NovelsPini Muthu PalasaPini Muthu Palasa පිනි මුතු පලස - 20

Pini Muthu Palasa පිනි මුතු පලස – 20

-

spot_img

Pini Muthu Palasa පිනි මුතු පලස – 20

එක් මොහොතකට මට සිතුණේ ඔහු නොසළකා හැර යන්නට මුත් එවැන්නකටද මසිත මට ඉඩ නොදුන්නේය. මම ඔහු වෙත හෙළුවේ නොසැළකිලිමත් බැල්මකි.

“ඇයි…?”

ඔහුගේ දෑස් වෙතින් දෑස් ඉවතක රඳවාගෙන මම ඇසුවේ පොල්ලකින් මුහුණට දමා ගසන්නාක් මෙනි. රජිව් ඉන් පුදුමයට පත්වූවා වන්නට ඇතැයි කියා මට සිතිණි. එවන් ස්වරයකින් මම ඔහු ඇමතීමත් පුදුම සහගත යැයි කියා මටද නොසිතුණා නොවේ. මසිතේ ඔහු කෙරෙහි වූ කෝපය එයට හේතු වූවා වන්නට ඇත.

“පොල්ලෙන් දමලා ගහනවා වගේ ඔහොම කතා කරන්න එපා මංදාකිණි…හරියට මම ඔයාගේ හතුරෙක් වගේනේ ඔයා කතා කරන්නේ…”

කෝපයත් ශෝකයත් මුසු වූ හඬකින් ඔහු කියන විට මසිත තරමක් පසුබා ගියේය. ඔහු මගේ සතුරෙකු වන්නේ කෙසේද…? මම ඔහුට ආදරය කළෙමි. තවමත් ආදරය කරමි. එය එසේ නොවේ යැයි කියා ස්ථීරවම කිව නොහැකිය.

“හතුරුකම් කළේ මම නෙවේනේ… ඔයානේ…දැන් ඇයි කතා කළේ…?”

නොමනාපය මුසු හඬකින් මම ඇසීමි.

“මම ඔයාට හතුරු කමක් කළේ නැහැ…”

“ඔයාගේ වැරැද්ද පිළිගන්න ඔයා ලෑස්ති නැහැ…අනික ආයෙමත් ඒ ගැන කතා කරලා මගේ හිතේ තුවාලෙ පාරගන්න මට ඕන නැහැ…”

“හරි ඒ ගැන අපි කතා නොකර ඉමුකෝ…ඒත් මට ඔයා එක්ක කතා කරන්න ඕන…”

“ඒත්…මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නැහැ…”

“ඔහොම මගේ හිත රිද්දන්න එපා මංදාකිණි…මං විඳවනවා…”

පසුතැවිළි හඬකින් ඔහු කියන විට මම වහා ඉවත බලා ගත්තේ මා සිත පෑරුණ නිසාය. නමුත් ඔහු මා සිත බිඳවා තිබිණි. මසිත ඔහු ඉදිරියේ දුර්වල විය යුතු නැත. වැරදි කළේ මා නොවේ. ඉතින් විඳවනවා නම් ඔහු එයට විඳවිය යුතු නොවේද…? මීට පෙර දිනකදී නම් මම ඔහු හා මෙලෙස කතා කිරීමට කෙතරම් ආශා කළාද.! එහෙත් දැන්…? මේ මොහොතේ සියල්ල වෙනස්ව ඇත්තේ කෙතරම් පුදුම සහගත ලෙසද…?

“වැරැද්දක් නොකළා නම් ඔයා විඳවන්නේ මොකටද…? ඔයා හිතින් විඳවනව කියන්නේ…ඔයා වරදක් කරපු නිසානේ…ගිම්හාන එදා ඒ දේ නොදැක්කා නම්… මං අදටත් ඔයාට රැවටිලා ඔයාව විශ්වාස කරගෙන ඔයාට තවමත් ආදරේ කරනවා…එහෙම දෙයක් වුණා කියලා ඔයා මට ඇවිත් කියන්න තරම් ඔයා අවංක වෙයි කියලා මට හිතන්න බැහැ…ඔයයි රුවින්දියි…ඔයාලගේ ගෙදර නිදහසේ කොහොම හැසිරෙනවද කියලා කවුද දන්නේ…?”

මම එක හුස්මට කියවගෙන ගියෙමි.

“මංදාකිණි…මං තාමත් ඔයාට කියන්නේ…ඒක මං කරපු දෙයක් නෙවේ…ඒක වැරැද්දක් නම් ඒක වුණේ පළමු වතාවට වගේම අවසන් වතාවට…”

මා මුවට නැඟුණේ උපහාසය මුසු සිනහවකි.

“හරි…මම ඒක පිළිගත්තා…දැන් සතුටුද…? ඔයාට කියන්න ඕන වුණේ ඔය ටිකනේ…දැන් මං යන්නද…?”

මම පහළ පඩියට පය තබන විට රජිව් මගේ බාහුවෙන් අල්ලා මා වළකාලන විට මම පය ආපස්සට ගෙන ඔහුගේ ග්‍රහණයට නතු වූ මගේ බාහුව වෙත බැල්මක් හෙළීමි. මා මුවින් නොකී වදන් එම බැල්මේ ගැබ්ව ඇති බව ඔහුට වැටහුණා වන්නට ඇත. ඔහු වහා මා බාහුව මුදා හැරියේ වරදක් කළ අයකු මෙනි.

“ඔයා තරහින් ඉන්නෙ කියලා මං දන්නවා මංදාකිණි… සොරි…”

“හැමදේටම සොරි කියන එක පුරුද්දක් වෙලා වගේ…”

“ඔයාට මාව රිදවන්න ඕන නම්…ඔයා දිනුම් කියලා හිතා ගන්න…”

“රිදෙන්න දෙයක් සිද්ධ නොවුණා නම්… ඔය තරම් හිතට අමාරු වෙන්න විදියක් නැහැනේ…ඔයාට රිදෙන්නේ ඔයා අතේ වරදක් තියන නිසා…ඒකට මම රිදවන්න ඕන නැහැ…”

පෙර තරම් නොවූවත් තරමක කෝපයකින් මම කීවෙමි.

තක්ෂිලාත් දුලානිත් එක්වරම පඩිපෙළ දිගේ දිව එන විට මම හුන් තැනම නිසොල්මන්ව සිටියෙමි. පෙරදිනක නම් මා සිත බියෙන් තැති ගැන්වෙන්නට ඉඩ තිබුණද මෙදින එවන් බියක් මා සිතේ ඇති නොවීය. අප දැක දෙදෙනාම තරමක් හෝ තිගැස්සෙන්නට ඇති මුත් දුලානි මුවේ සිනහවක් නංවාගෙන අප පසුකර පිය මැන්නද තක්ෂිලා බියපත් බවක් පළකරමින් බිමට නැඹුරුකොට ගත් හිසින් පඩි පෙළ නැංගාය. ඈ තවත් වතාවක් චිත්‍රා මිස් හා කේළම් කීවද ඉන් මට කාරියක් නැත.

“ඔයා මාව විශ්වාස කළේ නැහැ මංදාකිණි…”

අප පසුකර පියමනින තක්ෂිලා සහ මාලිකා කෙරෙන් දෑස් මුදවා ගත් රජිව් කීවේ මා දෙස බලමිනි. මම හිස් බැල්මකින් ඔහු දෙස බැලුවෙමි.

“නැහැ…ඕනවට වඩා ඔයාවයි…ඔයාගෙ ආදරෙයි ගැන මං විශ්වාස කළා…අන්න ඒකයි ඇත්ත…”

“රුවින්දි මට සහෝදරියක්…යාළුවෙක්…”

“ඒ නිසා වෙන්නැති කරේ එල්ලන් රට වටේ රවුම් ගහන්නේ…කාර් එක ඇතුළේ ඉඳන් දෙන්නා කිස් කළේ සහෝදර ප්‍රේමෙටද… ඔයා කාටද ඕවා කියන්නේ…? බොරු දාහක් කිව්වත් නැති වුණ විශ්වාසේ ආයෙමත් ඇති වෙන්නේ නැහැ…රෑ වැටුණු වළේ දවලුත් වැටෙන්න තරම් මම මෝඩයෙක්වත් අන්ධයෙක්වත් නෙවේ…”

මම එක දිගටම කියවගෙන ගියෙමි.

“සිද්ද වුණේ වරදක් නම්…මං ඒ වරදට සමාවත් ඉල්ලුවානම්…ඇයි ඔයාට බැරි මට සමාව දෙන්න…?”

“සමාව දෙන්න බැරිද…සමාව දෙන්න බැරි…ඔයා ඒ වරද හිතා මතාම කරපු නිසා…ඒක එක පාරක් වුණ දෙයක්ද කීප වතාවක්ම වුණ දෙයක්ද කියන එක නෙවේ වැදගත් වෙන්නේ…ඔයා මා එක්ක සම්බන්ධකමක් තියෙනකොටත් රුවින්දි එක්කත් ඒ වගේම සම්බන්ධයක් තිබ්බා…එයාව කිස් කළේ ඒක නිසානේ…හරි එයා එක්ක එහෙම දෙයක් නැහැම කියමු…ඒත් කොහොමද ඔයා එයාව කිස් කළේ…? අනික මට දැන් ඇති වෙන්නෙම සැකයක් අවිශ්වාසයක් විතරයි…වැරැද්ද කළේ රුවින්දි කියලා අත පිහදා ගන්න හදන්න එපා…ඊට අනුබලයක් මීට කළිනුත් ලැබිලා තියන නිසානේ ආයෙමත් ඒ වගේ දෙයක් වුණේ…එයා බලෙන් කිස් කළා නම්…ඔයාට තිබුණා එයාගේ කම්මුලට ගහලා හරි…එයාව තල්ලු කරලා දාන්න හරි…නැත්ද…? මං පොඩි බබෙක් නෙවේ…රජිව් අයියේ…ඔය දේවල් තේරුම් බේරුම් කරගන්න බැරි තරම්…තව තවත් ඔය බොරු කතා ඇදගෙන කාලේ නාස්ති කරගන්න එකේ කිසිම තේරුමක් නැහැ…”

අඩියට දෙකට පඩි පෙළ බැසගෙන මම පන්තියට දිව ආවෙමි. මසිතෙහි කළකිරීම උස්ව නැගෙන්නට විය. සියලු දෙනම පරදා මම රජිව්ගේ ආදරය දිනා ගැනීමට සමත් වුවද එය හුදෙක් මායාවක් පමණක්ම විය. අවසන පරාජය ලබා ඇත්තේ මාය.

“හෙට අපි ඉස්කෝලේ එන අන්තිම දවස…හෙට පාර්ටියක් දාමු නේද…?”

එම යෝජනාව කළේ ගිම්හානය. සැවොම එක් රොක් වී කතා බහ කරන්නට වූයේ ඒ ගැනය. ඉන්පසුව සාමාන්‍ය පෙළ විභාගයයි. මේ අපි පාසල් එන අවසන් දින කීපය නොවේද…? මසිත අනියත බියකින් සැළිණි. විභාගයෙන් පසුව කුමක් කරන්නද…? මා විභාගය අසමත් වුවහොත් කියා සිතන විටත් මා හද ගැස්ම පවා වේගවත් විය. ඉහළින් සමත් වේයැයි කියා විශ්වාසයක් මා සිතේ නොවීය. අසමත් වුවහොත් නට නටා සිටියා මිස පාඩම් වැඩ කළාදැයි කියා චිත්‍රා මිස් වුවද උපහාසයට පවසනු ඇතිවාට සැක නැත.
——————————————————————————————————
එදින පාසල් නිවාඩු දෙන දිනයයි. රජිව් පන්ති කාමරයටම පැමිණ එකිනෙකාට සුබ පතමින් කිවේ විභාගය හොඳට ලියන ලෙසය. ඔහු මවෙතත් පැමිණ සිය සුරත දිගු කරන විට මම ඔහුගේ අත ගෙන සෙළවූයේ හිස් වූ හැඟිමකිනි. කුමක් හෝ යමක් කීමට පොපියූ ඔහුගේ දෙතොළ සැලෙන සැටි දැක, දැකම මම ඒ සුරත සෙමෙන් මුදා හැර ඉවත බලා ගතිමි. ඔහු තක්ෂිලා වෙතද ගොස් සුබ පතන විට ඈ පුදුමයෙනුත් ලැජ්ජාමුසු වූ හැඟීමකිනුත් යුතුව ඔහුගේ අත අල්ලා ගනු මම දුටිමි. ඈ සිතේ වරදකාරී හැඟීමක් ඇති වූවාට සැක නැත.

“රජිව් අයියා තවමත් ඔයාට ආදරෙයි වගේ මංදි…”

තරුෂි එසේ කීවේ රජිව්ත් කමලුත් අප පන්තියෙන් පිටව යාමට පෙර නැවත වරක් හැරී මා දෙස බැලූ රජිව් පෙන්වමිනි. මසිතට කොහේදෝ සිට දුක් මුසු හැඟීමක් ගලා ආවේය. පසුගිය දිනවල මම ඔහුට නපුරු වූවා වැඩිදෝයි කියා මේ මොහොතේ මට සිතිණි. කුමක් වුවත් දැන් එයට පමා වූවා වැඩිය. දෑසට එක් රොක් වන්නට වූ කඳුළු ගුළි මම ඇසි පිය ගසමින් වළකා ගැනීමට දරන උත්සහය තරුෂිත් දකින්නට ඇත.

“අනේ කෙල්ලේ…අඬන්න නම් එපා…”

ඈ කීවේ මගේ සුරත දැඩිව අල්ලා ගනිමිනි.

“මගේ හිතටත් දුකයි තරූ…”

බිඳුණු හඬින් මම කීවෙමි.

“හැමදේම හොඳින් සිද්ද වෙයි මංදාකිණි… අපි බලන් ඉමු…”

මා සිත සැනසීමට මෙන් තරුෂි කියන විට මම හිස සළමින් ඈ කී දේ පිළිගත්තේ එසේ වේයැයි සිත තුළ ඇති වූ විශ්වාසයක් නිසා නම් නොවේ. විභාගය ඇරඹෙන දින හමුවන බලපොරොත්තුවෙන් අපි එකිනෙකාගෙන් සමු ගැනීමට සූදානම් වන මොහොතේ තක්ෂිලා මවෙත පැමිණ මා ඇමතුවේ මා පුදුමයට පත් කරවමිනි.

“මංදාකිණි…”

ඈ මා අමතන විට මම ඈ දෙස බැලුවේ හිස් දෑසිනි. කුමක් දෝ දෙයක් කීමට සූදානමින් මෙන් ඈ මොහොතක් මා දෙස බලා සිටියාය.

“ඔයා මා එක්ක තරහින් ඉන්න එක සාධාරණයි…මට සමාවෙන්න…මේ සේරම වුණේ මගේ වරදින්…මං මිස්ට ඔය දෙන්න ගැන කිව්වේ…රජිව් අයියා එක්ක තිබුණ තරහට වඩා…ඔයා එක්ක තිබුණු තරහ නිසයි…”

මා තවත් පුදුමයට පත් කරමින් තක්ෂිලා කීවාය. මා දැනුවත්ව ඇයට වරදක් කර නොමැත. එසේ නම් මා සමඟ තරහා වන්නේ කුමකටද…?

“ඒ මොකක්ද තක්ෂිලා ඒ කතාව…මංදි මොකක්ද ඔයාට කරපු වරද ?”

මා වෙනුවට එසේ ඇසුවේ තරුෂිය.

“ඔව්…මංදාකිණි අතේ වරදක් නැහැ තමා… අම්මා කරපු වැරදි වලට ඔයා මොනවා කරන්නද…?”

එසේ කී තක්ෂිලා හඬන්නට වූවාය. මා සිතේ පුදුමයකුත් කෝපයකුත් ඇති කළේ ඈ අම්මා ගැන කතා කළ නිසාය. එය මට ප්‍රහේළිකාවකි.

“මොකක්ද ඔයා කිව්වේ…ඇයි අම්මාව ඇදලා ගන්නේ මේ කතාවට…?”

කෝපයෙන් මම අසන විට කඳුළු පිස ගත් තක්ෂිලා එක්වරම පිළිතුරක් නොදී මොහොතක් මා දෙස බලා සිටියේ ශෝකයත් කෝපයත් අනුකම්පා උපදවන සුලු බැල්මකින්ද යුතුවය. මා සිතේ කුතුහළය මැඩ ගෙන මම ඇය කතා කරන තුරු බලා සිටියෙමි.

-නැවතත් පෙබරවාරි 10 වන සඳුදා මුණ ගැසෙමු-

Latest news

කුෂ් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

“ කුෂ්“ මත්ද්‍රව්‍ය ”, සම පැහැපත් කිරිමට යොදා ගන්නා “ කොලැජන් සහ “ විටමින් සී “ පෙති තොගයක් නීතිවිරෝධී...

ඉරාන නාවික මළසිරුරු දිවයිනෙන් රැගෙන යයි

ශ්‍රී ලංකාවට දකුණු දිගින් වූ මුහුදේදී අමෙරිකානු ප්‍රහාරයකින් ජීවිතක්‍ෂයට පත් වූ 'IRIS DENA' නෞකාවේ සිටි ඉරාන නාවිකයන්ගේ මළ සිරුරු...

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

යුද්ධය අවසන් කරන්න ඉරාන ජනපතිගෙන් කොන්දේසි

පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය ප්‍රධාන කොන්දේසි තුනක් ඉදිරිපත් කර තිබෙනවා.එරට ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පෙන්වා දෙන්නේ සාමය...
- Advertisement -spot_img

ඉරාන නව උත්තරීතර නායකයාගෙන් ලොවම බියවද්දන ප්‍රකාශයක්

ලොව කාර්යබහුලම ඉන්ධන ප්‍රවාහන සමුද්‍ර මාර්ගය වන හෝර්මූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ඉරානය විසින් අඛණ්ඩව කරගෙන යනු ඇති බව...

ලෙමනේඩ්

ලෙමනේඩ් - Lemons "ජීවිතය ඔබට ලෙමන් ලබා දෙන්නේ නම්, ඔබ එයින් ලෙමනේඩ් හදන්න." "ජීවිතය හැමවිටම ඔබට ලෙමන් ලබා දෙන අතර ඉන්...

Must read

- Advertisement -spot_imgspot_imgspot_imgspot_img

You might also likeRELATED
Recommended to you