රත් දෝතළු – 94
නිවස තරම් වටිනා තැනක් අන් කොහේවත් නැතැයි කියා යළි පැමිණෙන අතරේ මම සිතුවෙමි. යළි ඉක්මනින්ම නිවසට පැමිණිය යුතුය. අම්මා සේවය කරන ඇඟලුම් කම්හලේම රැකියාවක් සොයාගැනීමට හැකිවනු ඇත. එය සිතට යම් සහනයක් මෙන්ම බලපොරොත්තුවක්ද විය.
“ගෙදර අය හොඳින්ද දරුවෝ..?”
ප්‍රධාන මවිතුමිය මා විමසුවේ අම්මා සාදා දුන් අලුවා පාර්සලය ඇයට පිරිනමන විටය. ඈ ප්‍රශංසා මුඛයෙන් එය භාරගත්තාය.
“ඔව් සිස්ටර්… හොඳින් ඉන්නවා…”
මම කීවෙමි. නිලූපා සොයුරිය රෝහලට ගිය බවක් මට දැනගන්නට ලැබිණි. ඈ පැමිණියේ බොහෝ සවස් වූ පසුවය.
“ඔයා කීයටද ආවේ… අපි හොස්පිට්ල් එකට ගියා…”
එතුමිය විමසූ අතර මම ඈ හා කෙටි කතාබහක නිරතව ඇයට විවේක ගැනීමට ඉඩ හැර වෙනත් කාර්යයක නිරතවූයෙමි. අපිට කතාබහට අවස්ථාවක් ලැබුණේ රාත්‍රී ආහාරයෙන් අනතුරුවය.
“මට කියන්න කාරණාවකුත් තියනවා දරුවෝ…”
කුහුළක් මා සිතේ ඉපදවමින් එතුමිය කී අතර අහස් සමඟ කතා කරන්නට ඇතිදැයි කියා මට සිතිණි.
“සිස්ටර් අ…අහස්… සර්ට කතාකළාද…?”
ගොතයකින් යුතුව මම ඇසීමි.
“ආහ්… නැහැ… නැහැ… දරුවෝ… මට ඒකට වෙලාවක් ලැබුණේ නැහැ… මං කතාකරන්නම්…”
“එතකොට සිස්ටර් කියන්න හැදුවේ…?”
“අර දරුවා ඔයාව බලන්න ආවා…”
තිගැස්මක් මා සිතේ ඇතිවිය.
“තේජාන්…?”
“ඔව්…”
“ඒත්… ඒ ඇයි සිස්ටර්…? මම එයාට හැමදේම කිව්වාටත් පස්සේ එයා ආයේම ආවේ ඇයි…?”
මා සිතා සිටියේ එය එදා ඒ මොහොතේදීම අවසන් වූ බවකි. එසේ තිබියදී ඔහු නැවත පැමිණියේ මන්ද.?
“එයාට ඒ අදහස තවම තියනවලු…”
“මොකක්…! අනේ සිස්ටර්…”
බියක් දෝ නැතිනම් තැතිගැන්මක් නිසාදෝ මා හද ගැස්ම වේගවත් විය.
“ඒක ඔයාම කතාකරන්න ඕන අරවින්දි…”
“ඔව්.. මං කතාකරන්නම්… එයා මෙහෙම ඇවිත් සිස්ටර්ට කරදර කරන එකත් හොඳ නැහැ කියලා තේරුම්ගන්න ඕන…”
නොසතුටෙන් මම කීවෙමි.
“නැහැ… ඒක මට කරදරයක් වුණා නෙවේ… ඒත්… මට හිතෙන්නේ ඒ දරුවා බොහොම හොඳ ගති පැවතුම් තියන කෙනෙක් කියලයි…”
එය විය හැකි මුත් තේජාන් කෙරෙහි මගේ සිතේ එවන් අදහසක් නැත. මට අහස් හැරුණු කොට වෙනත් අයෙකුට ප්‍රේම කරන්නට නොහැකිය.
“මං කොහොමවත් එයාගේ අදහසට කැමති නැහැ සිස්ටර්… තේජාන් හොඳවෙන්න ඇති… අනික සිස්ටර්… මං කියන්න හිටියේ මං ගෙදර යන්න හිතන් ආවේ කියලා…”
නිලුපා සොයුරියමා දෙස බැලුවේ මවිතයෙනි.
“ඒ ඇයි අරවින්දි…?”
මම එයට හේතුව එතුමිය සමඟ පැවසුවෙමි.
“එක අතකට ඒක හොඳයි… ජොබ් එකත් ෂුවර් නම් ඉතින් අරවින්දි කැමති තීරණයක් ගන්න… මං ලොකු සිස්‍ටර්ට කියන්නම්… අරවින්දිත් කතාකරන්න…”
මම එයට එකඟවූයෙමි.
“ඔයාගේ අනාගතේ ගැන හිතලා වැඩකරන්න… අහස්ලා තේජාන්ලා වගේ අය මේ ලෝකේ හරි අඩුයි…”
මා සිතේ අලුත් හිරිවැටීමක් දිවගියේය.
“මට වෙන කා ගැනවත් හිතන්න බැහැ සිස්ටර්…”
“ගිය දේවල් ගැන හිතන්න වුවමනා නැහැ… අනාගතය ගැන හිතලා කටයුතුකරන්න…”
මා උරමත දෑත තබමින් නිලූපා සොයුරිය කීවාය. ප්‍රධාන මව්තුමිය සමඟ මම කතාබස් කරමින් මා නැවත ගමට යන බව පැවසුවෙමි. නිලූපා සොයුරිය ඒ බව පවසා තිබුණාය.
“අරවින්දි බොහෝම හොඳට මෙහේ හිටියානේ… ඔයා හොඳ දරුවෙක්… ඔයාගේ කැමත්තක් කරන්න… දෙවියන් වහන්සේ ඔයාට ආශිර්වාද කරයි…”
මම පිටතට පැමිණෙන විට තේජාන් පැමිණ නිලූපා සොයුරිය සමඟ කතාබස් කරමින් සිටිනු දුටිමි. මම නුදුරින් සිටියේ කතබහ අවසන් වන තුරු මුත් නිලුපා සොයුරිය මා දැක මා ඇමතුවෙන් මම ඔවුන් අසලට ගියෙමි. ඈ ඉවතට ගියේ කිරීමට කටයුතු කීපයක් ඇති බව පවසා අපට කතාබහ කරන්නට ඉඩහරිමිනි.
තේජාන් අත රෝස මල් පොකුරක් වූ අතර ඔහු එය මවෙත දිගු කළේ සිනහවක් මුව මත නංවාගෙනය.
“ඔයාට ගෙනාවේ අරවින්දි…”
මම එය දෑතට නොගෙන බලා සිටින විට ඔහු කීය.
“ස්තූතියි… ඒත්… ඇයි මිස්ටර් තේජාන් මට රෝස මල් ගෙනාවේ…?”
රෝස මල් පොකුර අතට ගනිමින් මම කීවෙමි. එයින් හැමුවේ නැවුම් සුවඳකි. රෝස මල් සුවඳට මම කවදත් ප්‍රිය කළෙමි. බණ්ඩාරවෙල සිහිවී මා සිතේ ඉපදුණේ ශෝකී හැඟීමකි.
“මල් දෙන්න හේතුවක් ඕනද…? ඔයාට දෙන්න ඕන හරි නම් නෙළුම් මල්… ඒත් මේ හදිසියේ නෙළුම් මල් හොයාගන්න බැරි වුණා…”
මඳහසක් මුව මත රඳවාගනිමින් ඔහු කීවේය. ඔහු මෙවැනි දේට වියදම් නොකළා නම් හොඳය කියා මට සිතුණද මම කිසිත් නොකීවේ ඔහු සිත රිදවනු නොහැකි නිසාය. මා මෙහින් පිටවගිය පසුව අපි යළි හමුවන්නේ නැත. සිත පිරිසිදුවෙන් වෙන්ව ගියා නම් හොඳය කියා මට සිතිණි.
“මං අද ආවේ අරවින්දිට දෙයක් කියන්න…”
මා සිත අභ්‍යන්තරයේ වූයේ දැනටමත් කැලඹීමකි. ඔහු කියන්නට හදන දේ ගැන මට ඉවකින් මෙන් වැටහුණ බැවින් මම ඔහුට බාධා කරන්නට නොසිතුවෙමි. වඩා සුදුසු මේ මොහොතේ ඇහුම්කන්දීමය.
“කියන්න මිස්ටර් තේජාන්… මං අහන් ඉන්නේ…”
යළිත් සිනහවක් ඔහු වෙත පුදකරමින් මම කීවෙමි. එයින් ඔහුට තවත් අනුබලයක් ලැබුණා වන්නට ඇත.
“අරවින්දි… මට ඔයාගේ අතීතයෙන් වැඩක් නැහැ… මං ඔයාට පොරොන්දුවෙනවා… ඒ ගැන කවදාවත් අහන්නේ නැහැ කියලා… කිසි දවසක් ඔයාගෙන් ඒ ගැන කතාකරලා ඔයාගේ හිත රිද්දන්නේ නැහැ කියලා… මට ඒ අතීතයෙන් වැඩක් නැහැ… මං කැමතියි ඔයාගේ අනාගතය මා එක්ක ගෙවනවා නම්… මාව ඒකේ කොටස් කාරයෙක් කරගන්නවා නම්… අපි මැරිකරමු…”
මම සාවධානව ඔහුට සවන්දුනිමි. එම ඉල්ලීම අපූරුයි කියා මට සිතිණි. බොහෝ දෙනෙක් ආදරය ප්‍රකාශකරන ලෙසින් ඔහු එය නොපැවසීය. ජීවිතේම කෙනෙකු වෙනුවෙන් පුද නොකළා නම් මම දෙවරක් නොසිතා තේජාන්ව මගේ අනාගතයේ කොටස්කරුවෙකු ලෙස තෝරාගන්නට ඉඩ තිබිණි. ඔහු බොළඳ ප්‍රේමවන්තයෙකු නොවීය. එසේ වූවා නම් ඔහු අද මෙහි පැමිණෙන්නේ නැත.
“මට සමාවෙන්න මිස්ටර් තේජාන්… ඔයා හොඳ කෙනෙක්… ඒත් මට එහෙම දෙයක් හිතාගන්නවත් බැහැ… මං මගේ අතීතය අමතක කරන්න හදන කෙනෙක් නෙවේ… ඒ අතීතයේ ජීවත්වෙන කෙනෙක්… ඒ අතීතය තමා මාව ජීවත්කරන්නේ… මට ඒ අතීතය අමතකකරලා දාලා ජීවත්වෙන අනාගතයක් ගැන හිතාගන්න බැහැ… මගේ ජීවිතේ වගේ වුණ කෙනෙක්… තවම මගේ පපුව ඇතුළේ… මගේ ආතමයේ ජීවත්වෙනකොට මට කවදාවත් ඒ අතීතය මරල දාන්න බැරිවෙයි… ඒ නිසා මේ අදහස අමතක කරන්න… මිස්ටර් තේජාන්ට සුදුසු කෙනා සුදුසු මොහොතෙදි දෙවියන් වහන්සේ තෝරලා දෙයි… මුණගස්වයි…”
හාත්පස මඳ අඳුරක් පැතිරයන විට එය ඔහුගේ මුහුණෙහිද පැතිරගියාක් මෙනි. ඔහු මඳහසක් පෑවේ ඒ අඳුර බව පළවාහරින්නට මෙනි. ඔහු නිහඬව මා දෙස බලාසිටියේ කුමක් කියම්දෝයි සිතමින් මෙනි.
“හ්ම්ම්… හොඳයි… මට මොකුත් කියන්න බැහැ… ඔයාගේ කැමැත්ත…”
“මාව වැරදියට තේරුම්ගන්න එපා මිස්ටර් තේජාන්…”
“ඔෆ්කෝස් නොට් අරවින්දි… මං එහෙම හිතන්නේවත් නැහැ… ඒත් ඔයා අවංකවම ආදරයකරන කෙනෙක්… ඔයාට අමතක කරන්න බැරි කෙනාව ඔයාට ලැබෙන්න ඕන… ගුඩ් ලක්…”
ඔහු සුබපතා මා කෙරෙන් සමුගෙන රථයට නැඟී පිටව ගොස් මොහොතක් ගතවන තුරුම මම ඔහේ බලාසිටියෙමි. දුකක් අනුකම්පාවක් මා සිතේ ඇතිවිය. ආපසු හැරී මම කාර්යාල කාමරයට පැමිණියේ හිස් වූ හදිනි. සිත මත වූ බරක් සැහැල්ලුවෙනවා වෙනුවට එය මත අමතර බරක් පැටවී ඇතුවාක් මෙනි. තේජාන් රැගෙන ආ රෝස මල් පොකුර එහි වූ මල් බඳුනට දමා මම පිටතට එනවිට නිලූපා සොයුරිය මා ඉදිරියට එමින් සිටියාය..
“තේජාන් ගියාද…?”
එතුමිය නැවතී විමසුවාය.
“ඔව් සිස්ටර්…”
“කතාබහ කළාද…?”
“ඔව් සිස්ටර්…”
“හ්ම්ම්… ඒත් මට ඔයාගේ මූණේ සතුටක් පේන්නේ නැහැ…”
මා හිස බිමට නැඹුරුවිය. එතුමිය මා කැඳවාගෙන දෙව්මැදුර තුළට පැමිණියාය. බංකුවක් මත හිඳ ගත් නිලූපා සොයුරිය මටද ඈ අසල හිඳගන්නැයි කීවෙන් ඇයට කීකරුව මමද එහි කෙළවරක හිඳගතිමි.
“අරවින්දි…”
එතුමිය මා අමතනවිට මම දිගු හුස්මක් ගනිමින් හිස ඔසවා ඈ දෙස බැලීමි. අනුකම්පාව නැතිනම් දයාව පිරුණු දෑසින් එතුමිය මා දෙස බලා සිටියාය.
“සිස්ටර්…”
මම කීවෙමි.
“ඔයා තාමත් අතීතය තුළ ජීවත්වෙන කෙනෙක්… එහෙම නේද…?”
“ඔව් සිස්ටර්…”
“ඒත් දරුවෝ… තමුන්ටම කියලා ජීවිතයක් තියෙන්න ඕන… ඔය අතීතයෙනුයි… ඔයා දැන් ඉන්න ඔය දුකෙනුයි දෙකෙන්ම ඔයා හිස්වෙන්න ඕන… හිස්වෙනවා කියන එක අපිට කරන්න අමාරුදෙයක්… ඒත් අපි ඒ දේ කරන්න ඕන… හිස් වෙන තරමට අපේ හිත් නිදහස්වෙනවා… දේව අම්මා ඒ හිස්වීම අපිට ලස්සනට කියලා දෙනවා… ඒක ඔයාට ටිකක් තේරුම්ගන්න අමාරු ඇති… ඔයා ගිවිසුමකට යටත්වෙලා හිටියා… ඒක දැන් අවසන්නේ… ඔයා තවත් ඒ ගිවිසුමේ ඇළිලා ගැළිලා ජීවත්වෙන්න ඕන නැහැ… ඒක අවසන්… අවසන් වුණු දෙයක් බදාගෙන ජිවත්වෙන්න ඕනද…? ඒ තුළ ජීවත්වෙන්න එපා… ඔයාගේ අනාගතේ ගැන හිතන්න… සමහරවිට ඔයා පැනලා නොආවා නම් මේ දේවල් මෙහෙම නොවෙන්නත් තිබුණා… දැන් ඒකෙන් කමක් නැහැ… අනාගතය ගැන වුණත් ඕනවට වඩා හිතන්න එපා… ඒකත් බරක්… අතීතයෙනුයි අනාගතයෙනුයි දෙකෙන්ම හිස්වෙලා ඔයා වර්ථමානයේවත් සතුටින් ඉන්න එකයි වටින්නේ…”
ඈ පවසන දේ සීයයට සීයයක් නිවැරදිය. ම පැන නොආවා නම් මේ සියල්ල මෙසේ සිදුනොවීමට ඉඩතිබිණි. දැන් පමා වූවා වැඩි නොවේද.? මේ සියල්ල කාලයත් සමඟ යටපත්වනු ඇතිද? එතුමිය කියන්නාක් මෙන් මට හිස්විය හැකිවේවිද? දෑස් බොඳකරමින් කඳුළු දෙපේළියක් කම්මුල් තෙමාගෙන ගියේය. ඒ බොඳවුණු දෑසින්ද මම දුටුවේ අහස්වය. ඔහුගේ මුව කොණින් පානා සිනහවය. ඉදි කටු දහසකින් හදවතට අනින්නාක් මෙන් දැඩි වේදානාවක් මා සිතේ ඇතිවිය.
“ඔයා ඒ ළමයට තවම ආදරෙයි… එහෙම නේද…?”
නිලුපා සොයුරිය අසනවිට මම කළේ කඳුළු පිසගෙන හිස සැළීමය. ඈ හිස සැළුවේ එය පිළිගත්තාක් මෙනි.
-25 වෙනි සඳුදා නැවත හමුවෙමු-