Alutha Upan Appachchi – ලෝකයේ හැම සබඳකමම බිඳෙන්නේ බැඳීමෙහි ඇති මඳකම නිසායැයි සිතේ. සෑම දහමක දෙසනා ගුණදම් සපිරි මිනිසුන් සිටියානම්, ලොවෙහි මෙතරම් විප්පයෝග තිබෙන්නට නොහැකිය. ප්‍රේමය රඳවාගන්නටත් ප්‍රයෝග අවැසි කාලයක, මෙවැනි සටහනක ඇති වියෝගය ආවේගයක් ලෙස වටහාගැනීමට මා දොස් නොතබන්නේ එහෙයිනි. අප හිඳිනුයේ ප්‍රේමය ටොන් ගණන් බරට කිරන සමාජයක බැවින්, එහි මුදු බවට, සැහැල්ලුවට, පවතින සමාජයේ මිලක් නැත. මෙහි සෑම නෑකමකටම මුල් වූ ඕනෑකම්, එපාකම් තිබේ. ඒවා නැති තැන නෑකම් නිකම්ම නිකං චුයින්ගම් පමණකි. සබඳකම් පවතිනුයේ ලේ නෑකම් වලට එහා ගිය ඕනෑ, එපාකම් රකිනතුරු පමණි. දුවා දරුවන්ගේ ලෝකයේ අප්පච්චිලා ඉල්ලුමට සැපයුම දෙන මිල සූත්‍රයක් වී ඇති බැවින්, ඔවුන්ගේ ආදර සමීකරණය විසඳීම පහසු නැත.
ඉතිං මයෙ පුතේ කවී….!
උඔගෙ අප්පච්චී වාසනාව විශ්වාස නොකරපු මිනිහෙක්. ඒකට හුඟක් හේතූ තිබුණා. ඒ අතර ප්‍රධානම දේ වුණේ උඔගෙ අප්පච්චිට වාසනා මහිමයෙන් කිසිම දෙයක් ලැබිලා නොතිබීම. ලැබුණු හුඟක් දේ වෙනුවෙන් විඳපු අප්‍රමාණ දුක් කන්දරා පවා අප්පච්චී බාරගත්තෙ ලැබීම් හැටියට. ඒ නිසා ලැබීම් හොඳද, නරකද.. දුකද, සැපද, වාසිද, අවාසිද කියලා කිරලා බලන පුරුද්දක් මට තිබුණේ නෑ..ඒත් මගේ ජීවිතේ අහම්බයන් වැඩී මයෙ පුතේ. රස්සාවල්, මිනිස්සු, තනතුරු වල ඉඳලා උඔලගෙ අම්මා මුණගැහීම දක්වා මගේ ජීවිතේ තිබුණා හරි අපූරූ අහම්බ. ඒ අහම්බකාරක ලෝකේ උඔ මට වාසනාවක් කියලා විශ්වාස කරන්න පුළුවන් සිද්ධි සෑහෙන්න තියනවා. මං තරම් ජීවිතේ වාසනාවට පයින් ගහපු මිනිස්සු තව ඉන්නවද දන්නෑ පුතේ. ඉන්නවනම් ඒ අතර මාත් පෝලිම් ගැහෙනවා. ඒ පෝලිමේ මුලින්ම හිටගන්න උඔගෙ අප්පච්චිට ඕනෑතරම් සුදුසුකම් තියනවා. වාසනාව විශ්වාස නොකරපු මං පින කොහෙත්ම විශ්වාස කරන්නෑ මයෙ පුතේ. ඒත් උඔලයෙ අම්මට උඔව ලැබෙන්න ඉද්දි ඒ පුතෙක් කියන විශ්වාසය මගේ හිතේ තදින්ම තිබුණා. ඒත් උඔගෙ අම්මා ආස කරේ දුවෙකුට. පිනට,දහමට ලැදි උඔගෙ අම්මා පංසල්, පල්ලි, දේවාල ගානේ උඔ නමින් බාර, හාර වුණේ ඒකයි. උඔව ලැබෙන්න කිට්ටුව ඒ එක තැනකින් අපිට ලැබෙන්නේ දුවක් කියලා කීවා. උන්දැ එදා ඉඳලා උඔට මැහුවෙ ගෑණු දරුවන්ගෙ ඇඳුම්. ඒ විශ්වාසය කොච්චරද කියනවනම් උඔගෙ අම්මා දොස්තර මහත්තුරු අපිට ලැබෙන්න ඉන්නේ පිරිමි දරුවෙක් කියපු එකවත් පිළිගන්න අදිමදි කරා. වාසනාව උරඟා බලන්න ලොතරැයියක් වත් අරං නැති උඔගෙ අප්පච්චී අම්මගෙ හිත නොරිදා උඔ ගැන විශ්වාසෙන් හිටියා.
ඒක හරි අමාරු කාලයක් මයෙ පුතේ. උඔගෙ අප්පච්චී හරි හමන් රස්සාවක් නැතුව ජීවිතේ ගෙවපු අරාජිකම කාලයක්. උඔ ලැබිලා හරියටම දවස් හතරෙන් උඔගෙ අප්පච්චිට අලුත් ටෙලිනාට්‍ය පිටපතක් ලියන්න කතා කරා. ඒ විතරක් නෙවේ හිතාගන්න බැරි අත්තිකාරම් මුදලකුත් ඒ වෙනුවෙන් ලැබුණා. මං ජීවිතේ පළවෙනි වතාවට උඔගෙන් වාසනාව දැක්කා. මං එදා උඔ එක්ක හුඟක් වෙලා තනියෙන් කතා කරා. උඔ තොල් පියාගෙන ඇස් තද කරන්, අත් මිට මොලවන් අහන් හිටියා. මට උඔට වාසනාව ගැන දිග කතාවක් කියන්න තිබුණා. ජීවිතේ අපූරූ අහම්බ මිනිස්සු වෙනස් කරන බව පහදන්න ඕන වුණා. ඒත් උඔ කතා කරේ නෑ. මං තනියම සතුට සමරලා, පළවෙනි වතාවට උඔව අතට අරං ඉඹලා, එදා රෑ උඔව බදාගෙන නිදාගත්තා මයෙ පුතේ. උඔගෙයි මගෙයි දුරස්වීම සිද්ධවෙන්නේ උඔ බොහොම පුංචි කාලේ ඉඳලා. ඒකට හේතූ දෙකක් තිබුණා. එකක් මගේ රස්සාවේ සංචාරක ජීවිතේ. අනිත් එක උඔ අද වාගේම එදත් හිටියේ උඔගෙ අම්මගෙ ආවරණ කලාපේ, ඒ ආදර අණසක යටතේ නිසා. කොළඹ ඉඳලා දියතලාවට යන්න, එන්නම එක දවසක් වෙන් කරන්න වුණා. අඩුම තරමෙ දවස් තුනක නිවාඩුවක්වත් නැතුව මට උඔව බලන්න එන එක තේරුමක් නැති බව තේරුම්ගන්න වුණා. ටෙලිනාට්‍ය ජීවිතේ එක දිගට දින තුනක නිවාඩු හීනයක් විතරක් වුණා. සමහර නිවාඩු එන්න වුණේ ෂෙඩූල්, ස්ක්‍රිප්ට් එහෙම කරේ ගහං. ඒත් මං ඒ ජීවිතෙයි, උඔගෙ ජීවිතෙයි එක්ක ගැටි,ගැටී හිටියා. අද තරම් දුරස් බවක් තිබුණේ නෑ එදා. හිතුණු ගමන් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරු, නිෂ්පාදකවරු එක්ක ඇරගෙන මුදලින් ඉහළ වටිනාකම් වලට පයින් ගහලා ඇවිත් උඔගෙන් පයින් පාරවල් කකා හුඟක් රැයවල් ගෙවලා දැම්මා.
මං හුඟක් ඉවසපු මිනිහෙක් පුතේ. ඒ ඉවසීම නිසාම හුඟක් දේවල් අහිමිවුණු මිනිහෙක්. මං මගේ අයිතීන් වෙනුවෙන් රණ්ඩු කරපු මිනිහෙකුත් නෙවෙයි. හැබැයි අනිත් මිනිස්සුන්ගෙ අයිතීන් වෙනුවෙන් පෙනී ඉඳලා මගේ අයිතිය නැති කරගෙන හිස් අතින් පාරට බැහැපු මිනිහෙක්. උඔ අපේ ජීවිතේට ආපු දා ඉඳලා රැකගන්න දෙයක් ලැබුණා කියන හැඟීමෙන් හුස්ම වැටුණු මිනිහෙක්. හැම අහිමිවීමක් ළඟදීම පුංචි කඩාවැටීමක් තිබුණත්, මං ඊළඟ මොහොතේ ඊට වඩා දහ ගුණයක වේගෙන් නැඟිටින්න හයිය තිබුණු මිනිහෙක්. පැරදෙන්න මට බයක් තිබුණේ නෑ. මං බයවුණේ වැරදෙනවට විතරයි. උඔගෙ නැන්දලාගෙන් රුපියල් දාහක් ඉල්ලගෙන දියතලාවේ ඇවිත් උඔව බලලා, එහෙන් තව දාහක් අරං කොළඹ ආපු දවස් මේ අප්පච්චිට තිබුණා. එහෙම දවසකවත් අගහිඟකම් කියලා උඔගෙ අම්මයි මායී වචනෙකින්වත් හිත් නොහොඳ කරගෙන නෑ. එහෙම ජීවිතයක අවසානය තමයි පුතේ මෙහෙම දුරක ඉඳලා උඔට කතා කරන්නේ. මං ගෙදර ඉන්න දවසට අහවල් එකට ඉර පායනකං නිදාගන්න රුසියා කියලා මගේ අම්මා වාගෙම උඔගෙ අම්මත් දැනං හිටියා මයෙ පුතේ. ඒ හින්දා එහෙම දවසක මං ඇහෙරෙනකං කවුරුත් මාව ඇහැරවන්නේ නෑ. ඒ හැම නීතියම අනුකම්පා විරහිතව බින්ඳනම් ඒ උඔ විතරයි මගෙ පුතේ කවී. කන කොනිත්තන, නහය හපන, කකුලෙන් අදින චණ්ඩිකම් එක්ක මහ පාන්දර වඳුරු කුණුහරුප කියාගෙන නැඟිට්ටත්, අර “හා” දත් දෙකත් එක්ක ඇඳ ඉස්සර හිනාවෙන උඔ දැක්කාම සේරම වස් දොස් යන ගතිය එදා ඉඳලම උඔ ළඟ තිබුණා.
දරාගැනීම් කියන්නේ උඔගෙ අප්පච්චිට අමුතු දේවල් නෙවේ පුතේ. ඉස්සර අරක්කු, සිගරට් බීලා ඇවිත් උඔව ඉඹින්න බෑ කියලා උඔලයෙ අම්මා මට තහනමක් දාලා තිබුණේ. මං කරන්නෙ හිමීට උඔව අවුස්සලා සෙල්ලමට ගන්න එක. ඊට පස්සෙ ඉතිං උඔගෙ දත් පාරවල් වලට තෙල් ගාන්න එන්නෙත් උඔලයෙ අම්මම තමා. දවසක් හැන්දෑවේ මමයි, උඔයි, අම්මයි ඇවිදිමින් හිටියා. උඔ අම්මා එක්ක ඉස්සෙල්ලා යන නිසා මං සිගරට් එකක් පත්තු කරලා උරන්න ගත්තා විතරයි. උඔ පිටිපස්ස හැරිලා මං දිහා බලපු ගමන් “පුච්චී….කට පුච්චු….” කියලා බෙරිහන් දෙන්න ගත්තා. ඒ තිගැස්ම උඔව හඳුන්කූරු දුමටත් කෑගස්සවන තැනට ආපු නිසා, මං දියතලා සීතල සිගරට් නැතුව දරාගන්න පුරුදු වුණා. අදත් ඉඳහිට සිගරට් පත්තු කරද්දි මට උඔගෙ ඒ බෙරිහන්දීම ඇහෙනවා. පත්තු කරපු වේගෙන් මං සිගරට් වීසී කරපු වාර අනන්තයි. රෑ දෙගොඩ හරියෙ වින්ටර් එකේ පවා ඒ මතකය මාව අකමඩේෂන් වටේ ජැකට් එකක්වත් නැතුව ඇවිද්දවලා තියනවා පුතේ. මේක මහ කරුමයක් පුතේ. සල්ලි නිසා මිනිස්සු හැඟීම් එක්ක මැරෙනවනම් ඒ සල්ලිවලට තියන වටිනාකම මොකක්ද…? යාන, වාහන, ගේ,දොර, ඉඩකඩම් එක්ක මිනිස්සුන්ගෙ මනුස්සකම් දියවෙලානම්, ඒ සැප සම්පත් වල තේරුම මොකක්ද..? මිල, මුදල් වස්තුව, දේපල වටේ ගොඩනැගෙන්නේ බොරු ලෝකයක් මගෙ පුතේ. ඒක මේ කුහක ලෝකය මවපු මිත්‍යාවක්. ඒවා උඔ වටේ පිරෙන්න, පිරෙන්න හදවතින් උඔ අන්ත, අසරණ දුප්පත් මිනිහෙක් වෙනවා මයෙ පුතේ. ආයෙ ආයෙමත් මට උඔට කියන්න තියෙන්නේ උඔ තේරුම් ගන්න ඕනේ මේ අප්පච්චී නෙවේ. සම්බන්ධකම් රකින්න සල්ලි එක්ක බඩපිනුම් ගහන්න ඕනේ කියලා උඔට උගන්වන මේ ආටෝප ප්‍රදර්ශන ලෝකේ. මං මැරුණු දවසක ඉන්න ලෝකෙක ඉඳං හරි මට උඔට මගෙ පුතා කියලා ආඩම්බරෙන් කියන්නෝනේ මයෙ පුතේ කවී….!
පුංචි තරුවක් හුදෙකළාවේ
පෑළ දිග අහසට වෙලා
පාත්වෙමි පුත ඔබේ නළලත
දේවතා එළියක් වෙලා….
හිතේ අඳුරට තුනී එළියක්
ලෙසින් සිනහව පායලා
රෑ මැදත් හිත තිගැස්සෙනවා
පුතේ සෙනෙහස ඇහැරලා….
කාසි හීනෙට යටවෙලා ගිය
අපේ ලෝකය හොය හොයා
ඔබේ සෙනෙහස ඉකි බිඳී පුත
සදාතන රිදුමක් වෙලා….