Hima Mal Renu හිම මල් රේණු
දොරෙන් ඇතුළු වූයේ අන් කිසිවෙකු නොව ටෙලාන්ය. ඔහුගේ දෑතේ එල්ලී සිටි තරුණිය දුටු මා තිගැස්මෙන් සිතුවේ මේ දකින්නේ සිහිනයක්ද කියාය. ඒ අන් කිසිවෙකු නොව නංගීය. මා හද ගැස්ම වේගවත් වන්නට වූයේ බියත් තැතිගැන්මත් කෝපයත් එක ලෙසම දැනෙන්නට වූ බැවිනි. ඈ වට පිට බලන්නට වූයේ හිස් මේසයක් සොයන්නට වන්නට ඇත. හදිසියේ මා නෙත ගැටුණු ඈ කලබළයෙනුත් බියෙනුත් තැති ගැන්වී ටෙලාන්වත් අතින් ඇදගෙන පිටතට දිව ගියේ ඇසිල්ලකිනි. කිසිවක් සිතා ගැනීමට මට අවකාශයක් නොවූ අතර තාත්තා ඔවුනට පිටුපා සිටීම වාසනාවක්ද, අවාසනාවක්ද කියා හෝ මට සිතන්නට හැකියාවක් ඒ මොහොතේ නොවූයේ මාද මහත් කැළඹීමකින් සිටි නිසාය. නංගී ටෙලාන් සමඟ දක්නට ලැබීම මා සිත කම්පනයකට පත් කළේය. එය බියකරු සිහිනයක් මෙනි. පසුගිය දිනවල ඈ දුරකථනයේ බොහෝ වේලා එල්ලී කතා බහ කරමින් සිටියේ මොහු සමඟද.? ඇගේ දුරකථනයට ලැබෙන කෙටි පණිවුඩ, එවිට ඇගේ මුහුණේ ඇඳී යන අමුතු සිනහව, මා තුළ යම් සැකයක් ඇති කර තිබුණද, ඒ ටෙලාන් කියා මම මොහොතකට හෝ නොසිතුවෙමි. අමතර පන්ති මඟහැර ඈ දින කීපයක් ඔහු සමඟ රවුම් ගසන්නට ඇත්ද….? ඈ තම නිළ ඇඳුම පවා මාරු කරගෙන පාට ගවුමක් හැඳ ගත්තේ කෙසේද….? “දෙවියනේ…!” ඔහු පිළිබඳව කියන කතා සිහි වී මා ගත හී ගඬු නැංවිණි. තාත්තා මේ මොහොතේ ඈ දුටුවා නම් කුමක් සිදුවනු ඇතිද…? මා මෙය ඔහු හා පැවසිය යුතුද, නැත්ද කියා සිතමින් සිටින විට තාත්තා මා ඇමතූ හඬින් පවා මම තිගැස්සී ගියෙමි.
“කෝ…ඕක තාම බීලා ඉවර නැහැනේ…අපි යමුද…?” මට සිහි එළවා ගැනීමට මඳ වේලාවක් ගත විය.
“හා…ඉන්න…ටිකා…ක්…”
සීතල දිය බිඳු බේරෙන වීදුරුව මම දෝතින්ම අතට ගත්තේ මා දෑත් වෙව්ළීම පාලනය කරගැනුමට උත්සාහ දරමිනි. සිතන්නට වෙලා ගෙන මම එය සෙමෙන් පානය කළෙමි. තාත්තා හා මෙය පැවසුව හොත් මා කේළම්කාරියක් වනු ඇතිද…? ඔහු ඉන්පසු කෝපයෙන් නංගීට පහර දීමට වුවද ඉඩ ඇත. ඉන්පසු ඈ මා සමඟ වෛර බැඳ ගනු ඇත. එය එසේ වුවත් මට කම් නැත. මා දැන, දැනම ඈ කරදරයේ පැටලෙනවා බලා මා නිහඬව සිටීම ඊටත් වඩා බරපතළ වරදක්, පාපයක් නොවන්නේද…? ඈ මට වෛර කළත් මට කම් නැතැයි කියා මට ඒ මොහොතේ සිතිණ. තාත්තා අසුනින් නැඟී සිටින විට එක හුස්මට බීම වීදුරුව හිස් කළ මා අසුනින් නැඟී සිට තාත්තා සමඟ පිටව ආවේ සිත මත පටවා ගත් අමතර බරක්ද සමඟය.
නිවසට පැමිණියද මා සිටියේ කැළඹීමෙනි. මා සිතට සහනයක් නොමැත. තාත්තා නංගී කැඳවා ගෙන ඒමට ගියා නම් කුමක් සිදුවනු ඇත්ද කියා මම බිය වූයෙමි. හදිසියේ ඔහු පිටතට ගියේ මිතුරෙකුගෙන් ලද ඇමතුමක් නිසාවෙනි. නංගීට කුළී රියකින් පැමිණෙන ලෙස දන්වන්නැයි ඔහු පුංචි අම්මාට පවසනු මා සවන් වැකිණි. ඈ නිවසට පැමිණෙන තුරු මාද සිටියේ නොඉවසිළිමත් සිතිනි. පන්ති නිමවී ඈ වෙනදා වේලාව පසුවන තුරු නිවසට නොපැමිණි නිසා මා සිතේ ඇති වූයේ බියකි. මා සිතුවිලී විවිධ පැති කරා ඉසිර, විසිර යමින් සිත කළඹා දැමීය. මිදුලේ බංකුව මත හිඳගෙන මම ගේට්ටුව වෙත දැල්වුණු දෑසින් බලා සිටියේ නංගී දැන්, දැන් එතැයි සිතාය. පුංචි අම්මාද දුරකථනය සවනත තබා ගෙන ඉස්තෝප්පුවෙන් ගෙතුළටත්, ගෙතුළෙන් ඉස්තෝප්පුවටත් වරින් වර යනු දැක ඇයත් නංගීගේ ප්‍රමාදය නිසා සිත් කරදරයෙන් පසු වෙනවා ඇතැයි කියා මම සිතුවෙමි.
“මොකද මෙයා මේ සැරෙන් සැරේ ගේට්ටුව දිහා බලන්නේ…කවුරු හරි එනවා කිව්වද…?”
නැන්දා සරදම් සහගත හඬකින් එසේ අසමින් මා අසළින් හිඳ ගත්තේ සවස සුපුරුදු තේ කෝප්පය මා වෙත පිළිගන්වමිනි. මම එය අතට ගත්තේ උදාසීන ලෙසය.
“නංගී තවම ආවේ නැහැනේ නැන්දේ…” කනස්සළු හඬකින් මම කීවෙමි.
“එයා දැන් එනවා ඇති…මොකද ඔයා කවදාවත් නැතිව එයා එනකල් මඟ බලන් ඉන්නේ…?” ඈ එසේ අසන්නට ඇත්තේ කුහුළින් වන්නට ඇත.
“අද හරි වැඩක් වුණානේ නැන්දේ…”
දුම් දමන තේ කෝප්පයෙන් උගුරක් ගෙන මම පැවසුවේ සුසුමක්ද වා තලයට මුසු කරමිනි. තේ කෝප්පයේ වූ උණුසුමක් තරමටම මා සිතේද දැඩි උණුසුමක් විණැයි කියා මට සිතිණි.
“ඇයි…ආයේ ස්කූල් එකේ මොකක් හරි ලෙඩක් දාගත්තද…?” ඇගේ හඬේ පෙරට වඩා උපහාසයක් පිරී ඇත.
“නැහැ අනේ…ස්කූල් එකේ නෙවේ…”
එසේ කී මා බීම හලේදී සිදු වූ දේ පවසන විට නැන්දා නිහඬව අසා සිටියේ එය ඈ තුළ කිසිදු උනන්දුවක් හෝ පුදුමයක් ඇති කළ දෙයක් නොවන බව පළකරමින් නිසා මා සිතේ නොසතුටකුත්, කනස්සල්ලකුත් ඇති විය.
“නංගී පෝන් එකට ආන්සර් කරන්නේ නැහැ කියා, කියා මනෝරි එහෙට මෙහෙට දඟළන්නේ එහෙනම් ඒ නිසා තමා…මම ඔයාට කිව්වේ…මේ ළමයා කා එක්ක හරි පැටළිලා තමා කියලා…කොයි වෙලේ බැලුවත් බැල්කනියට වෙලා කතාව…අයියා මේක නොදැකපු එකයි වැඩේ… එයාත් දකින්න තිබුණේ…”
ඈ කතා කළේ නොසතුටෙනි.
“නංගී පහු ගිය කාලේ හැසිරුණ විදියට මටත් සැකයක් තිබුණා නැන්දා…ඒත් ඒ කවුද කියලා දැන ගත්තාම තමා මං බය වුණේ…”
“ඇයි…ඔයා අඳුනන කෙනෙක්ද…?”
“අඳුනන්නේ නම් නැහැ…ඒත්…මං දන්නවා…”
“කවුද…?”
“ටෙලාන් ආටිගල…”
“දෙවියනේ….! ලොකු දුව…ඒ…ඒ…කොල්ලද…?”
නැන්දා ඒ මොහොතේ පුදුමයෙන් දෑස් විසල් කොට ගෙන කළ කෑගැසීම ගැන නම් මම අලුතින් බිය වූයෙමි.
“ආ…අ…ර…කු..ඩු…?”
පුද්ගලයා ගැන දැනගත් නැන්දා මේ වන විට නම් සැබෑවටම කම්පනයට පත්ව සිටි අතර ඈ දෑතින් නළල බදාගෙන කල්පනා කරන්නට වූවාය.
“එයා තමා නැන්දා…ඩ්‍රග්ස් විතරක් නෙවේ…ටෙලාන් කියන්නේ එතරම් හොඳ කැරැක්ට(ර්) එකක් නෙවේ. අපේ ක්ලාස් එකේම ග(ර්)ල් කෙනෙකුත් එක්කත් එයාගේ එෆෙයා(ර්) එකක් තියනවා. ඒක විතරක් නෙවේ.තව ගොඩාක් ඒවා…නයිට් ක්ලබ් වල ඩ්‍ර්න්ක්ස් දාන්න ගිහින් එයා ප්‍රශ්න ගොඩාක් ඇති කරගෙන සමහර ඒවට තාම නඩුලු. එයාට කෙල්ලෝ සෙල්ලම් බඩු වගේ කියලා හැමෝම කතා වෙනවා…මට නංගී ගැන බය ඒ නිසයි.”
“ගහේ කටු උල් කරන්න ඕන නැහැ කියනවානේ ලොකු දුව…මේ ළමයා ඉඳලා ඉඳලා අහු වුණ එකා නම්…අයියා දැනගත්තොත් මේකිව මරයි…”
ටෙලාන් වැනි අයෙකු සමඟ සබඳකමක් ඇති කරගෙන සිටිනවාට වඩා එය හොඳ යැයි කීමට සිතූ මුත් මම නිහඬව සිටියෙමි.
“අපි මොකද නැන්දා කරන්නේ…? තාත්තට නොකියා බැහැනේ…දැන, දැනම මේක නොකියා ඉන්නවා කියන්නේ…ඒක ඊට වඩා නරකයි…”
නැන්දා කල්පනාකාරී දෑසින් මොහොතක් මදෙස බලා සිටියාය.
“ඔව්…ඒකත් ඇත්ත තමා…අන්තිමේදි මොනවා හරි වුණොත් අපිට දොස් කියයි…කිව්වේ නැහැ කියලා… අම්මණ්ඩිගේ හුරතලේ තමා සේරටම මුල…මම මේ ගැන අයියට කියන්නම්…ඔයා සද්ද නැතුව ඉන්න…”
සුසුමක් හෙළූ නැන්දා කීවාය. ගේට්ටුව විවර වන හඬින් අපි දෙදෙනම වහා එදෙස බැලීමු. මා සිතට සහනයක් එක් කරමින් පැමිණියේ නංගීය. ඈ අප දුටුවද නොදුටුවා සේ ගෙතුළට පිය මනින විට ඉස්තෝප්පුවේ හිඳ පෙර මඟ බලා සිටි පුංචි අම්මාද මිදුලට බැස්සාය.
“මොකද ළමයෝ පෝන් එක ආන්සර් නැත්තේ…කී පාරක් කෝල් කළාද බලනවා…” ඈ කෑගැසුවේ කෝපයෙනි.
“එන ගමන් හිටිය නිසා අනේ ආන්සර් නොකළේ…මොන වදයක්ද…ගෙට ගොඩ වෙන්නත් නැහැනේ…”
නංගී අඩි පොළවේ හප්පමින් කෑගසා ගෙතුළට පිය මැන්නාය. ඈ වෙනදා මෙලෙස නැත. ඇගේ හැසිරීම පවා වෙනස් වී ඇතැයි කියා මා සිතුවේ ශෝකී හැඟීමකිනි. අමතර පන්තියටද නොයා ඈ මෙතෙක් වෙලා ටෙලාන් සමඟ කාලය ගත කරන්නට ඇතැයි කියා සිතී මා සිතේ හට ගත්තේ භීතියකි. නංගී හැසිරුණේ කිසිවක් සිදු නොවූ ගානටය. ඇගේ සිතේද කිසිදු බියක් නොවූ ගානය. එය සිදු වූයේ මට නම් මම බියෙන් පසුවනවා නොඅනුමානය. ඈ මා දෙස නෙත් කොණින් හෝ නොබැලීමට ප්‍රවේශම් වූවාය.
“කපටි කම…”
මම සිතුවේ නොපහන් සිතිනි. රාත්‍රී ආහර ගත් විගසම ඈ කාමරයට වැදුණේ තෙහෙට්ටු බව පවසමිනි. ඊටත් මොහොතකට පසු මමද ඇගේ කාමරයට යන විට ඈ සිටියේ කෙටි පණිවුඩ හුවමාරුවකය. මම ඈ ඉදිරියේ සිට ගන්නා විට නංගී දුරකථනය පසෙකලා මා දෙස එක එල්ලේ බැලුවේ මුහුණට ආරූඪ කර ගත් උඩඟු බැල්මකිනි.
“හරි හපන් කමක් කළා කියලාද හිතන්නේ…?”
කෝපයක් මා සිතේ ඇතිව තිබුණා වුවද මම ඇසුවේ සන්සුන් හඬකිනි.
“මං හිතුවා ගෙදර ඇවිත් දෙක කරලා ඇති කියලා…” ඈ වචන වලින් මට පහර ගසන්නට වූවාය.
“දෙක තුන කරන්න ඕන වුණා නම්….ඒක කරන්න ගෙදර එනකල් ඉන්නේ නැහැ…අරූගේ කරේ එල්ලිලා ආව වෙලේම මට ඒක කරන්න තිබුණා…දන්නවද…?”
“ඉතින් ඇයි ඔයා එහෙම නොකළේ…?” ඈ අභියෝගයකට මෙන් විමසුවාය.
“නොකළේද…? මං ඔයා වගේවත්, ඔයාගේ අම්මා වගේවත් නොවේ නිසා…කේළම් කියන පුරුද්දක් මට නැහැ…තමුන්ට වගේ…”
“දැන් ඔයා ආවේ…?”
“ආවේද…? ආවේ…අනතුරු අඟවන්න..ක්ලාස් කට් කරලා කොල්ලෝ එක්ක රවුම් ගහන එක හොඳ දෙයක් නෙවේ..තාත්තා දැන ගත්තාම මොනවා කරයිද දන්නැහැ…”
“ඇත්තට…? ඉතින් ගිහින් කියලා බලන්නකෝ…එයා දැන ගත්තාම මොකද වෙන්නේ කියලා එතකොට බලා ගමු…”
ඇගේ උඬඟු කතා විළාසය මා සිතේ ඇති කළ කෝපය නිසාම අත දිග හැර කම්මුල් පහරක් දීමට උපන් ආවේගය මම මැඬ ගත්තේ ආයාසයක් දරමිනි.
“එච්චර හයියක් තියනවා නම් මොකද බයේ පැනලා දිව්වේ…තාත්තා ළඟට ඇවිත් ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න එපැයි…මේ ටෙලාන් ආටිගල…මගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා…”
නංගී මා ඔහුව හඳුනන බව නොදැන සිටින්නට ඇතැයි කියා මට සිතුණේ මේ මොහොතේ ඇගේ දෑස් පුදුමයෙන් විසල් වන විටය.
“ඒක මං කරගන්නම්…ඔයා මගේ දේවල් වලට ඉන්වෝල් නොවී ඉන්නකෝ…ප්ලීස්…”
“ඔයා ඕන එකක් කර ගත්තට මට කමක් නැහැ…මං ආවේ අවවාද දෙන්න නෙවේ කියලා මං කිව්වානේ…හැබැයි මට දුක මොකුත් නෙවේ…අම්මයි දුවයි එකතු වෙලා මගේ තාත්තාව රවට්ටන එකටයි…මීට පස්සෙවත් එයාව රවට්ටන එක නවත්තනවා…එයා ඕවා දැන ගත්තුදාට දුක් වෙයි කියන දුකයි මට තියෙන්නේ…”
“එයා මගෙත් තාත්තනේ…”
නංගී එකටෙක කීවාය. වැරදි කරමිනුත් ඇගේ මුව නම් වැසී නැත.
“එයාගේ දුවෙක් වුණා නම් මෙහෙම කරන එකක් නැහැ…”
ආපසු හැරුණු මා කාමරයෙන් පිටව ආවේ මහා හඬින් දොර වසාගෙනය.
****** ****** ******* ******* ******** ************* ****** ******* *******
ගුණතුංග මාමා තවම පැමිණ සිටියේ නැත. අම්මාට තවම සුවයක් නොමැති බව ඔහු නැන්දා හා පවසා තිබුණේ ඈ ඇමතුමක් දුන් විටය. එම සෙනසුරාදා තාත්තා අප කැඳවාගෙන අමතර පන්තියට යන අතරේ මම සවස මිතුරෙකුගේ නිවසට යන බව තාත්තා හා පැවසුවෙමි.
“කවුද යාළුවා…කොහේද ඉන්නේ…කවුරු කවුරුද යන්නේ…මොකේද යන්නේ..කීයටද එන්නේ…?”
තාත්තා එක දිගට ඇසුවේ මේවාය. නොසතුටක් මා සිතේ ඇති විය. ඔහු නංගී යනෙන තැන් පිළිබඳව නම් මෙළෙස සොයන්නට උනන්දු වන්නේ නැහැ නේද කියා මම සිතුවේ කෝපයෙනි.
“මම නොයා ඉන්නම්කෝ…හරිනේ…?”
නොමනාපය මුසුව මම කීවේ මේ සියල්ලන්ටම පිළිතුරු දුන්නා නම් මට කෙසේවත් යෑමට ඉඩ නොලැබෙන බව දැනය.
“හරි…හරි…ළමයෝ…ගිහින් එන්න…රෑ වෙනකල් ඉන්න එපා…නදීරාත් යනවද…?”
“ඔව්…ඇයි…නදීරා යන්නේ නැත්නම් තාත්තා මාව යවන්නැද්ද…?”
“මෙයා නිකන් ලෝයර් වගේනේ…මං නිකමට ඇහුවේ…”
“නදීරත් යනවා…තව යාළුවෝ දෙතුන් දෙනෙක් යනවා…” නොමනාපයෙන් මම කීවෙමි.
“හ්ම්ම්.නැන්දාවත් එක්ක යන්න තිබුණා…”
තාත්තා එසේ කීවේ මා අවුස්සන්නට බවක් මම දැන නොසිටියෙමි.
“තාත්තේ…ඔයාත් එන්න…ගෙදර සේරමත් එක්ක යමු…රෑට කාලත් එන්න පුළුවන්…”
නොසතුටෙන් මම කෑගසන විට තාත්තා උස් හඬින් සිනහාසුණේය. ඒ තරම් සැහැල්ලු ලෙස ඔහු සිනහසෙනු මම දුටුවේ කාලයකට පසුවය. අනුකම්පාවක් මා සිතේ ඉපදුණේ නංගී සිහි වූ නිසාය. ඔහු මේ සියල්ල දැන ගත්තා නම් කෙතරම් දුක් වන්නට ඉඩ තිබුණාද.?