More
    spot_img
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 54

    Hima Mal Renu හිම මල් රේණු – 54

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    තාත්තා අසුන මතින් නැඟී සිටියේ මුවින් කිසිත් නොකියා වුවද ඔහුගේ මුහුණේ රැඳී ඇති නොපහන් හැඟීම මා දෑසට නොපෙනී ගියේ නැත. ඔහු කුමක් කීවත් මම ඒ කිසිත් තැකීමක් නොකරමි.

    “දැන්වත් ඔය හිතුවක්කාර ගමන් බිමන් යන එක නවත්වන්න…”

    ඔහුගේ හඬේ වූයේ තරවටුවක ස්වරූපයකි.

    “මම කවදාවත් එහෙම ගමන් ගියේ නැහැ කියලා තාත්තා දන්නවානේ…”

    මමද එකටෙක කීවෙමි.

    “ළමයෝ…”

    “තාත්තා හැමදාම සැකෙන් අවිශ්වාසෙන්නේ හිටියේ…මං කොච්චර කිව්වද තාත්තාට අපි අතරේ අෆෙයාර් එකක් නැහැ කියලා…ඒත් තාත්තා විශ්වාස කළේම නැහැනේ…තාත්තා මාව අවීශ්ගෙන් ඈත් කරන්න කරපු හැමදේම මම දන්නවා…”

    “මම මොනවාද කළේ…?”

    කිසිවක් නොදන්නා මෙන් තාත්තා අසන විට මා සිතේ ඇති වූයේ නොසතුටකි. මිනිසුන් හැමෝම කරන්නේ බොරු රඟපෑම්ය. ඒවාට අපි අසු වෙනවා යැයි සිතා දිගින් දිගටම රංගනයේ යෙදෙයි.තමන්ගේ අයද මෙසේ කරන විට ඇති වන්නේ දැඩි කළකිරීමක් නොවන්නේද…?

    “දැන් තාත්තා කතා කරන්නේ නිකන් මොකුත්ම දන්නේම නැහැ වගේනේ…තාත්තා අවීශ් මුණ ගැහිලා කිව්වේ නැත්ද මාව මුණ ගැහෙන්න එපා කියලා…?”

    නැන්දාද තාත්තා දෙස බලා සිටියේ ඔහු පිළිතුරක් දෙන තුරු මුත් ඔහු නිහඬය.

    “තාත්තාට දෙන්න උත්තරත් නැහැ…කොහොම වුණත් දැන් තාත්තාට වුවමනා වුණ දේ වුණානේ…අවීශ් ආයේ කවදාවත් මාව මුණගැහෙන්නේ නැහැ…දැන් තාත්තාට සතුටු ඇතිනේ…?”

    මම එසේ කියා ගෙතුළට ආවේමි. නදීරා මා එන විට හිඳ සිටි අසුනින් නැඟිට මා පසුපසින් පැමිණෙනු මට දැනිණි. මා සිතේ වේදනාව බලවත්ව නැඟුණද හඬා වැටෙන්නට මට වුවමනා නොවීය. කාමරයට පැමිණි මා යහන මත හිඳ ගෙන අවිශ් ඇඳි සිතුවම දෙස නිහඬ බැල්මකින් බලා සිටියෙමි. නදීරාද කිසිත් නොකියාම මා පසෙක හිඳ සිටියාය. සිතුවම දෙස බලා සිටීමෙන් මා සිතට යම් අස්වැසිල්ලක් හෝ සහනයක් දැනුනාද කියා මට නිශ්චිතවම පැවසිය නොහැකිය. සමහරවිට එය සිත් වේදනාව අලුත් කළාද විය හැකිය. එය අවීශ් ගේ මතකය නිතරම උඩට ඔසවා තබන මෙවලමක් බඳු විය. එය එසේ නැතත් ඔහු නිතර සිහි වෙයි. ඔහු ඇසුරු කළේ ඉතා කෙටි කලක් වුවද මා බොහෝ කාලයක් ඔහු ඇසුරු කළාක් මෙන් මට දැනිණි. ඔහුගේ මතකයෙන් මිදීමට නම් මට කිසි කලෙක නොහැකි වනු ඇත. එසේ කිරීමට මට වුවමනාද නැත. ඇවැසි එකම දේ ඔහුගේ මතකය තුළ ජීවත් වීමටය. නදීරා හෙළූ සුසුමක බර හඬින් මම ඈ දෙස හිස හරවා බැලුවෙමි. මඳහසක් මුවට නඟා ගත් ඈ මගේ අතක් තරයේ අල්ලා ගත්තාය. මුවින් නොකී දහසකුත් හැඟීම් එම ක්‍රියාව තුළ ගැබ්ව ඇති බව මට හැඟී ගියේය. ඈ මගෙන් සමුගෙන ගිය පසු යළිත් හුදකලාවක් මා වෙළා ගති.

    නොබෝ දිනකින් මම සම්මුඛ පරීක්ෂණයට යා යුතුව තිබිණි. එය මෙතෙක් පමා වූයේ මෙහෙරා ආයතනයේ ප්‍රධානියා ටික කලකට ඉන්දියාවට ගිය බවක් තාත්තා මා සමඟ පවසා තිබීමය. මේ අතර තුර මම ප්‍රසාද් පිළිබඳව හෝ නිරංගා ඇන්ටි පිළිබඳව තොරතුරක් සොයා බැලීමට කටයුතු කළද, එය නිරර්ථක විය. ඉඳහිට මිතුරු මිතුරියන් සමඟ යෙදෙන සමූහ දුරකථන ඇමතුමකදී අපි වැඩි පුරම කතා කළේ අපේ අතීත සිදුවීම් ගැනමය. ඒ හැම තැනකම අවීශ් සිටියා සේම ඒ හැම විටම අපේ සිත් තුළ වූ ශෝකය අලුත් විය.

    “අවීශ්…”

    ඔහු සැමදා අප සිත් තුළ සදාකාලික මතකයක් වී ජීවත් වනු ඇත. ඉතින් ඔහු නොමැතිව ගෙවන ජීවිතයකට අපි හුරු විය යුතුය. ඔහුගේ මතකයත් සමඟ අපි ඉදිරියට යා යුතු වූයෙමු. නමුත් එය කෙසේ කරන්නද කියා වැටහුමක් නම් මා තුළ නොවීය.

    ලා කහ පැහැති සාරිය හැඳගෙන මම මොහොතක් කැඩපත ඉදිරියේ සිටගෙන හිස් බැල්මකින් මගේ රුව දෙස බලා සිටියෙමි. මට සිහි වූයේ අවීශ්ය. ඔහු කහ පැහැය ප්‍රිය කළේ මන්ද කියා මම නොදනිමි. එය මගේද ප්‍රියතම පහැය විය.

    “දුව එන්න…කෑම ටික සීතල වෙනවනේ…බත් ටිකක් කාලා ඉන්න…”

    නැන්දා මා අමතන හඬින් මම කුඩා අත් බෑගයත් ලිපි ගොනුවත් ගෙන කාමරයෙන් පිටතට පැමිණියෙමි. තාත්තා කෑම මේසයට හිඳ ගෙන අප එන තුරු බලා සිටියේය. කෑමට ප්‍රියක් මා තුළ නොවූවද මම බත් කටවල් කීපයක් කෑවේ නැන්දා කෙරෙහි වූ අනුකම්පාව නිසාමය.

    “තව ටිකක් කන්න ළමයෝ…” ඈ බල කළද මම එය ප්‍රතික්ෂේප කළෙමි.

    “ඇවිත් කන්නම්…ඉක්මනට එනවානේ…” ඈ සනසන අදහසින් මම කීවෙමි.

    “ඇවිත්ම කයි…”

    නැන්දා නොසතුටෙන් කීවාය. පිටත් වෙන්නට පළමුව මම තාත්තාටත් නැන්දාටත් ගුණතුංග මාමාට මෙන්ම චන්ද්‍රම්මාටද දණ නමා වැන්දෙමි.

    “අනේ මගේ මැණිකේ මට වඳින්නේ ඇයි…?”

    ඈ එසේ ඇසුවද මා හිස මතට අත තබා මට ආශිර්වාද කළාය.

    “තුණුරුවන්ගේ සරණයි මගේ මැණිකේ…හැමදේම සාර්ථක වෙන්න ඕන…”

    ඈ එසේ කියන විට මා දෑසට කඳුළු ඉණුවේ යළිත් වතාවක් අවීශ් සිහි වීමෙනි. අද ඔහු සිටියා නම් මේ ගමන මා යන්නේ ඔහු සමඟය. තාත්තා රියට නැඟෙන විට මම නැන්දා සිප ගෙන විත් රථයට නැඟුණෙමි. මා අනුරාග් මෙහෙරාට හඳුන්වා දුන් තාත්තා ඉක්මනින් පිටව ගියේ හදිසි වැඩ කටයුතු කීපයක් ඇති නිසා කාර්යාලයට යා යුතු බව කියමිනි.

    *************************************************************************අනුරාග් මෙහෙරා, ඔහු වයස අවුරුදු විසි අටක උතුරු ඉන්දියානු නළුවෙකු මෙන් කඩවසම් මෙන්ම ඉතා ප්‍රියමනාප තරුණයෙකු වූ අතර ඉතා හොඳින් සිංහල භාෂාවද කතා බහ කළේ ඒ අතරට ඉංග්‍රීසි වචනයක් හෝ යොදා නොගැනීමට තරම් ප්‍රවේශම් වෙමිනි. ඔහු සමඟ කළ කතා බහෙන් මට එම සුවිශේෂි බව අවබෝධ වන විට මා සිතේ ඔහු කෙරෙහි ඇති වූයේ යම් ගෞරවය මුසු හැඟීමකි. සමහර සිංහලයන් තමන් දන්නා බව හෝ කැපී පෙනීමේ ආශාව නිසා සිංහල වචන අතරට ඉංග්‍රීසි වචන දමා කතා කිරීම දැන් මෝස්තරයක් කරගෙන ඇත. එය එසේත් නොවේ නම් එය තම පුහු මාන්නය පෙන්වීමට යොදා ගන්නා මෙවළමක් කොට ගෙන ඇත. ඉංග්‍රීසි යනු භාෂාවක් මිස ආභරණයක් නොවන බව ඔවුන් නොදැන සිටීම කණගාටුදායකය. අනුරාග් මා සමඟ ඉතා ඉක්මනින් මිතුරු වූයේ මා නොසිතුව ලෙසිනි. මුළින් මා සිතා සිටියේ ඔහු මැදි වියත් ඉක්මවූ අයෙකු බවය. මට පුහුණුව ලබා දුන්නේත් ඔහුම නිසා මට ඔහු ඉතා ළඟින් ඇසුරු කිරීමට අවස්ථාව ලැබිණ.

    “ඔයාට නොතේරෙන ඕනම දෙයක් මට කියන්න…මිස් ආරාණ්‍යා…මම ඔයාට උදව් කරනවා…ඔයා බය වෙන්න එපා…මම ඉන්නවා ඔයා එක්ක…”

    වරෙක ඔහු පවසන විට මා දෑස් කඳුළින් බොඳව ගිය අතර මම වහා වහා කඳුළු සඟවා ගන්නට දැරූ උත්සාහය අනුරාග් දුටුවේය.

    “ඕහ්…! මම ඔයාට හිත රිදෙන දෙයක්ද කිව්වේ…මිස් ආරාණ්‍යා…? මම ඒ ගැන සමාව අයදිනවා…”

    ඔහු පවසන විට මා මුවට සිනහ නැඟිණි.

    “එවර ඔයා හිනා වෙනවා…මං කිව්ව දේ වැරදිද…?”

    ඔහු අසන විට මා සිතේ කණගාටුවක් ඇති විය.

    “අනේ නැහැ මිස්ටර් අනුරාග්…මට සමාවෙන්න…මං හිනා වුණේ ඒ නිසා නෙවේ…සමාව අයදිනව කියන්න එපා… සමාව ඉල්ලනවා…හරි කණගාටු වෙනවා හරි කියලා කියන්න…ලියන භාෂාවෙන් කතා කරන්න ඕන නැහැ…අනික එවර කියන්න එපා…ඒ සැරේ හරී ඒ පාර හරි කියලා තමා කතා කරත්දී කියන්නේ… ලියන කොට නම් ඒක අවුලක් නැහැ…”

    ඔහු මා දෙස මොහොතක් බලා හිඳ මෙසේ කීවේය.

    “ගොඩාක් ස්තූතියි…මෙච්චර කාලෙකට කවුරුත් මට ඒ විදියට කියලා දුන්නේ නැහැ…ගොඩාක් ස්තූතියි…”

    ඔහු නිහතමානි ලෙස එසේ පැවසුවේය. ඔහුගේ සිංහල උච්ජාරණය ඉතා සිත් ගන්නා සුලු වූ අතර මම ඔහු කතා කරනවා අසන්නට ප්‍රිය කළෙමි. අනුරාග් සමඟ කතා බහ කරන සෑම විටම මම හැකිතාක් සිංහලයෙන්ම කතා කිරීමට ප්‍රවේශම් වූයෙමි. අපේ ඇතැමෙකුට අගයක් නොවන අපේ මව් භාෂාවට ඔහු ඉතා ගෞරවයක් සහ ආදරයක් දැක්වීම අගේ කළ යුතුම විය.

    රැකියා ස්ථානය සොඳුරු තැනක් වුවද මම එහි බොහෝ මිතුරු මිතුරියන් ඇති කර ගත්තා යැයි කියා මම නොසිතමි. තේ විවේකයේදී හෝ කෑම පැයේදී ඉඳහිට කතා බහ කළද එය සමීප ඇසුරක් නම් නොවීය. මුල් මාස කීපයේ මට දිවා ආහාර ගැනීමට සිදු වූයේ අනුරාග් සමඟ නිසාත් මට අනෙක් අය සමඟ මුහු වීමට ලැබුණු ඉඩ කඩද සීමා සහිත විය. මම ඔවුන් මඟ හැර සිටියා කියා මම නොකියමි. මම ඔවුන් සමඟ සුහදව කතා බස් කළද එය කුළුපඟ ඇසුරක් නම් නොවීය. එසේ වීම පිළිබඳව මට මා ගැනම පුදුම සිතෙන්නේ මම කෙතරම් නම් මිතුරු ඇසුර ප්‍රිය කරන අයෙක්ද කියා සිතන විටය. ගමේදී මෙන්ම කොළඹට පැමිණි පසුවත් මම ඉතා ඉක්මනින් මිතුරු මිතුරියන් ඇති කර ගතිමි. මාව ප්‍රිය නොකළ තෙෂාරා පවා අද මගේ හොඳම මිතුරියක වී ඇත. අවීශ්ගේ වුවද උඩඟු බව බිඳ දමා ඔහුගේ මිතුරියක වීමට තරම් මම හපනියක නොවූයෙම්ද…?

    “අවීශ් අපේ යාළුවෙක් වුණෙත් ඔයා නිසානේ ආරණ්‍යා …නැත්නම් එයා කවද්ද අපිව ආශ්‍රය කළේ…”

    දිනක් නදීරා එවන් කතාවක් කී සැටි මට අද මෙන් මතකය. ඒ පිළිබඳව සියුම් ආඩම්බරයක් මා සිතේ නොවූවා නෙවේ. අන් කිසිවෙකුට එය කළ නොහැකි විය. සමහරවිට ඔහු කිසිවෙකු නොසළකා හැර සිටියාද, එසේත් නැත්නම් ඔහුගේ උඩඟු කම නිසා කිසිවෙකු ඔහුව නොසළකා සිටියාද කියා කීමට මම නොදනිමි. සමහරවිට ඔය කාරණා දෙකම එයට බලපාන්නට ඇත. එහෙත් අද…? අද ඔහු නැත. ඔහු සිහිවන මොහොතක් පාසාම මා දෑස් පිරී යන කඳුළු සඟවා ගන්නට මම දරන්නේ අසීරු ප්‍රයත්නයකි. දිනක් එය අනුරාග් දුටුවේය.

    “ඔයා ලොකු අනතුරකට මුහුණ දුන්නා කියලා මට මිස්ටර් මාවන් කියලා තිබුණා…ඔයාට සමහර වෙලාවට ඒක මතක් වෙනවා ඇති…මට කණගාටුයි…”

    ඔහු එසේ කියා නැඟිට මඳකට ඉවත ගියේ මගෙන් සමාව යදිමිනි. ඒ මට මොහොතකට තනි වීමට ඉඩ දීමේ වුවමනාව නිසා බව මට වැටහිණි. ඒ මොහොතේ ඔහු කෙරෙහි මා සිතේ ඇති වූයේ පුදුමාකාර වූ හැඟීමකි. මම අවීශ්වත් ඔහුවත් සංසන්දනය කරන්නට උත්සාහ නොකළද ඔවුන් දෙදෙනාගේ සමහර ගතිගුණ එක හා සමාන යැයි කියා මට සිතුණු අවස්ථා බොහෝය. අවීශ් මා දෑසේ කඳුළු දකින්නට මා අසළ සිටියා නම් ඔහු මෙසේ පවසනු ඇතැයි කියා මම සිතුවෙමි.

    “ඕකට අඬන්න ඕන නැහැනේ නදීරා…පොඩි බබෙක් වගේනේ…”

    ඔහු නිසැකවම එසේ පවසනු ඇත. එසේ කීමටවත් ඔහු අද නැත. මම අසුනින් නැඟිට ගොස් මුහුණ සෝදාගෙන යළි පැමිණ මගේ කාර්යයට අවධානය යොමු කළෙමි. කාලය ගත වී ගියේ පියාපත් ලද්දාක් මෙනි. මා සේවයට පැමිණ සය මසක්ද ඉක්ම යෑමට ආසන්නය. එය අද ඊයේ සිදු වූ දෙයක් මෙනි.

    “ආරාණ්‍යා…ඔයා ඉක්මනටම වැඩ පුරුදු වුණා…මම ඔයාව…අංශයකට දාන්නම්…”

    අනුරාග් මා අමතා කීවේය. දැන් ඔහු මා අමතන්නේ නමින්මය. අපි මාස කීපයක් එක්ව වැඩ කළ නිසා අපි දැන් මිතුරුව සිටි නිසා එසේ අමතනවා වන්නට ඇත.

    “මිස්ටර් අනුරාග් මාව පුහුණු කරපු නිසා වෙන්නැති…ගොඩාක් ස්තූතියි…”

    මම කීවේ අවංක වූ හඬකිනි. ඔහු මාව ඔහු සිටි මහළේම අංශය වෙත යොමු කළ අතර එහි අංශ ප්‍රධානියා වූයේ චාරුකාය. මම ඇයත් සමඟ කතා බහ කර තිබුණේ වචන කීපයක් වුවද ඈ ප්‍රියමනාප රූමත් තරුණියක වූවාය. අනුරාග් මා ඇය වෙත යොමු කරමින් කියා සිටියේ මා කළ යුතු වැඩ කොටස් ටික පෙන්වා දෙන ලෙසය. චාරුකා ඔහු කී ලෙසම ඉටු කළ අතර ඈ මා සමඟ ඉතා ඉක්මනින් මිතුරු වූවාය.

    “ගොඩාක් අය ඔයා එක්ක ජෙලස්…”

    දිනක් චාරුකා මා සමඟ කියන විට මම පුදුමයෙන් ඈ දෙස බැලීමි.

    “ඒ ඇයි…?”

    “මිස්ටර් අනුරාග් ඔයාත් එක්ක හිතවත් නේ…ඒ නිසා වෙන්නැති…”

    ඈ නොසැළකිලිමත් ලෙස දුන් පිළිතුර මා සිත් ගත්තේ නැත. ඒ පිළිබඳව හාර, හාරා යන්නට ඕනෑකමක්ද මා තුළ නොවූ නිසා මම නිහඬව සිටියේ ඈ වැඩි යමක් පවසනු ඇතැයි සිතාය. මා සිතූ ලෙසම ඈ දිගටම කතා කරන්නට වූවාය.

    “මෙහෙ ගොඩාක් දෙනෙක් මිස්ටර් අනුරාග්ට කැමතියි…හරියට…එයා නිකන් ඩ්‍රීම් බෝයි ගානට තමා කට්ටිය හිතන් ඉන්නේ…?”

    “ඔයාත් එහෙමද…?” කියා ඇසීමට මුව පොපියෑවද මම නිහඬව සිටියෙමි.

    “හැමෝම එහෙම හිතනවා කියලා මිස්ටර් අනුරාග් දන්නෙ නැතුව ඇති මං හිතන්නේ…?”

    මම කීවේ උපහාසය මුසුව වුවද චාරුකා මා දෙස බැලුවේ තිගැස්මෙනි. මම ඒ බවක් අනුරාග් හා පවසනු ඇතැයි කියා ඈ බිය වූවාක් මෙනි.

    “මම ඕවා කියන්න යන්නේ නැහැ…මට මොකටද ඔය දේවල්…”

    නොසතුටෙන් මම පවසන විට ඇගේ මුවේ සහනයකට පත් බවක් සටහන් විය.

    “හැබැයි ඉතින් මාත් ටිකක් ජෙලස් එකෙන් තමා හිටියේ…”

    සුළු මොහොතකට පසු ඈ කීවේ මා මුවේ සිනහාවක් නංවමිනි.

    “මම හිතුවා…” යැයි කියා මම නොකියා සිටියෙමි.

    නිතර අනුරාග් මට ඔහුගේ කාර්යාලයට කතා කළේ සමහර දේ ගැන මගෙන් උපදෙස් ගැනීමට හෝ මගේ අදහස් විමසන්නටය. එවන් විටක එහි සියළු දෙන මා දෙස බලා සිටියේ අමුතු දෙයක් සිදුවන්නාක් මෙනි. චාරුකාද එවන් විටක සරදම් දෑසින් මා දෙස බලනු මා දුටුවේ වරක් දෙවරක් නොවේ. ඒ මොහොතේ මම කිසිත් නොකීවද පසු විටක මම ඇයට ඇනුම්පදයක් එල්ල කළෙමි.

    “හැමෝම අමුතු විදියට බලන්නේ හරියට මං මිස්ටර් අනුරාග්ව අල්ල ගන්න හිතාගෙන ඔෆිස් රූම් එකට යනවා වගේනේ. එහෙම වුවමනාවක් තිබුණා නම් මං මෙතන ජොබ් එක කරන්න ඕන නැහැ…මේකෙන් අයින් වෙලා මිස්ටර් අනුරාග්ව මැරි කරනවනේ…”

    මම එසේ කියන විට ඈ ලැජ්ජා මුසුව බිමට හිස යොමා ගත්තාය. කාර්යාලය නිමවීමට ආසන්නව තිබූ ඒ මොහොතේ තේෂාන්ගෙන් ඇමතුමක් ලැබුණෙන් මම එයට ඇමතීමී.

    “ආරණ්‍යා ඔෆිස් ඇරිලා කෙළින්ම අවීශ්ලාගේ ගේ ළඟට එන්න…අපි එතෙන්ට යනවා…”

    ඔහු කලබළකාරී හඬකින් කියන විට මට හුන් තැනින් නැඟිට්ටටුණේ ඉබේටමය.

    “ඒ…ඇ…යි…තේ…ෂා…න්…?”

    මම තැති ගැන්මෙන් අසන විටත් ඔහු දුරකථනය විසන්ධි කොට අවසානය.

    -හෙටත් මුණ ගැසෙමු-

    Latest news

    Shooting in Hikkaduwa – හික්කඩුවේ වෙඩි තැබීමක්

    Shooting in Hikkaduwa හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ අද (03) පස්වරු 7.00 ට පමණ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින්...

    Special transportation services අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා සිට

    Special transportation services  එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවා ලබන 08 වැනිදා...

    Highland products හයිලන්ඩ් නිෂ්පාදන කිහිපයක මිල අඩු කෙරේ

    Highland products  - හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව යෝගට් එකක...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...
    - Advertisement -spot_img

    Batman සදහටම සමුගනී

    Batman Forever, Star of Top Gun වැනි චිත්‍රපට ඔස්සේ අතිශය ජනප්‍රියත්වයට පත් අමෙරිකානු රංගන ශිල්පී Val Kilmer ඊයේ (අප්‍රේල්...

    Parliament පාර්ලිමේන්තුවේ ඉන්න “චොප්පේ” කවුද?

    Parliament - පසුගියදා (මාර්තු 31) පැවති ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රචාරක වැඩසටහනක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කර...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    <p>You cannot copy content of this page</p>