Hima Mal Renu 04 හිම මල් රේණු
පාසලට පැමිණි මුල් දින අමතක නොවන දිනයක් විය. මේ මා මුළින්ම උගත් පාසල වුවද සිතට සියුම් චකිතයක් නොදැනුණා යයි කීවෝතින් එය මුසාවකි. මේ භූමිය මට හුරු පුරුදු බව සැබෑ මුත් එදා මා සමඟ සිටි මිතුරු මිතුරියන් අද මෙහි සිටී යැයි සිතිය නොහැක. සිටියද මට ඔවුන් හඳුනා ගත නොහැකි වනු ඇත. පාසල් භූමියේ යම් යම් වෙනස්කම් බොහෝ සිදුව තිබිණ. අලුතින් ඉදිවුණ ගොඩනැඟිළි කීපයක්ද විය. ශිෂ්‍ය නායිකාවක විසින් මාව පන්ති කාමරය වෙත කැඳවාගෙන විත් එහි උගන්වමින් සිටි ගුරුවරියකට භාර දී පිටව ගියේ මහා ආඩම්බර කමකින් යැයි කියා මට සිතිණ. ගුරුවරියගේ නම් ඉන්දීවරී බවත් ඇයට “ඉන්දු ” කියා අමතන බවත් පසුව මා දැන ගත්තේ, පසුව මා දැනගත්තේ මගේ මිතුරියක වූ නදීරාගෙනි.
“ඔයාගෙ විස්තර කියලා පිටිපස්සේම පේළියේ නදීරා ළඟින් වාඩිවෙන්න…”
ඈ පවසන විට මම පන්තිය සිසාරා බැල්මක් හෙළුවෙමි. නදීරා යයි කියූ යුවතිය සුන්දර සිනහවක් මවෙත පෑවද අනික් අය නම් සිටියේ බුම්මා ගත් මුහුණිනි. පිරිමි ළමුන්ගේ අසුන් පෙළේ ඉදිරිපසම පළමු අසුනේ සිටි තරුණයා අසළ මා දෑස් නතර වූයේ අනෙක් ළමුන්ට වඩා යම් විශේෂිත යමක් මට ඔහු කෙරෙන් පෙනුණ නිසාය. බොහෝ කලකින් නොකැපූ කොණ්ඩය පනාවක පහසක් ලද කාලයක් මතක නැතුවාක් මෙන් හිස පුරා අවුල් ජාලයක්ව වැවී තිබූ සේම මුහුණ පුරා රැවුල් කොටය. චුයින්ගමයක් සපමින් සිටි ඔහු වරින් වර එය පුම්බා යළිත් මුව තුළට දමාගෙන සපන්නට වූයේ දෙපා සොළවමින් තමා සිටින්නේ කොහෙද කියා හෝ හැඟීමක් නැති ලෙසිනි. එය එතරම් සොඳුරු දසුනක් නොවූ අතර ගුරුවරිය මෙය දැක දැකත් නිහඬව සිටින්නේ මන්දැයි කියා මට නොසිතා බැරි විය. ඔහු හැඳ සිටි අත් කොට කමිසයේත් අත් හීනියට නවා තිබුණේ තම ශක්‍තිමත් බාහු ප්‍රදර්ශනය වන ලෙසිනි. කමිස කොලරයද උඩට ඔසවා තබා ගෙන ගෙල වටා ලේන්සුවක් දමා ගෙන සිටියේ මැරයෙකු සිහිගන්වමිනි. සපත්තු වෙනුවට පය ලා සිටියේ රබර් සෙරෙප්පු යුගලක් නිසා මා මුළින් සිතුවේ ඔහු දුප්පත් අයෙකු කියා මුත් එම පාවහන් යුගල දැනට වෙළඳපලේ මිල අධිකම පාවහන් යුගලක් බව දැක පෙර හැඟීම නිවැරදි නොවන බව වහා වැටහිණ.
“ජිම් යනවා කියලා පෙන්නන්න වෙන්නැති ෂර්ට් එකේ අත් නවා ගෙන ඉන්නේ…හැටි කොණ්ඩේ…පනාවක් තිබ්බා නම් අල්ලලා ඔළුව පීරනවා…සැලොන් එකක් ළඟින් වත් ගිහින් නැහැ වගේ…රස්තියාදුවෙ යන ගමන් ගොඩ වෙලාද කොහෙද..”
මම එසේ සිතමින් සිටින විට මා මුවට සිනහාවක් නැඟිණ. වට පිට බලමින් සිටි ඔහුගේ දෑස් එවර මා අසළ නවතින විට මම වහා දෙතොල් පට සපාගෙන සිනහව සඟවා ගතිමි. ඔහු නෙරවා ගත් දෑසින් මා දෙස බලා යළි ඉවත බලා ගන්නා විට ඔහු මනා කඩවසම් අයෙකු බව මට පෙනී ගියේය. ඒ රස්තියාදුකාර පෙනුමට යටින් කඩවසම් තරුණයෙකු සැඟවී ඇතැයි කියා මට නොසිතා බැරි විය. ඔහු මා සිතේ උනන්දුවක් මෙන්ම කුතුහළයක්ද ඇති කර තිබිණ.
මම මගේ නමත් මා උගත් පාසලේ නමත් ගමත් පවසා ගොස් නදීරා අසළින් හිඳ ගන්නා විට පන්තිය පුරා කසු කුසුවක් පැතිර ගිය අතර
“ගොඩේ ඉඳන් ඇවිත් තියෙන්නේ..”
යැයි පවසනු ඇසුණේ ගැහැණු ළමුන් පෙළේ ඉදිරි අසුනක වාඩි වී සිටි අයෙකුගෙනි. හඬ ආ දෙසට බැල්මක් හෙළන විට ඇයත් සමඟ සිටි අනෙක් දෙදෙනද වහා හැරී සමච්චල් සහගත සිනහාවක් පාමින් ඉවත බලා ගත්හ. නොමනාපය මුසු කෝපයක් මා සිතේ ඇති වුවද නදීරා මවෙත පෑ හිතවත් සිනහව නිසා එය යටපත් වී ගියේය. අපට කතා කිරීමට කාලයක් නම් ඒ මොහොතේ නොවීය. ඉන්පසු මගේ අවධානය යළිත් යොමු වූයේ පෙර කී තරුණයා වෙතමය. එයට හේතුව නම් ඉන්දු මිස් උගන්වමින් සිටින අතරම ඔහු අනවසරයෙන්ම නැඟිට ගොස් මුවේ වූ චුයින්ගමය එළියට විසීකර විත් නැවත අසුන් ගැනීම නිසාය. ඔහු අඩි හයක් පමණ උසකින් යුත් අයෙකු බව මා දුටුවේ එවිටය. අනෙක් ළමුන්ට වඩා ඔහු වසරකින් හෝ වැඩිමහළු අයෙකු යැයි මම අනුමාන කළේ ඔහුගේ මුහුකුරා ගිය පෙනුම නිසාය. කිසිදු ගරු සරුවක් නැති ඔහුගේ හැසිරීම මා සිතේ ඇති කළේ නොසතුට මිශ්‍ර නොමනාපයකි. අනෙක් පිරිමි ළමුන් මනා පිළිවෙළකට පාසලට පැමිණෙන විට ඔහු පමණක් යහනින් බැස්සාක් මෙන් මෙසේ පාසලට පැමිණෙන්නේ මෙය ඔහුගේ නිවස කියා සිතා ගෙනද..? විදුහල්පතිතුමා හෝ ගුරුවරුන් මොහුට දොස් පවරන්නේ නැතිවාද කියා මා සිතේ ඇති වූයේ දැඩි කුතුහළයකි.
“කොල්ලෝ ටික අලුතින් ආව ළමයින්ට රැග් කළා…ඔයාවත් අල්ල ගනියි…පරිස්සමෙන්.. ගණන් ගන්නෙපා..”
නදීරා රහසින් මට කොඳුරන විට මා සිතේ තිගැස්මක් ඇති විය.
“ඔයාටත් රැග් කළාද…? ” මම පුදුමයෙන් ඇසීමි.
“අපෝ නැහැ…මම අලුත් කෙනෙක් නෙවේ…මම නවයේ පන්තියේ ඉඳන් මේ කොලේජ් එකේ ඉන්නේ…අර මැද පේළියේ ඉන්න ගර්ල්ස්ලා තුන් දෙනාට රැග් කළා…එයාලා ආවේ ඊයෙ…”
ඈ මට ඉදිරිපස පෙළේ සිටි යුවතියන් තිදෙනෙකු පෙන්වා කීවාය.
“එයාලට මොකක්ද දීපු රැග් එක ? ”
“එක්කෙනෙක්ට පුටුවක් උඩ නැඟලා තනි කකුලෙන් නටන්න කිව්වා..අනික් එක්කෙනාගේ සිංදුවකට…අනික් කෙනාට කිව්වා බෝයි ෆ්‍රෙන්ඩ් බූට් එකක් දුන්නා කියලා හිතලා දුකට අඬන්න කියලා…”
මා මුවින් පිට වීමට ගිය සිනහව මම ආයාසයෙන් වළකා ගතිමි. ඒවා නම් එතරම් දරුණු වද නොවේ.
“ඉතින් එයා ඒක කළාද …? ”
මම රහසින් ඇසීමි. නදීරා හිස දෙපසට වැනුවාය.
“නැහැ…එයා කිව්වා බූට් කෑවත් එහෙම අඬ අඬ ඉන්න ජාතියේ කෙනෙක් නෙවේ එයා…දාලා ගියොත් මම වෙන කෙනෙක් සෙට් කරගන්නවා කියලා…”
මම අතින් මුව වසා ගතිමි. පිරිමි ළමුන් කීප දෙනෙකු මා දෙස හැරී බලනු මා දෑසට හසු වුවද, මම එය නොදුටුවා සේ කල් යැවීමි. ඊළඟ පරිච්ඡේදයත් එම විෂයම වූ බැවින් මට දැනුණේ අළස බවකි. ඉන්දු මිස් පැවරුම් කීපයක් දී අසුනේ හිඳ ගෙන පොතක් කියවමින් සිටියාය. ළමුන් නිහඬවම පැවරුම නිම කිරීමට උනන්දුවක් පෙන්වුවද, ඉදිරිපෙළ අසුනේ සිටි ශිෂ්‍යයා පමණක් දෙපා පදවමින් ඔහේ හිඳගෙන සිටියේ වෙනත් ලොවක සිටින්නාක් මෙනි. විවේක කාලය එළඹෙන විටම ගුරුතුමිය පන්තියෙන් යෑමටත් පෙර සියළු දෙන රොත්ත පිටින්ම පිටතට දිව ගියෝය. මම නදීරාගෙන් ඒ මන්දැයි ඇසුවෙමි.
“ඔය දුවන්නේ කැන්ටින් එකට…ඉක්මනට ගියේ නැත්නම් කුඩ්ඩක් වත් ඉතුරු වෙන්නේ නැහැ…ළමයි පොරකනවා…”
මම නදීරා සමඟ උදෑසන නැන්දා සාදා දුන් බත් මුල ලෙහා ගෙන කෑවෙමි. පසුව ඇයත් සමඟ පිටතට පැමිණියෙමි. ඈ පවසා තිබුණේ සත්‍යයකි. ආපන ශාලාව ඒ වන විටත් ළමුන්ගෙන් පිරී තිබිණි. ගමේ පාසලේ නම් එසේ නොවීය. බොහෝවිට නිවසින් සාදාගෙන එන දෙයක් විවේක වේලාවේදී බෙදාහදාගෙන කෑමට ගැනීමේ සිරිතක් එහි විය. ආපනශාලාව තිබුණේ නමට පමණකි. සිසුවෙකු එයින් යමක් මිලදී ගත්තා නම් ඒ කලාතුරකිනි. බොහෝවිට එය පරිභෝජනය කළේ ගුරුවරුන්ය.
“අවුරුදු ගානකින් කන්න හම්බෙලා නැහැ වගේනේ පොරකන්නේ…”
සිනහාසෙමින් මම කීවෙමි. වට රවුමෙන් අපි යළි පන්තිය දෙසට එන මොහොතේ දුටු දෙයින් මම හුන් තැනම නැවතුණේ පුදුමයෙනුත් තිගැස්මෙනුත් කිසිත් සිතා ගත නොහැකිවය. ඒ අර අපේ පන්තියේ සිටි නොසණ්ඩාල පෙනුමෙන් යුතු තරුණයාය. ඔහු බිත්තියට බරදී සිගරට්ටුවක් උරමින් සිටියේය. ඒ දුටු මා සිතේ ඇති වූයේ කෝපයක්ද නැත්නම් කළකිරීමක්ද කියා මට එකවරම සිතා ගැනීමට අපහාසු විය.
“ඇයි නැවතුණේ..? ”
නදීරා මා විමසන විට මම හිසින් ඔහුව පෙන්වූයෙමි. ඔහුද එවර අප දෙස හැරී බැලුවද අප බලා සිටින බවට කිසිදු හැඟීමක් නැතිවාක් මෙන් දුම්රොටු කීපයක් වා තලයට මුසු කළේ රවුම් හැඩයටය. එය මහා ලොකු හපන් කමක් මෙන් ඔහු සිතුවා වන්නට ඇති මුත් මා සිතේ ඇති වූයේ අප්‍රසාදයකි.
“ඒ අවීශ්…එයා එහෙම තමා…”
නදීරා පහත් හඬින් කීවාය. මෙය ඇයට සුපුරුදු දසුනක් වූවාට මා දුටුවේ පළමු වරටය. ගුරුවරුන් මෙය නොදැන සිටීමට ඉඩක් නැත. බියක් සැකක් නැතිව ඔහු මෙලෙස නිල ඇඳුමින් සැරසී පාසල තුළ හැසිරෙන විට එයට විරුද්ධ වීමට කිසිවෙකු නොසිටීද..? අනෙක් ළමුන් මෙයින් ගන්නා ආදර්ශය කුමක්ද..? මේ පාසල තුළ විනය කියා දෙයක් නැතිද..? එසේ නැත්නම් මොහුට බිය නිසා මේවා නොදුටුවා සේ සිටිනවාද..? බිය ! නමුත් ඔහුට බිය වන්නේ කුමකටද..? ඔහු සිගරට්ටුවේ අන්තිම දුම් රොටුවත් නිදහසේ උරා කොටය බිම දමා පයින් පාගා දැමුවේය.
අපි දෙදෙනම යළි ඒමට සූදානම් වන මොහොතේ තරුණයින් රොත්තක් විත් අප දෙදෙනා වට කර ගත්තේ කිසිත් සිතා ගැනීමට ඉඩක් නොතබාය.
“මේ මොකද මේ..? ”
මම කෑ ගැසුවෙමි. නදීරා මගේ අත දැඩිව අල්ලාගත්තේ බියට පත්ව මෙනි.
“තමුන් අලුතින් නේද ආවේ..? අපිට කැන්ටින් එකෙන් කන්න අරන් දෙනවා…”
එසේ කීවේ මා ඉදිරියේම සිටගෙන සිටි අයය. ඔහුගේ උරහිසට ඉහළින් මට අවීශ් පෙනිණ. ඔහුගේ දෑස් අනපේක්ෂිතව මේ මොහොතේ මාගේ දෑස් හා ගැටිණි.
“හේයි ! ”
එවිට ඔහු උස් හඬින් කෑ ගැසූ අතර සියළු දෙන එම හඬින් හැරී බලන විට මම නදීරාවත් අතින් ඇදගෙනම අවීශ් වෙත දිව ආවේ මා ඉදිරියේ හුන් තරුණයා තල්ලු කර දමමිනි.
“පලයල්ලා පන්තිවලට තොපි සෝමාලියාවෙන්ද ආවේ..? ”
ඔහු ගැඹුරු වූත්, රළු වූත් හඬකින් කෑ ගසන විට රොත්තම සී, සීකඩ විසිර ගියේ ඇසිල්ලකිනි. පසුව අප දෙදෙනා ගැන තැකිමක් හෝ නොකර හැරී යන විට අපිත් ඔහු පසුපස පියමැන්නෙමු.
“තෑන්ක් යූ…”
පන්තියට පැමිණි සැණින් මම ඔහුට පැවසුවේ ඔහු සිය අසුනේ හිඳ ගැනීමට සූදානම් වන මොහොතේය. එය නෑසුණා නොව ඔහු එය නෑසුණා සේ සිටි බව දැනුනද, මමත් නදීරාත් අපේ අසුන් කරා පැමිණියෙමු.
“අනූනවයෙන් බේරුණා..”
නදීරා පහත් හඬින් කීවාය. නමුත් එයින් බේරීමට අවස්ථාවක් උදා වුවද අපේ පන්තියේ පිරිමි ළමුන් මා වට කරගත්තේ මා පැමිණි විගසමය.
“ඒයි ! මොකක්ද තමුසෙගේ නම කිව්වේ..?”
එක් අයෙක් ගොරහැඬි හඬකින් අසන විට මම හිස ඔසවා ඔහු දෙස බැලීමි.
“කවද්ද කරත්තෙන් බැස්සේ..? ”
ඔහුට රවමින් මම අසන විට ඔහු එය නොවැටහුණාක් මෙන් වටපිට බලන විට සෙස්සෝ උස් හඬින් සිනාසෙන්නට වූහ.
“කරත්තෙන්..ඒ..මොකක්ද..? ” ඔහු මවිතයෙන් ඇසීය.
“කරත්තේ බං..අර ගොනා දක්කන් යන එක..” එක් අයෙක් පැහැදිළි කළේය.
“ඒක මං දන්නවා බං..දැන් මෙයා ඇයි ඒක මගෙන් අහන්නේ..? ”
ඔහු පුදුමයෙන් ඇසුවේ මා කෙරෙන් නෙත් මුදවා නොගෙනමය.
“දැන් ඔයා කතා කළේ ඒ භාෂාවෙන්නේ..ඒකයි..”
මම පිළිතුරු ලෙස කියන විට යළිත් සිනා හඬක් පැතිරිණ .
“අම්මාද බොල මෙයාගෙ කට..අදයි ආවේ..අපිට පාර්ට් දානවද..? නැඟිටිනවා..”
ඔහු විධාන කරන විට මම නැඟී සිටියේ ඔහුට ඇති බිය නිසා නොව කුමක් කිරීමට සැරසෙනවාදැයි කුතුහළයෙනි. ගුරු මේසය දෙසට ඇවිද ගිය ඔහු මල් බඳුනේ දමා තිබූ ඇතූරියම් මලක් ගෙන විත් මවෙත දිගු කළේය. මම එදෙස බලා සිටියේ කිසිත් සිතා ගත නොහැකිවය.
“මොකද උගුඩුවා වගේ බලන් ඉන්නේ..? ගන්නවා මේක අතට..මේ මල අරන් ගිහින් අර අතන වාඩි වෙලා ඉන්න කෙනාට දීලා කියනවා මං ඔයාට ආදරෙයි කියලා..හ්ම්හ..ගන්නවා ඉතින්..ගිහින්.. කියනවා…”
ඔහු එසේ කීවේ අවීශ් පෙන්වමිනි. මම ඔහු අතින් ඇන්තූරියම් මල අතට ගතිමි.
“මම එහෙනම් කියනවා…පස්සෙ මොකුත් කියන්න එපා හොඳේ..” මම කීවෙමි.
“කියන්න තමා කිව්වේ..යනවා ඉතින්..”
මුළු පන්තියම මා දෙස බලා සිටින විට මම සෙමෙන් අවීශ් ඉදිරියට ගියෙමි. ඔහු මේ සියල්ල අසා සිටි බව නොරහසකි. මට මල දෙමින් විධාන කළ අය සිනහසෙමින් මා දෙස බලා හිඳී.
“ඕක නවත්තන්න ටිරෝන්..පිස්සුද..?”
නදීරා කෑ ගැසුවාය.නමුත් එයට ප්‍රමාද වැඩිය මා දැන් අවීශ් ඉදිරියේය. ඔහු හිස ඔසොවා මා දෙස බැලුවේ රළු බැල්මකිනි.
“අවීශ්….”
සියල්ලන්ටම ඇසෙන සේ උස් හඬින් මම ඔහු ඇමතීමි.
“මේ මල ඔයාට දීලා ටිරෝන් කියන්න කිව්වා එයා ඔයාට ආදරෙයි කියලා..”
මම එසේ කියා ඇන්තූරියම් මල ඔහු ඉදිරියේ තබන විට මුළු පන්තිය පුරාම පැතිර ගියේ උස් සිනා හඬකි. අවීශ් කෝපයෙන් මල අතට ගෙන පොඩි කර එයින් ටිරෝන් ට දමා ගැසීය.
“මෝඩයා කෙල්ලො බයිට් කරන්න ගිහින් උඹම බයිට් වුණා නේද..? ”
අවීශ් කෑ ගැසුවේය. පිරිමි ළමුන් ටිරෝන්ට විසුළු කරන්නට වන විට මම ඔහු අසළට විත් සිටගතිමි.
“මේක දැන ගන්න..මම මේ කොලේජ් එකට ආවේ අද නෙවේ…මම අවුරුදු හතක් ඉගෙන ගත්තේ මේ කොලේජ් එකේ…අනික තමා මම ආවේ ගොඩේ ඉඳන් නෙවේ…මේ මගේ ගම…අද ඊයේ කොලේජ් එකට ආවේ ඔයාලානේ…”
මට සමච්ච්ලයට සිනහාසුණු තරුණියන් දෙසත් බලා කී මම මගේ අසුනේ හිඳ ගතිමි. පන්තියම මීයට පිම්බාක් මෙන් නිහඬ විය. එහි මා සතුරන් ඇති කරගත්තාද කියා මම නොදනිමි. නමුත් මම එක් දෙයක් අවබෝධය කරගතිමි. එනම් අර ආඩම්බකාරයා දුටු මොහොතේ පටන් මම ඔහුට ප්‍රිය කරන බවය. අන් කිසිවෙකු ළඟ නැති පෞරුෂත්වයක් ඔහු තුළ ඇතැයි කියා මම සිතමි. පිරිමි ළමුන් මා වට කොට ගත් ඒ මොහොතේ මම ඔහු දෙස බැලුවේ ඔහු මා සහායට එනු ඇතැයි විශ්වාස කළ නිසාද..? ඔහු අසළට දිව ගියේ ඔහුගෙන් ආරක්ෂාවක්, රැකවරණයක් ඇතැයි මා සිත අභ්‍යන්තරයට හැඟුණ නිසාද..? පන්තියේ පිරිමි ළමුන් වුවද හිරිහැර කිරීමට සැරසුණහොත් ඔවුනට විරුද්ධව සටන් කොට බැරිම වුවහොත් මට ඔහුගේ සහාය ලබා ගත හැකි වනු ඇති බව මට මෙහිදී කල්පනා විය. එම සිතුවිල්ල පවා මා සිතේ ඇති කළේ සහනශීලී නැත්නම් තෘප්තිමත් හැඟීමකි.
“මේක ඉවරයි කියලා හිතන්න එපා…”
ටිරෝන් මට තර්ජනාත්මකව පැවසීය. හැමෝම තම තමන්ගේ අසුන් කරා විසිර ගියේ මා දෙසට අභියෝගාත්මක බැලුම් හෙළමිනි. අවීශ්ද නොසැළකිලිමත් බැල්මක් මවෙත හෙළා වහා ඉවත බලා ගත්තේය.
“ඉවර වෙන්නේ කොහොමද අදනේ පටන් ගත්තේ..”
ටිරෝන්ට දිව ඇද කරමින් මම කීවෙමි. යළිත් පැතිර ගියේ සිනා හඬකි.
“බලමු..කවුද දිනන්නේ කියලා…” ඔහු ලැජ්ජාව වසා ගැනීමට මෙන් යළිත් කීවේය.
“දිනුම පැරදුම බලා ගමු රිසාල්ට්ස් ආවාම…”
මම එකටෙක කීවෙමි. යළිත් සිනාහඬක් පැතිරිණ.
“ටිරෝන්..දැන් ඕක නවත්තපන්…පිස්සෙක්නේ උඹ…”
අවීශ් උස් හඬින් කීවේ ටිරෝන් දෙස හෝ හැරී නොබලාමය. සැවොම නිහඬ වූයේ අවීශ්ට ඇති බිය නිසා යැයි කියා මට යළිත් සිතිණ. ඇත්තෙන්ම ඔහු කවුද..?