමසූ සැටි මට මතකය.
“ඔයා කියන්නේ…තාත්තාම මේ ගැන අනුරාග් එක්ක කතා කරන්න ඇති කියලද…?”
“මංදා…මට එහෙම හිතුණා…” නදීරා කීවේ දෙවුර සළමිනි.
“ඒත් නදීරා…”
“ඒත්…මේත් නෙවේ…මැට්ටි…මට පේන්නෙම මේකත් අංකල් ගේ වැඩක්…එයා තාමත් හදන්නේ බොර දියේ මාළු බාන්න…හැබැයි ඉතින් ආරණ්‍යා මෙහෙම දේකුත් තියනවා…”
ඒ කුමක්දැයි..? යන කුහුළින් මම නදීරා දෙස බැලීමි.