Mandaramen Eha – ගිරාතලාන වැවෙහි පිටවාන ආසන්නයේ පිහිටි කඩය අසළ එළිමහන් බංකුවේ ගැමියන් කිහිප දෙනෙකු හිඳගෙන සිටී. තේ පිරවු අශෝකා වීදුරු දෙකක් අතැතිව වහ,වහා බංකුව අසළට පැමිණි කුලතුංග මුදළාලි, එය බංකුව කොනක තබා උණුසුම් වූ සිය ඇඟිලි තුඩු කර ලේන්සුවෙන් පිරිමදිමින් කතා කළේය.
“ඈ.. බං කොල්ලනේ… කාලයක් කිසිම හාවක්,හූවක් නැතුව හිටපු කාලියා ආයේම මහ කමතෙ වගා ළිඳට අතගහලය කියන්නෙ ඇත්තද බොලව්..”
“ඇත්ත නේන්නං කුලේ මාමා…උඔ අදදෑ දන්නේ…”
නිතර කඩයේ ගැවසෙන තරුණ කොළු ගැටයෙකු වූ මහතුන් ඇසූයේ කුලතුංග මුදළාලිගෙනි.
“මූට එකපාරටම හතරමහ නිධානෙ පහල වුණාද බොලව්..”
“බලන්ඩෙපායැ එතන ගුණේ බාසා ගජරාමෙට වැඩ.ගල් වෙඩි දලා කලු ගල කඩලා.. වතුර පොම්ප ගෙනහල්ලා බට ඇදලා කරලා…ළිඳේ බැම්ම මෝඩ ගලෙන් බැඳලා.. හරියට මහවැලිය ආපු කාලේ වගේ…”
“පංකාදු උපහැරණේ..අඩේ බොල මහතුවෝ…කියාපිය බලන්ඩ..මහවැලිය එනකොට තෝ අම්මයෙ බඩේවත් හිටියද..”
මුදළාලි ඇසූයේ කොක් හඬලා සිනාසෙමින් අසළ සිටියෙකුගේ පිටටද පහරක් ගසමිනි. මහතුන්ගේ වත ලැජ්ජාවෙන් අඳුරුව ගියේය.
“ඕං එනවා විස්තරේ ටක්කෙටම ගන්ඩ පුළුවන් එකා…”
ගැමියෙකු කීයේ වැව් බැම්ම දිගේ කඩය දෙසට පැමිණෙන ජිල්බුව පෙන්වමිනි. කුලතුංග මුදළාලි කඩය ඇතුළට ගියේ ඒ දෙස බලමිනි. ජිල්බු කඩයට පැමිණියේ බංකුව මත හිඳගෙන සිටි කිසිවෙකු මායිම් නොකරය. ගැමියන් එකිනෙකාගේ මුහුණු දෙස බලමින් කසු,කුසු ගාන්නට වූහ.
“කුලේ මාමා..මට කේක් පෙට්ටියක් දියංකෝ…”
එල්ලා තිබූ කෙසෙල් කැන අසලට ගොස්, ජිල්බූ එය එහාට, මෙහාට කරකා බැලුවේය.
“කොයි වෙලේ බැලුවත් මේ රබර් කෙහෙල් කැනක් එල්ලගෙන ඉන්නවා…එල්ලපංකෝ මේකේ ඔය ඇම්බුං, ආනමාලු වගේ ජේත්තු කැනක් කුලේ මාමා…”
“අප්පද බොල..පොතට හුළං විස්කෝතු අරං ගිය බත් බැලයගෙ කටේ සවුදම බලාපියව්කෝ…” කුලේ මුදළාලී කඩයෙන් එළියට බැස්සේය.
“කාටද උඔ බත් බැලයා කීවේ මටද කුලේ මාමා…” ජිල්බුද කට ගසමින් කුලේ මුදළාලි ඉදිරියේ සිටගත්තේය.
“තොට නේන්නං බොල වෙන මොකාටද..තෝ කවදාවත් හම්බ කරලා කාපු එකෙක්ද බොල පිං බත් ගිල්ලා මිසක..”
ජිල්බූ තමන්ගේ සරම් ඉණෙහි ගැටගසා සිටි නෝට්ටු කිහිපයක් ඇද සියල්ලටම පෙනෙන්ට එකින් එක දිගහරින්නට වූයේය. ගැමියන්ගේ මෙන්ම කුලේ මුදළාලිගේ මුහුණද කුහුලෙන් ඇද වෙන්නට වූහ.
“මේං මේවා තමා මං හම්බ කොරපුවා…”
ජිල්බූ නෝට්ටු කිහිපය මුදළාලිගේ මුහුණ අසළින් දෙපසට වනමින් “සට..සට..” හඬක් නැංවූයේය.
“අඩේහ්…අපේ ජිල්බුවාට හරි ගිහිල්ලා නොවැ බොලව්..මොනාද කොල්ලෝ උඔ ගෙනියන්ඩ ආවා කීවේ..”
මුදළාලි ඇසූයේ ව්‍යාජ කරුණාවක් උපදවා ගනිමිනි.
“මං ඉස්සෙල්ලත් ඇහුවෙ..කේක් තියනවද..කේක්..”
“මේ ගමේ කොහෙන්දෑ බොල කේක් කන එවුං..”
“එතකොට ඇම්බුං..ආනමාලු…”
“මේ තියෙන්නෙ බොල යස සීනි කෙහෙල් කැනක්..එතකොට උදේ දාපු වණ්ඩු ආප්පත් තියනවා…”
ගුණේ මුදළාලී කියවමින් සිටියදී අඩියෙන්,අඩිය පිටුපසට ගිය ජිල්බු, වෑකන්දේ මඟක් උඩට නැඟ ගත්තේය.
“වණ්ඩු ආප්පේ තියලා උඔ ඒක උඩ ඉඳගනිං කුලේ මාමා…”
කුලේ මුදළාලි ඉදිරියට එත්ම ජිල්බූ ඉතිරි ටිකද වෑකන්දේ මුදුනට නැංඟේය.
“දවසක උඔගෙ ඔය කුණ්ඩවාලේ හුළඟට ගහගෙන ගිහිං ආං අර පොල්වත්තට පතබැවෙන්ඩෝනේ වට්ටක්කා බඩා…”
“ඔහෙ හිටු නොසන්ඩාලයා මං තොට..”
කුලතුංග මුදළාලී වටපිට බැලූයේ ජිල්බූට දමා ගසන්නට යමක් සොයා ගන්නටය.
“අඩේ මහතුවා…තොපිත් ඔය කුම්මැහියගෙ අගුවෙ බංකු රත්කර,කර ඉන්නැතුව, වරෙව් අපිත් එක්ක එක්කහු වෙලා පනං හතරක් හොයාගන්ඩ..”
ජිල්බූ ගැමියන්ට එසේ හඬ නඟා කියද්දීම, කුලතුංග මුදළාලි ගඩොල් භාගයක් ගෙන ඔහුට දමා ගැසුවේය. ජිල්බූ එය මඟහැර හූවක් තබා, සරම උස්සා සිය පශ්චාත් භාගය මුදළාලීට දක්වා වැව් බැම්මේ ඉදිරියට දිව ගියේය.
සමන්තී සිය බාගෙට ඉදිකළ නිවසේ ඇතුළත ඇවිදිමින් සිටියාය. ඇය එදා සිට මේ ඇවිදීම අතරතුර විඳින අතීත මතකයට ආසා කළාය. වසන්ත ගැන තොරතුරක් නොවූදා සිට, ඈ කළේ ඔහුගේ හමුදා සේවය අතරතුර ඉදිකිරීම ඇරඹූ, පසුව අතරමඟ නැවතුණු තම නිවස තුළ ඇවිදිමින් ඔහුගේ මතකය හා සැරිසැරීමය. යතුරුපැදියක් කඩුල්ල අසළ නතර වූයෙන් ඈ ඒ වෙත අවධානය යොමු කළේ, එය තමන්ට හුරුපුරුදු හඬක් නොවන බැවිනි. කඩුල්ල අසළ නතරවූ නවීන පන්නයේ යතුරුපැදියේ සිටියේ කාලිංගය. ඔහුට තිබුණේ මේට් ෆිෆ්ටි වර්ගයේ පැරණි යතුරුපැදියකි. හදිසියේම ඔහු පැද ආ නවීන පන්නයේ යතුරුපැදිය දැක, සමන්තී කුහුලෙන් යුතුව කාලිංග එන පෙරමඟට ගියාය.
“කාගෙදයියේ මේ බයික්කෙක…” සමන්තී ඇසූයේ පුදුමයෙනි.
“එකක් ගත්තා බං..හොරකං කරේ නෑ…”
සුපුරුදු “හැක්..හැක්..” හිනාව දමමින් කාලිංග සිය නවීන යතුරුපැදිය උද්‍යෝගයෙන් අත,පත ගෑවේය.
“හදිසියේම ඕක ගන්ඩ…”
“දැන් උඔ මෙතන ගොඩ පෙරකදෝරුකම් කරන්ඩ ආවද…”
කාලිංගගේ උස් හඬට සමන්තී කරබා ගත්තාය. කාලිංග ඈ සමීපයට ආවේය.
“අර හුචක්කුව යන,යන තැන නවතිනවනෙ බං…මුදළාලී ඇප වෙලා ගෙවන්ඩ බයික්කෙකක් ඇරං දුන්නා…”
“බංඩාර මුත්තගෙ පිහිටයි අයියේ..”
සිය වැඩිමහල් නැඟණියගේ ඒ පැතුම නැඟ ආයේ හද පත්ලෙන් බව කාලිංග දැන සිටියේය. ඔහු සමන්තීට වඩාත් සමීපව ඇගේ හිස පිරිමදින්නට ගත්තේය.
“අපිට ඔය වෙන කාගෙවත් පිහිටක් ඕනැන්නෑ නංගියේ…අපි තුන් හතරදෙනාගේ පිහිට එක, එකාට තිබ්බම ඇති..යුතුකම්,වගකීම් කියලා ජාතියක් තියේනම් මට එව්වා ඉෂ්ඨ,සිද්ධ කොරන්ඩ ඉන්නෙත් උඔලා දෙන්නයි,අම්මයි අර කොල්ලයි විතරයි…”
“බණ්ඩාර මුත්තා පල්ල..මං අයියගෙ වචනෙට පිටිං යන්නෑ අයියේ…” සමන්තීගේ හඬ මඟදී බිඳී බර වූවාය.
“මට ඕනේ එච්චරයි බං..ඉස්සෙල්ලාම අපි මේ ගේ පොඩ්ඩ හදාගෙන ඉමු…ඊට පස්සෙ මං උඔගෙ පරණ ගේ කෑල්ල ගන්නවා ස්ටෝරු කාඹරේකට..”
“මං මොනාද කරන්ඩෝනෙ අයියේ..”
“අංක එක ගේ හදන වැඩේ…උදව්වට ජිල්බුවා ඉන්නවනෙ..ඊට පස්සෙ අපිට තියනවා අපේම කියලා ව්‍යාපාරයක් පටං ගන්ඩ..”
“අයියා කොහොමද මේ හැමදේටම…”
“සල්ලි හොයාගන්නෙ කියනෙකනෙ උඔගෙ ප්‍රශ්නෙ..මං මේ හැමදේම කරන්නෙ ඔලුව පාවිච්චි කරලා…මංකොල්ල කාලා, මිනීමරලා නෙවේ..දැනට ඒ ටික දැනගත්තාම ඇති..”
ජිල්බූ සමන්තිගේ ගේ ඉදිරියෙන් යන්නට ගොස් කාලිංගව දැක ඉද්ද ගැසුවාක් මෙන් එකවර නතර වූයේය. අනතුරුව අඩියෙන්,අඩිය පිටුපසට යන්නට වූයේය. කාලිංග එය දුටුවේය.
“ඒයීඊඊ…මෙහාට වර..”
“බංඩාර..මුත්තේඒඒ..අදනං මං කනවා කෑමක්…”
ජිල්බූ තමන්ටම මුමුණා ගනිමින් කාලිංග වෙතට ඇවිද ආයේය.
“මං තොට උදේ යද්දි කියලා ගියේ මොකද්ද..”
“මහ කමතට වෙලා ඉන්ඩය කියලනෙ කාලිංගයියා…”
“දැන් තෝ ඔය ඒකද කොරන්නෙ බොල..”
“කුලයට දාපු කෝචොක් මට පත්තු වෙන්ඩ වගේ යන්නේඒඒඒ…” ජිල්බූ තමාටම මුමුණා ගත්තේය.
“මොනාද තෝ තනියෙන් මුණු,මුණු ගාන්නේ..”
කාලිංග ජිල්බුගේ කණ මිරිකා අල්ලා ගත්තේය. ඔහු කට ඇද කරමින් කතා කළේය.
“ගුණේ බාසගෙ සැට් එකට තේ වතුර බොන්ඩ අඩුම,කුඩුම ටික ගේන්ඩ කුලෙයගෙ කඩේට ගියේ කාලිංගයියේ..ඌ මටයි,ඔයාටයි නක්කලේ දාං ආවා …ඉතිං මං ඌට රම්පෙට පොරි හැලෙන්ඩ දීලයි මේ එන්නේඒඒ…”
ජිල්බුගේ කියවිල්ලට සමන්තීටද සිනහ නැඟුණාය.
“ඕං ඔය අසරණයා අතාරින්ඩ අයියේ…කෙරෙන්ඩ දෙයක් තියේනම් මං බලලා කරන්නං..අයියා ආ ගමන යන්ඩකෝ….”
කාලිංග ජිල්බුව අතහැර යතුරුපැදියට නැඟ පිටව ගියේය. කට ඇද කරමින් කණ අතගාන ජිල්බූ දෙස සමන්තී අනුකම්පාවෙන් යුතුව බලා සිටියාය.
සරලා කැලේගම වලව්වේ ගේට්ටුව තෙක් සෙමෙන් ඇවිද ගියාය. පවුල් දෙකක් අතර විරසකයකට තමන් ඉත්තෙකු වී ඇත්දැයි ඇයට සිතිණි. කැලේගම නැන්දා කියූ සමහර තැන් තවමත් ඇයට අපැහැදිලිය. එහෙත් සිය මව සහ සහෝදරයා තමන්ට වඩා යමක් දන්නේයැයි ඇයට හැඟිණි. එසේ නොවන්නේනම් කොන්දේසි විරහිතව ඔවුන් තමා මෙහි දමා යන්නට ඉඩක් නැත.
“පුතේ..”
සරලා වහා පිටුපස හැරුණේ, සිය නැන්දණියගේ හඬ හඳුනාගත් බැවිනි. වෙනදා නොවූ නිවුණු හා තැන්පත් බවක් ඉස්කෝලෙ මැණිකේගේ හඬෙහි වූ බව සරලා හැඳින්නාය.
“අම්මලා එක්ක ගෙදර යන්න බැරිවුණාට පුතා ඉන්නෙ දුකෙන්ද…”
“අනේ නෑ නැන්දම්මේ..මං මේ කම්මැළිකමට නිකං මෙතෙන්ට ආවේ..”
“පුතාට මාසෙට දෙකට දැනෙන ඔය කම්මැළිකම මං ජීවිතෙන් භාගයක් ගෙවලා දැම්මෙ මේ ගේ ඇතුළෙ…”
“නැන්දම්මට කසාදයක් කරගන්ඩ බැරිවුණේ අපේ අප්පච්චි නිසා කියලා දුකයිද..”
“නෑ පුතේ..ඒක දුකක් නෙවේ..මොකක්දෝ හිස් හැඟීමක්..සමහරවෙලාවට මට හිතෙනවා මං බැන්ඳනම් මීටත් වඩා තදට ඒ හිස්කම දැනෙයි කියලා….”
“මට ආසයි නැන්දම්මගෙයි,අපේ අප්පච්චිගෙයි ඒ කාලේ ගැන දැනගන්න..”
“මොනාද පුතාට දැනගන්ඩෝනෙ..”
“අප්පච්ව්යි,අපේ අම්මයි කසාද බැන්ඳ හැටි..ඇයි කිරි අත්තයි,කිරි අම්මයි ඒකට අකමැතිවුණේ වගේ ඒවා…”
“පුතා ඕක කවදාවත් අම්මගෙන් අහලා නැද්ද..”
“නෑ නැන්දම්මේ..”
“ඇයි…ඒ..”
“හේතූවක් නෑ එහෙම උවමනාවක් ආවේ නෑ….”
“එහෙනම් දැන් මගෙන් අහන්ඩ වුවමනා හේතූ මොනාද…”
සිය නැන්දණිය ලෙහෙසියෙන් කිසිවකට හසුකර ගත හැකි ගැහැණියක් නොවන වග සරලා මුල සිටම දැන උන්නාය. ඇත්තෙන්ම ඒ තාර්කික,සෘජු ගැහැණියට ඈ ආසා කළාය. මෙතෙක් කාලයක් ඈ මේ වහලය යට ඉන්නට හේතුවද එයය.
“පුතා මගේ එක්ක ඉන්නේ අකමැත්තෙන් නම්, ගෙදර බල කිරීමටනම්, ඔයාට පුළුවන් හෙට වුණත් මෙහෙන් යන්න..”
“අනේ..ඇයි නැන්දම්මා හැම වෙලේම ඕකම කියන්නේ..”
“මං ඔයාට ආදරේ නිසා පුතේ…ඔයත් මාව මේ වහලෙ යට තනිකරලා දාලා යයි කියලා බය හිතෙන නිසා…”
සරලා වහා පැන සිය නැන්දණිය බදා ගත්තාය. ඉස්කෝලෙ මැණිකේ සරලාගේ හිස සෙනෙහසින් පිරිමැද්දාය.
“මං නපුරු ගෑණියෙක් නෙවේ මයෙ පුතේ…මටත් තිබ්බා ඔයාලට වගේ ගොඩාක් හීන..ඒත් එක මොහොතක ඒ හැම හීනෙන්ම ඇහැරිලා අනුන්ගේ හීන වෙනුවෙන් ජීවත්වෙන්න මට සිද්ධ වුණා….”
“මං නැන්දම්මා එක්ක ඉන්නවා..ඔයා දුක්වෙන්නෙපා….”
“මට ජීවිතේ අහිමිවෙච්චි හැම දෙයක්ම ඔයාට දෙන්ඩෝනෙ පුතේ..මං කවදාහරි මැරෙන්ඩෝනේ ඔයා මේ ගෙදර රැජිණක් වෙලා ඉන්නව දැකලා…”
“මට රජකම් වලට, ඔටුණු වලට හීනයක් නෑ නැන්දම්මේ…ඒත් ඔයා මට අම්මෙක්..කැමතිනම් මං ඔයාට දුවෙක් වෙන්නම්…”
“දුවෙක් කියන්නෙ රැජිණක් තමා පැහිච්ව් අම්මණ්ඩියේ..”
ඉස්කෝලෙ මැණිකේ එසේ කියමින් සරලාගේ නහය මිරිකනු, දුරක සිට එදෙස බලා උන් රිදී නැන්දා දුටුවාය. ඇය පහළට නැවී චීත්ත වාටියෙන් දෑස් පිස දැම්මාය. අදීෂගේ කාරය ගේට්ටුව අසලින් ගමන් කළේ ඒ මොහොතේය.
“අපෙ මැණිකේ..ආං..බඩහැළයා…බඩහැළයා….”
රිදී නැන්දා එසේ කෑගසමින් සරලා සහ ඉස්කෝලෙ මැණිකේ සිටි දෙසට දිව ආවාය.