Mandaramen Eha – ගල්ගමුව නගරයේ සිට අනුරාධපුර දෙසට කිලෝමීටර් තුනක් පමණ ගිය තැන හමුවන්නේ බුදුරුවකන්ද මංසන්ධියයි. ගැමි ව්‍යවහාරයේ එය බුදුරුවකන්ද ලෙස පවතින්නේ විශේෂ හේතුවක් නිසාවෙනි. කුරුණෑගල – අනුරාධපුර මාර්ගයේ මේ මංසන්ධිය පසුකරන්නෙකුට උස් කඳු මුදුනත පිහිටි සුවිසල් බුද්ධ ප්‍රථිමා වහන්සේ දිස්වන්නේ ප්‍රිය උපදවන දසුනක් ලෙසිනි. මේ බුද්ධ රූපය පිහිටි කන්ද “බුදුරුවකන්ද ” වූවා මෙන්ම එය අයිති භූමියේ බුදුරුවකන්ද විහාරස්ථානය පිහිටා තිබේ. ගල්ගමුව දෙස සිට පැමිණෙද්දී, දකුණු පස විසල් ගොඩ කිරිල්ල ගසක් මුලින් ඇරඹෙන පළල් ගුරු පාරකි. ඒ අසලම බස් නැවතුමක් සහ කුඩා කඩ මණ්ඩියකි. මේ ගුරු පාර ගම්මාන තුනක් හරහා ගොස් මීගලෑව – ගල්ගමුව මාර්ගය හා සම්බන්ධ වන්නේ වැටකොළුවාගම හන්දියෙනි. එතෙක් මුණ ගැසෙන ගම්මාන තුන වන්නේ පාළුගම,කැලේගම සහ සියඹලෑවයි. මේ ගම් තුනටම ගමේ නමින් වැව් තුනක් පිහිටා තිබීම අනෙක් විශේෂත්වයයි. අතරමැදි ගම වන්නේ කැලේගමයි. බුදුරුවකන්ද හන්දියෙන් ඇරඹෙන ගුරුපාර කැලේගම වැව් බැම්ම මතින් සියඹලෑව දක්වා දි වෙයි. වැවට මුහුණලා අක්කර ගණනාවක පොල්වත්තක් මැද පැරණි ගොඩනැගිලි ශිල්පයට අනුව ඉදිවුණු විශාල ගෘහයක් වෙයි. ගැමියන්ට අනුව එය “කැලේගම වලව්ව” නම් වේ. වලව්වේ පිවිසුම උස් කොන්ක්‍රීට් කණු දෙකකින් දරා සිටිනා මල කෑ ගේට්ටුවකින් සමන්විතය. දිය සෙවල බැදුනු ගේට්ටු කණු දෙක වලව්වේ පුරාණය කියන්නාක් බඳුය. ගේට්ටුව සමීපයේ වත්ත ඇතුළට වන්නට එක සමීපයේ ඉදිවූ සොහොන් කොත් දෙකකි. එකක් වසර ගණනාවක් පැරණි බව පෙනුනද අනෙක එතරම්ම පැරණි බවක් නොපෙනේ. කෙසෙල් පත්‍රයක් ගොටුවක ආකාරයෙන් සකසා එහි බහාලූ ගැට පිච්ච මල්ද අතැතිව, මහළු ගැහැණියක කකුලක් අද්ද,අද්දා සොහොන් කොත් සමීපයට පැමිණියාය. ගොටුවෙන් ගත් ගැට පිච්ච මල් සම,සමව බෙදා සොහොන් කොත් පාමුල තැබූ ඈ, මැටි පහන් දෙකක් දල්වා දොහොත් මුදුන් දී මොහොතක් ඊට වැඳගෙන උන්නාය. අනතුරුව තරමක් පැරණි සොහොන් කොත දෑතින් පිරිමැද්දේ ගෞරවය පෙරදැරිවය. එහි තරමක් අපැහැදිලි පිරිමි පිංතූරයක් වූයේය. ඊට යටින් “අප්පුහාමි මහ නිළමේතුමා” යනුවෙන් සඳහන්ව තිබිණි. “නීළම්මා මහ කුමාරිහාමී” යනුවෙන් සඳහන් වූ එතරම් පැරණි නොවූ අනෙක් සොහොන් කොතද මහළු ගැහැණිය පෙරසේම ගෞරවයෙන් පිරිමැද්දාය.
“තාම පණපිටිං ඉන්නවා වගේ වලව්වේ හාදුරුවනේ..ජීවත්ව ඉන්නකං මේ වලව්වට ඉහළිං කපුටෙක්වත් පියෑඹුවෙ නෑ කෑගහගෙන..ගියායින් ගියදා ඉදං..බෙරවායො, බඩහැලයො පවා මේකේ බඩ පිලුං ගහනවා ඕං අපෙ හාදුරුවනේ…”
මැහැල්ල තනියම කියවන්නට වූවාය. ගේට්ටුව දෙසින් පාපැදියක සීනුවක් හැඩවිණි. ඈ නළලට උඩින් එක් අතක් තබා දෑස් හීන් කොට එදෙස බැලුවාය. ගේට්ටුව අසළ වූයේ ලියුම් බෙදන්නාය. කකුලක් අද්ද,අද්දා ඈ ගේට්ටුව වෙත ගොස් එහි එක් පලුවක් විවර කළාය. එයින් නැගුනේ මලකඩ හඬකි.
“ඉස්කෝලෙ මැණිකෙට ටැලිග්‍රෑම් එකක්…”
ලියුම් බෙදන්නාට කීමට හැකිවූයේ එපමණකි. ඔහු අත තිබූ විදුලි පණිවුඩය උදුරා ගත් මැහැල්ල කකුල අද්දමින් වලව්ව වෙතට දුවන්නට වූයේ කෑගසමිනි.
“පුංචි අම්මණ්ඩී..පුංචි අම්මණ්ඩී…”
ලියුම් බෙදන්නා නළලෙහි අතක් ගසා ගත්තේ අත්සනක් ගැනීමට අතට ගත් කොලය දෙස බලමිනි. තමන් විසින්ම එහි අත්සනක් දමාගත් ඔහු,පාපැදියේ නැග පිටව ගියේය.
කලුවර ලීයෙන් නිමවූ ලී කැටයම් සහිත කණ්නාඩි මේසය අසළ හිඳගත් මැදිවිය ඉක්මවූ කාන්තාවකි. ඔසරියකින් සැරසුන ඈ වටකුරු මුහුණකින් හා දිගු වරලසකින් යුක්ත වූවාය. නළලට වැටුණු කෙහෙරැල් වලින් නරකෙස් තෝරමින් සිටි ඈ එළියෙන් ඇසෙන මැහැල්ලගේ හඬට කන් දෙමින් උපැස් යුවල පැළඳගත්තාය. දොර වෙතට පියවර කීපයක් තැබූ ඈ, ඒ පියවර කීපයම නැවත ආපසු කණ්නාඩි මේසය තෙක් තබා නැවත යුහුසුළුව සාලය වෙතට ඇවිද ගියාය.
“රිදී නැන්දා….මොකෝ මේ බෙරිහං දෙන්නෙ..කවුද ආවේ…”
“ටැලිග්‍රෑම් එකක් පුංචි අම්මණ්ඩි…”
“ඕකට ඉතිං ගේ දෙවනත් වෙන්න මොර දෙන්න ඕනයැ…කෝ…ගමු මෙහාට ඕක…”
මැහැල්ල එය දෑතින්ම පිළිගැන්වූවාය. එය විවර කරන ගමන් උපැස් යුවල යටින් වමටත්,දකුණටත් දෑස් යවමින් ඈ එය කියවන අයුරු මැහැල්ල බලා උන්නේ නොඉවසිලිමත් දෑසිනි. කියවා අවසන ඈ මැහැල්ල දෙස බැලුවේ සිනා පිරි මුහුණෙනි.
“ඔන්න රිදී නැන්දට අලුත් ආරංචියක් තියනවා වලව්වෙ හාදුරුවන්ට කියන්න පුළුවං ඕනෙනං…”
“ආරංචියක්..වලව්වෙ හාදුරුවන්ට…”
“හ්ම්…බංඩාර නිළමෙගෙ දූයි,පුතයි මෙහෙ එනවලු මං බලන්ඩ…”
මැහැල්ලගේ මුහුණ අමුතු වූවාය. ඈ කකුල අද්දමින් ආපසු යන්නට හැරුණාය.
“සොහොන ළඟටද යන්නෙ රිදී නැන්දා..”
“එහෙමයි පුංචි අම්මණ්ඩී…”
“එහෙනං අපෙ අම්මටයි,අප්පච්චිටයි කේළම කියලා ඇවිත්ම මට කෝපී කෝප්පයක් වක්කරලා දෙන්නකෝ හොඳේ…”
හිස සැලූ මැහැල්ල කකුල අද්දමින් පිටතට ඇදුණාය. සිනාසෙමින් මොහොතක් එදෙස බලා හුන් ඉස්කෝලෙ මැණිකේ පියවර කිහිපයක් කාමරයේ දොර දෙසට තබා ඒ දුරම නැවත ආපසු විත් නැවත යුහුසුළුව කාමරයට වැදුනාය.
කැණීම් කටයුතු සිදු කෙරෙන වගා ළිඳ අසල කැරකෙමින් සිටි කාලිංග දුටුවේ මහ කමත දෙසට පැමිණෙන සරලාය. එක් අතකින් කේතලය සහ අනෙක් අතින් මල්ලක් ඔසවාගෙන එන ඈ පෙරමගට යමින් කාලිංග කොහොඹ ගස අසළ නතර වූයේ විමතිය දනවන දෑසිනි.
“මොකෝ මේ කටත් ඇරගෙන බලන්නෙ..”
“කට විතරක් නෙමෙයි..මුළු හිතම ඇරුණ උඔව දැකලා…”
“හිත ඇරිලා කෙසේ වෙතත්,මංනං හිතුවෙ දැන් අපිව එහෙම පිටින්ම අතඇරිලා කියලයි..”
“අතාරින්න තියා මට තාම උඔව හරියට අල්ලගන්නවත් බැරුව ගියානේ..”
“මාත් මේ අල්ලගන්න පොටක් හොය,හොයා හිටියෙ..හොඳවෙලාවට මගදි ජිල්බුව හම්බුනා.. වදෙන් පොරෙන් මේ දෙක උදුරන් ආවෙ…”
“අහා….එහෙනං පොටක් පාදාගන්න සෑහෙන්න මහන්සිවෙලා තියනවා…”
“මට නෙමෙයි..අර වැඩ කරන මිනිස්සුන්ට මහන්සි ඇති..නිවෙන්න කලිං මේ තේ ටික දීලා හිටින්ඩ..”
සරලා එසේ කියූයේ කේතලයෙන් කෝප්පයකට තේ කහට වත්කර අයින් කරන ගමන්ය. බෝතලයෙන් සීනී හැදි කිහිපයක්ද කඩදාසි කොලයකට අයින් කොට කේතලය සහ මල්ල කාලිංග අත තැබුවාය. කාලිංග අත්පුඩියක් ගසා ළිඳ ළඟ සිටියෙකුට කතා කළේය. ගැමි තරුණයෙකු පැමිණ එය රැගෙන ගියේය. කහට කෝප්පය ගෙන කාලිංග අත තැබූ සරලා සීනී දැමූ කඩදාසිය වෙතට නැවුනාය. කාලිංග සැණෙන් ඇගේ පිරුණ නිතඹ එක් අතකින් මිරිකුවේය. තිගැස්සී ආපිට හැරුන සරලා අතින් සීනී කඩදාසිය කාලිංගගේ හිසේ සිට විසිරුණාය. අත වැදී කහට කෝප්පයද ඇගේ ඉහිරිණි. කාලිංග හිටි තැනම මොහොතක් ගල් ගැසී උන්නේ සිදුවූ දෙය වටහාගත නොහැකිවය.
“හොඳම වැඩේ..වලත්ත වැඩ කරන්න එනවට..සීනී ගාගෙන,කහට නාගෙන…”
සරලා කීයේ මහ හඬින් සිනාසෙන අතරවාරයේය. බුම්මාගෙන බිම වාඩි වූ කාලිංග දැකීමෙන් සිනහව පාලනය කරගත් ඈ, ඔහු අසළට පහත් වී මුහුණේ සහ හිසෙහි තැවරුණු සීනී අතින් පිස දමා, ගවුමේ වාටියකින් අත්වල ඉහිරුණු තේ කහට පිස දැමුවාය. කාලිංග බුම්මාගත් මුහුණින්ම සිටියේය.
“මූණේ හැටි විතරක්..මේ කපේදි හැදෙන එකෙක් නෙමෙයි..බකමූණා….”
“වලත්තයා කීවා…බකමූණා කීවා…වෙන නැද්ද මොකුත් කියන්න..”
“විහිළුවක්වත් තේරෙන්නැද්ද..බෙරි කරං ඉන්නැතිව හිනාවෙලා ඉන්නවකෝ..”
“හිනාවෙන්නම් ළඟට ආපු දවසක..”
“ඉතිං..දැන් මේ ඉන්නෙ ළඟනෙ මං…”
“ඔය මදි…තව ටිකක්…”
සරලාගේ ඉණ දෙපසින් අල්වා ඇයව තමන් වෙත ඇදගන්නට කාලිංග වෙර දරද්දී, සරලා ඔහුගේ අත ගසා දමා නැඟී සිටියාය.
“විසේ ඔලුවටම ගහලා වගේ..ඒවට තව කල් තියනවා හරිද…”
“දැනටමත් පේන්නෙ බකමූණෝ වගේ..තව කල් යද්දි කොහොම පෙනෙයිද දන්නෑ..”
“කොහොමත් ඉතිං උපන් කැත අරින්න බෑනෙ..”
“ඇයි උඔ හොයන්නෙ පව්ඩර් බබෙක්වද..”
“නෑ…මට මේ බකමූණව හොඳා..”
කාලිංගගේ දෑස් දීප්තිමත්ව සරලාගේ දෑස් වෙලාගත්තේය. ඒ වෙලුම දරාගත නුහුනුව ඇගේ දෑස් බිමට එබුණාය.
“කාලිංගයියේ..”
“ම්ම්ම්…….”
“මට ඔයාගෙන් දෙයක් තියනවා අහන්න..”
“අහපං..”
“මං සමන්ති අක්කව ඉස්කෝලෙ නැන්දලයි දිහා එක්කං යන්ඩද…”
කාලිංග හිස නඟා සරලා දෙස බැලීය. සරලා ඒ බැල්මට හසු නොවෙන්නට මෙන් බිම බලාගත්වනම උන්නාය.
මත්පැන් වීදුරුවක් තොලගාමින් සුදු මහත්තයා උන්නේ අරසන් වැව් තාවුල්ලේ පිහිටි අවන්හලේය. මුවඟ රැඳි දුම්වැටියෙන් නැගි රැළි හිස් අවකාශයට මුසුවෙද්දි, සුදු මහත්තයාගේ මතකය ගිරාතලානේදී ජිල්බුව මුණ ගැසීම දක්වා ඇදී ගියේය.
කේතලය එක් අතකින්ද,අනෙක් අතින් මල්ලක්ද දෙපසට කර ඔසවාගෙන ජිල්බු සුදු මහත්තයාගේ යතුරු පැදියේ නැග පැමිණයි.
“මට වැවේදී හම්බුන ගෑණු ළමයා මේ මල්ලිගෙ කවුරුහරිද…”
“කවුද.තාරුකක්කද මහත්තයා..”
“ඒ ළමයගෙ නම තාරුකාද.ලස්සන නමක්.එතකොට අර පිරිමි ළමයා..”
“අපේ පුංචි නිළමෙ..තාරුකක්කගෙ මස්සිනා…කාලිංගයියා සරලා චූටිගෙ මස්සිනා…මං නිකංම නිකං ජිල්බුවා…”
සුදු මහත්තයා සිය යතුරු පැදිය පාරේ අයිනකට කර නැවැත්වූයේය.
“අහන්න වටින ලස්සන කතාවක්නෙ මල්ලි..”
“අහන්ඩ නෙමෙයි..තව ටිකක් හිටියොත් කාලිංග අයියා මාව හොයාගෙන එන්නෙ මට ගහන්ඩ..”
“මල්ලි බයවෙන්නෙපා මං ඉන්නවනෙ..”
“මහත්තයා දන්නෑ අපේ කාලිංගයියා ගැන..දවසක් ආමිකාරයෙක්ටත් දෙන්න ගියා සම්බුව අපේ සමන්තී අක්කට බැල්ම දාන්න ඇවිත්..”
“කාටද..ගමේ කොල්ලෙක්ටද..”
“ගමේ උන් තාරුකක්කා දිහාවත්,සමන්තී අක්කා දිහාවත් හැරිලා බලන්නෑ.. මිනිහා මේ පිටගංකාරයෙක්…..”
“මල්ලිගෙ අයියා එහෙනං අමාරුකාරයෙක් වගේ..”
“ආයෙත් අහලා…දෙන්නෙ කෙලින්ම ගං පෝරියල්..මේ අපි යමුද මහත්තයා…තවත් මෙතන හිටියොත් මං හින්දා මහත්තයටත් නිකං පෝරියල්..”
සුදු මහත්තයා යතුරු පැදිය පණ ගන්වා ජිල්බු සමඟ ටික දුරක් පැමිණියේය. එක්වරම ජිල්බු මහ නුගය අසළ සිටින කාලිංගව දිටීය.
“හෝව්..හෝව්..ඕක හිටවන්ඩ මහත්තයා…ඔහොම හිටවන්ඩ..”
“ඇයි..මල්ලි..”
“අර නුගේ ගාව මෝට බයිසිකලේ උඩ ඉඳං ඉන්නෙ කාලිංගයියා…මේකේ නැගලා ගියොත් මං හින්දා මහත්තයටත් පෝරියල්..මං කෙබරයක් ගහලා බේරෙන්නම්..මහත්තයා පාගලා යන්න..අත දැම්මත් වැරදිලාවත් නවත්තන්නනම් එපා බුදු මහත්තයෝ… ඕං කීවා..”
සුදු මහත්තයා ජිල්බුව බස්සවද්දී, කාලිංගද යතුරු පැදියෙන් බැස ඒ දෙසට පැමිණෙන අයුරු ඔහු දිටීය. කාලිංග පසුකර යද්දී කාලිංග මෙන්ම සුදු මහත්තයාද එකිනෙකා දෙස හොඳින් බැලුවහ.
“සුදු මහත්තයා..”
කල්පනා දැහැන බිඳිමින් සුදු මහත්තයාව ඇමතුවේ දේහධාරී කඩවසම් තරුණයෙකි.
“ආහ්.චුට්ටෙ.උඔ ආවද.වාඩිවෙයං..”
“මොකෝ මේ කවදාවත් නැතුව අවේලාවේ බෝතලේකුත් කඩාගෙන..”
“ඇඟ,පත සීතල වෙන ප්‍රශ්නයක් චුට්ටෙ..ගහපංකො ඉස්සෙල්ලා අඩියක්…”
“නෑ…ඉස්සෙල්ලා ප්‍රශ්නෙ අහලා ඉමු..ඊට පස්සෙ බැරියැ රත්වෙන්ඩ..මොකක්ද කේස් එක..”
“පොඩි ගෑණු කේස් එකක් චුට්ටෙ..”
“ගෑණු කේස් එකක්..”
සුදු මහත්තයාගේ උත්තරයම චුට්ටේද ප්‍රතිරාව නැංවූයේ විමතිය දනවන හඬකිනි.