රත් දෝතළු – 89
හඬ නඟන දුරකථනය අතට ගෙන මම එයට ඇමතුවේ දෙගිඩියාවෙන් මෙන්ම තරමක චකිතයකිනි. අනෙක් පසින් ඇසුණේ ගැඹුරු පිරිමි කටහඬකි.
“අනේ සොරි සිස්ටර් කරදර කරන්න වුණාට… මගේ ෆෝන් එක අමතකවෙලා ඇවිත්…”
ඔහු පැවසුවේ මා කන්‍යාසොයුරියක සිතා වන්නට ඇත.
“ඔව්… අපිත් මේ දැන් දැක්කේ…”
මම කීවෙමි.
“මං දැන් ගෙදරට ආවේ… තව ටිකෙන් මං ඇවිත් අරන් යන්නද… සිස්ටර්ලාට කරදරයක්ද…?”
“නැහැ… කමක් නැහැ… එන්න…”
“තෑන්ක් යූ සිස්ටර්… මේ කතාකරන්නේ සිස්ටර් නිලූපාද…?”
ඔහු යළිත් ඇසීය. එයින් ඔහුට ඇති කාරිය කුමක්ද ? පැමිණ ජංගම දුරකථනය රැගෙන ගියා නම් අහවරය.
“නැහැ… වෙන කෙනෙක්…”
“ආහ්… සොරි… මං එහෙනම් තව ටිකකින් එන්නම්…”
කිසිත් නොකී මම දුරකථනය විසන්ධි කළෙමි.
“ෆෝන් එක දාලා ගිහින් මදිවට තව හරස් ප්‍රශ්නත් අහනවා…”
මම එය පසෙක තබමින් කියනවිට නිලූපා සොයුරිය සිනහසෙන්නට වූවාය.
“එයාගේ හිතේ මාත් සිස්ටර් කෙනෙක් කියලා…”
“හ්ම්ම්… මට ඇහුණා…”
“ළඟපාත කෙනෙක් වගේ… තව ටිකෙන් එන්නම් කිව්වේ සිස්ටර්…”
“ඔව්… මේ කිට්ටුව කිව්වා…”
ඈ කීවේ පුටුවෙන් බිමට බසිමිනි. අපි දෙදෙන එකතුව කාර්යාලය අස්පස්කොට දමා පිටතට පැමිණියේ එය වසා දමාය. සවස මල් පැළ වලට වතුර දමමින් සිටින විට උදෑසන පැමිණි මෝටර් රථය විත් ඉදිරිපස නවතනු මම දුටිමි. ඉන් බැසගත් පෙර කී තරුණයා ප්‍රතාපවත් ගමනින් මා දෙසට ඇවිද එනු දැක මට බැලුණේ කාර්යාල කාමරය දෙසය. එය යතුරු ලා තිබිණි. නිලූපා සොයුරිය වැඩිහිටි නිවාසයේ සිටියේ අත්‍යාවශ්‍ය කටයුත්තකය.
“සිස්ටර් නිලූපා ඉන්නවද…?”
ඔහු මා නුදුරින් නැවතී විමසුවේ පියකරු සිනහවකින් මුව සරසාගෙනය. මා මුවේද සිනහවක් නැඟුණේ නිරායාසයෙනි. ඔහු තරමක උසින් යුත් කඩවසම් තරුණයෙකි. පෙනුමට වඩා ඔහුගේ හඬ තුළ වූයේ මනා පෞරුෂතවයකැයි මට සිතිණි. පෙනුමෙන් ඔහු වයස විසි හතක් හෝ විසි අටක් පමණ වන්නට ඇතැයි කියා මට සිතිණි.
“සිස්ටර් ඇතුළේ… පොඩ්ඩක් ඉන්න… මං කියන්නම්…”
වතුර බටය ගසක් මුළට දමා මම කීවෙමි.
“ආහ්… නැහැ… මිස්… සිස්ටර් වැඩක නම් කරදර කරන්න ඕන නැහැ… මං උදේ ආවා… මගේ ෆෝන් එක අමතක වෙලා ගිහින්…”
එය මම දන්නවා යැයි කීමට වුවමනා වූ මුත් මම එසේ නොකීවෙමි.
“ෆෝන් එක ඔෆිස් රූම් එකේ… සිස්ටර් එන්න ඕන… යතුර සිස්ටර් ගාව… ඔයා ටිකක් ඉන්න… මං කියන්නම්…”
එසේ පවසා මම නිලූපා සොයුරිය සොයා පිටුපසට දිව ආවෙමි. මම නැවත එන විට දුටු දසුනින් මා මුවට නැගි සිනහව ආයාසයෙන් මැඩගතිමි. ඔහු මල් පැළවලට වතුර දමමින් සිටියේය.
“මිස් ටැප් එක වහලා ගියේ නැහැනේ… වතුර අපතේ යන නිසා මං වතුර දැම්මා…”
ඔහු මා දැක සිනහමුවෙන් කීය.
“ස්තූතියි… මං සිස්ටර්ට කිව්වා… දැන් එයි… ඔයා ඔෆිස් එක ගාවට යන්න…”
ඔහු අතින් වතුර බටය අතටගනිමින් මම කීවෙමි.
“ඕකේ…”
ඔහු එසේ කියා මා අසළින් ඉවත යන විට මා සිතට සහනයක් දැනුණේ මන්දැයි මම නොදනිමි. මලින් පිරුණු සීනියාස් මල් පැළවලට වතුර බටය අල්ලාගෙන මම බටයත් ඇදගෙන ඉදිරියට ගියෙමි. සුළු මොහොතකින් පෙර තරුණයා ඔහුගේ ජංගම දුරකථනයත් රැගෙන මා දෙසට එනු නෙත් කොණින් දුටුවද මම එය නොදුටුවා සේ මගේ කාර්යයේ නිරතවූයෙමි.
“මිස් මං ෆෝන් එක ගත්තා… තෑන්ක්ස්…”
මා සිතුවේ ඔහු මා පසුකර යයි කියා වුවද ඔහු නැවතී ස්තූතිකළේ මා ඔහුට උපකාරයක් කළාක් මෙනි. මම වහා ඔහු වෙත හැරුණෙමි.
“ආහ්… ගත්තද… හොඳයි…”
මම කීවේ උනන්දුවක් නොපෙන්වාමය.
“ෆෝන් එක නැතුව බැහැ… ඒකයි මං ගිය ගමන් ආවේ…”
ඔහු කතාකරන්නේ මා බොහෝ කාලයක් පටන් දැන හඳුනාගෙන සිටි අයෙකු මෙන් සුහදව මුත් මා සිතේ පසුබෑමක් ඇතිව ඇත්තේ මන්ද කියා මට නොවැටහිණි. සිතට දැනුණේ අහේතුක බියකි.
“ඇබ්බැහිවෙලා… ඒකයි…”
කිසිවක් කිවයුතු නිසා මම කීවෙමි.
“අනේ මන්දා මිස්… එහෙම වෙන්නැති…”
ආ කාර්යය ඉටුකරගත්තා නම් නොයා තවත් මෙහි රැඳී කුමක් කරනවාද කියා මා සිතේ ඇතිවූයේ නොසතුටකි.
“මිස් ගොඩක් කල්ද මෙහෙට ඇවිත්…?”
එවර ඔහු ඇසුවේ ඉතා ලෙංගතුවය. අහිතක් සිතන්නට මට නොහැකි මුත් ප්‍රධාන මව්තුමිය පැමිණියහොත් කියා බියකුත් මා සිතේ ඇතිවිය.
“මාස දෙකක් තුනක් වගේ ඇති…”
“ආහ්.. එහෙමද… මාත් මේ කිට්ටුව ඉන්නේ… අපි අයිති මේ මීසමට නෙවේ… ඒත් ඉතින් ඉඳලා හිටලා මෙහෙත් පූජාවට එනවා…”
“ආහ්… එහෙමද…?”
“ඔව්… මං තේජාන්… මිස්ගේ නම ඇහුවට කමක් නැත්ද…?”
එවර නම් මම ඔහු දෙස බැලුවේ තිගැස්මෙනුත් තරමක නොරුස්සුම් මුසු බැල්මකිනුත්ය.
“අකමැති නම් කියන්න එපා… රවන්න තරම් වැරදි දෙයක්ද මං ඇහුවේ…?”
එවර ඔහු කියනවිට ලැජ්ජා මුසු හැඟීමක් මා සිතේ ඉහිරිණි.
“අද නම අහයි… හෙට ආවාම ෆෝන් නම්බර් එක ඉල්ලයි… නැත්ද…?”
උපහාසයෙන් යුතුව මම කීවෙමි.
“නැහැ… නමත් එක්කම ෆෝන් නම්බර් එකත් කිව්වා නම් දැන්ම සේව් කරගන්න පුළුවන්… එතකොට හෙට වෙනකල් බලන් ඉන්න ඕන නැහැනේ…”
මොහු නම් කටකාර තරුණයෙකි. මා මුවින් පිටපනින්නට ගිය සිනහව මම ආයාසයෙන් මැඩගතිමි.
“දැන් ලොකු සිස්ටර් ආවොත් මටත් බැනුම් අහන්න වෙන්නේ…”
වටපිට බලමින් මම කීවෙමි.
“සිස්ටර් එන්න කලින් නම කිව්වොත් මට ගිහෑකි… නැත්නම් සිස්ටර් එනකල් මෙතනට වෙලා තමා ඉන්න වෙන්නේ… නම කියනවද…?”
මොහු නම් මුරණ්ඩු අයෙකුය. නම කීවා කියා වරදක් නැත. මොහු මෙතන රඳවාගෙන සිටීමෙන් සිදුවන්නේ අයහපතකි.
“අරවින්දි…”
පහත් හඬින් මම කීවෙමි.
“වාව්… ලස්සන නමක් තියාගෙනනේ ඕක කියන්න ඇඹරුණේ… මං හිතුවේ නම කැත නිසා කියන්න බැහැ කියලා… සීලාවති හරි වයලට් හරි නමක් නම් කොහොමත් වෙන්න බැහැ කියලා දන්නවා… ඒත් මෙහෙම නමක් ගැන නම් මං හිතුවේ නැහැ…”
ඔහු එකදිගටම කියවගෙන ගියේය. මම නොසතුටු බැල්මක් ඔහු වෙත හෙළුවෙමි.
“රවන්න එපා… ෆෝන් නම්බර් එක එහෙනම් පස්සෙ දෙන්නකෝ… මං ගිහින් එන්නම්… ජේසු පිහිටයි…!”
සිනහමුවෙන් ඔහු කීවේ දෑත් එකතුකරය. මා ගොළුව ඇති සෙයකි. රථයට නැඟී ඔහු පිටව ගියේ නලාවත් හඬවාගෙනය. මා මුවින් සුසුමක් ගිළිහිණි. ඔහුද විහඟ මෙන් දඟකාර අයෙකුය. ඒ හාම අහස් සිහිවී සිත ශෝකයෙන් පිරී ගියේය. ඔහු මේ මොහොතේ කුමක් කරනු ඇතිද ? සමහරවිට තවමත් නිවසට පැමිණ නැතුවා වන්නට ඇත.
“අරවින්දි…”
නිලූපා සොයුරිය මා අමතමින් මා දෙසට පැමිණියාය.
“අර ළමයා මොනවද කිව්වේ ඔයාට…?”
“පිස්සුනේ සිස්ටර්…”
ඔහු කී දෑ අකුරක් නෑර මම එතුමිය හා පැවසුවෙමි.
“හ්ම්ම්… අරවින්දි ලස්සනයි… දරුවෙක් වදපු අම්මා කෙනෙක් කියලා කියන්න බැහැ… ඒ දරුවට කැමැත්තක් ඇතිවුණාද කවුද දන්නේ…”
නිලූපා සොයුරිය එසේ කීවේ විහිළුවට නොවන බව දැන මා සිතේ ඇතිවූයේ තැතිගැන්මකි.
“අනේ සිස්ටර්…”
මට කියවිණි.
“මං වරදක් කිව්වා නෙවේනේ… ඒ ළමයාගේ ඇස්වලට ඔයාව ලස්සනට පේන්න ඇති… තරුණ වයසනේ… ඒකයි මං කිව්වේ…”
“මං දන්නවා… ඒත් සිස්ටර්… මට මං කවුද කියලා අමතක නැහැ… මං දරුවෙක් වදපු අම්මා කෙනෙක්… මගේ ජීවිතේ හිටියෙත්… ඉන්නෙත් එකම පිරිමියායි…”
මගේ හඬේ වූ ශෝකය එතුමියට වැටහෙන්නට ඇත.
“මං දන්නවා දරුවෝ… බලාපොරොත්තු නැතිකරගන්න එපා… මොන දේටත් වැදගත්වෙන්නේ විශ්වාසය… දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව හැමදේම සිද්දවෙයි… අපි බලන් ඉමු…”
එතුමිය එසේ කියා ඉවතට ගියාය. මා දැන් කුමක් බලාපොරොත්තු වෙන්නද, කුමක් විශ්වාසයෙන් සිටින්නද කියා මට සිතාගන්නට නොහැකිය. බලාපොරොත්තුවකට කිසිදු ඉඩක් ඇත්තේම නැත.
-හෙටත් හමුවෙමු-