Pini Muthu Palasa පිනි මුතු පලස
මා සිතේ ඇති වූයේ තිගැස්මකි.
“ඔව්…ඔව්…මංදාකිණි අක්කා ඉන්නේ මේ පන්තියේ තමා…ඇයි මොකටද එයාව හොයන්නේ…?”
විදුර මෘදු හඬකින් විමසුවේය. ඈ ඇඹරෙන්නට වූයේ මුව ඇද කරගෙන ලැජ්ජා මුසුවය.
“අපේ ටීචර් කිව්වා…මංදාකිණි අක්කට…ස්ටාෆ් රූම් එකට…එන්න කියලා…”
ඈ වචනෙන් වචනය කඩ කඩ කීවේ තාලයකට මෙනි.
“හා…කවුද ඔයාගේ ටීචර්…?”
ගිම්හානද සිනහසෙමින් විමසුවේය.
“චිත්‍රා මිස්…”
ඈ බිත්ති කණ්ඩිය අතහැර බිමට පැන දිව ගියේ මා තැති ගන්වමිනි. මා දෙපා පවා පණ නැතිව ගියාක් මෙන් මට දැනේ.
බියමුසු හැඟීමක් මා සිතට දැනෙන විට මම තරුෂි දෙස බැලුවේ විදහා ගත් දෑසිනි. ඈ මගේ සුරත දැඩිව අල්ලා ගත් අතර පන්තියේ ළමුන් සියල්ලන්ගේම දෑස් මා වෙත එල්ල වී ඇති බවක් මට දැනිණි.
“මොකද අනේ…බය වෙලා…මිස් වෙන වුවමනාවකට එන්න කිව්වද කවුද දන්නේ…?”
තරුෂි සෑම මොහොතකම මෙන්ම මේ මොහොතේදීත් මා සනසන්නට මෙන් කීවද මේ මොහොතේ නම් එය එසේ නොවන බව කීමට මට වුවමනා වුවද මම සිටියේ ගැහෙන සිතිනුත් වෙවුළන ගතිනුත් යුතුවය.
“හනුමා තියපු ගින්න ඇවිළෙන්නේ දැනුයි එහෙනම්…”
ගිම්හානගේ හඬෙහි වූයේ කෝපයකි.
“මිස් කතා කරන්න ඇත්තේ ඒ නිසානේ ගිම්හාන…දැන් සතුටු ඇති…”
සමන්මලී කීවේ කෝපයෙනි.
“යමු මංදි… මාත් එන්නම්…ගොට්ට අල්ලලා බලමුකෝ වෙන දේ…”
තරුෂි සිය කෝපය එක එල්ලේම එල්ල කළේ තක්ෂිලා වෙතය. ඈ නිහඬය. තරුෂි අනුගමනය කරමින් මමද නැඟී සිටියේ ඇගේ අතින් අල්ලා ගනිමිනි.
අපි පන්ති කාමරයෙන් පිටතට එන විට ළමුන් සියල්ලෝම මා දෙස අනුකම්පා මුසුව මෙන් බලා සිටිනවා යැයි හැඟීමක් මා සිතේ ඇති විය. චිත්‍රා මිස් මා කැඳවන්නේ හොඳකට නොවන බව මට සහතිකය. බියෙන් මසිත ගැහෙයි. පලා දුවන්නට ඇත්නම් කියා මට සිතිණි.
“මට බයයි තරූ…”
අනුකම්පා උපදන සුළු හඬකින් මම කීවේ තරුෂිගේ අත තද කරමිනි.
“බය වෙන්න එපා…මං දොරකඩ ඉන්නම්…ඔයා යන්න ඇතුළට…මිස් කතා කළේ වෙන මොනවට හරිද දන්නේ නැහැනේ…”
යළිත් මා අස්වසන්නට මෙන් ඈ කීවද මම ඇතුළාන්තයෙන්ම දිය වී ගොස් සිටියෙමි.
දිරියක් වඩවා ගැනීමට තරමටවත් දිරියක් මා තුළ නොවූ බව සහතිකම වුවද මම ගැහෙන සිතින් ගුරු විවේකාගාරය තුළට ගියෙමි. එහි සිටියේ චිත්‍රා මිස් පමණකි. ළමුන්ගේ පැවරුම් කීපයක් බලමින් සිටියද පැමිණියේ කවුරුන්ද කියා බැලීමට හෝ ඈ හිස නොඑසවූයේ ඇගේ මාන්නයත් උඩඟු බවත් පෙන්වීමට මෙනි. ඇය හිඳ සිටි අසුනට පිටුපසින් වූ ජනේලයෙන් මුදු සුළඟක් හමා ආවද මා ගත දහදියෙන් තෙත්ව තිබිණි.
“මි…මිස්…මට…එන්…න…කිව්වා…ද…?”
ඈ තවමත් හිස ඔසවා නොබැලූ නිසා මම වෙව්ළන හඬින් ඇසුවෙමි. එවිට හෝ ඈ හිස ඔසවා නොබැලූ අතර ඇය ඉතා උඩඟු අයෙකු බව මා අසා තිබුණද මේ තරමටම හිස උදුම්මවාගෙන ඇති බවක් මම දැන නොසිටියෙමි. ඈ මා පිළිබඳව තැකීමක් හෝ නොකොට සිය කාර්යයේම නියැළී සිටියාය.
ඊටත් සුළු මොහොතකට පසු ඈ පොත වසා දමා හිස ඔසවා මගේ හිස සිට දෙපා දක්වා බැල්මක් හෙළුවේ ඉතා අවඥා සහගත බවක් මුවේ සටහන් කරගෙනය. ගුලක් සාරා සැඟවෙන්නට ඇත්නම් කියා මට සිතිණි.
“මෙයාද මංදාකිණි…?”
උපහාසාත්මක හඬකින් ඈ විමසුවේ එහි සිටින තවත් අයෙකුගෙන් විමසන්නාක් මෙනි. මා සිත එයින් හිරි වැටී ගිය අතර මම හිස බිමට නැඹුරු කොට ගතිමි.
“මම…තමුන්ට එන්න කිව්වේ ඇයි කියලා දන්නවා ඇතිනේ…නේද…?”
රළු හඬින් ඈ අසන විට පිළිතුරක් දීමට තරම් දිරියක් මා තුළ නොවීය.
“රජිව්ගෙයි…තමුන්ගෙයි අතර සම්බන්ධයක් තියනවා කියලා මට වටින් ගොඩින් ආරංචි වුණා…ඒත් මං ඒක විශ්වාස කළේ නැහැ…මොකද මම හරියට දන්නේ නැති නිසා…ඒත් මං දැන් දන්නවා…ඒක ඇත්ත කියලා…එහෙම නේද…?”
එවර මම හිස ඔසවා එක එල්ලේම ඈ දෙස බැලුවෙමි.
“ඔව්…”
එය නැතැයි කීමට මා දිව නොනැමිණි. ඇරත් මුසාවක් පවසන්නේ මන්ද.? මම ඔහුට ආදරය නොකරන්නේද…?
“තමුන්ලා ඉස්කෝලේ එන්නේ මොකටද කියනවාකෝ…ඉගෙන ගන්නද…නැත්නම් ඕවා කරන්නද…?”
ඒ හඬ වඩ වඩාත් රළු වන්නට විය. ඇගේ දෑස්වල පවා වූයේ කෝපයකි.
“තමුන් කොල්ලෙක් එක්ක යාළු වුණත් නැතත් මට වැඩක් නැහැ…ඉගෙන ගත්තා නැතෑ ඒකත් මට අදාළ නැහැ…හැබැයි ඕන මඟුලක් නටා ගන්නවා ඕන එකෙක් එක්ක…මගේ කොල්ලාට පාඩුවේ ඉන්න දීලා…තමුන්ගේ මඟුල් විසේ ඉහට ගැහුවට මගේ එකා පළි නැහැ…”
චිත්‍රා මිස් නොනවත්වා කියවගෙන යන විට ඇගේ හී තුඩු මෙන් වචන ඇනුණේ මා හදවතේය. දෑසින් එක පෙළට කඳුලු ගලා යන්නට වූයේ ඒ වේදනාවටය. ඇගේ අප්‍රසන්න කතා විළාසය ගුරුවරියකට නොවූ තරම්ය. එය දුක පරයා මා හදේ කෝපයක් නැංවීය.
“රජිව් කවදා හරි කසාද බඳින්නේ අපි කැමති කෙනෙක්ව…හීන දකින්න එපා… ඔයා…හිතාගෙන ඉන්න දේවල්…”
“ඇති මිස්…”
ඇයට බාධා කරමින් මම් උස් හඬින් කියන විට ඈ තරමක් තිගැස්මට පත්වූවාක් මෙන් මදෙස බැලුවාය.
“මිස් මට හුඟාක් දේවල් කිව්වනේ…මම නටපු නාඩගමක් නැහැ…මම රජිව්ගේ කරේ එල්ලුණේත් නැහැ…කරේ එල්ලෙන්න දඟලන අයව ගෙවල් අස්සෙම දා ගෙන ඉද්දී මං මොකටද කාගෙවත් කරේ බලෙන් එල්ලෙන්නේ…මිස් මට කියපු ටිකම තමුන්ගේ පුතාටත් කිව්වා නම් හරි…”
චිත්‍රා මිස් මා දෙස බලා සිටියේ බියෙන් විසල් කරගත් දෑසිනි. ඇයට තවත් යමක් කීමට ඉඩ නොතියා මම ආපසු හැරී දිව ආවේ තරුෂි මා පැමිණෙන තුරු දොර අසළ සිටින බවද අමතක කොට දමාය.
පාසල නිමා වී තිබූ නිසා ළමුන් එක පෙළට පිටතට ඇදෙමින් සිටියෝය. අප පන්ති කාමරයේ සිටියේ ගිම්හානත් විදුරත් සමන්මලීත් පමණි. මා පසුපසම දිව ආ තරුෂිද මා සමඟම පන්තියට ගොඩ වන විට සමන්මලී මා වෙත දිව විත් මා අතින් අල්ලා ගත්තාය. ඈ දෙස බැලීමට මට නොහැකිය. දෑසින් නොනවත්වා කඳුලු ගලා යයි. ඈ මඟහැර පියමන් කළ මා මේසය වෙත දිව විත් ඒ මත දමා ගිය පොත් ටික එකතු කොට ගෙන බෑගයට දමා ගත්තේ වෙව්ළන දෑතිනි. කිසිවෙකු කිසිත් නෑසු අතර මගේ පෙනුමෙන්ම ඔවුන් සියල්ල වටහා ගන්නට ඇතිවාට සැක නැත. තරුෂි මා අසළට එන විට මම ඈ දෙස බැලීමි. ඈ සිටියේ මා මෙන්ම කෝපයෙන් බව ඇගේ මුහුණින් මට පෙනිණි.සියල්ල ඇයට ඇසෙන්නට ඇතිවාට සැක නැත. මීට සුළු මොහොතකට පෙර මා සිටියේ බියෙනුත්, ශෝකයෙනුත් වුවද දැන් නම් මා සිතේ වූයේ දරා ගත නොහැකි කෝපයකි. චිත්‍රා මිස් එලෙස මා නොඇමතුවා නම් මා සිතේ ඈ කෙරෙහි මෙලෙස කෝපයක් ඇති වීමට ඉඩ නොතිබිණි. ආදරය කිරීම අපරාධයක්ද…? එහි වදරක් තිබේද..? ඇයටද යොවුන් වියේ එවන් ප්‍රේමයක් නොතිබුණේද..? අප හමු වූයේ ඉඳහිටය…කතා බහ කළේ වචන කීපයකි. ඒද බියෙන් සැකයෙනි. ඉන් එහා වරදක් අපි නොකළෙමු. දෑසින් ඇද වැටෙන කඳුලු පිස ගෙන පොත් බෑගයත් කරේලා ගෙන මම නිහඬවම පන්ති කාමරයෙන් එළියට ගමන් කරන විට තරුෂි, සමන්මලී, විදුර සහ ගිම්හානද මා අනුගමනය කරමින් නිහඬවම මා පසුපස පැමිණෙන බව මට දැනිණි.
“මංදි…”
මා සෙමෙන් පාසල් ගේට්ටුව පසුකරන විටම තරුෂි මා ඇමතුවෙන් මම මගේ ගමන බාල කළෙමි. ඈ මා වෙත දිව ආවාය.
“මිස් කතා කරපු විදිය නම් හරිම නරකයි….”
ඈ කීවාය. මම අලුතින් බොඳවූ දෑස් ලේන්සුවෙන් පොඩි කළෙමි.
“මොනවද මිස් කිව්වේ…?”
මාර ගහ සෙවන යට නැවතෙමින් ගිම්හාන විමසුවේය. තරුෂි සියල්ල අකුරක් නෑර ඔවුන් හා පවසන විට ඒ තිදෙන අසා සිටියේ කෝපයෙනි.
“උගත් කම හොඳයි බල්ලට…”
ගිම්හාන කෝපයෙන් කීවේය.
“එතකොට මෙයාගේ විතරයි වැරැද්ද…පුතා බබා…තමන්ගේ පුතාටත් ඔය වගේම අවවාද දෙන්න තිබුණානේ සේරටම කළින්…”
සමන්මලී කීවාය.
“අවවාදයක් නෙවේනේ ඔය කරලා තියෙන්නේ…ගුරුවරියක් කියන්නත් ලැජ්ජයි…දැන් ප්‍රින්සිපල් සරුත් දැන ගනියිද දන්නැහැ…”
විදුර කීවේ මෙය තවත් දුර දිග යනු ඇතැයි බියකින් මෙනි.
“පිස්සුද…මිස් ඕක ප්‍රින්සිපල්ට කම්ප්ලේන් කරන්න යන්නේ නැහැ…එහෙම වුණොත් ඒකට රජිව්ත් පැටළෙනවානේ…”
තරුෂි කීවේ උපහාසය මුසුවය.
“ඒක හරි…මොකද මේක මේ ඉස්කෝලේ යාළු වුණ පළවෙනි කපල් එක නෙවේනේ…”
ගිම්හානද එසේ කීවේය.
“ඔයා ඔයා ගැන හිතන්න එපා මංදි… අපරාධයක් කළාවත් මිනිහෙක් මැරුවාවත් නෙවේනේ…”
තරුෂි මා සිත සනසන්නට මෙන් කීවාය. ඔවුන්ගෙන් සමුගත් මා නිවසට පැමිණියේ තෝන්තු වූ හිසිනි. මා සිත තුළ කෙතරම් බලවත් කළකිරීමක් දුකක් තිබුණා වුවත් පසු දින මා පාසල් යනවා යැයි මම සිතා ගතිමි. නිවසට වී සිටියා නම් මට අක්කාගේ සියලු බැල මෙහෙවරකම් කිරීමට සිදුවනු ඇත. සුමිත් අයියාද මේ දින වල නිවසේ පසු වූයේ ත්‍රී රෝද රථය අලුත් වැඩියා කටයුත්තකට දමා තිබූ නිසාය. ටික දිනක පටන්ම මට ඔහු රුස්සන්නේම නැත. ඔහු හෙළන බැලුම් මා සිතේ ඇති කළේ පිළිකුල් සහගත හැඟීමකි. එසේ නොවූවා නම් මට නිවසට වී මගේ ලෝකය තුළ තනිවී සිටීමට ඉඩ තිබිණි. රජිව් හමුවීමටද මට දැඩිව වුවමනා වී තිබුණේ ඔහුගේ අම්මා මා හා කී දෑ ඔහුට පැවසීමටය. ඔහු තවම මේ කිසිත් නොදන්නවා විය හැකිය. චිත්‍රා මිස්ට අප ගැන සැළ කළේ තක්ෂිලා බව මට සහතිකය. එය සැකයක් නැතිවම මට කිව හැකිය. කේළම කවුරුන් පැවසුවද එය පැවසූ අයට වඩා එය ඇසූ කෙනා එයට දැක් වූ ප්‍රතිචාරය කෙරෙහි මා සිතේ උපන් කෝපය බලවත් විය. ඈ ගුරුවරියක වීත් හැසිරුණේ නූගත් ගැහැණියක ලෙසිනි. මා සිතේ ඈ පිළිබඳව යම්තාක් දුරට හෝ ගරුත්වයක් තිබුණද ඇගේ කතා විලාසය නිසා එයත් පහව ගියේය. මා සිතේ මේ වන විටත් ඉතිරිව තිබුණේ දැඩි කළකිරීමකි.
“චූටි නංගී…”
අක්කා කාමරයට පිවිසියේ මා අමතමිනි.
“රෑට මොනවද කන්නේ…පිටි තැම්බුවෙත් නැහැ…ඉඳි ආප්පම කමුද…?”
ඈ මට නොකියා කියන්නේ රෑට ඉඳි ආප්ප කමු කියාටත් වඩා ඇනවුමක් ඇති බව දැනුම් දීමටය. කෝපයකුත් නොසතුටකුත් එකවර මා සිතේ ඇති විය.
“දවල් තම්බන්න තිබුණානේ…”
නොසතුටෙන් මම කීවෙමි.
“වෙලාවක් හම්බුණේ නැහැනේ…කඩේ වහලා දාලා රෙදි සෝදන්න වැවට ගියා…”
ඈ එසේ කියා කාමරයෙන් පිටව ගියාය. දැන් ඉතින් පිටි තම්බන්නට වෙන්නෙත් මටය. මම කාමරයෙන් පිටතට ආවේ නොසතුට මුසු වූ කෝපයකිනි. චිත්‍රා මිස් කෙරෙහි උපන් කෝපය අක්කා පිටින් යවන්නට තිබුණා නම් කියා මට සිතිණි.
හරිම ලස්සනයි