More
    NovelsHima Mal RenuHima Mal Renu හිම මල් රේණු - 50

    Hima Mal Renu හිම මල් රේණු – 50

    -

    spot_img

    Hima Mal Renu හිම මල් රේණු

    නැන්දාට වුවමනා වූයේ මා ඉවතට කැඳවා ගෙන යෑමටය. අමිහිරි වාතාවරණයක් ඇති වේයැයි ඈ බිය වන්නට ඇත.

    “අපි යමු දුව…නිකන් ප්‍රශ්න දුර දිග යනවානේ…”

    “නැහැ…නැන්දා…ඔයාත් ඉන්න…දුරදිග යන්න නෙවේ…දුර දිග ගියා වැඩියි…ඔයාත් නොදන්න දේවල් ගොඩාක් තියනවා…ඒවා අහගන්න…හැමෝම මට චෝදනා කළා…මම අවීශ් එක්ක වැරදි ගමනක් ගියා කියලා…ඒත් මං කොහේද ගියේ කියලා මෙයාගෙන් අහන්න…”

    මම පුංචි අම්මා වෙත ඇඟිල්ල දිගු කරමින් කියන විට ඈ තිගැස්මෙන් වටපිට බලන්නට වූවාය.

    “මං කොහොමද දන්නේ…ඔයා කොහේ ගියාද කියලා…”

    “ඔව්…තමුන් දන්නේම නැහැ…බොරුවට රඟපානවා…නැන්දා දන්නේ නැහැනේ අපි ඇක්සිඩන්ට් වුණේ කොහොමද කියලා…”

    “ඔයාට මොනවද කියන්න තියෙන්නේ…?” පුංචි අම්මා බියපත් හඬින් ඇසුවාය.

    “දැන්ම බය වෙලා නේද…? මං තවම කතාව කිව්වෙත් නැහැනේ…”

    උපහාසයෙන් සිනහවක් පාමින් මම කීවෙමි.

    “ඔයා මොකක් හරි බොරුවක් කියන්න හදන් ඇති…මම මොකටද බය වෙන්නේ…?”

    “මමද මෙච්චර කල් බොරු කළේ…?” මම කෑ ගැසීමි.

    “මොකක්ද සිද්ද වෙන්නේ මේ…?” තාත්තා ගොරහැඬි හඬකින් ඇසීය.

    “ඒකම තමා මාත් මේ කියන්න හදන්නේ…තාත්තා දන්නවද මෙයාගේ චූටි දෝණි කරපු හරිය…? එදා එයාර්පෝර්ට් එකට ඇරලවලා ආවට පස්සේ එයා ටෙලාන් මුණ ගැහෙන්න ඇවිත්…ටෙලාන් එයාව හොටෙල් රූම් එකේ ලොක් කරලා තියෙද්දී මට කතා කළා…එයාව බේරගන්න කියලා..මං අවීශ් එක්ක ගිහින් එයාව එතනින් බේරගෙන ප්‍රසාද් අයියා එක්ක එයාව එයාර් පෝර්ට් යැව්වා…එතනදි තමා ටෙලාන් ඇවිත් අපේ වාහනේ හැප්පුවේ…මෙයා ඒ සේරම දන්නවා…”

    මම එක හුස්මට කියවගෙන ගියෙමි.

    “මොනවා දුව…ඒකද වුණේ…? දෙවියනේ…! එච්චර දෙයක් වෙලත් මෙයා කට වහන් හිටිය හැටි…”

    නැන්දා ඉද්ද ගැසුවාක් මෙන් අසුනින් නැඟී සිටිමින් කෑ ගැසුවේ කෝපයෙනි.

    “ඔය බොරු මාවන්…මෙයාගෙ වැරදි වහගන්න නිකන් චෝදනා කරනවා…”

    පුංචි අම්මා තවමත් එය පිළිගැනීමට නොකැමැත්තෙන් කෑ ගැසුවාය.

    “කට වහනවා මනෝරි…දුව…මට කියන්න මුළ ඉඳන් හැමදේම…”

    මම සියල්ල මුළ පටන් ඔවුන් සමඟ පවසන විට නැන්දා මෙන්ම තාත්තාද අසා සිටියේ මවිතයෙනි.

    “මේ හැමදේම වෙලත් මෙයා තාම දුවට සුදු හුණු ගානවා…දැන් පේනවනේ දෙකක් දීලා හදා ගන්න තිබ්බේ කාවද කියලා…එහෙම වුණා නම් මේ දේවල් මෙහෙම වෙන්නේ නැහැ…”

    නැන්දාද කෝපයෙන් දොස් පැවරුවාය.

    “ටෙලාන් අපිව ෆලෝ කරයි කියලා අවීශ් දැන ගත්තා…එයා ප්‍රසාද් අයියා එක්ක නංගිව මුළින් යැව්වේ ඒකමයි…නැත්නම් එයා එයාර් පෝර්ට් එකටත් ගිහින් එතන කලබළයක් කරන්න ඉඩ තිබුණා…”

    “මෙයා මේ හැමදේම දැනගෙන මෙච්චර කල් සද්ද නැතුව හිටිය හැටි…තියන කපටි කම…අම්මලා දූලා සේරම එකයි නේ බලන් යද්දී…මේ කෙල්ලටත් මොනවා හරි වුණා නම් අපි මේ මොකුත් දන්නේ නැහැ…”

    නැන්දා එක දිගටම කෑ ගැසුවේ කෝපයෙනි.

    “අනේ මාවන්…මම මේ හැමදේම දැනගත්තේ පස්සේ…මං දුවටත් ඔයාට මේව කියන්න එපා කීවේ බයට…”

    තාත්තා පුංචි අම්මාට පහර දීමට ඉදිරියට පනින විට මම වහා ඔහු වැළකුයෙමි.

    “තව ඉවර නැහැ තාත්තේ…තව තියනවා…ටිකක් ඉන්න…”

    තාත්තා මා දෙස පුදුමයෙන් බැලුවේ ඒ මොනවාදැයි අසන බැල්මකිනි.

    “ඔයා තව මොනව කියලාද අවුස්සන්න යන්නේ…?”

    පුංචි අම්මා බියෙන්දෝ කෑ ගැසුවාය.

    “අවුස්සන්න දෙයක් නැහැ…මේවා ඇහුවටත් පස්සේ තාත්තා තමුන්ව යහතින් ඉතුරු කළොත් ඇති…”

    “අනේ ළමයෝ…දැන් ඔය මදෑ…අපිට තිබුණ කරදර මදිද…?”

    නැන්දා මගේ අතින් අල්ලා ගත්තේ මා ඉවත කැඳවා ගෙන යන්නටය.

    “නැහැ නැන්දේ…ඔයත් දැන ගන්න ඕන මේවා…අම්මා නැති වුණේ නිකන් නෙවේ..මේ හැමදේටම වගකියන්න ඕන මෙයා… මෙයා අපට අයිති හැමදේම අපිට ටික ටික නැති කළා…අර දැරණියගල එක්ක එකතු වෙලා…”

    පුංචි අම්මාගේ මුවත් දෑසත් එකසේ විශ්මයෙන් පුළුල් විය.

    “මොනවා දුව…?”

    එය අදහා ගන්නට නොහැකිව මෙන් තාත්තා ඇසීය.

    “ඔව්…තාත්තා මේවා දන්නේ නැහැ කිව්වොත් තමා පුදුමේ…දැරණියගලයි මෙයයි අතරේ අෆෙයාර් එකක් තිබිලා තියනවා…මෙයා මිනීමරුවෙක්…අම්මා නැති වුණේ මෙයා නිසා…”

    “ඒ…ඒ…ක ඇක්…සි…ඩ…න්…ට් එකා…ක්…අනේ…මාවන්…කියන්න..කෝ…”

    “ඔව්…ඇක්සිඩන්ට් එකක් තමා…ඒත් ඒක වුණේ නිකන් නෙවේ…අම්මාට ඇති වුණ ෂොක් එක නිසා එහෙම වුණේ…නැද්ද…? ඔයයි දැරණියගලයි එකතු වෙලා ගහපු ප්ලෑන් එක නිසා එහෙම වුණේ…මෙයා අවීශ්ගේ තාත්තා නිසා ප්‍රෙග්නන්ට් වෙලා හිටියේ..එයා ඒක ගැන කතා කරන්න එහෙ ගෙදරට ඇවිත් තියනවා…නිරංගාන්ටි මේ හැමදේම අහන් ඉඳලා…අංකල් මෙයාව මැරි කරන්නේ නැහැනේ කොහොමත්… ඉතින්…දෙන්නා එකතු වෙලා ප්ලෑන් කළා… මේක තාත්තා පිට යවන්න…ඒකට තාත්තා අහු වුණා…ඔය දෙන්නා හොටෙල් රූම් එකක ඉන්නවා කියලා අම්මට කතා කරලා කිව්වේ අංකල්…ඒකත් නිරංගාන්ටිට ඇහිලා…අම්මා ඒකේ ඇත්ත නැත්ත බලන්න එදා ඒ හොටෙල් එකට ආවා…නේ…එතකොට දැකපු දෙයින් ෂොක් වෙලා එයා වාහනේ අරන් එද්දී තමා අම්මා ඇක්සිඩන්ට් වුණේ…නේද…? දැන් කියන්න නංගීගේ ඇත්තම තාත්තා කවුද කියලා…”

    මම එක දිගටම කියවාගෙන ගියෙමි. පුංචි අම්මා කුමක් හෝ කීමට උත්සාහ කළද තාත්තා දුන් අතුළ් පහරින් ඇගේ මුව වැසිණ.

    “උඹ මාව කෑවා…”

    ඔහු එක පිට එක ඇයට පහර දෙන විට ගුණතුංග මාමාත් නැන්දාත් එකතුව ඔහුව ඉවතට ඇද ගෙන ගොස් කාමරයට දමා අඟුළු දැමුවේය. එසේ නොවන්නට ඔහුගේ අතින් ඈ මිය යාමට වුවද ඉඩ තිබිණි. මා සිතේ නම් ඈ කෙරෙහි කිසිදු අනුකම්පාවක් ඇති නොවීය.

    එය එසේ සිදුව දැන් සතියකට අධිකය. පුංචි අම්මා නිවසින් යන්නට ගියාය. ඈ කුළියට ගත් නිවසක පදිංචි කළේද තාත්තාමය. ඈ නිවසින් ගියා කියා අපි සතුටින් සිටියා කියා මම නොකියමි. අතීතය යළි පෙර තිබුණාක් මෙන් සැකසිය නොහැකිය. නමුත් ඇයට ලැබුණ දඬුවම නම් මදිය. ඈ කෙතරම් කපටි ගැහැණියක්ද.? ඒ ගැන සිතන මොහොතක් පාසාම මා සිතේ කෝපය වැඩි විය.

    “අනේ මන්දා දුව…මට නම් මේ මොකුත් හිතා ගන්න බැහැ…ඇයි නිරංගාක්කා මීට කළින් මේවා නොකීවේ…?”

    නැන්දා මාගෙන් ඇසුවේ ශෝකයෙනි.

    “එයා කොහොමද අනේ කළින් මේවා කියන්නේ…ඔය කියන දවසේ එයා අම්මාට කෝල් කරලා තියනවා කීප සැරයක්ම…ඒත් කවුරුත් ආන්සර් කරලා නැහැ… ඉතින්.. එයා අපේ ගෙදර එන්න ලෑස්ති වෙද්දී තමා ඒ දෙන්නා අතරේ රණ්ඩුවක් ඇති වෙලා තියෙන්නේ…අංකල් එයාට යන්න ඉඩ දීලා නැහැ…එයා කේන්තියෙන් ආන්ටිව තල්ලු කරපු පාරට තමා ආන්ටිව මාළු ටැංකියත් පෙරළගෙන වැටිලා තියෙන්නේ…ඔය කියන විදියට අම්මයි ආන්ටිටයි දෙන්නම මේ අනතුරට පත් වුණේ එකම දවසේ…ඒකයි ආන්ටි අම්මගේ මරණේ ගැන මොකුත් දැන ගත්තේ නැත්තේ…ඊට පස්සේ එයාලා මෙහෙන් ගියා…එයා දැන ගත්තලු තාත්තා මනෝරි රාමනායකව මැරි කළා කියලා…ඊට පස්සේ වෙච්ච දේවල් කිව්වා කියලා ඇති වැඩකුත් නැහැනේ…ඒ නිසා මොකුත් නොකියාම කොළඹ දාලා ගමට ගිහින්…”

    නැන්දා දිගු සුසුමක් හෙළුවාය.

    “අපි එහෙම දෙයක් දැනන් හිටියා නම් ඔය මනෝරිව ගෙටවත් වැද්ද ගන්නේ නැහැ… ඔයා මේ ගැන හොයලා නොබැලුවා නම් මේ හැමදේම අදටත් අභිරහසක් දුව…”

    “මං අම්මාගේ මරණේ ගැන හැමදාම හිතුවා…ඒ ගැන මගේ හිතේ තිබුණේ ලොකු කුතුහළයක්…”

    “මේ ප්‍රශ්න මෙහෙම හරි ඉවරයක් වුණ එක ලොකු දෙයක්..”

    නැන්දා එසේ කීවද මේ කිසිත් එසේ අවසන් නොවිණි.

    මේ සියළු කරදර මැද කාලය ගත වී ගියේ පියාපත් ලද්දාක් මෙනි. තාත්තා සිටින්නේ නොසතුටෙන් බව මම දනිමි. එසේ කියා, මට ඔහු සැනසිය හැකි මඟක් නොවීය. ඒ අතරතුර මට අවීශ් පිළිබඳවද නිසියාකාර තොරතුරක් දැන ගන්නට මගක් නොවීය. මගේ මිතුරු මිතුරියන්ද දැන් විවිධ රැකියාවල නියුතුව සිටි නිසා ඔවුන්ද ඇමතුමකින් මිස මුණ ගැසී කතා බහ කිරීමට ලැබුණ ඉඩ කඩ සීමා සහිත විය. භාෂිත හා මාධව තාත්තාගේ ආයතනයේ රැකියාවට යොමු කළේ මගේ වුවමනාවටය. ජයවතී නැන්දාද ඔවුන් සමඟ නැවතීමට පැමිණියෙන් ඔවුන් අගනුවර ආසන්නයෙන් කුඩා නිවසක් කුළියට ගැනීමට කටයුතු කළෝය.

    “පොඩි ගෙයක්…ඒත් අපිට ඇති…නැන්ද එක කාමරේක…මායි මාධවයි එක කාමරේක…”

    භාෂිත මා හමුවීමට ආ දිනක පැවසුවේය.

    “මාධවටත් මෙහෙන් කාව හරි සෙට් කළා නම් හරි ඔන්න…භාෂියට වගේ…”

    ටිරෝන් කීවේ අප අතර සිනහාවක් නංවමිනි.

    “අපිට කොහේද බූල් බල්ලෝ…?”

    මවාගත් ශෝකයක් මුහුණේ ආරූඪ කරගත් මාධව කීවේය.

    “බූල්ම ඕන නැහැ බං…නකුටු එකෙක් හරි හොයා ගනින්…වර්ගය “පර” වුණත් කමක් නැහැ…”

    හාෂිත එසේ කියන විට යළිත් පැතිර ගියේ සිනහවකි. මට ඒ මොහොතේත් අවීශ් සිහි විය. ඔහුත් මේ මොහොතේ සිටියා නම් කියා සිතූ මුත් මම ඒ පිළිබඳව කතා බහ නොකළේ කිසිවෙකු ඔහු පිළිබඳව සිහි නොකළ නිසාවෙනි. ඇරත් ටිරෝන් පෙරදිනක මඟහැර ගිය සැටිත් මට සිහි විය. මේ අතර තාත්තා කෙටි නිවාඩුවකට විදෙස් සංචාරයක නිරත වීමට කටයුතු සූදානම් කළේ අප සැම දෙනම සිටි මානසික පීඩාවෙන් යම්තාක් දුරකට හෝ සිතට සහනයක් ලබා ගනු පිණිසය. ඒ අදහසට අපි එක පයින්ම කැමති වුණෙමු. ඒ අනුව අපි මසක නිවාඩුවක් ගත කිරීමට ප්‍රංශයට පැමිණියෙමු. තාත්තාගේ පැරණි මිතුරෙකුගේ නිවසේ අපට නවාතැන් පහසුකම් සපයා දීමට කටයුතු යොදා තිබිණි.

    **** ***** ***** **** ***** **** ***** ********** ***** ***** ********* ****
    පැරීසිය..එය නම් සිහිනයක් බඳුය. පෙම්වතුන්ගේ පාරාදීසය…එම අත්දැකීම ඉතා සුන්දර විය. සිත තුළ වූ සියලු දුක් කම් කටොළු අමතක කර අපි මේ කාලයේ සතුටින් සිටියා යැයි කියා මම සිතමි. අපි බොහෝ තැන් නැරඹීමට ගියෙමු. රාත්‍රියට රන් පැහැයෙන් දිදුළන අයිෆල් කුළුණ තරම් මා ප්‍රිය කළ අන් තැනක් නොමැත. එහි වූ උද්‍යාන මනස්කාන්ත විය. මෙවන් අත්දැකීමක් මා මීට පෙර කවදාවත් ලබා නොතිබුණෙමි. නැන්දාද එසේමය. මෙහි වසන ලාංකීකයින් කිහිප දෙනෙකු හඳුනා ගන්නටද අපට අවස්ථාව උදා වූවා සේම අප වෙනුවෙන් සූදානම් කළ රාත්‍රී භෝජන කීපයකටද අපට ඇරයුම් ලැබිණි. දිනක් අපව ලූවර් කෞතුකාගාරය නැරඹීමට කැඳවාවෙන ගියේ අප නැවතී සිටි තාත්තාගේ මිතුරා වන රොජර් අංකල්ය. අපි එහි වූ සිතුවම් නරඹමින් සිටින විට මම අහම්බෙන් ඒ රුව දුටිමි. දෙවියනේ…! මම නැන්දාගේ අතින් තරයේ අල්ලා ගන්නා විට ඈ පුදුමයෙන් මදෙස බැලුවාය.

    “ඇයි දුව…?”

    ඈ මා විමසන විට මම අත දිගු කර පෙන්වූ දෙස ඈ බලන්නට ඇත්තේ කුහුළින් වූවාට සැක නැත. සුළු මොහොතකින් මම සිටියේ ඒ රුව පසු පස දිව යමිනි.

    “දුව…ඔහොම ඉන්න ළමයෝ…”

    නැන්දාගේ හඬ මා පසු පසින් ඇසුණද මම වේගයෙන් දිව යමින් සිටියෙමි.

    -සැප්තැම්බර් 2 වෙනිදා නැවත හමුවෙමු-

    Latest news

    නුවරඑළියේ සිදු කළ පරීක්ෂාවකදී ධාවනයට නුසුදුසු වාහන 73 ක් ධාවනයෙන් ඉවත් කරේ

    නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්ෂාවකදී, වාහන 73 ක් දින 14 ක කාලයක් සඳහා තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට...

    අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනපති වෙත සිය අක්තපත්‍ර භාර දෙයි

    මෙරටට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා. 01 - කොළඹ...

    වැල්ලවායේ කුඩු බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට

    වැල්ලවාය ප්‍රදේශයට හොරොයින් මත්ද්‍රව්‍ය බෙදූ ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ, පොලීසිය විසින් වැල්ලවාය නගරයේ සිදුකළ වැටලීමකදීයි. සැකකරු සන්තකයේ තිබී අළෙවි...

    ජනපති අනුර රටවල් කිහිපයක නායකයින් නවදිල්ලියේදී හමුවෙයි

    නවදිල්ලි නුවර පැවැත්වෙන ්ෂ ඉම්පැක්ට් 2026 සමුළුවට සහභාගිවී සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටවල් කිහිපයක නායකයින් සමග ද්විපාර්ශ්වික...
    - Advertisement -spot_img

    රත් දෝතළු – 38

    රත් දෝතළු - 38 අහස් යනු අමුතුම අයෙකු යැයි කියා මට සිතිණි. වරෙක රළු ලෙසින් කතාබහ කළද සැනෙකින් මෘදු වන්නේ...

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක්

    Covid වසංගත සමයේ අපුරු මිතුදමක කතාවක් - Homebound සමහර මිතුරුකම් ලේ නෑකම්වලට වඩා ප්‍රභලයි. අම්මා තාත්තටත් වඩා හදවතට සමීපයි. යහළුවෙක්ට...

    Must read

    - Advertisement -spot_imgspot_imgspot_imgspot_img

    You might also likeRELATED
    Recommended to you

    You cannot copy content of this page