Seporu – කොළඹ පොලොව ගිණියම් වෙන්නෙ අව් රස්නෙට විතරක්ම නෙවෙයි. ඒ පරිසරය කළබලකාරී වෙන්නෙ අග නගරය නිසාම විතරකුත් නෙවෙයි. කොළඹ මොන පාටද කියලා දන්නැතුව කොළඹට ඇවිත්, ඒ අග නගරෙන් පාට වෙව්චි උන් නිසා. උන්ගෙ හීන හැබෑ කරන්න තමයි කොළඹ මේ තරම් කාර්‍යබහුල වෙලා තියෙන්නේ. උන්ගෙ හීන දරාගෙන ඉන්න වේගෙට තමයි කොළඹ මේ තරම් රත් වෙන්නෙ. හීන මොන පාටද දන්නෑ වගේ තමා කොළඹටත් හරි හමන් පාටක් නෑ. ටයි,කෝට් දාගත්තු උන් වගේම සරම්,කමිස – චීත්ත,හැට්ට ඇඳගෙන එන උන්වත් මේ කොළඹ හයියෙන් බදාගන්නවා. පුළුවන් විදිහට හදාගන්නවා. හීන හැබෑවෙන්න නම් කොළඹ එන්නෝනෙ කියලා හිතපු උඔලා,අපි වගේ උන්ගෙ කතාව තමයි “සෙපෝරු” කියන්නෙ. දිනුම පැරදුම තීරණය වෙන්නෙ කාගෙ අතද සෙපෝරු කියනෙක අනුව. ඔව්! කොළඹ කියන්නෙ සූදුවක්.
කොළඹ කොටුව ස්ටේෂන් එක කියන්නෙ වෙනද වගේම අදත්, හුඟක් දුර ඉඳලා හූ කියාගෙන එන මිනිස්සු ගෙනත් කොළඹට අතාරින තැන. ස්ටේෂන් එකයි මල්වත්ත පාරයි එකතු කරන ගුවන් පාලම උඩ ඉඳලා දර්ශන ධර්මවර්ධන ඒ සෙනඟ කන්දරාව දිහා බලාගෙන හිටියා. කුකුල් ෆාම් එකක කූඩු කීපයක් එකපාර ඇරලා දැම්ම වගේ මිනිස්සු පොදි කකා ස්ටේෂන් එකෙන් එළියට එනවා. එල්ලගෙන එන බෑග් එකෙන්, ඇඳගෙන එන ඇඳුමෙන්, කතා කරන විදිහෙන් මේ මිනිස්සුන්ගෙ උප්පැන්න සහතිකේම දෙන්න පුළුවන් විදිහට අද වෙනකොට කොළඹට තෙම්පරාදු වෙච්චි මිනිහෙක් වුණත්, දර්ශන හැඟීමක් නැතුව ඔහේ උන්ගෙ හැසිරීම් දිහා බලාගෙන හිටියා. ඒත් දර්ශන ළඟින් යන සමහරු එකපාරටම ගැස්සිලා නතරවෙන වෙලාවල් තිබුණා. තවත් සමහරු හුරු පුරුදු හිනාවක් දීලා කල්පනා කර, කර යනවා පෙණුනා. තරුණ ගෑණු ළමයි දර්ශන දැක්ක ගමං අතින් කටවහගෙන යාළුවගෙ උරහිසට පාරක් ගහලා කිචි, බිචි හිනාවක් දාගෙන යන්න ගියා.
” නළුවෙක් නේද..”
එතැනින් ගිය උඩුකය නිරුවත්, සරම කැහැකවාගත් “නාට්ටාමි” රස්සාව කරන වයසක මනුස්සයො දෙන්නගෙන් එකෙක් අනිකගෙන් එහෙම ඇහුවා. අනිත් කිසි දේකට ප්‍රතිචාර දැක්කුවෙ නැතිවුණාට දර්ශන ඒ දෙන්නට කට පුරවලා හිනාවක් දුන්නා. ඒ ඇයි?
ඒක මීට අවුරුදු දහයකට එහා කතාවක්. උප්පැන්න සහතිකේ තිබ්බ විදිහට දර්ශන ධර්මවර්ධනගෙ හරි නම තමා පටබැඳිගේ දර්ශන ප්‍රියජනක. පොඩි පූමා බෑග් එකක සරම් කඩමාල්ලකුයි, කමිස කෑල්ලකුයි දාගෙන කහටගස්දිගිලියෙ ඉඳලා යාල්දේවියෙන් කොළඹ ආපු දර්ශන අත හිස් වෙනවට කාඩ්බෝඩ් ෆයිල් එකක් අරං ආවා. ඒ ෆයිල් එකේ තමන් එල්ලෙ ගහලා දිනපුවයෙ ඉඳලා තව සහතික මිටියක් තිබුණා. එදා රෑ තමන්ගෙ ඇඳුම් බෑග් එක ඔලුවට තියාගෙන පිටකොටුවේ ස්ටේෂන් එකේ නිදාගත්තු දර්ශන, පහුවදා උදේ ස්ටේෂමේ පයිප්පෙන් දත, කට මැඳගෙන කොටුවෙ රත්වුණු පොලොව දිගේ තමන්ගෙ හීන වෙනුවෙන් දුවන මිනිස්සු රෑනට එකතු වුණා.
“ගමට වෙලා ඉඳලා නළුවෙක් වෙන්න බෑ.. ඒකට කොළඹ යන්නෝනෙ….”
කොළඹ දන්න යාළුවො තමා දර්ශනට එහෙම කිව්වෙ. ඒකයි දර්ශන මෙහෙම හීන බෑග් එකක දාගෙන, සහතික ෆයිල් එකකට එකතු කරගෙන කොළඹ ආවේ. ඒත් ගමේදී වගේ නෑදෑකම් කොළඹදී හොයාගන්න ලේසී වුණේ නෑ. ඉන්නෙ කොහෙද? කන්නෙ කොහොමද? කියන ප්‍රශ්නෙට තමා ඉස්සෙල්ලාම මූණ දෙන්න වුණේ. ඒකට රස්සාවක් ඕනේ නේද කියලා ගමෙන් එනකොටවත් දර්ශනට හිතිලා තිබුණේ නෑ. රඟපාන්න ජීවත්වෙලා ඉන්න ඕනේ කියන එකත්, ජීවත්වෙන්න රස්සාවක් ඕනේ කියන එකත් දර්ශනයක් කියලා දර්ශනට තේරුණේ කොළඹදී.
“කොහෙද මීට කලින් වැඩකරේ.. මොනාද තියන සුදුසුකම්..”
කාඩ්බෝඩ් ෆයිල් එක දික්කරගෙන ගියපු හුඟක් තැන්වලින් ෆයිල් එක අතටවත් ගන්නෙ නැතුව එහෙම තමයි ඉස්සර වෙලාම අහන්නෙ. ඉස්කෝලෙ උගන්නපුවට,ගමේ සෙල්ලම් කරපුවට අමතරව තව මොනාමහරි දෙයක් ඉගෙනගත්තාම තමා කොළඹදි රස්සාවක් හම්බවෙන්නෙ කියලා තේරෙන්න දර්ශනට ඒ හැටි දවස් ගියේ නෑ. එහෙම තේරුම් යමින් හිටපු දවසක මුළු කොළඹ අහසම එකපාරට නිලංකාර වෙලා අඳුරු වෙලා ගියා වගේ දර්ශනට දැණුනා.
දර්ශන ඇස් අරිද්දි හිටියෙ ගුණසිංහපුර කැළෑ පොල හරියෙ. පාර දෙපැත්තෙ නාට්ටාමිවරුන්ගේ අත් කරත්ත පේලියට නවත්තලා තිබුණා. එදත් කැළෑපොලේ පදික වේදිකාවක කොන්ක්‍රීට් කෑලි ටිකක් උඩ දර්ශන වැටිලා හිටියෙ තමන්ගෙ බෑග් එකට ඔලුව තියාගෙන. ඇස් අරිද්දිම දර්ශනට දකින්න ලැබුණේ තමන්ගෙ මූණට එබීගෙන ඉන්න අමුතුම ජාතියේ මනුස්සයෙක්. කෝට් එකක් ඇඳලා, අව් කණ්නාඩි දෙකක් දාගෙන, ඔලුවට අමුතු තාලේ තොප්පියකුත් දාගෙන හිටපු කලු කෙට්ටු මූණක් තියන මනුස්සයෙක්. ඒ මනුස්සයා හක්කෙ දත් ගැලවිච්චි නිසා වල ගැහිච්චි මූණ පිරෙන්න ඈත්වුණු දත් තියන හිනාවක් පෙන්නලා කතා කෙරුවා.
“කලන්තෙ කියන්නෙ බඩගින්නට කෑම හොයන මිනිස්සුන්ට ලැබෙන බෝනස් එකක් මල්ලි….”
ඒ මනුස්සයා කැඩිච්චි සිංහලෙන් එහෙම කිව්වාම තමා දර්ශනට හිතුණෙ ඔහු දමිළ හෝ මුස්ලිම් ජාතිකයෙක් වෙන්න ඕනේ කියලා.
“මගේ නම එම්.ජී.ආර්… ඒත් මෙහේ හුඟක් අය මාව අඳුරන්නෙ පිටකොටුවේ එම්.ජී.ආර් කියලා කිව්වාම…”
අත දීල තමන්ව ඉහලට ඇදලා වාඩිකරන ගමන් තමා ඔහු තමන්ව ඒ විදිහට අඳුන්වලා දුන්නේ. කීප දෙනෙක් වටේ එකතුවෙලා තමන්ට මොකද වුණේ කියලා බලාගෙන හිටියා. ටික වෙලාවකින් පොඩි කොලු ගැටයෙක් ෂොපින් බෑග් එකක් උස්සගෙන දුවගෙන ඇවිත් ඒක අර එම්.ජී.ආර් කියන මනුස්සයා අතේ තිබ්බා. ඔහු ඒ බෑග් එක ඇතුලෙ තිබ්බ දේවල් එකින් එක එළියට අරගෙන ඒ ෂොපින් එකම බිමට එලලා ඒ උඩ තිබ්බා. සීනී බනිස් ගෙඩියක්,කෙසෙල් ගෙඩි දෙකක්, ග්‍රොසරි බෑග් එකක දාපු ප්ලේන්ටියක්, ප්ලාස්ටික් කෝප්පයක්. ගෑස්ට්‍රයිටීස් ඇවිස්සෙනවා වගේ දර්ශනගෙ බඩ ඇතුලෙන් දැවිල්ලක් ආවා.
“කාලා හිටහං මල්ලී…”
එම්.ජී.ආර් ග්‍රොසරි බෑග් එකෙන් ප්ලේන්ටිය ප්ලාස්ටික් කෝප්පෙට දාන ගමන් කිව්වා. සීනි බනිස් ගෙඩියෙ පළවෙනි කෑල්ල කද්දිම දර්ශනගෙ උගුර හිරවෙලා කැස්සක් ආවා. එම්.ජී.ආර් දර්ශනගෙ පිටට පොඩි තට්ටුවක් දාන ගමන් ප්ලේන්ටිය දාපු ප්ලාස්ටික් කෝප්පෙ අතට දුන්නා.
” බඩගින්නට උගුර වේලිලා.. ඔය කෙසෙල් ගෙඩියක් එක්ක බනිස් එක කාපං…”
දර්ශනට මේ අමුතු මනුස්සයා ගැන විස්තර දැනගන්න වුවමනා වුණා. ඒත් බඩගින්න ඊට වඩා වැඩි නිසා, කෙසෙල් ගෙඩියක් එක්ක බනිස් ගෙඩිය ගිලින්න ගත්තෙ ප්ලේන්ටිය බොන ගමන්. ඒ අතරෙ කලින් ආපු කොලු ගැටයා ආයෙමත් දුවගෙන ඇවිත් එම්.ජී.ආර් ළඟ හති අරින්න ගත්තා.
“ක්‍රිෂ්ණා… උඔ ඔය එහෙ මෙහෙ දුවන්නෙ කරත්තෙට බඩු ටික පටවලා ඉවරද…?”
දණිස් දෙකට අත තියාගෙන නහයෙනුයි,කටිනුයි හති අරින කොලු ගැටයෙන් එම්.ජී.ආර් එහෙම ඇහුවා.
“උඔව හොයාගෙන පත්තරෙන් මහත්තයෙක් එනවා…”
“කොහොමද උඔ දන්නෙ ඒ මහත්තයා පත්තරේ කියලා..?”
“ඒ මහත්තයා තමා කීවේ උඔගෙ ෆොටෝ අල්ලන්න ආවේ කියලා…”
“කෝ දැන් මහත්තයා…”
“අර එන්නේ…”
කොලු ගැටයා අත දික් කරලා පෙන්නපු පැත්ත දිහා එම්.ජී.ආර් ට කලින් බැලුවෙ දර්ශන. පොකට් තියන ෂර්ට් එකක් ඇඳගත්තු, කණ්නාඩි කුට්ටමක් දාගත්තු උස හීන්දෑරි, මැදිවියේ මනුස්සයෙක් කැමරා බෑග් එකකුත් එල්ලාගෙන ඇවිත් ඔවුන් අසල නතර වුණා.
“මම ශාමෙල් වීරසිංහ… සුනෙර පත්තරෙන්.. මං ආවේ මාණික්කම් ගැන ආර්ටිකල් එකක් කරන්න..”
ශාමෙල් වීරසිංහ එම්.ජී.ආර් ට අත දීලා ආචාර කරන ගමන් තමා එහෙම කීවේ. කවුද එතකොට මාණික්කම් කියන්නෙ..? දර්ශනගෙ හිතට ආපු පළවෙනි ප්‍රශ්නෙ ඒක. කොලු ගැටයා කීව විදිහට පත්තරෙන් ඇවිත් තියෙන්නේ එම්.ජී.ආර් ගෙ ෆොටෝ ගන්න නෙවේ. ඒ කියන්නෙ එම්.ජී.ආර් ප්‍රසිද්ධ චරිත අඳුරනවා.
“කරමු අපෙ මහත්තයෝ.. ඊට කලින් මොනාහරි බීල ඉමු නේද…තැඹිලි ගෙඩියක් වගේ…”
එම්.ජී.ආර් පත්තරකාරගෙන් එහෙම ඇහුවෙ ඔලුව පාත් කරලා ගරු,සරු ඇතුව.
“ඉස්සෙල්ලාම ෆොටෝ ටික අරං ඉමු. ඊට පස්සෙ ඉතිං අපි දෙන්නට බැරියැ කොලෝනියල් එක පැත්තට ගිහිං හීනියට එකක් ගන්න ගමං විස්තර කතා කරන්න..”
එහෙනම් පත්තරෙන් ඇවිත් තියෙන්නෙ එම්.ජී.ආර් ගැන කතා කරන්න. මේ මනුස්සයා එච්චර ප්‍රසිද්ධ කෙනෙක්ද..? කවුද එතකොට මාණික්කම් කියන්නෙ..? බඩගින්නට හැදුණු කලන්තය වුණත් තමන්ව ගෙනල්ල තියෙන්නේ වැදගත් මිනිහෙක් ගාවට නේද කියලා දර්ශනට දැණුනෙ සතුටක්. පත්තරකාරයා එම්.ජී.ආර් ව එක,එක විදිහට ෆොටෝ ගන්න පටන් ගත්තා. ඒ ෆොටෝ වලට එක,එක ආකාරයෙන් මූණ දෙන එම්.ජී.ආර් දිහා බලාගෙන දර්ශන් වෙනම ලෝකෙකට ගියා. පත්තරකාරයා එම්.ජී.ආර් ව නාට්ටාමී අත් කරත්තයක් ළඟට එක්ක ගිහිං ඔහු ඒක තල්ලු කරන විදිහට ඒක අල්ලාගෙන හිටගන්න කිව්වා.
“මල්ලිලා… පොඩි උදව්වක් කරමුද..”
පත්තරකාරයා එහෙම ඇහුවෙ තමන්ගෙනුයි,අර කොලු ගැටයගෙනුයි කියලා දර්ශන තේරුම් ගත්තෙ ඔහු බලාගෙන ඉන්නෙ තමන් දිහා නිසයි. දර්ශන ඉඳගෙන ඉන්න තැනින් නැඟිට්ටෙ ගරු,සරු ඇතුව.
“ඔය මල්ලි අර තක්කාලි පෙට්ටි ටිකක් අරං ඇවිත් මේ කරත්තෙ උඩින් තියනවද විනාඩි පහකට…”
පත්තරකාරයා එහෙම කිව්වෙ එම්.ජී.ආර්ගේ කොලු ගැටයට වුණත් දර්ශනත් ඔහු පස්සෙ යන්න හැදුවා. පත්තරකාරය දර්ශනගෙ උරහිසෙන් අල්ලලා නැවැත්තුවා.
“ඔය මල්ලි පොඩ්ඩක් මේක අල්ලනවද…”
කුඩයක් වගේ අකුලලා තිබ්බ සුදුපාට බෝඩ් එකක් දිගෑරලා දර්ශන අතට දෙන ගමන් පත්තරකාරයා දර්ශනට කිව්වා. දර්ශන බෝඩ් එක අතට අරගෙන ඔහේ බලාගෙන හිටියා.
“ඇවිත් මෙන්න මෙතනින් හිටගන්නකො..”
පත්තරකාරයා තමන්ව එක්කරගෙන ගිහිං එම්.ජී.ආර් කරත්තෙ තල්ලු කරන්න වගේ හිටගෙන ඉන්න තැන ඉස්සරහින් තිබ්බා.
“දැන් බෝඩ් එක මෙහෙම අත්දෙකෙන් අල්ලගෙන, මේ විදිහට උඩට පහලට කරන්න බලන්න..”
දර්ශන පත්තරකාරයා කියපු විදිහට බෝඩ් එක දෙපැත්තට හොලවන්න පටන් ගත්තා. එකපාරටම බෝඩ් එකෙන් එළියක් වැටිලා එම්.ජී.ආර් ගේ මූණ ආලෝක වුණා.
“ආන්න හරි මල්ලි… ඔහොමම තියාගන්න විනාඩියයි…”
පත්තරකාරයා “ටිකි…ටිකි ” සද්දෙට ෆොටෝ සීයක් විතර එකපාර ගන්න හැටි දර්ශන බලාගෙන හිටියෙ කටත් බාගෙට ඇරගෙන. එම්.ජී.ආර් කියන්නෙ එච්චර ලොකු මිනිහෙක්ද..? පත්තරේ දාන්න තරම් මෙයා මොනවද කරලා තියෙන්නේ..? කියලා හිත,හිතා ඉද්දි එකපාරටම තමන්ගෙ දිහාට කැමරාව හරවපු පත්තරකාරයා එම්.ජී.ආර් ගෙ ෆොටෝ ගත්තු විදිහට “ටිකි..ටිකි.” ගාලා තමන්ගෙත් ෆොටෝ ගන්නව දැකලා බයට දර්ශන අල්ලගෙන හිටපු බෝඩ් එක බිමට අතෑරුණා. පත්තරකාරයා “හිකි..හිකි..” ගාලා හිනාවෙනව ඇහුණා.
best of luck machang