sadewthara – රූස්ස ෆයිනස් සහිත කඳු අගිස්සෙන් හිරු බැස ගොස් තිබිණි. අවට පරිසරය දැඩි අඳුරක සහ හීන් දුමාරයක ගිලී ඇත්තේය. දියතලාව සංචාරක බංගලාවට රාත්‍රි උදාව කෙතරම් ප්‍රියජනක හැඟීම් උපදවන්නක් වීද,අඳුරේ තනිවම ඒ මේ අත ඇවිදිමින් සිටිනා නිම්නාට අද එය දැනෙන්නේ පාළු,මූසල,උදාසීන රාත්‍රියක් ලෙසය. සන්ධ්‍යාවේ තාරා සහ සදෙව් රැගෙන යෑමට විශේෂ ගිලන් රථයක් සිය පියා වූ අඹේපිටිය විසින් දියතලාව රෝහල වෙත එවා තිබිණි. ඔවුන් සමඟම කොළඹ ඒමට තමා කෙතරම් වාරයක් සිය පියාගෙන් අවසර පැතුවද,ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කළේය. ඊට හේතු ලෙස ඔහු තාරාට දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳව ඇති දැනුමත්,ඉන් සදෙව්ගේ රෝගී භාවයට ඇති පිටුවහලත් විස්තර කළේය. තමා ඔවුන් සමඟ පැමිණීමෙන් ඊට ඇතිවන බාධකය කුමක්දැයි අසමින්,නිම්නා සිය පියා සමඟ තර්ක කළාය. එහෙත් සිය පියාගේ අදහස වූයේ මෙම විනෝද චාරිකාව ඔවුන් වෙනුවෙන් සංවිධානය කළේ සදෙව්ගේ පියා සහ තමන් බවත්,සදෙව්ගේ අසනීපයෙන් එය අතරමඟ නතර වූවද,මිහිර සහ මාලක අපහසුවට පත් නොකොට අද රාත්‍රිය එහි ගතකොට,සංචාරක බංගලාවේ ගණුදෙනු සියල්ල නිරාකරණය කොට,හෙට උදෑසන ඔවුන් කැටුව කොළඹ පැමිණීමේ වගකීම නිම්නා බාරගත යුතු බවය. තවදුරටත් පියා සමඟ තර්ක කොට පලක් නොවන බව ඈ තේරුම් ගත්තාය. නිම්නා විසින් සදෙව්ගේ කරට අත දමාගෙන ගොස් ඔහුව ගිලන් රථයට නංවන මොහොතේ ඔහු ඉතා ආදරණීයව නිම්නා දෙස බැලුවේය.
“ඔයාලා හිතන තරම් මං ලෙඩෙක් නෙවෙයි නිම්නා….ඒත් මං වෙනුවෙන් කරපු හැමදේටම තෑන්ක්ස් අ ලොට් ඇන්ඩ් රියලි ඇප්‍රිසියේට්…”
නිම්නාගේ අත් දෙක දැඩිව මිරිකා ගනිමින් සදෙව් පැවසූ ඒ වචන කිහිපය ඇගේ දෙසවනෙහි යළි,යළි දෝංකාර දෙන්නට වූවාය. ඇය සදෙව් ඇල්ලූ අත් දෙක මුහුණ අසලට ඔසවා බැලුවාය. ඒ අත් තාමත් වෙව්ලන බව ඇය දුටුවාය. අහේතුකව ඉකිගසා අඬන්නට ඇයට සිත් වීද,දරදඬු ලෙස ඇය ඒ සියල්ල පපුවේ සිරකර ඔබා සිටියාය. ඇය සිතා සිටියේ ගිලන් රථයේ පැමිණි සාත්තු සේවිකාව සදෙව් සමඟ රථයේ පිටුපස හිඳගනීවි යැයි කියාය. නමුත් ඇය තාරාට සදෙව් සමඟ පිටුපස වාඩිවෙන්නට ඉඩ හැර රියදුරු සමඟ ඉදිරිපස අසුනට නැඟුණාය. තාරාව බෙල්ලෙන් ඇද බිමට දමා සදෙව් අසල වාඩිවෙන්නට තරම් ආවේගයක් තමාට ඒ මොහොතේ දැණුනේ ඇයිදැයි කියා ඇයට තාමත් වටහාගත නොහැකිය. සදෙව් සමඟ පැය හත,අටක් ගිලන් රථයක හෝ තනිව එකට වාඩිවි යෑමේ වාසනාවක් තමන්ට නැතැයි යන ළාමක සිතිවිල්ලකින් පීඩා විඳීමට තරම් තමා අසරණ වූයේ කෙසේදැයි සිතමින් නිම්නා වෙහෙසෙන්නට වූවාය.
“නිම්නා…”
ඒ හඬ මාලකගේය. නිම්නා උදාසීන හැඟීමෙන්ම ඔහු දෙස හැරී බැලුවාය.
“යාළුවා නැතුව පාළුද…”
ඔහු අසන්නේ කුමන යාළුවා ගැනදැයි නොදන්නේ වීද,නිම්නා ඊට හිස වනා පිළිතුරු බැන්දාය.
“තාරට නම් අද පාළු නැතුවැති සදෙව් ඉන්නවනෙ…”
“ඇයි ඔයාට පාළුද තාරා නැතුව…”
නිම්නා ක්ෂණිකව මාලකගේ ඇඟට ගොඩ වූවාය. මාලකගේ මුවට කපටි සිනහවක් නැඟ ආවේය. ඔහු ඒ බැල්මෙන්ම නිම්නා අසලට පැමිණියේය.
“ඔයා ගිහිං තිබුණනම් පාළු හිතෙයි…එක අතකට තාරා ගිය එක හොඳයි…”
“ඔයාටත් යන්න තිබ්බේ එතකොට අනෙක් අතටත් හොඳයි….”
මාලක හඬ නඟා සිනාසෙන්නට පටන් ගත්තේය.
“ඔච්චර හිනාවෙන්න මොකක්ද දැන් මං කරපු ජෝක් එක මාලක…” නිම්නා ඇසූයේ නොරිස්සුමෙනි.
“ඇයි ඔච්චර තරහ ගන්නෙ…දුකටද…ඊර්ෂ්‍යාවටද…”
“මොකටද මං දුක් වෙන්නේ…කාටද මං ඊර්ෂ්‍යා කරන්නේ….”
“දුක් වෙන්නෙ සදෙව් ගැන වෙන්න පුළුවන්…ඊර්ෂ්‍යා හිතෙන්නෙ තාරා ගැන වෙන්නත් පුළුවන්…”
“ඒ දෙන්නම මගෙ යාළුවො මාලක….ඔයාට එහෙම හිතුණට මට එහෙම හිතෙන්නෑ…”
“එහෙනම් කොච්චර දෙයක්ද…අර කතාවක් තියනවනෙ හිත ගිය තැන මාළිගාව කියලා….කවුද දන්නෙ නාරායන පරම්පරාවෙ අනාගත ලේලී තාරද කියලා..”
“පිරිමි ඔක්කොම එකයි…අවස්ථාවාදියො..”
මාලක දෙස නොරිස්සුමෙන් බැලූ නිම්නා ,ඔහුගෙන් මිදී යන්නට සැරසුණේය.
“ඔය කතාව කියලා තියෙන්නෙ චීන මිනිස්සු ගොඩක් මැද අතරමං වෙච්ව් ගෑණියෙක්ලු…”
“මොන කතාවද…”
“පිරිමි ඔක්කොම එකයි කියලා. ඇයි ඉතිං චීන්නු ඔක්කොම එක වගේනේ….”
නැවතත් මාලකගේ සිනහව පුපුරා ගියේය. හුන් තැන සිටම සිය මැදගිල්ල ඉහලට ඔසවා මාලකට දැක්වු නිම්නා කෝපයෙන් එතැනින් පිටව ගියාය. මාලකද සිනාසෙමින් බලා සිටියේය. ඇය මිහිරගේ කාමරය පසු කරමින් සිටියදී ඔහුගේ කාමරය දෙසින් අභිෂේකා විමලවීරගේ “මතක ලන්තෑරුමේ” ගීතය ඇසෙන්නට වූයේය. ඇය මඳක් නැවතී එයට කන් දෙන්නට වූවාය.
සදෙව් වෙනුවෙන් කොළඹ සිට එවන ලද විශේෂ ගිලන් රථය රත්නපුරට ආසන්න වෙමින් තිබිණි. තාරා ඔහුගේ ගිලන් ඇඳ දෙසම නෙත් යොමා උන්නාය. සදෙව් කිහිපවාරයක් ඇඳේ එහා,මෙහා පෙරලී අවසන නැඟිට එහි හිඳගත්තාය. කළබල වූ තාරා වහා නැඟිටින්නට සැරසුණාය.
“ඔහොම ඉඳගන්න තාරා…” සදෙව් සිටි ඉරියව්වේම සිට කීවේය.
“ඔයාට අමාරුද…”
“ඔව්…” යළි තාරා කළබල වනු දැක
“මට මෙහෙම ඔයාලා කරදර වෙනවා බලන් ඉන්න අමාරුයි කියලා කීවේ…” කියා එය සම්පූර්ණ කළේ,තාරාගේ ස්වභාවය දන්නා නිසාය.
“ඔයාට පේන්නෙ මාව ලෙඩෙක් වගේද..” තාරා හිස දෙපසට සැලුවාය.
“ටිකක් සීතල වැඩි කාලෙට මට මෙහෙම හුස්ම ගන්න ටිකක් අමාරු වෙනවා…එදත් වුණේ ඒක… ”
“ඒත්….” තාරා කතා කරන්නට වචන හෙව්වාය.
“ඔව් ඔයාලා මං හොස්පිට්ල් ඇඩ්මිට් කරා…ගෙදරින් මේ විදිහට මාව කොළඹ අරං යනවා…ඒ ඔක්කෝටම හේතුව ආදරේ…ඒත් මං ඔයාලා හිතන තරං සීරියස් ලෙඩෙක් නෙවෙයි තාරා….”
“ඔයා දැන් නිදාගන්න සදෙව්…”
“බෑ….මට කතා කරන්න ඕනේ….”
සදෙව් එය කීවේ තරමක් උස් හඬිනි. තාරා තිගැස්සුණාය. සදෙව් නැවත ඔහුගේ සුපුරුදු සංයමයෙන් කතා කරන්නට වූයේය.
“මං සල්ලිකාර ගෙදරක එකම දරුවා වෙලා ඉපදුණු එක මගේ වරදක්ද තාරා…”
තාරා නැවතත් හිස දෙපසට වනන්නට වූවා මිස කිසිත් කතා කළේ නැත.
“මට මෙහෙම ඉඳලා ඇතිවෙලා තියෙන්නෙ…මට නිදහසේ හුස්ම ගන්නෝනෙ තාරා….වෙලාවකට මට දරාගන්න බැරි තනිකමක් දැනෙනවා…කෝ මගෙ ගිටාර් එක….”
හදිසියේ යමක් මතක් වූවාක් මෙන් සදෙව් තාරාගෙන් ඇසුවේය.
“ඒ ඔක්කොම හෙට නිම්නලා එද්දි අරං ඒවී…”
“අපි කෝපි එකක් බොමුද….”
නිම්නා අසල තිබූ බෑගයක් අවුස්සා ප්ලාස්ක් එකක් අතට ගත්තාය.
“ඔහොම නෙවේ… එළියට බැහැලා පාරේ තේ කඩේකින් බොමු….”
“ඔයාට සීතලේ එළියට බහින්න හොඳ නෑ සදෙව්….දැනට මෙහෙම බොමු….”
“මං ලෙඩෙක් නෙවෙයි තාරා…මොකක්ද මේ කරුමෙ…ඕක නවත්තනවා…”
සදෙව් නැවතත් කෑගසන්නට වූයේය. කෑගසමින්ම ඔහු ගිලන් රථයේ ඉදිරිපසට නොකඩවා අතින් පහර දෙන්නට වූයේය. බියට පත් තාරාගේ දෑස් මත ක්ෂණිකව කඳුළු පිරෙන්නට වූවාය. ඒ අතරේ පාරේ පසෙකට කර නවත්තන ලද ගිලන් රථයෙන් බැසගත් හෙදිය පැමිණ පිටුපස දොරට තට්ටු කරන්නට වූවාය. තාරාට පෙර එදෙසට ගිය සදෙව් එය විවෘත කළේය.