Donilaye Amme – අද දවස විශේෂ කරලා ගණන් හදනවනම් අපිට කියන්න පුළුවන් කොළඹ පොත් ප්‍රදර්ශනේ අවසාන දවස වගේම ලෝක වැඩිහිටි හා ළමා දිනය කියලා. පොත් ලියන අය සහ විකුණන අය එකතුවෙලා අවුරුද්දකට සැරයක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන මේ දවස් දහය ඒ ගොල්ලෝ නම් කරලා තියෙන්නේ ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කියලා. ප්‍රධාන අරමුණ “විකිණීම” වුණත් ඒ කෑල්ල ගැන කොහෙවත් සඳහනක් නැතත්, අදාළ නැති “ජාත්‍යන්තර” කියලා කෑල්ලක් නම් මුලින්ම තියනවා. සමහරු ඕක “පොත් සල්පිල” කියලත් හඳුන්වනවා. හැබැයි ඒක අර පොත් ප්‍රදර්ශනය කියනෙකට වඩා ටිකක් ගැලපෙනවා. මොකද සල්පිලක තියෙන්නේ වැඩි ඉල්ලුමකට භාණ්ඩ විකුණන තරඟයක් නිසා. මට ඔය දවස් කිහිපයේදී මතක් වෙන්නෙම පන්සල් ළඟ මල්කඩ වල ඉන්න ගෑණු දරුවො සහ ඉස්සර කජුගම පාර දෙපැත්තෙ හිටපු කජු විකුණන ගැහැණු උදවිය. පහුගිය කාලෙ මගේ කන් දෙකට ඇහුණේම ඒ අයගේ ටෝන් එකෙන් “එන්නෝ..අපෙනුත් පොත් ගන්ඩෝ..” වගේ කංකරච්චලයක්. තවත් අය ඕක හඳුන්වන්නෙ “පොත් කියවන මාසෙ” කියලා වුණත් මටනම් හිතෙන්නෙම ඒක “කට කියවන මාසේ ” කියලා වෙනස් වුණානම් ගැලපෙනවා කියලා.
“තාත්තේ….”
ඇඳට වෙලා ඉඳගෙන ඉරිදා උදේ ස්මරණය කරමින් හිටපු මගේ කල්පනා ලෝකය චුටි ඒකිගේ හඬින් බිඳිලා ගියා. මං දුවගෙන ඇවිත් ඇඳට පැනපු ඒකිව ලඟට අරන් වාඩි කෙරෙව්වා.
“තාත්තා දන්නවද අද දවසෙ තියන වැදගත්කම..” කෙල්ල ඇහුවේ ටිකක් බැරෑරුම්ව.
“ඔව් පැටියෝ.. අර කොළඹ තියන ලොකු පොත් කඩේ අද වහනවලු නේද.. දැන් ඉතිං අපිට ඊළඟ අවුරුද්ද වෙනකං කනක් ඇහිලා ඉන්න පුළුවන් නේද?”
කෙල්ල මුණ ඇද කරගත්තාමයි මට තේරුණේ මගේ හිතේ තියන සේරම දේවල් එළියට අතාරින්න සුදුසු කෙනා නෙමෙයි මං ළඟ ඉන්නෙ කියලා. ඒ නිසා මං උත්තරේ කෙල්ලගෙන්ම ගන්න හිතාගෙන,
“මයෙ පුතාම කියන්නකෝ ඉතිං..” කියලා කිව්වා.
“තාත්තා ඒකවත් දන්නෑනෙ..අද ලෝක ළමා දිනේනෙ අනේ..” ඇත්තටම එහෙම එකක් මගේ ඔලුවේ තිබ්බේ නෑ තමයි.
“ආහ්..මයේ පුතාට ඒක මතක තිබ්බා එහෙනම්..හොඳ කෙල්ල..” මං ඒකිගේ ඔලුව අතගාන ගමන් එහෙම කීවේ ඇත්තටමයි.
“දැන් දවස් ගානක ඉඳලා ටී .වී එකේ ඇඩ් දානවා.. අද දවසම ළමා චිත්‍රපටි පෙන්නනවා කියලා..මං ආවේ තාත්තව ටී.වී බලන්න එක්කං යන්න..”
අද ලෝක වැඩිහිටි දිනයත් වෙනවා. ඒ නිසා දරුවන්ට යුතුකමක් තියනවා වැඩිහිටියන්ට අද වගේ දවසකවත් නිදහසේ ඉන්න දෙන්න කියලා කියන්න කටට ආවත්, මේ පොඩි ඒකිට ඒවා කියලා වැඩක් නැති නිසා මං කරබාගෙන ඇඳෙන් බැස්සේ කෙල්ල එක්ක ටී .වී බලන්න සාලෙට යනවා කියලා හිතාගෙන. දෝණිලයෙ අම්මා තේ කෝප්ප දෙකකුත් අරගෙන කාමරේට ආවේ ඒ වෙලාවේ.
“කොහෙද මේ තාත්තයි දුවයි දුවන්න සැරසෙන්නෙ?” දෝණිලයෙ අම්මා ඇහුවේ කුකුසකින් අපි දෙන්නා දිහා බලන ගමන්.
“ටී.වී බලන්න..” කෙල්ලට කලින් මගේ කට ඉස්සර වුණා.
“යසයි උදේම තාත්තා දුවත් අරගෙන කරන්ඩ යන වැඩේ..”
“ඇයි?”
“ඇයි අහන්නෙ..හෙට ඉස්කෝලෙට මොනාද බඩු වගයක් අරගෙන එන්ඩ කියල තියනව නේද චුටි…රෑ වෙනකන්ද ඉන්නේ ඒවා හොයන්න යන්ඩ..”
මං කෙල්ල දිහා බැලුවේ ඒ මොනාද කියලා දැනගන්න. ඒකිට ඒවා මතක පාටක් නෑ කියලා ඔලුව කසන කැසිල්ලෙන් තේරෙනවා. මගේ බැල්ම දෝණිලයෙ අම්මා දිහාට යොමුවුණේ ප්‍රශ්නෙ ලිහාගන්න ඕන වුණු නිසා.
“ඇයි අර ගෙදර වැඩ පොතේ ලියලා තියෙන්නෙ පොඩි කළගෙඩියකුයි,ලී කෑලි දෙකකුයි අරන් එන්න කියලා.. හෙට ටීචලා කළගෙඩි නැටුමකුයි,ලී කෙළි නැටුමකුයි කරනවලු ළමා දිනේ සමරන්න..ඒවා මතක නෑ..ටි.වී එකේ යන ෆිල්ම් ටිකනම් හොඳට මතකයි..මෙන්න මෙහෙ එනවා යන්න..”
දෝණිලයෙ අම්මා එහෙම කියලා කෙල්ලට ටොක්කකුත් ඇනලා,ඒකිව කාමරෙන් එලියට ඇදගෙන ගියා. මට හිනා ගියේ ළමයින්ගෙ දිනේ සමරන්න ටිචර්ස්ලා කලගෙඩි,ලී කෙළි නටන්න යනවා කියලා කීවාම. ඒ මදිවට ඒවා කරන්න ඕන කරන දේවලුත් ළමයින්ටම අරන් එන්න කියලා. එක දිගට තිබුණු නිවාඩු දවස් හතරෙන් දෙකක් උන් අමතර පන්ති වල, අනිත් දෙක පන්සලේ පෝයටයි,දහම් පාසලටයි. ඒ මදිවට දවස හතරකට පස්සේ ඉස්කෝලේ යන දවසේ ටිචර්ස්ලා ළමයින්ට කළගෙඩි නැටුම් නටලා පෙන්නන්න යනවා. එක දවසක් කියලා නෑ. දෙමාපියන්ගේ මුළු ජීවිත කාලෙම ගෙවෙන්නේ තමන්ගේ දරුවන්ගේ හෙට දවස ගැන කල්පනාවෙන්. ලංකාවේ මාධ්‍ය කාරයෝ ටිකයි, සමහර ගුරුවරුයි එදාට විතරක් ඕක සමරන්න එක,එක නැටුම් නැටුවට, මේ රටේ බහුතරයක් දෙමව්පියෝ දවසේ පැය විසිහතරම,අවුරුද්දෙ දවස් තුන්සිය හැටපහම දන්න කියන හැම නැටුමම නටලත් දරුවන්ගේ ජිවිත ගොඩදාගන්න බෑ. එහෙව් රටක අවුරුද්දකට එක දවසක් ළමා දිනයක් සමරලා, පොත් ටිකක් විකුණලා කොහොමද ළමයින්ගෙ අනාගතේ හදන්නෙ?
“තාත්තා දැන් එළියට යනවද?” ඒ හඬ අපේ ලොකු කෙල්ලගේ.
“ඇයි ලොකූ?” මං උත්තර දෙනවා වෙනුවට ප්‍රශ්නයක් ඇහුවා.
“නෑ අම්මා කිව්වා නංගිට බඩු වගයක් ගේන්න යන්න වෙයි කියලා..”
“ඔයාගේ වුවමනාව කියන්නකෝ පුතේ..”
“පොත් වගයක් තියනවා ගෙන්නගන්න..”
“මොනාද පොත්?”
“මේ සැරේ සම්මාන හම්බවුණු පොතකුයි,බුක් ෆෙයාර් එකේ හුඟක් කතාවුණු පොතකුයි..”
“දැන් ඉතිං බුක්ෆෙයාර් යන්න කාලයක් නෑනේ..හෙට අනිද්දා වෙද්දී ඕවා බුක් ෂොප් වලට ඒවිනේ නේද?”
“ඒවි..ඒත්..බුක් ෆෙයාර් එකේ ඩිස්කවුන්ට් එක්ක ගන්න තිබ්බලු ගියානම්?”
“මං දන්නවා පුතේ.. අපි මේ සැරේ බුක්ෆෙයාර් ගියේ නෑ..ඒ මට ඔයා එක්ක,නංගි එක්ක,අම්මා එක්ක තියා බුක් ෆෙයාර් එක එක්කවත් තරහක් කේන්තියක් තියන නිසා නෙවේ..ඔයා ඔය කියන පොත් ටික මට ලියලා දෙන්න..මං ලබන සතිය ඇතුළත ඔයාට ඒ ටික ගෙනත් දෙන්නම්. ඒ වගේම මේ වීකෙන්ඩ් එකේ අපි හතර දෙනා කෑමකට එළියට ගිහිං එමු..”
මං එහෙම කිව්වේ ලොකුගේ පිටට තට්ටුවක් දාන ගමන්, කියන්න ගොඩක් දේවල් තිබ්බත්, ඒකි කාමරෙන් එලියට ගියේ ඒ හැමදේම හිතේ හිරකරගෙන බව මට තේරුණා. මේක ආටෝප ප්‍රදර්ශන සමාජයක් ලොකු දුවේ! බාල,තරුණ,වැඩිහිටි,මහළු හැමෝම දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ මායාවේ පැටළිලා. මට ඕනේ උඔලව ඒ ලෝකේ රූකඩ නොකර තියාගන්න. එහෙම වෙනස් විදිහට මේ සමාජය දිහා බලන උඔලයෙ තාත්තා වගේ මිනිස්සුන්ට මේ සමාජය හිනාවෙනවා වගේම ගරහනවා. උන්ට ඕනේ එක ගොඩේ වැටිලා මිත්‍යාවේ,අඳුරේ වෙළිලා ඉන්න. එකෙක් හරි ඒකෙන් ඈත්වෙලා,බේරිලා ඉන්නවට මේ සමාජය කැමති නෑ. මං තාත්තා කෙනෙක් විදිහට මගේ දරුවන්ව පුළුවන් තරම් මේ ආටෝප ප්‍රදර්ශන ලෝකෙන් ඈත් කරලා හදන්න උත්සාහ කරනවා. ඒ ගැන අද උඔලයෙ හිත රිදෙයි තැලෙයි පුතේ! ඒත් දවසක උඔලට සතුටු හිතෙයි. පොකුරක එකක් නොවී තනියම පිපුණු මලක් වෙලා ලෝකෙට සුවඳ දුන්නා කියලා.
“ආඃ…”
දෝණිලයෙ අම්මා එහෙම කිව්වේ ඉටි බෑග් එකක් මගේ දිහාට දික් කරගෙන. මං ඒක අතට අරගෙන ඇරලා බැලුවා. අලුත් තීන්ත සුවඳ දැනෙන පොත් කීපයක්.
“පණ්ඩිත කතා කීවට මං දන්නවා ඔයා පොත් ගුල්ලෙක් කියලා..සන්ධ්‍යා අද බුක් ෆෙයාර් ගියා..එයාට කියලා ගෙන්නගත්තෙ..”
ඇත්තටම ඇස් අග දැවිල්ලකින් වගේ කෙවෙන්න ගත්තා. නිතර නෝක්කාඩු වලින් පිරෙන එයාගේ ඇස්වල ආදරණිය පෙම් පාටක් තිබුණා. ගැහැණියක් කියන්නෙත් කියවිය යුතු පොතක් කියලා කොහෙහරි තැනක ලියවිලා තිබ්බා වහේ මට මතකයි.