මෝටර් රථ කිහිපයක් නවතා ඇති අංගනයකි. එහි පසෙක කුඩා කාර්‍යාලයක් වෙයි. ඉන් එළියට පැමිණියේ මැදිවිය ඉක්මවූ මඳක් තරබාරු පුද්ගලයෙකි. ඔහු සිය උඩු රැවුල කරකවමින් අංගනය සිසාරා ගමන් කරන්නට වූයේය. අංගනයෙහි ඇති වාහන රෙදි කඩෙකින් පිස දමමින් සිටින තරුණයෙකි. මැදිවියේ පුද්ගලයා ඔහු අසලට ගොස් නතර වූයේය.
“මධුර…”
වාහන පිස දමමින් සිටි තරුණයා හඬ ආ දෙස හැරී බැලුවේය. අනතුරුව තරමක් යටහත්,පහත්ව
“බොස්…”
කියා හිස මඳක් පහතට නවා ආචාර කළේය.
“අද වාහන කීයක් විතර රෙන්ට් වෙන්න ඇත්ද කොල්ලෝ උඔට හිතෙන විදිහට..”
“එකයි බොස්…ඒකත් අර බොස්ගෙ යාළු මහත්තයා ඉල්ලගෙන ගිය එක…බොස් මට කෝල් එකක් දීලා කීවේ දෙන්න කියලා වැගනාර් එක…”
“ඉතිං බලහං කොල්ලෝ…කොහොමද ජීවත්වෙන්නෙ කියලා…මේ රෙන්ට් කරන්න ගෙනත් තියන ඔක්කොම වාහන අනුන්ගේ…ඒව රෙන්ට් කරත් නැතත්,මාසෙ අවසානෙට ගෙවන්නෝනෙ..උඔගෙ පඩි බේරන්නෝනෙ…මේ යාඩ් එකේ කුලී ගෙවන්නෝනෙ…කෙල්ලට උගන්නන්නෝනෙ…ගෑණියි,මායි කන්න අඳින්නෝනෙ…කොල්ලෙක් කියලා එකෙක් හැදුවා කාලෙක අපිට නිවී හැනහිල්ලෙ ඉන්න දෙයක් කරයි කියලා…දැන් ඌවත් බලාගන්න වෙලා තියෙන්නේ මට…”
“මාලක මහත්තයා කවද්ද ට්‍රිප් එක ගිහිං ආපහු එන්නේ බොස්…”
මධුර ඇසූයේ උනන්දුවෙනි.
“කවුද දන්නෙ බං…”
“අපේ මල්ලි එහෙම හොඳින් ඉන්නව ඇති නේද බොස්…”
“අනිත් ඔක්කොම හොඳින් හිටියත් අපේ එකා ලෙඩින්නෙ බං…”
“ඇයි මාලක මහත්තයා අසනීපෙන්ද බොස්…මං හිතන්නෙ සීතලට වෙන්නැති නුවර එළියෙනෙ ගියා කිව්වේ නේද…”
“තමුසෙටත් වචනයක් එහා,මෙහා වෙන්න බෑනෙ අයිසෙ ඒක තනිකරම සීරියස් ගන්නවනෙ…මං කිව්වෙ එහෙම ලෙඩක් නෙවේ ඕයී…අපේ එකාගෙ හැටි කිව්වේ…”
මධුර හිස කසමින් යටහත් සිනහවක් පෑවේය. එවෙලෙහි මාලකගේ පියාගේ ජංගම දුරකතනයට පණිවිඩයක් ලැබෙන හඬ ඇසුණේය. ඔහු ජංගම දුරකතන තිරය පරික්ෂා කර බලා නළල රැළි කර ගත්තේය. අනතුරුව එය මධුර වෙත දක්වා,
“තමුසෙ දන්නවද මේ ජෝඩුව කවුද කියල”
කියා මධුරගෙන් විමසුවේය. මධුර දුරකතන තිරයට එබුණේය. එහි වූයේ මාලක ලබාගත් තාරාගේ සහ මිහිරගේ ජායාරූපයයි.
“ගෑණු ළමයනම් දන්නෑ බොස්..කොල්ලා අපේ මල්ලි…”
“මුගෙ අප්පට……..”
මාලකගේ පියා කියන්නට ගිය දේ ගිලගත්තේය. මධුර මුහුණ බිමට නැඹුරු කරගෙන සිනාසෙන්නට වූයේය.
“කරන්න ගිය මඟුල පැත්තක දාලා මූ අනුන්ට මඟුල් ජෝඩු කරන්න පටන් අරන්ද ඒ ගමන….”
මාලකගේ පියා තනිවම මුමුණන්නට වූයේය. වාහන අංගනයේ ඉදිපස දොරටුව අසල වාහනයක් නතර කරනු දැක මාලකගේ පියා මෙන්ම මධුරද එදෙස බැලුවෝය.
“කවුද කියලා බලහං කොල්ලෝ…”
“වාහනේ හැටියටනම් සද්ධාතිස්ස මහත්‍තයා…ඊයෙත් ආවා වාහන වල මාස ගාණක සල්ලි හිරවෙලා කියලා…බොස් කීවනෙ අද එන්න කියන්න කියලා..”
“ඇතුලට එන්න කලින් පලයං කොල්ලෝ…ගිහිං අදටත් ෂේප් එකක් දාගනිං..මං ඇමතිතුමා හම්බවෙන්න ගියා කියපං..”
කියා සිය ජංගම දුරකතනය ක්‍රියා විරහිත කරමින්,මාලකගේ පියා කාර්‍යාල කාමරයට ඇතුල් වී එහි දොර ඇතුලතින් අගුලු දමා ගත්තේය. මධුර වහ,වහා අංගනයේ ඉදිරිපසට යන්නට වූයේය.
සදෙව් ඇතුළු පිරිස නතරව සිටින සංචාරක බංගලාව හාත්පස අඳුර විසින් ගිල ගනිමින් තිබිණි. බංගලා ගොඩනැඟිල්ලේ විදුලි ලාම්පුවලින් විහිඳෙන එළියට අවට රාත්‍රී පින්න දිලිසෙන්නට වූහ. මිදුලෙහි ත්‍රිකෝණාකාර හැඩයට තැනූ ගිණිමැලයක් දැල්වෙමින් තිබේ. ඒ වටා සදෙව් ඇතුළු පිරිස තැන්,තැන්හි වාඩිගෙන ඇත. නිම්නා ඇත්තේ සදෙව් සමීපයේ අසුන් ගෙනය. සංචාරක බංගලා හිමිකරුගේ බිරිඳ දර්ශී සහ තාරා ඔවුන් ඉදිරියේ අසුන් ගෙන සිටිති. මිහිරද අනෙක් පස හුදෙකලාවේ හිඳගෙන සිටියි. එහෙත් මාලක ඒ අවට පෙනෙන්නට නැත. සදෙව් සුපුරුදු ගීතයට ගිටාරයෙන් තාල අල්ලන්නට පටන් ගත්තේය.
“පාන් පැලක් හීන් එළිය බෙදන සේ රැයේ
යාන්තමට ළැඟුම් සොයයි හිතේ ආදරේ
වාන් දොරින් සේන්දු වන දියක් විලාසේ
හීනවලට පාර කියයි නුඹේ ආදරේ…..”
වෙනමම සිතැඟි මත එකිනාගේ ලෝකවලට වී කළුවර විඳිමින් සිටි සියල්ලගේම අවධානය සදෙව්ගේ ගීතය වෙත යොමු වන්නට වූහ. නිම්නා උත්සාහ කරමින් සිටියේ තාරා එම ගීතයට දක්වන ප්‍රතිචාරයේ ස්වභාවය කෙබඳුදැයි වටහාගැනීමටය. නිම්නාගේ නිරීක්ෂණය වූයේ තාරා අවට ලෝකයෙන් මොහොතකට හුදෙකලා වී සදෙව්ගේ ගීතය සමඟ අධ්‍යත්මික ගණුදෙනුවක යෙදී ඉන්නා බවයි. සදෙව් ගීතය සහ තාරා සමඟ ගොඩනඟනා බැම්ම හඳුනා ගන්නට නිම්නාගේ හිත කළුවරේ අතපත ගාන්නට වූවාය. ඇය වඩාත් හොඳින් තාරාගේ මුහුණේ ඉරියව් කියවා ගන්නට වෙර දැරුවාය. එහෙත් තාරා එසේ පහසුවෙන් කියවා ගැනීමට තරම් හැඟීම් ප්‍රකාශ කරනා චරිතයක් නොවන බව ඔවුන් දෙදෙනාගේ දිගු කාලීන මිත්‍රත්වය නිසාවෙන් නිම්නා දැන උන්නාය.
“පට්ට මචං… ඈ…පට්ට සිංදුව…”
එසේ කියාගෙන පිරිස අතරට කඩා වැදුණේ මාලකය. ඔහු කෙලින්ම විත් නිම්නාට අනෙක් පසින් වාඩි වද්දි ශරීරය පාලනය කරගත නොහැකිව ඇගේ ගතට බර වූවාය. ඉන් පසුව නිම්නාගේ මෙන්ම අනෙක් අයගේද අවධානය යොමු වූයේ මාලක වෙතය.
“බීලා…”
නිම්නා සදෙව්ගේ කනට කර කීවාය. එය මාලකගේ නෙත ගැටුණාය.
“මොකෝ කනට කරලා සිංදු කියනවද ඔයා..”
මාලක ඇසූයේ නිම්නාගෙනි. ඔහුගේ මුවින් වහනය වූ මත්පැන් සැරට නිම්නා සිය නාසය හකුලා ගත්තේ,
“බීලා නෙවෙයි නාලා..”
කියමිනි.
“ඔව් මං බීලා…හොඳටම බීලා…මට පොඩි කතාවක් කියන්න තියනවා….සභාවෙන් අවසරයි….”
කියාගෙන මාලක ගිණි මැලය අසලට ආවේ වැනි,වැනීය. ආ වේගයට ඔහු ගිණි මැලය දෙසට වැටෙන්නට ගියෙන්,මිහිර වහා පැන ඔහු එදෙසට වැටෙන්නට නොදී වත්තන් කරගත්තේය.
“අතෑරපං ඩෝ… ”
කියා ඔහු මිහිරව තල්ලු කළේය. නිම්නා වහා නැඟී සිටියාය.
“මාලක දිස් ඊස් ටූ මච්…”
“තැන්කියු වෙරි මච් නිම්නා…ඔයාට කියන්න ඇත්තටම මට කරන්න තියන දේවල් ටූ මච්…අපේ තාත්තම කියන විදිහට ඒ ටික කර ගත්තෙ නැත්තං මං අවුට් ඔෆ් ද මැච්…”
සදෙව් නැඟිට මාලක අසලට පැමිණියේය.
“මචං උඔට හොඳටම වැඩී…යමං මං උඔව කාමරේට දාලා එන්නං…”
සදෙව් මාලකගේ උරහිසින් අල්ලන්නට තැත් කලද,ඔහු උරහිස හකුළුවා එය ප්‍රතික්ෂේප කළේය.
“මට නෙවේ බං…උඔටයි වැඩියෙන් තියෙන්නේ…මට මොනාද තියෙන්නේ…මං නිකංම නිකං රෙන්ටර් කාර් කාරයෙක්ගෙ පුතෙක්…අපේ තාත්තට ඕනේ මාව මර්සිඩීස් බෙන්ස් අයිතිකාරයෙක්ගෙ පුතෙක් කරන්න…පිස්සු නේහ්ං බං….”
මාලක මහ හඬින් සිනාසෙන්නට වූයේය. බංගලා හිමිකරුගේ බිරිඳ දර්ශී හුන් තැනින් නැඟිට යන්නට ගියාය. නිම්නා මාලක සහ සදෙව් සිටි තැනට පැමිණියාය.
“මාලක…ඔයා මේ හැසිරෙන විදිහ අන්තිම නරකයි…”
මාලක වැනි,වැනී නිම්නා අසලට පැමිණ ඇගේ කරට අතක් දමාගත්තේය.
“වෙන්නැති නිම්නා…ඔයාට පුළුවන් මාව නිවැරදි කරන්න..කරන්න තියෙන්නෙ එකම දෙයයි…”
“කරන දෙයක් අපි හෙට කතා කරමු මාලක…දැන් කරන්න පුළුවන් හොඳම දේ ඔයා ගිහින් නිදාගන්න එක…”
“මට නින්ද යන්නෑ ගෑණියේ….”
මාලක නිම්නා තල්ලු කොට දමා කෑගැසුවේය..තාරා බියෙන් සලිතව නැඟී සිටියාය.
“මට මහ භයානක හීන පේනවා…උඔ සදෙව් බැඳලා ඉන්නව පේනවා…අරූ තාරා බැඳලා ඉන්නවා පේනවා….එතකොට මට මොනාද වෙන්නෙ බං….මගෙ පවුලට මොකද වෙන්නෙ…”
නිම්නා යමක් කියන්නට සැරසුනද සදෙව් ඇයට නිහඬව සිටින ලෙස අතින් සන් කළේය. මාලක දිගටම කතා කරන්නට වූයේය.
“සදෙව්…උඔට මොනාද බං තියන ප්‍රශ්න…උඔට නිම්නම ඕනේද….ඇයි තාරා හොඳ නැද්ද…සල්ලි තියන තැනටම සල්ලි එකතුවෙන්න ඕනේද…නෑනේ…මට නිම්නව දියං…උඔ තාරව ගනිං..එතකොට මගේ පවුලත් ගොඩ තාරගෙ පවුලත් ගොඩ… ”
නිම්නා අත ඔසවාගෙන මාලක වෙතට පැමිණෙද්දීම,සදෙව් පපුව අල්ලාගෙන බිම හිඳගත්තේය. අනතුරුව වේගයෙන් හුස්ම ගන්නට වූයේය. නිම්නා ,තාරා මෙන්ම මිහිරද ඔහු වටකොට ගත්හ. ඔහු බිම දිගෑරී යමක් කියන්නට උත්සාහ කරන අයුරු පෙනෙන්නට වූයේය. එහෙත් ඔහුගේ මුවින් කෙඳිරියක් මිස,පැහැදිලිව වචන පිට වූයේ නැත.