Sadewthara – නිම්නා ඇතුළු පිරිස රැගත් වාහනය දහවල් වන විට කොළඹට ළඟා වූහ. මාලක සහ මිහිර සදෙව් බැලීම සඳහා නිම්නාගේ ආයුර්වේද රෝහලට ඇරලවා, නිම්නා කෙලින්ම නිවසට පැමිණියාය. නිවසට පැමිණි විගසම මෙහෙකරුවන් දෙදෙනාගේ ආගිය,තොරතුරු විමසීම මඟහරිනු වස්, “හරිම මහන්සියි ට්‍රැවල් කරලා පොඩ්ඩක් නිදාගන්න යනවා..”යැයි පවසා කාමරයට පැනගත් ඇය, එහි දොරගුළුලා ජංගම දුරකතන ක්‍රියා විරහිත කළාය. ඇඳ වියලට කොට්ට කිහිපයක් හේත්තු කරගෙන දෙපා දිගහැරියද, නින්දක සේයාවක්වත් ඇගේ ඇස් මායිමේ නොවූවාය. සදෙව් රැගත් වාහනය ඊයේ රාත්‍රියේ කොළඹට ළඟාවී ඇත්තේ අළුයමත් පසුවී බව මාලකගෙන් දැනගත් මොහොතේ පටන් නිම්නාගේ හිත දහසකුත් ප්‍රශ්න සමඟ පැටලී තිබුණාය. සදෙව් අතරමඟදී වාහනයෙන් පැන යෑමට උත්සාහ කළ බවත්, හෙදියටවත් අවනත නොවූ සදෙව් මෙල්ල කරගෙන ඇත්තේ තාරා බවත් මාලක අතිශයෝක්තියෙන් වර්ණනා කිරීම ඒ මොහොතේ වදයක් බව ඔහුට හඟවා නිහඬ කළද, එය එසේ වීම පිළිබඳව නිම්නා විවිධ පැතිකඩ ඔස්සේ සිතන්නට වූවාය. ඇත්තෙන්ම සදෙව් එලෙස හැසිරුණාද..? එසේ හැසිරුණේනම් රියදුරු සහ හෙදිය සිටියදී තාරා වැනි නිහඬ,නිවුණු තැනැත්තියකට ඔහුව පාලනය කරගත හැකිවූයේ කෙසේද..? වඩාත් පුදුමය දනවන කාරණය වන්නේ, අන් කිසිවෙකුට කලින් මාලක මේ සියල්ල දැනගැනීමයි. අඩුම තරමේ එවන් පසුබිමකදී තම හොඳම යෙහෙළිය ලෙස තාරාට දුරකතන ඇමතුමක් දී තමාව දැනුවත් කළ යුතුව තිබුණා නොවේදැයි සිතී නිම්නාට කෝපයක්ද ඇති වූවාය. මේ සියල්ල නිරාකරණය කරගැනීමට තිබූ පහසුම මඟ වූයේ, රෝහලට ගොස් සදෙව් සහ තාරා මුණගැසීම වුවද, තමා සිතාමතාම ඒ ගමන මඟහැර ආවේ මන්දැයි නිම්නාට තවම නොවැටහේ. කිසිවෙකු දොරට තට්ටු කරන හඬ ඇසුනෙන් නිම්නා වහා ඇඳ වියලෙන් මෑත්ව නිඳි බව හඟවන්නට ඇඳෙහි වැතිරුණාය. එහෙත් දොරට තට්ටු කිරීම දිගටම සිද්ධ වූයෙන්, ඇය ඇඳ මත වාඩිවූයේ නොරිස්සුමෙනි. තමා ජංගම දුරකතනය ක්‍රියා විරහිත කොට, දොර අගුළු ලෑ බව ඇයට සිහිවූයේ එවිටය. ඒ අතරතුරේ කාමරයේ ඇති දුරකතනයද නාද වන්නට විය. ඇය ඇඳෙන් පැන ගොස් දොර විවෘත කළාය. දොර අසළ වූයේ තම පියා අශෝක් අඹේපිටියය.
“ඕ…මයි ඩාලිං ස්වීටී…වට් හැපන්ඩ් යූ..අයි වොස් වෙයිටින් ටු සී යූ ඉන් ද හොස්පිට්ල්….”
අශෝක් අඹේපිටිය එසේ කීයේ සිය දියණියව තදින් තුරුළු කරගනිමිනි. නිම්නාගේ දෑස් තෙමෙන්නට ගියේ තප්පර කිහිපයකි. මේ නිවහනේ තමන්ට සිටිනා එකම නෑදෑයා වූ සිය පියාවවත් මුණ නොගැසී, හිතුවක්කාර ලෙස නිවසට පැමිණීම ගැන ඇය පසුතැවුණාය.
“හේ….ඩෝන්ට් ක්‍රයි මයි ඩියර්… ඩැඩී හියර් ෆෝ යූ ඕල්වේස්…”
අඹේපිටිය සිය දියණියගේ දෙවුරෙන් අල්ලා මෑත් කොට, දෑසේ කඳුළු පිසින්නට වූයේ එසේ කියමිනි.
“සදෙව්ට කොහොමද ඩැඩී…”
“හී ඊස් ටෝටලි ෆයින් නතිං ටු වොරි…”
“ඊයේ කළම්බො එන ගමනෙදි මොකුත් ප්‍රශ්නයක් නෑනේ….”
“නෝ…. ඔයාට කවුරුහරි එහෙම කිව්වද..”
“නෝ…ජස්ට් අයි තෝට්…සදෙව් අසනීපෙන්නෙ හිටියේ…”
“අයි නෝ…අයි නෝ…ඔයා සදෙව් ගැන වොරි වෙනවා…බයවෙන්නෙපා සමදරා ආන්ටි ඉන්නවනෙ..අපි එයාව ගොඩ දානවා….ඇන්ඩ් ඕල්සෝ තාරා…ෂී ඊස් ෆර්ෆෙක්ට් ෆෝ දැට්…”
නිම්නාගේ මුහුණ සැනෙන් වෙනස් වූවාය.
“ඩැඩී….තාරා ජස්ට් අ ස්ටුඩන්ට්…එයා කොහොමද පේෂන්ට් කෙනෙක්ගෙ රෙස්පොන්සිබිලිටි එකක් ගන්නෙ…ආර් යු සීරියස්….”
“යර්ස් මයි ඩියර්…එයා ස්ටුඩන්ඩ් කෙනෙක් තමා….බට් ෂී ඊස් කොලිෆයිඩ් ෆෝ දැට් සබ්ජෙක්ට්…ඈස් වෙල්…සමදරා ආන්ටි වගේම බෙස්ට් ඩොක්ටර් කෙනෙක් මට තාරගෙන් පේනවා….දැට් විල් බී නෙක්ස්ට් ඉන්වෙස්ට්මන්ට් ටු අවර් හොස්පිට්ල්…. ඕ යේස්..”
“තාත්තී…අයෑම් සෝ ටයර්ඩ්..බෙටර් ටු ගෝ ෆෝර් අ නැප්…”
නිම්නාට සිය පියා සමඟ වූ සංවාදය නිමා කිරීමට අවශ්‍ය වූවාය. එබැවින් ඇය එසේ කීයේ තම නළලද අතින් දැඩිව පිරිමදිමිනි.
“අයෑම් සෝ සොරි ෆෝ ද ඩිස්ටර්බින් යූ ඩාලීං…ප්ලීස් ගෝ ෆෝර් ඉට්…”
තමාගේ නළල සිඹ පිටව යන සිය පියා දෙස නිම්නා බලා හුන්නේ කණගාටුවෙනි. උතුරා ගිය සෙනෙහසින් තමා දකින්නට ආ ඔහුව එළවාගත්තා නොවේදැයි ඇයට සිතුණාය. ඇය දන්නා කාලයේ සිට මවට,පියාට දෙදෙනාටම සිටියේ ඔහු පමණි. ජීවිතයේ එකම එක දිනයක් පමණක් ඇය තම මවට වූයේ කුමක්දැයි පියාගෙන් විමසා සිටි බව ඇයට මතකය. එදා සිය පියා අහස පෙන්වා තම මව එහි සිට තමන් දෙස බලා සිටින බවත්, තමා මේ පොළොවේ සිට මවගේ අවසන් බලාපොරොත්තුව වූ ඇයව ආදරයෙන් පරෙස්සම් කරන බවත් කීවේය. එදා බොහෝ වේලාවක් යනතුරු නිම්නා සිය පියාගේ තුරුළට වී හැඬුවාය. එදායින් පසු නැවත කිසිම දිනයක ඇය සිය පියාගෙන් මව ගැන නොවිමසන බවට ඇය ඇගේ හිතටම පොරොන්දුවක් දුන්නාය. එවන් දැඩි හිතක් තිබූ තමා, හදිසියේ මෙලෙස හිතින් දියාරු වෙන්නට පටන් ගත්තේ කෙළෙසදැයි ඇයටම සිතාගත නොහැකිය. සිය පියා තරප්පු පෙල බැස නොපෙනී යනතුරුම ඔහු දෙස බලා සිටි නිම්නා, කාමරයට වැද දොර වසා ඇඳෙහි පෙරළුණාය.
මිහිර සිය නිවස ඉදිරිපස කෙටි බැම්මේ වාඩි වී පාර දෙස බලාගෙන කල්පනා කරන්නට වූයේය. ඊයේ රාත්‍රියේ කොළඹ බලා එද්දී නිම්නා සිටියේ දැඩි කනස්සල්ලක බව ඔහුට වැටහී තිබුණේය. ඔහු එදා සිටම කිසිවෙකුගේ පෞද්ගලික ජීවිතය හාරා ඇවිස්සූ කෙනෙකු නොවේ. අඩුම තරමේ ඔහු තම එකම සොහොයුරා කරන රැකියාව කුමක්ද කියාවත් මේ තාක් ඔහුගෙන් විමසා නැත. කලකට පසුව හමුවූ මාලක නිසාවෙන්, සිය සොහොයුරා රැකියාව කරනුයේ මාලකගේ පියා ළඟ බව දැනගන්නට ලැබුණා මිස, සිය රෝගාතුර මවවත් ඒ ගැන යමක් කියන්නට දැන නොසිටියාය. සිය පියාගේ මරණය සහ 88/89 භීෂණ සමය ඈඳා නොයෙකුත් කටකතා ගම පුරා පැතිර ගියද, තමා ඒ පිළිබඳව තම සොහොයුරාගෙන් හෝ මවගෙන් විමසා පැහැදිලි කරගන්නට උත්සාහ දරාද නැත. පියා අහිමි මව රෝගාතුර පවුලේ පිරිමි දරුවෙකු ලෙස තමන් විසින් පවුලට ඉටුකළ යුතු යුතුකම් කවරේද යන්න ඔහුගේ එකම සිතිවිල්ල වූයේය. මිහිරගේ සොහොයුරා වූ මධුර කඩුල්ල පැන ගේ දෙසට එමින් සිටියේය.
“තමුසෙලා කීයටද කොළඹ ආවේ…” මධුර ගෙට ගොඩවූයේ, මිහිරගෙන් එසේ අසාගෙනය.
“දෙක විතර වුණා… ”
“එච්චර වෙලා ගියේ මොකෝ…සදෙව්කාරයා වගේ මාලකකාරයත් මඟදී පාරට පැනලා ගේමක්වත් ඉල්ලුවද….”
මධුර ඇසූයේ සිනාසෙමින් සිය සොහොයුරාට පසෙකින් වාඩිවෙමිනි. මිහිර කුහුලෙන් යුතුව සොහොයුරා දෙස බලාසිටියේ, අද උදෑසන මාලක කියු දෙයම දැන් තම සොහොයුරා කියන්නේ කෙසේද යන්න සිතමිනි.
“තමුසෙ දන්නෑ එහෙනම් කේස් එක…”
සිය සොහොයුරාගේ බැල්ම වැරදියට තේරුම් ගත් මධුර එසේ කීවේය.
“ඊයේ සදෙව් කාරයා කොළඹ අරං එද්දි රත්නපුරේ හරියෙන් වාහනෙන් පැනලා මාර කේස් එකක්නෙ ෆයිල් වෙලා තියෙන්නේ…”
“අයියා කොහොමද ඒක දන්නෙ…” මිහිර තමන්ට දැනගැනීමට අවශ්‍ය වූ උත්තරය සහිත ප්‍රශ්නය ඇසුවේය.
“අපේ ඩයියා උදේ බොසා එක්ක ස්ටෝරිය දිගාරිනව මං අහගෙන….”
“මට තේරුන්නෑ…”
“තමුසෙ ඉතිං කොහොමත් ටියුබ් ලයිට්නෙ…ඔය සදෙව්කාරයා එක්ක එන්න ගිය ඇම්බියුලන්ස් එකට විශ්වාසවන්ත ඩ්‍රයිවර් කෙනෙක් ඕනෑ කියලා අඹේපිටියකාරයා අපේ බොසාට කෝල් කරලා අපි තමා ඌව හොයලා ඇරියෙ…..”
මිහිර සිද්ධියේ එක් කොණක් ලිහාගත්තේය. එසේනම් සියලු තොරතුරු මාලක වෙත ලැබී ඇත්තේ ගිලන් රථයේ රියදුරු වෙතින් විය යුතුය.
“මේහ්ං… කවුදෝයි ඔය සදෙව් කාරයා පැටලිලා ඉන්නව කියන කෙල්ල….” මධුර ඇසූයේ මිහිර අසලට ළංවී සෙමෙනි.
“මං දන්නෑ අයියෙ ඕවා…අනික මට හොයන්න වුවමනාවකුත් නෑ අනුන්ගෙ ඒවා…”
“ඒවනම් ඉතිං හෙව්වෙ නැතත් කමක් නෑ තමා….හැබැයි…අඹේපිටියකාරයටත් ඉන්නවලු ඉටිකිරිස් දෝණියන්දැ කෙනෙක්…ආන්න ඒක ගැන පොඩ්ඩක් හොයලා බලනවා පාඩු වෙන එකක් නෑ හොයල බැලුවට…..”
මධුර එසේ කියා සිනාසෙමින් ගෙට වැදුණේය. ඒත් සමඟම මිහිරගේ ජංගම දුරකතනයට පණිවිඩයක් ලැබෙන හඬ ඇසුණේය. මිහිර දුරකතන තිරය වෙත නෙත් යොමා, “නිම්නා..” යනුවෙන් තොල් මැතිරුවේය. අනතුරුව පණිවිඩය කියවන්නට වූවේය.
“මට ඔයාව මුණ ගැහෙන්න ඕනේ මිහිර…හෙට උදේ 10 ට අපේ හොස්පිට්ල් එකට එන්න පුළුවන්ද…? ”
නිම්නාගේ පණිවිඩයේ සඳහන්ව තිබුණේ එසේය. මිහිරට පළමුව දැණුනේ තිගැස්මකි. අනතුරුව ඔහු නිය සපමින් කල්පනා කරන්නට වූයේ, ඊට පිළිතුරු පණිවිඩය ලෙස කුමක් යවන්නේද කියාය.